අකුරු මැකී නෑ

Saturday, May 4, 2019

යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස

අවුරුදු නවයකට පස්සෙත්; තවමත්; හිටි-හිටි ගමන් ප්‍රියන්ත- පීරිස්- නෙවිල් වැනි අසමජ්ජාතියෝ මාව අවුස්සති. “කොහොමද මචං, කැරට් සම්බෝලෙයි, තම්බපු බිත්තරයි, බතුයි....? මාර මෙනූ එක මචං”.

මේ කතාව අස්සේ තියෙන්නේ චෝදනාවකි. චෝදනාව අභූත එකකි.  

හැබැයි යම් තරමකින් හෝ එයට දායක වෙන්නට මටත් සිදු වුණේය. එහෙත් වැරැදිකාරයා මා නොවේ. ප්‍රධාන චූදිතයා කොහෙවත්ය. පැත්තකින් හිටි මටය සම්පූර්ණ වගකීම පවරන්නේ. 

ඒ නිසාමය චෝදනාව නඟන ඕනෑම වෙලාවක ආලවක යක්ෂයාම මගේ ශීර්ෂ මස්තකාරූඪ වෙන්නේ.

දියවන්නා මන්දිරයේදී සැර කතාවක් කරමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා ............
තව කාරණයකුත් තිබේ. මෙයාලාට ඕනෑ කාවම හරි බයිට් එකට ගන්නටය! ඔරොප්පු කරවන්නටය. ඒකට පදනමක් ඕනේ නැත. කන්න ඕනේ වුණාම කබරගොයාත් තලගොයා කරගන්නවා වගෙය. ඔහොම වැඩ කවදත්, කොහෙදිත් සිද්දවෙයි. 

අප්‍රේල් 24 වෙනිදා දියවන්නා මන්දිරයේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා වේගවත් කතාවක් කරමිනුත්, එහෙම වැඩක් ගැන කිව්වේය.

ඒ එතුමාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය නොදීම ගැනය.

ජනාධිපතිතුමා එතුමාට ඇමති ධුරය නොදීමට තීරණය කර තිබෙන්නේ නිකම්ම නොවේ; තුන්ගොල්ලක්ම ජනාධිපතිතුමාගෙන් ‘ඇමතිකම ෆොන්සේකා මහතාට නොදෙන්නැයි’ ඉල්ලීම් කළ බැවිනි. 

පළමු පිරිස සංඝයා වහන්සේ කිහිප නමකි. දෙවැන්නෝ රාජ්‍ය සේවකයෝය. ඒත් කිහිප දෙනෙක් විතරය. තුන්වෙනි පිරිසට අයත් වෙන්නෙත් DIGලා  කිහිප දෙනෙකි. කොහොමද වැඩේ? එකම ප්‍රශ්නය මේ ඉල්ලීම් කළ දේශප්‍රේමී හැමෝම ප්‍රසිද්ධියේ එය නොකිරීමය. අපේ ජනාධිපතිතුමා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද යත් එහෙම හැංගුණු; සුළු පිරිස්වලට වුවද සවන් දෙති!      

හැබැයි, මගේ සුහද මිතුරන් නම් එහෙම නැත. මේ ‘කැරට් සම්බෝල බිත්තර කතාව’ කියන්නේ එළිපිටමය.

එදා හුරුළුවැව තානායමේදී උදේට කන්න වුණේ බතුයි, කැරට් සම්බෝලයි, තම්බපු බිත්තරයි විතරය.
2010 මාර්තු 6 වෙනිදා හුරුළුවැව තානායමේදී අප උදේ ආහාරයට ගත්තේ ඒවාය. තානායමක් වෙලාත් එදා උදේ අපට කන්නට තිබුණේ ඒ ටික විතරමය. 

