අකුරු මැකී නෑ

Wednesday, February 27, 2019

සැවුළු සංහාරය - හත්වෙනි කොටස

අපේ පුණ්‍යවන්තයන් හැමෝම ආමිස පූජාවලට මනාප තරමින් බාගයක්වත් ප්‍රතිපත්ති පූජාවලටත් කැමැතියි නම් සිරි ලංකාව ඇත්තටම ‘සිරියාවන්ත’ වේවි නේද? 
ඉතින්........... අපේ මානෙල් නංගිත් සිරියාවන්ත මනාලියෙක් වෙන දවස ඔන්න-මෙන්න ආවයි කියමුකො!

ඉන්ද්‍රානි මානෙල් දිසානායක මනාලියක වූ දවසේ............
“අනේ ලොකු මල්ලී. ඔයා මට ලොකු උදව්වක් කරන්න ඕනේ.” මංගල්ලය ඔන්න-මෙන්න කියා තියෙද්දී රෝහිණී අක්කා කිව්වාය. මොකක් හරි ජංජාලයක්ද කියලා නම් ඒ වෙලාවේ නම් මට බයත් හිතිණි. තක්බීර් වී හිටි මගේ ඒ බය නැතිව ගියේ රෝහිණී අක්කා ඊළඟ ටිකත් කිව්වාට පස්සෙය. 

“මේකයි මල්ලී, දැන් මංගල්ලෙට බදුල්ලෙන් හෙමත් කට්ටිය එනවනේ. 
ඉතින් ඔයාලගේ අම්මලයි, ආච්චිලයි, නෑදෑයෝයි සේරමලා මඟුල් දවසට ඉස්සෙල්ල දවසේ රෑ අපේ ගෙදරට කඩාගෙන වැටුණොත් නම් මට උයන-පිහන වැඩ ටික නිදහසේ කරගන්න බැරි වෙනවා ෂුවර්. ඒවා පැත්තක තියෙද්දී එයාලා අහන ඒවාට උත්තර දිදී ඉන්න වෙයි. 
මට වැඩිය හොඳින් ලොකු මල්ලි දන්නවනේ අම්මලාගේ විදිය!” 

රෝහිණී අක්කා හුඟාක් දුරට හිතා බලලාය. අපේ අම්මාව විතරක් වුණත් ආම්බාන් කෙරිල්ල කෙනෙකුට ලෙහෙසි නැත.

කිඹුලා කට ඇරියාම උගෙ ඇස්දෙක නිකම්ම වැහෙනවාලු. 

අම්මාටත් එහෙමය. කට ඇරියාම වටේ-පිටේ වෙන දේවල් මොකුත්ම පෙනෙන්නේ නැත; දැනෙන්නේ නැත. ඉතින් වයින් කරපු බෝනික්කෙකු වගේ දිගටම කියවාගෙන යයි; ප්‍රශ්න අහයි; උත්තර දුන්නත් නැතත් අපේ අම්මාට ඒකේ වගක් නැත. 
හැබැයි හූමිටි තියන්නත් ඕනෑමය. ඒකත් කළයි කියමුකෝ! උහුලන්නට බැරි, එහෙම කෙරිල්ලටත් වැඩියෙන් භයානක පැත්තකුත් තිබෙන එකය!

හායි ගාලා කට ඇරියාම කිඹුලාගේ ඇස්දෙක වැහෙනවාලු!
දැන් අවුරුදු කිහිපයක ඉඳලාම අපේ අම්මා මාස තුන හතරකට වතාවක් ලංකාවට එයි. වාසනාව ඒ එක ගමනකදීවත් ඇය මාසයකට වඩා කාලයක් මෙරටේ නොයින්න එකය. 
එහෙම ඉන්නවා නම් එයාට අමතර වියදමක් දරන්නට වෙයි. 

හිරු නොබසින අධිරාජ්‍යයේ එලිසබෙත් අධිරාජිනියට තව-තවත් දීර්ඝායුෂ, වස්තුව-වලඳුව ලැබෙන්නට ඕනෑය! 

එංගලන්තයේ උදවියට මාසෙකට වඩා ලංකාවේ ඉන්න ඕනේ නම් මුදල් ගෙවා වීසා දිගු කරගන්නට ඕනය. ඒ නීතිය පැනෙව්වේ රැජිනය කියලා හිතාගෙනය මං ඇයට ආසිරි පතන්නේ. අපේ අම්මාට අලියා ගන්නට සල්ලි තිබේ. හෙණ්ඩුව ගන්නට සල්ලි නැත. ඒ හින්දා වීසා දිගු කරගන්නේ නැත. යයි. ගිහින් මාස තුනක් යන්නට කලින් ආපහු එයි.

හැබැයි, කොච්චර කාලයක් හෙණ්ඩුව අතේම තිබුණත් වැඩක් නොවෙන වෙලාවලුත් ඇත. එහෙම වෙන්නේ වැරැදි එක්කෙනාගේ අතේ හෙණ්ඩුව තියෙනවා නම්ය. එතකොට ඉතින් අලිත් කැලේමය.

ඉතින් අම්මා ලංකාවේ ඉන්න ඒ එකම එක මාසය හොඳටෝම ප්‍රමාණවත්ය; විසඳන්නට මාස ගණනක් ඕනෑ කරන ජාතියේ ප්‍රශ්න ටිකක් ඇති කරලා යන්නට. 

අලි ගන්නට සල්ලි ඇතත් අපේ අම්මාට හෙණ්ඩුවක් ගන්නට නම්......
( මේ ඡායාරූපය චලන තෙන්නකෝන්ගේ මුහුණු පොතෙන් ලබා ගත්තෙමි.) 
ඔන්න අම්මා ලංකාවට ආවාම සුනිල්ලාගේ ගෙදරට යයි. සුමානයක් හමාරක් එහෙ ඉඳියි. එහෙම ඉන්න අතරේ සුනිල්ගේ ගැන වැරැදි මල්ලිකාට කියයි. 

මල්ලිකා ඒවාට පොහොර නොදැම්මත් කමක් නැත. අහගෙන හිටියාම, හූමිටි තිබ්බාම ඇතිය. “සුනිල්ට හරියට කේන්ති යනවා නේද? ටිකක් බීගත්තාම මහා නරක විදියටනේ ඔයාගේ ඇඟට කඩා පනින්නේ!” වැනි කතන්දරයක්ය; අම්මා කියන්නේ. 

“හ්ම්!” මල්ලිකා කිව්වේ එච්චරය!

ඒ ටික හොඳටෝම ඇතිය. මල්ලිකා නාගන්නට යන වෙලාවත් ගින්නක් අවුළුවන්නට අපේ අම්මාට හොඳටම ඇතිය. එයා සුනිල්ට කිට්ටු  කරයි. කතාවට අල්ලා ගනියි. 
“ඈ සුනිල්. මල්ලිකා හරි නරකයිනේ!” 

සුනිලුත් ලණුව ගිළියි. “ඇයි අම්මේ?”

“එයාට වටින්නේ නැහැනේ ඔයා බීගෙන නරක විදියට කතා කරනවා කියලා මගෙත් එක්ක දොස් කියන්න. මිනිහෙක් වුණාම ඉඳහිටලා ටිකක් බිව්වට මොකද වෙන්නේ. ඕක ගණන් ගන්න දෙයක්යැ? මොකෝ ඔයා කන්න-අඳින්න දීමේ අඩුවක් කරනවය?” 

අම්මා ඔහොම කතාවලින් විෂබීජ වපුරලා එංගලන්තයට යයි. 

ඉතින් අර දෙන්න-දෙමාල්ලෝ මාසයක් දෙකක් යනතුරු කෝන්තර හගිස්සා ගනිමින් රණ්ඩු ගොඩකය. ඔය ටික වෙන්නේ සුනිල්ලගේ ගෙදර ඇතුළේ විතරක් නොවේ. අසල්වාසීන් එක්ක වුණත් එහෙමමය. ටිකෙන්-ටික අම්මාගේ අසනීපය තේරුම් ගියාට පස්සේ දැන් අපේ කාගෙනුත් අම්මාට තහංචියකි. අපෙන් කාගේ ගෙදරක හිටියත් වට-පිටාවේ ගෙවල්වලට යාම තහනම්ය; අපේ අසල්වාසීන් එක්ක ඇයි-හොඳයිකම් පැවැත්තීම තහනම්ය.

