අකුරු මැකී නෑ

Sunday, January 6, 2019

සැවුළු සංහාරය - පළමුවෙනි කොටස

ඒවා මාළු වෙන්නට පෙර ජෑම් හරි හෝර්ලික්ස් හරි බෝතලය!

හැම දෙනාටම හැම දෙයම යාදෙන්නේ නැත. අපේ අජිත් මල්ලීට හොඳටම යාදුන්නේ සතුන් ඇති කෙරිල්ලය. මිනිහා සතුන් හොයාගෙන නොගියත් සත්තු මිනිහාව හොයාගෙන ආවෝය.

මුල්ම කාලයේ අපේ ගෙදර හැම කොල්ලාටම වගේ මාළු ටැංකියක් තිබුණා මතකය. ටැංකියක්? එතකොට හැබෑම ටැංකියකට කියන්නට නමක් නැහැ නෙව. ඒකත් ඇත්තය. ඔන්නොහෙ ඇත්තම නම කියමු. මාළු බෝතල්. එහෙම බෝතල් ජාතියකුත් නැත. 
ඒවා ‘මාළු’ වෙන්නට පෙර ‘ජෑම්’ හරි ‘හෝර්ලික්ස්’ හරි බෝතලය. මගේ අම්මෝ, ඒ දවස්වල එහෙම බෝතලයක් වුණත් ‘නිකිණි’ තරමටම හොයාගන්න අමාරුය.

ඔහොම පෙරුම් පුරලා, නහයෙන් අඬලා කාගෙන් හරි ඉල්ලාගන්නා වීදුරු බෝතලයකට දාගන්නට ‘සාරි ගප්පි’ හෙවිල්ල ඊළඟටය. උනුයි, මාළු ගස් දෙක තුනකුයි එකලස් කර ගත්තාම එයා මාළු ටැංකියක් නෙවෙයි, මින් මැදුරකම අයිතිකාරයෙක් වගෙය!

අපේ ගෙදරදී නම් එහෙම ‘ටැංකියක’ ජීවිතාන්තය දක්වා හිර අඩස්සියට වැටෙන මාළු හැබෑම වාසනාවන්තයෝ වූහ. පුළු-පුළුවන් හැම වෙලේම උන්ට මොනවා හෝ කෑම වැටෙයි. 
එව්වා ලොකු පරාසයක විහිදුනු ඒවාය. බත්, පාන්, රොටී වගේ ජාතිත්- අල, බතල, කොස්, දෙල්, මයියොක්කා වගේ ජාතිත්- මදුරු පණුවෝ, ගැඩවිල්ලු වගේ සතුනුත්. 
ලැයිස්තුව කියවන විට රඟේ තේරෙනවා ඇති නේද?

මාළු වාසනාවන්තය කිව්වේ, ඔහොම වැඩි දවසක් අධිපෝෂණය ලබන්නට උන්ට ඉඩක් නොලැබෙන නිසාය. කෑම වැඩිවෙන තරමට බෝතලයේ ඇති වතුර ටික පල්වෙන වේගයත් වැඩිවෙයි. එතකොට වතුර මාරු කරන්නට ඕනෑය. ඉතින් සමහර දවසක ටැංකි අයිතිකාරයා ඉස්කෝලේ ඉඳලා ගෙදර එන ඩිංගට මාළු සේරම කතාවෙලා, 
සමූහ වශයෙන්ම සියදිවි හානි කරගෙනත් අහවරය!

සාරි ගප්පි ටිකක් හොයා ගන්න බැරි නං ..............
අනෙක, තියෙන චූටි-ඇබින්දන් ඉඩ-කඩේවත් අසරණ මාළුන්ට නිදහසේ පීනන්නට හම්බ වෙන්නේ නැත. උන් පීනන්න ඕනා අපට ඕනෑ පැත්තටය. අපට පේන්නය. 
කන්න විතරක් නොවේ, බෙටි හළන්න වුණත් උන්ට නිදහසක් නැතිවා වගේය. 
මාළු කෑල්ලට (එහෙම කියන්නේ මාළුවා කියන එකේ ස්ත්‍රී ලිංගික පදය ඒක නිසාය) පැටව් ලැබෙන්න ඉන්නවා නම් තත්ත්වය තවත් දරුණුය. 
අපට හොරෙන් නම් බණ්ඩිය ලොකු වෙනවා බොරුය. 

