අකුරු මැකී නෑ

Thursday, March 28, 2019

පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස

“වමතින් කොහොමද තාත්තේ ලියන්නේ. මට හුරු දකුණනෙ.”

ලව් ලෙටර් එකක් නෙවෙයිනේ උඹට ලියන්න කිව්වේ!
“ඒක මං දන්නවා බූරුවෝ! තොට තියෙන්නේ මං කියන එක කරන්නයි. පුළුවන් විදියට ලියපං. ලව් ලෙටර් එකක් නෙවෙයිනේ උඹට ලියන්න කිව්වේ. යකෝ...... මේක රහසක්. කියවගන්න පුළුවන් වුණාම ඇති. ලස්සන ඕන්නෑ.” 

තාත්තාගේ ගෝරනාඩුව ඉස්සරහා මං තවත් මොකුත් අහන්නට ගියේ නැත; අසීරුවෙන් අකුරු ගැට ගැහුවා මිස. ඒ ලියුම..... නැත! එය ලිපියක් නොවේ; කැලෑ පත්තරයකි; ඔත්තුවකි; පොලිසියට දෙන ඔත්තුවකි.

එදා, 71 අවුරුද්ද වනවිට කේ.බී. සුගතදාස වියතාණන්ගේ ‘දේව හස්තය’ පොත පළවී අවුරුදු 17 කි. ගුණසේන එකෙන් මුල් වතාවට ඒ පොත මුද්‍රණයවී තියෙන්නේ 1954 දීලු. (මා ළඟ තියෙන්නේ 1964 මුද්‍රණයේ පිටපතකි.) 

ඒත් අපේ තාත්තා ඒ පොත කියෙව්වා වෙන්නට විදියක් නැත. එයා නවකතාවක් කියවනවා මං කවදාවත් දැකලා නැත.

‘දේව හස්තය’ අනුවාදයකි. මුල් පොත ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේය. Count of Monte Cristo! සිනමාවටත්, ටෙලි නාටකවලටත් නැඟී තියෙන රසවත් නවකතාවකි. 

අපේ තාත්තා ඒ ඉංගිරිසි පොත කියෙව්වා වෙන්නටත් බැරිය. එහෙනම්.....

අලිසන්දිරි දියුමා ඉතාම රසවත්ව, කුතුහලය රඳවමින් නව ප්‍රබන්ධ ලිව්වේය, ඔහු මියයන විට ඉතිරිව තිබුණු කටු සටහන් ගොන්න වුව  තවත් පොත් 500 කට සෑහෙතැයි කියැවේ ...........
“............. ‘කාරණය ඉර එළිය වගේ පැහැදිලියි’ යනු දෙවුර හකුළුවා සිනාසෙමින් කී පූජක තැන ‘අත් අකුරු කොහොමදැ?”යි ඇසීය.

“අත් අකුරු පැහැදිලියි. නමුත් නිකම් නුහුරට වගෙයි.”

“ඔහොම ඉන්න.” යයි කියමින් තමන්ගේ පෑන රැගෙන තීන්තෙහි බහා දනතිස්ස කියූ වචන මාලාවේ මුල් වචන කීපය රෙදි කඩක වම් අතින් ලියූ පූජක තැන එය දනතිස්ස අතට දුන්නේය.

“ඒ අකුරුත් මේ වගේමයි.” විස්මයෙන් පැවසූ දනතිස්ස පූජක තැන දෙස මුව හයා බලා සිටියේය.
“මේ පුදුමයක් නෙවෙයි. දකුණු අතින් ලියන අත් අකුරු වෙනස් වෙන නමුත් කාගෙත් වමත් අත් අකුරු එක වගෙයි........”  (72 පිටුව)

දනතිස්සට; මුල් පොතේ විදියට නම් එඩ්මන් දාන්තෙට විරුද්ධව නිර්නාමික පැමිණිල්ල ගැන රහස හෙළිවෙන තැනයි, ඒ. වමතින් ලියන අකුරු ගැන ඒ සත්‍යය අපේ තාත්තාත් කොහෙන් හෝ ඉගෙනගෙන තියෙන්නට ඇත! මටත් එහෙම වමතින් ලියන්නැයි කීවේ ඒ දැනුම පාවිච්චියට අරන් විය යුතුය.

ඒ බොරු පැමිණිල්ලෙන් කියවුණේ චේ ගුවේරාකාර තරුණියන් තිදෙනෙකු ගැනය. ‘මේ අක්ක-නඟාලා තුන් දෙනාම චේ ගුවේරාකාරියෝය. පන්තිවලටත් ගිහින් තිබේ. දැන් ගෙදර අස්සෙම ඉන්නේ පත්තිනි අම්මලා වගෙය.’ ලියුමේ සාරාංශය ඒකය. 

