අකුරු මැකී නෑ

Monday, March 4, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස

Impossible මිෂන් එකෙන් බාගයක් හරි. වේළුසුමන ටිකෙන්-ටික කිට්ටු කළේ ‘රණමද්දව’ ළඟට. කවුද රණමද්දව කියන්නේ?

....අනෝමා නදියෙන් එතෙර වෙලා අභිනිෂ්ක්‍රමණය කිරීම සිනෙත් බැද්දගේ...........
රණමද්දව කියන්නේ සෛන්ධව අශ්වයෙක්. මේ සෛන්ධව අශ්ව කුලයේ සතුන් උපදින්නේ දඹදිව සින්ධු දේශයේ. වාත වේගයෙන් යන්න පුළුවන්ය කියලයි කියන්නේ. ඒ වගේමයි ස්වාමියාට තියෙන කීකරුකම.

හැබැයි සෛන්ධව කුලයේ අශ්වයෝ ඉන්දියාවේ ජන්ම ලාභය ලැබුවත් සිදුහත් කුමාරයාට නම් උන්ගේ සේවය ලැබුණේ නැහැ වගෙයි. එතුමා ඇසළ පුන් පොහෝදා ඡන්න ඇමැතියාත් එක්ක ගිහි ගෙයින් නික්මුණේ කන්ථක අශ්වයා පිට නැඟිලනේ; අනෝමා නදියෙන් එතෙරට ගියෙත් ඒ සතාගේ උදව්වෙන්නේ. ඒත් කන්ථක සෛන්ධව කුලයේය කියලා කියවෙනවාද?

මට ඒ ප්‍රශ්නය මතු වුණේ සුමිතුරු සිනෙත් බැද්දගේ සිතුවමට නංවලා තියෙන ‘අභිනිෂ්ක්‍රමණය’ දැක්කමයි!

Pra Jay කියන්නෙත් මුල ඉඳලම මගේ බ්ලොගය කියවන, ප්‍රතිචාර දක්වන රසික හිතවතෙක්. හුඟ වෙලාවට Pra Jay එයාගේ කමෙන්ට්ස්වලදී, ඒ පොස්ටුවට අදාළව ඉතාමත් අගනා සවිස්තර ලබාගන්න පුළුවන් links ටිකකුත් දෙනවා. ගිය වතාවේ ‘රණමද්දව’ ගැන ලිව්වාමත් Pra එයාගේ කමෙන්ට්ස්වලදී මේ ලින්ක්ස් ගොඩ පෙන්වලා තිබ්බා. 
සමහර ඒවා නම් කියෙව්වත්, තව බලන්න තියෙනවා! දැන් ඉතින් ගොඩක් උනන්දුවෙන් බලන්න ඕනේ, කන්ථකගේ කුලය ගැන.

වීර වංශේ වුණාට මොකටද තියෙන්නේ බූරු මොළයක් නම්.......
ජන්මය, කුලය, ජාතිය හෙව්වට නම් වරදක් නැහැ. 
ඒත් ඒ නිසා කාවවත් උඩින් තියනවාටවත්, කාවවත් හෙළා දකිනවාටවත් මං නම් කැමැති නැහැ. හැම ජාතියකම, හැම කුලයකම හොඳ අය වගේම නරකම නරක අයත් ඉන්නවනේ. ඊයේ මුහුණු පොතේ සැරිසරද්දී දැක්කා අපේ හිතවතුන් ගොඩ දෙනෙක් සිරි ලංකාවේ ලොකුම ‘කුඩු තොගය’ අත් අඩංගුවට ගැනීම ගැන පෝස්ට්ස් share කරගෙන තියෙනවා.

ඒවා වැඩි හරියකින් මතු කරලා, උලුප්පලා තිබ්බේ ඒවා ‘මුස්ලිම්’ ජාතිකයන් විසින් ගෙන්නපු බව. ඒ වරදම කළ සිංහලයන්ගෙ ජාතිය ගැනත් කවුරුන්වත් ඉස්මතු කරලා තිබුණද? 
අනෙක ඉතින් මොකා ගෙන්නුවත් ‘ජාතියෙන් උසස් අපි’ මොකටද සල්ලිත් දීලා ඒවා අරන් ජාතියත් විනාශ කරන්නේ? 

