අකුරු මැකී නෑ

Tuesday, March 26, 2019

යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස

එදා එයාලට බැලන්ටයින් බෝතල හතරක් එක්ක, එච්චර කාලාවත් නොදැනුණු මත් ගතියක් මේවා ලියද්දී මට දැනෙයි.ඒ හින්දාය මං මේ විරාමයකුත් ගන්නේ! කියලයි ගිය වතාවේ නැවතුණේ.

එහෙම කිව්වට දිගම විරාමයක් ගන්නත් බැහැනේ. 
කන-බොන විස්තර; මෙවැනි විස්තර කියද්දී ‘කල් ඉකුත් වෙන්න කලින්- expire වෙන්න කලින් ඒවා කියලා දාන්න ඕනේ’ කියලා ‘කල්‍යාණ මිත්‍ර’ අඩවියේ හිතවත් ‘කමි’ තමයි මට උපදෙස් දුන්නේ.

ඔන්න අමු, බැදපු, බැදලා තලාගත්තු මයියොක්කා කෑලි විතරක් නෙවෙයි පොල්කටුවත් ........
ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මඤ්ඤොක්කා බයිට් එක හදාගන්න විදිහ. හරිම සිම්පල්. මයියොක්කා අල තරමක කෑලිවලට කපාගෙන හොඳට හෝදලා අමුවෙන්ම ගැඹුරු තෙලේ බැද ගන්නවා; රන්වන් පාට වෙනතුරු. 
තද ගින්දරේ බදින්න එපා. මඳ ගින්දරේ! 

මයියොක්කා කෑලි තෙලට දැම්මට පස්සේ අමතක නොකර ලුනුකුඩු ටිකක් තෙල් තාච්චිය පුරා විසිරෙන විදියට ඉහින්න.

මයියොක්කා බැදිලා තෙලෙන් ගොඩට ගත්තාම යාන්තමට තලලා; චප්ප කරගන්නවා. ලස්සන හැඩයකට ගන්න ඕනෙ නම් රෝලර් පින් එකකින් ඒ රාජකාරිය කරන්න එපා. ඔයාලා හිතයි ලස්සනත් ඕනෙද කියලා. දන්නවනේ, කටෙන්  කන්න ඉස්සෙල්ලා කන්නේ ඇහෙන් කියලා.

මොනවා හැදුවත් ඒක ලස්සනට තියෙන්නත් එපැයි! ඉතින් ‘නිදි’ නම් බැදපු මයියොක්කා කෑලි රවුමට- ලස්සනට හිටින්න තලාගන්නේ පොල්කටුවකින්. මං ඒ වැඩේටම ගන්න පොල්කටුවක් සුද්ද කරලා වෙනම තියාගෙන ඉන්නවා.

මයියොක්කා බදින්න කලින්ම දියාරුවට ලුණුමිරිස් ‘ඩිප්’ එකකුත් හදලා තියාගන්න අමතක කරන්න එපා. එදා හැඩේට තලාගත් බැදපු මඤ්ඤොක්කා කෑලි කැන්ද කොලයක තියලා, උඩින් ලුණුමිරිස් ටිකක් දාලා තමයි පිළිගැන්නුවේ. රස්නෙන්ම!! එතකොටයි ගොඩක් රහ!!!

රෝද දෙකේ රස්තියාදුවා; මද්දා; මට නම් මධු, මේ පෝස්ටු මාලාවේ තෙවැනි කොටසට කමෙන්ට් එකක් දමමින් ‘පොඩි මැසිවිල්ලක්’ කරනවා. // කැන්ද කොළවල තියලා ‘සර්ව්’ කළ ‘මඤ්ඤොක්කා’ බයිට් එක// මම එද්දි කැන්ද කොළත් නෑ. කියමින්.

පාන්දරම කණ්ඩා ගියා අපේ පිහි ඇනුම් කෑ වීර අසංගව බලන්න............
මධූ, ඔයා ඔහොමවත් ලකී වෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕනේ, තව ඩිංගෙන් පාටියට එන්න කියවෙන්නෙවත් නැහැ. දන්නවද, මෙහෙමයි වැඩේ පත්තු වුණේ!