මේ අක්ක-නඟාලා තුන්දෙනාම චේ ගුවේරාකාරියෝය. දැන් එයාලා පත්තිනි අම්මලා............
(මේ අක්ක-නඟාලා තිදෙනාගෙ කැරැට්ටුව හොඳ නැති බව ඇත්තය. මඩ ගොහොරුවක පචවී 10 දී කියූ විදියටම තණ්හා-රතී-රඟා යයි ප්‍රසිද්ධවී හිටි බවත් ඇත්තය.) 

ඒත් මං දැන සිටි විදිහට නම්, එයාලා දේශපාලන අලකලංචිවලට මැදිහත් වෙන ජාතියේ අය නොවේ. තාත්තා කියවන විට, කීකරුවී ලියුම ලිව්වා විනා, එහෙම කළේ හිතකින් නම් නොවේ. මේ කියන්නේ පට්ට-පල් බේගල් බව මගේ හිත කිව්වේය.

මම බයගුල්ලෙක්මි. ඒ සමහර වෙලාවටය. එවෙලේත් තාත්තාට විරුද්ධ වෙන්නට මා එඩිතර වුණේ නැත. “රංජි, මේක මෙතනින් ඉවරයි. තේරුණා නේද. මෙහෙම දෙයක් කවදාවත්  වුණේ නැහැ... මොකද්ද?” 

තාත්තා ඇහිපිය නොහෙළා මගේ දිහා බලාගෙන හිටියේ තරහෙන් වගෙය.

“මොකුත්ම වුණේ නැහැ.” මම repeat කළෙමි.

පොඩි බරක්ද? අවුරුදු 48 ක් තිස්සේ මෙවැනි නින්දිත රහසක් හිතේ හිර කරගෙන හිඳීම කොච්චර බරක්ද? 

අපේ තාත්තා එදා කරන්නට හැදුවේ තුච්ඡ පළිගැනීමකි. අර තරුණියන්ගේ පියා සල්ලි පොලියට දීම කළ කෙනෙකි. අපේ තාත්තාත් ණයක් ඉල්ලලාය. ඒ මනුස්සයාත් ‘විශාඛා සිටු දුවගෙ තාත්තා; පූර්ණවර්ධන සිටුතුමා විවාහය දවසේ දෝණියන්දෑට දුන්නු උපදේශයක්’ පිළිපැදලාය. “නොදෙන්නන්ට නොදෙන්න!”

ඇත්තෙන්ම ජාතියක් වශයෙන් අප කෙතරම් කුහකයිද?

ණයට නොදීම නිසා උරණවූ අපේ තාත්තා එයාලට හොඳ පාඩමක් උගන්වන්නට හැදුවේ නින්දිත උගුලක් අටවලාය. 

අප කාගෙ-කාගෙත් වාසනාවට පොලිසියේ උදවිය ඒ නිර්නාමික ලිපිය කුණු කූඩයට දමන්නට ඇත. එහෙම නොවී, ඒ භීෂණ සමයේ විදියට අවිචාරයෙන් ඔවුන් අත්අඩංගුවට ගත්තා නම්..... සිද්ධ වෙන්නට තිබුණු අපරාධය හිතන්නටවත් බැරි එකකි. එහෙම වුණා නම් අද වනතුරුම මට ඉන්නට වෙන්නේ නරකාදියකය.

(එදා ඒ උගුලට බිලි නොවුණු ඒ ළමිස්සියන් තිදෙනාම දැන් ආච්චි අම්මලාය.)   

මට හිතෙන්නේ එහෙම වුණේ මගේම වාසනාවටය. ඇත්තටම ශ්‍රී ලංකාවේ අප අතරේ එවැනි නීච - කුහකකම් වැඩියිද?

මුහුණු පොතේ එහා-මෙහා සංසරණය වෙන පණිවිඩ අනුව නම් ඒ වාගෙය පෙනෙන්නේ.

මිතුරු ප්‍රසා මාපලගම ෂෙයාර් කරගෙන තිබුණු පෝස්ටුවකි උඩින් තියෙන්නේ. ඒවා ගැන විග්‍රහයක් මාත් අමුතුවෙන් කළ යුතු නැත. රසික ඔයාලත් මදු කිරි නොව මව් කිරි බී හැදුණු අයනේ. 

හැබැයි ඒ කවුරුන් කුහක වුවත් බ්ලොග්කාරයන් නම් එහෙම නෙවෙයි වගෙය. මං එහෙම කියන්නේ අවුරුද්දක අත්දැකීම් එක්කය. ‘නිදිගෙ පංච තන්තරේ’ට හෙටානිද්දා; මෝඩයාගේ දවසේ වසරක් සපිරෙයි.

කිසිදු අත්දැකීමක් නොමැතිව අපේ අකලංකගෙ උදව්වෙන් බ්ලොගය  දියත් කළේ මෙච්චර දෙයක් වෙතැයි කියා හිතාගෙන නොවේ. මෙච්චර දෙයක් කිව්වේ, ඊයේ (2019 මාර්තු 28 වෙනිදා) ගෙවෙද්දී ‘හිට් කවුන්ටරේ’ 41,444ක් හින්දාය. 