එංගලන්තයට ගියාට පස්සේ ලීලා ෆෙඩ්‍රික් ශ්රෝඩාර් වුණු රහුබැද්දේ විදානේලාගේ ලීලාවතීගේ මව්තුමී; අපේ බදුල්ලේ ආච්චී ගමේ වින්නඹුවගේ රාජකාරියත් කළ බව මා කලින් කියා ඇත. ඒ එක්කම ඇය ගෙඩි වෙදකමටත් නම් දරා උන්නාය. 
මං අම්මාගේ කුසට එනවාත් එක්කම, තව ඩිංගෙන් මාවත් ගස්සලා යවන්නට ඇය සූජානම්වූ විදිය ‘ගස්සලා යවමුද?’ පෝස්ටුවලදී කිව්වෙමි.

බදුල්ලේ ආච්චී අයිති වෙන්නේ හොඳටෝම ඈත අතීත කාලයටය. 

එයාලගෙ කාලයේ ගම්වල ‘ඔපරේසන් ආම්පන්න’ තිබුණේ නැත. දරුවෙකු බිභි කරද්දී පෙකණිවැල කැපුවාය කියන්නෙත් වේවැලක් දෙකට පළලා අරන්ය. 
බදුල්ලෙ ආච්චී ගුරු මුෂ්ටි තියාගන්නේ නැතිවම අපේ අම්මාට ශිල්ප දෙන්නට හැදුවත් හරි ගියේ නැහැල්ලු. ආච්චිගේ පරම්පරාවෙන් ආ ශාස්ත්‍රය ආච්චිත් එක්කම අඩි හයක් යටට ගියේය! එහෙම වුණත්, ඒ ජාන අපටත් ඇවිත් තිබුණු නිසාදෝ පැටව් ලැබෙන්නට හිටි මාළු වැඩි දෙනෙක් මිය-පරලොව වැඩියේ අපේ අතින් බඩ මිරිකිලාය!

බදුල්ලේ ආච්චී මේ මිත්තණියට වඩා පිරිපුන්ය.
අනේ, අපෙන් කවුරුන්වත් එහෙම කළේ අහිතකින් නෙවේය; පරාණගාත අකුසලයක් කරන්නත් නෙවේ. පැටවුන් දැකගන්නට තිබුණු හදිස්සිය හින්දාය. 
‘ඉක්මන් කොටයි’ ආප්තෝපදේශය එතකොට අප නොදන්නා එකක් වෙන්නට ඇති. 
ඉතින් හදිස්සිය හිංදා බෝතලයේ මාළු හිඳුණාමත් අපට උත්තරයක් කිට්ටුවෙන්ම හම්බ වුණේය. තිත්තකඩයි!

අපේ ගෙදර තිබුණේ ලොකු වත්තක පහළම කෙළවරේය. ඊට පහළින් කොටුවේ ආච්චිගේ ඕවිටය.

කොරටුවේ වැඩවලට උදව් වෙන හිලව්වට, මුකුණුවැන්න ටික එකතු කරගන්නට මට ඉඩ දුන්නේ මේ කොටුවේ ආච්චිය. යකා වගේ උදැල්ලෙන් කොටුවේ බිම පෙරළන අතරේ ඩීමන් ආනන්ද ගැන මට කිව්වේ මේ කොටුවේ ආච්චිගේ පුත්තරයා චන්ද්‍රසේන මාමාය. 
මාර දිව්‍ය පුත්‍රයා වගේ මං ‘මීන සංහාරය’ කළේ මේ ඕවිටේය. 
පංච තන්තරේ මුල්ම පෝස්ටුවලදී මේවා ගැන මං කිව්වා මතකද? 

‘මඩ ගොහොරුවක පචවී’ පෝස්ටුවෙදී කී පරිදි mpm මාමා මහ වැස්සේ තෙමෙමින්, එළව-එළවා දුවමින්, බිරින්දෑට ඉණේ බඳින පටියෙන් තැළුවේ මේ ඕවිටට එපිටින් තිබුණු වෙල් යායේ මහ නියර දිගේය.

ඔන්න පින්තූරය completeය. අපේ වත්ත, පහළින් ඕවිට. ඊටත් එපිටින් වෙල. වෙල් යායේ මහ නියරත් ඕවිටත් අතරින් ගැලුවේ පුංචි දිය පාරකි. බඩදරු සාරි ගප්පි අම්මලා ‘නික්මන් ගමන්’ ගියාම ඒ තැන පුරවන්නට ආ තිත්තකඩයි හිටියේ අර දිය පාරේය. 
හැබැයි උන් සාරි ගප්පි විතර හැඩ නැත.