මාර්තු පළමුවෙනිදා පාන්දරමනේ කණ්ඩා ලංකාවට ගොඩ බැස්සේ. ඉතින් ආ හැටියෙම හාමිනේව එයාලගෙ ගෙදරට ඇරලවලා කණ්ඩා ගියා ‘අපේ පිහි ඇනුම් කෑ අසංග වීරයාව’ බලන්න. ඊළඟට කෙලින්ම ආවේ මහරගමට. 
කිව්වේ නම් නිමල් අයියවත් ඉස්සෙල්ලම දැකගන්න ඕනේ කියලයි; කළේ නම් ඒක නෙවෙයි. මහාර්ඝ රුවන් කරඬුවක් වගේ, ඉස්මුදුනේ තියාගෙන බෝතල හතරක් පරෙස්සමට වඩම්මපු එකයි! එතකොටත් මං කුස්සියේ.

අපි දෙන්නාගේ කතාවේදී කියවුණා ‘රෝද දෙකේ කස්ටිය’ එක්ක මං ගිය කල්පිටි ගමන ගැන. “අම්මට සිරි, නිමල් අයියේ මට මද්දව අමතක වෙලාමනේ තිබ්බේ! ඔයා හරි එයාට කියන්නනේ තිබ්බේ.” එතකොට කණ්ඩා කියපි.

‘මගෙන් මංගල යෝජනාවක්’ ‘නැණ ලැබ ගත්තෙමි’ වගේ පෝස්ටුවලදී කිව්වනේ මං ‘ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ - තරුණ ජනගහණ කමිටුවේ’ හිටිද්දී ඉගෙනගත් දේවල් ගැන. ඒවාට අනුව නම් මෙතැනදී මාත් නායකයෙක් නෙවෙයි. අනුගාමිකයෙක් විතරයි. මගෙන් ඉල්ලන සහයෝගය විතරයි දෙන්න ඕනේ. (මේ ගැන පෝස්ටුවක් වෙනම ලියනවා, ලියනවාමයි.)

“අනේ කණ්ඩා, මං කොහොමද එහෙම කියන්නේ? ඔයාලානේ මේක ඔර්ගනයිස් කරන්නේ, මං සපෝර්ට් එකක් දෙනවා විතරනේ. ඉතින් දැන් හරි මධුට කියතහැකිනේ ඔයාටම.”

බ්ලොගර්ස් ඊව් එකට ආව එකම බවලත් ඇත්තියත් එක්ක.......
ඔන්න ඔහොමයි වැඩේ වුණේ. මධූ, හිමිදිරියේම කණ්ඩා ඔයාට කෝල් කළෙත් අපේ කුස්සියේ ඉඳන්! එහෙම කිව්වම, ඔයාත් යොදාගත් වැඩ හින්දා ‘පරක්කු වෙලා හරි එන්නං’ කිව්වේ.

කිව්වා වගේම, බ්ලොගර්ස් ඊව් එකට ආව එකම කාන්තා රත්නයත් කැන්දාගෙන ඔයා ආවේ පාටියේ පසු භාගයෙදිනේ. එතකොට උණු-උණු මයියොක්කා වැනිෂ්ඩ්! පස්සේ දවසක කමු. ආආආආ, ඔයාට නං ඇඹණියන්දාට කියලා හදවාගන්න හරි බැරියැයි, අදම වුණත්. 
එහෙම කරනවා නම් මෙන්න මධූ, warning එකක්. මයියොක්කා තම්බලා කනවට වැඩියෙන් කැවෙනවා මෙහෙම හදාගත්තාම!

ඉංගිරිසි කියමනක් තියෙනවා. ඒකෙ තේරුම මිස කියමන නම් දැන් හිතේ නැහැ. 
මං ඔහොම බරසාර ඒවායේ තේරුම තමා හිතේ ධාරණය කරගන්නේ. 
‘පමණට වැඩියෙන් වචන පාවිච්චි කළොත් අදහසේ ප්‍රාණ වායුව හිර වෙයි!’
මගේ පරිවර්තනය හරි නේද?

