සුරංගනී හාමුලා හිටියේ බම්බලපිටියේ මෙල්බෝන් ඇවිනියු එකේ.......... |
සුරංගනී හාමු හිටියේ වැඩි ඈතක නොවේ.
බම්බලපිටියේය. ඩික්මන් පාර, ගාලු පාරට වැටෙන තැනම ඉස්සරහින් sea side එකට තියෙන
මෙල්බෝන් ඇවිනියු එකේය.
අපරාදේ කියන්නට ඕනෑ නැත. මේ හාමුලා කවුරු-කවුරුනුත්
ජන්මයෙන්ම ඉහළ පරම්පරාවල උපන් අය නිසාමද කොහෙද හුඟක්ම නිහතමානිය. මට නම්
උද්ධච්ච; ඔළුව ඉදිමුණු අය හමුවී තියෙන්නේම අලුත් සල්ලිකාරයන් අතරේය. ඒ එයාලා
නොතිබුණු තත්ත්වයක් ආරෝපණය කරගන්නට හදන හින්දා වෙන්නත් පුළුවන්ය!
“අනේ, ලීලෝ. ඔයාගේ පුතා පුංචි කොල්ලෙක්නේ.
මෙයාද ගෙදරට හම්බ කරලා දෙන්නේ?” කියාගෙනය සුරංගනී හාමු උණුහුමින් මාව පිළිගත්තේ.
ඒ විතරක් නොවේ.ඉස්සෙල්ලාම මට සංග්‍රහයකුත්
කළාය! කතා කළේ ඒ අතරේය.
“මං නම් කියන්නේ, නිමල්ට බතික් කරන එක වුණත් ඉක්මනටම
අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ලීලා..... පුතාටත් යන්න හදිස්සියක් නැහැනේ. smocking-
cross stiches- රේන්ද ගෙතිලි පුළුවන් එක්කෙනාට මේක අමාරු වෙන්න විදිහක් නැහැ. අපි
බලමුකෝ අදම පටන් අරන්.... ටුඩේ අයෑම් ෆ්‍රී”.
බතික් කරන්නට ගන්නා උපකරණ අතරේ ඡන්ටින්ස් ඉතාම වැදගත්ය. සියුම් වැඩ කරන්නට නම් මේවා නැතිව බැරිය! |
“නිමල්, මට නම් මාස ගානක් ගියා හරියට වැක්ස්
කරන්න ඉගෙන ගන්න. මං ඔයාට කියල දෙන්නම්, වැක්ස්
ටික පදමට උණු වුණාට පස්සේ ඡන්ටින් එකෙන් ඉටි කරන සිස්ටම් එක! බය වෙන්න එපා.
ඉටි කළාට පස්සේ ඒ රෙද්ද නාස්ති වෙන්නේ නැහැ. ආයෙම ගන්න පුළුවන් උණු වතුරෙන්
තැම්බුවාම.”
බතික් කිරීමේ අත්පොත් තබන්නට කලින්ම මගේ බය
නැතිවෙලා ගියේය.
රෙද්දේ තවරන්නේ උණු කළ ඉටිය. සායම් නොවේ. ඒ හින්දා සුරංගනී හාමුට
වැඩි පාඩුවක් වෙන්නට ඉඩක් නැත. waxing පුරුදු වෙන්නට මං පාවිච්චි කරන රෙද්ද අහක දමන්නට වෙන්නේ නැතිය!
ඒ කාලයේ බතික් රෙදි ඇන්දේ පොහොසත්ම අය
විතරය. කොළඹ හතෙන්, කුරුඳුවත්තෙන් ඒවා ටිකෙන්-ටික ගමට එමින් තිබිණි.
මටත් බතික්
කමිසයක් ඇඳීමේ වාසනාව ඒ වෙනකොටත් ලැබිලාය. කාගේදෝ ගෙදරක බතික් ඇඳුමක් මහද්දී ඉතිරි
වුණු කෑලි ඉල්ලාගෙන ආ අම්මා ඒවා මූට්ටු කරලාය; මට ඒ කමිසය මසා දුන්නේ.