කැලය මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ.............
කැලය මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත! රෝහිණී අක්කා වැඩියත්ම බයෙන් උන්නේ ඒ ගැනය!!

ආයෙමත් මඟුල් ගෙදර පැත්තට යන්න කලින් අපේ අම්මාට සාධාරණය ඉෂ්ට කරලා ඉන්නත් ඕනෙය. එයා මොන කයි-කතන්දර කිව්වත් ඒවා කියන්නේ කවුරුන්ව හෝ කොටවන්නට නොවේ. කතා කරන්න දේවල්; තලු මරන්නට දේවල් ඕනෑ හින්දා වගෙය. 
පොතක් පත්තරයක් නොකියවන; චිත්‍රපටයක් නාට්‍යයක් ගීතයක් රස විඳින්නට නොදන්නා, ඒත් කතාවට කැමැති එහෙම කෙනෙකුට ඉතිරිව ඇත්තේ ‘කුණු රෙදි හේදීමේ’ විනෝදාංශය විතරයි නේද? 

රෝහිණී අක්කා මට කිව්වේ කරන්නට බැරි දෙයක් නොවේ. 
“ඔන්න අම්මලා ආච්චිලා පුංචිලා කාටවත් මඟුල් දවසේ උදේට මිසක් රෝහිණී අක්කලාගේ ගෙදරට යන්න බැහැ. සේරමලා අපේ ගෙදරදීම ලැහැස්ති වෙලා ඉවර වෙන්න ඕනේ. මං වෑන් එකක් සූදානං කරවන්නම් ඔයාලව එහාට එක්කරන් යන්න!” 
මම පූර්ව නිවේදනය නිකුත් කළෙමි. 

මානෙල් නංගිව විතරක් රෝහිණී අක්කලාගේ ගෙදරදීම මනාලියට අන්දවන්නට පිළියෙළ කෙරිණි. දැන් කාලේ වගේ නොවේ. කවුදෝ පුංචි කෙනෙකුය ඇන්දවීම බාරගෙන තිබුණේ. දැන් එහෙමද? preshoot එහෙමත් තියනවානේ. අන්දවන්නත් ලක්ෂ ගණනකි. 

මෑත දිනයකදී අචිනි-එරාන් දෙන්නාගේ මංගල්ලයේ ප්‍රී ෂූට් එකේ foto කිහිපයක් දකින්නට ලැබිණි. හැබෑම ලස්සනය. එරාන් සම්පතුත් සේවය කරන්නේ ‘ලදුදෙ’ නිසා ප්‍රී ෂූට් එක කරලා තිබ්බෙත් ස්ටේෂමක්, රේල් පාරවල්, බිංගෙවල් එහෙම අහුවෙන විදියටය. 
ආරාධනා පත්තර ගහලා තිබුණෙත් කෝච්චි ටිකට් විදිහටලු! 
හනිමූන් එක තිබුණෙත් ‘පට කුඩ දෙක-දෙක’ වෙන්නට ඇතිවය.

එරාන් සම්පතුත් සේවය කරන්නේ 'ලදුදෙ'ම හින්දා...........
සැවුළු සංහාරය කරන්නට වුණේ මඟුලට කලින් දවසේය. එතැනදීත් අනුගමනය කෙරුණේ ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන තියරි එකමය. “බදුල්ලෙන් කට්ටිය එන්න ඉස්සෙල්ලා කුකුළො ටික මරලා සුද්ද කරලා ඉවර කළා නම් හොඳයි නේද?” 

කරන්නට හොඳය. පෙනෙන්නට නරකය! ඒත් මේ ඒවාට එරෙහිව රණ්ඩු කරන්නට වෙලාව නෙවෙයිනේ. මම කට පියාගෙන හිටියෙමි.

“මල්ලා, තමුසේ එහෙනම් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගහලා එක ගොඩකට දානවා!” 

ආයුක්ෂයවී සිටි අවාසනාවන්ත සැවුළන් මරන්නට තෝරා දුන්නේ අජිත් මල්ලීය. ඒ ගොඩටම නාකි කළුකුම්ලා දෙතුන්-දෙනාත් අයිති වුණේය. උන්ගේ කකුල් ගැට ගහන්නට ඕනෑවූ ලණු කැරලි ගෙනාවේ අපේ සීයාය.

අනේ අජිතෝ, අනේ සීයේ. ඔයාලා දෙන්නාමත් නොදැන හරි එදා, ඒ ප්‍රාණඝාත අකුසලයේ කොටහකට කර ගහලාය. බණේ කියවෙන හැටියට නම් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නට  කරුණු පහක් සපිරෙන්නට ඕනෑය. 

   1. පණ ඇති සතෙකු වීම
   2. පණ ඇති සතෙකු බව දැනගැනීම
   3. වධක චිත්තය හෙවත් මැරීමේ චේතනාව
   4. මැරීම සඳහා යම්කිසි උපක්‍රමයක් යෙදීම
   5. එම සත්ත්වයා එයින් මරණයට පත් වීම, ඒ කාරණා පහය! මං කරන්නේ තොරතුරු සම්පාදනය විතරය. තීරණය ගත යුත්තේ බුද්ධිමත් රසිකයන් විසිනි.
පරපණ නැසීමේ අකුසලය කොහොම-කොහොම බෙදෙන්නට ඇතිද?

සැවුළු සංහාරයේ පාපය බෙදෙන්නට ඇත්තේ කවුරු-කවුරුන් ................. 
මගේ හැඟීමත් දැනීමත් අනුව නම්, එදා අපේ ගෙදර හැමෝම එක-එක මට්ටමෙන් ඒ පවට කර ගැසුවෝය! 

මේවා තේරෙන වයසක නොහිටි අපේ මැරෑටියා; බඩා මල්ලා; දීපාල් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගැහුවේ සෙල්ලමකට අරගෙනය. ඒ වැඩේ සෑහෙන්නට කෙරුණාට පස්සේ මම වධක රාජකාරිය කරන්නට පටන් ගත්තෙමි. 

මං හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි. 

මගේ අම්මෝ! ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය. බෙල්ල කපලා, කඳ කොටස උස බැරල් එකට දැම්මාට පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට පස්සෙය!!! මට හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!! 

වතාවක් අපි නකල්ස් කිට්ටුව නිවාඩු නිකේතනයකට ගියෙමු. අපේ යහළුවන් ගොඩකට මාළු, කරවල, සැමන් තිබුණාට මදිය. චිකනුත් නැතිනම් හරි නැත. කට්ටියක් ගියෝය; කුකුළු මස් හොයන්නට. පැය දෙකකට විතර පස්සේ එයාලා ආපහු ආවේ අප්‍රාණික කුකුළු දේහ පහ-හයක් අරගෙනය. “අපෝ..... තමුසෙලා මේ අවුරුදු දවස්වල කුකුල්ලුන්ව මැරෙව්වද?” වනිතා පාර්ශ්වයෙන් ප්‍රශ්න වැලකි.

“පිස්සුද? උන්ව මරලා හම ගහලා තිබ්බේ. විකුණන්නම ලැහැස්ති කරලා.”

උත්තර දුන් දෙන්නාගේ නම් මෙතැනදී නොකියමි. හැබැයි ඒ දෙන්නාම එවෙලේ ‘මුසාවාදා’ අකුසලයත් කරගත්හ. ඒත් එයාලා අතින් සිද්දවුණේ ‘අල්ප සාවද්‍ය’ අකුසලයක් විතරක් වෙන්නට ඇතිය. කාවවත් රැවටීමේ චේතනාවක් එයාලාට තිබ්බේ නැත. එයාලා කාටත් තිබුණේ යහපතක් කරන චේතනාවකි.

'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි' පාඨයෙන් කියන විදිහට නම් එයාලගෙ චේතනාව..........
අප වෙනුවෙන්ම ඒ කුකුළන් දොරත්, උළුවස්සටත් අතර හීනි හිඩැසට බෙලි හිර කරගෙන පරලෝ සැපත් වුණු බව කිව්වා නම් අපේ බවලත් උදවියගෙන් වැඩිදෙනා එදා සැවුළු මාංශය වළඳන්නේ නැත. 

