අකුරු මැකී නෑ

Friday, March 1, 2019

පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස

රේස්වලින් රේස් එකේදී ඔබට හමුවුණු Su අයියාත්..............
හිතාදර රසික ඔයාලව දැන් ‘පංච තන්තරේ’ ටිකාක් ඈතට එක්ක යා යුතුය. ඒ නිසා, තරහ  නැතිව ‘රේස්වලින් රේස් එකට පිම්මක්’ පෝස්ටුවලදී මං කියූ දෙන්නෙක් ආයෙමත් මතක් කරන්නට ඉඩ දෙන්න. රේස් තුණ්ඩු එකතු කරන්නට ගෙදරින් ගෙදරට ආ Su අයියා. එයාගේ බිරිඳ Su අක්කා. Su අක්කා හරිම සිරියාවන්ත, හිත හොඳ ගැහැනියකි.

මහරගම විද්‍යාකර විද්‍යාලයට ගිය ඕනෑම ළමයෙකුට ඉස්කෝලේ  අල්ලපු වැටේ තිබුණු ‘සෙල්ලම් බඩු ගෙදර’ මතක ඇතිවාට සැක නැත. ඕනෑම දවසක ඒ ගෙදරත්, ඒ වත්තේ හැම තැනමත් සෙල්ලම් බඩුවල එක-එක කෑලි හදමින් තියෙනවා දැකගත හැකි විය. එයාලා සෙල්ලම් කරත්ත, නළා, සුළං මල්, නටන සර්කස්කාරයෝ වගේ ගොඩක් ජාතිවල සෙල්ලම් බඩු හැදුවෝය. ඉස්කෝල වත්ත වටේ තාප්ප නොතිබුණු ඒ සංදියේ, ඉන්ටවල් එකට යකඩය වැදුණු වහා ළමයි රොත්තක්ම ඒ ගෙදර ළඟ කම්බි වැට ගාවට දුවති. ඒ බොන්නට වතුර ඉල්ලා ගන්නටය!

එතකොට ඉස්කෝලෙම ළිඳක් තිබුණත්, වැඩි දෙනා ඒකෙන් වතුර බිව්වේ නැත. නිතරෝම ඒ ළිඳේ වතුර උඩ පාවෙන බනිස් කෑලි යහමින් තිබුණු නිසාය! හැබැයි ඒ වතුරෙන් ‘තක්ක තිබාසේ’ සංසිඳුවා ගත් ළමයිනුත් නොහිටියා නොවේ. එහෙම කළාය කියලා ඒ කාටවත් මොනම අමාරුවක්වත් හැදුණේ නැත. ඒකටත් එක්ක දැන්!

ඕනෙම තැනකින්, ඕනෙම වතුරක් බොන්නට ඔට්ටුව හිටි මගේ මිත්තරයන් ගොඩ දෙනාට දැන්නම් එහෙම කරන්නට බැරිය. චුට්ට මිස් වෙච්ච හැටියේ බඩේ ලෙඩය; අජීරණය; පාචනේය. බාගයක් විතර ඒකට හේතු වෙන්නේ දැන් එයාලාගේ අතිපාරිශුද්ධ පැවැත්මය. ඉතිරි බාගයට වගකිව යුතු වන්නේ  පරිසරය දූෂණය වෙලා තිබීමය.

යුද්ධවලින් මිය යනවාට වඩා වැඩි සංඛ්‍යාවක් ................
“ළමයින්ව වුණත් පොඩි කාලේ ඉඳලාම ඕනෙවට වැඩිය පරෙස්සම් කරන්න හොඳ නැහැ. අව්වට, වැස්සට, දූවිල්ලට හුරුවෙන්න අරින්න ඕනේ. විෂබීජවලට විවෘත වුණාම අපේ ශරීරයම ඒවාට ඔරොත්තු දෙන්න ශක්තිමත් වෙනවා. එතකොට කෑමක, බීමක තියෙන ගොඩක් දිලීරවලට, බැක්ටීරියාවලට වුණත් අපව ලෙඩ කරන්න බැහැ.” කියලා මා කියවූ ‘රීඩර්ස් ඩයිජස්ට්’ ලිපියක තිබුණා මතකය.

