අකුරු මැකී නෑ

Monday, February 4, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස

ඉඩත් වෙලාවත් ලැබෙන විදියට කියවන .......

ඉඩත්-වෙලාවත් ලැබෙන විදියට තවත් බ්ලොග් රචකයන්ගේ ලියවිලි කියවීමත් මගේ පුරුද්දකි. මා විවිධ ශානරයන්ට අයත් බ්ලොග් අඩවි බලන්නේ විවිධත්වයට කැමැති නිසාමය. එහෙම, මා කියවන ඒවායින් එකකි ‘ඉකොනොමැට්ටාගේ බොජුන් හල’. 

2019 ජනවාරි 23 වෙනිදා ‘ඉකොනොමැට්ටා’ ලියා තිබුණේ ‘1800 ගෙදර හා 2017 ගෙදර’ යන පෝස්ටුවයි. 
පහළින් තියෙන පින්තූර බාගයත් එහි උඩින්ම පළවී තිබිණි. මේ ඡායාරූපය 1800 ගනු ලැබූවක් නොවන බව ‘ඉකෝ’ හරිම ලස්සනට ඒ පෝස්ටුවේ ලියා තිබේ. 

මං කියන්නට හදන්නේ පින්තූරයේ ඉතිහාසය ගැන නොවේ. 1960 දසකයේ මහරගම ගෙවල් ගැනය.

ඒවායින් වැඩිම හරියක් පොල් අතු හෙවිල්ලා තිබුණු ඒවාය. මහරගමටම පොල් අතු විකිණුවේ දෙන්නෙකි. එක්කෙනෙක් ‘තට්ට දයා’ අක්කාය. අනෙකා රොබියෙස් අයියාය. රොබියෙස් අයියා හිටියේ බුවෙනකබා විදුහලට දකුණු පැත්තේ ඉඩමේ ය. දයා අක්කා හිටියේ බුවෙනකබාවට ඉස්සරහින් පාරෙන් එහා පැත්තේය. (රොබියස් අයියාගේ පුතා, ක්වින්ටස් මගේ පංති සගයෙකි. ඒ විස්තර යහමින් ‘අනේ කුරුලු කූඩුවලට’ පෝස්ටුවෙදී කිව්වෙමි.)

ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ තිබුණු...........
මෙහෙම, වෙළෙන්දන් දෙන්නෙකුම ඉඳලාත් ඕනෑම වෙලාවක ගන්නට පොල් අතු මහරගම තිබුණේ නැත. ඒ තරමට demand එකකි තිබුණේ.

අපේ ආච්චී නම් වත්තේ වැටෙන පොල් අතු එකක්වත් අපතේ හැරියේ නැත. ඒවා එකතු කරගෙන ඇවිත්, ඔළුව කපා දමා කොටුවේ ආච්චිගේ ඕවිට අයිනෙන්, මැදින් ගලන කාණුවේ පෙඟෙන්නට දමයි. දවස් ගණනක් පෙඟී ගියාට පස්සේ එව්වා දෙකට පළා වියන්නට ගනියි. හැබැයි එතකොට එන පල් ගඳ නම් මහ එපා කරපු එකකි.

එහෙම වියන ගමන් අපේ ආච්චී මටත්, සුනිල්ටත් ‘පොල් අතු වියමන’ ඉගැන්නුවාය. මං අදටත්, තවමත් ඒ ශිල්පයෙන් ප්‍රයෝජන ගන්නේ ආච්චීට පිං දෙමිනි. 
ඒ පදමට වතුරේ පොඟවාගත්; පල් ගඳ ගහන පොල් අතු වියන්නට නොවේ. පහන් පැළක් හදාගන්නවා වැනි වෙලාවකදී ගොක් අත්තක් වියාගන්නටය.

ඒ මතකය වගේම, මට හොඳටම මතක හිටපු හාදයෙකුත් මහරගම සිටියි. 

මිනිහා මාව දකින වාරයක් ගණනේ, අහල-පහළ කවුරුන්වත් නැත්තං නොවරදවාම කියන වචන ටිකක් ඇත. “මනුලොව ඉපිද කළාවූ අකුසලයන්ගේ හේතුවෙන් යක්ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ යෝනීන්හි උපන්නාවූ සත්ත්වයන් මා හමුවට පැමිණියේද?”. 