ඩියෝන් මිතිල ප්‍රනාන්දුගෙ බ්ලොග් අඩවිය............
හිතාදර පාඨක ඔබ සැමදෙනා වාගේම වටින්නේ සොහොයුරු බ්ලොග්කරුවන්, සින්ඩිකරුවන් සියලුම දෙනාත්ය. ඔවුන් අතර ඉන්නා තවත් එක්කෙනෙක් ගැන දැන් කියන්නට වෙයි. 

වාසිතය වැඩියෙන් කියන්නේ ඉතිහාස විත්තිය. උඩින්-පල්ලෙනුත් නොවේ. ගැඹුරටම කිඳා බැහැලාය! දිව්‍ය අංගනි සේ 6 පෝස්ටුවේදී ‘වජිරා චිත්‍රසේන’ ඉස්සෙල්ලාම රඟපෑවේ ‘විධුර’ නාටකයේ නාග කන්‍යාවක විදියට බව ලිව්වෙමි. ඒ තොරතුර මං දැක්කේ ‘වාසිතය’ අඩවියෙනි. ලිහන්නට තියෙන මල්ල ඔබන්නේ මොකටද? ඔයාලම ‘වාසිතය’ට ගිහින් බලන්නකෝ!

‘ගිහින් බලමුකෝ See හාමුලගේ ගෙදරටත්....’ කියලා අම්මා වද කළත්, ඒ දවස්වල තාත්තා මට ගෙයින් හෙල්ලෙන්නට දුන්නේ නැත. 

මං ඒ අතරවාරයේ ආච්චී කියා දුන් අත් රේන්ද ගෙතීමත් කළේ smock කිරීම ඇති වුණාමය. වෙනසක් ඕනෑ වුණාමය. “රංජි, පුතේ දම්වැල ගෙතුවට පස්සේ, පත්තෑයා ගොතන එක තමයි හොඳටම පුරුදු වෙන්න ඕනේ. ඒක හරියට කරපුවාම ‘පත්තෑයට පෙත්ත’ ගෙතුවැකි.” කියලාය ආච්චී කිව්වේ. 

ඉතින් මං සුදු නූල් බෝලයක් ඉවර වෙනතුරුම ‘පත්තෑයා’ ගෙතුවේ ආච්චීගෙන් විවරණ ලබන්නටය.

අන්නාසි මල හා හාවා මෝස්‌තර යොදා ගෙතූ අත් රේන්ද කෑලි දෙකක්...........

“රංජි, මේ ටික ගෙනිහින් මං ලොකු හාමුට පෙන්වන්නං. එයා හරි ආසා වෙයි.” අපේ අම්මා කිව්වාය. ලොකු හාමු කිව්වේ ‘ඊවා’ හාමුගේ අම්මාය. දැනටමත් ඒ දෙන්නා ඔයාලට මුණ ගැහිලාය. වස් කවි කීම 1 පෝස්ටුවේදී.

අම්මා කිව්වා හරියටම හරිය. “අනේ හරිම ලස්සනයිනේ ලීලා. පුතාට කියන්න එයා කොච්චර ගෙතුවත් මං ඒවා විකුණලා දෙනවයි කියලා.” ලොකු හාමු එහෙමත් කියලාය.

“ඔන්න, දැන් රංජිට ගෙදර ඉඳගෙනම හම්බ කරන පුළුවනිනේ!” අම්මා කිව්වේ මං ඒ හම්බෙන-හම්බෙන ඔක්කොම පොට්ටනි ගහගන්නවා වගේ හිතලා වෙන්නැතිය. ඒ කතාවට කේන්ති ගියත් මං උත්තර දෙන්න ගියේ නැත. ඒ කරුමාන්ත දෙකම දිගට කරන්නට අදහසක් මට තිබ්බේ නැත. 

මට ඕනෑ කළේ ඒ ඒකාකාරී වකවානුව ගෙවාගන්නට ක්‍රමයක් විතරය; සල්ලිත් ලැබෙන.

අත් රේන්ද ගෙතීම වෙලාව ගන්නා වැඩකි; අවධානය ඕනෑ කරන වැඩකි. ටිකක් හෙමත් නෙවේ; හුඟක්ම-හුඟක්ම සිහියෙන් කළ යුතු වැඩකි.

ඉහතින් පෙන්නා ඇත්තේ අන්නාසි මල යෙදූ රේන්දයකුත්, හාවෙකුගේ ගෙතුමකුත්ය. අන්නාසි මල මෝස්තර රේන්දයේ උඩින්ම ඇත්තේ පත්තෑයායි. ඒකම වඩාත් සංකීර්ණ කරමින් විවිධ මෝස්‌තර හදාගන්නට පුළුවන්ය. ඒවා කරන්නට නම් දෙපොට, තුන්පොට.... හත්පොට දක්වා පිරවිලිත් ඉගෙන ගන්න වෙයි. ඒ හැම විටෙකම ගොතන දම්වලට තොණ්ඩු කීයදැයි මතක තියාගන්නම ඕනෑය. 