ඒත් ලෝකයම විෂ වෙලා තියෙන තරමත් නොතකා හරින්නට බැරි තරම්ය! හරියටම කියනවා නම් විෂ වෙලා නොවේ. අප විහින්ම විෂ බවට පත් කරලාය!

‘ලෝකයේ යුද්ධවලින් මිය යන සංඛ්‍යාව මෙන් දස ගුණයකට වඩා පිරිසක් අපිරිසිදු ජලය නිසා මිය යති.’ කියා එක වාර්තාවක් කියයි. ඒක ඇත්තක්ය කියා  හිතන්නටවත් බැරි මහා භයානක ඇත්තකි.

80, 90 දශකවල විතර පස්සෙ ආ ‘යෝ-යෝ’ බෝල මතකද? ඉස්සර අප වතුර ඉල්ලාගෙන බිව්; ඉස්කෝලෙට අල්ලපු වැටේ තිබුණු සෙල්ලම් බඩු ගෙදර උදවිය ඒවා හැදුවේ ගොඩ කාලෙකට කලින්ය. 60, 70 දශකවල විතරය. 

ඇල් වතුරත් විසවී නැති, වැඩි දෙයක් සරල ඒ කාලයේ හැදූ ‘පොලා පනින’ බෝල හැදුවේ ලී කුඩු පුරවලාය. එහෙම බෝලයකට අඩියක විතර දිග; හීනි රබර් පටියකුත් සම්බන්ධ කරලා තිබෙයි. අර බෝලය පාට සව් කඩදාසිවලින් cover කරලා, මුදුනට දිලිසෙන සරුවපිත්තල කඩදාසි තරුවකුත් අලවලාය. ඔච්චරය!
සෙල්ලම් බඩු ගෙදර කට්ටිය හැදූ 'පොලා පනින රබර් බෝල'.........
එහෙම හදන බෝලවලට පුරවන්නට සෙල්ලම් බඩු ගෙදරට ලී කුඩු ගෙනාවේ ලොරි පුරවලාය. මට මතක හැටියට නම් එහෙ දහයක්-පහළොවක් විතර තිස්සෙම වැඩ කළාත් එක්කය. එයාලාගේම කට්ටියක් හැමදාම සති පොළවල්වලට, පින්කම් පොළවල්වලට, කතරගමට, අනුරාධපුරයට, මහනුවරට වෙළෙඳාම් කරන්නටත් ගියෝය. Su අක්කා ඒ ගෙදර වැඩිමහල් දියණියයි!

අප එයාත් එක්ක යහළුවුණු පසු මට ඒ ගෙදරටත් ඉඳහිට හරි ගොඩ වදින්නට ඉඩ ලැබිණි. ඒ වගේම හීනෙකින්වත් නොහිතූ වාසනාවකුත් ඒ නිසාම ඉහේ කඩා වැටිණි. 

Su අක්කාගේ නංගි කෙනෙක් ඒ අලුත කසාද බැන්දාය. අලුත් ජෝඩුව සිරීපාදේ කරුණා කරන්නට යද්දී උදව්වට-පරිවාරෙට එක්කගෙන ගියේ අපේ අම්මාත් මාත්ය. ගියේ හැටන් පාරෙන්ය. ඒ මගේ කිරිකෝඩු සිරිපා ගමනයි! අපේ අම්මාගේ දඬුකෝඩු සිරිපා කරුණා කෙරිල්ලත් ඒකය!! 

අර නැන්දා- මාමා දෙන්නාගෙ නම්වත් මතක නැතත් මෙතැනදී එයාලට පිං අනුමෝදන් කරන්නම ඕනෑය; එසේ කරන්නෙමි. එයාලගෙ වියදමෙන් අපව සිරිපා වන්දනා කෙරෙව්වාට.

ඉතින් අපේ ජීවිතවල ‘ටර්නින් පොයින්ට්’ එකකට මුල පිරුණේ ඒ සෙල්ලම් බඩු ගෙදර මහ ඇත්තීත්, ලොකු දෝණියත් හින්දාය.

