ඒ කතාව නිත්ත-නිරන්තරයෙන් ඇහිලා-ඇහිලාම .......... |
ඒ නිසාමදෝ ඡන්ටින් එක අරගෙන උණු ඉටිවලින් බෝල
අඳිද්දී මට වැරැදුණේ නැත. කිරිබත් කෑලි අඳිද්දී මට වැරැදුණේ නැත. දැති දමද්දී,
තිත් තියද්දී .... මේ එකම එක වෙලාවකදීවත් මට වැරැදුණේ නැත.
ඉස්කෝලෙ යද්දී පවා අකුරු, මෝස්‌තර අඳින්නට
මට තිබුණේ පුදුම ආසාවකි. (ඔන්න, ඉතිං අහන්න එපා ආසා නොවුණේ මොනවාටද කියලා. ඒ තරමටම
මගේ ආසාවන් විවිධය! සැරෙන්-සැරේ ඒවා කියවිලා ඇති නිසා, ආදරණීය රසිකයෙකුට අරහෙම ප්‍රශ්නයක්
අහන්නට හිතෙන එකත් සාධාරණය. ඒ මදිවාට වඩා බරසාර ආසාවන් ගැන තවම ඔයාලට අඟවලාවත්
නැත!) මගේ එක්සයිස් පොත් හැම එකකම අන්තිම පිටුව පිරිලා තිබුණේ එහෙම ආසාවට ඇන්ද
අකුරු හා මොස්තරවලිනි.
එහෙම හරි ඉගෙන ගන්නා කොයියම්ම දෙයක් වුණත් අපතේ නොයන බව මගේ
විශ්වාසයයි!
බ්ලොගර්ස් ඊව් ගැන හැම අල්ප මාත්‍රයක්ම දැන් රසික ඔබ........... |
පහුගිය මාසයෙත් එහෙම වැඩක් සිද්ධ වුණේය. බ්ලොගර්ස් ඊව්
ගැන හැම අල්ප මාත්‍රයක්ම පාහේ දැනටමත් ඔයාලා
දනී. යාල රිලවුන් පැන්නූ පෝස්ටුවලින් ඒකේ අල ගිය-මුල ගිය තැන් සේරම කිව්වත් මේ
කාරණාව කියවුණේ නැත.
කවදාවත් දැකලත් නැති, මුණ ගැහිලත් නැති
පහළොස් දෙනෙකු ඉස්සෙල්ලාම අපේ ගෙදරට ගොඩ වැදෙන්නට යද්දී ලජ්ජා වෙන්නට ඇහැකිද? බැලූ
බැල්මටම අපේ ගෙදර තියෙන්නේ අපිළිවෙලටය. ඒකේ තියෙන පිළිවෙල දන්නේ මං විතරමය.
ඒත්.... චුට්ටක් අස්-පස් කරලා, දූවිලි
ගසා-බසා දාන්නවත් ඕනෙය.
ඔන්න ඒ ටික කරද්දී මාළු ටැංකිය කැපිලා පෙනුණේ කිරි-කිරි
ටොයියන් රෑනක් මැද්දේ ඉන්නා එකම බයියා විදිහටය. ඒක නිකං අහස් යාත්තරාවක තියන Black
Box එක වගේය. අවුරුද්දකින්වත් සුද්ද කරලා නැතිය. වීදුරු සේරම ඇතුළු පැත්තෙන් දිය
සෙවෙල් බැඳී කළු කොළ පාටක් ගැහිලාය.
“අනේ නෙවිල්, මගේ අත උස්සන්න බැරි හින්දා
මේක සුද්ද කරගන්න බැහැ. පළවෙනිදට කලින් මේක කරලා දෙන්නකෝ.”
කනිපින්දම් කිව්වත්
වැඩේ කෙරුණේ නැත. නෙවිල් ඒ දවස්වල රාත්තිරියේත් වැඩය. එහෙම වෙලාවට මට හයි-හත්තිය
දෙන්නේ කේන්තියයි. අතට හෙණ ගහපුවාවේ! බැරි-බැරි ගාතේ, නවත්ත-නවත්තා වරුවක් අරගෙනය,
මං මාළු ටැංකිය සුද්ද කරගත්තේ.