උත්තම වංශේ වුණාට; වීර වංශේ වුණාට මොකටද තියෙන්නේ බූරු වංශේ මොළයක් නම්.

ඉහළට යන්න-යන්න මොළේට මොනවා හරි වෙනවද මන්දා? එළාර රජතුමාටත් එහෙම වුණා කියලයි මට හිතෙන්නේ. වේළුසුමන යෝධයා වෙස් වලාගෙන ගිහින් කාවන්තිස්ස රජ්ජුරුවන්ගෙ නුගුණ කීවනේ; නොසෑහෙන්න විවේචනය කළානේ. කෙනෙකු එහෙම කරද්දී මොළේ ඇති කෙනෙකුට නම් තේරෙන්න එපැයි, ‘මේකා මහා දුර්ජනයෙක්ය’ කියලා. 

ලබ්බට තියපු අතමනෙ පුහුලට තියන්නෙත්. වංශේ මොක වුණත් කල්කිරියාව බලලා එපැයි මිනිස්සු ළං කරගන්න. ඒ විදියට බලද්දී වංශේට වැඩිය ඉතිහාසය නේද වැදගත්?

මොන? ‘බලේ තියෙනකොට මොළේ නැහැ’ කියමන සනාථ කරමින් එළාර රජ්ජුරුවොත් වේළුසුමනට අසුන් බලාගැනීමේ වගකීම පැවරුවා.

'දිසාපති පන්හිඳ' බ්ලොගය ලියන සුනිල් කන්නන්ගර මහත්තයා.......
“...... “රණමද්දව” නම් වූ සෛන්ධව අසකු  තෝරාගෙන කීපදවසක් ගිය කල්හි කුඹල්වීථියෙන් මහත් කළයක් ගෙන තිසාවැවින් පැන් ගෙනවුත් කොළොම් ඔය සමීපයෙහි සඟවා තබා නැවැත මහනෙල් කෙතට ගොස්.............” 

වේළුසුමන යෝධයා එච්චර හරියක් කරනකල්වත් කවුරුන්වත් ඒවා දැක්කේ නැද්ද? අද වගේම එදාත් රාජකාරි කළේ ‘පඩිය’ බලාගෙන විතරයිද? හාම්පුතා ගැන, රට ගැන හිතුවේ නැද්ද? ඔන්න ‘සට්ටඹි රාල’ කෙනෙක් විතරක් නොවී ‘වැඩදායී හිතවතෙකු වීම’ නේද අගේ!

අපරාදේ කියන්න බැහැ, ඒ කාලේ නම් සට්ටඹි රාලලා කළෙත් බරපතළ රාජකාරියක්ලු.

“........... මාළිගාවෙ ලොකු ලොකු නිල වගේම සුළු මුලාදෑනිත් හිටියා. සට්ටඹි කියන්නෙ එහෙම සුළු මුලාදෑනින් වගයක්. නමින් සුළු වුණාට උන්නැහෙලට පැවරිලා තිබුණෙ රජ්ජුරුවෝ නාන කොට රාජකීය ශරීරයේ කුණු අතුල්ලන රාජකාරිය!” 

එහෙමයි සුනිල් කන්නන්ගර (හිටපු දිසාපතිතුමා), එතුමා ලියන ‘දිසාපති පන්හිඳ’ බ්ලොගයේ රාජකාරි ගැන ලියද්දී පෙන්නලා තිබ්බේ. දැන් ඉන්න සට්ටඹි රාලලා නම් කුණු අතුල්ලනවා විතරක් නෙවෙයි, රජාලගේ යට ඇඳුම් වුණත් අපුල්ලනවා. ඇයි ඉන්නෙ උපදේශකලා වගෙයිනෙ.

ඉතින් එළාර රජතුමාගෙ කාර්ය මණ්ඩලේ නිඳාගෙන වගෙ රාජකාරි කරන අතරේ වේළුසුමන හැන්දෑවක ලොකු කළයක් අරගෙන ඒකට තිසා වැවේ වතුර පුරවලා කොළොම් ඔය කිට්ටුව තැනක හැංගුවා. ඊළඟට රජතුමාගේ මහනෙල් මල් කෙතට ගිහින් මල් මිටියක් කඩාගෙන ඇවිත් ඒකත් එතැනින් තිබ්බා.

