අකුරු මැකී නෑ

Wednesday, May 1, 2019

මෝස්‌තර එක්ක හත් වසරක්..... - පළමුවෙනි කොටස

ලොකු කතන්දර ගොඩක් ඉස්සරහට කියන්නට තියෙන නිසා...........
මේ විත්ති කතාව සටහන් කිරීම පටන් ගැන්මේදීම, නව චරිත කිහිපයක් හඳුන්වා දෙන්නට ඕනෑය. ලොකු කතන්දර ගොඩක් ඉස්සරහට තියෙන හින්දාය. චරිත හඳුනාගෙන හිටියාම පහසු නිසාය. (එතැනදී කම්පියුටරෙන් එයාලගෙ නම් කොටාගෙන යාමේ පහසුව ගැනත් හිතුවෙමි.)

ප්‍රධාන පාත්‍ර වර්ගයෝ බම්බලපිටියේ තට්ටු ගෙදරක වාසය කළෝය. එකම සැලැස්මකට අනුව ගොඩනැඟුණු, එකකට එකක් ඇඳුණු ගෙවල් හතරකින් මැද ගෙදරකි මේ.

ඒ පවුලේ තාත්තා; ගෙදර ප්‍රධානියා උහාමුය. අම්මා සීහාමුය. ලොකු දුව රුහාමුය. දෙවැන්නී නිහාමුය. පුතා ගිහාමුය. ආච්චී ලොකු හාමුය. එයා සීහාමුගේ හරි උහාමුගේ හරි අම්මාය. ඒ පස්දෙනාට අමතරව කුස්සියේ වැඩට පර්මනන්ට් එක්කෙනෙකි. අපි එයාට සෝමා කියමු. ඇසිලින් අම්මේ තාවකාලිකව වැඩ කරන්නීය. ඇගේ දියණිය; ජයන්තිත් ඒ නිවසෙම නැවතී පාසල් යමින්, ගෙදර සුළු වැඩත් කරයි.

ගෙදර boy සෙනෙවිය. මැහුම් වැඩවලටම කැපවී හිටි ඈන්‍ spinster කෙනෙකි. ඒ කියන්නේ කලවයස ඉක්මවමින් හිටියත්, අවිවාහක යුවතියකි.

විශාරද ගායිකා දීපිකාට මේ ගීතය කියන්නට තිබුණේ............
හාදවෙන්ට ආව තමයි ඉලන්දාරි නං
දීග යන්ට තාම ඉතින් හිතුවෙත් නැහැ මං

විශාරද ගායිකා දීපිකා ප්‍රියදර්ශනී ඒ ගීතය ගායනා කරන්නට තිබුණේ 1972 දීය. එහෙනම් මේ ඈන් ඒකම මුමුණමින් ඉන්නවාට කිසිම සැකයක් නැත! මට හිතෙන්නේ එතකොටත් ඈන්ට තිස්පහක් විතරය. 

මොකක්දෝ දරදඬු අංගපුලාවන් ටිකකි මට නම් ඈන් වෙතින් පෙනුණේ. ඈන් පිටතට පෙන්නුවේත් පිරිමින් අරහං වාගේ ගතියකි.

එක් උදෑසනක අපේ අම්මාත් එක්ක මං එහාට යද්දීත් එයාලා වැඩි දෙනෙක් ඇහැරිලාවත් නැත. දොර අරිනවාත් එක්කම ඉස්සරහට පැන්නේ අවුරුදු පහළොවක-දාසයක විතර ගැටවරයෙකි.

“ලීලා ආවා. ලීලා ආවා. ලබන හඳේ ලීලා ආවා!” ගැටවරයා සතුටෙන් ඉල්පෙමින් අපේ අම්මාව බදාගත්තේය.
පැහැබර උදෑසනක අපෙ අම්මාත් එක්ක...............
“හරි, හරි. දැන් ඉතින් ගිහාමු ලීලක්කාට ගෙට එන්න දෙන්නකෝ. ලීලක්කගේ පුතාත් ඇවිල්ලනේ.”