ඒ කාලේ බතික් ඇඳුම් ඇන්දේ ඇති-හැකි උදවියයි! |
එහෙම ගමට එන
දේවල් ගැනය, ෆ්‍රෙඩී සිල්වා සින්දුවකිනුත් කියන්නේ. ‘එන්ගලාංතේ පරණ ෆැෂන්- ඒ පැත්තේ අලුත් ෆැෂන්-
ඒ පැත්තේ පරණ ෆැෂන් - මේ පැත්තේ අලුත් ෆැෂන්’.
ඒ කමිසය දැක්ක දවසේ හිටන්ම මං හිතාගෙන
හිටියේ බතික්වලදී රෙද්දේ සායම් තැවරීමක් කෙරෙනවා කියලාය.
එහෙම කෙරෙන්නේ ස්ක්‍රීන්
ප්‍රින්ටින්, රෙදි පින්තාරු කිරීම ආදියෙහිදීය.
‘බතික්’ ලංකාවට ආවේ යුරෝපීය රටකින් නොවේ.
එහෙනම්? ආසියාතික රටකිනි!
ඒ කාලේ ඉඳලාම යමක් ගැන උනන්දුවක් ඇතිවුණු
විට මගේ පුරුද්ද වුණේ, ඒ ගැන තොරතුරු හෙවිල්ලය. බතික් ගැන වුණෙත් ඒකය.
ඒත් ඒ කාලේ
මං හොයාගත් විස්තරවලටත් වඩා හොඳට බතික් ඉතිහාසය ගැන කියවෙන ලියවිල්ලක් වෙබ් අඩවියක
නොබෝදා පළවී තිබිණි. එය ලියා තිබ්බේ පුන්‍යා චාන්දනී ද සිල්වායි. ‘ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා- ඇය දැන් දසසිල් මාතාවක්....!!!’
ඒ ලිපියේ කියන්නේ ජාවා දූපත්වල මේ කලාව ඉතාමත් දියුණු
බවයි.
රත්නපුරයේ හිටි සෝමා උඩබාගේ යුවතිය ........ |
“මේ අතර දෛවෝපගතව ඇය විවාහ ගිවිසගත්තේ 1950 දශකයේ යුග පුරුෂයෙක් වූ ප්‍රේමකුමාර එපිටවෙල මහතා සමඟයි. ස්වයංපෝෂිත ආර්ථිකය, දේශීයත්වය ගැන හදවතේ බැඳුන බන්ධනය වැනි සුවිශේෂීත්වයකින් යුක්ත ප්‍රේමකුමාර එපිටවෙල මහතා විවාහ පොරොන්දුව සමඟ සෝමා උඩබාගේ නම් තරුණියට තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය.”
“විවාහ වෙන්න ඉස්සර අවුරුදු දෙකක් ශාන්ති
නිකේතනයට ගිහින් කලා කටයුතු ඉගෙන ගෙන එන්න.... ඔහුගේ යෝජනාවයි.....”
ඒ අනුවය සෝමා යුවතිය ඉන්දියාවට ගිහින්
තියෙන්නේ. විෂය නිර්දේශය වී තිබෙන්නේ චිත්‍ර හා මූර්ති ශිල්ප දෙකය.
විෂය නිර්දේශය වී තිබුණේ චිත්‍ර ශිල්පය හා මුර්ති කලාව........... |
“..........
ඒ අතර බතික් කලාව පිළිබඳව යාන්තමින් දැනුමක් ලබාදීමත් විෂය නිර්දේශයට ඇතුළත්ව
තිබිණි....”