බ්රූස් ලී නම් කිව්වේ 'ඔබ සතුරන්ගෙන් පිරුණු කාමරයක තනිවී.............
ඊළඟට පහුවදා පාන්දරින් රණමද්දව අශ්වයාව සරසලා, එයාත් රාජකීය විලාශයෙන් හැඳ-පැලඳගෙන කාගේත් අවධානය දිනාගනිමින් වීදිය දිගේ ගියා. ඔන්න වැඩේ! එහෙම ගිහින් පුරවැසි කාටත් ඇහෙන්න සිංහ නාද කළා.

“කොළ රටවැසියනි, මම උතුම්වූ කාවන්තිස්ස රජතුමාගේ වේළුසුමන නම් යෝධයා වෙමි. දැන් මේ රණමද්දව නම්වූ සෛන්ධවයාත්, තිසා වැවෙන් ගත් පැන් කළයකුත්, එළාරගේ මහනෙල් මල් කෙතින් නෙළාගත් මහනෙල් මල් මිටියකුත් රැගෙන මාගමට යන්නෙමි. සමතෙක් වෙතොත් හැකි නම් මා අල්වාපියව්!!” 

එහෙම ඝෝෂා කරලා කිව්වට පස්සේ අශ්වයාගේ ළපැත්තට විලුඹින් ඇනලා සංඥා කළා. අශ්වයාත් ඉගිලුණා. මිහින්තලේ කිට්ටුවට යනතුරු එහෙම හයියෙන් ගිහින් එයාලා වේගය බාල කළාලු!

‘ඔබ සතුරන්ගෙන් පිරුණු කාමරයක තනිවී හිඳින මොහොතක තමාටම මුමුණා ගත යුත්තේ ‘මම සතුරන් සමඟ කොටුවී සිටිනවා නොවෙමි. සතුරෝ මා සමඟ කොටුවී හිඳිති.’ යනුවෙනි. ජීවිතය ජයගත යුතු නම් ඔබ සිතිය යුත්තේ එපරිද්දෙනි. පළමුව ඔබේ මනසින්ම සතුරා පරාජය කර සිටින්න!’ 
මෙහෙම කියා තිබෙන්නේ ලෝකයම දන්නා කෙනෙකි. Bruce Lee! බ්රූස් ලී කියා තියෙන්නේ එහෙමය.

ලී ඒ අදහස ගත්තේ වේළුසුමනලාගෙන්වත්ද? එදා වේළුසුමන යෝධයා මුලින්ම කළෙත් මනසෙන් සතුරන්ව පරාජය කිරීමයි. විජයග්‍රාහී කාහල නාදයකින් අන්ද-මන්ද නොවන්නෝ කවරහුද?

විජයග්‍රාහී කාහල නාදයකින් අන්ද-මන්ද නොවන්නේ...........
සතුරන් කොහොම වෙතත් ළඟ-පාත ඉන්නා හැමෝම අන්ද-මන්ද කරවන්න නම් අපි හපන්නු! අපිය කිව්වේ ශ්‍රී ලාංකිකයෝ!!

“නිමල් අයියේ, මේ ළඟදී තව ටිකෙන් මං හිරෙත් ගිහිල්ලයි නවතින්නෙ. මරු සීන් එකක් වුණානෙ.” මගේ හිතවතෙක් කීවේය. “අර මොකෝ?” මං කළේ දුම්මල චුට්ටක් ගැහීම විතරය. ඒ යහළුවා ලේසියෙන්ම ආවේශවී පරල වෙන්නෙකි.

“අපේ ලොක්කා මේ සැරේ A/L කරනවා. මොන විදියකින්වත් ඌට පාඩමක් කරගන්න බැහැ, අපේ ගෙවල් කිට්ටුවම අටෝගෙන තියෙන පන්සලක් හින්දා! උදේ පහ වෙද්දී මහා සද්දෙන් පිරිත් දානවා. හවසටත් එහෙමයි. කරච්චලේ. බැරිම තැන මං ගිහිල්ල හාමුදුරුවොත් එක්ක කතා කළා. ඒකා ආවේ මාත් එක්ක ඇටැක් එකටමනේ. මටත් මළ පැන්නා. ඒත් ඉවසගෙන ආවා. හාමුදුරු කෙනෙකුට ගහන්න පුළුවන්ද?”