අපේ වත්ත පහළින් ඕවිටය. ඊටත් එපිටින්.....
මේ ටික කොටන්නේ උඩින් තියෙන හරිය කොටලා සෑහෙන වෙලාවකට පස්සෙය. හිතේ ඇනුණු හීනි කටුවක් තවමත් මගේ හදවත පාරයි! ‘ගප්පි’.

දැන් මා පෝස්ටු සීයකටත් වඩා ලියා ඇතත් තවම මගේ ජීවිත කතාවෙන් බිඳුවකි ලියැවී තිබෙන්නේ. අපේ අකුරුවලට වැඩියෙන් චිත්‍රපටයකට ලොකු බලයක් තිබෙයි. 
මනාව ගෙතූ කතාවක් මැනැවින් රූපවලට නඟා, සංගීතය එක්ක මුහු කර නිපදවෙන 
චලන චිත්‍රයකට ඇති බලය!

සේරම වැඩ නවත්තා මං ආයෙමත් ‘ගප්පි’ ෆිල්ම් එක උඩින්-පල්ලෙන් දිවෙව්වේ කඳුළු මැද්දෙනි. ගප්පිගේ ජීවිතයත් මට අපේ අතීතය සිහි කරවයි!

අද හෙටම මුහුදට හෝදාගෙන යන දිළිඳු ධීවර ගමක ඉන්නා අම්මෙක්. ඇය අබ්බගාතය; රෝද පුටුවකට සින්න වෙලාය. (දෙපා අහිමි අපේ තාත්තාට රෝද පුටුවක්වත් තිබුණේ  නැත!) ඇගේ සේරම කටයුතු කිරීම පැටවී තියෙන්නේ ගැටවර පුතාටය. 
අම්මාටත්, ගප්පින්ටත් මැදිවී ඉන්නා ඌ යකාගේ කොල්ලෙකි. 
නොදන්නා මඟුලක්, නොකරන මඟුලක් නැත. ඒ සේරම කරන්නේ ජීවත් වෙන්නය. 
උගේ එකම හීනය අම්මාට හොඳ රෝද පුටුවක් අරන් දෙන එකය. (අපේ ගෙදර නම් කාටවත් එහෙම හීනයක් තිබුණේ නැත. අඩුම තරමින් තාත්තාටවත්. මං ඒ කාලේ රෝද පුටුවක් දැකලාවත් තිබ්බේ නැත.)

මේ සේරමලාම ඇත්තටම මිහිපිට කොහේ හෝ හුස්ම ගන්නා.........

මේ පුත්තරයා 100%ක් ආදර්ශවත්; පින්වත් පුතෙක් නෙවේ. මහ පොළොවේ ඉන්නා පුතෙකි. මුඩුක්කුවල සිටින අනෙක් ගැටවරයන් එක්ක හිඳියි, හුස්ම ගනියි, දහම්ගැට ගහයි. 
මුස්ලිම් යව්වනියකගේ පස්සෙන් යයි! 
ගමේ කොල්ලන් එක්ක කෙල්ල දිනාගන්නට තරග කරයි. 
ඒත් කොල්ලන්ට කෙල්ලගේ හෙවණැල්ලවත් දකින්න වෙන්නේ එහෙමත් වෙලාවකය. 
ඒ අයගේ සීයා ඇයව 'මැණිකක් රකිනා නා රජිඳෙකුසේ රකිනා' තරම නිසාය.

මේ මැද්දට ජරාජීර්ණ දේශපාලකයොත්, කන්තෝරුකාරයොත්, සඳලුතලේක වැජඹෙන ඉන්ජිනේරුවෙකුත්..... ඒ අතරේ ගමට කොහෙත්ම පලක් නැති පාලමක්! 
කොමිස් ගහන්නටම අටවාගන්නා ‘සුදු අලියෙක්’.

අරුමය මේ හැමෝම මේ මිහිතලය උඩ හුස්ම ගන්නා අපේම උදවිය වීමයි; 
අපම වීමයි! එතැන ඉන්නේ අපමය. රඟන්නේ අපමය. 
දුක-සතුට-ප්‍රීති ප්‍රමෝදය-වෛරය වගේ හැඟීම් එක්ක පැටලෙන්නේ අපමය.

