අකුරු මැකී නෑ

Wednesday, February 20, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස

ඉතින්, අද ලොක්කන් වටේට එල්ලිලා ඉන්න කූඩැල්ලන් වගේ කටින් විතරක් නෙවෙයි, ඇඟෙන්ම උදව් කරන්න සූදානම් කෙනෙක් කාකවර්ණතිස්ස රජතුමා ළඟට ආවා! වේළුසුමන!! වේළුසුමන යෝධයා!!!

වේළුසුමන යෝධයා වගේ බොක්කෙන්ම උදව් කරන්න.................
තව ඩිංගෙන් අමතක වෙනවනේ! වේළුසුමන යෝධයා වගේ බොක්කෙන්ම උදව් කරන්න ඉදිරිපත් වෙන හාදයෝ දැනුත් ඉන්නවා!

එක්කෙනෙක් මේ 2019 පෙබරවාරි 3 වෙනදා මං දැක්කනේ. ඉයන්! ඉයන් ඉන්නේ නං ගුහාවක; බිලයක; හරි ලෙණක වෙන්න බැහැ. 
Den කියන වදනට නම් මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා දීලා තියෙන්නේ එහෙම අර්ථකථනයක්. 

(ඉයන්, Ian’s Den කිව්වේ ඉයන් කියනකොටම Lion වත් මතක් වෙන හින්දද? ලයන් නම් ඉන්නෙ ලෙන්වලලුනෙ. සරච්චන්ද්‍රයන් ‘සිංහබාහු’ එකටත් ලිව්වේ, ‘ගල්ලෙන බිඳලා- ලෙන් දොර හැරලා....’ කියල.) හැබැයි, ඉයන්ම සිංහලෙන් කියනවානේ ඉන්නෙ ‘අඩවියක’ කියන කතන්දරයකුත්.

ඉතින් ‘ඉයන්ගේ අඩවිය’ බ්ලොග් එකටත් මං නිතර ගොඩවෙනවා. ඒකෙ අනුශීර්ෂය ගැන නම් ඉරිසියාත් හිතෙන තරම් අරුත්බරයි. ඔහොම ටිකක් විතරක් ‘වටේ පඳුරු තැලුවේ’ මට හිතුණු දේවල් සේරම කියන්න ගියොත් ‘පිට කැසීමක්’ වෙන හින්දයි.

පෝස්ටු 128 ක් ලිව්වට පස්සේ, එකසිය විසිනවවැන්න ‘වැරැදි බෝනස් එක 19’ එකෙන් මං අහිංසක ඉල්ලීමක් කළා. මගේ බ්ලොගයෙ  කියවන්නට තරම් චූටි වටනාකමක් හරි තිබෙනවා නම් ඒ ගැන අනෙක් අයටත් කියන්නයි කියලා. (ගොඩක් අඩවි, සින්ඩි මුල් දවස්වල ඉඳලම මට එහෙම උදව් කරනවා කියලත් මෙතැනදී කියන්නම ඕනේ.)

මෙන්න බොලේ මං හීනෙන්වත් නොහිතපු විදියට......
මෙන්න බොලේ මං හීනෙකින්වත් නොහිතපු විදියට ඉයන් උන්නැහේගෙ අඩවියේ මගේ අඩවිය ගැන තනිකර පෝස්ට් එකක්! සතුටු වෙන්න; ආඩම්බර වෙන්න තහනමක් නැහැනේ. ඒ වගේම කෘතගුණ දක්වන්නත්. 
අනේ, මං අනුපිළිවෙලකට නම් කෙළෙහිගුණ දක්වන්නේ නැහැ. මතක් වෙන විදියට, ගැළපෙන විදියට ලියනවා මිස. හොඳේ. මං සුහුඹුලෙක් මිස, වීරයෙක්වත් යෝධයෙක්වත් නෙවෙයිනෙ වේළුසුමන වගේ.   

“...... වෙළුසුමන නම් යොධයා සිතුව හොත් සියලුදොළ ම සමෘධ වේ ය යි සිතා වෙළුසුමනයන් කැඳවා එ පවත් ඕහට කීහ....” 