මගේ මිත්‍රයා ඉවසාගෙන හිටියත් ප්‍රශ්නය විසඳුණේ නැත. යාපනයේ නායන්මාර්කණ්ඩු කෝවිල අවට පුරවැසියන් නම් එහෙම ඉවසාගෙන ඉඳලා නැත. ඔවුහු මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. පළාතේ පාසලට, අධ්‍යාපනය ලබන ළමුනට හා රෝගීන්ට කෝවිලේ ‘කන් අඩි පැළෙන ශබ්ද පූජා’ විශාල බාධාවක් බව පෙත්සමෙන් කියා තිබිණි.

දෙවියන්ට හොඳින් කන් ඇහෙන නිසා ශබ්දවාහිනී යන්ත්‍රවල හඬ.......

කෝවිලේ පූසාරි කියා ඇත්තේ දෙවිවරු ශබ්ද පූජාවන්ට කැමැති නිසා කෝවිලේ ශබ්ද වාහිනීවල හඬ වැඩිකොට ඇති බවයි.

“දෙවියන්ට මනුෂ්‍යයන්ට වඩා හොඳින් කන් ඇහෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්න”යි යාපනයේ සුප්‍රසිද්ධ මහාධිකරණ  විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා තීන්දු කර තිබුණේ ගිය වසරේදීය.

අවාසනාවට අපව නිවන් දක්කන සැදැහැති සිව්වණක් පිරිස බුදුහාමුදුරුවන් වහන්සේ නිවනින් නිවී සැනසී ඇති බව නොදනිති. උන්වහන්සේගේ ‘ධර්ම කාය’ පමණක් තවමත් නොනැසී  පවතින බව නොදනිති. ඒ නිසා ලෙහෙසිම වැඩේ..... හතර පැත්තටම ලව්ඩ්ස්පීකර් ගස් බැඳ, පටිගත කර තිබෙන සෙත් පිරිත් අපේ කන්වල ඔබති! 

මේවා තහනම් කරන්නට එඩිතර වෙන්නේ කවුරුන්ද? එහෙම කළොත් අපේ බෞද්ධයන් ...

ඉතින් එහෙම එඩිතරකමක් නොඅඩුව තිබුණු වේළුසුමන වීදි මධ්‍යයේ challenge කරලා, මිහින්තලයට යනතුරු පිම්මේ ගිහින් speed එක අඩු කළා. මිනිහා දන්නවා දැන් දමිල හමුදාවම පස්සෙන් පන්නාගෙන එන බව!

බුදුහාමුදුරුවන් වහන්සේ නිවනින් නිවී සැනසී ..............
වේළුසුමන යෝධයාගේ පුරසාරම් වහසි  බස් එළාර රජ්ජුරුවන්ගේ කනට ගියා විතරයි, එතුමාට යකා නැග්ගා. ඒ තරහෙන්ම  “.... එම්බල සබඳ, තෝ යෝධයන් සියයක් ඇරැගෙන නොපමා ව දිව ගොස් වෙළුසුමනයා අල්වා මරා සෛන්ධවයා ඇරැගෙන එව යි කියා .............” ප්‍රධාන යෝධයා මේල්දේවට කිව්වාලු. කියලා චේත කියන සෙනෙවියෙකුත් මේල්දේව එක්ක යැව්වාලු.

දැන් තියෙන action films මොනවද කියලා හිතෙන්නේ ‘සද්ධර්මාලංකාරයේ’ මේ හරිය කියවන විටයි.

වේළුසුමන තමාව ලුහුබැඳගෙන එන මේල්දේව යෝධයා ඇතුළු පිරිස දැක්කා. රණමද්දව අශ්වයාව විදුලි වේගයෙන් වටේට දිවෙව්වා. ඒ අතරේම අශ්වයාගේ කුරවලින් දූවිලි ඇවිස්සෙව්වා.       