එයාලා අර ක්‍රීම්, මේ ක්‍රීම් ගාති, අතුල්ලති, හම අරිති! |
බ්ලොග්කරුවෝ ආවෝය; කා-බී
අල්ලාප-සල්ලාපයේ යෙදුණෝය; සිංදුත් කියලා එල fun එකක් ගත්තෝය! හැබැයි ඒ කොයියම්ම කෙනෙකුවත් එයාලා
ළඟම මාළු ටැංකියක් තියෙනවාය කියලා වගකට නොගත්හ.
මටත් වුණේ දැන් ඉන්නා ළමිස්සියන්ට
වෙනවා වගේ වැඩකි.
එයාලා අර ක්‍රීම්- මේ ක්‍රීම් උලති. කෙස්ස
කපති; නවති; අඹරති; කෙළින් කරති; පුළුස්සති. කොටට; දිගට; හිරට; බුරුලට අඳිති. ඒ
සේරම කරන්නේ පාරේ බැහැලා යනවිට හතර වටේම ඉන්නා අයගේ ඇස්වලට වෙන වැඩක් නැහැයි කියලා
හිතාගෙනය.
එයාලා හිතන්නේ හැමදෙනාම අනිමිස ලෝචනයෙන්
එයාලාගේ සුකුරුත්තන් බලන්නට පේවී ඉන්නා බවය. අනේ, ඒවා බලන්නේ....... මාත් ඒ ගොඩට
වැටුණා වගෙය. ඒ බව කල්පනාවට ආවේ මාර්තු දෙවෙනිදා උදේම ගෙය අතුගාද්දීය. එහෙම යාන්ත්‍රික
වැඩක් කරද්දී වෙන දෙයක් ගැන හිතන එක මගේ පුරුද්දකි.
අපේ ගෙදර මාළු ටැංකියේවත්, පොකුණේවත් ප්ලේටි
වගේ එවුන්වත් බෝවෙන්නේ නැහැනේ. මට සිතිණි. එය ඊට ඉස්සරත් කල්පනා වුණු දෙයකි. ඒවායේ
මාළු පැටවු බිහි වෙති. ඒත් ලොකුමහත් වෙන්නට කලින්ම අම්මලා-තාත්තලාටම බිලි වෙති. ඒ
විපතින් බේරෙන්නේ එහෙමත් එකෙකු විතරය.
උඩවලවේ ජලාශය අද්දරදිය ඒ පාඩම මා උගත්තේ! |
ඒ වතාවේ අප හිටියේ උඩවලවේය. අතුරු පාරකිනුත්
ගිහිල්ලා, වැව ඉවුරේ තැනකය. නාගැනීමට වතුරට බහින්නට ගියාම මං දැක්කේ නොගැඹුරු
වතුරට කපා දමා තිබුණු අතු-ඉති කන්දරාවකි.
“මෙව්වයේ ඉන්නේ මොක්කුද මන්දා. ගස්වල අතු
පෑහලා වැවට දාලා. ජරා වැඩ.....” මට කියවුණේ නිකම්මය; හයියෙනුත්ය. එතැනම ඉවුරේ උන්
තලත්තෑනි කෙනෙක් මගේ කතාව ඇහිලා හැරී බැලුවේය. කෝචෝක් හිනාවකුත් දාලා මෙහෙමත්
කිව්වේය.
“මහත්තයෝ, ඕක කඩප්පුලිකමට කරපු වැඩක්
නෙවෙයි. සිදාදියේ අය නොදන්නවට මොකද කරන්නේ? ඔහොම අතු කපල වතුරට දාන්නේ, වැවේ මාළු
පැටවුන් බේරාගන්න. එතකොට උන් ලොකු මාළුන්ට අහුවෙන්නෙ අඩුවෙන්. උන්ට ලේසියෙන් පණ
බේරාගන්න පුළුවන්, කොළරොඩු අස්සේ හැංගිලා. කොළ අතු දිරනකොට උන්ට කෑමත් වැඩියිනේ.”