විහාර මහ දේවියගේ දොළදුක සංසිඳුවන රාජකාරියේ මාරාන්තික කොටස, රජතුමා වේළුසුමන යෝධයාට පැවරුවේ එහෙමලු! ඒවා තියෙන්නේ ‘සද්ධර්මාලංකාරය’ පුස්තක රත්නයේ. මං ඉතින් ඉතිහාසයේ එල්ලිලා නොඉඳ අනාගතයටත් යන්න කැමැති මැට්ටෙක්නේ. 
දැනට update වෙන්න හිතාගෙන ගියා ‘විකිපීඩියා’ එකට, වේළුසුමන හොයාගෙන. දසමහ යෝධයන් ළඟට!

ඉන්නවා, ඉන්නවා! හැබැයි සද්ධර්මාලංකාරයේ දක්වලා තියෙන අනුපිළිවෙලට නෙවෙයි. දසමහ යෝධයන්ගෙ චිත්‍රත් තියෙනවා. හැබැයි නවයයි! 
අනේ, එව්වා දකිද්දී  නම් දුකේ බැහැ. ශ්‍රී ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා තවමත් ඉන්නවා නම් කියලා හිතෙන්නේ මෙහෙම වෙලාවට!

“.............. ඒත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේදීම රාත්‍රියේ චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටවූ බව දැනගන්නට ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නියෝගයකින්. පළමු දිනයේ චිත්‍රපටයේ ආදායම රු. 15,000/- යි. තියටර් එකක සාමාන්‍යය රු. 1000/- යි. එය ඒ කාලේ හැටියට සාමාන්‍ය ආදායමක්. පසුවදා මම චිත්‍රපට සංස්ථාවට ඇවිත්   සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතා හමුවුණා....” එහෙම කියාගෙන යන්නේ ‘ගිවන්ත අර්ථසාද්’ කලාකරුවායි.

කවුද මංදා විකිපීඩියාවට මේ දසමහ යෝධයන්ව ඇඳලා යවපු යෝධයා? 
අදින් අවුරුදු 40 කට කලින් ගිවන්ත ‘දුටුගැමුණු’ කාටූන් චිත්‍රපටය හැදුවා. 1979 ඔක්තෝබර් 9 වෙනිදා විතරක් පෙන්නපු ඒ ෆිලුම ඊට පස්සේ පෙන්නුවේ නැහැ! මේ විස්තර සේරම 2018.09.02 ‘රාවය’ පත්තරයේ 20 පිටුව පුරාම තිබුණා. ඒ ලිපියේ ඊළඟ ඡේදයත් කියවලාම ඉඳිමුකෝ ඉස්සෙල්ලම.

“.... චිත්‍රපටයට වැය වූ මුදල් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු පැවසුවා. වියදම වූයේ රු. 1,44,000/- යි. පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කෙනෙක් මට කතා කළා. ලිඛිතව දෙන්න නොහැකි බව පවසමින් චිත්‍රපටය තහනම් කිරීමට හේතු පැහැදිලි කළා. යම් කාලයක් ගතවන තුරු මේ ගැන කාටවත්ම නොකියන ලෙස ඉල්ලීමක් කළා.

ලංකාවේ ඒ කාලේ මෝදු වෙමින් පැවති ජාතිවාදී ප්‍රශ්නයට “දුටුගැමුණු” චිත්‍රපටය උත්ප්‍රේරකයක් විය හැකි නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය නැවැත්වූ බව ඔහු පැවසුවා................” 

තව විස්තර ඕනෙ නම් ඔයාලට හොයාගෙන වුණත් කියවන්න පුළුවනිනේ. මෙහෙම පිටපොට ගහලත් ජාතිවාදී ප්‍රශ්නය මතුවීම නැවතුණේ නැහැ. බණ පොතේ උපහැරණයකින්ම කියනවා නම් එදා සිදුවෙලා තියෙන්නේ ‘පය බරවායට පිටිකරට බෙහෙත් බැඳීමක්’.