බණ දන්නවය කියලා හිතාගෙන හිටියත් සමහර දෙනා මෙවැනි සිල්ලර කාරණාවන්වත් මායිම් කරන්නේ නැත! 

අපේ ආච්චිලා, අම්මලා වුණත් එහෙමය. දැන් ඔයාලගේ හිතේ වැඩියෙන්ම වැඩ කරන්නේ මගේ සැවුළු සංහාරය ගැනම නේද? Take it easy! එදින්-එදායින් පස්සේ මං එවැනි සමූහ ඝාතනයක් කරලා නැත. සමූහ තියා, තනි කුකුළු මැරිල්ලක්වත් කළේ නැත. හරියට ‘මීන සංහාරය’ කළ වතාවේ වගේමය! 

මගේ අත්දැකීම නම් එක වතාවක් හෝ වැරැද්දක් කළ පසුව යළි එවැන්නක් කිරීමට හිතක් පහළ නොවෙන බවයි. හැබැයි සේරම වැරැදි ගැන නම් ඒ නිගමනය සාධාරණ නැත. 
(මං කියන්නේ මා ගැනය.) මං තවමත් සියලු ක්ලේශයන් ප්‍රහීන කරලා නැති නිසා වෙන්නට ඇතිය. මගේ අතින් තවමත් සමහර වැරැදි- සමහර පාපයන් සිදු වෙයි. එකම හොඳේ මං එව්වා ගැන සිහියෙන් යුතු වීමය. ඒ නිසාම මං අනුන්ට අසාධාරණයක් වෙන්නට දෙන්නෙම නැත. 

ඉතින් එහෙම හිතා, පාපය විකුණන්නට බැරි නිසා මා විසින්ම මැරූ කුකුළු මස්, කළුකුම් මස් එක්ක ඉන්ද්‍රානි මානෙල් දිසානායකගේ  මංගල භෝජනය ජයට තිබුණේය. මංගල්ලයත්!

ජයපහටම මානිගේ මංගල්ලයත් කෙරුණේය!
පාපය යනු පසුතැවිල්ලේ තවත් මුහුණුවරක්ද? මට නම් එහෙමය. පනහකටත් වැඩි කුකුළන් තොගයකුත්, කළුකුම්ලා තුන්-හතර දෙනෙකුත් මැරීම ගැන නම් අදටවත් මගේ පසුතැවීමක් නැත. මං කළේ එක වරදකි. ඒකත් හිතට එකඟවය. 
මම හොඳටම දන්නෙමි. එදා ඒ සත්ත්ව ඝාතනය අනුන් ලවා කුලියට කරවා ගත්තා නම් අදටවත් මට සැනසෙන්නට බැරි වෙනවා නිසැකය. ඒක සහතිකය.  

මේ පෝස්ටු මාලාව ඉවර කරන්නට ඉස්සෙල්ලාත් පූර්වාපර සන්ධි ගැළපීමක් නොකළොත් ලොකු අඩුවකි.

කළු අක්කලා මඟුල් ගෙදරට ආවෝය. අපේ අම්මලා එයාලාව සාදරයෙන් පිළිගැනීමත් කළෝය! ඒ මදිවාට එයාලාගේ පවුලම දෙවෙනි ගමනටත් ආවෝය. 
(ඊටත් කාලයකට පස්සේ කළු අක්කාගේ දෙවෙනි දියණිය අපේ මිතුරෙකුවූ කිංස්ලි පද්මලාල් හා විවාහ වූවාය!) 

මගේ පැත්තෙන් මංගල්ලයට සහභාගී වුණේ මර්වින්, කිංස්ලි, උදේනි අල්විස්, විජිත කිත්සිරි බණ්ඩාර හතර දෙනා විතරක් වගෙය, මට මතක. ඒකත් අමුත්තන් විදියට නෙවේ. රෝහිණී අක්කලාගේ ගෙදර සරසන්නට, මඟුල් මඩු ගහන්නට, කෑම මේස බාරව කටයුතු කරන්නටය.

ඊටත් කාලයකට පස්සේ කළු අක්කාගේ දෙවෙනි දියණිය.............
ඉතින්, මේ මදැයි! එහෙනම් මගේ මේ පාපෝච්චාරණයත් කියවමින් මා දිරිගැන්නුවාට ඔයාලා හැමෝටම බොහොම පිං෴

Sunday, February 24, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස

මේ වජිරා ගැනත් කියන්න ගියොත්..... කියලා පහුගිය පෝස්ටුව නැවැත්තුවේ වජිරා චිත්‍රසේන ගැන ගොඩක් දේවල් කියන්නට ඇති නිසයි.

වජිරා රුක්මණී දමයන්තිත් ඉස්සෙල්ලාම රඟපාලා තියෙන්නේ................
දහනවවෙනි සියවසේ මුල හරිය වෙද්දී කාන්තාවන් නැටුම්-රැඟුම් වගේ දේවල්වලට ඉදිරියට ආවේ නැහැ. විශේෂයෙන් ආසියාතික රටවල. මං හිතන්නේ අපේ බලිතොවිල්, ශාන්තිකර්ම වගේ දේවල්වලදිත් පිරිමින්මනෙ කාන්තාවන්ට ඇන්දේ. පත්තිනි දෙවඟනට, සොකරිට, ලෙන්චිනාට එහෙම රඟපෑවෙම පිරිමි. ඒ පූර්වාදර්ශය බිඳින්න එඩිතර වුණු අයගෙන් පුරෝගාමිනියක් තමයි ‘වජිරා’. 

ශ්‍රී ලංකාවේ පළමුවෙනි වෘත්තීය නර්තනවේදිනිය විදියට හඳුන්වන්නේත් ‘නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මණී දමයන්ති පෙරේරා’ මහත්මියවමයි.

වජිරා යුවතියත් නමෝවිත්තියෙන් රඟපාලා තියෙන්නේ ‘විධුර’ නාට්‍යයේ. ඒ අපේ අබරන් මාස්ටර්ලගේ විධුර එකේ නම් නෙවෙයි. 1944 දී චිත්‍රසේන කලායතනයේ ‘විධුර’ එකෙයි. අපේ විධුර එකට නම් නාග කන්‍යා චරිත තිබ්බේ නැහැ. නර්තනය පෙරදැරි කරගත් චිත්‍රසේන නිෂ්පාදනයේ සමූහ නැටුම් තියෙන්නට ඇති අනිවාර්යයෙන්ම. 
ඊටත් එයාලා අපි වගේ ඇහින්දාස්ලා දාගෙන නාට්‍ය කරපු අයත් නෙවෙයිනේ.

එතකොට ලංකාවේ කලාකරුවන් අතරේ නමක් රන්දාගෙන හිටි සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, ඩබ්ලිව්.ඩී. මකුලොලුව වගේ උදවියත් ඒ කලායතනයට සම්බන්ධ වෙලා හිටියනේ.

(නිදි ඒවා ගැන කියන්න ගත්තේ පොඩි පම්පෝරි පාරකුත් ගහන්නයි. අපේ මානෙල් නංගිගේ දූ සිඟිත්ත; උපේඛා කෞෂිනී නොහොත් රෝසිත් මෑතක ටික කාලයක් ඒ කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටි නැට්ටුක්කාරියක්. (නීච කුමන්ත්‍රණේ පෝස්ටුවේදීත් ටිකක් කියවුණා.) කෙල්ල රට සවාරි එහෙමත් ගියා. කොච්චර ආසාව තිබුණත් මට කරගන්න බැරිවුණු ටිකක් ඒ කෙල්ල හරි කළානේ! 

ඊටත් වැඩියෙන් වටින්නේ ඒ ෆීල්ඩ් එක ගැන දැනගන්න ලැබුණු තොරතුරුයි. මොකද, රෝසි රාජ්‍ය නර්තන කණ්ඩායමේත්, ප්‍රධාන නර්තන ශිල්පීන් කිහිප දෙනෙකුගේ කණ්ඩායම්වලත් නැටුවා!    