එතැනින් බතික්වලට වශී වුණු සෝමා තනිවම
අත්හදා බැලීම් කරමින් ශිල්ප ප්‍රගුණ කළාය. ඊළඟට ලංකාවට.... සිරි ලංකාවට බතික්
ගෙනාවේ ඇයයි. ස්තුතියි සෝමා උඩබාගේ මැතිනියනි!
එහෙම කියන එක වැරැදිද මංදා, දැන් ඇය
දසසිල් මාතාවක්නේ. ස්තුතියෙන් ඇයට පලක් නැත. ‘සසර ගමන කෙටි කර ගන්නට අවැසි ශක්තිය,
ධෛර්යය, වීර්යය ඔබතුමියට ලැබේවා!’
රැකියා නැති තරුණ පෙළට නොමිලයේම බතික්
ඉගැන්වූ සෝමා මැතිනිය, තවත් අයට ‘බතික් පාඩම් දහයක්’ රුපියල් 250/- කට
ඉගැන්නුවාලු. සුරංගනී හාමුත් එහෙම ඉගෙනගත් එක්කෙනෙක් වෙන්නට ඇත.
ඉතින් සුරංගනී හාමු ‘සිග්මා’ බූමිතෙල් ලිප
දල්වා, ඉටි තාච්චිය උණුවෙන්නට තිබ්බාය; ඉටි කරන විදිය පෙන්නුවාය.
දැන් සිග්මා ළිප් තියෙනවාදැයි මා දන්නේ නැත. ඒවා මීට වඩා සිම්පල්ය. ලාබ වෙන්නටත් ඕනෑය. |
“නිමල්, ඉටි
ඕනෙවට වැඩිය උණු වෙන්නත් බැහැ, එතකොට කවර් කරන්න ඕනේ කරන ඒරියා එකෙන් එහාටත්
පැතිරෙනවා. ඉටි නිවිලා තිබුණොතින්.... උඩින් වැක්ස් ගෑවිලා තිබ්බත්, යටින් රෙද්දට ඩයි
උරා ගන්නවා!”
අත්තානං උපමං කත්වා- තමන් උපමා කොට හිතන
නිසා, මට නම් මෙහෙම වෙලාවක ‘බතික් ගැන ඉගෙනගන්නට’ හිතෙයි. ඔයාලාටත් එහෙම හිතෙනවා
වෙන්නැතිය.
ඉතින් මේ සැරසෙන්නේ බතික් ගැනත් චුට්ටක් කියා දෙන්නටය. අනේ, තරහ ගන්න
එපා. ටිකක් දැනගත්තාම මොකද වෙන්නේ?
වචන දාහකට වැඩියෙන් එක පින්තූරයක් වටිනවාලුනේ.
ඉතින් මං ඔයාලට ආරාධනා කරන්නේ පහතින් ඇති බතික් බිත්ති සැරසිල්ල හොඳින් බලන්නට
කියලාය. බැලුවාද?
මෙය ඉතා සරල බතික් බිත්ති සැරසිල්ලකි. භාවිත කර තියෙන්නේ කහ, කොළ, කළු වර්ණ තුනයි. |
මුලින්ම මේක තිබෙන්නට ඇත්තේ සුදු රෙදි
කෑල්ලක් විදියටය.
ඉස්සෙල්ලාම කෙරෙන්නේ රෙද්ද හොඳින් සෝදලා ‘කැඳ’ ඉවත් කරගැනීමය.
සමහර රෙදිවලට යහමින් කැඳ දමලා තියෙන නිසා ඒවා උණු වතුරෙන් තම්බලා; හෝදා ගන්නට වෙන
තැනුත් තිබෙයි. සෝදලා කැඳ අයින් කරගෙන වේලා ගත්තාට පස්සේ තියෙන්නේ අලියාගේ රූපය රෙද්දේ
ඇඳ ගැනීමය.
ඒකට ගන්නේ පැන්සලය; එක්කෝ කාබන් කොළය. පැන්සල් ඉරිත්, කාබන් කොළ
සටහනුත් හේදිලා යන නිසාය ඒ.