හරවන්නේ, පුරවන්නේ, අමුණන්නේ කීයෙන් කීයටදැයි මතක තියාගන්නට වෙනවාය. රේන්දයේ ලස්සන රැඳෙන්නේ ගණන් නොවරද්දා රේන්දය ගොතාගෙන යද්දීය.

ඒ විදියට බලද්දී රේන්ද ගෙතිල්ලත් භාවනාවක් වගේමය; ධ්‍යානයකට සමවැදෙනවා වගේමය.

බදුල්ලේ ආච්චී ගෙඩි වෙදකමටයි, වින්නඹුකමටයි මිස........
මාවත් ගස්සලා යවන්න හැදූ බදුල්ලේ ආච්චී නම් ගෙඩි වෙදකමටයි වින්නඹුකමටයි මිස මැහුම්-ගෙතුම්, ඉවුම්-පිහුම් කිසිවකට නම් දැරූ ඇත්තියක් නොවේ.
  
අපේ ආච්චී; තාත්තාගේ අම්මා නම් දොර රෙදි, කනප්පු (ටීපෝ) කවර වගේ දේවල් පවා ගොතන්නට හපනියකි. 

නෝනා, බල්ලාත් එක්ක මල් වත්තේ ඉන්නා මෝස්තරයක් සහිත දොර රෙද්දක් ආච්චී අන්තරා වෙනතුරුම අපේ ගෙදර කෞතුක වස්තුවක්ව සුරැකී තිබිණි. (වැළලී තිබුණු තැනින් හාරා පොළොවෙන් ගොඩගත් වහාම කෞතුක වස්තු දිරායාම වේගවත් වෙනවාලු.) 

ආච්චිගේ ට්‍රන්ක පෙට්ටියෙන් ගොඩගත් පසු ඒ ‘රේන්ද දොර රෙද්දට’ත් සිද්ද වුණු දෙයක් නැත!

ආසාවට වගේ; කරන්නට දෙයක් නැතිකමට වගේ පටන් ගත්තත්, ටික කාලයකට හරි ඒ රේන්ද ගෙතිල්ලෙනුත් අපේ සාගත බඩවල් පුරවාගන්නට පුළුවන් වුණේය. ඊළඟ turn එකට පාරත් කැපුණේය.
 
කෞතුක වස්තු පොළොවේ වැළලී තියෙනතාක් කල් රැකුණත්.....
“දන්නවද වැඩක්, ලොකු හාමු ඔය දැන් රංජි ගොතන රේන්ද පෙන්නලා සුරංගනී හාමුට! එයාටත් ආසයිලු අපේ රංජිව බලන්න.” අම්මා එවර තවත් ආරංචියක් ගෙනැවිත්ය. 

ඒ වනවිට චේ ගුවේරා කැරැල්ලේ සැර බාල වෙලාය. ‘අරයා නැහැ - මෙයා නැහැ’ ‘අරහෙටත් ගහලා තිබුණලු - මෙහෙටත් ගහලා තිබුණලු’ වගේ ආරංචි නම් දිගටම ගැලුවේය.

“බොලා දන්නවද? ලොකු ගඟවල්වල කොල්ලො-කෙල්ලන්ගෙ මිනී පාවෙලා ගියාලු ඕසෙට.....” අන්ජිසාම් (පහේ) පැකට් විකුණන්නට ගිහින් ආ සීයා කිව්වේය. සීයාත් ආච්චීත් කළ ඒ ව්‍යාපාරය ගැනත්, අන්ජිසාම් පැකට් ගැනත් සිඳු දකින සඳ 2 පෝස්ටුවෙදී කිව්වෙමි.

“අනේ තාත්තේ, පින් සිද්ද වෙයි කට වහගෙන ඉන්න. ඔව්වා කටකතා වෙන්නැති. හොඳයි තාත්තා දැක්කද? වෙලාවක තාත්තාවත් අල්ලාගෙන යයි කටකතා පැතිරුවා කියලා.” අපේ තාත්තා සීයාව නිහඬ කෙරෙව්වේය.

ඒත් අපේ අම්මා නිහඬ වුණේ නැත. “මොකද කියන්නේ ඒයි? මං හෙට සුරංගනී හාමුලගේ ගෙදරයි වැඩ. රංජිව එක්කං යන්නද?”

අපේ තාත්තා ඒ විඩේ නං කට වහගත්තේය; දෛවෝපගත ගමනට කැමැත්ත දුන්නේය. මොකුත් පෙනිලා; දැනිලා හෙම නොවේ. ඉවකින්වත් නොවේ.