ඊටත් වැඩියෙන් වටින්නේ නර්තන ෆීල්ඩ් එකේ ඇතුළාන්තය ගැන තොරතුරු.........
ඉතින් ආයෙම අපේ විධුර එකට එමුකො එහෙනං. නීලක්කාගේ පිළිගැනීමේ ගීතය ඉවර වුණාම තමා නාට්‍යයේ පළමු ජවනිකාව. 
ඉස්සරහ තිරය වහන පමාවෙන්, ලංකාව තියලා තිබුණු සුදු රෙද්දෙන් වහපු පුටුව එහෙම අයින් කරනවා. සිංහාසනේ ගෙනත් වේදිකාව මැදින් තියනවා. 
නාට්ටියේ රජවරු හතරදෙනෙකුනෙ, ඒත් රජා වෙනස් වුණාට සිංහාසනේ වෙනස් වුණේ නැහැ. මිනිසුන්ට ඕනේ පණ නැති සිංහාසනේ බලන්න නෙවෙයිනෙ, පණ ඇති රජවරුන්ගෙ acting බලාගන්නනේ.

තිරය අරිනකොට කුරු රජතුමා ඉන්නේ සිංහාසනයේ වාඩිවෙලා නෙවෙයි. එයා කල්පනා භරිතව වේදිකාවට එනවා. තනියම තමන්ටම කියාගන්නවා සංසාරයේ බියකරු බව ගැන. භාවනා කරන්නට මිගාරුචි උයනට යන්න කලින් චූන් එකේ සින්දුවත් කියනවා. 
සුරින්දා සේ සිරින් වසනා සදාකල්..............

ඇත්තටම මේවා හිතලා කෙරිලා වගේනෙ. අවුරුදු හැට-හැත්තෑවකට එහා කවුරු හරි රචකයෙක් මේ ගීතය ලියලා තියෙන්නේ කොයි තරම් අවබෝධයෙන්ද? 

නූතන කාලෙත් හැම රජාම බලන්නේ ‘සකල ශ්‍රීන් විරාජමානව සදාකල් වසන්නනේ!’ 
ඒ නිසා මැරෙන බව උන්දලට අමතක වෙනවා. අනේ, අනේ... ඒවා කියන්න යන්න බැහැ. ඊළඟට තියෙන වරුණ නම් නා රජතුමාගේ සීන් එකට යන්න එපැයි!

හැම රජාම බලන්නේ සකල ශ්‍රීන් විරාජමානව සදාකල්..............
මහරගම නගර සභා පිට්ටනියේ ඉදිකරලා තිබුණු ස්ථිර වේදිකාවට ඉස්සරහින් දිගට, රවුමට පඩි පෙළවල් තුනක් තිබ්බා. එතැන ඉඳලා යාර කිහිපයකට එහායින් කණු දෙක-තුනක් හිටවලා කොහුලණු ඇදලා තීරුවක් වෙන් කරලා තිබුණා.
නාට්‍යය බලන්න එන ආරාධිත අමුත්තන්ටයි ඒ. පළාතේ කැපී පෙනෙන වැදගතුන්; ඇති-පැති උදවිය තමා එවැනි ආරාධිතයන් වෙන්නේ. එහෙම ආරාධනා කරන්නේ; පුටුවල වාඩි කරවලා ඔරෙන්ජන් බාර්ලි හෙම බොන්නට දෙන්නේ එයාලාට ඇති ආදරයකට නොවේ. ගානක් කඩා ගන්නටය!

“සිරි, තමුසෙලා තමයි ඒ ටික බලාගන්න ඕනේ! ආරාධනා පත්තර අරන් එන කට්ටියව විතරක් පුටුවලින් වාඩි කරවන්න ඕනේ. ලණුවෙන් රිංගලා, හොරෙන් කාටවත් එන්න දෙන්න එපා. අපට පුටු මදිවෙලා හොයන්නත් වෙයි අන්තිමට. නාට්‍යය ඉවර වුණාම ආරාධනා පත්තර අරන් එන කට්ටියව විතරක් ස්ටේජ් එකට එක්කන් එන්නයි තියෙන්නේ.” 
තාත්තා කලින්ම සිරි ඇතුළු නඩයට රාජකාරි පවරලාය තිබුණේ.

“අද නම් පුතෝ ඉන්විටේෂන්වලිනුත් ගානක් නොආවොත් කම්මුතුයි. දැනටමත් අපි ණයවෙලා ඉන්නේ. තමුසෙලගෙ වැඩේ තිතට කෙරෙන්න ඕනේ. හරිද?” 

අපේ තාත්තා එහෙම කිව්වත් ඒ රාජකාරිය නම් අකුරට කෙරිලා තිබ්බේ නැතිය.

ඒ කිව්වේ සෙනඟ වැඩිවෙද්දී කොහුලණු බාධකය තරණය කිරීම කොලුකුරුට්ටන්ට කජ්ජක් නොවුණු හින්දාය; සිය ගණනක කොල්ලන් හමුදාවක් ස්වේච්ඡාවෙන්ම තහනම් තීරුව ආක්‍රමණය කරලා හින්දාය. ඒ මදිවාට අර පඩි පේළි තුනේ සිට ආරාධිතයන්ගේ පුටු වෙනකල්මත් තියෙන හිස් බිම්කඩේ වාඩිවෙලාය! 

අන්තිමටම සිරි අයියා ඉහින්-කණින් දහඩිය-මුගුරු පෙරාගෙන තාත්තා ළඟට ආවේය.

අන්තිමට සිරි අයියා තුන්මුණින් දහඩිය මුගුරු පෙරාගෙන .............
“අනේ ගුණපාල අයියේ, මක් කරලාවත් මේ කොලු හැතිකරේ පන්නන්න බැහැනේ. එකෙක්ද දෙන්නෙක්ද.” සිරි අයියා හිටියේ හොඳටම බය වෙලාය. ඒ අපේ තාත්තාගෙන් පලු යන්නට බැණුම් අහන්නට වේය කියලාය. 

“මට තේරෙනවා අයිසේ. ඔන්න ඔහේ ඉන්න අරිනවා. හැබැයි හිටගත්තොත් බෙල්ලෙන්ම අල්ලලා එළියට දානවයි කියලා උන්ව බය කරලා තියාගන්නවා.”

සිරි අයියාගේ දහඩිය වැගිරිල්ල නැවතුණේ එතකොටය!

අපේ තාත්තා හුඟ වෙලාවට සාධාරණ ඒකාධිපතියෙක් වුණේය. ඒත් පුහුදුන් මනුස්සයෙකු නිසා එයාටත් වැරැදිච්ච තැන් තිබුණේය. 
මට හිතෙන්නේ මං ඊටත් ටිකාක් විතර ඉස්සරහින් ඉන්නවා කියලාය. 
ඒකාධිපතිකමෙනුත්, වැරැදෙන ගතියෙනුත් දෙකෙන්ම. එහෙම වෙන්නම එපැයි. 

තාත්තා කළ දේ නොකරන පුතා නොට්ටිගෙ පුතාය.

සිරි අයියලා බයෙන් හිටියත් කොලු-කුරුට්ටෝ හැදියාවක් ඇති නාට්‍ය ප්‍රේක්ෂකයන් වගේම හිටියෝය. නාට්‍ය දර්ශනයට බාධා කරන්නට නොආවෝය. ඒ කාලේ හැම කොල්ලාට-බල්ලාටම mobile ෆෝන් තිබ්බෙත් නැහැනේ!

....වරුණ නම් නා රජ්ජුරුවෝ හිටියෙත් ජාලරයක ........
කුරු රජතුමාගේ සීන් එක ඉවර වෙනකල් නිහාල් අයියා හිටියෙත් ජාලරයක මුවාවේය; දෙබස් ටික මතක් කර ගනිමිනි. නීලක්කාත් එහෙමය. ඒ මදිවාට රංජිත් අයියාත් සූදානමෙනි. නිහාල් අයියා වෙනුවටත් සින්දුව කිව්වේ එයා නිසාය. “හරි හරි. නිහාල් ගිහින් පුටුවෙන් වාඩිවෙනවා. තිරේ අරින්නයි යන්නේ.”

ප්‍රධාන තිරය ඇරීමේ වගකීම තිබුණේ අපේ තාත්තා අතේය. “මේක වෙන කාටවත් පවරලා බැහැ. වැරැදිලා හරි සීන් එකට රෙඩිවෙන්න කලින් තිරේ ඇරියොත් මිනිස්සු හූ කියයි!”