දැන් කරන්නේ සැරසිල්ලේ සුදු පාටින් තිබෙන
තැන් විතරක් උණු ඉටිවලින් වැසීමය. ඒකට පාවිච්චි කරන්නේ ‘ඡන්ටින්’ (Tjanting) එකය.
සමහර අත හුරු නැති අය නම් පින්සලකිනුත් ඒ වැඩේ කරනවාය. මට නම් ඒක එච්චර හරියන
වැඩක් නොවේ!
“නිමල්, එක පැත්තක් වැක්ස් කළාට පස්සේ රෙද්ද
අනික් පැත්ත හරවලා, ආයෙමත් අර වැක්ස් කරපු තැන් උඩින් වැක්ස් කරන්න ඕනේ!” සුරංගනී
හාමු මට ඉගැන්නුවේ නම් එහෙමය.
මෙතැන ඉන්නා වැඩි දෙනෙක් wax කරන්නේ රෙදි වම් අතේ රඳවාගෙනය. රතු ඊතලයෙන් පෙන්වන්නේ බ්ලොග්කරුවාය. ඒ 'වස් කවි කීම' පෝස්ටුවලට අදාළ යුගයේය! |
ඒත් ඉටි ටික හරි පදමට උණුවෙන් තියෙනවා නම්, පළපුරුදු
කෙනෙක් ඉටි කළාම දෙවතාවක් ඒ වැඩේ කරන්නට වෙන්නේ නැත.
ඊළඟට රෙද්ද කහ පාටින් ඩයි කෙරෙයි.
කරලා, සීරුවෙන්-
පොඩි නොවෙන විදියට වතුරෙන් හෝදා ගන්නටත් ඕනෑය. ඒ වැඩිපුර තියෙන රසායනික දේවල්
හේදෙන්නටය. ඉටි කළ රෙදි වේලන්නේ පවනේය; ඉර එළිය වැටෙන්නට නොදීය; අව්වට ඉටි උණුවෙන
නිසාය.
බැලූ බැල්මට නම් බොහොම පුංචි කාරණයකි. ඒත් එවැනි හින්නිකිතර කාරණයක්
සැලකිල්ලට නොගත් හින්දා ඉකාරස් මාරයා වැලඳ ගත්තේලු.
ඩියෝඩලස්, ඉකාරස් දෙන්නා හිටියේ මිනොස් රජතුමාගෙ
කාලයේ, ක්‍රීටයේය. ඩියෝඩලස් සහජ බුද්ධිමතෙකි; හැබෑ අයිඩියානන්ද කෙනෙකි. කොච්චරද
කියතොත් ඩියෝඩලස් මිනොස් රජ්ජුරුවන්ට
වංකගිරියකුත් හදලා දුන්නේය.
කොයි කාලේ, කොයි රටේ හිටියත් රජ්ජුරු ගොල්ලත් එක්ක වැඩ
කරන්නට ඕනේ පරෙස්සමෙන්ය. මතකයිනේ, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ බුලතා යෝධයා. පඩි නැති
වැඩ කරන්න ගිහින් හිස්ගැසුම් කෑවා.
ඒ අත්තටු ජෝඩු පැලඳගෙන අහසට නඟින්නට කලින් ඩියෝඩලස් ලොක්කා පුත්තරයාට............ |
ඩියෝඩලස්ට වුණෙත් ඒකමය. මිනොස් රජතුමා ඩියෝඩලස්
ලොක්කාව නිවාස අඩස්සියේ තිබ්බේය. තනියම හෙමත් නොවේ. එකම පුතා ඉකාරස් එක්කය.
ගෙදරටම කොටුවී ඉන්නට ඩියෝඩලස් කැමති වුණේ
නැත.