ඒ විඩේ නම් කට වහගෙන...............
මේ පෝස්ටු මාලාවේ මුලදී මං ‘කණ උන්දෑ’ කෙනෙක් ගැන යාන්තමින් වචනයක් කිව්වා මතකයිද? දැන් මට උන්දෑව සිහියට ආවේය. උන්දෑ නම් වැඩ-පළ කරගෙන තියෙන්නේ ඉවෙන් වෙන්නැති. 

අනේ! මට උන්දෑව දැක ගන්නට ලැබිලා නැත. ඒත් ඒ මහිලාව තවමත් මගේ සිහින විජිතයේ සැරිසරයි. ටිකක් ඉන්න. ඒ කතාවත් කියලා හිටින්නම්.

“ඉස්සර බදුල්ලේ සිරිතක් තමයි කසාදයක් කෙරිච්ච ගමන්ම වගේ යන්තමින් හරි ගෑවිච්ච නෑකමක් තියෙන ගෙදරකට වුණත් ගොඩ වැදෙන එක. ඉතින් ලීලයි මායි දෙන්නත් ඔය සවාරියේ ගියා......” අපේ තාත්තාගෙන් කියැවිණි. 

“එහෙම ගිය ගමනකදී තමයි කණ උන්දැගේ පැලටත් ගොඩවැදුණේ.” කතාව අහගෙන ඉඳිද්දී මගේ හිතේ චිත්‍රය ඇඳෙන්නට පටන් ගෙනය.

“අනේ මයෙ අම්මලා මේ කණ උන්දෑවත් බලන්න ආවාආආ? මයෙ රත්තරනේ, කිරිවන්තේ උන්දැගේ ලොකු බෑණන්ඩිව කොහොමද කියලා බලාගන්ඩ එපාය අම්මා..... කියලා මේ මනුස්සයා මගේ ළඟට ඇවිත් මූණ අතගාලා බැලුවා හරියට ඇඟිලිවල අග්ගිස්සේ ඇස් තියෙනවා වගේ. ඊළඟටනෙ බං අමතක නොවෙන වැඩේ වුණේ. 
අපි එහාට ගිය පයින්ම ආපහු එමු කියලා, ලීලයි මායි කතා වෙලාම ගියේ. මට වැඩට යන්නත් තිබ්බ නිසා..... ඒත් කොහෙද? අනේ, ගුණපාල පුතේ. මේ දුප්පතීගේ ගෙදරට ඉස්සෙල්ලාම ගොඩ වැදිච්ච දවසේ, එහෙම නිකම්ම යන්න දෙන්න බැහැ; කියලා ඒ මනුස්සයා වද කරන්න ගත්තා.”

“ඉතින් තාත්තල හිටියේ නැද්ද?”

එහෙම යන ගමන් තමා අපි ජෝඩුව ඒ පැලටත් ගොඩ වැදුණේ...........
“මොකද නැතිව. හිටියා. හිටියා විතරක් නෙවෙයි, ඒ වෙලාවෙම උන්දෑ හදලා දුන්නු රොටිත් කාලයි ආපහු ආවේ.”

“ඇස් පේන්නෙ නැතිව කොහොමද ඒ ආච්චී රොටි පිච්චුවේ?” මම ඇසුවෙමි. 

“ඒක තමයි රංජි මටත් තවම පුදුම. ඒ මනුස්සයට මුළු ගෙදරම තියෙන හැම දෙයක්ම මතකයි. පොල් බෑය තියෙන තැන, දුම්මැස්සේ පාන්පිටි මුට්ටිය තියෙන තැන, හිරමණේ - වතුර කළගෙඩිය - රොටි තැටිය විතරක් නෙවෙයි බං, ගිනිපෙට්ටියත් හොයාගත්තෙ කිසි-කිසි ගාලා. ඇස් පෙනෙන අපිටවත් ඒ වැඩ එච්චර පිළිවෙලට; එච්චර ඉක්මනට කරගන්න බැහැ. රොටිය පුච්චලා කිතුල් පැණි ටිහකුත් එක්ක දුන්නේ. ඇත්තමයි, අපි ගිය තැන්වලින් මට අමතක නොවෙන්නෙම උන්දැවයි....”

“ඒ මනුස්සයා ගත්ත හැම දෙයක්ම, ඒ වෙලාවේම ආයේ තිබ්බ තැනින්ම තිබ්බා. ඒක තමයි ඇස් පේන්නැති අයගෙ රහස!”

සත්තය, එදා කණ උන්දෑ ගැන අපේ තාත්තා ඒ කියූ කතාව අදත් මගේ ජීවිතයට ආලෝකය දෙයි. පිළිවෙල! ක්‍රමවත් බව!! මතකය!!! ඒවා අපේ ජීවන කටයුතු පහසු කරවයි; ඉක්මන් කරවයි.