තාත්තා ඒ තීරණය ගත්තේ මගේ සවිස්තර වාර්තා කථනයකට පස්සෙය. (මගේ ඒ හපන්කම නිසා තව ඩිංගෙන් හතරමංහංදි කඩාගන්නට වෙන හැටි ‘අනේ කුරුළු කූඩුවලට’ පෝස්ටුවේදී කිව්වා මතකයිනේ.)  මේ විස්තර කිව්වේ නාවින්නේ ලියනෝරිස් මාමලාගේ ‘දන්ත - හේමමාලි’ වෙසක් නාට්ටියට පස්සෙය. 

ඒක පෙන්නුවේ දැන් ‘වදුල ගාර්ඩ්න්’ එක තියෙන තැන ඉස්සරහින්ය. (දිව්‍ය අංගනි සේ 3) නාට්‍යයේ එක දර්ශනයකදී ‘දන්ත ධාතූන් වහන්සේ’ කිණිහිරයක් උඩ තියා- තළා විනාශ කරන්නට සැරසෙයි. යකුලු පහර වැදෙද්දී දන්ත ධාතුව නෙළුමක් එක්කම උඩට මතු වෙයි! සමහර ආච්චිලා ඒ සීන් එකේදී සාදුකාරත් දුන්හ.

ඒ දර්ශනයට කලින් ප්‍රධාන තිරය ඇරුණේය. විනාඩියක් විතර ගියේය. වේදිකාව උඩ හිටි හැමෝම අන්ද-මන්ද වෙලාය. එකාට-එකා මුහුණු බලා ගනිද්දී මොකක් හෝ වැරැදී ඇති බව අපටත් තේරුණේය. තිරය වැහුණේය; පොඩි හූවකුත් නැඟුණේය! 
තාත්තා අසනීපයෙන් නිසා වැඩි හරියක් ගෙදරම හිටියත් ඒ දවස්වල ඔහොම දේවල් වීඩියෝවකින් වාගේ දැක ගත්තේ මගේ උදව්වෙනි. මට කැමරාවක් තිබිලා නම් නොවේ. කලින් කී පරිදි, පණ පිහිටුවා මා කළ සවිස්තර-වාර්තාවලිනි.

දන්ත ධාතුන් වහන්සේ කිණිහිරය පළාගෙන මතුවෙන සීන් එකේදී........ 
අපේ තාත්තාගේ විධානයත් එක්කම නා රජතුමෝ සිහසුනට සැපත් වූහ. වාඩි ගත්හ. නිහාල් අයියා මොකුත්ම වැරැද්දුවේ නැත. තාත්තා කියා දීලා තිබුණු විදියටම කළේය. විනේ කැටුණේත් එහෙම කරන්නට කීකරු වුණු හින්දාමය.

නාට්‍යයේ මුල් සීන්ස් හතරේදීම තියෙන්නේ රජවරු හතරදෙනාගේ කෑලිය. 
ඒ නිසාම ඒකාකාරිත්වය බිඳින්නට එක-එක රජා ඉදිරිපත් කෙරුණේ එක-එක විදියටය. “නිහාල්. තමුසේ කකුලක් පිට කකුලක් දමාගෙන, අත් දෙක සිංහාසන ඇඳි දෙකේ තියාගෙන ආඩම්බරෙන් වාඩිවෙලා ඉන්නවා.” 
තාත්තා කියා දුන්නේ එහෙමය. නිහාල් අයියා කළෙත් එහෙමය. එතකොටම තිරෙත් ඇරුණේය.

තත්පර ගණනක් යන්නටත් කලින් කොල්ලන්ගේ අතරින් හිනා හඬක් නැඟිණි. ඒක බෝවෙන රෝගයක් වගේ වුණේය. කවුදෝ කඩප්පුලි කොල්ලෙක් නම් අපට ලොකු උදව්වක් කළේ එතකොටය. හැබැයි උදව්ව කළේ හෙමින් එහෙමත් නොවේ. මහ සද්දෙන් කෑ ගහලාය.

“රජ්ජුරුවන්ගෙ පොට්ටනිය එළියේ!’.

අපටත් කලින් තාත්තාට වැඩේ අහුවෙලාය. දඩ-බඩ ගාලා ඉදිරිපස තිරය වැහුණේය. දත්මිටි කමින් නිහාල් අයියාව කාමරයට ඇදගෙන ගිය තාත්තා, ඒ තදියමෙන්ම නිහාල් අයියාගේ රෝමන් ඇඳුම ගැලෙව්වේය! 

ඔහුට අලුතින් දෝතිය අන්දවන්නට යද්දී  මා දුටු ඒ අපූරු දසුන මට තවම මතකය! ඔටුන්නත් දමාගෙන, රාජාභරණත් පැලඳගෙන, ළා පැහැයක ‘ලන්කට්’ එක පිටින් තක්බීර් වී හිටි නිහාල් අයියා!
නා රජ්ජුරුවන්ගේ නාග මාණික්‍යය කොල්ලන්ට නොපෙනුණා නම් තමා.......
මතකයිනේ, අරීසාගේ රෝමන් විදියේදී නිහාල් අයියාගේ යටිකයේ ඇඳුම තිබුණේ දණහිසටත් උඩින්ය. ඒකත් ඇඳගෙන, කකුලක් පිට කකුලක් දමා වාඩි වුණාම? 

සීන් එකේ කූඨප්‍රාප්තිය ඇති වුණේ අර මුලින් කී පඩිපේළියේ අටවා තිබුණු flash ලයිට් නිසාය. ඒවාත් වැදුණාම ‘නා රජ්ජුරුවන්ගේ නාග මාණික්‍යය’ නොපෙනුණා නම් තමා පුදුමය! අර ලයිට් එළි එල්ල වෙලා තිබුණේ නිහාල් අයියාගේ 'පරම්පරා කුට්ටම' වැහෙන්න ඇඳගෙන හිටි ළා පාට යට ඇඳුමටත් එක්කමය!

කකුලක් පිට කකුලක් දමා වාඩි වුණාමත් ඒක වැහිලා තියෙන විදිහට හිටින්නට, නිහාල් අයියාට ආයෙමත් දෝතිය අන්දවා නාට්ටිය පටන් ගන්න විටත් අරීසා අතුරුදහන් වෙලාය! ඒ වුණා වුණාමය!! අද වෙන තුරුමත් මිනිහා ‘මිසින්’ය!!!

එදා, ඊට පස්සේ අප කාට-කාටත් තිබුණු ලොකුම ප්‍රශ්නය හිනාව තද කරගෙන රඟපාන්නට වීමයි. ඒ මදිවාට තාත්තාගේ කේන්තිය මගේ පිටින් යන්නටය ගොඩක්ම ඉඩ තිබුණේත්. ඉතින්, මම වඩාත් ප්‍රවේසම් වූයෙමි. ඒත් අලකලංචි ගොන්න එතනින්වත් ඉවර වුණේ නැත! පඳුරු ලෑවේය. පුදුමය මේවා තොගයම මගේ මතකයේ තිබීමය. 

එහෙම හොඳ මතකයක් තිබුණත් ගියවර පෝස්ටුව ලියද්දී වැදගත් දෙයක් මට මිස් වෙලාය.

කුමාර තිරිමාදුර වගේම ‘මට ඇති’ කියලා කියන තවත් හාදයෙක් මේ මාසයේදීම; පෙබරවාරියේදීම මට හමු විණි. එතකොට මං හිටියේ මුහුදු වෙරළේ කණපිට හරවා තිබුණු බෝට්ටුවක් උඩ වාඩිවෙලාය. මතකනේ, රෝද දෙකේ රස්තියාදුවොත් එක්ක කල්පිටි ගිය ගමන.
එතකොට මං හිටියේ මුහුදු වෙරළේ.........
උදේ කූඩාරම් හැකිළුවාට පස්සේ අපේ හාදයෝ වෙරළ පුරා කඳු ගැහී තිබුණු කුණු එකතු කරන්නට පටන් ගත්හ. ඉතා යහපත් කටයුත්තක් කරද්දීත් සහාය නොවී මට වාඩිවෙලා ඉන්නට වුණේ දෙකකුල් හොඳටම හිරිවැටී තිබුණු බැවිනි. ඒ අතරේය එදා උදේ අප සමඟ කතා කොට මුහුදු ගිය ධීවරයෙකු එතැනින් යන්නට ආවේ.  