ඇත්තම කියන්නේ නම්, මේ ලියන මාත් එදා උදේ බත් ටික බඩට දමාගත්තේ හරිම අසීරුවෙනි. නොකා බැරිකමටය. ඒ ටික ගිලගත්තෙත් බත් කටවල් දෙකක් - ඊළඟට වතුර උගුරක් යන අනුපිළිවෙලටය. එහෙම හරි කරගත්තේ පරක්කු නොවී රිටිගලට යන්නට තිබුණු ආසාව නිසාය.

රිටිගල තියෙන්නේ උතුරුමැද පළාතේය. පරිවාර කඳු හතකින් යුක්ත රිටිගල කන්ද දඹුලුගලටත්, සීගිරියටත්, මිහින්තලාවටත් වැඩිය උසය. 

අඩි 2513ක් උසය. අක්කර 7,200ක් මේ වන පියසට අයිතිය. අදට අවුරුදු 2,200කට විතර ඈත අතීතයක සිට රිටිගල ආරණ්‍ය සේනාසනයක් වශයෙන් පැවතෙයි. අපේ මූලික ඉලක්කය වුණේ ඒ රිටිගලය.

‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලි නාට්‍යය විතරය මේ දවස්වල මං නරඹන්නේ. නරඹන්නේ... ඔව් නරඹන්නේ! 
හුඟක් අය කරන්නේ ටෙලිඩ්රාමා බලන එකය. උයන- පිහන- කන- බොන- නිඳාගෙන ඉන්නා ගමන්ය, ඒක කරන්නෙත්. 
වීරයා ඇවිත් එහෙම බලන්නට බැරිය. නැරඹිය යුතුය! බුකියේ, මේ ටෙලියට අදාළව Fan Club පිටුවක් ඇත. මමත් එහි සාමාජිකයෙක්මි. සංජය, ඒකට පරණ පෝස්ටුවක් යළි දමලාය. සංජය කිව්වේ සංජය නිල්රුවන් ගුණසේකරටය.

ඔහු ඉන්නේ කොහෙද- කරන්නේ මොනවද කියලා මං දන්නේ නැත. මෙතෙක් කාලෙකට ඔහු හා කතා කරලාත් නැත. නමුත් මේ කතාව මරේ මරුය. කාලෝචිතය. Copied කතාවක් වන ඒක මාත් මෙතැනට ගන්නේ නොදුටු අයට කියවන්නටය.

ඔය කෆීර්ලාගේ (මුස්ලිම් ආගම නොඅදහන මිනිසුන්ගේ) බටහිර සංගීතය.......
(මෙය සත්‍ය කතාවකි)
ඉස්ලාම් ධර්මය ලොව පුරා පතුරන සක්කිර් නායක් දිනක් ලන්ඩනයේදී ටැක්සියකට ගොඩ විය. බීට්ල් සංගීත කණ්ඩායමේ අලංකාර ගීතයක් රේඩියෝවේ වාදනය වෙද්දී රියදුරා සතුටින් ගීය හෙමින් සැරේ මුමුණමින් වාහනය පදවන්න විය.

ටික දුරක් යද්දී රියදුරාගේ පිටට තට්ටුවක් දැමූ සක්කිර් නායක් අසතුටු මුහුණකින් මෙසේ කීය.
“කරුණාකරලා ඔය කරච්චල් රේඩියෝ එක වහනවද?මොහොමඩ් නබිතුමාගේ කාලේ ඔය සංගීතය; විශේෂයෙන්ම ඔය කෆීර්ලාගේ (මුස්ලිම් ආගම නොඅදහන මිනිසුන්) බටහිර සංගීතය තිබුණේ නැහැ. මට ඒක නිසා ඕක අහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ!”.
රියැදුරා වාහනය පාර අයිනට කර නැවැත්වීය. ඉන්පසු කාරයෙන් බිමට බැස වටෙන් පැමිණ සක්කිර් නායක්ගෙ දොර ඇරියේය.

පුදුමයෙන් බැලූ සක්කිර් ඔබ මොකද කරන්නේ යයි රියදුරාගෙන් ඇසීය.