නමුත් ‘ජයවොඩන උන්නාන්සේ’ පළමු දවසෙම ‘දුටුගැමුණු’ බලන්න ගියා කියලා කවුද හිතන්නේ. කේවට්ට උපදේශකයෙකු හරි උපදේශකයන් කිහිප දෙනෙකු හරි තමා advise කරන්න ඇත්තේ. ඒකට දැන්. මතකයි නේද, ‘මගේ දෛවය මගේ රිස්සට’ පෝස්ටුවෙදී කිව්වා ෆිල්ම් කෝපරේෂන් එකේ යාවත්කාලීන නොවෙන වෙබ් අඩවිය ගැන. තවමත් ඒවා කෙරෙන්නේ ‘එපා වාහෙට හොදි බෙදනවා වගේම’ තමයි.

ඔය කාටූන් දුටුගැමුණු ෆිල්ම් එකේ තිබ්බලු යෝධයෙක් අලියෙකුව අල්ලලා, කරකවලා............
තව එකක්. 79-80 කාලයේ පැතිරුණු කටකතාවකුත් තිබ්බා; ඔය කාටූන් දුටුගැමුණු ගැන. චිත්‍රපටයේ තිබුණලු යෝධයෙක් අලියෙකුව අල්ලලා, කරකවලා විසි කරන කෑල්ලක්. අර උපදේශකයන් කිව්වලු ඒකෙන් ‘අලි පාටියට’; එජාපයට මදි-පුංචිකමක් වෙනවයි කියලා! 

ඒක නම් එයාලා හෙව්වනේ. විකිපීඩියාවේ තියෙන දසමහ යෝධයන්ගෙ චිත්‍ර නිසා සිංහලයාට මදි-පුංචිකමක් වෙනවද කියලා හෙවීම තමයි ඔයාලට බාර, හොඳේ.     

කවුරු ඒ චිත්‍ර ඇඳලා දුන්නද මන්දා. කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියන එකයි මගේ මතය. ඔන්න, ශ්‍රී ලංකේය දක්ෂ චිත්‍ර ශිල්පීන්ට මහඟු අවස්ථාවක්. විකිපීඩියා එකේ යෝධයෝ වුණත් කන් දෙයි නේද, ඒ දසමහ යෝධයන් පඟර නැට්ටන් වගේ, මිට්ටන් වගේ අය බව තේරුම් කරලා දෙනව නම්. 

කිසිම වීරත්වයක් නොපෙන්වන යෝධයන්ව එතැනින් පන්නලා හැබෑ වීර යෝධයන් දහදෙනෙකු එතැනට යවන්න ඔයාලත් කැමැතියි නේද?

බලමු, සිංහලේ අභිමානය ගැන මොර දෙන සුජාත පුත්තරයන් මේ ගැන උනන්දු වෙයිද කියලා. 

අපේ කාලයේ මගේ වීරයෙක්! සිරිමෙවන් රණසිංහ ..................
‘විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටියි!’ මට නම් හිතෙන්නෙම මේක මසුරන් කියමනක් කියලාය. පාතාලයේ නායකයන් ගැන පත්තර පිටු පුරා ලියන උගත්-බහුශ්‍රුත මාධ්‍යවේදීන්ට ඒ තරම් අහුවුණේ නැති වීරයෙක් පහුගිය දවස්වල හිටියේය. (මං කියවන පත්තර ටිකේ මාධ්‍යවේදීන් ගැනය මා කියන්නේ.)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමා! 

හමුදාපතිවරයෙක් නෙවෙයි රජෙක් වුණත් කරන්නේ තුට්ටු දෙකේ වැඩ නම් එයා මිනිස් හදවත් තුළින් අතුගෑවිලා යන්නේ නිකම්ම. සිරිමෙවන් මහත්තයාව මට වීරයෙක් වෙන්නේ එතුමාගේ චර්යාව හින්දයි! අනේ, අනෙක් චර්යාවන් නම් කොහොමද කියන්න මට අවබෝධයක් නැහැ. පෙන්ෂන් යන්නට නියමිත වෙලාවේ කරපු දෙයින් නම් පෙනෙන්නේ එතුමාගේ පරාර්ථකාමී ගුණයයි. අනුන් ගැනත් තියෙන කරුණා-මෛත්‍රී ගුණය ගැනයි!

සිරිමෙවන් මහත්මයා විශ්‍රාම යන්නට නියමිත බව දැනගත් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නාලු, සේවා දිගුවක් ලබාදෙන්නට කටයුතු පිළියෙළ කරන ලෙස.