ගෙදරට එන පාරයි, ගෙදරයි ෆොටෝවලින්ම පෙන්වන්න ගියාම.............
ඒක තවත් හොඳට පැහැදිලි වුණේ අපේ ගෙදරට එන පාර කියන්න ගිහින්. 

ගූග්ල් එකෙන් ෆොටෝත් අරන් චැට් ග්රූප් එකට දැම්මා, දෙතුන් දෙනෙක්. ඒකේ තියෙන්නේ අවුරුද්දකට විතර කලින් ගත්තු, අපේ පාර ළඟ ෆොටෝ එකක්. ඒ මදිවාට, ගෙදර නොම්මරේ ගැහුවාම දෙන්නේ ‘දේවාල පාරේ’ ලොකේෂන් එකක්. 
කොහොමින් හරි මාත් දන්නා සේරම සෙල්ලන් දාලා ෆොටෝ දෙක-තුනක් අරන්  දැම්මා. ගූග්ල් එකෙන් හොයලා නෙවෙයි; මගේ I Pad එකෙන් අරගෙන.

ඒ අතරේ ‘අතැඹුලක් සේ’ ශිල්ප දන්නා මානවකයෙක්; කැලුම්, කැලුම් විහිදෙන නියමම ෆොටෝ එකක් අප්ලෝඩ් කළා. දැන් පාර වැරැදෙන්නේ පොට්ටයෙකුට විතරයි.

ඒ වැඩෙත් හරි. 

පෙනුණු විදියට නම්, ඒ මංසලකුණු ෆලෝ කරපු කාටවත් කිසිම කරදරයක් වුණේ නැහැ ‘අපේ බංගලාව’ හොයාගන්න. එහෙම ආපු ඇත්තන් කොච්චර දැනුම්-තේරුම් ඇති අයද කියලත් පළමුවෙනි පැය භාගේදීම මං තේරුම් ගත්තා, එක කාරණයකින්ම.

කැලුම් තමයි හරියටම හරි යන මංසලකුණු පෙන්නුවේ......
මට අපේ ගෙදර ෂෝ room එකක් නෙවෙයි. ගෙයක් විතරයි. මෙහාට එන හුඟක් අයට පෙනෙන්නේ ඉස්සරහ බිත්තියක තියෙන කුරුලෑ. 
“ඇයි නිමල් අයියේ මේ බිත්තිය ආයෙම කපරාරු කරවන්නේ නැත්තේ?” සමහරු අහනවා. “එහා පැත්තේ පුපුරලා තෙතමනේ බිත්තියට උරාගන්නවා වෙන්නැති.” ඔහොම අදහස් කෝටියයි! එන්නේ මාව හම්බ වෙන්නද, නැතිනම් ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් කරන්නද කියලත් හිතෙනවා ටික වෙලාවක් යද්දී.

ඉතින් එයාලට කියාපල්ලකෝ, බිත්ති හූරලා - කපරාරුව අයින් කරවලා වතාවක් අලුතින්ම ගස්සපු බව...... සතියෙන් කරනවා කිව්වට බාස්ලා කඩින්-කඩ එමින් මාසයක්ම මං දූවිලි ගොඩක ලැග්ග බව.... මොකට කියනවද ඔය කරච්චල්? අන්තිමටම මං රළු වුණත් ඍජු උත්තරේම දෙන්න පටන් ගත්තා. 
‘තව ටික කාලෙනේ, මං ගියාට පස්සේ මේවා අයිතිවෙන කෙනෙක් ඒවා කරවයි!’.

මෙන්න ඒකට බුවාලා. No questions! පොල් කඩන්න ආවා නම් වත්තේ හතර මායිම් බලන්න ඕනැයි?

මෙන්න ඒකට බුවාලා! මෙතැන නම් පෙනෙන්නේ ලක්මාල්, මද්දා, නයනජිත්, ප්‍රදීප් හතරදෙනා .......... 
සමහරවිට එහෙම වෙන්න ඇත්තේ, ජීවිත කාලෙකටම ඇතිවෙන්න චැට් ග්රූප් එකේදි මාස එකහමාරක් තිස්සේ කතා කරපු නිසා වෙන්නැති. මගේ අම්මෝ, එහෙම දම් සභා මණ්ඩපයක්..... වතාවක් ලක්මාල් කන්දෙවිදාන සහෘදයාට කොච්චර උදව් වුණාද එයාගෙ ව්‍යාපාරේ ඩිවලොප් කරන්න. මෙහෙමයි ලක්මාල් සහාය පැතුවේ.