කෙදිනක හෝ මා මිය යන තුරුම ‘කණ උන්දෑව දැකගන්නට නොලැබීමේ අවාසනාව’ මගේ හිතේ දැවෙමින් තියෙනවාට කිසිම සැකයක් නැත! එහෙත් ඒ ‘ශ්‍රියා කාන්තාව’ මගේ අවසානය දක්වාම මා හා සිටිමින් මගේ ජීවන ගමන පහසු කරවනු ඇත!!

ඒ අවාසනාව මා මියෙන තුරුම මසිතේ දැවෙමින්..........
දැන් ඉතින් සුරංගනී හාමුලගේ ගෙදරට ගිය ගමන.... ඒකට නම් බාධාවකි. බාධාව පෝස්ටුවේ දිග ප්‍රමාණයයි; වචන ගණනයි. ඒ අනුවය අදට සමුගන්නේ!

23 comments:

  1. ඊලග කොටස එනකම්

    ReplyDelete
    Replies
    1. මාත් බලා ඉන්නම්, ඔයාලා ඒකට එනකල්.......

      Delete
  2. මේ පෝස්ටුවත් හරියට රොටියි කිතුල් පැණියි වගේ රහයි. අනික කණ උන්දැගෙ ගෙපැළ මැවිල පේනව. අපි පොඩි කාලෙ ඔය වගේ ගෙදර තනිවෙච්ච ආච්චිලා කීපදෙනෙක් අපේ ගමේ හිටියා. දරුවො බලන්නැතුව නෙවෙයි. අහල පහලම පදිංචි වෙච් දරුවො උන්නා. ඒත් ඒ අය මහගෙදරටම වෙලා, තනියම උයාපිහාගෙන කාලා උන්නා. පෝයට සිල් අරගෙන, ගෙදර යතුරු කැරැල්ලයි අතේ මිටේ තිබුනු සල්ලි ටිකයි උතුරු සලුවෙ ගැටගහගෙන...

    හප්පේ මේ නිදිගෙ ශෛලිය බෝවෙනවද කොහෙද. කියන්න ගියෙ වෙන එකක් ලියවෙන්න ගත්තහම නවතන්නැතුව මොනව හරි ලියවෙනව.

    මං යනව යන්ඩ.. (ආයි එනව ඉතුරු කොටහ කියවන්න)

    ReplyDelete
  3. ඇත්තමයි ඩ්රැකී, අත්දකෙම් සේරම රසවත් හින්දද මන්දා එකක් ලියද්දි තව ඒවා ඔලුවට එනවා. ඉතින් පදරංග ජාතකේ වගේ වෙනවා. හැබැයි ඉඳහිට හරි ඔයාලා වගේ අය මාව කරකවලා හරි පැත්තට තිබ්බම ටිකකට හරි හොඳක් වෙනවනේ. ඒකට ස්තුතියි!
    සත්තයි, මට තියෙන්නේ කණ උන්දෑ ගැන නම් පුදුම සෙනෙහසක්.
    දැන් එහෙම ආදරේ හිතෙන වයසක උන්දැලා බොහොම අඩුයි. උන්දලට ආච්චී කියනවටත් කැමති නැහැනෙ. නැනා කියලයි කියවා ගන්නේ. (අපේ අම්මත් ඒ වල්ලේ!)

    ReplyDelete
  4. නිදිතුමා කියනකල් මං දැනං උන්නෙ නෑ දේවහස්තය ගැන. මං හිතුවෙ Count of Monte Christo මුලින්ම පරිවර්තනය කලේ කේ.ජී කරුණාතිලක මහත්තය කියල.

    ReplyDelete
    Replies
    1. ලොකු, දේව හස්තය තරුවක් වගේ. සිටුවර මොන්ත ක්රිස්තෝ හඳ වගේ. ලොකුයි; සම්පූර්ණ පරිවර්තනයයි. කොටස් ගානක්නේ!

      Delete
    2. මේ, තව එකක්. දැන් අපි දෙන්නම ලොකුලනේ. හරියට මං ලොකු වැඩියි වගේ මාන්නයක් හිතෙනවා 'තුමා' එකතු වුණාම. ඒක හලමුද- නැත්තං ඔයාගේ නම අගිස්සටත් එකතු කරමුද?

      Delete
  5. ඊලග කොටස එනකම් 2

    ReplyDelete
  6. අළුතෙන් බ්ලොග් ලිපියක් ලිවීමේ දී, ඔබ මෙම ලිපියේ ද කර ඇති පරිදි, එහි සඳහන් වන කරුණු වලට අදාලව අප මීට කලින් ලියා ඇති ලිපි ඇඳීම ඉතා වැදගත්. වෙබ් හෙවත් ජාලය යන්න සෑදෙන්නේ එලෙස තොරතුරු එකිනෙක ඇදීම නිසයි.

    ඒ සමගම හැකි නම් අප කළ යුතු තවත් කාර්යයක් වන්නේ කලින් පලකල ලිපිවලට ආපසු ගොස් ඒවායේ පසුව පලකල ලිපි වලට සම්බන්ධ තැන් ඇති නම් ඒවා නිසි පරිදි එකිනෙක ගැට ගැසීම යි.