මට ඕක සිහිවුණා විතරය. අතුගෑම බාගෙට නවත්තා
මදුරුතලා, දෙහි හා palms අතු කිහිපය බැගින් කපාගෙන ඇවිත් මාළු ටැංකියටත්, පොකුණ
අද්දරටත් දැම්මෙමි.
එහෙම කරලා දැන් මාස
එකහමාරකි. ඒ ටික කාලයේදී අලුත් මාළු පැටවු සිය ගණනකට අපේ ගෙදර තිඹිරි ගෙදරක් වෙලාය.
ඒකෙ සතුටෙන් කොටසක් කණ්ඩා, අටං, කමි ඇතුළු හැමෝටමත් බෙදී යා යුතුය!
මාස එකහමාරක් යනවිට අපේ මාළු ටැංකියේ....... |
ඔය ටික කිව්වේ ඉගෙනගන්නා දේවල් කවදා හරි ප්‍රයෝජනවත් වෙන බව කියන්නටය.
හැබැයි මං කළා වගේ කල්ප-කාලාන්තරයක් ගිහින් නොව, නිසි තැනදී - ඉක්මනින්ම දැනුමෙන්
වැඩ ගන්නට ඕනෙය. (විශේෂයෙන්ම පැටවුන් බෝ කිරීමේදී!)
“ලීලා.
ලීලා...... මෙහාට ඇවිත් බලන්නකො ලීලා. මට මාස ගානක් ගියා මේවා පුරුදුවෙන්න. ඒත්
තවම බෑ. ලීලගේ පුතා නම් පැය බාගෙන්, හරියට පුරුදු කෙනෙක් වගේ wax කරනවනේ...”
සුරංගනී හාමුට හිතන-පතන දේවල් ඉෂ්ට-සිද්ධ වෙන්නට වෙනින් පිනක් ඕනේ නැත. එදා කළ
ටිකම; මට බතික් කිරීමේ මුලකුරු කියා දුන් පිනම ඇතිය.
ඒ විතරක්ද? කිසිම ඉරිසියාවක්; කිසිම කහටක්
නැතිව ඇය මට ප්‍රශංසා කළේත් නිර්ලෝභීවය. “මට පෙනෙන විදියට නම් ලීලෝ නිමල්ට කිසිම
බයක් නැතිව අද ඉඳලම වුණත්, බතික් කරන තැනකට වැඩට යන්න පුළුවන්!”.
“පුතේ උඹ බුදුවෙයන්!” කියලා අප මහා
බෝසතාණන්ට මෑණියන් වහන්සේ විවරණ දුන්නේ සත්සමුදුරු තරණය කරමින් සිටියදීය. හත්
දවසක්ම අම්මාව පිට උඩ තියාගෙන පිහිනුවාටත් පස්සෙය.
පැයක් යන්නටත් කලින්, බම්බලපිටියේ
මුහුදෙන් හමන කරිජ්ජ මුසු හුළඟින් නැහැවෙමින් සුරංගනී හාමු මට විවරණ දුන්නාය, ඒ
මෙල්බෝන් ඇවිනියු එකේ ගෙදර ඉටි ළිප ළඟදීය. බෝසත් මෑණියන් වහන්සේ වගේම
කුලුණුබර හදවතකින් යුතුව හැබෑම කරුණාවකින්ය.
හත් දවසක් තිස්සේ අම්මාවත් පිට උඩ තියාගෙන බෝසතාණෝ සත් සමුදුර............ |
“අනේ නිමල්, මං ඔයාට තව මොනවා කියල දෙන්නද?
දැනටම ඔයා මට වැඩිය හපනෙක්නේ.... ඩයි කරන හැටි බලාගත්තත් ඔයාට වැඩක් තියෙනවය. ඒකට නං වියදම් යනවා. ඔයා බතික්
ෆැක්ටරියක් දාන්න යන්නේ නැහැනේ..... ඔයා කැමැතියි නම් මං අපේ නිxxxට ඔයා ගැන
කියන්නම්. එයා දැන් බතික් කරනවා විකුණන්නයි ඕර්ඩර්ස්වලටයි. දිගටම නැතත් ටික දවසක්
හරි එහෙ වැඩ කළොත් ඔයාට ඩයි කරන හැටිත් ඉගෙනගන්න පුළුවන්.”
