අකුරු මැකී නෑ

Wednesday, April 3, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස

වේදිකාවේ කොනකට වෙන්න තිබුණු, කළු රෙද්දකින් වහපු මේසයක් උඩ; වැරැදුණා- කාළගිරි පරුවතේ උඩ ඉන්න එරන්දතී කුමාරිකාව දිහා බලාගෙන දිසානායක හේවගේ ගුණපාල හෙවත් අපේ තාත්තා බල්-බල් සද්දෙන් සිංදුව පටන් ගත්තා. (මං කලින් කිව්වනේ, අපේ  තාත්තට තිබ්බේ සිංදු නොකීමේ හැකියාව!). 

බන්දුල ජයකොඩි හෙවත් පූර්ණක යක්ෂ සේනාධිපතියා හේබාලා ගිහින්, රූකඩයක් වගේ කට හොලවමින් රංගනයක යෙදුණා. උගුර බැරැන්ඩි නොවී තිබ්බා නම් මිනිහා ‘රාවණ’ රජ්ජුරුවන්ට වුණත් තේජස් පෙන්නාවි! පව් බන්දුල!

උගුර බැරැන්ඩිය නොතිබුණා නම් මිනිහා රාවණ රජ්ජුරුවන්ට වුණත් .......
    දෙව් ලොවේ දිව්‍ය අංගනියක් වගේ//
    පර්වත මුදුනේ - හිඳ ගී ගයනේ//
    කවුද කියන් මට පහදාල මේ වරේ
    දෙව් ලොවේ දිව්‍ය අංගනියක් වගේ....

බන්දුට පුරුදු කරවලා තිබුණේ ‘කවුද කියන්’ කියලා කියද්දී අඩි පොළොවේ හප්පන්න. 

“ළමයා, ඒ කාලේ මං පූර්ණකයාට ඇඳලා  ඇවිත් ඔය සිංදුව කියද්දී, කවුද කියන් මට පහදාල මේ වරේ කෑල්ලෙදී අඩිය පොළොවේ හප්පන සද්දේ හෝල් එකේ එහා කෙළවරටම ඇහුණා!” නාට්ටියේ සම අධ්‍යක්ෂණය කළ අබරන් මාස්ටර් බන්දුට කිව්වේය. බන්දු මට කිව්වේ ඒ කාලේ වේදිකා, ලෑලිවලින් හදලා තිබුණු නිසා එහෙම සද්දේ ඇහෙන්නට ඇති කියලාය.

“හරි මාස්ටර්, එදාට මං කරන්නම්. දැන් තියාම ඔහොම අඩි පොළොවේ හප්පන්න ගියොත් මට වැඩට යන්න වෙන්නේ කොර ගගහා.” බන්දු කිව්වේ ඇත්තටමය. 

ඒකෙන් නම් අබරන් මාස්ටර්ගේ මූණත් ‘නාලු’ වෙලා ගියේය. ඒක ටිකාක් හරි හරිගියේ අපේ තාත්තා ආධුනික පූර්ණකයාගේ ඇඟට ගොඩ වුණාමය. “අයිසෙ බන්දු. වැදගත්, වැඩිහිටි අය යමක් කිව්වම අහනවා. මූණටම දමල අනිනවා වගේ කතා නොකර!”.

සල්ගල ට්‍රිප් එක ලැහැස්ති කළේ නැන්සි ආච්චිය.
බන්දුල ජයකොඩි එහෙම වෙලාවට නම් නිස්සද්ද වෙයි. 

ඒත්, පස්සේ කාලෙක පිළිකාවකින් පීඩා විඳ මරණයට පත් වෙන තුරුමත් ‘පොල්ලෙන් ගහන්නා’ වගේ කතා කිරීමේ පුරුද්ද නම් මිනිහා අතෑරියේ නැත. ඒ දවස්වල බන්දු වැඩ කළේ ‘සිටි කැරියර්ස්’ එකේය. එයාත්, බන්දුගේ පොඩි අයියා අතුලත් දෙන්නාම ඒ කොම්පැණියේ ‘බර උස්සන්නෝ’ වූහ. එයාලා හිටියෙත් නැන්සි අක්කලාගේ වත්තේය. 