මගේ කිරිකෝඩු සිරිපා වන්දනාවත්, අම්මාගේ දඬුකෝඩු වන්දනාවත් ඒ ගමන ............
“ලීලක්කේ, ඉස්සර අපේ අම්මා බම්බලපිටියේ ගෙදරක වැඩ කළා. හරි හොඳ නෝනා කෙනෙක්. මේ ළඟදී අපේ අම්මා ඒ නෝනාව බලන්න ගියාම කිව්වලු හොඳට සාරි හැට්ට මහන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා. අක්කට හොඳට හැට්ට මහන්න පුළුවනිනේ. ඒ නෝනා හරිම හොඳයි. ලෝබත් නැහැ. හැබැයි දෙමළ. ගිහින් බැලුවොත්....” පණිවිඩය ගෙනා Su අක්කා කිව්වාය. 

සාමාන්‍යයෙන් අපේ තාත්තා ඔහොම යෝජනාවලට එකඟ වෙන්නේ නැත. ඒත් ඉරණමේ ලියවිලා තිබුණු හින්දාමද කොහෙද මේකට නම්  අනුමැතිය ලැබිණි.

වැඩියත්ම පුදුමය වුණේ අපේ අම්මාට බම්බලපිටියේ ‘යෝගා මිසී’ලාගේ ගෙදරට ගිහින් මහන්නට ඉඩ දීමයි. 

අම්මාට සතියකට දවසක්-දෙකක් වගේ එහෙ යන්නට සිදු විණි. දැන් භාෂාවෙන් කියනවා නම් අපේ අම්මා පානිය දමන්නට දක්ෂය; මුට්ටිය අල්ලන්නට දක්ෂය; වැල යන අතට මැස්ස ගහන්නටත් දක්ෂය! එහෙම  කියන්නේ මගේ දෘෂ්ටි කෝණයෙන්ය. සමහර විට මං වැරැදි වෙන්නටත් ඉඩ තිබේ.

හැබැයි මං මේ නිගමනවලට එන්නේ මං ඇහූ-දුටු දේවල් එක්කය. 

ඉඳහිට යෝගා මිසීලාගේ ගෙදරට යන්නට මටත් ඉඩ ලැබිණි. ඒ හැම විටකම මටත් යහමින් සංග්‍රහ-සත්කාර ලැබිණි. හැබැයි කුස්සිය පැත්තේදීය. මං ගැන බලන්නට ආවාම අපේ අම්මා කුස්සි අම්මෙටත් උදව් දෙයි. එහෙම වෙලාවට යෝගා මිසී කුස්සියට ආවොත් කුස්සියේ තවත් වැඩ අම්මාටත් පවරයි. “අනේ ලීලෝ, මේකත් කරලා හිටපන් කෙල්ලේ!”.

තේ, කෝපි, සිසිල් බීම මේ මොනවායින්වත් කිසිම අඩුවක් ..........
ඉතින් අපේ අම්මාත් කට පුරාම සිරික්කියක් පායි. “හොඳයි මිසී!” කියලාත් කියයි. හැබැයි, අපේ අම්මා මේ සම්මතේට ගෙදරදී නං ඒ වැඩ කරන්නෙම නැත. මට පෙනුණේ අපේ අම්මා මැහිල්ල පැත්තක තියලා එහෙම වැඩත් කළේ දවස ගෙවාගන්නට බවයි.

අපේ අම්මා යෝගා මිසීලාගේ ගෙදරදී කුස්සියේ වැඩවලට එහෙම ලෝස් නැතිව සම්මාදම් වෙනවා දැකීම මගේ හිතට හරි ගියේ නැත. මගේ අහංකාරකම නිසාද මන්දා? මට හිතුණේ මොකට එහෙම අනුන්ගේ කුස්සිවල වැඩත් කරනවාද කියලාය.

අනේ, මං අසාධාරණ වෙනවා වෙන්නටත් පුළුවනිය. ඒත් මේවා නොකියා බැරිය.

එහෙම වැඩට ගියාම අම්මාට ඒ ගෙදරින් උදේටත්, දවල්ටත් බඩත්, හිතත් පිරෙන්නට සප්පායම් වෙන්නට හැකිය. තේ, කෝපි, සිසිල් බීම එහෙමත් අඩුවක් නැත. මහන වේගයක් ගැන, කරන වැඩවල ප්‍රමාණයක් ගැන බැලිල්ලකුත් නැත. (අපට මහමෙරක් වගේ දැනුණට මොකද) අම්මාට දවසකට ගෙවන්නට ඇත්තෙත් පොඩි ගානක් විය යුතුය.

