අකුරු මැකී නෑ

Sunday, February 24, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස

මේ වජිරා ගැනත් කියන්න ගියොත්..... කියලා පහුගිය පෝස්ටුව නැවැත්තුවේ වජිරා චිත්‍රසේන ගැන ගොඩක් දේවල් කියන්නට ඇති නිසයි.

වජිරා රුක්මණී දමයන්තිත් ඉස්සෙල්ලාම රඟපාලා තියෙන්නේ................
දහනවවෙනි සියවසේ මුල හරිය වෙද්දී කාන්තාවන් නැටුම්-රැඟුම් වගේ දේවල්වලට ඉදිරියට ආවේ නැහැ. විශේෂයෙන් ආසියාතික රටවල. මං හිතන්නේ අපේ බලිතොවිල්, ශාන්තිකර්ම වගේ දේවල්වලදිත් පිරිමින්මනෙ කාන්තාවන්ට ඇන්දේ. පත්තිනි දෙවඟනට, සොකරිට, ලෙන්චිනාට එහෙම රඟපෑවෙම පිරිමි. ඒ පූර්වාදර්ශය බිඳින්න එඩිතර වුණු අයගෙන් පුරෝගාමිනියක් තමයි ‘වජිරා’. 

ශ්‍රී ලංකාවේ පළමුවෙනි වෘත්තීය නර්තනවේදිනිය විදියට හඳුන්වන්නේත් ‘නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මණී දමයන්ති පෙරේරා’ මහත්මියවමයි.

වජිරා යුවතියත් නමෝවිත්තියෙන් රඟපාලා තියෙන්නේ ‘විධුර’ නාට්‍යයේ. ඒ අපේ අබරන් මාස්ටර්ලගේ විධුර එකේ නම් නෙවෙයි. 1944 දී චිත්‍රසේන කලායතනයේ ‘විධුර’ එකෙයි. අපේ විධුර එකට නම් නාග කන්‍යා චරිත තිබ්බේ නැහැ. නර්තනය පෙරදැරි කරගත් චිත්‍රසේන නිෂ්පාදනයේ සමූහ නැටුම් තියෙන්නට ඇති අනිවාර්යයෙන්ම. 
ඊටත් එයාලා අපි වගේ ඇහින්දාස්ලා දාගෙන නාට්‍ය කරපු අයත් නෙවෙයිනේ.

එතකොට ලංකාවේ කලාකරුවන් අතරේ නමක් රන්දාගෙන හිටි සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, ඩබ්ලිව්.ඩී. මකුලොලුව වගේ උදවියත් ඒ කලායතනයට සම්බන්ධ වෙලා හිටියනේ.

(නිදි ඒවා ගැන කියන්න ගත්තේ පොඩි පම්පෝරි පාරකුත් ගහන්නයි. අපේ මානෙල් නංගිගේ දූ සිඟිත්ත; උපේඛා කෞෂිනී නොහොත් රෝසිත් මෑතක ටික කාලයක් ඒ කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටි නැට්ටුක්කාරියක්. (නීච කුමන්ත්‍රණේ පෝස්ටුවේදීත් ටිකක් කියවුණා.) කෙල්ල රට සවාරි එහෙමත් ගියා. කොච්චර ආසාව තිබුණත් මට කරගන්න බැරිවුණු ටිකක් ඒ කෙල්ල හරි කළානේ! 

ඊටත් වැඩියෙන් වටින්නේ ඒ ෆීල්ඩ් එක ගැන දැනගන්න ලැබුණු තොරතුරුයි. මොකද, රෝසි රාජ්‍ය නර්තන කණ්ඩායමේත්, ප්‍රධාන නර්තන ශිල්පීන් කිහිප දෙනෙකුගේ කණ්ඩායම්වලත් නැටුවා!    

ඊටත් වැඩියෙන් වටින්නේ නර්තන ෆීල්ඩ් එකේ ඇතුළාන්තය ගැන තොරතුරු.........
ඉතින් ආයෙම අපේ විධුර එකට එමුකො එහෙනං. නීලක්කාගේ පිළිගැනීමේ ගීතය ඉවර වුණාම තමා නාට්‍යයේ පළමු ජවනිකාව. 
ඉස්සරහ තිරය වහන පමාවෙන්, ලංකාව තියලා තිබුණු සුදු රෙද්දෙන් වහපු පුටුව එහෙම අයින් කරනවා. සිංහාසනේ ගෙනත් වේදිකාව මැදින් තියනවා. 
නාට්ටියේ රජවරු හතරදෙනෙකුනෙ, ඒත් රජා වෙනස් වුණාට සිංහාසනේ වෙනස් වුණේ නැහැ. මිනිසුන්ට ඕනේ පණ නැති සිංහාසනේ බලන්න නෙවෙයිනෙ, පණ ඇති රජවරුන්ගෙ acting බලාගන්නනේ.