අවුරුදු දහතුනක්-දාහතරක් විතර වයසේ ගැටයෙක් ගිහාමුව කීකරු කරගත්තේය. ඒ සෙනෙවිය. සෙනෙවි හරියටම ‘ගප්පි’ මලයාලම් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන Chethan Jayalal වගෙය. තරමක් කළු පැහැතිය. කොණ්ඩය බොකුටුම-බොකුටුය. ජීවයෙන් ඉතිරෙනවා වගේය; හරිම කඩිසරය; active ය. 

අතුගාමින් හිටි කොස්ස එක අතක තියාගෙන, අනෙක් අතින් ගිහාමුව පැත්තකට අදින ගමන්ය සෙනෙවි මට මිතුරු හිනාවක් පෑවේ.

ඒ අස්සෙම අම්මා මගේ කනට කෙඳිරුවාය. “ගිහාමුගේ මොළේ ටිකක් අප්සෙට්. ඔහොම තමයි විදිහ. පව්!”

ඒ වෙද්දී මං එවන් අයව වැඩිපුර දැකලා තිබුණේ නැත. එකම ගෙදරකදී විතරය එහෙම කෙනෙකු දැක තිබුණේ. ඒ දැරියකි. පාංකඩ පමුණුව ගැන ලියවෙන වෙලාවක ඇය ගැනත් ලියැවේවි! 

බලන්නකෝ ඒකෙත් හැටි, ලීලක්කාගේ ‘ස්වර්ණ  ළමා සමාජය ගැන ලියද්දී මට තවත් මෙවන් සුවිශේෂී දැරියක් ගැන අමතක වී තිබිලාය! එයා ෂාය. නමුත් ඇය මන්ද බුද්ධික නොවේ. කුරුය; මිටිය. මියයන තෙක්මවත් ෂා අඩි තුනකටත් අඩු උසකිනි උන්නේ.
ගිහාමුත් මන්ද මානසික දරුවෙකි...............
තජකයේදී මානව ලිංගිකත්වය, පවුල් සැලසුම් ක්‍රම ආදී දේවල් ගැන ඉගෙන ගනිද්දී කියැවුණු දෙයකි. 

“වයසින් වැඩි අම්මලා දරුවන් බිහි කරද්දී දරුවා මන්ද මානසික- අංග විකල- නිසි ලෙස නොවැඩුණු දරුවෙක් වෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒ වගේමයි සහලේ නෑදෑයන් අතර විවාහවලදීත්..... ඒ විදියට බලද්දී නෑනා-මස්සිනා අතර විවාහ වුණත් සුදුසු නැහැ, දෙන්නාම ලේ නෑයන් වෙන නිසා....”.

එදා ගිහාමුව දකිද්දී මා මේවා ගැන හාන්කවිසියක්වත් දැනගෙන උන්නේ නැත. හිතුවෙත් නැත. ඒත් හොඳට බලද්දී දැක්කේ ගිහාමුගේ කමිසයේ එල්ලා තිබුණු ලොකු ලේන්සුවයි.

බදුල්ලේ සුජාතා බාලිකා විද්‍යාලයට, අනීතිකව මා යද්දී මගේ කමිසයේත් මෙහෙම ලේන්සුවක් එල්ලා තිබිණි. ඒත් ඒක පොඩිය. මෙච්චර ලොකු නැත. කාරණාව තේරුම් ගියේ වැඩි වෙලාවක් යන්නට කලින්මය. ගිහාමුගේ තොල් පටවල් හරිහැටි වැහෙන්නේ නැත. ඉතින් විඩෙන්-විඩේ කට කෙළවරින් කෙල වැගිරෙයි. ඒවා පිසදා ගන්නටය මේ ලොකු ලේන්සුව!

“අත්තම්මා, ලීලා ආවා. ආවා. ලබන හඳේ ලීලා.....” බිම් මහලේ ඉඳගෙනම ගිහාමු තාලයකට; මහා සද්දෙන් කියාගෙන-කියාගෙන ගියේය.

