අකුරු මැකී නෑ

Saturday, February 2, 2019

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස

මං වෛද්‍ය එල්.එස්. බස්නායක මහත්මිය පළමු වතාවට දැක්කෙත්, කතා කළෙත්, වෛද්‍ය උපදෙස් ගත්තෙත් 2019 ජනවාරි 18 වෙනිදාය. හම්බන්තොට රෝහලේදී; එදාම එතුමියගේ පදයට නටන්නට මට සිද්ද වුණේය. එහෙම කියන්නේ පදය 'මාරු වුණ' නිසා මිස ‘අමාරු වුණ' නිසා හෙම නොවේ! 

.............. පදය මාරු වුණා මිස අමාරු වුණේ නැත!
දෙසැම්බර් මාසයේ ක්ලිනික් ගියාම වෛද්‍ය තනුජි සෝමරත්න මැඩම් කිව්වේ හිතට පවන් ගැහෙන පණිවිඩයකි. “මං හිතන්නේ මිස්ටර් නිමල්, අපි ආයෙමත් සොල්ට්රෝනික් ඇසිඩ් ඉන්ජෙක්ෂන් එක ටික දවසකට නවත්තලා බලමු කියලයි. ජනවාරියේ ආවාම අපි ඒක නොගෙන බලමුකෝ!” ඇය කීවාය.

මගෙන් ඒ පණිවිඩය අයස්මන්ත මහතාට නම් කියවී තිබුණේ නැත. ඒ නිසා වෙනදා වගේම ‘එනිකා මිසී’ ඒ එන්නතත් ඉක්මනින්ම ලබාගන්නට ඕනෑ කරන කටයුතු සේරම ලක-ලැහැස්ති කරලා තිබිණි. මා හමුවන පළමු වතාව හිංදා බස්නායක මැඩම් පහුගිය වාර්තා සේරමත් පිරික්සුවාය. “අපි අදත් සොල්ට්‍රොනික් එක විදිමු!” බස්නායක මැඩම් කීවාය. මට සිහි වුණේ එදා උදේ පීරිස් කියූ දෙයකි.

උදෙන්ම පීරිස් කිව්වේ දුක හිතෙන කතාවකි. “අම්බානක මහන්සියි අයියේ!”. පහුගිය දවස් තුනේම ‘ඇස්වල සුද ඉවත් කිරීමේ සැත්කම්’ සිය ගණනාවක් කරලා දොස්තර මහත්තයා හිටියේ හොඳටම හෙම්බත් වෙලාය.

...යන ගමන් කොහේ හරි ගිහින් රිලැක්ස් වෙලා............
“හවසට යන ගමන් චේන්ජ් එකකට කොහාට හරි ගිහින් මිසක් ගෙදර යන්න බැහැ. මට හෙටත් ඔපරේෂන්ස් වගයක් තියෙනවා. නිමල් අයියේ, තමුසේ ගෙදර දුවන්න කලබල කරනවා හෙම නෙවෙයි, ඔන්න. නේද මචං?” තමුන්ගේ කතාවට මුක්කු ගහන්නට පීරිස් නෙවිල්වත් කැන්දා ගත්තේය.  home sick ගතිය තියෙන්නේ මටය. 

නෙවිල්ගේ නම් ගෙදර වහලය හිල්වෙලා වගේය. ගෙදර යන්නට කිසිම තකහනියක් නැත. ඉතින් ඔහොම යෝජනාවලට නෙවිල් අත උස්සනවාමය.

සොල්ට්රෝනික් ඇසිඩ් එන්නත ලෙඩෙකුට දෙන්නේ රෝහලේ වාට්ටුවකට ඇතුළත් කළාට පස්සේය. බාහිර රෝගියෙකු විදියට හිටියදී නොවේ. 
එන්නත දුන්නාට පසුවත්, රෝගියාව පැය දෙකක් විතර වාට්ටුවේම තියාගන්නේ අතුරු ආබාධ ඇති වුණොත් කියලාය; රෝගියාගේ වැඩි පරෙස්සමටය. 
ඒ නිසා වැඩියෙන් වෙලාව ගතවෙයි. අද එහෙම වුණොත් පීරිස්ගේ සැලැස්ම වතුරේ යනු ඇත.