මගේ චූස් එකේදි කියූ සල්ගල ට්‍රිප් එක ලැහැස්ති කළේ ඒ ඇන්ටිය.

ඉතින් තාත්තා සිංදුව කිව්වාට බන්දුට ‘හොඳ ගැම්මක්’ ආවේ නැති බව හොඳටම පෙනුණේ එරන්දතීටය. ඒක එරන්දතීගේ උත්තර දීල්ලටත් බලපෑ බව කියන්නම වෙයි. රඟපාද්දී සහාය නළු-නිළියන්ගේ කොටසුත් හරියට කෙරෙන එක ‘මූඩ්’ එකට එන්නට ලොකු උදව්වකි. මං ‘තර්ගයේ’ දෙවෙනි කොටස කිව්වෙත් හිතේ අමාරුවෙනි.

    නා ලොවේ නාග රාජාගේ දෝණි මං//
    මෑණියො මාගේ - විමලා දේවී//
    එරන්දතී වේය මේ මාගේ නාමේ
    නා ලොවේ නාග රාජාගේ දෝණි මං ........

නියම හෙළයන් කියන්නේ යකුන්ටද? නිමලුත් යකෙක් තමයි.....
අබරන් මාස්ටර් එතැන නොහිටි එක අප කාගෙ-කාගෙත් වාසනාවකි. නැතිනම් ස්ටේජ් එක උඩදීම මාස්ටර් ආලවකයා වෙනවා නිසැකය. 

ආලවකයා යකෙකි. නියම හෙළයනුත් යකුන්ලු. ‘නිමලුත් යකෙක් තමයි’ කියලාත් සමහරුන් කියා තිබේ. මෙතැනදී මට නම් වැදගත් වෙන්නේ යක්කුන්ට රහස් රැකගත හැකිද කියන එකය. ඔව්! මේ ඡේදයේ මුලින් කී කරුණු අනුව, නිමල් දිසානායකත් යකෙකිය යන පදනම මත-තර්කයක් ගොඩ නඟන්නේ නම් යකුන්ටත් රහස් රැකගත හැකිය. හැබැයි......

මං මෙච්චර කාලයකට කටේ කෙළ බිම නොහැලූ රහසක්ය දැන් කියන්නට යන්නේ. මේ කාරණාව දන්නේ අප හතර දෙනෙකු විතරය! 

ඒ වෙලාවේ අප හිටියේ අර කලින් කියූ කුරුඳු කැලයේ නාන ළිඳ ළඟය. අපය කිව්වේ S අක්කාත්, ප්‍රසාද්ලගේ අක්කලා දෙන්නාත්, මාත්ය.

ඒ වෙලාව අපට අපේම නිදහස් ලෝකයක් විවර කර දෙයි. අර ගැටවරියන් දෙන්නාගෙන් එක්කෙනෙක් නම් තොරතෝංචියක් නැතිව ඕනෑම දෙයක් කියයි. සමහර දේවල් නම් සොහොයුරියක් ඉස්සරහදී කියන්නට බැරි තරම්ය. ඒත්, එහෙම වෙලාවට ඔව්වා තකන්නේ කවුද? නාන්නට ගියාට වැඩියෙන්ම අපේ වෙලාව ගතවුණේ ඔහොම කතා කියන්නටය. 

එතැන පොඩිම එකා හින්දා මං කළේ නිස්සද්දව  අහගෙන ඉඳිල්ලය.

නාමින් හිටි එකිය කියූ වලත්ත කතාවකට හිනා වෙන්නට ගිහිං....
එදා, එකියක් නාමින් ඉඳිද්දී තව එකියක් සබන් ගාමින් හිටියාය. අනෙකිය හිටියේ ඇඳුම් උනා දිය රෙද්ද අඳිමිනි. නාමින් හිටි එකිය කියූ වලත්ත කතාවකට හිනාවෙන්නට ගිය තෙවැන්නීගේ අතින් දිය රෙද්ද ගිලිහිණි. 