“හරි, හරි. ඔයා මෙහාට එන්න. ලීලා.... ඔයයි පුතයි කුස්සියට ගිහින් උදේට කාලා ඉන්න. සෙනෙවී, ඔය සෝමාට කියපන් ලීලලාට කන්න දෙන්න කියලා.” උඩ තට්ටුවෙන්, කාන්තා හඬකින් ආ විධානයකින් කියැවිණි.
මෙහෙදී නම් කිසිම දවසක එහෙම කෙරුණේ නැත.........
ඊවා හාමු, සුරංගනී හාමු වගේ අය නම් අපට සංග්‍රහ කෙරෙව්වේ එයාලගෙ කෑම මේසයටම කැන්දාගෙනය. මෙහෙදී කිසිම දවසක එහෙම කෙරුණේ නැත. කුස්සියේ හිටි සෝමා අහිංසක; කාරුණික අම්මා කෙනෙකි. එදා කෑවේ මොනවාදැයි මතක නැතත් ඇය වරින්-වර මගේ පිඟානටම කෑම කොත ගැහුව හැටි නම් මට තවම මතකය.

“මොනවද ලීලා.... හැදෙන වයසේ ඉන්න මේ වගේ කොල්ලෝ පොඩ්ඩක් කාලා හරියනවද? ලජ්ජා වෙන්න එපා පුතේ.... ගෙදරය මෙහෙය කියලා වෙනසක් හිතන්න එපා. කාපං දරුවෝ!”

නිහාමු කුස්සියට ආවේ මා කෑම කන අතරේමය. “ආ මෙයාද ලීලගේ පුතා. සුරංගනී අක්කි මට කිව්වා තවම පොඩියි කියලා. අප්පච්චි ගියාම අපි බලමුකෝ, මෙයාගේ වැක්සින් වැඩ කොහොමද කියලා.”

නිහාමු ලස්සනය; පැහැපත්ය; ඒත් තරුණ වයසේදීම ඇස් පෙනීම දුබල වෙලාය. කන්නාඩි දමන්නට වෙලාය. 

මට නම් හොඳටම කැපී පෙනුණේ එයා වැඩි හිනාවකින් තොර, මඳක් උඩඟු යුවතියක බවයි. නිහාමු කුස්සියෙන් එළියට යනවත් සමඟම සෙනෙවි කලබලයෙන් කුස්සියට ආවේය; සෝමාට කෙඳිරුවේය. “රුහාමු එනවා!”
චේතන් ජයලාල් වගේ කළු; කඩිසර; ඒ වයසේම වගේ හුන් සෙනෙවි.......
සෝමා අම්මෙගේත්, සෙනෙවිගේත් කලබලයෙන් හා බියගුලුකමෙන් පෙනුණේ රුහාමු කවුරුන් හෝ වේවා, සැර කෙනෙකු බවයි. අඩුම තරමින් සේවකයන්ටවත්. 

රුහාමු කොහොම කෙනෙකුදැයි බලාගන්නට ඉඩ ලැබුණේ එදා දහවල්ය. කුස්සියෙන් සාලය හරහාම එද්දී රුහාමු දැකගන්නට ලැබෙතැයි හිතුවත්, සෙනෙවි ගරාජයට මාව එක්කරගෙන ගියේ පිටිපස දොරෙන්ය. “ලීලක්කා අපිට කියලා තිබුණේ ඔයාව එක්කරගෙන එනවයි කියලා. ඔයා නිමල්නේ....?”

“අපි බතික් කරන්නේ ගැරේජ් එකේ. උහාමු ගියාට පස්සේ.” මට මේ ගෙදර අයව අලුත් බව සෙනෙවිට මතක නැතිව ගිහින්ය. “උහාමු කිව්වේ?”.