“මැඩම්, තනුජි මැඩම් නම් කිව්වේ මේ සැරේ ඉන්ජෙක්ෂන් එක නොවිද ඉඳිමු කියලා.” 
මං කළේ මුට්ටිය දමා බැලිල්ලකි. කොච්චර දැඟලුවත් හඳට බේරෙන්නට බැරිය; රාහු ගිලිනවාමය!

“අපි අදත් මේක විදගෙන ඉමුකො!”. වෛද්‍ය බස්නායක මහත්මිය කිව්වාය.

කොච්චර දැඟලුවත් රාහු හඳ ගිලිනවාමය!
කොහොම බැහැයි කියන්නද? හොඳ වෙලාවට සේරම කටයුතු උපරිම වේගයෙන් කෙරිණි. එදා වාට්ටුවල ලෙඩුන් හිටියෙත් අඩුවෙනි. හැබැයි දවල්ට කන වෙලාවෙත් මං හිටියේ 1 වාට්ටුවේ ඇඳක් උඩ දපාගෙනය. ඒත් බඩගින්නක් තිබුණේ නැත. එහෙම වුණේත් අහම්බෙනි.

අක්ෂි වෛද්‍ය වාට්ටුවේ හතර දෙනෙකුගේම සේවය ස්ථිර කරලාය. රණේෂ්, දුලාංජලී, රේණුකා සහ දමයන්ති. එයාලා හතරදෙනාගෙන් කාර්ය මණ්ඩලයට සරු පාටියකි. ක්ලිනික් ගිය අපටත් පොංගල්ය! කිරිබත්, කැවුම්, කොකිස්, ආස්මී, කේක් සේරම එතැන මේසය උඩය.

අමීර් ඛාන් ‘දාන්ගල්’ චිත්‍රපටයේ රඟපාන්නට කලින් කළ ‘තේවාව’ එදා මමත් කළෙමි.

පෙරේතකමට එහෙම කාගෙන-කාගෙන යැවුණේ test රිසල්ට්ස් හොඳ කර ගන්නට කලින් දවස් ටිකේ නොකාම වගේ හිටි නිසාය. ඒ මදිවාට එදා ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකකුත් කරන්නට තිබුණේය. එතකොට මහා පාන්දර නැඟිටලා, හම්බන්තොටට ඇවිත් ලේ සාම්පල දෙන තුරුමත් අහේනියෙන් ඉන්නට වෙයි.

සේවය ස්ථිර වුණු හතරදෙනාගෙන් සරුසාර පාටියකි.
සුපිරි හින්දි නළුවෙක් වන අමීර් ඛාන් ‘දාන්ගල්’ චිත්‍රපටයේ මහාවීර් සිංග් චරිතයේ වැඩිහිටි අවධිය නිරූපණය කිරීමට සිරුරේ බර කිලෝ 98 ක් කරගත් බවක් කියැවෙයි. 
ඊළඟට එම චරිතයේ යොවුන් විය රඟපෑමට, සති කිහිපයකදී, අධිවේගයෙන් සිරුරු බර අඩු කර ගන්නටද අමීර් සමත් විණි. 
එහෙම කළාය කියන්නේ ආහාර ගැනීම මඟින් හා ව්‍යායාම කිරීම තුළින්ය.

මා අනුගමනය කළේ අමීර් ඛාන් ඉස්සෙල්ලාම කළ කොටහ විතරය. 

කාගෙන-කාගෙන යෑමය. දෙවෙනි කොටහ කරන්නෙම නැත. ඒත් ගෙදර ගියාට පස්සේ දැඩිව ෆාස්ටින් කරන එක කරනවාමය. මැරෙන එක වෙනම දෙයකි. විඳවන එක තවත් දෙයකි. මැරෙනතුරු කෙළින්-කටින් ඉන්නටය; මගේ පැතුම හා වීරිය.

‘දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ’ යන කියමන මෙන්න මෙතැනටත්; fasting එකටත් වලංගුය. 
දන්නවාද, දවසේ වේලාවන් ඇතුළත වැඩියෙන්ම බඩගිනි දැනෙන්නේ කොයි වෙලාවලද කියලා? the COMPLETE GUIDE to FASTING පොතේ කියන විදියට නම් 7.50 ටය. 
මේ වෙලාව උදේ-හවස දෙකටම පොදුය. 
ඉතින් ආහාර පාලනය කරන්නට යනවා නම් ඒ ගැනත් කල්පනාවෙන් හිටියාම ලෙහෙසිය. අටට දහය!!!!!!!!!!!!!!!!!!!