“ඉක්මනටම ආවද?” මගෙන් කියවුණේ ඉබේම වගෙය.

“උදේට මුහුදු යන කට්ටිය එන්නේ හවස් වෙලා. රෑට ගියොත් උදේටයි ආපහු එන්නේ......” වෙරළේ බෝට්ටු රකින රාජකාරියේ නියුතු ඇන්ටනි අයියා අපට කිව්වේ කලින්දා රාත්තිරියේය. එත් දැන් ඊට වෙනස් දෙයක් සිදු වෙලාය. අතුරු ආන්තරාවක්වත්ද? ඒ නිසාය මගේ කටින් ප්‍රශ්නයක් පැන්නේ.

“ලොකු මාළු අහිනක් හිටියා. අපිට අදට ඇතිනේ. පැය එකහමාරයි ගියේ!” කට පුරා හිනාවෙමින් ඔහු කිව්වේය. 

මෙහෙම මිනිස්සුත් සිටිති. ලද දෙයින් සතුටු වෙන්නෝ! මට තවමත් දුක ඒ මනුස්සයාගේ ෆොටෝ එකක්වත් නොගත් එක ගැනය; නියම මනුස්සයෙක් හමු වෙලාත් එවෙලේ ඔහුගේ අගය නොවැටහීම ගැනය; කොටින්ම, තිරිමාදුර ගැන ආයෙමත් ලියද්දීවත් මේ මනසින් උසස් මනුස්සයා මගේ ඔළුවට ආවේ නැත. අද උදේ නාද්දීය මේ වස වැරැද්ද ගැන- අතපසුවීම ගැන අදහස මගේ හිසට රිංගුවේ.

රෝද දෙකේ රස්තියාදුවන් සේරම එකට එකතුවී හතරවෙනිදා උදෙන්ම...........
අනෙක, තවත් අතපසුවීමකි. මද්දාගේ නඩය අනුන්ගේ කුණුත් සේරම එකතු කර පුළුස්සා වෙරළ පවිත්‍ර කිරීම ගැනත් ගිය වාරයේම ලියන්නටය තිබුණේ. ඔවුන්ට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශංසාවක් හිමිවිය යුතුය. (අනුන්ට බණ කිව්වාට මොකෝ, සමහර වෙලාවට මටත් අතපසුවීම් සිදු වෙයි.) වස වැරැද්දකි, ඒකට නම් නිකං ඉඳලා හරි නැත.

ඔන්න, මං මටම ටොකු දෙකක් ඇනගත්තා! විරාමෙකුත් ගත්තා!!



Wednesday, February 20, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස

ඉතින්, අද ලොක්කන් වටේට එල්ලිලා ඉන්න කූඩැල්ලන් වගේ කටින් විතරක් නෙවෙයි, ඇඟෙන්ම උදව් කරන්න සූදානම් කෙනෙක් කාකවර්ණතිස්ස රජතුමා ළඟට ආවා! වේළුසුමන!! වේළුසුමන යෝධයා!!!

වේළුසුමන යෝධයා වගේ බොක්කෙන්ම උදව් කරන්න.................
තව ඩිංගෙන් අමතක වෙනවනේ! වේළුසුමන යෝධයා වගේ බොක්කෙන්ම උදව් කරන්න ඉදිරිපත් වෙන හාදයෝ දැනුත් ඉන්නවා!

එක්කෙනෙක් මේ 2019 පෙබරවාරි 3 වෙනදා මං දැක්කනේ. ඉයන්! ඉයන් ඉන්නේ නං ගුහාවක; බිලයක; හරි ලෙණක වෙන්න බැහැ. 
Den කියන වදනට නම් මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා දීලා තියෙන්නේ එහෙම අර්ථකථනයක්. 

(ඉයන්, Ian’s Den කිව්වේ ඉයන් කියනකොටම Lion වත් මතක් වෙන හින්දද? ලයන් නම් ඉන්නෙ ලෙන්වලලුනෙ. සරච්චන්ද්‍රයන් ‘සිංහබාහු’ එකටත් ලිව්වේ, ‘ගල්ලෙන බිඳලා- ලෙන් දොර හැරලා....’ කියල.) හැබැයි, ඉයන්ම සිංහලෙන් කියනවානේ ඉන්නෙ ‘අඩවියක’ කියන කතන්දරයකුත්.

ඉතින් ‘ඉයන්ගේ අඩවිය’ බ්ලොග් එකටත් මං නිතර ගොඩවෙනවා. ඒකෙ අනුශීර්ෂය ගැන නම් ඉරිසියාත් හිතෙන තරම් අරුත්බරයි. ඔහොම ටිකක් විතරක් ‘වටේ පඳුරු තැලුවේ’ මට හිතුණු දේවල් සේරම කියන්න ගියොත් ‘පිට කැසීමක්’ වෙන හින්දයි.

පෝස්ටු 128 ක් ලිව්වට පස්සේ, එකසිය විසිනවවැන්න ‘වැරැදි බෝනස් එක 19’ එකෙන් මං අහිංසක ඉල්ලීමක් කළා. මගේ බ්ලොගයෙ  කියවන්නට තරම් චූටි වටනාකමක් හරි තිබෙනවා නම් ඒ ගැන අනෙක් අයටත් කියන්නයි කියලා. (ගොඩක් අඩවි, සින්ඩි මුල් දවස්වල ඉඳලම මට එහෙම උදව් කරනවා කියලත් මෙතැනදී කියන්නම ඕනේ.)

මෙන්න බොලේ මං හීනෙන්වත් නොහිතපු විදියට......
මෙන්න බොලේ මං හීනෙකින්වත් නොහිතපු විදියට ඉයන් උන්නැහේගෙ අඩවියේ මගේ අඩවිය ගැන තනිකර පෝස්ට් එකක්! සතුටු වෙන්න; ආඩම්බර වෙන්න තහනමක් නැහැනේ. ඒ වගේම කෘතගුණ දක්වන්නත්. 
අනේ, මං අනුපිළිවෙලකට නම් කෙළෙහිගුණ දක්වන්නේ නැහැ. මතක් වෙන විදියට, ගැළපෙන විදියට ලියනවා මිස. හොඳේ. මං සුහුඹුලෙක් මිස, වීරයෙක්වත් යෝධයෙක්වත් නෙවෙයිනෙ වේළුසුමන වගේ.   

“...... වෙළුසුමන නම් යොධයා සිතුව හොත් සියලුදොළ ම සමෘධ වේ ය යි සිතා වෙළුසුමනයන් කැඳවා එ පවත් ඕහට කීහ....” 

විහාර මහ දේවියගේ දොළදුක සංසිඳුවන රාජකාරියේ මාරාන්තික කොටස, රජතුමා වේළුසුමන යෝධයාට පැවරුවේ එහෙමලු! ඒවා තියෙන්නේ ‘සද්ධර්මාලංකාරය’ පුස්තක රත්නයේ. මං ඉතින් ඉතිහාසයේ එල්ලිලා නොඉඳ අනාගතයටත් යන්න කැමැති මැට්ටෙක්නේ. 
දැනට update වෙන්න හිතාගෙන ගියා ‘විකිපීඩියා’ එකට, වේළුසුමන හොයාගෙන. දසමහ යෝධයන් ළඟට!

ඉන්නවා, ඉන්නවා! හැබැයි සද්ධර්මාලංකාරයේ දක්වලා තියෙන අනුපිළිවෙලට නෙවෙයි. දසමහ යෝධයන්ගෙ චිත්‍රත් තියෙනවා. හැබැයි නවයයි! 
අනේ, එව්වා දකිද්දී  නම් දුකේ බැහැ. ශ්‍රී ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා තවමත් ඉන්නවා නම් කියලා හිතෙන්නේ මෙහෙම වෙලාවට!

“.............. ඒත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේදීම රාත්‍රියේ චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටවූ බව දැනගන්නට ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නියෝගයකින්. පළමු දිනයේ චිත්‍රපටයේ ආදායම රු. 15,000/- යි. තියටර් එකක සාමාන්‍යය රු. 1000/- යි. එය ඒ කාලේ හැටියට සාමාන්‍ය ආදායමක්. පසුවදා මම චිත්‍රපට සංස්ථාවට ඇවිත්   සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතා හමුවුණා....” එහෙම කියාගෙන යන්නේ ‘ගිවන්ත අර්ථසාද්’ කලාකරුවායි.