“හාමු මහත්තයා. ඔයා දැක්කේ නැද්ද... දැන් ගියා. ආයේ එන්නේ දවල් වෙලා.”

“සෙනෙවිත් බතික් කරනවද?”

“ඔව්, ඔව්. නිහාමු කියලා දෙන විදිහට ඩයි දාන්නේ මං... රෙදි තම්බන්නේ මං.... ඒවා ඔක්කොම මායි කරන්නේ.” සෙනෙවි කිව්වේ හරිම ආඩම්බරයකිනි. කෙරුමා මමයි කියලා කියන්නා වාගෙය.
ඉස්සෙල්ලම ඉටි කරන්නැයි කියා මගේ අතට දුන්නේ වොයිල් ස්කාෆ් එකකි.
“එහෙනං මටත් ඔයාගෙන් ගොඩක් දේවල් අහගන්න පුළුවන්. ෂෝක්.” 

හිටි ගමන් අප අතර අමනාපකම් ඇති වුණත් ඒ වහලය යටදී සෙනෙවි මට හොඳ මිතුරෙක් වුණේය. එදා අප ගරාජයට යද්දීත් සෙනෙවි ඉටි ළිප දල්වා ඉවරය. ඉටි උණුවෙමින් තිබිණි. “සෙනෙවිද උදෙන්ම මේවා කරන්නේ?”

“නිහාමු මට කියලා තියෙන්නේ උහාමු ගිය ගමන්ම මේවා කරන්න. එයාට වෙන කොහේ හරි යන්න තියනවා නම් ඒකත් කලින් කියනවා. එදාට මේ වැඩ නැහැ.” 

සෙනෙවිගේ කතාවලින් ඒ ගෙදර වැඩ සිදුවෙන කාල සටහන ගැන වටහාගැනීම අමාරු නොවුණේය. “හැබැයි, එයාට මූලග්ගාය. පොඩ්ඩ බැරිවෙච්චි ගමන් තදවෙනවා. එතකොට නං යකින්නි වගේ, යටිගිරියෙන් බෙරිහන් දීලා බනින්නේ. දැක්කනෙ .... හිනාවෙන්න දන්නෙත් නැහැ.”

“නිමල්.... මේක ස්කාෆ් එකකට. මං නම් wax කරන්නේ මෝස්තරයක් ට්‍රේසින් කරගත්තට පස්සේ. සුරංගනී කිව්වා, ඔයාට නම් එහෙම නැතිවත් ඩිසයින් දාන්න පුළුවන් කියලා. බලන්න මේක වැක්ස් කරමු. වැරදුණට කමක් නැහැ. තම්බලා ආයේ ගන්න පුළුවන්නෙ. මේ තියෙන්නේ පුනීල.... මෙන්න ඡන්ටින්ස්.... brushes ඕනේ නම් ඒවාත් තියෙනවා.... සෙනෙවි. මේ නිමල්ට පෙන්නන්න මම වැක්ස් කරලා තියෙන ස්කාෆ් ටික.” ගරාජයට පැමිණි නිහාමු කිව්වාය. එතකොටම ගිහාමුත් ගරාජයට එබුණේය.

“ගි..... යනවද නැද්ද උඩට. ඩෝන්ට් ඩිස්ටර්බ්.” නිහාමු අඩි හැප්පුවේ අපටත් එක්කමද මන්දා. සෙනෙවි ටිකක් ඉන්නැයි කියාගෙන ගිහාමුව උඩට කැන්දන් ගියේය. 
කිසිම සටහන් කරගැනීමක් නැතිවම අඹගෙඩි මෝස්තරයක් .............
wax කරලා තිබුණු ස්කාෆ්වල මෝස්‌තර නොකියා-කිව්වේ ඒවාට දරා තිබුණු වෙහෙසය. ගතවී තිබුණු වේලාවය. මට හොඳටම මතකය. මං ඒ ස්කාෆ් එකට යෙදුවේ සරල පහසු මොස්තරයකි. එක මුල්ලකට ලොකු අඹගෙඩියක්. පරිවාර කුඩා අඹගෙඩි. වටේට දැති... බිංදු. අඹගෙඩියේ මැදට මල්... අඩු පුරවන්න ලියවැල් ටිකක්. ස්කාෆ් එකේ හිස් ඉඩ පිරෙව්වේ එක-එක ප්‍රමාණයේ මල්වලිනි.