ඉතාම ළඟදී දවසක අපේ ගෙදරදී සෙට් වුණු වෙලාවක හිතවතෙක් උන්නැහේගේ පාණ්ඩිත්‍යය හෙළිදරව් කළේ මෙහෙමය. 
“ඔය බත්, පිටි ජාති නොකාම ඉන්නත් හොඳ නැහැ. අපේ ඇඟට සීනිත් ඕනැමයිනෙ.”

ඇත්තටම 'කෑම පාලනය' කිරීමෙන්...........
එතකොට තවත් බොනපාට් කෙනෙකු කිව්වේ ඊටත් හපන් කතන්දරයකි. “හැබැයි පිටි කෑම නොකෑවත් කමක් නෑ. මොකද, මේ බොන එව්වයේ සීනි තියනවනෙ ඇතිවෙන්න. දැන් බියර් හදන්නේ මොනවයින්ද..... බත්, මෝල්ට් වගේ අරව-මෙව්වා ධාන්‍යවලින්. කසිප්පු, අරක්කු, විස්කි, වයින් කොයිවත් හදන්නේ කෙසෙල්, මිදි, පළතුරු, සීනි එහෙම අරගෙනනෙ. ඉතින් හැම බීම ජාතියකම සීනි තියෙනවනෙ. ඒකනේ හැමෝටම චුට්ටක් හරි බොන්න කියන්නෙත්..... නැද්ද මං අහන්නේ?”

“නැට්ට තමා” මං කිව්වේ හිතෙන්ය. ඔහොම වෙලාවට, එහෙම අයත් එක්ක කතාවට ගිහින් පලක් නැත.

මද්‍යසාර නිපදවන්නට මොනවා පාවිච්චියට ගත්තත් ඒ හැම එකකම පිෂ්ටය හෝ සීනි තියෙන බව ඇත්තකි. පැසවීමේදී සිදුවෙන්නේ ඒවා ඊතයිල් ඇල්කොහොල් බවට පත්වීමය. 
මද්‍යසාර කියන්නේ ඒවාටය! බොහෝ දෙනා නොදන්නේ, එහෙමත් නැතිනම් නොදන්නවා වගේ පෙන්වන්නේ මේ සත්‍යයයි.

ඔහොම දුර්මත අස්සේ 7.50, බඩගිනි රටාව වැනි දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ එහෙමත් කෙනෙකි. නැවතිල්ලේ තමන් ගැනම හිතන්නට ඉඩක් වෙන් කරගන්නේ එහෙමත් කෙනෙකි. අපෙන් ගොඩ දෙනාට සති ගණන් තියා දවසක්වත් පාලනයක් ඇතිව ආහාර ගැනීම; ෆාස්ටින් කිරීම අමාරුය. 
ඒ කාරණය පහසුවෙන් කරගන්නට නම්, බඩගිනි වෙන වේලාවන් ගැන වගේම ‘බඩගින්න’ ගැනත් දැනගන්නම ඕනෑය. බඩගින්න ශාරීරික අවශ්‍යතාවකට වඩා ‘මානසික අවශ්‍යතාවකි’.

අපට කෑම උවමනා වෙන්නේ බඩගින්නටත් වඩා පුරුද්දටය!
අපට  කෑම ඕනෑ වෙන්නේ පුරුද්දටය! ඔව්. පුරුද්දටය! ගමනක්-බිමනක් යද්දී, හදිසි අකරතැබ්බයකට මුහුණදී ඉඳිද්දී හෙමත් පුරුදු වෙලාවටම අපට බඩගිනි දැනෙනවාද? 

හිතාදර රසික පාඨකයනි, මගේ යුතුකම කියන එකය! හිතලා බලන එක තියෙන්නේ ඔබ අතේමය! ෆාස්ටින් කරන දවස්වල තදින්ම බඩගිනි දැනෙන වෙලාවක මං කරන්නේ අයිස් වතුර වීදුරුවක් බොන එකය. එහෙමත් නැති නම් කෝපි හරි, තේ හරි බොන එකය.