දෙයියෝ සාක්කි! ඇගේ ‘උකුළ ළැම හස - මලවි කරළිය’ සේරම එළියේය; ගැටයෙකු ඉස්සරහය. ඇත්තම කිව්වොත් වැඩියෙන්ම ලජ්ජාවට පත් වුණේ මාය. මහරගම ජාතික තරුණ සේවා සභාව ඉස්සරහින් යද්දී මට ඒ සිදුවීම නිතර මතක් වෙයි. අර දැරියන් තුන්දෙනාගෙන් දෙන්නෙකුත් ඉඳහිට මහරගමදී මුණ ගැහෙයි. දැන් එයාලා ආච්චිලාය. 
හැබැයි ඇබැද්දිය වුණේ කාටදැයි දැන් මට මතක නැත! 

ඔහොම දේවල් නිසා ටිකක් රසවත් වුණත්, ඉක්මනින්ම අබරන් වාසභවනය මට තිත්ත විණි. එහෙත් එතකොට මා හොඳටම ඇට්ටරවී තිබුණේ නැත. එහෙම වෙලා තිබුණා නම් 
වස් කවි කීම 3’ පෝස්ටුවේදී කියූ පන්නේ මගඩියක් කරන්නට තිබිණි.

වැඩියත්ම මට රුස්සන්නේ නැතිව ගියේ S අක්කාට කෙරුණු කෙනෙහිලිය. ඒත් ඒ මනුස්ස ප්‍රාණියා ගනිච්චියකට ගත්තේ කෙහෙල්මල් ඔලිව් ඔයිල් ගැන විතරය.

රස මිහිරි ආකරයක්ම වුණු 'මිහිර' පත්තරයට මං වහ වැටුණේ..........
එච්චර බන්ධන- තහංචි ඇති තැනක ඔලිව් තෙල් ගන්නට S අක්කාට සල්ලි කොහෙන්දැයි මට හිතෙන්නේ දැන්ය. කොහොම වුණත් මා එහි සිටි මාස කිහිපයෙදී දෙතුන් වතාවක්ම ඒ රහස් රාජකාරිය මා’තින් ඉටුවිණි. ඒ නිසාමදෝ S අක්කාත් නිතරම මට අඩු-පාඩුවක් වෙන්නට නොදුන්නාය.

ලේක්හවුසියේ ‘මිහිර’ පත්තරයට මං වහ වැටුණේ ඒ දවස්වලය. ඇත්තටම  මිහිර රසමිහිරි ආකරයක්ම විණි!

‘ඔන්න බබෝ ඇතින්නියා’ චිත්‍රකතාවේ හිටි ‘බූ, බබා, බටකොළ ආච්චී’, ‘යෝධයා හා පඬිතුමා’ අපේ ගෙදර උදවිය තරමටම මට කිට්ටු වූහ. ඒවා චිත්‍රයට නැඟූ මිහිරේ එස්.ඒ. දිසානායක සූරීන්ගේ අත්සන පවා මට නම් ඇති කළේ ලොකුම චමත්කාරයකි! 

හතරැස් හැඩයට දිගට-හරහට වැටී තිබුණු ඉරි කැබලි ඔස්සේ එස්.ඒ. දිසානායක අකුරු හොයන්නට මං කොච්චරක් නම් කාලේ කන්නට ඇතිද? ඒක කොච්චරට හිතේ කාවැදුණු එකක්ද කියනවා නම් පැය ගණනක් වැය කරලාය දිසානායක මහත්තයාගේ අත්සන හොයාගත්තේ.

රතු ඊතලයෙන් පෙන්නා ඇත්තේ එස්.ඒ. දිසානායක මහත්තයාගේ අත්සනය.
සත විසිපහකට,‘මිහිර’ මිහිර බෙදන්නට පටන්ගෙන තිබුණේ 1964 ජුලි 27 වෙනිදා ඉඳලය. මට ඉනාව කැවුණේ අවුරුදු හතරක විතර ‘කැකුළු වියේ හිටි’ මිහිරෙනි.