මුළු ස්කාෆ් එකම ඉටි කරන තුරු නිහාමු බලාගෙන හිටියාය. ගරාජයේ ඉඳගෙනම ‘අම්මා’යි කියාගෙන ඇය උඩට යද්දීය සෙනෙවි හීන් සීරුවේ, කට ඇරියේ. “අපේ හාමුට ඔය ටික කරගන්න බැහැ දවසම ගියත්.”

අඩි සද්දය ඇසී සෙනෙවි වහා නිහඬ වුණේය. තැනින් තැන වැටී තිබුණු ඉටි බිංදු ඉවත් කරමින් මං ඇඟෙව්වේ අප නිහඬව උන් බවය.

සීහාමුත් පහතට බැහැලාය. නිහාමු මගෙන් ස්කාෆය ඉල්ලාගෙන එය අම්මාට පෙන්නුවාය. කඩුව වනමින් කිව් දේවල් සේරම නොතේරුණත්, මගේ ගැන තෘප්තිමත් බව නම් පෙනුණේය. සීහාමු කතාව පටන් ගත්තේ ඊට පස්සෙය.

“නිමල්..... නිමල් නේද ලීලගේ පුතාගේ නම? ... නිමල් හොඳට wax කරලා කියලයි නිහාමු මට කිව්වේ. ඉතින් නිමල් කැමතියි නම් අපිට පුළුවන් නිමල්ට වැඩ දෙන්න. 
නිහාමු තවම බතික් බිස්නස් එක පටන් ගත්තා විතරයිනේ... අපට ලොකු පඩියක් නම් දෙන්න විදියක් නැහැ. උදේටයි, දවල්ටයි ඔයාටත් මෙහෙන්ම කෑම ගන්න පුළුවන්. එතකොට බත් බැඳගෙන එන්න ඕනෙත් නැහැනේ... උදේ අටහමාරට ඇවිත් පහට යන්න. වැඩ කරන දවසකට.....” 

සේරම කිව්වේ සීහාමුය. මට තේරුම් ගියේ අම්මාත්, දුවත් සේරම තීරණය කරගෙන පැමිණි බවය.

ඒ ගෙදරත් මහ තුන්දෙනාම රේස්වලට ඇබ්බැහිවූ අයයි. රේස් දුවන්නට නොවේ, දමන්නටය!
එදා මගේ දෛනික වැටුප ලෙස තීරණය කළේ සත අනූවක් හෝ රුපියලකි. ඒකත් මා වැනි ආධුනිකයෙකුට ලොකු පඩියකි.

“හාමු, මං තාත්තගෙනුත්.....”

“ඔව්, ඔව්, මට ලීලා කියලයි තියෙන්නේ, ලෙඩවෙලා හිටියත් තාත්තා තමයි ඔක්කොම තීරණය කරන්නේ කියලා. ඉතින් තාත්තා කැමතියි නම් අම්මගේ අතේ කියලා එවන්න. ඒ එක්කම තාත්තට කියන්න, ඔයාගේ වැඩ බලලා තව කීයක් හරි ඉක්මනටම වැඩි කරලා දෙන්නත් බලන බව. තේරුණානේ...?” සීහාමු ගැන සුරංගනී හාමු කියූ දේවල් ඇත්තය. ඇය නියම ව්‍යාපාරිකාවකි.

ඒ ගෙදර හැමෝම සල්ලි හම්බ කරන්නට පේවී උන් අයයි. 