වෙනින් රටකට පැනලා යන්නට මිනිහා ප්ලෑනක් ගැහුවේය. කුරුලු පිහාටු කන්දකුත්
කිට්ටු කරගත් මිනිහා ලොකු අත්තටු ජෝඩු දෙකක් හැදුවේය. එකක් එයාටය, අනෙක පුතාටය. ඒ අත්තටු
ජෝඩු පැලඳගෙන ඉගිලෙන්නට කලින් තාත්තා පුතාට අවවාදයකුත් දුන්නේය.
“ඉගිල්ලිලා උඩින් යන්න ගත්තාම පිස්සු
හදාගන්නවා හෙම නෙවෙයි. උඩට ගිහින් අනිත් අය පුංචියට පෙනෙනකොට තව-තව උඩ යන්න
හිතෙයි. හැබැයි පුතේ, ඕනෙවට වැඩිය උඩ ගියොත් නම් බිමටත් වැටිලා, බෙල්ල-අත-පයත්
කඩාගෙන තමයි නවතින්න වෙන්නෙ.”
ඩියෝඩලස් එහෙම කිව්වේ අත්තටුවල පිහාටු සවිකරලා
තිබුණේ ඉටිවලින් හින්දාය. මොන, අද ඉන්නා නොට්ටිගෙ පුතාලා වගේම ඉකාරසුත් අහසට නැංගා
විතරය. ඔළුව උදුම්මා ගත්තේය. සූරිය දිව්‍ය රාජයාටත් ඉහළින් පියාඹන්නට වීරිය
ගත්තේය.
වැක්ස් කරන්නට මී ඉටිත්, පැරෆින් ඉටිත් පාවිච්චියට ගැනෙයි..... |
දැන් සැරසිල්ලේ වැඩිම කොටසක් ඉටිවලින් වැහිලාය.
ඊළඟට කොළ පාටින් ඩයි
කරගැනීම, සේදීම, වේලා ගැනීම. ඊට පස්සේ, කොළ පාටින් ඉතිරි කරගත යුතු කොටසුත් ඉටිවලින්
වසාගෙන කළු පාට දැම්මාම ඇත්තේ තව චුට්ටකි. සැරසිල්ල හොඳින් සෝදා උතුරන වතුරේ
ඔබමින් කීප වරක් තම්බා ගැනීම!
මේ waxing රාජකාරියේදී ඉටි වර්ග දෙකක්
පාවිච්චියට ගැනෙයි. මී ඉටි. ඒවා ගන්නේ මී වදවලිනි; මිලෙන් වැඩිය; නමුත් පොඩි
නැමීම්වලට එහෙම ඔරොත්තු දෙයි, ඉරි තලන්නේ නැත.
ලී රාමුවක රෙද්ද සවි කරගෙන ඉටි කරන්නේ සරොම්, සාරි වැනි ලොකු රෙද්දක් ඇති විටය. එමෙන්ම සියුම්කමෙන් අඩු; ලොකු මෝස්‌තර යොදන විටදීය............ |
වැඩියත්ම මී ඉටි පාවිච්චි කරන්නේ
බිත්ති සැරසිලි වැනි සියුම් බතික් නිර්මාණ කරද්දීය.
අනෙක් ඉටි වර්ගය පැරෆින් වැක්ස්ය. තේරෙන
හිංගලෙන් කියනවා නම් ඉටිපන්දම් ඉටිය.
වතුරට වඩා ඉක්මනින් ඉටි උණු වෙයි. ඒ වාගේම
සිසිල් වෙද්දී ඉක්මනින් නැවත කලින් තත්ත්වයටම පත්වෙයි.
මේ අලියාගේ බිත්ති සැරසිල්ල
දිහා බලන අතරේ, කහ පාට පසුබිමේ කළු පාටින් තියෙන ඉරිතලා;පිපිරී ගිය ලකුණු
පෙනෙනවාද? ඒවා ඉටි තැවරූ පසු ඉරිතලා ගිය තැන්ය.