තිරය අරිනකොට කුරු රජතුමා ඉන්නේ සිංහාසනයේ වාඩිවෙලා නෙවෙයි. එයා කල්පනා භරිතව වේදිකාවට එනවා. තනියම තමන්ටම කියාගන්නවා සංසාරයේ බියකරු බව ගැන. භාවනා කරන්නට මිගාරුචි උයනට යන්න කලින් චූන් එකේ සින්දුවත් කියනවා. 
සුරින්දා සේ සිරින් වසනා සදාකල්..............

ඇත්තටම මේවා හිතලා කෙරිලා වගේනෙ. අවුරුදු හැට-හැත්තෑවකට එහා කවුරු හරි රචකයෙක් මේ ගීතය ලියලා තියෙන්නේ කොයි තරම් අවබෝධයෙන්ද? 

නූතන කාලෙත් හැම රජාම බලන්නේ ‘සකල ශ්‍රීන් විරාජමානව සදාකල් වසන්නනේ!’ 
ඒ නිසා මැරෙන බව උන්දලට අමතක වෙනවා. අනේ, අනේ... ඒවා කියන්න යන්න බැහැ. ඊළඟට තියෙන වරුණ නම් නා රජතුමාගේ සීන් එකට යන්න එපැයි!

හැම රජාම බලන්නේ සකල ශ්‍රීන් විරාජමානව සදාකල්..............
මහරගම නගර සභා පිට්ටනියේ ඉදිකරලා තිබුණු ස්ථිර වේදිකාවට ඉස්සරහින් දිගට, රවුමට පඩි පෙළවල් තුනක් තිබ්බා. එතැන ඉඳලා යාර කිහිපයකට එහායින් කණු දෙක-තුනක් හිටවලා කොහුලණු ඇදලා තීරුවක් වෙන් කරලා තිබුණා.
නාට්‍යය බලන්න එන ආරාධිත අමුත්තන්ටයි ඒ. පළාතේ කැපී පෙනෙන වැදගතුන්; ඇති-පැති උදවිය තමා එවැනි ආරාධිතයන් වෙන්නේ. එහෙම ආරාධනා කරන්නේ; පුටුවල වාඩි කරවලා ඔරෙන්ජන් බාර්ලි හෙම බොන්නට දෙන්නේ එයාලාට ඇති ආදරයකට නොවේ. ගානක් කඩා ගන්නටය!

“සිරි, තමුසෙලා තමයි ඒ ටික බලාගන්න ඕනේ! ආරාධනා පත්තර අරන් එන කට්ටියව විතරක් පුටුවලින් වාඩි කරවන්න ඕනේ. ලණුවෙන් රිංගලා, හොරෙන් කාටවත් එන්න දෙන්න එපා. අපට පුටු මදිවෙලා හොයන්නත් වෙයි අන්තිමට. නාට්‍යය ඉවර වුණාම ආරාධනා පත්තර අරන් එන කට්ටියව විතරක් ස්ටේජ් එකට එක්කන් එන්නයි තියෙන්නේ.” 
තාත්තා කලින්ම සිරි ඇතුළු නඩයට රාජකාරි පවරලාය තිබුණේ.

“අද නම් පුතෝ ඉන්විටේෂන්වලිනුත් ගානක් නොආවොත් කම්මුතුයි. දැනටමත් අපි ණයවෙලා ඉන්නේ. තමුසෙලගෙ වැඩේ තිතට කෙරෙන්න ඕනේ. හරිද?” 

අපේ තාත්තා එහෙම කිව්වත් ඒ රාජකාරිය නම් අකුරට කෙරිලා තිබ්බේ නැතිය.