සීනි, කිරි මොකුත් නැතිව තේ කහට බීම මට නම් අමාරුය. 
ඒත්, ඉඟුරු ටිකක්, මිංචි කොළ ටිකක්, කුරුඳු පොත්තක් වගේ දෙයක් එක්කම තේ කොළ ටික තැම්බෙන්නට තිබ්බාම ඒ අමාරුවත් දුරුවෙයි.

“නිමල් අයියේ, බඩගින්න හොඳටම උහුලන්න අමාරු වේලාවකදී නම් කෝපි එකට බටර් ටිකක්; මාජරින් නෙවෙයි. බටර් ටිකක් දාලා බොන්න..... පටස් ගාලා හරි යනවා”. 
පීරිස් තවත් ගුරු මුෂ්ටියක් දුන්නේ එහෙම කියමින්ය.

අවිච්චියාගේ ඇඳුම ණයට ඉල්ලාගත් මොනරා ආඩම්බරයෙන් පිල් විහිදන්නේ එයාගේ ඇඳුමක් වගේය.
අනුන්ගෙන් ඉල්ලාගත් දේවල් තමුන්ගේ වගේ...........
නිදිපණ්ඩි තුමාත් මේ සේරම එයාගේ වගේ කිව්වත් මේ එකක්වත් එයාගේ කරුණු නොවේ! අයස්මන්ත දොස්තර මහත්තයාගෙන්, ‘Fasting’පොතෙන්, ජාලයෙන්, පොත්-පත්තරවලින් උකහාගත් ඒවාය. හැබැයි,  එහෙම කියන හැම කාරණයක්ම අත්හදා බලා අවසන්ය. 

ඉතින්, ඉස්සර උදවිය මෙහෙම වෙලාවට කියූ දෙයක් ‘නිදි’ටත් බය නැතිවම, සහතික කරලාම කියන්නට හැකිය. “අත් දුටුවයි, සත්තයි!”

කරුණාරත්න අබේසේකර, එහෙමත් නැතිනම් ‘කරු අයියා’ කිව්වාම ඒ කාලේ නොදන්නා කෙනෙක් හිටියේ නැත. ‘ගුණදාස ලියනගේ සූරීන්’ සංස්කරණය කළ ‘කල්පනා’ සඟරාවේ කලාපයක පළවී තිබුණු කෙටි ලිපියක් මෙහෙමය.

“කරුණාරත්න අබේසේකර 1982 සැප්තැම්බර් මාසයේ ලියන ලද කවි පෙළක් ඔක්තෝබර් මාසයේ “කල්පනා” සඟරාවේ පළ විය. “ආයාචනයක්”යන මාතෘකාවෙන් ලියැවුණු මේ කවි පෙළෙන් කරුණාරත්නයන් ආයුදායකයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. එහි මුල් කවිය මෙසේය:

කරු අයියාගේ ආයාචනය.............
   ආයුදායකයානනේ
   සානුකම්පා පාමිනේ
   මගේ ජීවිතයෙන් පලාගිය
   දස වසක් යළි දෙනු මැනේ

ජීවිතයේ කළ යුතු දේ තව බොහෝ ඇති නිසා ගතවූ දිවියෙන් දසවසක් නැවත දෙන ලෙසටයි ඔහු ආයුදායකයාට කන්නලව් කළේ. 
එහෙත් ආයාචනය පළවී හයමසකින් කරුගේ ජීවිතය කෙළවර විය.

දසවසක් වැඩිපුර ඉල්ලා සිටි කරුණාරත්න අබේසේකරගේ ජීවිතය හය මසකට පමණක් සීමා කිරීමට ආයුදායකයා  අනුකම්පා විරහිතවූ හැටි!”  

ඒත් මට නම් ආයුදායකයා කරුණාව පෑවේය. 55 න් යන්නට හිටි මට ‘දිගුවක් - බෝනස් එකකුත්’ දුන්නේය. ඒ එක්කම මල්ටිපල් මයෙලොමාවත් දුන්නේය. 
නමුත් දැන් මයෙලොමාව ‘සීරෝ’ මට්ටමේය. බෝනස් එක එහෙම නම් දිගුව? 