හැබැයි අපේ අම්මා ‘අර කෑම- බීම- සංග්‍රහ’ ගැනත් ගණන් බලන්නට ඇතුවා නිසැකය.

අපේ අම්මා අර කෑම-බීම-සංග්‍රහ ගැන නම් ගණන් බලන්නට ඇතුවා ........
අදටත් අපි අපේ අම්මාට කෑම වේලක් දෙනවා නම් එකක්-දෙකක් එක්ක දීලා හරියන්නෙ නැත. මේසයට වාඩිවෙන අම්මා ඉස්සෙල්ලාම හදලා තියෙන ජාති ගණන ගණන් කරයි. ඒ එයාගේ විදිහය. 

එහෙම බරසාර විදියට කෑම හදනවාට වඩා මං කැමැති සරල දේවල්වලටය. මා බලන්නේ මගේ රුචියට අනුව නිසා මට අම්මාගේ විදිය නුහුරට පේනවා වෙන්නත් ඇහැකිය. 

ඒ තියා මා දැන් ඉන්නා අපේ ගෙදරට, 1992 දී ගෙවැදුණු අලුත, අම්මා තේ එකක් දුන් විට මගෙන් ඇහුවේ ඉල කැඩෙන ප්‍රශ්න දෙකකි. ‘ඇයි, පීරිසියක් නැත්ද? ට්‍රේ එකක තියලා නෙවෙයිද  දෙන්නේ?’.

“අම්ම ගෙදර කෙනෙක් නෙවෙයිද? අම්මට පීරිසියකට දාගෙන තේ බොන පුරුද්දක් තියෙනවය?” උත්තර මගේ කටෙන් පැන්නේත් නිකම්මය.

මට එහෙම වැඩ පෙනෙන්නේ සෝබන විදියටය. ඉතින් මටත් කට පියාගෙන හිටින පුරුද්දකුත් නැහැනේ. මගේ කටෙන් අම්මාට අර විදියේ කඩුලු කතා කියවෙද්දී අප දෙන්නා අතර නිමක් නැති තරම් ගෝරිය. 

අපේ අම්මා නම් කියන්නේ හඳහන්වලටත් ඔව්වා කියා තිබුණු බවයි. “තාත්තටයි, ඔයාටයි, මටයි එක ගෙදර එකට ඉන්න බැහැල්ලු.”

අපේ අම්මා නම් කියන්නේ හඳහන්වලත් ..........
කෙහෙල්මල! එහෙම නම් අපි පොඩි කාලයේත් එහෙම වෙන්න එපැයි. මට අම්මාගේ ඔවැනි කතා හිතලු වගේය.

කොහොමින් වුණත් අම්මාගේ චරියාව යෝගා මිසීගේ හිතට නම් අල්ලලා ගිය තරම කිව්වොත් ඇය තවත් කෙනෙකුට අපේ අම්මා ගැන ‘රෙකමන්ඩ්’ කරලාය. 

අම්මා එයාටත් ‘තෙල බෙදන්නට’ ඇතිවාට සැක නැත. එයා තවත් කෙනෙකුට..... අන්තිමට වුණේ අපේ අම්මාට  සතියේ දින හත මදි වීමය. කොහොම වුණත් අම්මා ඒ කාවවත්ම තරහ කර ගත්තෙත් නැතිව ජාම බේරා ගත්තාය.

ඒ පිරිස අතරින් හොඳටම මගේ හිත දිනාගත්තේ ‘ඊවා සේනානායක’ හාමුය. ඇයගේ සැමියා ‘උපාලි සේනානායක’ය. දෙන්නාම වලව් පෙලැන්තියේය. 