සුරංගනී හාමු කිව්වේ කීයටවත් අප
බලාපොරොත්තුවූ දෙයක් නොවේ! මටත් වැඩියෙන් ඒ කතාවෙන් උද්දාමයට පත් වුණේ අපේ අම්මාය.
“සුරංගනී හාමු, මං සීහාමු ළඟත් මහන්න යනවා
සමහර දවසට. ඕනෙම දවසක එන්න කියලයි තියෙන්නේ. හැබැයි යන්නේ වෙන කොහෙවත් වැඩ නැත්තං
විතරයි. හාමුලා වගේ එයා ගෙවන්නේ නැහැනේ. ඒත් දිගටම වැඩ නම් තියෙනවා.” අපේ අම්මාත් කිව්වාය. “මෙයාත් එයාලගෙ
බේබි සූට්ස්වලට ස්මොක් කරලත් දුන්නා. කතිර මැහුම් වගයකුත් කළා... ගෙවන ගණන
තමා....”
“ටේක් ඉට් ඊසි ලීලා. එයා බිස්නස් එකක්නෙ කරන්නේ.
එතකොට ඉතින් ප්‍රඩක්ෂන් එක්ස්පෙන්සස් මිනිමම් කරගන්නනෙ හදන්නේ. මං හිතන්නේ නිxxx
වුණත් නිමල්ට එච්චර ගෙවන එකක් නැහැ..... අපෙත් රිලේෂන්ලා තමයි. ඒත් ලීලා
එක-එක්කෙනා වෙනස්නේ. ඔයාලා කැමැති නැත්තං කමක් නැහැ. මම try කරන්නං නිමල්ව වෙන
කොහෙට හරි දාලා දෙන්න.”
හැම තැනකදීම පාවිච්චි වෙන්නේ එකම හැඩතල- රටා............. |
අත් රේන්ද ගෙතුවත්, කතිර මැහුම් කළත්,
ස්මොක් කළත්, බතික් කළත්..... ඒ හැම තැනකදීම කෙරෙන්නේ රටා මැවීමය. හොඳින් බලන
කෙනෙකුට පෙනෙන්නේ මේ හැම මෝස්තරයකටම; රටාවකටම පාදකවී තියෙන්නේ එකම හැඩතල ටිකක්
බවයි. යම් කිසි රටාවකට!
කෑමක් හදද්දී කෙරෙන්නේත් මේකම නේද?
බතක්
ළිපේ තියද්දිත් හාල්වලට උඩින් ඇඟිලි පුරුක් දෙකක් උසට වතුර තියන්නට අපේ ආච්චිලා
පුරුදුවී හිටියෝය.
කිරි දානයකට, එහෙමත් නැතිනම් සංහිඳක දෙන දානයකට, මුරුතැන්
පූජාවකට කෑම හදද්දී ඒවා ඉඳුල් කරමින් ලුණු ඇතිදැයි බලන්නේ නැත. පළපුරුදු අය කරන්නේ
සුවඳ බලා ලුණු ඇති බව තීරණය කිරීමයි. දැන් නම් ඒක ලෙහෙසිය! රෙසිපිය දෙන්නේ
නූලට-රූලට ගණන්-හිලවු එක්කමය.
අර්තාපල් කිලෝ 15, එළඟි තෙල් බෝතල් 2, සීනි
කිලෝ 2.500, රාසින් කිලෝ 2, වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2, කරදමුංගු, කහ යොදා
ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිළියෙළ කරන ලදී.
කියලයි රංජිත් රාජපක්ෂ වාර්තා කරලා තිබ්බේ. කුමාර
සංගක්කාර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන් වගේම නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ
සූපවේදීන් 15 දෙනෙකු විතරත් එකතුවෙලා තමයි මේ දැවැන්ත පුඩිම හදලා තියෙන්නේ, අප්‍රේල්
16 වෙනිදා.