“............. අසු වෙග දනවා කීපවිටෙකැ මණ්ඩලාකාරයෙන් ශීඝ්‍ර ව අසු පන්වා ඛුරසංඝට්ටනයෙන් ධූලිකඳු නංවා රජස්ධූලියෙන් එකාන්ධකාර කොට කැළයක් මුවා ව අසුපිටැ හිඳ ම කොපුවෙන් කඩුව හයා අශ්වවෙගයෙන් දිවෙන දෙමළයොධයන්ට කඩුව සරස් කොට පෑ අල්වාගෙන හුන්නේය.........” කොහොමද වැඩේ?

අසු වෙග දනවා කීපවිටෙකැ මණ්ඩලාකාරයෙන් ශීඝ්‍ර ව අසු පන්වා.......
කවුරු හරි මගෙන් ‘කොහොමද වැඩේ?’ කියලා ඇහුවා නම් මට එක පාරටම මතක් වෙන්නේ චිත්‍රපටයක්. මං චිත්‍රපට පිස්සෙක් හින්දා වෙන්නැති. 

ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ පොතේ 49 පිටුවේ තියෙන්නේ 193 වෙනි චිත්‍රපටය විදියට ‘කොහොමද වැඩේ’ තිරගත වුණු බවයි. (මගේ ජීවනාන්දරයේ සමහර අවිනිශ්චිත කාල නිර්ණයන් ටක්කෙටම හොයා ගන්නේ මේ වගේ ග්‍රන්ථ, චිත්‍රපට අනුසාරයෙන් බව මං කලින් ලිව්වා මතකයි නේද ‘නිල් බ්රුන්ගයන්ගේ වස වැරැද්දක් - සමුදුරු මූර්තිය’ වගේ  පෝස්ටුවලදී.)

ඉතින් පොත පෙරලලා විස්තර හොයද්දියි දැක්කේ, මේ film එක තිරගත වෙලා තියෙන්නේ 1969 මාර්තු 5 වෙනිදායි. 

මේ පෝස්ටුව කොටලා ඉවර කරගන්න ඉඩ ලැබුණොත්, මේක publish කරන්නේ 2019 මාර්තු 5 වෙනිදාටයි. හෙටයි! අද මාර්තු හතර වෙනිදා. 

අවුරුදු 50 ක්. එච්චර කල් ගිහිල්ලත් තවම මට මැවිලා පෙනෙන්නේ ක්ලැරිස් ද සිල්වා ඒ චිත්‍රපටයේ වට්ටි අම්මා කෙනෙකුට රඟපෑ අපූරුව. එයිනුත් වැඩියත්ම මතක තියෙන්නේ, එක-එක ජනප්‍රිය ගීතවල තනු කොටස්-කොටස්වලට අනුව ගැයෙන ගීයකට ‘පිස්සු අම්මණ්ඩියෙක්’ විදිහට නටපු හැටි. ඒ ගීතය ගැයුවෙත් ලතා වල්පොල වගෙයි මතක.

ඔහොම nunstop වරිගේ ගීත අවුරුදු පනහකට ඉස්සරත් තිබුණා, හොඳේ? 

ඒක් පූල් දෝ මාලි - හින්දි ෆිලුමේත් ඒ පන්නේ සින්දුවක් බොහොම අල්ලලා ගියා. Chal chal re naujawan. ඒක් පූල් දෝ මාලි ආවෙත් 69 දීමයි. ඒ විදියට බලද්දී, මේ දම්වැල් ගීත සංකල්පය කවුරු කාගෙන් කොපි කළාද මන්දා? අපි එයාලගෙන්ද - එයාල අපෙන්ද?

ක්ලැරිස් ද සිල්වා රැඟූ 'කොහොමද වැඩේ' චිත්‍රපටයත්, 'ඒක් පූල් දෝ මාලි' එකත් දෙකම............
ඉතින් ඇක්ෂන් ෆිල්ම්ස්වල ස්ටන්ට් කරන  නළුවෙක් වගේ, වේළුසුමන යෝදයාත් විදුලි වේගයෙන් අශ්වයාව රවුමට විහිදෙව්වා. දූවිලි ඇවිස්සෙව්වා. අවුස්සවලා පාරේ ලන්දකට මුවාවෙලා ඉඳගෙන කඩුව දිගු කරලා අල්ලාගෙන හිටියා.