කවුද මංදා විකිපීඩියාවට මේ දසමහ යෝධයන්ව ඇඳලා යවපු යෝධයා? 
අදින් අවුරුදු 40 කට කලින් ගිවන්ත ‘දුටුගැමුණු’ කාටූන් චිත්‍රපටය හැදුවා. 1979 ඔක්තෝබර් 9 වෙනිදා විතරක් පෙන්නපු ඒ ෆිලුම ඊට පස්සේ පෙන්නුවේ නැහැ! මේ විස්තර සේරම 2018.09.02 ‘රාවය’ පත්තරයේ 20 පිටුව පුරාම තිබුණා. ඒ ලිපියේ ඊළඟ ඡේදයත් කියවලාම ඉඳිමුකෝ ඉස්සෙල්ලම.

“.... චිත්‍රපටයට වැය වූ මුදල් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු පැවසුවා. වියදම වූයේ රු. 1,44,000/- යි. පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කෙනෙක් මට කතා කළා. ලිඛිතව දෙන්න නොහැකි බව පවසමින් චිත්‍රපටය තහනම් කිරීමට හේතු පැහැදිලි කළා. යම් කාලයක් ගතවන තුරු මේ ගැන කාටවත්ම නොකියන ලෙස ඉල්ලීමක් කළා.

ලංකාවේ ඒ කාලේ මෝදු වෙමින් පැවති ජාතිවාදී ප්‍රශ්නයට “දුටුගැමුණු” චිත්‍රපටය උත්ප්‍රේරකයක් විය හැකි නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය නැවැත්වූ බව ඔහු පැවසුවා................” 

තව විස්තර ඕනෙ නම් ඔයාලට හොයාගෙන වුණත් කියවන්න පුළුවනිනේ. මෙහෙම පිටපොට ගහලත් ජාතිවාදී ප්‍රශ්නය මතුවීම නැවතුණේ නැහැ. බණ පොතේ උපහැරණයකින්ම කියනවා නම් එදා සිදුවෙලා තියෙන්නේ ‘පය බරවායට පිටිකරට බෙහෙත් බැඳීමක්’.

නමුත් ‘ජයවොඩන උන්නාන්සේ’ පළමු දවසෙම ‘දුටුගැමුණු’ බලන්න ගියා කියලා කවුද හිතන්නේ. කේවට්ට උපදේශකයෙකු හරි උපදේශකයන් කිහිප දෙනෙකු හරි තමා advise කරන්න ඇත්තේ. ඒකට දැන්. මතකයි නේද, ‘මගේ දෛවය මගේ රිස්සට’ පෝස්ටුවෙදී කිව්වා ෆිල්ම් කෝපරේෂන් එකේ යාවත්කාලීන නොවෙන වෙබ් අඩවිය ගැන. තවමත් ඒවා කෙරෙන්නේ ‘එපා වාහෙට හොදි බෙදනවා වගේම’ තමයි.

ඔය කාටූන් දුටුගැමුණු ෆිල්ම් එකේ තිබ්බලු යෝධයෙක් අලියෙකුව අල්ලලා, කරකවලා............
තව එකක්. 79-80 කාලයේ පැතිරුණු කටකතාවකුත් තිබ්බා; ඔය කාටූන් දුටුගැමුණු ගැන. චිත්‍රපටයේ තිබුණලු යෝධයෙක් අලියෙකුව අල්ලලා, කරකවලා විසි කරන කෑල්ලක්. අර උපදේශකයන් කිව්වලු ඒකෙන් ‘අලි පාටියට’; එජාපයට මදි-පුංචිකමක් වෙනවයි කියලා! 

ඒක නම් එයාලා හෙව්වනේ. විකිපීඩියාවේ තියෙන දසමහ යෝධයන්ගෙ චිත්‍ර නිසා සිංහලයාට මදි-පුංචිකමක් වෙනවද කියලා හෙවීම තමයි ඔයාලට බාර, හොඳේ.     

කවුරු ඒ චිත්‍ර ඇඳලා දුන්නද මන්දා. කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියන එකයි මගේ මතය. ඔන්න, ශ්‍රී ලංකේය දක්ෂ චිත්‍ර ශිල්පීන්ට මහඟු අවස්ථාවක්. විකිපීඩියා එකේ යෝධයෝ වුණත් කන් දෙයි නේද, ඒ දසමහ යෝධයන් පඟර නැට්ටන් වගේ, මිට්ටන් වගේ අය බව තේරුම් කරලා දෙනව නම්. 

කිසිම වීරත්වයක් නොපෙන්වන යෝධයන්ව එතැනින් පන්නලා හැබෑ වීර යෝධයන් දහදෙනෙකු එතැනට යවන්න ඔයාලත් කැමැතියි නේද?

බලමු, සිංහලේ අභිමානය ගැන මොර දෙන සුජාත පුත්තරයන් මේ ගැන උනන්දු වෙයිද කියලා. 

අපේ කාලයේ මගේ වීරයෙක්! සිරිමෙවන් රණසිංහ ..................
‘විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටියි!’ මට නම් හිතෙන්නෙම මේක මසුරන් කියමනක් කියලාය. පාතාලයේ නායකයන් ගැන පත්තර පිටු පුරා ලියන උගත්-බහුශ්‍රුත මාධ්‍යවේදීන්ට ඒ තරම් අහුවුණේ නැති වීරයෙක් පහුගිය දවස්වල හිටියේය. (මං කියවන පත්තර ටිකේ මාධ්‍යවේදීන් ගැනය මා කියන්නේ.)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමා! 

හමුදාපතිවරයෙක් නෙවෙයි රජෙක් වුණත් කරන්නේ තුට්ටු දෙකේ වැඩ නම් එයා මිනිස් හදවත් තුළින් අතුගෑවිලා යන්නේ නිකම්ම. සිරිමෙවන් මහත්තයාව මට වීරයෙක් වෙන්නේ එතුමාගේ චර්යාව හින්දයි! අනේ, අනෙක් චර්යාවන් නම් කොහොමද කියන්න මට අවබෝධයක් නැහැ. පෙන්ෂන් යන්නට නියමිත වෙලාවේ කරපු දෙයින් නම් පෙනෙන්නේ එතුමාගේ පරාර්ථකාමී ගුණයයි. අනුන් ගැනත් තියෙන කරුණා-මෛත්‍රී ගුණය ගැනයි!

සිරිමෙවන් මහත්මයා විශ්‍රාම යන්නට නියමිත බව දැනගත් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නාලු, සේවා දිගුවක් ලබාදෙන්නට කටයුතු පිළියෙළ කරන ලෙස.

“ලේකම්තුමා, මට දවසකටවත් එක්ස්ටෙන්ෂන් එපා. මම එහෙම තව කාලයක් ගත්තොත් ඊළඟට ඉන්න කිහිප දෙනෙකුටම නිකම්ම විශ්‍රාම යන්න සිද්ධ වෙනවා. ඒක ලොකු අසාධාරණයක්. ඒ නිසා මම බොහොම සතුටින් විශ්‍රාම යන්න කැමැතියි!” රණසිංහ මැතිඳා කීවාලු. වාර්තා වෙන විදියට නම් මෙතෙක් කිසිම හමුදා ලොක්කෙකු මෙහෙම දෙයක් කියලත් නැත; කරලත් නැත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමනි, මෙන්න.....
සිරිමෙවන් රණසිංහ මහත්මාණනි, මෙන්න ඔබතුමාගේ උදාරත්වයට ‘නින්තරේ තදි’ගෙනුත් උත්තමාචාරයක්!!! 