“මොහොමඩ් නබිගේ කාලේ AK 47 තිබුණෙත් නැහැ. හයිජැක් කරන්න ප්ලේන් තිබුණෙත් නැහැ. මරාගෙන මැරෙන බෝම්බකාරයෝ හිටියෙත් නැහැ. පල්ලිවල දාන්න ලවුඩ්ස්පීකර් තිබුණෙත් නැහැ. ඒ වගේම ටැක්සි තිබුණෙත් නැහැ. දැන් ඉතින් මේකෙන් බැහැල ඔටුවෙක් එනකන්  බලාගෙන ඉන්නවා!”.

මොහොමඩ් නබිගේ කාලේ AK 47 තිබුණෙත් නැහැ, හයිජැක් කරන්න............
ප:ලි: මේ සියල්ල සිස්ටම් අප්ඩේට් නොවීමේ වරද නිසාය. යුද කාලයේ ලියැවුණු දෑ අදාළ එම කාලයටය. අකුරක්වත් වෙනස් නොකිරීම  යනු ආඩම්බරයට හේතුවක් නොවේ. පරිසරයට අනුගත නොවන්නෝ වඳ වී යන බව අනාදිමත් කාලයක් තිස්සේ සොබාදහම පෙන්වා දී ඇති සත්‍යයකි.

සංජය නිල්රුවන්ගේ මේ කතාව මෙතනට අදාළ වෙන්නේ කරුණු දෙකක් නිසාවෙනි. පළමුවැන්න එය අදට ඉතාමත් යෝග්‍ය වීමය; කාලෝචිත වීමය. 

දෙවැන්න මගේ සුමිතුරනුත් සක්කිර් නායක් වගේම සත්‍යය තේරුම් ගන්නට අසමත් අය වීමයි. එදාම මා කළ කරුණු පැහැදිලි කිරීම්වලින් පසුව හෝ ඇත්ත තත්ත්වය වටහා ගත්තා නම්, ඔවුන් තව දුරටත් මට අපහාස කරන්නට එඩිතර නොවෙනු ඇත; යළි-යළිත් ඒ චෝදනාව මට නොකරනු ඇත.

හිතේ ආවේගයට එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කිව්වාට හරියන්නේ නැත. කතාව කොනක ඉඳලාම කියන්නට ඕනෑය. එතකොට කිසිම අවුලක් නැත! මෙන්න එහෙනං!!

සිංහලයෙකු වුණත් මං වඩාත් කැමැති ‘මා යකුන්ගෙන් පැවතෙනවා’ කියා කියන්නටය. 

මදාවි; මැර; නාහෙට-නාහන පිට දේසක්කාර විජය අකෘතඥයාට නෑකම් කියනවාට වඩා, හෙළ යකුන්ට නෑකම් කීම මට ආඩම්බරයකි. ඒ හින්දාම උන්මාද චිත්‍රා කුමරියට යකුන්ගෙත් එක්ක තිබුණු හොර පයුරුපාසනයට මං කැමැතිය. චිත්‍රරාජ, කාලවේල දෙන්නා පණ්ඩුකාභය කුමාරයාට පණ ඇරලා support කළේ නිකම්ම නිකන්ද? පණ්ඩුකාභය කුමාරයා අවුරුදු හතක්ම රිටිගල හිටියේත් මේ යක්කුන්ගේ උදව්වෙන් නේද?

රිටිගල සීගිරියටත්, මිහින්තලයටත් වැඩියෙන් උස ආරණ්‍ය සේනාසනයක් ............
ඉතින් අදටත් යක්කු ඉන්නවාය කියන; යක්ෂ ගෝත්‍රිකයන් ඉන්නවාය කියන ‘රිටිගල’ පැත්තේ යන්නට මට තිබ්බේ ලොකුම ආසාවකි.