උපාලි හාමු ආර්.ජී.සේනානායක මහත්තයාගේ සොහොයුරෙකි. ඩඩ්ලි සේනානායක මහතාගේ ‘ගොවි හමුදාවේ’ (මට නම මතක ඒ විදියටය.) ලොක්කෙක් විදිහටත් වැඩ කළාද කොහෙදය. එයාලා හිටියේ ජාවත්ත පාරේ මන්දිරයකය. 
තිඹිරිගස්යායේ සිට යද්දී, සළුසලට ටිකක් එහායින්ය. ශේඩිග්රෝව් ඇවනියු එකේ වගෙ බව මගේ මතකය කියයි. ඒ නිවසේම ඊවා හාමුගේ අම්මාත්; ලොකු හාමුත් හිටියාය.
ඉස්සෙල්ලාම අප දූරියන් දැක්කේත්., කෑවේත් ............
ඉස්-ඉසේල්ලාම අප දූරියන් දැක්කෙත්, කෑවෙත් ඒ ලොකු හාමු එවූ දවසකය. ඒ ගඳ ගහන අත්දැකීම නම් ‘වස් කවි කීම1’ පොස්ටුවේ කියා ඇත. උපාලි හාමු ගැනත්.....

එහාට ගිය ඕනෑම දවසක ඊවා හාමුත්, ලොකු හාමුත් මට සැලකුවේ එයාලාගේම දරුවකුට වගේය. 

කන-බොන දෙයක් දුන්නත් කෑම මේසයට ඇරලා, එයාලාත් මං එක්කම වාඩිවී එව්වා භුක්ති විඳින අතරේය. මහන්තත්තකමක් ගෑවිලාවත් තිබුණේ නැති ඒ අම්මාත්, දුවත් බොරුවට රැඟූ අය නොවේ. වලව් පැලැන්තියේ අය වුණත්, ධනවාදී අය වුණත් ඉතාම කාරුණික අයයි. 
ඒ මට විතරක් නොවේ. අනෙක් අයටත්ය.

එහෙදී නම් අපේ අම්මා මොන ‘පර වැඩක්’ කරනවා දැක්කත් මගේ හිත රිදුණේ නැත. 
ඒකෙත් හැටි. සාධාරණකමත් සාපේක්ෂය! ඕනෑම නීතියක්- චාරිත්‍රයක් හැබෑ මනුස්සකම ඉස්සරහදී යට වෙයි; පරාද වෙයි!!

‘හාමුලා’ළඟ එහෙම වුණත්, මා දැක-හමුවී-එකට යම් යම් දේ කළ සමාජවාදීන් යයි කියාගත් එක්කෙනෙකු ළඟවත් අර ධනවාදීන් යැයි හංවඩු ගැහුණු ඇත්තන් ළඟ තිබුණු නිහතමානිකම- මව්වත්කම- හිතෛෂීකම හෝ තෙතමනය තිබුණේ නැත.
ආඩම්බර වෙන්නට තරම් දෙයක් නැති උදවිය වැඩියෙන් ආඩම්බරකම් පෙන්වති.
මව්වත්කම නම් දරුවන් දහයක් වැදූ අපේ අම්මා ළඟ  තිබුණු දේකුත් නොවේ. 

ආයෙමත් මා සාහසික වෙනවාවත්ද? හරියටම මට වැටහෙන්නේ නැත. “ලීලා. දැන් උඹත් හම්බ කරනවානේ. ඉතින් රංජියාටත් ලේසි වෙන්න වැඩක් කළොත් හොඳයි නේද?” අපේ තාත්තා අම්මාට කිව්වේය. අම්මා ඔළුව උස්සලා බැලුවේ මොකක්ද කියලා අහනවා වගේය.

ඒ වනවිට අපේ තාත්තා හිටියේ කරගත් මෝඩකම ගැන පසුතැවිලි වෙමිනි. ඒක හෙළි වුණේ කියන කතන්දරවලිනි. 

“රංජි. කවදාවත් රස්සාවක් කරන ගෑනියෙක්ව නම් කසාද බඳින්න එපා!”, 
“උඹ කසාදයක් කරගත්තු කාලෙක නම් කවදාවත් ගෑනිව රස්සාවකට යවන්න එපා.” තාත්තාගේ එවැනි කතා අහගෙන හිටියා මිස මං එව්වාට උත්තර බඳින්නට ගියේ නැත. 

ඒ මනුස්සයා පමණටත් වඩා වැඩියෙන් පුරුෂාධිපත්‍යය පතුරවාගෙන හිටි එක්කෙනෙකි! 
අම්මා වැඩට යන්නට පටන් ගත්තායින් පසුව ටිකක් වැඩියෙන් ස්වාධීන වෙනවා වගෙත් පෙනිණි. තාත්තාට ඇල්ලුවේ නැත්තේ ඒකය.