අබරන් මාස්ටර් වැඩ කළෙත් ලේක්හවුසියේමය. මුද්‍රණ අංශයේමය. ෆොර්මන්වරයෙක් විදියට කියලාය මට ඇහී තිබුණේ. දවසක් මාවත් එහාට ගෙන්නාගෙන ගිහින් පත්තර අච්චු ගැහෙන හැටිත් පෙන්නුවේය. ඒ මං පේව්මන්ට් එකේ රජ වෙන්නට යන ගමනකදීමය. 

‘ඒබ්‍රහම්, කොලුවාගේ රජ සූට් එකත් සූට්කේස් එකේම තියෙන නිසා අපි මිනිහගේ ෆොටෝ එකක් අරන් පොඩි නිව්ස් එකකුත් ‘ජනතා’වට දාමු!” කවුදෝ මාස්ටර්ට කිව්වේය.

“රංජි. උඹ කැමතිද?” මාස්ටර් ඇහුවේය. මං කළේ ඔළුව උඩට-පහළට හෙලවීමය. 

(අපේ ඩැඩාට ලොකුම හිසරදයක් වුණු ඔය ඔළුව හොල්ලන බාසාව ගැන කලින් කියලා තිබෙනවාය.) 

ඒ සුවිශාල ගොඩනැඟිල්ලේම කාමරයක් අද්දරදී රජ සූට් එක ඇඳගත්තාම මගේ ෆොටෝ එකක් ගත්තා මතකය. ඒකත් එක්කමය ජනතා පත්තරයේ විස්තරය තිබුණේ. 
වනිතා විත්තියේ ‘අටකගේ ගින්න නිවන්න නටන නිමල්’ව බේරපු වේයෝ ‘ජනතා’වේ විස්තරේ එහෙම පිටින්ම කාලා දැම්මෝය. අපේ රටේ දේශපාලුවන් වගේමය; උනුත් වැඩියෙන් තරහ ජනතාව එක්ක වෙන්නැති.

අබරන් මාස්ටර් වැඩ කළෙත් ලේක් හවුස් එකේය. දවසක් මාවත් එහාට............
අවුරුදු ගණනාවක හිට ලේක්හවුසියට ගිහින් ඒ පින්තූරය හොයන්නට මගේ හිතේ තිබිණි. හැබැයි දවස් 33 ක පරණ පත්තර හොයන්නට වෙනවාය. 

1967-68-69 අවුරුදුවල. ඔක්තෝබර් 3-13 දිනවල. මං ගියෝතින් නම් ඉස්සෙල්ලාම හොයන්නේ ඔක්තෝබර් 10 වෙනිදා දින තුනේ පත්තරය. හීනෙන් වගේ මතක තියෙන්නේ එදා පළවුණු පත්තරේ ෆොටෝ එක වැටුණු වගයි.

ඒක විතරක් නොවේ; ‘මුව දඩයම’ත් හොයාගන්න හිතෙන ගොඩේ තියෙයි. 

ඒ කිව්වේ කරුණාසේන ජයලත්ගේ මුව දඩයම නොවේ. ජයලත් මහත්තයා සදාකාලික නින්දට වැටුණාටත් පස්සේ ‘කුරුප්පු-පද්මා-ජයලත්’ ත්‍රිකෝණ ප්‍රේම වෘතාන්තය ‘ගොළු හදවත’ට පාදක වුණු හැටි හෙළි කළ කාලයේ තිබුණු ජවය අදත් මට තියෙනවා නම්........ මගේ ‘මුව දඩයම’ත් හොයාගන්නවා හොයාගන්නවාමය.

ඔය කාලයේදී චිත්‍රකතා අඳින පිස්සුව තදින්ම මගේ ඔළුවට ගහලාය. සිසිර විජේසිංහයි මායි
දෙන්නා හරි-හරියට තරග වැදී එව්වා ඇන්දේ ඒ කාලයේය. මට නම් පිස්සු double වුණේ බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තයා නිසාය. 

‘දිනමිණ’පත්තරේට තීරු චිත්‍රකතාවක් ඇන්ද බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තයා වැඩියෙන් ඇන්දේ බණ කතන්දරය. නල දමයන්ති, දේවස්මිතා, සද්දන්ත, හේලෝ වගේ වයිවාරන්න කතන්දර අඳින්නට ගත්තේ පස්සෙය; ඒ නවයුගය, සිළුමිණ පත්තරවලටත් චිත්‍රකතා අඳින කාලයේ වෙන්නට ඕනෑය.