“ලේකම්තුමා, මට දවසකටවත් එක්ස්ටෙන්ෂන් එපා. මම එහෙම තව කාලයක් ගත්තොත් ඊළඟට ඉන්න කිහිප දෙනෙකුටම නිකම්ම විශ්‍රාම යන්න සිද්ධ වෙනවා. ඒක ලොකු අසාධාරණයක්. ඒ නිසා මම බොහොම සතුටින් විශ්‍රාම යන්න කැමැතියි!” රණසිංහ මැතිඳා කීවාලු. වාර්තා වෙන විදියට නම් මෙතෙක් කිසිම හමුදා ලොක්කෙකු මෙහෙම දෙයක් කියලත් නැත; කරලත් නැත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමනි, මෙන්න.....
සිරිමෙවන් රණසිංහ මහත්මාණනි, මෙන්න ඔබතුමාගේ උදාරත්වයට ‘නින්තරේ තදි’ගෙනුත් උත්තමාචාරයක්!!! 

“........ එකලැ වෙළුසුමනයොධයා තමාගේ ගෙට ගොස් නාවිසයෙකු ගෙන්වා ගෙන කුඩුඹිය පමණක් තබා ඉසකෙස් බාවා රජහුගෙන් ගෙඩි දුන්නා කොට පිට වැවරි දක්වා රත්පිළී දෙකක් ඇඳ..............” කාවන්තිස්ස රජතුමා වේළුසුමනට duty එක; දොළ සංසිඳුවන රාජකාරිය පැවරුවාට පස්සේ හරිය තමා ඔය.
(දැන් මොකක්ද හිතෙන්නේ? ටික දෙනෙකුට කොහොම වෙතත් වැඩි දෙනෙකුට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. -මේ යෝදයා, තේරෙන සිංහලෙන් ඔය ටික කියනවා නම් ඉවරයිනේ!- මට හිතුණා ඔයාලා එහෙම හිතන බව.)

ඒකයි මං මගේ සිංහලවලට එන්නේ. 

වේළුසුමන කට්ටයා! බාබර් කෙනෙකු ගෙන්නලා තට්ටය ගාවාගත්තා, ඉස්මුදුනෙන් විතරක් කෙස් රොදක් ඉතිරි වෙන්න. (ඒ කාලේ දමිල යෝධයන්ගෙ ෆැෂන් එක වෙන්නැති.) ඊට පස්සෙ යාළුවෙකුට කියලා පිටේ පලු මතුවෙනකල් ගස්සවා ගත්තා. ඊටත් පස්සේ රතුපාට රෙද්දක් ඇඳලා, එකක් පොරවාගෙන ලැහැස්ති වුණා.

බණ පොතේ දිග විස්තරයක තියෙන විදියට නම් මේ යෝදයා දෙමළ මිනිසුන්ව අන්දවලා, එළාර රජතුමා ළඟටම යනවා. ඔන්න රජතුමාත් ආ-ගිය විත්ති අහනවා; වේළුසුමනගෙන්.

 මදුරාසි උපරිමාධිකරණ භූමියේ ඇති ‘මනු නීදි චෝලන්’ පිළිරුව
“අනේ දේවයන් වහන්ස. මේ බලන්නකෝ, ඔබතුමාට ප්‍රශංසා කළාය කියා දුර්ජන කාවන්තිස්සයා මට කරපු හදිය.” එහෙම කියලා වේළුසුමන පිට පැත්ත පෙන්වන්නත් ඇති. දාහක් කතන්දර කියන්නත් ඇති. 

‘මනු නීදි චෝලන්’ (මනුගේ නීති පිළිපදින්නා) විරුදාවලියෙනුත් හඳුන්නලා තියෙන ‘එළාල’ බුද්ධිමත්, දක්ෂ, සාධාරණ රජෙක්ය කියලයි කියැවෙන්නේ. එහෙම බුද්ධිමතෙක්ව නෙවෙයි, ඕනෙම ජගතෙක්ව වුණත් ගොනාටම අන්දවන්න සමතුන් කොච්චර මේ ශ්‍රී ලංකාද්වීපයේ ඉන්නවද? මං කියන්නේ අද වුණත්? ඇට නැති දිව හොලවන්න වියදමකුත් නැහැ. 
වැඩි මහන්සියකුත් නැහැ!