    මෑතකදී දැන හැඳිනගෙන මෙම බ්ලොග් අඩවියේ ලිපි කිහිපයක්ම මේ වන විට කියෙව්වා. ඇරඹුවේ මංජුල වෙඩිවර්ධනගේ පොත තහනම් කළ කථාවේ ලිපියෙන්.

    ස්තුතියි.

    ReplyDelete
  7. ස්තුතියි රසික.

    ඔහොම අදාළ සබැඳි වෙනම දර්ශනය වීම දැකලා තිබුණත් කරන්නේ කොහොමද කියලා මට කිසිම දැනීමක් තිබ්බේ නැහැ. කොළොම්පුරේ අසංග රණසිංහ ආරච්චි හිතවතා තමයි එයාම මට කෝල් එකක් දීලා, එයාගේ වියදමෙන්ම මට ටියුෂන් දුන්නේ.

    මට මතක හැටියට මං ඒ ශිල්පය දාන්න පටන් ගත්තේ 126 වෙනි පොස්ටුවේ ඉඳන්.මුල් 125 ඒ වැඩ නැහැ.

    ඔයාගේ 'රසිකොලොජි' එකේ වගේ වෙනම පාටකින්ම ඒ ලින්ක්ස් පළ කෙරෙන විදිය හොයාගන්න බැරිවුණු නිසයි දැන් ඒවාගේ ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරලා දමන්නේ.

    දැන් ඔයා මට තවත් වැඩක් පවරනවා. හොඳ යෝජනාවක්. ස්තුතියි, ඒත් ඔයා මගේ අලුත් රසිකයෙක් නිසා කියන්නේ, (පරණ පෝස්ට්ස් කියවද්දී නම් ඔයාට තේරෙයි.) මං තාක්ෂණික කරුණු නොදන්නා මැට්ටෙක්. පිළිකා රෝගියෙක් නිසා සමහර වැඩ කරගන්න තරම් ඇඟිලි නම්‍යශීලී නැහැ. ඒත් අරින්නේ නැහැ, පුළුවන් විදියට දත ගහගන්නවා.

    ඉතින්, අටම්පහියේ ලක්මාල් කන්දෙවිදාන හිතවතාත් තව වෙනසක් කරන විදියක් ෆොටෝ එක්කම එව්වා. මාසයක් විතර වෙලත් තවම ඒක හමස් පෙට්ටියේ. අනේ මේ ටික කිව්වේ ඔයා මහන්සි වෙලා දුන්නු උපදෙස් ඉක්මනටම කරන්න වෙන්නේ නැති එක තේරුම් කරන්නයි.

    ඒත් ඒවා අමතක කරන්නේ නැහැ, හීන් සීරුවේ ටික-ටික කරන්නම්. තව අඩුපාඩු පෙන්නලා දෙන්න, තරහ නැතිව. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. නිදි සෑර්,

      කොරනවානං බොහොම හොඳා නමුත් ඔය ලින්ක් දැමීමට එච්චර වෙහෙසෙන්ඩ එපා. ඒ වෙලාවේ තව පෝස්ට් එකක් ලියන්ඩ. ඒකයි අපිට වටින්නේ.
      හරියට කියෙව්වනං දන්නවා නිදි තුමා අහවල් එක ගැන ලියල තිබ්බා කියලා. මොකද ප්‍රශ්නේ, කඩදාසිය ලිපේ නෙවෙයිනේ. ගොහින් හොයනවා.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. හැට්ටර් මල්ලී, ස්තුතියි ඔයාගේ අදහසට.
      ඒත් මල්ලී අපේ සමහර කියවන්නෝ ගැනත් හිතන්න එපැයි. ඩේටා පිච්චෙන එක ගැනත්. එයාලා මේක කියවන්නේ මොබයිල් ෆෝන් එකකට, කාඩ් එකක් දාගෙනනේ.
      අලුතෙන්ම කියවන්න එන අයත් ඉන්නවානේ.එහෙම අය ගැනත් අපේ රසික හිතවතා හිතලා වෙන්නැති යෝජනාව ගෙනාවේ.
      ම්ම්ම්ම්ම්ම් මල්ලිට පුළුවන් නේද සෑර් නැතිව නිදි කියලා හරි, නිදි අයියේ කියලා හරි මට කියන්න. මගේ ජීවිත කාලෙම, කලමනාකාරයෙක් විදියට වැඩ කරද්දීවත් සර් කියලා කියන්න ඉඩ දුන්නේ නැහැ. නිමල් අයියා මිස. තරහ නැහැනේ ඒක කිව්වට.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. තැන්කිව් වේවා රිප්ලයි එකට.
      පිදිය යුත්තන්ට පිදීම පොඩි කාලෙදිම ඉගෙනගත් නිසා, දැන් උනත් ඔවුන්ට රෙස්පෙට් එක දිය යුතුයි.
      මේ බ්ලොග්ලෝකේ සියල්ලන්ම තමන්ගේ මාන්සියෙන්, වියදමින් අපිට යමක් තෑගී කරන අයනේ. ඉතිං හැට්ටර්ට ඒ හැමෝම සෑර්ල මිසීල නේ.
      හම්බුඋන වෙලාවක ඉතිං පිටට තට්ටුවක් හෙම දාල නෑකමින් කතාකරමුකෝ.
      එතකල් පිට් නේ. අමනාප නෑ නේ.
      (ඒක නෙවේ සෑර්, අර පොටෝ එක හොරකං කළාට අවුලක් නැහැනේ)