රාම රාවණ සටනේදී ලක්ෂ්මණ කුමාරයට තුවාල වුණාම ඒක සනීප කරගන්න නම් හිමාල වනන්තරේ තියන ‘සංජීවනී’ කියන ඔසු පැළෑටිය ඕනේ වෙනවා. බෙහෙත ගෙනෙන්න අහසින් යන්නේ හනුමන්තා වානර රජු. දඩිබිඩියේ ගියාට මොකද හනුමාට බෙහෙත් පැළයේ නම අමතක වෙනවා. ඒ ගමන හනුමා කරන්නේ හිමාල කන්දෙන් පදාසයක්ම ගලවාගෙන අරන් එන එක. එහෙම එද්දී කන්දෙන් කෑල්ලක් උණා වැටුණාලු ‘රූමස්සල උණවටුන’ට. 

ලක්ෂ්මණ කුමාරයාට බෙහෙත් කළාට පස්සේ, කන්දෙන් කොටසක් ‘දොළුකන්ද’ට දමලා, ඉතිරි කොටස ‘රිටිගල’ම තියෙන්න ඇරියලු. එහෙමයි අපේ ආච්චී; දසනායක රත්නවතී කිව්වේ.

උන්දෑ මට ඔය විත්තිය කියවපු දවසේ ඉඳලාමයි රිටිගල යන්න තිබ්බ ආසාව ලියලුවේ.

වනාන්තරේ තියෙනවාය කියන කටාරම් කොටපු ගල්ලෙන්ම 74ක්. සෙල්ලිපි 152ක්. ගොඩනැඟිලි 140ක්. අභාවයට ගිය වැවක්. 

(දැන් නම් මේ ‘බන්දාවැව’ ප්‍රතිසංස්කරණය කෙරෙනවා.) එහෙව් තැනක් බලන්න යන්නම එපැයි.

රිටිගල කන්දෙන් ගලාගෙන එන වතුරෙන් තමයි බන්දාවැව පෝෂණය වෙලා තියෙන්නේ.
“මූටත් තියෙන්නේ එසේ-මෙසේ xකේ අමාරුවක් නෙවෙයි. යකෝ, අපිව මරව-මරවා කැලෑ අස්සෙම රිංගවන්න හදන්නේ, යමුකෝ ඔය ලස්සන බීච් එකක් පැත්තකට!” 

කොහෙද යන්නේ කියලා සාකච්ඡා කරන වෙලාවේ මගේ අදහසට සුහද මිත්‍රයෙකු මිත්‍රශීලීව ප්‍රතිචාර දැක්වුවේ එහෙමයි. ඒත් රිටිගල යන්න කට්ටිය කැමති වුණා! “එහෙත් ගිහින් බීච් එකකටත් යමුකෝ දොළදුකක් නම්!”

“ඔන්න අයියේ මං හුරුළුවැව රෙස්ට් හවුස් එක බුක් කළා, මාර්ච් ෆිෆ්ත් නයිට් එක එහෙ ඉඳලා, රිටිගල ගිහින් කායන්කර්නි යං” වෛද්‍ය එම්.සී. පෙරේරා හෙවත් අපේ හිතවතා පෝල් ලලිත් ප්‍රියන්තට කියලා තිබුණා. 

වල් කන්ස්ට්‍රක්ෂන්ස් ප්‍රියන්තව මතකයි නේද? ගොඩක්ම ගමන්වලට වාහනේ ගෙනෙන්නේ එයානේ. එයා කායන්කර්නිවල හෝටලයක් හදමින් ඉන්න නිසාත් අපි එහෙ යැවුණා, නිතරම. වැඩේ තීන්දු වෙලා ගණන් බලද්දී ‘එන්නං’ කියන අය වැඩියි!

ප්‍රියන්ත, නලින්, සාන්ත, පෝල්, පීරිස්, සකලසූරිය, නන්ද කුමාර, සම්පත්, හක්ස්ලි, නෙවිල්. දහයක්! දෙයියනේ, මාත් මහදැනමුත්තා වගෙයි, ගණන් කරලා තියෙන්නේ මං ඇර. වාහනේ එකොළහක් යන්නයි වෙන්නේ.