මට තියෙන්නේ බලාගෙන ඉන්නටය. ‘බකංනිලාගෙන - බඩ උලාගෙන’ ඉන්නට නම් මට පුරුද්දක් නැත. ලෝකයේ කාට-කාට හරි ප්‍රයෝජනවත් වේය කියා හිතමින් මේ බ්ලොගය කොටන්නේ ඒ හින්දාය. කෙටුවාට මදිය!

නිදිගෙ පංච තන්තරේ ‘බලු පුකේ බැඳපු මී වදයක් වගේ’ වෙනවාට මං අකැමැතිය.

ලෝකයේ කාටම හරි පලක්, සෙතක් .............
මී පැණි හොඳය. ඒත් අරහෙම තැනක බැඳි මීයක පැණි කන්නට එන්නේ මොන යකාද? 

මා ලියන ‘පංච තන්තරේ’
 හැකිතාක් වැඩි පිරිසක් කියවනවාට මං කැමැතිය. ඊටත් වඩා කැමැති රසික ඔයාලා ඒ කියවන දේවලින් පල-ප්‍රයෝජනත් ගන්නවා නම්ය. 

ඉතින්, මෙතෙක් නොකළ අහිංසක ඉල්ලීමකුත් දැන් කරන්නෙමි. මේ බ්ලොගයෙන් ඔබ යම්කිසි රසයක් වින්දා නම්, පලක් ලැබුවා නම් ‘කරුණාකර ඔබේ හිත-මිතුරන්ටත් නිදිගෙ පංච තන්තරේ ගැන’ කියනු මැනැවි! හඳුන්වා දෙනු මැනැවි!!

දෙමාසයකට විතර පස්සේ, අද හවසට අපේ කට්ටිය මෙහෙ එයි. ඉතින් එහෙම වෙලාවට කෑම-බීම තෝර-තෝරා ඉන්න මෝඩයා කවුද? ඒත් මං දැන් තියාම සූදානම් වෙන්නෙමි. 

ඊයේ රෑ කෑමෙන් පස්සේ අද හවස් වෙනතුරු මං ෆාස්ටින්ය. එහෙම වුණත් බඩ හිස්ව තියාගෙන කන-බොන දේ හැදීම යුද්ධයකි. කෑම දකින විට; කෑම අත-පත ගාන විට බඩගිනි දැනෙයි. ඉවසාගන්නට බැරි තරමේ බඩගින්නක් උදේ දහයට විතර මට වද දෙන්නට විණි. අයිස් වතුර තුරුම්පුවත් එච්චර වැඩ කළේ නැත. ඒත් අන්තිම තුරුම්පුව තිතට වැඩ කළේය!

පුංචි පිපිඤ්ඤා ගෙඩියකුයි, බී ළූණු ගෙඩියකුයි කෑලිවලට කැපුවා. ලුණුදෙහි ගෙඩියකුත් පොඩි කරලා ඒකටම දාලා කවලම් කළා! ඔය තියෙන්නේ. සීනි, පිටි මොකුත්ම නැති; කැලරි අල්ප; ශක්තිය අඩු මේ වගේ කුස රවට්ටන ‘ගිමික්ස්’ එහෙමත් වෙලාවකට හරිම ප්‍රයෝජනයි.

දවස් 44 කම මොකුත්ම නොකා ඉඳිද්දී ඩේවිඩ්ට ................
ඇත්තටම David Blaine ට දවස් 44 ක් මොකුත්ම නොකා ඉඳිද්දී මෙහෙම ගිමික්ස් හරි කරන්නට හිතුණේ නැද්ද? 

ඩේවිඩ් ඇමෙරිකානු ජාතික මැජික් ශිල්පියෙක්. මනුස්සයා 2003 දවසක හතර වටේම වීදුරුවලින් හදාපු පෙට්ටියක් ඇතුළට වැදුණා. ඒ වීදුරු පෙට්ටිය ක්‍රේන් එකකින් අහසට ඉස්සුවා. ඒ හරියටම ලන්ඩනයේ තේම්ස් නදියට ඉහලින් රැඳෙන විදියට. 
හිතාගත්ත හැකියි නේද කොහොමට තියෙන්න ඇතිද කියලා. වතුර විතරක් බිබී ඩේවිඩ් උන්නැහේ දවස් 44 ක් නොකඩවා අර වීදුරු කුටියේ ගත කළා.