තාත්තා; උහාමු මොකක්දෝ ලොකු රස්සාවක් කළේය. ඒකෙන් හම්බවෙන ආදායම මදි නිසාදෝ රේස් දැමිල්ලත් කළේය. මට හිතුණේ රස්සාවටත් වැඩිය ආදරයෙන් ඒක කළ බවයි. අපේ ගෙදර හිටි වැඩිහිටියන් තුන්දෙනා වගේමය. 

එහේ මහ තුන්දෙනාත් නැඟිටින්නේ- නිදියන්නේ- කන්නේ- බොන්නේ රේස් එක්කය. රේස්වලින් රේස් එකට පිම්මක් පෝස්ටුවෙදී කියූ විදියට, රේස් අපේ ජීවිත වෙනස් කළාට උහාමුලාගේ ජීවිත වෙනස් කළ පාටක් නොතිබිණි. එහෙම වුණත් ඒ ගෙදරත් තුන් දෙනෙක්ම රේස් ඔට්ටු දමන්නෝ වූහ. ලොකු හාමු හෙවත් අත්තම්මා, උහාමු හා සීහාමු.

සති කිහිපයකට කලින් දවසක හැන්දෑවේ ජෝඩුවක් අපේ ගෙදරට ආවෝය. හෙල්මට් ගලවන්නට කලින් මට හිතුණේ මද්දලාගේ ‘රෝද දෙකේ රස්තියාදුවේ’ දෙන්නෙක් කියලාය. “අඳුරන්න පුළුවනිද නිමල් අයියේ?”


මෝටර් සයිකලයේ පැමිණි ජෝඩුව රෝද දෙකේ රස්තියාදුවන් එක්ක අප කල්පිටි ගිය ගමනට ආ අයද?
කොල්ලා මහත්වී හිටියත් මට මතක් විණි. “ඩී කේ ආර්ලගේ මල්ලී නේද?”

DKR හා එයාලගෙ ලොකු මල්ලී මිස මේ හාදයා සමඟ අපේ වැඩි ඇසුරක් තිබුණේ නැත. අඩුම තරමින් අදටත් මේ සහෝදරයාගේ රූපකාය මිස නාමකාය මා දන්නේ නැත. “අපේ අයියා කිව්වා මෙහාට ඇවිත් ඔයාට කෝල් එකක් අරගන්නය කියලා. දන්නවනේ, එයා ඇමරිකාවෙනේ ඉන්නේ.”

“දන්නවා නේන්නං. ගිය වතාවේ ලංකාවට ආවම අපේ ගෙදරට ඇවිත් තමයි අනෙක් සෙට් එකේම ටෙලිෆෝන් නොම්මර ඉල්ලා ගත්තේ.” මං උත්තර බඳින අතරේ DKR ව සම්බන්ධ කරගන්නට මල්ලී සමත් වෙලාය.

“ඉතින් කොහොමද නිමල් අයියේ.....” කියාගෙන මුල පිරුණු කතාවේ සේරම ඔයාලට කියන්නේ නැතිය. ඒත් ඒවායින් එකම එකක් නං කියන්නට ඕනෑය. ඒක සිංහල පාඩමකි.

“නිමල් අයියේ, මාත් දිගටම ඔයාගේ බ්ලොග් එක කියවනවා. එකේ පොඩි වැරැද්දක් සිද්ධ වෙනවා. ඔයා හෙවත් වචනෙයි නොහොත් වචනෙයි පාවිච්චි කරන විදිහ වැරැදියි. ‘හෙවත්’ කියන්නේ එකම කෙනෙක් හරි දෙයක් හරි ගැන කියද්දී. නොහොත් කියන්නේ වෙනස් දෙන්නෙක් - වෙනස් දේවල් ගැන කියද්දී. මටත් ඕක කියලා දුන්නේ එඩ්වින් කොතලාවල මහත්තයා.”