අනුර එහෙම කියලාත් නවතින්නේ එහෙමත් දවසකය. මං ඉන්නේ දුවන ගමන් නොවෙයි වගේ නම් මාව නවත්තාගෙන මේ ටිකත් කියයි. “නිමල් අයියේ, මතකද ඔයා මාව නළුවෙක් කළා. අපි කවදා ස්ටේජ් එකකට නඟින කොල්ලොද, ඔයා නොහිටින්න.”

මතකයිද ඔයා මාව නළුවෙක් කළා. අපි කවදා.....
අනුර කිව්වාට අපි එයාට කියන්නේ උස අනුර කියලාය. මනුස්සයා අඩි 5 අඟල් 9 ක් උස හින්දාය. අනුර ඒ පවුලේ වැඩිමල් කොල්ලාය. අපේ ගෙදර වගේම අනුරලාගේ ගෙදරත් දරු සම්පතේ අඩුවක් නොතිබිණි. අනුර ඒ පවුලේ වැඩිමහලු කොල්ලාය.

පමුණුව පාරෙන් එක්සත් සුබ සාධක මාවතට හැරුණාම දකුණු පැත්තේ තිබුණු පළමු නිවහන අනුරලාගේය. ඒ ඉස්සරය; හැටේ දශකයේය; පමුණුව ‘පාංකඩ පමුණුව’ වෙන්නට කලින්ය. ඒ දවස්වල අපේ තාත්තලා-අම්මලාත්, අනුරලාගේ ගෙදර වැඩිහිටියනුත් ගජ යහළුවෝය.

ඒ යාළුකම කොච්චරද කිව්වොත් 1969 ජුලි 21 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝන් ඉස්-ඉස්සෙල්ලාම හඳට ගොඩ බහින වෙලේ අපේ ගෙදර කට්ටියම හිටියේ අනුරලාගේ ගෙදරට ගොඩ බැහැලාය. එතකොටවත් අපට රේඩියෝවක් තිබුණේ නැති නිසාය; අනුරලාට ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් තිබුණු නිසාය. 

ඒ හරියේ පසුව කියන්නට තරම් තව විස්තර තිබෙයි! දැනට තව එකම එක කාරණයක් විතරක් අනුරලා ගැන කියන එක හොඳය.

සිරි ලංකාවෙන් ඉස්සෙල්ලාම ඩුබායි ගිය; ගිහින් අවුරුදු විස්සක්-තිහක් එහේම හිටි අයගේ ගොඩට මේ අනුරගේ මව් යානයත් අයිතිය.

මේවා මෙච්චර මතක තිබුණත් මටත් වරදින තැන් ඇත. 
කොපමණ වතාවක් අනුරගෙන් අර දෙබස් ඛණ්ඩය repeat වුණත් එය කියවුණේ  කාගෙන්දැයි; කුමන චරිතයෙන්දැයි මං හිතුවේ නැත. විලාසය අනුව මං හිතාගෙන හිටියේ ඒකත් ‘විධුර’නාට්‍යයේ කියලාය. විධුර ගැන මතකයක් මිස, ඡායාරූපයක්- සටහනක්- වැනි කිසිම සමරුවක් මා ළඟ නැත. 

ඉතින් මට හිතුණේ අනුරව හමුවී දෙබස් ඛණ්ඩය පටිගත කරගන්නටය.

අවුරුදු පනහකට කලින් නීල් ආම්ස්ට්‍රෝන්ලා ඇපොලෝ 11 යානයෙන්...........
පෙරුම් පුරලා මං අනුරව අල්ලා ගත්තේ මහරගම හන්දියෙදීමය. 2019 ජනවාරි 24 වෙනිදා හවසය. එතනම තිබුණේ සෙනරත්ගේ ත්‍රී වීලරයයි. 
අනුරව ඒකෙන් වාඩි කරවාගෙන, මං කළේ එයා ලවා දෙබස කියවාගනිමින් ඒවා I Pad එකේ හිර කරගැනීමය. එතකොටය මට වැරැදිලා බව තේරුණේ!

පටිගතවී ඇති මුල්ම ටික මෙහෙමය.

මනුලොව ඉපිද කළාවූ අකුසලයන්ගේ හේතුවෙන් යක්ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ යෝනීන්හි උපන්නාවූ සත්ත්වයන් මා හමුවට පැමිණියේද?”. ( දිගු නිහඬතාවක්. ‘ඇයි අනුර නැවැත්තුවේ, මතක නැද්ද?’)