බතික්වලදී පසුබිමට බොහෝ විට මේ
cracks- ක්‍රැක්ස් යොදාගන්නේ උවමනාවෙන්මය.
“මෙහෙමයි ඡන්ටින් එකට උණු ඉටි අරගෙන රෙද්දේ
ඉටි ගාන්නේ. පරෙස්සමින්... අපිට ඕනේ තැන්වලට විතරයි. වෙන තැන්වලට ඉටි වැටෙන්නේ
නැතිවෙන්න රෙද්ද අල්ලාගෙන....” සේරම වචනවලින්ම කිව්වාම හරියැයි? මං ඔය කිව්වේ එදා
සුරංගනී හාමු මට කිව් ටිකය.
වමතින් රෙද්ද අල්ලාගෙන, දකුණතින් ඉටි තවරන ටූල් එක
අරන් wax කරනවා වගේම, රෙද්ද ලී රාමුවක ගහගෙනත් wax කරන්නට පුළුවනිය. ඒත් එහෙම කරන්නට ගියොත්
ලොකු ඉඩක් ඕනෑ වෙයි.
නිර්මාණයක් ඔප කරගන්නට 'ක්‍රැක්ස්' පාවිච්චියට ගත් අවස්ථාවකි; මේ! |
පහනින් පහන් සිය ගණනක් ඇවිලුව ද
එ පහන් සිලෙහි එළි අඩු නොව දිලෙන ලෙද
ලොවැ අන් සතුන් ගුණ පළ කරමින් නොමද
සුපසන් ගුණෙනි වැජඹෙති සුජනෝ පබඳ
-කියලා ‘සුභාෂිත’යෙ කවියක් තියෙනවා.
ඒක
දැනගෙන හරි; නොදැන හරි සුරංගනී හාමු මට බතික් කරන හැටි කියලා දුන්නා. කිසිම
ඉරිසියාවක්, කුහකකමක් නැතිව.
ඔයාට පින් සුරංගනී හාමු! එදා මං නමොවිත්තියෙන්ම
ඡන්ටින් එක අරගෙන wax කරන්න වාඩි වුණාම ඔයාත් මගේ ළඟින්ම හිටියා. අම්මෙක් වගේ;
වැඩියත්ම හරි ‘දයාබර අක්කියෙක්’ වගේ කියන එක.
“නිමල්, අන්න හරි. ඔහොම ඉටි ටිකක් ඡන්ටින්
එකට පුරවලා අරන්.... බාගෙට. බාගෙට පුරවාගන්න! අන්න හරි.
දැන් රෙද්දේ තිත්-තිත්
තියන්න හෙමින් සැරේ. ෂෝක්නෙ ළමයෝ.
ඔය ෂෝක් එකට තියන්නේ. දැන් රවුම් ටිකක් අඳින්න
බලන්න. පුංචි.... ඔව් පුංචි රවුම් ටිකක්.... ඉටි ටික නිවීගෙන එනවා වගේ දැනෙනවා නම්
ඡන්ටින් එකේ තියෙන ඉටි ආයෙම තාච්චියට දාලා උණු ඉටි අරගන්න...”
මුල් පේළි 3 ඇත්තේ මූලික මෝස්‌තර හතකි. ඊළඟ පේළිවලින් දැක්වෙන්නේ ඒ මූලික හැඩතල යොදාගෙන නිර්මිත මෝස්‌තර කිහිපයකි. |
එකම සයිස් එකට බෝල
ටිකක්, කොටු ටිකක්, දැති ටිකක්, අඹගෙඩි ටිකක්, බින්දු ටිකක් උණු ඉටිවලින් රෙද්දේ
අඳින්නට ඇහැකි නම් වැඩේ ගොඩේ-ගොඩය! එහෙම හපන්කම් බැරි උදවියට රෙද්දේ මෝස්‌තර
පිටපත් කර ගන්නටත් කාලය වැය වෙයි.