අපෙ තාත්තා කුඹුරුවල අස්වැන්න කැපුවාම...........
“අපි බැඳලා මාස කීපයයි. අපේ අම්මලා හිටියේ කොණේ ගෙදර. අපි ඊට අල්ලපු එකේ. අපේ තාත්තා අපි බැන්දට පස්සෙ සැරේ කුඹුරු කරපුවාම අපිටත් වී ගෝනි දෙක-තුනක් ගෙනත් දුන්නා. ඔන්න උඹලත් කැකුලෙන් කොටාගෙන අලුත් බත් කාපල්ලකො කියලා. 

-ඒ වී ගෝනි තිබ්බෙත් ඉස්සර කෑල්ලේ. 
දවසක් ඊළඟ කන්නේ වපුරන්න බිත්තර වී වගයක් මදි වෙලා අපේ තාත්තා වී ගෝනියක් මගෙන් ඉල්ලාගෙන ගියා- ණයට.

-හවස තාත්තා වැඩ ඇරිලා ආවම මං ඒක කිව්වා. මෙන්න වදේ මේ මනුස්සයාට යකා නැග්ගා. ‘උඹ කාගෙන් අහලාද මගේ ගෙදරින් වී ගෝනියක් දුන්නේ?’ උඹලගේ තාත්තා මහ හයියෙන් ගෝරනාඩු කරලා ඇහුවා..............”

ඊට පස්සෙ ............... ඊළඟ කොටසෙන් .....

11 comments:

  1. +++++++++++
    Thank you for the fun time yesterday.

    ReplyDelete
    Replies
    1. ඉයන්, ""ඊයේ"" වෙච්ච දේ ගැන "කල්‍යාණ මිත්‍ර ගේ වර්ෂන්" එක කියෙව්වා. නමුත් හොඳ සිහියෙන් හිටපු "නිදි" ගේ වර්ෂන් එක දාන්නේ කවදාද කියලා අහන්නේ නැද්ද ??
      PS. ඔයා මාතලන් ගේ "77 ට පෙර" ලිපියට උපාලි ෆියට් ගැන කියාපු පිළිතුර මම අදයි දැක්කේ. මම මේ දැන් ඒකට තවත් කොමෙන්ට් එකක් දැම්මා. Thanks

      Delete
    2. හොඳ සිහියෙන් හිටි තව අය හිටියනේ. නයනජිත්, අතුල වගේ... නම් හරිද මන්දා.
      තව මදි වෙයි කියලා කණ්ඩා තව බැලන්ටයින් එකක් ගෙනෙන්න යන්න හදද්දීත් 'නැහැ, over ගියොත් හරි නැහැ.'කියලත් දෙන්නෙක්ම කිව්වා මට ඇහුණා. එහෙම කිව්වේ මධු විත අතේ තිබුණු දෙන්නෙක්. ඉතින් කියන්නේ කොහොමද එයාලටත් හොඳ සිහිය නැහැ කියලා. (බැලන්ටයින් හතරකුත් ඉවර කරලා තිබුනා වුණත්! වීදුරු තුනක්ද-හතරක්ද බින්දෙත් ලබු ගෙඩිය ඇතුළේ තොවිලේ වගේ හිරවෙලා හිටි නිසා වෙන්නැති.)
      මම නෙවිල්ට එන්න කිව්වෙම ගායනය කරන අයත් ඉඳියි කියලා. ඒ වගේම හිටියා, සින්දුත් කිව්වා; සාමාන්‍යයෙන් සාදවලදී නොකියවෙන ඒවා පවා.
      පුදුමේ කලින් හමුවී නැති හුඟ දෙනා පවා නියමෙට blend වීම.
      එතනින් මම කලින් හමුවී තිබ්බේ ප්‍රදීප්වයි, මද්දාවයි විතරයි. කොළොම්පුරේ අසංග පළමුවෙන්ම හමුවුණු බ්ලොග්කරුවා වුණත් මනුස්සයා සටන් ජවනිකාවක් ඇක්ට් කරලා, ලෙඩ මරගාතේනෙ හිටියේ. එයත් ආවාම වුණත් 5/6 ක්ම මංවත් දැක්කේ එදාමනේ.
      ඔච්චරයිනේ සෑම් මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් කණ්ඩායි, අටමුයි එකතුවෙලා සංවිධානය කළ 'බ්ලොග් සැඳෑව'ට යාන්තමින් හරි කර ගහන්න වීම මට නම් හරි සතුටක්. දැකලවත් නැතිව හිටි අලුත් මිතුරන් ගොඩකුත් හඳුනා ගත්තනේ.
      දැන් හිතමින් ඉන්නේ එදා හමුවුණේ නැති අනෙක් ප්‍රවීණ බ්ලොග්කරුවන් හමුවක් ගැන.
      ඉතින් සහෘද හැමෝටම ස්තුතියි!