“නෑ නෑ, මතකයි. එතකොට සෝමවීර අයියා ‘එසේය ස්වාමීනි!’ කියලා කියන්න ඕනිනේ.” උස අනුර එහෙම කියද්දීය මට මීටර් වුණේ. 
අනුර රඟපාලා තියෙන්නේ විධුර නාට්‍යයේ නොවේ! ‘තණ්හා ආශා’ එකේය. ‘වෙසමුණි රජ්ජුරුවෝ’ හිටියේ ඒ නාට්ටියේය. විධුර නාට්‍යයේ හිටියේ ‘කුම්භීල’ය. 
ඔන්න පණ්ඩිත මටත් වැරැදුණු තැනක්! අනෙක් සාධකය ‘සෝමවීර’ය.

කොහොඹ කොළ කැවූ රාම්පූර් කා ලක්ෂ්මන්’ පෝස්ටු මාලාවේ හිටි සෝමවීර විධුර නාට්‍යය කාලේ අපේ යහළුවෙක් නොවේ!පහළ ගලන ගඟකට තවත් දියදහරාවන් සැරෙන්-සැරේ එකතු වෙනවා වගේය සෝමවීර ඇතුළු ගොඩ දෙනා අපට එකතු වුණේ.

පහළ ගලන නදියකට දිය දහරා එකතු වෙනවා වගේ...........
පීලි පැනලා වටවලංගු ගැහුවා මදැයි. මතකයට එන කාරණා නොලියා හිටියොත් ඒවා මඟ හැරෙන්නටත් ඉඩ තිබෙයි. ඉතින් ඒවාත් ලියන්නෙමි. හොඳ වෙලාවට ‘පංච තන්තරේ’ style එකට ලියන්න ගත්තේ!

විධුර කතාවට ප්‍රධාන නිළියන් දෙන්නෙකු ඕනේ බව මුලින් කියවුණා මතකද? 

විමලා දේවියට එක්කෙනයි, එරන්දතීට එක්කෙනයි. අබරන් මාස්ටර්ම එරන්දතී පාට් එක රඟපාන්නැයි විවරණ දුන්නේ ‘නිදි’ටය. පිටපතේ විදියට මේ නිළි චරිත දෙකටම රඟපාන්නට තිබුණේ අඩු; කෙටි ජවනිකා ටිකකය. 
කොහොමත් ඒ නාට්‍ය පිටපතේ තිබුණෙත් විනාඩි පහ-හයේ කෙටි ජවනිකාය.

නාට්‍යය පටන් ගත්තේ කුරු රට, ඉඳිපත් නුවර කුරු රජතුමා සිහසුන් අරා හිඳින දර්ශනයකිනි. ඔහු තමා ගැනත් හඳුන්වමින්, ජීවිතය අනිත්‍යය තේරුම් ගත් බවක් කියයි. ඒ නිසා කුරු රජතුමා පෙහෙවස් සමාදන් වීමට ‘මිගාරුචි’ උයනට යයි. 
එහෙම යන්නට කලින්ය ‘සුරින්දා සේ සිරින් වසනා සදාකල් මේවු පුරවරයේ’ නම් ගීතය ගයන්නේ. ‘දිව්‍ය අංගනි සේ - 1’ පෝස්ටුවේ මුලදීම ඒ ගීතය ගැන කිව්වෙමි.

දෙවෙනි ජවනිකාවේ ඉන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාය. ශක්‍ර භවනේය.

“සුර ලෝකේ මං සක්කර දෙයියෝ - මෙහෙ පූරුවෙ පිනට උපන්නේ
සංවේගේ දුක නොදැනෙයි ගොයියෝ - පඬුපුල් ආසනෙ මං වැජඹෙන්නේ

මගේ ළඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා.............

මගේ ළඟින් පවන් සලන් - රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා - පළඳා පිළිගන්නවා
අමා රසේ පෙරා ගෙනත් - මට පොවන්න හදනවා
ශක්‍රයා, සක්කරයා මම , මට තුන් ලෝකෙම පෙනෙනවා” 

මිල්ටන් පෙරේරාට ගායනා කරන්නට කරුණාරත්න අබේසේකරයන් ගීතයෙන් ලියාදී තිබෙන්නේ එහෙමය. ඒ ‘කරු’ ශක්‍රයාව දුටු හැටිය.