මේක ලොකු රැවටීමක්, මැජික් එකක් කියලා නම් අද වෙනතුරුවත් කටකතාවක්වත් නැහැ. එහෙම වුණේ සේරම විවෘතව; රහසක් නැතිව කෙරුණු නිසයි. ඒත් රූපවාහිනී, පත්තර වගේ ජනමාධ්‍යවලින් මේ ප්‍රවෘත්තිය ආවරණය කිරීමට ගෙවාපු ස්ටර්ලින් පවුම් මිලියන ගණන නම් අදටත් රහසක්!

ඩේවිඩ් වගේ ප්‍රසිද්ධිය තකා නොකළත්, දැඩි විදියටම ඉතාමත් අල්ප ආහාරයකින් දිගම-දිග කාලයක් යැපුණේත් ආසියානුවෙක්. ගිනස් වාර්තා පොතට නම් ගියේ නැහැ. 

මොකද ඒ කාලේ ගිනස් කොම්පැණියේ ලොක්කොන්ගේ මුතුන්-මිත්තන්වත් ඉපදිලා නැහැ. හිතා ගත්තෑකිද අර ආසියාතිකයා කවුද කියලා. සිදුහත් තවුසා. බණ පොත්වල විදියට නම් රූස්ස ගහක් යට එරමිණිය ගොතාගෙන වාඩිවෙලා, අත පොවන මානයට වැටෙන කොළ, මල්, ගෙඩි විතරක් කමින් අවුරුදු හයක්...... දළ වශයෙන් දවස් 2193 ක් .... එතුමා දුෂ්කර ක්‍රියා කළා!

පැය විසිහතරක්වත් නොකා ඉන්නයි අපට අමාරු. සේරම හිත. හිත තමයි! මං දැනට සම්පූර්ණ වශයෙන්ම මොකුත් නොකා ඉඳලා තියෙන්නේ දවස් තුනයි; පැය හැත්තෑදෙකයි.

සය වසරක් දැඩිව ආහාර පාලනය කළ ආසියාතිකයා.....
මේ විස්තර කියන්නේ පම්පෝරියකට නෙවෙයි. මගේ සිරුරෙන් පිළිකා සෛල නැතිවී ගිහින්ය කියලා වෛද්‍ය වාර්තා කියූ බව ‘වැරැදි බෝනස් එක - 18’ පෝස්ටුවෙන් ගිය වතාවේ කීවෙමි. එකට හේතු වුණේ ඖෂධ විතරක් නොවෙන බව මට හොඳටම විශ්වාසය. මගේ ආහාර ගැනීමේ රටාවනුත් එයට හේතුකාරක වෙන්නට ඇත.

“නිමල් අයියේ, අපේ ඇඟ ඇතුළේ පිළිකා සෛලවලට ජීවත් වෙන්න නම්, වර්ධනය වෙන්න නම් සීනි ඕනෑ. sugar ෆ්‍රී ඩයට් එකක් ගන්නවා නම්, තදටම ෆුඩ් කන්ට්‍රෝල් කරනවා නම් අපේ ඇඟේ කැන්සර් සෙල්ස් මර්දනය වෙනවා!” 

සිය-දහස් වතාවක් එහෙම දේවල් කියමින්, මට බණිමින් පීරිස් මහත්තයා මා පෙළඹෙව්වේය. ඒ තියරිය හරි බව මට සහතිකය.

ඒ වගේම අදට නවතින්නට වෙලාව හරි බවත්, මගේ දෑතේ දසැඟිලි සහතික කරයි!

4 comments:

  1. ලබන වර නැවත හමු වන දිනයේදී "මල්ටිපල් මයෝලොමාවට තිත " යන තේමාව යටතේ සමරමු.!!!

    ReplyDelete
  2. එහෙම කරමු! සමරන්නට හේතු තව ඕනෙද හක්ස්ලි මහත්තයෝ?

    ReplyDelete
  3. // කෝපි එකට බටර් ටිකක්; මාජරින් නෙවෙයි. බටර් ටිකක් දාලා බොන්න..... // අදටත් ඉතියෝපියාවෙ උදවිය සාම්ප්‍රදායිකව මේ විදිහට කෝපි බොනව.

    ReplyDelete
    Replies
    1. අපේ අයස්මන්ත මහතාත් එය නිර්දේශ කරනවා. ඒ වගේමයි, මාජරින් ගන්නම එපා කියලත් කියනවා.

      Delete