“අනේ පිං කරන නෝනා, මහත්තයා....... ගැත්තාට අනුකම්පා කරලා මේ ලින්ක් එක ක්ලික් කළහම එන මැප් එකේ වම් පැත්තේ යටම තියෙන Review ක්ලික් කරලා තරු පහම දීලා, කමෙන්ට් එකක් එහෙම දාල, අසරණයට අන්තර්ජාලයෙන් බඩරස්සාවක් දෙකක් හොයාගන්ඩ උදව් කරන්ඩ............ මතු උපදින ආත්මයක මට වාගේ දුකක්  කරදරයක් ඔය ඇත්තන්ට නොවෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ අහක බලාගෙන යන්ඩ එපා, Review එකක් දීලා යන්ඩ. https://goo.gl/maps/putKYWLfFPn

ඕනෙම මහන මැෂිමක් රෙපෙයාර් කරන්ඩ දක්ෂ ලක්මාල් විශ්වකර්ම පුත්තරයාට, ඔයාලගෙ කැඩිච්ච මැෂින් වුණත් හදවාගන්න දෙතහැකි ඔන්න! 

අපරාදේ කියන්න බැහැ, ඒ පුතයා මුල ඉඳලාම මටත් කිව්වා ‘ඔයාට උදව්වට මාත් උදෙන්ම එන්නං’ කියලා. ජීවිතේට හම්බවෙලා නැති, දැකලා නැති මනුස්සයෙක් එක්ක එක පාරටම පැය ගණනක් කොහොමද වැඩ කරන්නේ? ඇත්තටම මං ඒකට බයයි.


ලක්මාල්ගේ පුංචි ව්‍යාපාරෙටත්  තල්ලුවක් දෙන්නයි කියලා..............
අපි ට්‍රිප් ගියාම උයනවනේ කට්ටියම එකතු වෙලා. හොඳට තිබ්බොත් උයපු අය ගොඩායි. නරක නම් උයපු කෙනෙක් නැහැ. ඉතින්, දැන් මං කරන්නේ එක-එක්කෙනාට වගකීම් දෙනවා වෙන-වෙනම.

‘ඔන්න පොල් සම්බෝලේ හදන ජොබ් එක සඳුන්ලගේ ශ්‍රියන්තිට...... වැව් මාළු ඉවිල්ල ඇඹිලිපිටියේ සුදු නංගිට.... කරවිල මාළුව තිත්ත නොහිටින්න උයාගන්න ඕනෙ නම් චමනිල අම්මා දයාට.... එළවලු කැපිල්ල මාලිකා, කැකුළි, උදේනි වගේ කාට හරි.... ’ ඔය හැමෝම හැම ගමනටම යන්නේ නැහැනෙ. තව ඉන්නවා... තව ඉන්නවා. 
එක-එක දේවලට හපන්නු. මං ලිව්වේ කීපදෙනෙක් ගැන විතරයි, මුලින්ම ඔළුවට ආව. එහෙම කියන්නේ මගේ ඔළුව බේරාගන්නත් ඕනේ නිසා! නැත්තං ඒකටත් ගෝළු ගනීවිනේ.

ලක්මාල් ආවාමත් එහෙම කරන්නයැ? ගම කෑවොත් මගේ සායමනේ යන්නේ.......

අපේ මිතුරු ඉංජිනේරු නඩයක් එක්ක ට්‍රිප් එකක් ගියා වස්ගමුවේ මැදපිටියට. එක ඉන්ජෙක් හිටියා මැදපෙරදිග කාලයක්ම හිටපු. "මං තමයි අයියේ චමරියේ ඉව්වේ. කොච්චර ඉව්වත් කට්ටිය කනවා...." පුරාජේරු වැස්සයි! ඔන්න මිනිහටත් වේලක් උයන්න ඕනෙයි කිව්වා.