ඒ කිව්වේ සෙනඟ වැඩිවෙද්දී කොහුලණු බාධකය තරණය කිරීම කොලුකුරුට්ටන්ට කජ්ජක් නොවුණු හින්දාය; සිය ගණනක කොල්ලන් හමුදාවක් ස්වේච්ඡාවෙන්ම තහනම් තීරුව ආක්‍රමණය කරලා හින්දාය. ඒ මදිවාට අර පඩි පේළි තුනේ සිට ආරාධිතයන්ගේ පුටු වෙනකල්මත් තියෙන හිස් බිම්කඩේ වාඩිවෙලාය! 

අන්තිමටම සිරි අයියා ඉහින්-කණින් දහඩිය-මුගුරු පෙරාගෙන තාත්තා ළඟට ආවේය.

අන්තිමට සිරි අයියා තුන්මුණින් දහඩිය මුගුරු පෙරාගෙන .............
“අනේ ගුණපාල අයියේ, මක් කරලාවත් මේ කොලු හැතිකරේ පන්නන්න බැහැනේ. එකෙක්ද දෙන්නෙක්ද.” සිරි අයියා හිටියේ හොඳටම බය වෙලාය. ඒ අපේ තාත්තාගෙන් පලු යන්නට බැණුම් අහන්නට වේය කියලාය. 

“මට තේරෙනවා අයිසේ. ඔන්න ඔහේ ඉන්න අරිනවා. හැබැයි හිටගත්තොත් බෙල්ලෙන්ම අල්ලලා එළියට දානවයි කියලා උන්ව බය කරලා තියාගන්නවා.”

සිරි අයියාගේ දහඩිය වැගිරිල්ල නැවතුණේ එතකොටය!

අපේ තාත්තා හුඟ වෙලාවට සාධාරණ ඒකාධිපතියෙක් වුණේය. ඒත් පුහුදුන් මනුස්සයෙකු නිසා එයාටත් වැරැදිච්ච තැන් තිබුණේය. 
මට හිතෙන්නේ මං ඊටත් ටිකාක් විතර ඉස්සරහින් ඉන්නවා කියලාය. 
ඒකාධිපතිකමෙනුත්, වැරැදෙන ගතියෙනුත් දෙකෙන්ම. එහෙම වෙන්නම එපැයි. 

තාත්තා කළ දේ නොකරන පුතා නොට්ටිගෙ පුතාය.

සිරි අයියලා බයෙන් හිටියත් කොලු-කුරුට්ටෝ හැදියාවක් ඇති නාට්‍ය ප්‍රේක්ෂකයන් වගේම හිටියෝය. නාට්‍ය දර්ශනයට බාධා කරන්නට නොආවෝය. ඒ කාලේ හැම කොල්ලාට-බල්ලාටම mobile ෆෝන් තිබ්බෙත් නැහැනේ!

....වරුණ නම් නා රජ්ජුරුවෝ හිටියෙත් ජාලරයක ........
කුරු රජතුමාගේ සීන් එක ඉවර වෙනකල් නිහාල් අයියා හිටියෙත් ජාලරයක මුවාවේය; දෙබස් ටික මතක් කර ගනිමිනි. නීලක්කාත් එහෙමය. ඒ මදිවාට රංජිත් අයියාත් සූදානමෙනි. නිහාල් අයියා වෙනුවටත් සින්දුව කිව්වේ එයා නිසාය. “හරි හරි. නිහාල් ගිහින් පුටුවෙන් වාඩිවෙනවා. තිරේ අරින්නයි යන්නේ.”

ප්‍රධාන තිරය ඇරීමේ වගකීම තිබුණේ අපේ තාත්තා අතේය. “මේක වෙන කාටවත් පවරලා බැහැ. වැරැදිලා හරි සීන් එකට රෙඩිවෙන්න කලින් තිරේ ඇරියොත් මිනිස්සු හූ කියයි!”

තාත්තා ඒ තීරණය ගත්තේ මගේ සවිස්තර වාර්තා කථනයකට පස්සෙය. (මගේ ඒ හපන්කම නිසා තව ඩිංගෙන් හතරමංහංදි කඩාගන්නට වෙන හැටි ‘අනේ කුරුළු කූඩුවලට’ පෝස්ටුවේදී කිව්වා මතකයිනේ.)  මේ විස්තර කිව්වේ නාවින්නේ ලියනෝරිස් මාමලාගේ ‘දන්ත - හේමමාලි’ වෙසක් නාට්ටියට පස්සෙය. 