අබරන් මාස්ටර්ට නම් චිත්‍රකතාවල වගක්-වටනාකමක් තිබ්බේ නැත. ගෙනාවෙත් ජනතා පත්තරය විතරය. 

මං එයාලට පෙන්නුවේ බන්ධුල මාස්ටර්ගේ චිත්‍ර බලාගෙන ඇඳපු ඒවා...........
අර නාන සගයන් ගොඩේ හිටි කෙල්ලන් දෙන්නාත්, එයාලගෙ මල්ලී ප්‍රසාද්තුත්, S අක්කාත්, අල්විස් මිසීලගේ ගෙදර ළමයිනුත් මගේ ඇඳීමේ හැකියාව වර්ණනා කළේ ‘මුරුංගා’ ගහේ උඩම අත්තට මාව නංවමිනි.

මං එයාලාට පෙන්නුවේ බන්ධුල මාස්ටර්ගේ චිත්‍ර බලාගෙන මං ඇඳපු ඒවාය. ඒක කළෙත් සිය-දහස් වතාවක් විතර ඇඳලා-ඇඳලා පුරුදු වුණාමය. එහෙම කරලා චිත්‍ර ශිල්පියෙක් වෙන්නට බැරි බව මේ මෝල් වහන්සේ ඒ දවස්වල තේරුම් ගත්තේ නැත.

“....... බටකොළ ආච්චි කියන නම මං ඇහුවෙ අපේ අම්මාගෙන්.මං පුංචි කාලයේ අපේ අම්මා බටකොළ ආච්චි ගැන කියනවා. හරිම කෙටියෙන් බටකොළ ආච්චි ගැන අම්මා කිව් කතාව මගෙ හිතේ ඇඳුණේ මේ විදියටයි. බටකොළ ආච්චිට එළදෙනෙක් හිටියා. මේ එළදෙන අරගෙන යන්න හැමදාම බටකොළ ආච්චිගේ පැල අසලට කොටියෙක් එනවා....

...,එවිට ඈ බැන වදිමින් කැත්තක් රැගෙන එළියට එනවා. එතකොට කොටියා ටික-ටික පසුපසට යනවා. බටකොළ ආච්චිගෙ පැලට බටකොළ සෙවිලි කළ නිසා බටකොළ ආච්චි කියනවා.....” (සෝමපාල අල්විස්) එස්.ඒ. දිසානායක මහත්තයා දිනමිණ පත්තරයේ සන්ධ්‍යා කරුණාරත්නට කියා තිබිණි. ඒ 2010 ජුනි 22 වෙනිදාය.

1959 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා ප්‍රංශයේ උපන් Asterix වීරයා.........
දිසානායක මහත්තයාගේ පුතණු චරිත දිසානායක ‘කැඩපත’ට 2016 දී පවසා තියෙන තොරතුරුවල අපූරු විත්තියක් තිබිණි. කොච්චර චිත්‍ර ඇන්දත් දිසානායක මහත්තයා ලේක් හවුස් ගොඩනැඟිල්ලේ පිළිගැනීම් කවුන්ටරයෙන් එහාට පිය නඟා නැත! 

(දිසානායකලා හැමෝම මාන්නක්කාරයෝ වෙන්ටෑ!)

ඒ කාලයේම වාගේ ප්‍රංශයේ Rene Goscinny රචනය කළ චිත්‍රකතාවක් Albert Uderzo අඳින්න පටන් ගන්නවා. 1959 ඔක්තෝබර් 29 වෙනිදා ඉඳලයි එය පළවෙන්නේ. ඒකෙ තමයි Asterix උන්නැහේ හිටියෙත්. 

පුදුමේ කියන්නේ ඇස්ටරික්ස්ගෙයි, යෝධ රාළහාමිගෙයි සමානකම් බොහොමයි. වැඩත් එක වගේද වුණේ කියලා නම් හොයන්න ඕනේ මං නෙවෙයි, වෙනින් කවුරු හරි.