"නිමල්, වේලම නම් උයන්න දෙන්න එපා. එක ජාතියක් විතරක් හදන්න දෙන්න." හිතවතෙක් කිව්වා; රහසෙන්. ඔන්න සැමන් සම්බෝලයක් හැදීම මිනිහට බාර කළා. "හරි, නිමල් අයියා මට ඕනේ කරන බඩු ටික විතරක් ළඟට දෙන්න." ඔන්න මිනිහා අවශ්‍ය කරන දේවල් කියන්න පටන් ගත්තා. 

"සැමන්, බී ළූණු, අමුමිරිස්, ලුණුකුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ගොරකා, සියඹලා, දෙහි, විනාකිරි, තක්කාලි." ඒ විතරක් නෙවෙයි, උන්නැහේට උම්බලකඩ කුඩුත් ඕනෙ වුණා! 

පස්සෙනේ දන්නේ මේ ලක්මාල් කන්දෙවිදාන හාදයා නම් අර ඉන්ජා වගේ නෙවෙයි, නියම chef මහත්තයෙක් බව. හැබැයි, කුස්සියේ ඉඩ මදිකමත් මගේ කම්පනාවට ආවා.

අපේ සාලයේ ඉඩ තිබ්බට කුස්සියෙ තියෙන්නේ එක්කනෙකුට හැරෙන්න ඉඩක් විතරයි. තනිකඩයෙකුට හදාපු ගෙයක්නේ! හැබැයි ඊළඟ වතාවක නම් ලක්මාල්ටම වුණත් වගකීම බාර දෙතෑකි ‘ඕනේ අටම්පහුරක්’ කියලා හිත හදාගෙන.

ඕනේ අටම්පහුරක් කියලා හිත හදාගෙන............
එහෙම එක්ස්පර්ට් ලක්මාලුත් written සහතිකයක් දීලා තිබ්බා ‘නිමල් අයියගේ චිකන් එක නම් මරු’ කියලා. ඒක දුන්නේ ‘ජීරා චිකන්’ එකට. මට ඒ රෙසිපිය දුන්නේ අපේ සමන්ති නංගිගේ හබියා බිමල්. එයා එංගලන්තේ ඉපදුනාට; හිටියට, එයාලා ‘මහේන්ද්‍ර භායි පටෙල්’ ලා. හරිම ශෝක් මෂියා. වටේම ඉන්න අයට පොවලා වට්ටන්න දෙයියා. නෙවිල්ගේ 50 වෙනි උපන් දිනේට ලොකු පාටියක් දෙන්නම එයාලා ලංකාවට ආවා. බිමල් තමා ඒකට ජීරා චිකන් හැදුවේ.

එදා නම් මං හැදුවේ ‘නිදිකරණය’ කරගත්තු රෙසිපි එකට අනුවයි. ඒක හදද්දී මං නම් යහමින් සූදුරු දානවා. කුකුළු මස් කිලෝ එකකට සූදුරු ග්රෑම් 100 ක්වත්.

මස් කපලා හෝදලා දිය සීරෙන්න තියනවා. බටර් හරි තෙල් හරි මේස හැඳි දෙක-තුනක් රත් කරනවා. කපපු බී ළූණු ගෙඩි දෙකක් විතර ඒකට දාලා බැදෙන්න ඇරලා, තරමක කෑලිවලට තලාගත් සූදුරුත් ඒකට දාලා බදිනවා. 
ඒවා කරවෙන්න නොදී බැදගෙන, මසුත් එකතු කරනවා. කහකුඩු ටිකක්.... දියලුනුත් දාන්න පදමට. 
එච්චරයි, මඳගින්නේ පිසගන්න එකයි. තැම්බෙන්නේ ඒකෙන්ම උනන දියරෙන්. මදි වගේ පේනවා නම් විතරක් වතුර ටිකක් දාගන්න. 

අපේ අයට සැර ඕනේ නිසා මං නම් හෝමිරිස් හරි කොච්චි හරි කරල් ටිකකුත් කපලා ඒකට දමනවා.