මගේ වලත්තකම නිසාද කොහෙද මට නම් ශක්‍රයාව මතකයේ තියෙන්නේ ‘අහල්‍යා’ එක්ක වල්කමේ ගිය උත්තමයා හැටියටයි. ඒක අතේ කෝට් වෙලා, සරුවාංගය පුරාම ‘ස්ත්‍රී යෝනි’ (xත්තවල් - xම්බවල් වගේ ග්‍රාම්‍ය වචනවලින් කියන්න හොඳ නැහැනේ! 
ඒකයි ශිෂ්ට වදන් වහරන්නේ.) 1000 ක් උරුම කරගත් කෙනා හැටියටමයි. (ඒ විත්තිය සහසුද්දෙන් ‘ගස්සලා යවමුද - 1’ පෝස්ටුවේ තියෙනවා, ආයෙම මතක් කරගන්න ඕනේ නම්!)

සුර සැප මැද ශක්‍ර භවනේ හිටියත් එයාටත් පෙහෙවස් සමාදන් වෙන්නට හිතෙයි. 
ඉතින්, සිල් ගන්නට යන ශක්‍ර උන්දෑ යන්නෙත් සිංදුවක් කියලා ඉවර වුණාමය. එදා පොටේ අපි සක්කරයාට තෝරාගත්ත හාදයාට සින්දු බැරිය.

‘....ඕනැ තැනක ඇබැද්දියක් වුණොත් ඒක මට පෙනී - ඕනැම තාලෙකට ඇඳල එහි යන්නට පුළුවනි...’ කියන කෙනාට ඕවත් වැඩද? 
ඒ වගේ වික්‍රමයක් කරමින් අපේ ශක්‍රයාත් stage එක උඩ බොරුවට කට හොලවද්දී අපේ නඩයේ කෙනෙක්ම, තිරය පිටිපස්සේ ඉඳන් ඒ ගීතය ගැයුවේය! 
පුංචි කොස්සකට තිබුණේ එකම කාරණයක් විතරය.

පෙහෙවස් සමාදන් වෙන්නට කියා මිගාරුචි උයනට යන ශක්‍රයාට සින්දු බැරිය!
සින්දු බැරි; තාල නැති අපේ ශක්‍රයාට කොයි තරම් පුරුදු කළත් මිනිහා සින්දුවට කට හෙළෙව්වේ උගේම ආරයකටය; උගේම තාලයකටය. 
ඉතින් සමහර වෙලාවට සින්දුව ගැයෙද්දීත් ශක්‍රයා උන්නේ කට වහගෙනය! ඒකට නම් අපේ ගරුතර ප්‍රේක්ෂකයන් හිනා වුණේවත්, හූ කිව්වේවත් නැත!

හිනා වුණේ, හූ කිව්වේ ‘වරුණ’නම් නා රජතුමාටය. 

ඒ පාට් එක කළේ ‘කොටිකාවත්තෙන් ආ නිහාල් ලියනගේ අයියා’ය. මට නම් ආපහු නිහාල් අයියාව දැකගන්නට ආසාය. එයාලගෙම නෑයෙක්ද කොහෙදත් වෙන ‘තිස්ස’ව දැකගන්නටත් ආසාය. ඒත් දැන් ඒ දෙන්නාම බ්ලොග් කියවනවාය කියලා නම් මට විශ්වාස නැත. 
එයාලගෙ ෆොටෝ අරන් දෙන්නට ‘පාලිත කරුණාරච්චි’ වගේ කවුරුන්වත් ඒ කාලේ නොහිටිකොට මොනවා කරන්නද?

දිව්‍ය අංගනි සේ - 3’ පෝස්ටුවේ තිබුණු නාවින්නේ ‘රජමහ විහාර පාරෙ’ත්, ‘වදුල ගාර්ඩ්න්’ එකෙත් ෆොටෝ දෙකම අරගෙන එවන්නැයි මං කිව්වේ පාලිතටය. 

අනේ, පාලිත මා දුන් විස්තරවලට අනුව ෆොටෝ දහයක් විතර අරගෙන එව්වේය. මට පාලිතව හඳුන්වා දුන් මිතුරා ගැන දැන් හාන්කවිසියක් නැතත් පාලිත සිය පවුල පිටින්ම අපේ ගමන්වලට එකතු වෙයි. පාලිත වැනි කෙළෙහිගුණ දන්නා හාදයන් ඉතාමත් විරලය.