“පත්තරයට එවන චිත්‍රකතා ඉන්දියන් ඉන්ක්-කළු තීන්තෙන් සුදු කඩදාසියේ තනි පැත්තේ ඇඳ එවිය යුතුය!” කියලා උපදේශයකුත් මගේ ඇහැ ගැහුණේ ඔය සංදියේ. එතෙක් අප එක්සයිස් පොත්වල කාබන් පෑන්වලින් ඇන්දා විතරය. 

පහුවදාම මං හිටියේ සරසවි පොත් සාප්පුවේය. දැන් චිත්‍රපට නිෂ්පාදක ප්‍රේමසිරි මහත්තයා හිටි සාප්පුව ඒකය! ඉන්දියන් තීන්ත කුප්පියකුත්, කටු පෑනකුත් අරගෙන මං ආපහු ආවේ රටම දිනන චිත්‍ර ශිල්පියෙකු වීමේ හීන දකිමිනි.

ගොයියෝ, තරහ වෙන්න එපා. ඔය ළමයාගෙ අම්මා ඔහෙව වදලා තියෙන්නෙ කහඹිලියා ගාලකට.........
චිත්‍රකතාව අඳින්න ගත්තාමය මට ඒකේ රඟ තේරුණේ. 

මළඉලව් කටු පෑනට තීන්ත පුරවන්නට බණ්ඩියක් නැතිය. කුප්පියේ ඔබමින් ඉවසිල්ලේ, සීරුවට අඳින්නට ඕනෑය. මොන ඉවසිල්ලක්ද? ඊට අවුරුදු 10 කට පස්සෙ, හරියටම මගේ ගතිගුණයක් විශ්ලේෂණය කළ ‘බෙන්තොට මුදලාලි හෙවත් මඩවිට පටබැඳිගේ සිරිසේන මහත්තයා’  1975 දී මට කිව්වේ මෙහෙමය.

“ගොයියෝ, කිව්වට තරහ වෙන්න එපා. අම්මපා, ඔය ළමයාගේ අම්මා ඔහෙව වදලා තියෙන්නෙ නම් කහඹිලියා ගාලක් උඩට!” (මං බෙන්තර ගඟෙන් එතෙර හිටි ඒ වකවනුව ගැන යන්තමින්වත් කියවුණේ මේ දැන්ය.)
ඉතින් එහෙව් ඉවසිල්ලක් නැති ‘නිදි’ සුදු කඩදාසි ගොන්නක්ම විනාශ කරමින් චිත්‍රකතාවක් ඇන්දේය.
සතතාභ්‍යාසය! ඒ වචනය පවා මං ඉගෙන ගත්තේ ඊට අවුරුදු තිහකට විතර පස්සෙය. මොන වැඩක් කරන්නට ගියත් නිතර එහි නිරත වීම වැදගත්ය. අත්දැකීම් ලබන තරමට කෙරෙන කාරිය වඩා පිරිපුන් වෙයි. 


මේ දවස්වල නම් මං නරඹන්නේ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නාට්‍යය විතරය!
එහෙම නොවෙනවා නම් වෙන්නේ ටෙලිනාටකවලදී විතරය. මුලින් හොඳට හිටි අයත් ඔළුව ඉදිමෙද්දී හරක් වෙති. අලුත් නළු-නිළියන් විතරක් නොවේ, නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්ගේත් හොඳකම නිසාම දැන්-දැන් මා වැනි මොට්ටයන් රූපවාහිනිය නරඹන්නේ නැත. (මේ දිනවල මා බලන්නේ ‘වීරයා ගෙදර ඇවිත්’ විතරය.)

රජතුමෙක් අසීමිතව මත්පැනෙහි ගැලෙයි. ඔහුගේ දියණිය ඇගේ උපන් දිනය දවසේ පියාගෙන් ඉල්ලන්නී මතින් තොර වෙන්නටය. (ඒ මතට තිත තියන්නට හෙම නොවේ).  