මට හිතෙන විදියට නම් බතික් කලාවෙදී වැඩියත්ම
මට පිහිට වුණේ චිත්‍රකතා- මෝස්‌තර අඳින්නට තිබුණු ආසාව බවයි. බතික් කෙරුමෙක්
වෙන්නට උදව් වුණේ, සිංහල සැරසිලි මෝස්‌තර ගැන හොයන්නට උනන්දු වීමය!
“අනේ දරුවෝ, ඉස්සර රේන්ද ගොතපු, වැඩ දාපු
මැහුම්-ගෙතුම් කරපු මට වෙලා තියෙන දේක හැටි! දැන් උඹේ උදව්ව නැතිව ඉඳිකට්ට නූල
අමුණාගන්න බැහැ. අනිච්චේ දුක්ඛේ... සංසාරෙක හැටි!”
රේන්ද ගොතපු, යස රඟේට මැහුම්-ගෙතුම් වැඩ දාපු මට දැන් උඹේ උදව් නැතිව.......... |
අපේ ආච්චී මට එහෙම කිව්වේ
ඉඳිකටුවට නූලක් දමලා දුන්නාමය. මටත් අනාගතයේදී ඒ ඉරණමම අයිති වෙතැයි එදා මට හිතුණේ
නැත. අනේ, දැන් මාත් වියපත්වී තියෙන හැටි! දුර්වලවී හිටින හැටි!!
දැන් ඉතිරිව තියෙන්නේ
ඉස්සර හපන්කම් ගැන වරුණ කීමේ හැකියාව විතරය.
ඒත් මොකෝ? තවමත් කියා අහවර කරන්නට බැරි තරම්
හපන්කම් - මෝඩකම් - පුරසාරම් ගොන්නක් මගේ මතක සංචිතයේ තිබේ. එයින් තව ඩිංගක්
ඉස්සරහදී කියවමු!
අන්තිමට කාටත් ඉතුරු වෙන්නෙ ඉස්සර කරපු හපංකම් තමයි.
ReplyDeleteප්‍රසන්න, ඒවා සිහි කිරීමත් මොන තරම් ප්‍රසන්නද?
Deleteමගෙ අම්මේ... මං දැනං උන්නෙ නෑ බතික් ඔය තරම් අමාරු සබ්ජෙක්ට් එකක් කියල. හැබැයි භාවනාවක් වගේ හරි සූක්ෂම ඇති නේද?
ReplyDeleteඩ්‍රැකී, මට නම් එහෙම හිතුනේ නැහැ, ආසා හිතුණා මිස. ඔයා කියනවා වගේ ඒක භාවනාවක්ම තමයි! ඒ wax කරද්දී. ඩයි කරද්දී, රෙදි තම්බද්දී තමයි සුමේ!
Delete// තවමත් කියා අහවර කරන්නට බැරි තරම් හපන්කම් - මෝඩකම් - පුරසාරම් ගොන්නක් මගේ මතක සංචිතයේ තිබේ.// අපේ වාසනාව
ReplyDeleteඑහෙම කියද්දී නව පණක් එනවා මධූ! ස්තුතියි!!
ReplyDeleteබතික් ඇඳුම් මේ තරම් මිල ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා අද ... සෑහෙන ශ්‍රමයක් වැය වෙන කර්මාන්තයක් !
ReplyDeleteඒ ගැන වැඩි දුර හෙව්වම බතික් නිර්මාණය පටන් අරං තියෙන්නෙ ඉන්දුනීසියාවෙ, ජාවා පැත්තෙ .. ලොකු විස්තරයක් ලැබුන මේ කින්ක් එකෙන්
https://en.wikipedia.org/wiki/Batik
ඒ වගේම සමහර තැන්වල තියෙන විස්තර එච්චර නිවැරදි නැහැ වගෙයි, කණ්ඩා! අපිමනේ තොරතුරු දෙන්නේ. නේද?
Delete