ස්තුතියි ‘බයිස්කෝප් සිංහලෙන්’!

මේකත් මට හමු වුණේ ඒ සයිට් එකෙනි. ගප්පි මලයාලම් චිත්‍රපටයකි. 
මලයාලම් කියූ ගමන්ම ඉස්සර නම් මාත් ඒක බලන අදහස අත්හරිනවාය. 
කොහොම තේරුම් ගන්නද? දැන් ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියේ හමුදාවට පිං සිදුවෙන්නට, කිසිම වියදමක් නැතිව අපට ‘උපසිරසි’ ලබාගන්නට ඉඩ තිබේ. ‘ඩේටා’ ටිකක් පිච්චෙනවා විතරය. 

මේ සලරුවට සිංහලෙන් උපසිරැසි සපයා තියෙන්නේ ‘සොනාලි තාරිකා’ය.

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසිකාර සේනාවට පිං සිදුවෙන්නට දැන් අප කාටත්......
මං සැවුළු සංහාරයක් ගැන කියන්නට ඇවිත් මෙච්චෙල්ලාම කිව්වේ මාළු ගැනය. 
එහෙම කියන්නට වුණේ අපේ අජිත් මල්ලී නිසාය. සතුන් ඇති කිරීමේ expert මිනිහාය.
‘කාෆ් හෝ ගෝල්ඩ් ෆිෂ් හෝ පැටවුන් දැඩි කරගන්නට තැම්බූ බිත්තර කහමද ටැංකියේ වතුරට දිය කළ යුතුය’ වැනි ගුරු මුෂ්ටි හොයාගෙන එන්නට දක්ෂයා වුණේ අජිත්ය.

පොල් ගස්වල සිට තුන්ඉරි අප්පුලාගේ පැටවුන් බිමට වැටුණේ හරියටම අජිත් මල්ලී එතැනින් යන නැකත අල්ලලා වගේය. අඹ ගහේ හිටි ගිරා පැටියනුත් එහෙමය. 
බිමට වැටෙනවා නම් ඒ අජිත් මල්ලීව හොයාගෙනමය. ඒ මදිවාට අජිත්ගේ 'සත්ව වාසනාව' කුකුළොන්ටත් බෝ වෙලාය. මිනිහගෙ අතින් බිත්තර රක්කවන්න ගියාම නරක් වෙන්නෙත් නැතිම තරම්ය. නරක් වුණත් එක බිත්තරයක් විතරය.

ඔයින්-මෙයින් අපේ ගෙදර සතුන් ඇති කරන්නා බවට අජිත් මල්ලී පත් වුණේ නිතරගයෙනි.

තරහ අවසර! මේ තවත් පීලි පැනීමකි. 
අජිත් මල්ලී ඉපදෙන්නටත් කලින්, ඉස්-ඉස්සෙල්ලාම අපේ ගෙදර කුකුළු රංචුවක් හැදුවේ අපේ අම්මාය. එතකොට අපෙන් වැඩිදෙනා පුංචිය. 
කිකිළියක් බිත්තර රැක්කාට පස්සේ බිත්තරවලින් එන පැටවුන් බලන්න ලස්සනය, 
බෝල ගෙඩි වගේය, කඩිසර මෙන්ම හුරතල්ය. උන් පිරිවරාගෙන මහ කිකිළිය වත්ත පුරා සැරි සරන්නේ හරිම ආඩම්බරයෙනි. පොළොව පහුරුගාලා පැටවුන්ට කෑම හොයා දෙන්නේ පුදුම කැසිල්ලකින් දැවෙමිනි.

ඇගෙන් ඈතට යන පැටියෙක් දෙන්නෙක් මාන බලාගෙන ඉන්නා කපුටෙකුට ගොදුරක් වෙයි. ඒකටත් අපේ අම්මා පහසු විසඳුමක් හොයා ගත්තාය.

“මේ සුදු පැටව් දෙන්නා සුනිල්ට. කළු වයිරම් දෙන්නා නෝනාට. අනිල්ට මේ දුඹුරු පාට දෙන්නා.....” අම්මා ඔය විදියට අපට අයිතිය පවරයි.