එහෙව් උන්දැලා කරන්නෙම වේළුසුමන තියරියේ වැඩ. 
“හිටපු ලොක්කා කරන තරමක් කළෙම අසමජ්ජාති වැඩ. පට්ට හොරා. එපාම කරපු පොරක්..... ඒ විදියට බලද්දී තමුන්නාන්සේ පෙරාපු රත්තරන් කඳක්......” ඔය වගේ ප්‍රකාශ ටිකක් ණයට ගන්න විතරයි තියෙන්නේ, ගොතාගන්න බැරි නම්. 
නිර්මාණශීලීව; විලිසංගයක් නැතිව; ලබ්බ බස්සාගන්න තරම් හයියෙන් ඒවා පුන-පුනා කියන තරමට ‘පින පළ දෙනවාමයි; අත් දුටුවයි! සත්තයි!!’

අඩුම ගණනේ රාජ්‍ය ඇමතිකමක්වත් sure! ඊට පස්සේ ඉණිමඟේ ඉහළ නඟින්න නම් විරුද්ධවාදීන්ට කට අරින්න නොදුන්නාම හරි. බාධා කරන තරමට, තව-තව වාචාල; කෙළතොළු කතන්දර කිව්වොත්...... පුතේ, ගොඩේ ගොඩ! ඇප නැතිව කෝටි ගණනක ණයක් හරි ගත්තහැකි!

fb හිතවතුන් හිතවතියන් ගොඩ දෙනෙකු share කරගෙන තිබුණු ............
හාමුදුරුවරුන්ට නාල්ලන කුඩ හරි උන්දැලා වගේ ‘පින් කඳවල්වලට’ අල්ලනවා!
අනේ හැබෑට, ‘විනාස කාලෙන - විපරීත බුද්ධිඃ’ කියන්නේ මෙව්වාට වෙන්ටැති. 

fb එකට ගොඩ වැදෙනකොටම දැන් මේ වගේ එව්වා ගොඩක් දැකගන්න පුළුවන්. මේවා ෂෙයාර් කරගන්නේ සොමියටමද? Likes වැඩි කරගන්නටමද? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. එහෙම අයත් ඇති, හැබැයි ටිකෙන්-ටික සබුද්ධික වෙයි! 
මං ඉතින් සුබවාදීව බලන්න කැමැති කෙනානේ.

සිදුහත් කතාවේ ඉන්න අසිත තාපසයා වගේ හිනාවෙලා, අඬන්නයි තියෙන්නේ. ශුද්ධෝදන රජ්ජුරුවෝ අලුත් උපන් සිද්ධාර්ථ කුමාරයාව අසිත තාපසයාට පෙන්නන්න ගෙනාවාම පුංචි කුමාරයාගේ දෙපතුල් තවුසාගේ නළලෙ ගෑවිලාලු නැවතුණේ. ඒ පාර තාපසයා හිනාවෙලා, ඇඬුවාලු. රජතුමා ඒකට හේතු ඇහුවාම දුන්නු උත්තරේ මතකයිනේ?

“මේ කුමරුවා මහා පුණ්‍යවන්තයෙක්. නිසැකයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒක පෙනිලයි මම හිනාවුණේ.... ඒත් මගේ අනාවැකිය හැබෑ වෙනවා දෑහින් දකින්න තරම් කාලයක් මට ආයුෂ නෑ. ඒ දුකටයි මං ඇඬුවේ.” 

ඒ වගේ මටත් ඒකාන්ත විශ්වාසයි, අපේ තරුණ පරම්පරාව නුදුරු  අනාගතයේදී ගොඩක් ඉස්සරහට ඇවිත් මේ දූෂිතයන් එළවන එක එළවනවාමයි. අනේ, ඒක දෑසින් දකින්න තරම් කාලයක් මටත් ...... 