දේශීය අර්තාපල් ගොවීන්වයි සංචාරක කර්මාන්තයයි ප්‍රවර්ධනය කිරීමේ
අරමුණෙන්. රංජිත්ගෙ වාර්තාව කියවද්දී මට කල්පනා වුණේ අපේ වට්ටක්කා ගොවීන් ගැනයි!
කුමාර් සංගක්කාර, හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු සූපවේදීන් ................. |
යුරෝපා රටවල නම් වට්ටක්කා පිටි කරලා, කල්
තියාගෙන කෑම හදන්න ගන්නවාලු. එහෙම ලොකු project නැතත් ඇයි වට්ටක්කා ප්‍රවර්ධන
වැඩත් නොකෙරුණේ? පස්සෙන් පහු කාලේ කීල්ස් එකෙනුත් වට්ටක්කා මිලදී ගැනිල්ල නැවතුණාය
කියලයි ආරංචි වුණේ!
ඔව්වා ඉතින් අපි වගේ ජුන්ඩයියලගේ මට්ටමෙන්
එහා දේවල්නේ. නිසි බලධාරීන් වෙනයිනේ!
එදත්; සුරංගනී හාමු නිxxx හාමු ගැන යෝජනාව ගෙනාවමත් මං හිටියේ
තීරණයක් ගන්නට පුළුවන් මට්ටමක නොවේ. නිසි බලධරයා ගෙදරය. මා එවිටත් ඔහු අතේ නැටවෙන
රූකඩයක් විතරය.
“මං හිතන්නේ ලීලා රංජිව ඔය සීහාමුලගේ දුව
ළඟට යවමු. ටික දවසකට හරි. මේකා වැඩේ අල්ලා ගනියි ඉක්මනට. බතික්වලටත් දැන් තැනක්
එනවා වගේ තමයි. වැඩේ පාඩුයි නම් ඔන්නොහේ අල්ලලා දාමු!”. තාත්තා කිව්වේ එහෙමය.
සීහාමු කියලා කෙනෙකු හිටියේ නැති බව දැන්මම
කියලා ඉන්නට වෙයි. හාමු කෙනෙක් හිටි බව ඇත්තය. මගේ නම බොරුවකි.
ඇත්ත නම්-ගම්
කියන්නේ කොහොමද, ඒ පවුලේ කෙනෙක් දැන් 225 අතරේය. තව ළඟම නෑදෑයනුත් ඒ අතරේය. අර
කෙනාත් පහුගිය මාස කිහිපයේ තුන්- හතර
වතාවක්ම එහෙ-මෙහෙ පනිමින් ‘බක’ ජාතකය නැටුවේය! ඉතින් එයා ඉපදෙන්නත් කලින් කතන්දර
වුණත් නං නැතිව කියන්නටය කල්පනා කළේ.
ඒ කතාව මා හා බැඳෙන්නේ බතික්වලිනි. නිxxx
කිව්වේ සීහාමුගේ දෙවෙනි දියණියටය. මගේ පළමුවෙනි බතික් හාම්පුතා වෙන්නට යන්නේ එයාය.
අකුරු කෙටීමේ පහසුව තකා සීහාමු, නිහාමු ආදී වශයෙන් ඉදිරියේදී එයාලාව හඳුන්වන්නෙමි.
නම්-ගම් සහසුද්දෙන්ම නොකියා ඒ කතන්දර කියන්නට වෙන්නේ............. |
අපේ තාත්තාගේ කැමැත්ත ලැබුණාට පස්සේ සුරංගනී
හාමුම නිහාමුට මාව රෙකමන් කරලා තිබිණි. “අන්න හාමුලා. නොදැක්කා වුණාට ගතිගුණවලින්
කියතහැකි, රත්තරන් මනුස්සයෙක්. නැත්තං බං මාසෙකට දෙකකට සැරයක් ගිහින් ඇඳුමක් මහල
දෙන උඹේ පුතාටත් මෙහෙම උදව් කරයිද?” අපේ තාත්තා ඒ කැරැක්ටර් සැටිපිකට් එක දෙන්නේ
සුරංගනී හාමුටය.