“........ එකලැ වෙළුසුමනයොධයා තමාගේ ගෙට ගොස් නාවිසයෙකු ගෙන්වා ගෙන කුඩුඹිය පමණක් තබා ඉසකෙස් බාවා රජහුගෙන් ගෙඩි දුන්නා කොට පිට වැවරි දක්වා රත්පිළී දෙකක් ඇඳ..............” කාවන්තිස්ස රජතුමා වේළුසුමනට duty එක; දොළ සංසිඳුවන රාජකාරිය පැවරුවාට පස්සේ හරිය තමා ඔය.
(දැන් මොකක්ද හිතෙන්නේ? ටික දෙනෙකුට කොහොම වෙතත් වැඩි දෙනෙකුට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. -මේ යෝදයා, තේරෙන සිංහලෙන් ඔය ටික කියනවා නම් ඉවරයිනේ!- මට හිතුණා ඔයාලා එහෙම හිතන බව.)

ඒකයි මං මගේ සිංහලවලට එන්නේ. 

වේළුසුමන කට්ටයා! බාබර් කෙනෙකු ගෙන්නලා තට්ටය ගාවාගත්තා, ඉස්මුදුනෙන් විතරක් කෙස් රොදක් ඉතිරි වෙන්න. (ඒ කාලේ දමිල යෝධයන්ගෙ ෆැෂන් එක වෙන්නැති.) ඊට පස්සෙ යාළුවෙකුට කියලා පිටේ පලු මතුවෙනකල් ගස්සවා ගත්තා. ඊටත් පස්සේ රතුපාට රෙද්දක් ඇඳලා, එකක් පොරවාගෙන ලැහැස්ති වුණා.

බණ පොතේ දිග විස්තරයක තියෙන විදියට නම් මේ යෝදයා දෙමළ මිනිසුන්ව අන්දවලා, එළාර රජතුමා ළඟටම යනවා. ඔන්න රජතුමාත් ආ-ගිය විත්ති අහනවා; වේළුසුමනගෙන්.

 මදුරාසි උපරිමාධිකරණ භූමියේ ඇති ‘මනු නීදි චෝලන්’ පිළිරුව
“අනේ දේවයන් වහන්ස. මේ බලන්නකෝ, ඔබතුමාට ප්‍රශංසා කළාය කියා දුර්ජන කාවන්තිස්සයා මට කරපු හදිය.” එහෙම කියලා වේළුසුමන පිට පැත්ත පෙන්වන්නත් ඇති. දාහක් කතන්දර කියන්නත් ඇති. 

‘මනු නීදි චෝලන්’ (මනුගේ නීති පිළිපදින්නා) විරුදාවලියෙනුත් හඳුන්නලා තියෙන ‘එළාල’ බුද්ධිමත්, දක්ෂ, සාධාරණ රජෙක්ය කියලයි කියැවෙන්නේ. එහෙම බුද්ධිමතෙක්ව නෙවෙයි, ඕනෙම ජගතෙක්ව වුණත් ගොනාටම අන්දවන්න සමතුන් කොච්චර මේ ශ්‍රී ලංකාද්වීපයේ ඉන්නවද? මං කියන්නේ අද වුණත්? ඇට නැති දිව හොලවන්න වියදමකුත් නැහැ. 
වැඩි මහන්සියකුත් නැහැ!

එහෙව් උන්දැලා කරන්නෙම වේළුසුමන තියරියේ වැඩ. 
“හිටපු ලොක්කා කරන තරමක් කළෙම අසමජ්ජාති වැඩ. පට්ට හොරා. එපාම කරපු පොරක්..... ඒ විදියට බලද්දී තමුන්නාන්සේ පෙරාපු රත්තරන් කඳක්......” ඔය වගේ ප්‍රකාශ ටිකක් ණයට ගන්න විතරයි තියෙන්නේ, ගොතාගන්න බැරි නම්. 
නිර්මාණශීලීව; විලිසංගයක් නැතිව; ලබ්බ බස්සාගන්න තරම් හයියෙන් ඒවා පුන-පුනා කියන තරමට ‘පින පළ දෙනවාමයි; අත් දුටුවයි! සත්තයි!!’

අඩුම ගණනේ රාජ්‍ය ඇමතිකමක්වත් sure! ඊට පස්සේ ඉණිමඟේ ඉහළ නඟින්න නම් විරුද්ධවාදීන්ට කට අරින්න නොදුන්නාම හරි. බාධා කරන තරමට, තව-තව වාචාල; කෙළතොළු කතන්දර කිව්වොත්...... පුතේ, ගොඩේ ගොඩ! ඇප නැතිව කෝටි ගණනක ණයක් හරි ගත්තහැකි!

fb හිතවතුන් හිතවතියන් ගොඩ දෙනෙකු share කරගෙන තිබුණු ............
හාමුදුරුවරුන්ට නාල්ලන කුඩ හරි උන්දැලා වගේ ‘පින් කඳවල්වලට’ අල්ලනවා!
අනේ හැබෑට, ‘විනාස කාලෙන - විපරීත බුද්ධිඃ’ කියන්නේ මෙව්වාට වෙන්ටැති. 

fb එකට ගොඩ වැදෙනකොටම දැන් මේ වගේ එව්වා ගොඩක් දැකගන්න පුළුවන්. මේවා ෂෙයාර් කරගන්නේ සොමියටමද? Likes වැඩි කරගන්නටමද? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. එහෙම අයත් ඇති, හැබැයි ටිකෙන්-ටික සබුද්ධික වෙයි! 
මං ඉතින් සුබවාදීව බලන්න කැමැති කෙනානේ.

සිදුහත් කතාවේ ඉන්න අසිත තාපසයා වගේ හිනාවෙලා, අඬන්නයි තියෙන්නේ. ශුද්ධෝදන රජ්ජුරුවෝ අලුත් උපන් සිද්ධාර්ථ කුමාරයාව අසිත තාපසයාට පෙන්නන්න ගෙනාවාම පුංචි කුමාරයාගේ දෙපතුල් තවුසාගේ නළලෙ ගෑවිලාලු නැවතුණේ. ඒ පාර තාපසයා හිනාවෙලා, ඇඬුවාලු. රජතුමා ඒකට හේතු ඇහුවාම දුන්නු උත්තරේ මතකයිනේ?

“මේ කුමරුවා මහා පුණ්‍යවන්තයෙක්. නිසැකයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒක පෙනිලයි මම හිනාවුණේ.... ඒත් මගේ අනාවැකිය හැබෑ වෙනවා දෑහින් දකින්න තරම් කාලයක් මට ආයුෂ නෑ. ඒ දුකටයි මං ඇඬුවේ.” 

ඒ වගේ මටත් ඒකාන්ත විශ්වාසයි, අපේ තරුණ පරම්පරාව නුදුරු  අනාගතයේදී ගොඩක් ඉස්සරහට ඇවිත් මේ දූෂිතයන් එළවන එක එළවනවාමයි. අනේ, ඒක දෑසින් දකින්න තරම් කාලයක් මටත් ...... 

සුදොවුන් රජතුමා අසිත තාපසතුමාට දැක්වීමට සිදුහත් කුමරුන් ගෙනා වෙලාවේ..........
ඉතින් වේළුසුමන යෝධයාගේ ලණුව ගිල්ල එළාර රජ්ජුරුවනුත් කිසි හෙවිල්ලක්-බැලිල්ලක් නැතිවම මිනිහව විස්වාසෙට ගත්තා. “නුඹට හැකියි මගේ වෙනුවෙන් සේවය කරන්නට. කුමන රාජකාරියක්ද ඔබ රුහුණේ සිටියදී කළේ?” කියලත් එවෙලෙම ඇහුවා.

“දේවයන් වහන්ස. මං මනාපයි අසුන් හසුරුවන්නට. යුද කරන්නටත් හැකියි. මං ඔය වැඩ දෙකටම දක්ෂයි. තව වැඩි කාලයක් යන්නට මත්තෙන් ඒ මාගම කාවන්තිස්සයා කුදලාගෙන අවුත් ඔබ වහන්සේට දක්වන්නයි මා පෙරුම් පුරන්නේ.” රජ්ජුරුවන්ගේ හිතට වැදෙන්නට වේළුසුමන තවත් වහසි දෙඩුවා! එහෙමයි වේළුසුමනට එළාර රජ්ජුරුවන්ගෙ ඉස්තාලේ රස්සාව ලැබුණේ!

Impossible මිෂන් එකෙන් බාගයක් හරි. වේළුසුමන ටිකෙන්-ටික කිට්ටු කළේ ‘රණමද්දව’ ළඟට. කවුද රණමද්දව කියන්නේ?