සූදුරු චිකන් හදාගන්න එක සිම්පල්..........
හැබැයි, යාල රිලවුන්ගෙන් පූරිවලට ලැබුණා වගේම ප්‍රතිචාරයක් ලැබුණා මාස දෙකකට කලින් ජීරා චිකන්වලටත්; අපේ ගෙදරදීම. පැදුරකට එකතුවුණු වෙලාවේ උදේනි අල්විස් හිතවතාගෙන්.

නළුවෙක්, කැමරා ශිල්පියෙක් වුණත් උදේනිත් මං වගේම මතින්, දුමෙන් තොර එක්කෙනෙක්..... ඒ හින්දා එයා කියපු දේ අහකට දමන්නත් බැහැනෙ. හොඳ සිහියෙන් ඉන්න ගමන්නේ කිව්වේ. “චිකන් එක නම් මරු නිමල් අයියේ. තවත් මරු සූදුරු නැති නං.” කෙළපිය තාප්පෙටම කියලා මං හිතුවා විතරයි; කීවෙ නෑ.

මෙන්න මෙතැනදී වැඩියෙන් මගේ හිතට වැදිච්ච විශේෂ කාරණයක් තියෙනවා. ජාතීන් අතර සමඟියක් ඇති කරන්න නානාප්‍රකාර උප්පරවැට්ටි යොදනවානේ. ඇයි ඒකට කෑම-බීම උදව් කරගන්න බැරි? මට මේ කල්පනාව ආවේ මේ පෝස්ට්ස් ටික කොටාගෙන යද්දී.

පූරි පූනගල දමිළ හිතවතෙක්ගෙන් ඉගෙනගත් කෑමක්. 
බැදපු මයියොක්කා ඔට්ටමාවඩුවල මුස්ලිම් වෙළෙන්දෙක් මට කියා දුන්නේ. 
ජීරා චිකන් පන්ජාබයෙ වට්ටෝරුවක්.........
dip බටහිර ක්‍රමයක්. හැබැයි ලුණුමිරිස අපේ; දියාරුවට නෙවෙයිනේ ලුණුමිරිස හදන්නේ. කොත්තමල්ලි කොළ වැඩියෙන් දාලා හදන මිශ්‍ර කරියත් ඉන්දියානු කෑමක්.... තෝසේ සම්බෝලේ....! එදා හදපු; තවම නොකියූ මාළු බොකු කරිය, (සමහරුන් ඒ කරත්ත එන්ජින් මස් කියලා පටලවාගෙන.) ළපටි පොල්වලින්- යහමින් ඇඹුල් දමා හැදූ සම්බෝලේ Sri Lankan. 
ඇයි රුහුණේ කුරහන් පිට්ටුයි, මීකිරියි, පැණියි අතුරුපස..... 
ඒවා කොයි ජාතියෙන් ඉගෙනගත්තත් - කොහෙන් අහුලාගත්තත් මොකෝ? නියමෙට ගැළපෙනවා නම්; අපේ රස නහර පිනවනවා නම්.

සුරූපී සන්ධ්‍යා කුමාරි ධීවරියක් වගේ රඟපාමින්...........
ඒවා රස විඳිද්දී අපි ජාති-ජම්ම තකනවද?

කිසිම දැනුවත්කමක්; හැඟීමක් නැතිව මං එදා බ්ලොගර්ස් ඊව් එකට දීලා තියෙන්නේ ජාත්‍යන්තර කෑමක් බව දැනුයි තේරෙන්නේ. 

ඒ වගේමනේ එදා අපි කවුරු කවුරුනුත් එකතුවෙලා කිව්ව සිංදු. සමහර ඒවායේ තනු හින්දි. සමහර ඒවා දෙමළ. ජෝතිපාලගේ ‘නින්ද නේන රාත්‍රියේ’ හින්දි කොපියක් කියලා ඒක කියද්දී අපට  මතක් වෙනවද, නිකමටවත්.