      Delete


    3. හැබෑටම මේක මතක තියා ගන්නම ඕන දවසක් !

      Delete
    4. මතක තියාගන්න මහන්සි නොවුණත් මතක හිටින දවසක්. ඒ දවස එහෙම වුණ එකේ ක්‍රෙඩිට් එක නම් ඔයාටයි කණ්ඩා.

      Delete
  2. ඒ කාලෙ තාත්තලාගෙ හැටි. අපේ නොනාමහත්තුර්න්ට දී ඇත සම තැන කවදාවත් අපේ අම්මලාට ලැබුනෙ නැහැ. හැබැයි අපේ අම්මලා අපේ පරම්පරාවෙ කෙල්ලන තරම් නොක්කාඩු කීවෙත් නැහැ.

    ReplyDelete
  3. මධු, මෙතැනදී මගේ අදහස ටිකක් වෙනස්. ගැහැනු පිරිමි දෙගොල්ල ශාරීරිකව වෙනස්නේ, හැඟීම් දැනීම් දරාගැනීම් හැමදේම දෙවිදියක්. ඉතින් කොහොමද සම තැනක් ලැබෙන්නේ. නිසි තැන ලැබුණාම ඇති වගෙයි නේද.
    මං කියන්නේ පුරුෂාධිපත්‍යය නෙවෙයි. කාන්තා ලාලිත්‍යය, සුන්දරත්වය රැකෙන නිවහල් බවක් ස්ත්‍රීන්ට දිය යුතුයි. පිරිමිකම (පෞරුෂත්වය නෙවෙයි - මොකද ගැහැනුන්ටත් පෞරුෂත්වයක් තියෙනවා) රැකෙන පොඩි අධිකාරි බවකුත් අවැසියි. නැතිනම් බැලන්ස් නැහැ වගේ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  4. බෝනික්කො වගේ හුරතලේට ළමයි හැදුවම අන්තිමේ හෙම්බිරිස්සාවක් හැදුනත් නියුමෝනියාවෙන් තමයි නතර වෙන්නෙ.

    ReplyDelete
  5. ගෙදරක උදව්වට වැඩ කරන එක මහා පහත්කමක් ලෙස සලකන උදවියගෙන් මැදපෙරදිග පිරිලා තියෙනව නිමල් අයියෙ ... තමන්ගෙ දාඩිය මහන්සියෙන් උපයා ගන්න එක කොහොමද පහත්කමක් වෙන්නෙ ? තමන්ගෙ රටේ පහසුවෙන් කරන්න පුළුවන් රස්සාවකට එයිට වඩා සුළු මුදලක් වැඩියෙන් ගන්න මෙහේ ඇවිත් කඹුරන අය ලංකාවෙදි එහෙම කරන්න කැමති නැහැ ... කරත් හෝරාව වැඩ කරන්න තමයි බලන්නෙ. අපේ යට වරදින්නෙම ඔය හොර හිතයි මාන්නෙයි පුහු ආඩම්බරකමයි නිසා.

    ReplyDelete
    Replies
    1. හැබැයි කණ්ඩා, මෙහෙදී කරන්න බැරි හුඟක් දේවල් අපේ මිනිස්සු පිටරටදී කරනවනේ.

      අර කියමන 'පිට ගමේදී නම්බුව හොයන්න එපා' කියන එක අකුරටම පිළිපදිනවා වගෙයි!

      Delete