ඩීකේආර් කඩ+වසං හාදයෙකු වෙන්නට ඇත්තේ ලංකාවේ ඉන්නා කාලයේ .......... 
(ඒ නම මට මතක හිටි විදිහය. DKR, නම වැරැදි නං කියලා එවන්න, තරහ නැතිව. 
එදා කෝල් කළ වෙලාවේ ඔයාට කියූ විදියටම, පෝස්ටුවක කරුණු වගයක් හරියටම සහතික කරගන්නට- පහුවදා හවස ගුණසිරි කොළඹගේ මහත්තයාව හමුවෙන්න ගියාම ඔයාගෙ පණිවුඩය කිව්වා. දන්නවද එයා කියපු දේ? 
‘දන්නවා නේන්නං නිමල්. මිනිහා මගේ ගෝලයෙක් බව ඇත්ත. අපේ අනෙක් අය නම් මිනිහව දන්නේ කඩ+වසං හාදයා කිව්වමයි.’ අපේ රසිකයන්ටත් කියන්නද කඩ+වසං කතන්දරේ?)

ඉතින් ඩීකේආර්, ඔන්න ඔයා මට කියලා දුන් දවසේ ඉඳලාම- පහුගිය පෝස්ටු දහයක-දොළහක විතරකම සිට ‘හෙවත්’ ‘නොහොත්’ වරදින්නට දෙන්නේ නැත. ස්තුතියි, හොඳේ!

ලොකු හාමු හෙවත් අත්තම්මා කියලා කොටද්දීය; මේ පීලි පැන්නේ. දැන් ඉතින් පීල්ලට වැටෙන්නේ ඊළඟ පෝස්ටුවේදීය!



17 comments:

  1. කොහෙන් ගියත් රස්තියාදුව මතක් කරනවට ස්තූතියි. (ආයෙ කවද යන්න වෙයිද කියල දන්නෙ නෑ)

    අයියන්ඩි පොඩි යෝජනාවක් ඔය මුදල් ගැන කියද්දි ඒ කාලෙ රුපියලක වටිනාකම කොච්චර විතරද කියලත් දාන්න පුලුවන් නම් මරු.

    ReplyDelete
    Replies
    1. මධු, යෝජනාව නං හොඳයි. ඒත් මට ඒවා හරියට මතක නැති එකයි ප්‍රශ්නේ. හැබැයි පුංචි ඉඟි ටිකක් දෙනවා නම් ඒ දවස්වල අපිට සමූපකාරෙන් සතියකට දෙන කූපන් හාල් (අටදෙනෙකුට විතර) ටික ගන්න ගියේ රුපියල් පහකටත් අඩුවෙන්.
      බතික් කරන්න ගන්න හොඳම සුදු රෙද්ද චයිනීස් පොප්ලින් - බ්ලූ ලයින් යාරය රුපියල් 2.12 යි.
      පාන් රාත්තලක් සත තිස්පහද කොහෙද.

      Delete
    2. පාන් රාත්තල් 3 ක් ගන්න රුපියලක් ඇති. ඒවුණාට පැය දෙකක් විතර පෝලිමේ හිටියම 4 දෙනෙක් ගේ පවුලකට ලැබෙන්නේ පාන් එක රාත්තලයි. රුපියලකට බනිස් 10 ක් ගන්න පුළුවන්. එහෙම නැත්තන් පෙට්‍රල් ලීටරයක් ගන්න පුළුවන්. (ඒ කාලේ විනුණුවේ ගැලුමක් රු. 5.25). සීමිත සීනි ප්‍රමාණයක් රාත්තල (කිලෝ භාගයක් පමණ ) ශත 72.

      Delete
    3. ඉයන්ගෙ කතාවට සමාන තව එකක් කියන්නං.

      ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශෙ තියෙනව හයිලන්ඩ් අවුට්ලට් එකක්. පෝළිමේ හිටියම එක්කෙනෙක්ට හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට් දෙකක් ගත්තෑකි.