සන්ධ්‍යා කුමාරි ධීවරියක විදියට ‘ධීවරයෝ’ ෆිල්ම් එකේ රඟපාමින්, සුජාතා අත්තනායකගේ හඬින් ‘මාළිගාවෙ මා රැජිණී - මුහුද යහන වේ’ කියද්දී පී. සුසිලා ‘කාට්ටුරානි’ දෙමළ ෆිලුමට කියපු සිංදුවක් කියලා හෙම කාටද මතක් වෙන්නේ?

අප හැමෝම එකතුවී, එකාවන්ව ‘මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් වීරයාට’ චියර් කළේ. 

එහෙනම් ඇයි සමහර වෙලාවට විතරක් භේද භින්න -ගිනි අවුළුවන කතා ? 
“...... මළ දා නිදන්නේ - එකටයි කනත්තේ, කුල-මල ජාතී භේදේ - එදා නෑ නැඟෙන්නේ....” කියලා ‘තනිවයි උපන්නේ....’ සිංදුව කියද්දී අපිත් ගිරවුන් වගේ ප්‍රතිරාව නැංවුවාට, තේරුම හිතට අරගෙන නැතිනම්........ අරුත නොසලකා හැමදාම කියන පන්සිල් පද වගේමයි නේද?

ඒ දවස්වල ලංකාවේ හැමෝම මුත්තයියා මුරලිදරන් වීරයාට චියර් කළේ............... 
ඔන්න, ඔන්න. පුරුද්ද මතු වුණා. අනේ සමාවෙන්න. පුළුවන් තරම් කෙටියෙන් බ්ලොග්කරුවන්ගේ හැන්දෑව ගැන ලියන්නයි හිතුවේ..... මොන, මට කොහෙද එහෙම පුරුද්දක්? 
ඉතින් තව එක කොටසක්වත් ලියන්නම වෙනවා. හිතවත්, සන්මිත්‍ර පාඨක ඔබ හැම ඒකත් කියවන බව නම් මට හොඳටම ෂුවර්! ඒ නිසා අදට නවතින්නම්, හොඳේ!

16 comments:

  1. හරි හරි ඒකත් කියවන්නම්.

    ReplyDelete
  2. බඩගින්නේ ඉන්න වෙලාවක කියවන්න හොද නැති ලිපියක් මේක නම්.

    ReplyDelete
  3. අමිල, වේදනාවෙත් සතුටක් තියෙනවා නේද?

    ReplyDelete
  4. ගෙදෙට්ට එන්න පාර කියන්න මහන්සි වෙච්චි එකත් හරියට මේ බ්ලොග් පොස්ට් ලියනවා වගේ තමයි. මායි කම්මලෙයි දෙන්න ඇවිත් මහරගමින් කෝච්චියෙන් බැස්ස. විල් එකක රුපියල් පනහක් දීල ඇවිත් දේවල පාර ළඟ ඉස්සරහ බැස්ස මෙන්න යකෝ පාර අනිත් පැත්තේ ගේ පේනවා. හෙහ් හෙහ් හෙහ්.. අම්මප කලින් දීපු තොරතුරු අනුව මම හිතුවේ බොරැල්ල හන්දියේ බැහැලා වනාතේ ගෙයක් හොයනවා වගේ හොයන්න වෙයි කියල. :)))

    ReplyDelete
    Replies
    1. කමි, අපේ ගෙවල් පහු කරලා තව චුට්ටක් ඉස්සරහට ගියානම් වනාත පාර හම්බ වෙලා ඔයාලව අනාථ වෙනවා තමයි.

      Delete
  5. කස්ටිය බීලාට වැඩිය බුරිය උල්වෙන්ඩ කාලා නොවැ.
    ඊලග සැරේ ලුණු මිරිස හදන හැටියත් දාන්න.

    ReplyDelete
    Replies
    1. අසංග උදේ කිව්වා නේද 'මේ පෝස්ට් එක කියවන්නේ නැහැ, දුක වැඩිවෙන හින්දා' කියල. මේ කියවලා තියෙන්නේ!

      Delete
  6. අටමගෙ බඩත් එක්කනං ඔය කුස්සියෙ තියා මැදසාලෙවත් කොහොමත් හැරෙන්න බැරි වෙයි. හැක්..