සුදොවුන් රජතුමා අසිත තාපසතුමාට දැක්වීමට සිදුහත් කුමරුන් ගෙනා වෙලාවේ..........
ඉතින් වේළුසුමන යෝධයාගේ ලණුව ගිල්ල එළාර රජ්ජුරුවනුත් කිසි හෙවිල්ලක්-බැලිල්ලක් නැතිවම මිනිහව විස්වාසෙට ගත්තා. “නුඹට හැකියි මගේ වෙනුවෙන් සේවය කරන්නට. කුමන රාජකාරියක්ද ඔබ රුහුණේ සිටියදී කළේ?” කියලත් එවෙලෙම ඇහුවා.

“දේවයන් වහන්ස. මං මනාපයි අසුන් හසුරුවන්නට. යුද කරන්නටත් හැකියි. මං ඔය වැඩ දෙකටම දක්ෂයි. තව වැඩි කාලයක් යන්නට මත්තෙන් ඒ මාගම කාවන්තිස්සයා කුදලාගෙන අවුත් ඔබ වහන්සේට දක්වන්නයි මා පෙරුම් පුරන්නේ.” රජ්ජුරුවන්ගේ හිතට වැදෙන්නට වේළුසුමන තවත් වහසි දෙඩුවා! එහෙමයි වේළුසුමනට එළාර රජ්ජුරුවන්ගෙ ඉස්තාලේ රස්සාව ලැබුණේ!

Impossible මිෂන් එකෙන් බාගයක් හරි. වේළුසුමන ටිකෙන්-ටික කිට්ටු කළේ ‘රණමද්දව’ ළඟට. කවුද රණමද්දව කියන්නේ?

8 comments:

  1. ඒ ෆිල්ම් එක යූටියුබ් දාන්න බැයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. මධු, ගිවන්ත අර්ථසාද් මහත්තයට තමයි කියන්න ඕනේ! ෆිලම් එක එයාගෙනේ.

      Delete
  2. රණමද්දව
    http://sithuwilisuwadakakulu.blogspot.com/2011/09/9.html

    https://si.wikibooks.org/wiki/%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94_%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB_%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F%E0%B7%80_-_ii

    වීරයන් / අසුන් / මෙල්ල කිරීම - Universal, especially among Indo-Aryan cultures

    https://chs.harvard.edu/CHS/article/display/6657.2-horses-heroes-and-sacrifice

    ReplyDelete
  3. Pra Jay, මෙච්චර ඉක්මනින් මේ තොරතුරු මූලාශ්‍ර දෙනවට පින්! එත් සමහර ඒවා නම් බලන්නේ පස්සෙයි!!

    ReplyDelete
  4. මැදින් ටිකක් ඉතිරිවෙන්න කොන්ඩෙ බූ ගා දැමීමත්, රතු පාට අමුඩයක් ගැස්සවීමත් ඒ දඬුවමේ පෙර සූදානම් කිරීම්. ඉන් පස්සෙ අනිත් අයට රැස්වීමට ලැබෙන සේ වීදි දිගේ රැගෙන ගොස් නගරයේ (හෝ ගමේ) ප්‍රසිද්ද ස්ථානයකදී වේවැලෙන්, කෙවිටෙන් හෝ කසයෙන් (වැරැද්දේ ස්වභාවය අනුව) තැලීම සම්මත වධ (දඬුවම්) ක්‍රමයක්.
    වේළුසුමන simulate කලේ ඒ process එකේ aftermath එකයි.

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස්, ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට. ඒක වෙස්වලාගැනීමක් කියන එක විතරයි මගෙන් අවධාරණය කෙරුණේ. දණ්ඩනයකට ලක්වීමකුත් විදියට පෙන්වන්න හිස බූගෑම කළාය කියන කාරණයත් හරියටම මට වැදුණේ ඔයාගේ කමෙන්ට් එකෙන්.
      කී සැරයක් කියෙව්වත් සමහර කරුණු අපට මඟ හැරෙනවානේ! නේද? මා ගැන නම් මේක හොඳ උදාහරණයක්. ආයෙමත් ස්තුතියි!

      Delete
  5. ඇඳීම වගේම ඇන්දවීම අපේ කාට කාටත් උපතින්ම දීල තියන දෙයක්ද මන්ද ?

    ReplyDelete
    Replies
    1. හා හා කාටවත් ඇහෙයි, පරෙස්සමින්. මේ දවස්වල හැම තැනම ඔය දෙකම ඕසෙට කෙරෙනවා. විවේචනේ කළා කියයි.

      Delete