ඒක පෙන්නුවේ දැන් ‘වදුල ගාර්ඩ්න්’ එක තියෙන තැන ඉස්සරහින්ය. (දිව්‍ය අංගනි සේ 3) නාට්‍යයේ එක දර්ශනයකදී ‘දන්ත ධාතූන් වහන්සේ’ කිණිහිරයක් උඩ තියා- තළා විනාශ කරන්නට සැරසෙයි. යකුලු පහර වැදෙද්දී දන්ත ධාතුව නෙළුමක් එක්කම උඩට මතු වෙයි! සමහර ආච්චිලා ඒ සීන් එකේදී සාදුකාරත් දුන්හ.

ඒ දර්ශනයට කලින් ප්‍රධාන තිරය ඇරුණේය. විනාඩියක් විතර ගියේය. වේදිකාව උඩ හිටි හැමෝම අන්ද-මන්ද වෙලාය. එකාට-එකා මුහුණු බලා ගනිද්දී මොකක් හෝ වැරැදී ඇති බව අපටත් තේරුණේය. තිරය වැහුණේය; පොඩි හූවකුත් නැඟුණේය! 
තාත්තා අසනීපයෙන් නිසා වැඩි හරියක් ගෙදරම හිටියත් ඒ දවස්වල ඔහොම දේවල් වීඩියෝවකින් වාගේ දැක ගත්තේ මගේ උදව්වෙනි. මට කැමරාවක් තිබිලා නම් නොවේ. කලින් කී පරිදි, පණ පිහිටුවා මා කළ සවිස්තර-වාර්තාවලිනි.

දන්ත ධාතුන් වහන්සේ කිණිහිරය පළාගෙන මතුවෙන සීන් එකේදී........ 
අපේ තාත්තාගේ විධානයත් එක්කම නා රජතුමෝ සිහසුනට සැපත් වූහ. වාඩි ගත්හ. නිහාල් අයියා මොකුත්ම වැරැද්දුවේ නැත. තාත්තා කියා දීලා තිබුණු විදියටම කළේය. විනේ කැටුණේත් එහෙම කරන්නට කීකරු වුණු හින්දාමය.

නාට්‍යයේ මුල් සීන්ස් හතරේදීම තියෙන්නේ රජවරු හතරදෙනාගේ කෑලිය. 
ඒ නිසාම ඒකාකාරිත්වය බිඳින්නට එක-එක රජා ඉදිරිපත් කෙරුණේ එක-එක විදියටය. “නිහාල්. තමුසේ කකුලක් පිට කකුලක් දමාගෙන, අත් දෙක සිංහාසන ඇඳි දෙකේ තියාගෙන ආඩම්බරෙන් වාඩිවෙලා ඉන්නවා.” 
තාත්තා කියා දුන්නේ එහෙමය. නිහාල් අයියා කළෙත් එහෙමය. එතකොටම තිරෙත් ඇරුණේය.

තත්පර ගණනක් යන්නටත් කලින් කොල්ලන්ගේ අතරින් හිනා හඬක් නැඟිණි. ඒක බෝවෙන රෝගයක් වගේ වුණේය. කවුදෝ කඩප්පුලි කොල්ලෙක් නම් අපට ලොකු උදව්වක් කළේ එතකොටය. හැබැයි උදව්ව කළේ හෙමින් එහෙමත් නොවේ. මහ සද්දෙන් කෑ ගහලාය.

“රජ්ජුරුවන්ගෙ පොට්ටනිය එළියේ!’.

අපටත් කලින් තාත්තාට වැඩේ අහුවෙලාය. දඩ-බඩ ගාලා ඉදිරිපස තිරය වැහුණේය. දත්මිටි කමින් නිහාල් අයියාව කාමරයට ඇදගෙන ගිය තාත්තා, ඒ තදියමෙන්ම නිහාල් අයියාගේ රෝමන් ඇඳුම ගැලෙව්වේය! 

ඔහුට අලුතින් දෝතිය අන්දවන්නට යද්දී  මා දුටු ඒ අපූරු දසුන මට තවම මතකය! ඔටුන්නත් දමාගෙන, රාජාභරණත් පැලඳගෙන, ළා පැහැයක ‘ලන්කට්’ එක පිටින් තක්බීර් වී හිටි නිහාල් අයියා!
නා රජ්ජුරුවන්ගේ නාග මාණික්‍යය කොල්ලන්ට නොපෙනුණා නම් තමා.......
මතකයිනේ, අරීසාගේ රෝමන් විදියේදී නිහාල් අයියාගේ යටිකයේ ඇඳුම තිබුණේ දණහිසටත් උඩින්ය. ඒකත් ඇඳගෙන, කකුලක් පිට කකුලක් දමා වාඩි වුණාම? 