    ගූගල් වලින් පාරවල් අහගෙන ගිහිල්ල කට්ටිය ඇල පාරවල් වල, බෝක්කු අස්සෙ තමයි නවතින්න වෙන්නෙ.

    ඊලග සැරේ ලුණු මිරිස හදන හැටියත් දාන්න. x2

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, අටන්ගේ බඩ මොකක්ද හොසොල් රජ්ජුරුවන්ගේ බඩත් එක්ක. මගධ නැලි 16 ක බත් කෑවලු ඒ රජ්ජුරුවෝ!

      Delete
  7. නිදිගේ හිත කතා කරයි...
    මං ඔය රෙසිපි එක ඔහොම ලිව්වට ඇත්තටම හදපු හැටි මමනෙ දන්නෙ. මයියොක්කා තැලුවෙ බිම දාලා කකුලෙන් පාගලා. ඒ වැලි ටික හැපෙන හිංද තමයි මිරිස් තලියක් අරං දිය කරල ගෑවෙ...ඔක්කොමත් හරි අටම කුස්සියට ඇවිල්ල දාපු බැල්ම මට ඇල්ලුවෙ නෑ..උගෙ කල්කිරියාව මං කොහොමද දන්නෙ? ගෙදරත් කවුරුත් නැති වෙලාවෙ අතවරයක් කලොත් මොන දෙයියට කියන්ඩද? හපොයි මං බය වෙච්ච තරමක්...!

    ReplyDelete
    Replies
    1. අනේ ලොකු, මට කිව්වට කමක් නැහැ. වෙන කාටවත් එහෙම මේ රහස කියන්න එපා,

      Delete
  8. අටම්පහියට බැස්සට පස්සෙ හැමදාම නිමල් අයියගෙ බ්ලොග් එක මිස් වෙනව ... කොනක හිට කියවන්න ඕන කතා බර ගානක් තියෙනව. නිමල් අයිය මීක් නොකියා සිය කැමැත්තෙන් තනියෙම කෑම වල බර ඇද්දට, ඉගෙන ගත්ත පාඩමක් ආයේ සෙටමෝල් එකක් තිබ්බොත් කට්ටිය අතරෙ කෑම බෙදා ගන්න එක තමයි හරි විදි.

    මං මෙදා සැරේ අපේ අම්මව බලන්නත් කලියෙන් තමයි ඔහේට ගොඩ උනේ ... පිරිත් පැන් තැන්පත් කරල යන එක සේකන්ඩරි වැඩක් ... කතාව සාරෙට නැගල යනව ... ඔහොම යන් :-D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කණ්ඩා, මෙහෙම අත්දැකීමකට මඟ පෑදුවට. සතුටුයි මට උදව් කළ-කරන කොටසක් එක්ක හරි එකතු වෙන්න ලැබුණට. අනෙක් පිරිසත් හමු වෙන්නයි බලා ඉන්නේ!
      දැන් නම් සාදා කතාවේ කෙළවරකට එමින් ඉන්නේ!

      Delete
  9. කෝම මගාරින්නද ඉතින් ඔච්චර දැවැන්තයො එන තැනක්. කෝල් එක අරන් කන්ඩා එන්න කීවම මම කීවෙ හාමිනේගෙන් අහල කියන්නම් කියලයි හාමිනේගෙන් අහන්නම් කීවෙ හවස යංද කියල මිසක් හවස යන්නද කියල නෙමෙයි. මම ඉතින් කොහෙ ගියත් ඩබල් දාල නොවැ වැඩි කරදරයක් නෑ කොච්චර බීවත් ගෙදර ගේනව නොවැ හික්ස්.

    මයියොක්කා වලට වඩා රස හැන්දෑවට කන්ඩයියටයි මාව මතක් කරපු නිමල් අයියටයි ස්තූති කරන්න වචන නෑ





    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මධු. 'එක හිත නම් තම්බා කමු පලාවත්' කියලා කියන්නේ ඕකනේ. පලා කොළත් මස්-මාංශ වගේ රහට දැනෙනවා සහෘදයන් ඇසුරේදී.

      Delete