      ජයවේවා!
      Myself Hattor

      Delete
    5. මොන ෆොටෝ එකද? මාත් කොහෙන් හරි තමා උස්සන්නේ. බ්ලොගර්ස් ඊව් එකේ ඒවා නං එක එක්කෙනා ගත්තු ඒවා. වැඩියම කණ්ඩා.

      Delete
  8. මම පොඩි කාලෙ දවසක් රෑ හතට විතර රූපවාහිනියෙ ගියා මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පලවෙනි කොටස (ටයිටස් තොටවත්තගෙ හඬකැවීම) ඒක දැකපු තාත්තගෙ මතකය අවදි වුණා. "ඔය අර දේවහස්තය නවකතාව. ඕකෙ තමයි ගෝණියකට බැහැලා හිරෙන් පනින්නෙ. ඉන්ඩ මම ඔය පොත හොයල දෙන්නම්..." තාත්තා මට බොහොම උනන්දුවෙන් කිව්වා. ඒ වගේම දවස් දෙකකට විතර පස්සෙ තාත්තගෙ හොඳම යාලුවෙක් වුණු සුනිල් මාම ගාව තිබිලා පොත මට ගෙනත් දුන්නා. ඒකෙ චරිත අර නිදි කිව්වා වගේම සිංහලට හරවල තිබුණෙ. අනුවාදය මගෙ හිතේ කේ. බී. සුගතදාසගෙ. පරණ සිංහල. එඩ්මන් දනතිස්ස, බැරන් දංගෙදර, පුරනන්ද මොන්ටේගු, එඩ්මන්ගෙ පෙම්වතියගෙ නම මධුමණී, ඇල්බට් මෝසප්, කදරූස, විල්කොටුව නීතිඥයා... පස්සෙ කාලෙක තමයි කේ. ජී. (ඒ අකුරු දෙක විතරක් තිබුණනං වෙන දෙයක් කියල හිතන්න තිබුණා) කරුණාතිලක සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනයක් කළේ. කාලයක් තිබුණා මම අවුරුද්දකට සැරයක් ඒ පොත් හය කියවනව. ඒ තරමට රසවත්...

    ReplyDelete
    Replies
    1. ඇලෙක්සැන්ඩර් ඩුමාස් විතර විවිධ තේමා ඔස්සේ නවකතා ලියපු වෙන කෙනෙක් ඉන්නවද මන්දා. මගේ ළඟ තියෙන්නෙත් කේ. බී. සුගතදාස මහත්තයාගේ පොත. කේ.ජී. කරුණාතිලක මහත්තයාගේ අසංක්ෂිප්ත පරිවර්තනයත් කියෙව්වා, ගත්තේ නැහැ. හැබැයි ඩ්රැකී, එතකොට පුදුම හිතුණා සුගතදාස මහත්තයා පත අට එකට හින්දලා තිබුණු හැටි ගැන.

      Delete
  9. මේ ලිපි පෙළ මට හරි සමීපයි. ඒ ආකාරයටම නැතත් ඇතැම් සිද්දි මාත් අත්විදලා තියෙනවා. කිතුල් පැණියි රොටියි දිව්‍යභෝජනයකට සමයි. වසරක් සැපිරීම ගැන සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔයාට පොඩි ඔත්තුවක් දෙන්නම්, මේකෙන් මට සංග්‍රහ කළේ බදුල්ලේ 'කඩේ ආච්චී'. තම්බපු බතලයි කිතුල් පැණියි. මං කියනවට කාලා බලන්නකෝ!

      Delete
    2. කටට කෙල ඉනුවා. කාල බලල කියන්නම්.

      Delete
  10. නිමල් අයියගෙ බ්ලොග් එක දවසක පබ්ලිෂ් කරොත් .. පංච තන්තරේට වඩා මහා පතරංග ජාතකය වගේ තියේවි ... කෙටිය කියලා කියන්න කතා නැහැ නොවැ එකක්වත් :)

    හැබැයි රහේ අඩුවක් නැහැ !

    ReplyDelete
  11. ඇත්තටම කණ්ඩා, මට යමක් කෙටියෙන් කියන පුරුද්දක් නම් නැහැ වගේ නේද?

    ReplyDelete