සීන් එකේ කූඨප්‍රාප්තිය ඇති වුණේ අර මුලින් කී පඩිපේළියේ අටවා තිබුණු flash ලයිට් නිසාය. ඒවාත් වැදුණාම ‘නා රජ්ජුරුවන්ගේ නාග මාණික්‍යය’ නොපෙනුණා නම් තමා පුදුමය! අර ලයිට් එළි එල්ල වෙලා තිබුණේ නිහාල් අයියාගේ 'පරම්පරා කුට්ටම' වැහෙන්න ඇඳගෙන හිටි ළා පාට යට ඇඳුමටත් එක්කමය!

කකුලක් පිට කකුලක් දමා වාඩි වුණාමත් ඒක වැහිලා තියෙන විදිහට හිටින්නට, නිහාල් අයියාට ආයෙමත් දෝතිය අන්දවා නාට්ටිය පටන් ගන්න විටත් අරීසා අතුරුදහන් වෙලාය! ඒ වුණා වුණාමය!! අද වෙන තුරුමත් මිනිහා ‘මිසින්’ය!!!

එදා, ඊට පස්සේ අප කාට-කාටත් තිබුණු ලොකුම ප්‍රශ්නය හිනාව තද කරගෙන රඟපාන්නට වීමයි. ඒ මදිවාට තාත්තාගේ කේන්තිය මගේ පිටින් යන්නටය ගොඩක්ම ඉඩ තිබුණේත්. ඉතින්, මම වඩාත් ප්‍රවේසම් වූයෙමි. ඒත් අලකලංචි ගොන්න එතනින්වත් ඉවර වුණේ නැත! පඳුරු ලෑවේය. පුදුමය මේවා තොගයම මගේ මතකයේ තිබීමය. 

එහෙම හොඳ මතකයක් තිබුණත් ගියවර පෝස්ටුව ලියද්දී වැදගත් දෙයක් මට මිස් වෙලාය.

කුමාර තිරිමාදුර වගේම ‘මට ඇති’ කියලා කියන තවත් හාදයෙක් මේ මාසයේදීම; පෙබරවාරියේදීම මට හමු විණි. එතකොට මං හිටියේ මුහුදු වෙරළේ කණපිට හරවා තිබුණු බෝට්ටුවක් උඩ වාඩිවෙලාය. මතකනේ, රෝද දෙකේ රස්තියාදුවොත් එක්ක කල්පිටි ගිය ගමන.
එතකොට මං හිටියේ මුහුදු වෙරළේ.........
උදේ කූඩාරම් හැකිළුවාට පස්සේ අපේ හාදයෝ වෙරළ පුරා කඳු ගැහී තිබුණු කුණු එකතු කරන්නට පටන් ගත්හ. ඉතා යහපත් කටයුත්තක් කරද්දීත් සහාය නොවී මට වාඩිවෙලා ඉන්නට වුණේ දෙකකුල් හොඳටම හිරිවැටී තිබුණු බැවිනි. ඒ අතරේය එදා උදේ අප සමඟ කතා කොට මුහුදු ගිය ධීවරයෙකු එතැනින් යන්නට ආවේ.  

“ඉක්මනටම ආවද?” මගෙන් කියවුණේ ඉබේම වගෙය.

“උදේට මුහුදු යන කට්ටිය එන්නේ හවස් වෙලා. රෑට ගියොත් උදේටයි ආපහු එන්නේ......” වෙරළේ බෝට්ටු රකින රාජකාරියේ නියුතු ඇන්ටනි අයියා අපට කිව්වේ කලින්දා රාත්තිරියේය. එත් දැන් ඊට වෙනස් දෙයක් සිදු වෙලාය. අතුරු ආන්තරාවක්වත්ද? ඒ නිසාය මගේ කටින් ප්‍රශ්නයක් පැන්නේ.

“ලොකු මාළු අහිනක් හිටියා. අපිට අදට ඇතිනේ. පැය එකහමාරයි ගියේ!” කට පුරා හිනාවෙමින් ඔහු කිව්වේය. 