තවමත් පාලිත පවුලේ ඔක්කොම එක්ක.................
පාලිත පාසලෙන් ඉවත් වුණු අලුතම වගේය, ඔහුගේ යහළුවා ඔහුත් කැටුව අපේ ගෙදරට ආවේ. ඒ අවුරුදු තිහකට විතර ඉස්සරය. මං එයාට කළේ පුංචි උදව්වකි. මා වැඩ කළ ආයතනයට ආධුනිකයකු ලෙස ඔහුව සම්බන්ධ කිරීමය. අදත් නිවාඩු-පාඩුවේ අපේ මිතුරන් හමුවෙන ඕනෑම තැනකදී පාලිත මගේ වරුණේ කියා තුති පුදන්නේ, අතිශයෝක්තියෙනි.

දැන් නාවින්නේ ‘Little Masters’ ආයතනයේ ප්‍රධාන කළමනාකරු විදියට සේවය කරන්නේ පාලිතය. ඒ සේරෝටමත් වැඩියෙන් මට පාලිත මතක හිටියේ දවසක් එයා කියූ අපූරු කතාවක් හින්දාය. කතාව අපේ යහළුවෙකු ගැනය. අටුවා නැතිවම කතාව කියන්නේ රසික ඔබටම චිත්‍රය මවාගන්නට ඉඩ දෙමිනි.

“නිමල් අයියේ, මිනිහා කොච්චර තමන්ගෙ වාසිය ගැනම හිතනවාද කියනවා නම්, ඌ කෙළ ගහන්නෙත් වාසියක් ගන්න පුළුවන් වෙනව නම් විතරයි!”

ඉතින්, වරුණ නම් නා රජතුමා නොහොත් නිහාල් අයියාට සභාවේ නොනවතින හිනාවලින්, හූ නාදයෙන් සංග්‍රහ විඳින්නට වුණේ එයාගේ වැරැද්දකින් නොවේ! 

අනුන්ගේ වරදකිනි; හරියටම කියනවා නම් ‘ගොඩිගමුවේ අරීසා කලායතනයේ’ ලොක්කාගේ වරදිනි!

වරුණ නම් නාග රජ්ජුරුවන්ට ප්‍රේක්ෂකයන් හූ කියමින් හිනා වුණේ...............
ටිකක් කියලා නවතිනවට වැඩිය හොඳයිනේ දැන්ම නැවැත්තුවාම. එහෙනම්, ලබන කොටසේදී ඒ ටික......

11 comments:

  1. අර අක්කට 'තට්ට දයා' කියල කිව්වෙ ඇයි? ලස්සන පරණ කතා...

    ReplyDelete
  2. මියුරු, ඒ ඇන්ටිගෙ ඔළුවේ එක කෙස් ගහක්වත් තිබ්බේ නැහැ. එකයි. උඳුගොව්වෝ කාලාලු!

    ReplyDelete
  3. ෂා මරු කමෙන්ට් බොක්ස් එක ගුගල් එකෙන් බ්ලොගර් එකට මාරු කරලා

    ReplyDelete
    Replies
    1. ඔයාත් මුල ඉඳලම කිව්වේ මේකනේ! ගොඩක් ස්තුතියි.
      මේක පහසුයි නම් ඒ ක්‍රෙඩිට් එක ඔයා වගේ මේකට මාරුවෙන්න කියලා කියූ හැම දෙනාටමයි.
      පුදුමේ, ඔයාත් දන්නවා. ඔයාත් ඇහුවේ, මේක මාරු කලාද කියලා. මමවත් දන්නේ නැහැ කොහොමද වුනේ කියලා. ඔයා කියපු විදියටම වැරදිලා තමයි බට්න් එකක් එබෙන්න ඇත්තේ!

      Delete
  4. මේ බ්ලොගයට කලින් ඇවිත් නැත්ද මන්ද , කියෙව්වම සිත සැහැල්ලු වුනා ටිකක් හොඳ පරණ මතක සාගරයක් නේ , එතකොට මෙතුමට ද මේ කමියා "නිදි" කියල කිව්වේ

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අජිත්.
      ඉතින් ආයෙමත් එන්නටයි මේ ආරාධනා!!

      Delete
  5. ***ව් කවුද යකෝ වරුණට හූ තිබ්බේ ?????

    ReplyDelete
    Replies
    1. මටත් එයාව අහුවුණා නං........ යකා පට ගහගන්න කියනවා!

      Delete