      Delete
    4. ඒ කියන්නෙ අද මුදලින් දවසට රු.150 විතරනෙ

      Delete
    5. ගොඩක් ස්තුතියි හැමෝටම කරුණු එකතු කරනවට. ඒ කාලේ මුකුණුවැන්න මිටියක් සත පහයි. රුපියලෙන් මිටි විස්සක් ගත හැකි. අද මුකුණුවැන්න මිටි කීයක් ගත්තැකිද 150/-?න්?
      මං මේ කියන්නේ වැටුපට සාපේක්ෂව බඩුවල මිල ගණන්.

      Delete
  2. කතා පැවැත්වීම, සංදර්ශන කිරීම, මුද්‍රණ කටයුතු, බතික්, ඉවීම ඇතුලු අති විශාල ටැලන්ට් සංඛ්‍යාවට අමතරව තම ජීවිත අත්දැකීම් නවකතාවක් තරම් රසට ලියන්න පුලුවන් එක අලුත්ම හැකියාව නේද?

    ReplyDelete
    Replies
    1. Pra Jay, ප්‍රශංසාවට ගොඩක් ස්තුතියි!

      Delete
  3. ආයෙ පීල්ලට දාගත්තම එඤ්ඤං ඉතුරු ටිකත් කියනවන්න.

    ReplyDelete
  4. හත් වසරක කතාවක් දැනගන්න හත්වසරක් ඉන්නවෙන්නෙ නැති එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මාස හතක් විතර ලියවෙයිද කියලයි බය.

      Delete
  5. හෙවත් / නොහොත් ගැන ඩබ්ලිව්. ඒ. සිල්වත් දැනගෙන ඉඳල නෑනෙ. "සිරියලතා නොහොත් අනාථ තරුණි", "සුනේත්‍රා නොහොත් අවිචාර සමය", "ලක්ෂ්මි නොහොත් නොනැසෙන රැජිණ" ඔය හැම තැනම නොහොත් කියල තියෙන්නෙ "අරක නැත්තං මේක" කියන්න නෙමෙයි, "අරක - ඒ කියන්නෙ මේක" කියල කියන්න...

    ReplyDelete
  6. ආය පාරක් කියවන්න ඔනේ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අපේ මුල් බැහැපු වැලිපිල්ලෑවෙ ඉන්නකොට අපේ අසල්වාසීන් උනේ සමරක්කොඩි පෙළපතේ උදවිය ... බොහොම සාමාන්‍ය පවුලක් උන අපිත් එක්ක බොහොම සමීපව හිටිය කිසිම මහන්තත්තකමක් නැතිව ... ඔවුන්ට දියණියන් දෙදෙනෙක් හිටිය එක් අයෙක් මට වඩා වසර කිහිපයක් වැඩිමල්, බාල දියණිය මගේ සම වයසේ ... අපේ තාත්ත නැති උනාට පස්සෙ ... මම කණු තුනක් එක්ක උසස් පෙළ උසස් විදිහට පාස් වෙලා වැලේ වැල් නැතිව ඉන්නකොට පරිඝනක අංශයෙන් ඉදිරියට යන්න වැඩි විස්තර දීල මග පෙන්නුවේ ඒ උදවිය ...සම වයසේ උන් මිතුරිය සහ මම දෙන්නම එකම ආයතනයක පරිඝනක පාඨමාලා සහ උපාධි සම්පුර්ණ කරා ... උසස් පෙළ පර වරද්ද ගත්ත මම අද ඉන්න තැනට ආවෙ ඒ උදව්වෙන් ... වලව් මහන්තත්තකම් ඔලුවට ගහපු නැති කෙනෙක්ට ගොඩ එන්න උදව් කරන ඒ වගේ උදවිය තවම ඉන්නව.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා. මගේ නිරීක්ෂණය වැරදියි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වුණත් නොකියා බැහැ.

      වලව්වල වුණත් පරම්පරාව පිරිසිදු නම්, හාමු වෙලා නැති නම්, පරම්පරා සල්ලිකාරයෝ නම්, උගත් නම් ඒ වගේ අය ළඟ හොඳ වැඩියි! මනුස්සකම වැඩියි!!

      Delete