මෙහෙම මිනිස්සුත් සිටිති. ලද දෙයින් සතුටු වෙන්නෝ! මට තවමත් දුක ඒ මනුස්සයාගේ ෆොටෝ එකක්වත් නොගත් එක ගැනය; නියම මනුස්සයෙක් හමු වෙලාත් එවෙලේ ඔහුගේ අගය නොවැටහීම ගැනය; කොටින්ම, තිරිමාදුර ගැන ආයෙමත් ලියද්දීවත් මේ මනසින් උසස් මනුස්සයා මගේ ඔළුවට ආවේ නැත. අද උදේ නාද්දීය මේ වස වැරැද්ද ගැන- අතපසුවීම ගැන අදහස මගේ හිසට රිංගුවේ.

රෝද දෙකේ රස්තියාදුවන් සේරම එකට එකතුවී හතරවෙනිදා උදෙන්ම...........
අනෙක, තවත් අතපසුවීමකි. මද්දාගේ නඩය අනුන්ගේ කුණුත් සේරම එකතු කර පුළුස්සා වෙරළ පවිත්‍ර කිරීම ගැනත් ගිය වාරයේම ලියන්නටය තිබුණේ. ඔවුන්ට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශංසාවක් හිමිවිය යුතුය. (අනුන්ට බණ කිව්වාට මොකෝ, සමහර වෙලාවට මටත් අතපසුවීම් සිදු වෙයි.) වස වැරැද්දකි, ඒකට නම් නිකං ඉඳලා හරි නැත.

ඔන්න, මං මටම ටොකු දෙකක් ඇනගත්තා! විරාමෙකුත් ගත්තා!!



8 comments:

  1. අද කාලේ වගේ රජුරුවන්ගේ තුන් ඈදුතු කුට්ටම දැක්කනම් Facebook ලෝකේ වටේම යනව .රජාටත් මාර ඉල්ලුමක් තියේවි නේද!!!

    ReplyDelete
  2. රාජ්‍ය රහස් නිසා කියලත් බැහැ, ලොකුවට පුම්බන්නේ පුහු අයනේ!

    ReplyDelete
  3. රෝමන් කාරය ගම කාල නේ හැක් හැක්.

    ඇන්ටනී අයියල ගැන මතකය ඇත්තටම හරිම සංවේදීයි. අපි කෑම්ප් කරපු සමහර පැති වල කිසිම අයිතියක් නැතිව අපි හිටපු තැනට ඇවිත් අපට වද දුන් අය ඕනි තරම් හිටිය. ඒත් ඒ මනුස්සයා කෑම ටිකක් කාල යන්න එන්න එන්න කීවත් අපි හිටපු ඉසව්වට ආවෙ නැහැ. මුලු රෑම නිදිමරල උදේ යන්න කලින් ඇවිත්. යන්නම් ආයේ එන්න කියලා අරාධනා කරලත් ගියා.

    ReplyDelete
  4. හැබෑ මිනිස්සුන්ව හමුවීමට ඉඩ ලැබීම තමයි සංචාරයේ උපරිම සතුට! ඇත්තටම ඇන්ටනි රත්තරන්. අර පහුවදා උදේ මගෙත් එක්ක කතා කළ මනුස්සයත් ඒ වගේමයි, මධූ. ජීවිතේ සතුටින් ගෙවන්නෝ!

    ReplyDelete
  5. වරුණ රජ්ජුරුවන්ගෙ ෆ්ලෑෂ් පාරට ඉස්සරහ හිටිය උන්ගෙ ඇස් අන්ධ වෙලා යන්න ඇති ... :-D

    අදටත් කොහේ හරි කෑම්පින් ගියොත් ඒ වටා පිටාව සුද්ද කරලා තමයි එන්නෙ ... අනේ අපේ බත් කන හරක් හැමෝටමත් එහෙම හිතෙනව නම් ?

    ReplyDelete
    Replies
    1. එහෙම අන්ධ වෙන්නම එපයි. නාග මානික්කයක්නෙ.

      අවට සුද්ද කරනවා නෙවෙයි, අඩුම තරමේ බෝතල කුඩුකරලා දාලා එන්නේ නැතුව ඉන්නවා නම්. කණ්ඩා, හුඟක් අය මහම ගොන් ආතල් එකක් ගන්නවා බෝතල් කුඩු කරලා.

      Delete