අපේ ආණ්ඩු වගේය. අර භූමි, මේ භූමි කිය-කියා ඉඩම්වල භුක්තිය පැවරුවත් ඔප්පු-තිරප්පු දෙන්නේ නැත. ඒවා දෙන්නේ පස්සෙන් පහුය. අපේ අම්මා ඊටත් එහාය. 
අපට කුකුළු පැටවුන් පවරන්නේ උන්ව ආරක්ෂා කරවා ගන්නටය. උන් ලොකු මහත් වුණාම විකිණීමේ අයිතිය අම්මාටය. බිත්තරවල අයිතියත් අම්මාටය. 
බලාගෙන යද්දී අපේ අම්මාත් හොඳ නුවණක්කාරියක් නේද?

බෝල ගෙඩි වගේ කුකුළු පැටවුන් අපට බෙදා වෙන්කරන අම්මාත් අපේ ආණ්ඩු වගේ .............
කොයි කාලයේ වුණාද මතක නැතත් අන්තිමේදී අජිත්ට සතුන් රාජකාරිය පැවරුණේ සියලු හිමිකම් සහිතවය. මිනිහා කුකුළන් විතරක් නොවේ ඇති කළේ. 
කළුකුමාලා, ගිනිකුකුල්ලු හා තාරාවෝත් අපේ වත්තේ හිටියෝය.

පුෂ්පා රංජනී දිසානායක මෙනෙවිය අවුරුදු 23 දී ‘ග්‍රැමක්සෝන්’ පානය කර 
සිය දිවි නසා ගත්තේ ඔය කාලයේය!

ඒ අපේ ලොකු නංගීය. තවම මං ඇය ගැන කියා ඇත්තේ බොහොම චුට්ටකි. 
ඒකත් ‘අඟුල්මල් දහනය’ පෝස්ටුවේදීය. ඇත්තම කීවොත් තවමත් මගේ හිතේ; දෙනෙතේ ‘නෝනා’ ඉඳියි. ඉතින් කොහොමද එයා ගැන කියන්නේ, දෑසට කඳුළු උනද්දී?

නෝනා ළඟට අපේ පවුලේ ඉන්නා ගැහැනු ළමයා මානෙල්ය. ඉන්ද්‍රානි මානෙල්ය. 
එයාව ලැබෙන්නට අම්මාව රෝහල්ගත කළේ මාය. 
මානෙල්ටත් එයාගෙන් පස්සේ උපන් නංගිලා, මල්ලිලා හතර දෙනාටමත් නම් දැම්මේ මාය. ඔවුන් බිහි කිරීම සඳහා අම්මාව රෝහල්ගත කළෙත් මාය. 
අපේ පීතෘ රත්නය ඒ දරුවන් ජාතක කිරීමේ මෙහෙවර ඉටු කර, කල්-යල් බලලා වගේ රෝහල්ගත වුණු බව මුල් පෝස්ටුවලදී මා කියූ බව මතකය. 
ඒ නිසා ඒ විස්තර ආයෙත් කියන්න ඕනේ නැහැනේ.

නෝනා හෙවත් පුෂ්පා රංජනී හෙවත් අපේ ලොකු නංගි.............
ලොකු නංගි මිය යන විට මානෙල්ට වයස අවුරුදු 17 කි. 
එතකොට අපේ අම්මා එංගලන්තයට සංක්‍රමණයවී වසර 5 කි. 
චූටි නංගී; දීපානිට යාන්තම් අවුරුදු 9 කි. 
අම්මා රට යද්දී චූටි නංගිට අවුරුදු හතර වේගෙන එනවා විතරය.

“අයියේ, මොකද කරන්නේ? ඔයාගෙන් අකැමැත්තක් නැති නම් මං මල්ලිකාව කසාද බැඳලා මෙහාට කැන්දන් එන්නම්. දැන්  අපේ ගෙදරට ටිකක් හරි මෝරපු ගෑනු කෙනෙක් ඕනේ නේද?” සුනිල් ඇහුවේය. එතකොටත් සුනිල් මල්ලී බයිසිකල් රේස් පදින්නට ගිහින්, තවත් රේස්කාරයෙකුවූ චන්දරේ හා මිතුරුවී; ඊටත් වඩා චන්දරේගේ නංගී එක්කත් මිත්තරකම් ඇති කරගෙනය. 
මල්ලිකා ගල්හේන මෙනෙවියත් ඒ දිනවල සයිකල් රේස් පදින්නියකි. සුනිල් ප්‍රැක්ටිස් කළේ චන්දරේ, මල්ලිකා, මහතුන් හා රංජි එක්කලාය. 
මල්ලිකා එක්කලා වෙනමමත් ප්‍රැක්ටිස් කරන්නට ඇත්තේ තව දේවල්ය!