“ඒක නං ඇත්ත. මං ඔය යන තැන්වලින් ඊවා හාමුයි, සුරංගනී
හාමුයි තමා ඔහොම. කිසිම මාන්නයක් නැහැ.” අම්මාත් අලගු තිබ්බාය. “ඒ මනුස්සයා ‘රංජිට
කීයක් හරි දෙන්න වටිනවා; හොඳට වඩාත් කරාවි’ කියලත් නිහාමුට කියලා. නිහාමුලා
කවුරුත් ටිකක් ඉච්චියිනේ!”
“ඔහොම තමයි බං, හාමුලා වුණත් රොඩී වැඩ
කරනවා. ඔය අපේ අම්මාත් තිස්සෙම කියන්නේ මොකක්ද ‘කම්මනා හොති’ කතන්දරයක්......”
තාත්තා එහෙම එව්වා ගෙඩි පිටින්ම කිව්වේ කලාතුරකිනි. අපේ අම්මාට නම් ඔහොම කතන්දර
‘නෙළුම් කොළ උඩට වැටෙන දිය බිංදු’ය.
ඔවැනි කතා-බතා මැද්දේ මං හිතාගෙන හිටියේ
වැඩි දවසක් සීහාමුලාගේ ගෙදර ගියත්, වැඩි කලක් අල්ලන එකක් නැතැයි කියලාය.
ඒත් ඒ
හිතිවිල්ල වැරැදුණේය. යකා හිතූ තරම් කළුපාට නැති වුණේය!
යකා හිතූ තරම් කළු පාට වුණේ නැත! |
ඉතින් පත්තෑයට පෙත්ත රේන්දයෙන් පටන් ගත් කතන්දරේ දැන් වෙනස්ම ඉසව්වකට ගෙන යා යුතුය.
දැන් ආයෙමත් මුළු රටමත්, රටවැසියනුත් නොහිතූ
ඉසව්වකට ගිහින්ය. මේ පෝස්ටුව දාන්නට හිතාගෙන හිටියත් වෙනින් කෙටි පෝස්ටුවක් ඉක්මනින් ලියන්නට වුණෙත් ඒ නිසාය. එවැනි
වෙලාවක පවා, හිතේ තෙරපෙන හැඟීම් පිට කරගන්නට මඟක් තිබීම වාසනාවකි. ඒ හැඟීම්
බෙදා-හදාගන්නට රසික ඔයාලා වැනි පිරිසක් හිඳීමත් වාසනාවකි.
මා ඒ වෙනුවෙන් කෘතවේදී
වන්නේ ඔබ සැමට අවංක වීමෙනි!
ඉතින්, බතික් කලාවෙන් යන්නට පටන් ගත් ඒ ගමනට
කියන්නට සුදුසු නමක් තවම නං මගේ හිතට ආවේ නැත. ඒත් හෙටානිද්දාම; නොපමාවම එය නිදිගෙ
ඔළුවට එනවා නිසැකය෴
බලන් ඉන්නව
ReplyDeleteහොඳමයි මධු!
Deleteබතික් ජීවිතේ වගේ නමක් කොහොමද?
ReplyDeleteස්තුතියි ලොකු. පොටක් පාදලා දුන්න වගෙයි!
DeleteI read everything you've written in your blog. Still many parts to be filled to solve the puzzle.
ReplyDeleteThank you very much. Sudheera, I agree with you. There are so many things to be written.
ReplyDeleteබ්ලොග් කාරයො නිසා අන්තිමට මාළු පැටව් හිටං බෝවෙලා කියන්නෙ ... කවද ඇහුව කතාද මේවා :-D
ReplyDeleteඅපි එහෙම තමා. අදාළ තැනදී අදාළ දේවලින් ප්‍රයෝජන ගන්නවා.
Delete