‘මං බොන්නේ අතීතය අමතක කරන්නයි. ඔබව දකිද්දී මා කළ පාපයක් නිබඳව සිහිවෙනවා!’ පියා කියයි. ‘මං දවසක් දඩයමේ ගියා. පඳුරක් මුවාවෙ හිටි මුවෙකුට විදලා, එතැනට ගියාමයි දැක්කේ, ඒ මුව හමක් ඇඳගෙන හිටි මවක්. එයා අතේ පුංචි බිලිඳියක් හිටියා. ඇයව රැකබලා ගන්නැයි ඉල්ලමින් තමා අර කාන්තාව මියැදුණේ. ඒ බිලිඳිය ඔබයි.’ 

ඒ මගේ චිත්‍රකතාවේ කතාවය.

කන්දක් විළි ලා මා වැදූ ‘මී පැටික්කිය’ ලේක්හවුසියට ගෙනිච්චේ අබරන් මාස්ටර්ය. මට හිතෙන්නේ මාස්ටර්ගෙ servise එකට සැලකුවා වෙන්නට ඇතිය; ඊළඟ සතියේ ‘ජනතා’ පත්තරේ ළමා පිටුවේ ‘නිමල් දිසානායක’ගේ ‘මුව දඩයම’ පළවී තිබිණි. 

පඳුරක් මුවාවෙ හිටි මුවෙකුට විදලා, එතැනට ගියාමයි දැක්කේ...........
සහතිකෙන්ම මට ලජ්ජාවේ බැරිව ගියේ එතකොටය. තීන්ත ගොජවී, හැළී තිබුණු ඒකත් වේයෝ නොකෑවා නම් මේ මැට්ටාගේ මැටි වැඩේ පෙන්වන්නට තිබිණි. ස්තුතියි වේයනි!

ඒ චිත්‍රකතාව පළවුණායින් පස්සේ මම ඒවා ඇඳිල්ල නවත්තලාම දැම්මෙමි. 

බැරි දේ නොකරන් අබරෝ! ඔහොම තීරණයකට එළඹිලා තියෙද්දීය අබරන් මාස්ටර්........ ඒ වග ඊළඟ කොටසින්.

9 comments:

  1. ලේක් හවුසියට ගොඩවැදිලා පරණ පත්තරවල පිටපත් බලන්න පුළුවන් නේද? නැත්නම් මහජන පුස්තකාලෙන් හරි ලේඛණාරක්ෂක එකෙන් හරි එවායේ ජයා පිටපත් අරගන්න පුලුවන් නේද? එහෙම අරන් දැම්මා නම් හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. හිතන තරම් ලේසි නැහැ අසංග. අවුරුදු 50 කට එහා පැත්තෙනේ. ඉඩක් ලැබුණොත් බලනවා, එහෙම ඇහැක් වුනොත්...!

      Delete
  2. වේයෝ බංග වේවා.........

    ReplyDelete
    Replies
    1. මධූ, මටත් පාඩුවක් නම් තමයි උන් කළේ. එත් භංග වෙන්න කියන්න බැහැ. ඒ වගේ සත්තු නැත්තං ලෝකය එකම කුණු ගොඩක් විදියටයි ඉතිරි වෙන්නේ. ඒකයි!

      Delete
  3. https://slcomics.wordpress.com මෙන්න පරණ චිත්‍රකතාවලට ආදරේ උදවියට බ්ලොග් එකක්. උය කියපු බන්ධුල හරිශ්චන්ද්‍රගේ එව්වත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ සයිට් එක මකලය කියන්ඩකො. අපරාදෙ...!!!

      Delete
    2. ඒ වහපු සයිට් එක ගැන හොයද්දී තව පෝස්ට්ස් තුන-හතරකට විතර සැහෙන; වටිනා කරුණු වගයක් හිතවතෙකුගෙන් හම්බ වුණානෙ ඩ්රැකී!

      Delete
  4. බලං යනකොට මේ හාදය නොකරපු වැඩක් නැහැනෙ ?

    ReplyDelete
    Replies
    1. ඒකයිනේ කණ්ඩො, එකක්වත් හරියට කරගන්න බැරි වෙලා තියෙන්නේ.

      Delete