“හැබැයි අයියේ, තවම මල්ලිකා උයන්න නම් දන්නේ නැහැ. ඔයාටම තමයි කියලා දෙන්න වෙන්නේ. එයා දන්නෙ පරිප්පුවක් උයාගන්න විතරයි!”
“ඒකට නම් මොකද වෙන්නේ. මානෙල්නෙ නෝනා ඉඳිද්දීත් වැඩි හරියක් ඉව්වේ.” 
මගේ කැමැත්ත ලැබුණු නිසා සුනිල්ගේ කසාදය ඉක්මනින්ම කෙරිණි. 
ලොකු නංගිගේ මරණය වුණු අල්ල-පනල්ලේ හිංදා ලොකුවට මඟුලක් කෙරුණේත්  නැත.

ලොකු නංගිගේ මරණය වුණු අලුත නිසා ලොකුවට මඟුලක් කෙරුණේ..........
ඒ දවස්වල උඩහ ගෙදරට ඇවිත් හිටියේ ඊවා අක්කලාය. ඇයත්, ඇගේ සැමියා නන්දෙ අයියාත්, එකම දියණිය බේබිත් පමණි ඒ ගෙදර හිටියේ.

ඊට කලින් ඒ නිවස කුලියට ගෙන හිටියේ ‘ගජං ළමයා’; රොඩ්නි ප්‍රේෂර්ගෙ පවුලේ උදවියයි. එතකොට රොඩ්නි ඉලන්දාරියෙකුවත් නොවේ; කොලු ගැටයෙකි. අක්කා ෂර්ලිත්, ඇලන්- කොන්ඩ්රඩ් අයියලාත් නම් ලොකුය. ඩීඩා, ඩෝන් දෙන්නා හුරතල් කෙළි පැංචියන්ය! මතක නැත්තේ රොඩ්නිලගෙ ලොකුම අයියාගේ නමයි.

“නිමල් මල්ලී, මෙහෙම කොහොමද ඔයා සේරම කරගන්නේ? බතික් වැඩපොළේ වැඩයි, නංගිලා මල්ලිලාගේ වැඩයි සේරම?” ඊවා අක්කා දවසක් දිග කතාවකට හරි-බරි ගැහුණේ එහෙමය!

ඊවා අක්කාගේ කතාව ඊළඟ කොටසේදී කියවමු! හොඳේ.   

4 comments:

  1. මාළු වගේම කුකුළො හැදීමත් අපේ ගෙදර උනා .. කුකුළො හත් අටසීයක කුකුල් කොටුවක් තාත්ත කරා බිස්නස් එකක් විදිහට. පුත්තරය මාළු හැදුව ටැංකි කිහිපෙකම ... අන්තිමට දෙන්නටම ඔය කරුමන්ත දෙක එපා වෙලා අත ඇරල දැම්ම :-D

    අර මළබාරි ෆිල්ම් මතක් කරනකොටත් ගඟේ මාළු ඇඟේ නටනව ... මම මැදපෙරදිග ඇවිල්ල ඔයින් එවුන් 6-7ක් එක්ක අවුරුද්දක් හිටිය, උං බහුතරය එපා කරපු එවුන් !!!

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, ඔයත් හරියට වෙලේ ගොයම් මුවෝ කෑවාම ගෙදර තියෙන මුව හැමට තඩි බාපු මනුස්සයා වගෙයිනෙ. මැදපෙරදිගදී නසරානි ටිකක් හම්බවුනාට ඒ ජාතියේ ෆිල්ම්ස්තුත් එපා වෙනවද> ගප්පි ඉතාම මනරම් ෆිලුමක්!

      Delete
    2. මේ කියන්නෙ 2-3 දෙනෙක් ගැන නෙමෙයි මෙහේ පඳුරකට චූ කරන්නවත් බෑ මළබාරියෙක්ට වදින්නෙ නැතිව :-D

      Delete
    3. එහෙම වුණත් කියන්නේ කණ්ඩා, හැකි නම් ෆිලුම බලන්න!

      Delete