ඉස්සරහින්ම ආව මේල්දේව, චේත සෙනෙවියෝ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් මොනවද වෙන්නෙ කියලා හිතාගන්නවත් වෙලාවක් නැති වෙන්නැති. වේළුසුමන උරුක් කරන් හිටි කඩුවට කැපිලා දමිළ සෙනෙවියන් දෙන්නගෙ ඔළුගෙඩි දෙකම කැපිලා ගියා!

ඒකෙන්වත් වේළුසුමනගෙ වික්‍රම ඉවර වෙන්නේ නැහැ. 

තව තියෙනවා. මනුස්සයා අර ඔළුගෙඩි දෙක බිමට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ දෙකම ගුවනේදීම ඩැහැගත්තා. අසුරු සැණින් එක මොහොතකදී කෙස් වහලුවලින් අල්ලලා අරන්- ඒ ඔළුගෙඩි දෙක එකට ඈඳලා ගැටගහලා  ළඟින් තියාගත්තා.     

ගඩලාදෙණියේ ශ්‍රී සද්ධර්මතිලක මහාවිහාරයේ අධිපතිව වැඩ විසූ ධර්මකීර්ති සංඝරාජ හාමුදුරුවෝ ‘සද්ධර්මාලංකාරය’ පොතේ කියන විදියට නම් වේළුසුමන අර සෙනෙවියන් දෙන්නාගේ අශ්වයන් දෙන්නාවත් අල්ලා ගත්තා. ඒ වංගියේදීම එයාව වට කළ දාහක් දෙමළ සේනාවත් එතැනදීම සමූල ඝාතනය කළා.

පොතේ කියන විදියට නම්..........
පොතේ කියන විදියට තව වික්‍රම ගොඩාරියයි! තව පෝස්ට් එකකිනුත් කියන්න තරම්!! එහෙමම කියමු, නේද?

10 comments:

  1. Darab - the Malay Alexander Legend
    //Darab managed to cut a swathe before him through the battlefield, beheading all the warriors he could strike from horseback//

    https://books.google.lk/books?id=_ZF8jj2NNB0C&pg=PA28&lpg=PA28&dq=legends+about+decapitating+enemies+on+horseback&source=bl&ots=PVUOOC_h67&sig=ACfU3U13wY_hdNCfGihrOGfdWc00Fle4iA&hl=en&sa=X&ved=2ahUKEwjb59nusurgAhXjmeYKHRhKAm8Q6AEwC3oECAcQAQ#v=onepage&q=legends%20about%20decapitating%20enemies%20on%20horseback&f=false

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra. ලින්ක් එකට ගියා, හොඳයි. එත් සමහර පිටු දෙන්නේ නැහැ නේද?

      Delete
  2. කන්ථක ගැන නම් කියා උන මදි වගේ නේද ??

    ReplyDelete
    Replies
    1. මතක් කළාට ගොඩක් ස්තුතියි හක්ස්ලි!

      Delete
  3. මේක නම් මට එච්චර රහක් නෑ

    ReplyDelete
  4. ස්තුතියි මධු. යළි කියවලා බලන්නම්. ඉදිරියේදීත් ඔහොම අවන්කවම හැඟීම කියලා නිවැරදි කරවන්න.

    ReplyDelete
  5. රජ බිසෝවරුන්ටත් මාර දොළදුක් තමයි එන්නෙ ... මෑත අය උනත් එහෙමනෙ ... කට්ටියක් නෙට්බෝල් ටෙනිස් ගැහුවා .. තව කට්ටිය සමිති සමාගම් අටවාගෙන මාටියා ගැහුවා .. දොස්තර වැඩේ කරා :)

    ReplyDelete
    Replies
    1. රටේ පුරවැසියන්ව කන්නේ නැතිව, උන්ගේ රීරි මාංශ උරාබොන්නේ නැතිව කලත්‍රයාගේ රුහිරු බොන්න ආසාවක් ඇතිවෙලා තියෙන්නේ අජාසත්ත කුමාරයාගේ අම්මා බිම්බිසාර දේවියට විතරයි, කණ්ඩා. ඒ මං දන්නා විදිහට, හොඳේ.

      Delete