එම්.සී. පෙරේරා හෙවත් Dr Chaminda හෙවත් අපේ පොලා තමයි..... 
“කමක් නැහැ නිමල්. සේරම යමු, හිරවෙලා හරි. ඕනෙම කරන වළන්-පිඟන් ටිකක් විතරක් අරන් යමු. හාල්-පොල් වගේ දේවල් ඒ ඒ තැන්වලදී ගනිමු! නැත්තං ඉඩ මදි.” 

තදබදය විසඳන්නට ක්‍රමයක් ප්‍රියන්ත හෙව්වේ එහෙමය. 2010 මාර්තු 5 වෙනිදා ගමන යන්නට මුල පිරුණේ එහෙමය.

“මචං. හුරුළුවැව නං කන්න තැනක් නැහැ කිව්වා. අපි එහාට කිට්ටුම තැනකින් දවල්ට කාලා, උයන-පිහන බඩුත් අරගෙන යමු!” පෝල් හෙවත් චමින්ද එහෙම කිව්වා විතරය. වාග් ප්‍රහාර එල්ල කරන්නට හිටි හමුදාව ISIS එකටත් අන්තය.

“ඇත්තටම ඕක තානායමක්ද මචං?”. “ඒයි පොලා, රෙස්ට් හවුසස්වලට උයන්න දේවල් ගෙනියන්නත් ඕනෙද මචං? පිනටද උන් උඹට ලොජින් දුන්නේ? ඇයි බං, පීචන් පොට් එහෙක වුණත් Bed & Breakfast දෙනවනේ බං.”. “ප්‍රියන්ත අයියේ, අපි වෙනද වගේ පන්සලක්වත් හොයාගන ඉම්මු, ඉස්සෙල්ලා.”

“අඩෝ මේ, xකෝරිස්ලා. ඕන xත්තක් කරගනිල්ලා මාව කන්නේ නැතිව. #*#* #*#* හදනවා.....” කන්දොස්කිරියාව නැවතුණේ පෝල් අන්න එහෙම සුද්ද සිංහලෙන්ම කිව්වාට පස්සෙය.   

ඔන්න ඔහොම කරුණාවෙන්, සභ්‍ය වචනයෙන්.............
“ඔන්න ඔන්න ඕකනේ xත්තෝ. මුලින්ම ඔහොම කරුණාවෙන්, සභ්‍ය වචනයෙන් ජාතිය ඇමතුවා නං අපි අහනවනේ. නැද්ද මචංලා.” අපේ ගමන්වලට බවලත් උදවිය එන්නේ නැතිකමේ වාසිය ඕකය; අපේ නඩයට නවකයන් වැඩිය එකතු කර නොගන්නෙත් සමහරුන්ට ඔහොම ‘මියුරු තෙපුල්’ වගුරන්නට ඕනෑ නිසාය.

“මච්චාන්..... මේක තමයි කිව්වා රෙස්ට් හවුස් එකට ඉස්සෙල්ලා හම්බවෙන අන්තිම ටවුම.....” පෝල් කිව්වේ ‘කෙළවුණා තමයි’ වගේ ටෝන් එකකිනි. 
“කොහෙන්ද මචං දවල්ට කන්නේ?”.

හෝටල් තිබිණි. ඒත් දවල් කෑම තිබුණේ නැත. දුර බැහැර හෝටලයකින් කන්න බලාගෙන යනවා නම් වේලාසන යා යුතුය. වැඩිය සෙනඟ නොගැවසෙන ටවුමක දවල් දෙකට-තුනට බත් කන්නට එන්නේ මොන යක්කුද? 

“මචං, අපේ දෙන්නෙක්  තුන්දෙනෙක් හෝටල්වලට ගිහින් අහලා බලනකල් උඹලා හාල්-පොල් ටික ගනිල්ලා.” කියාගෙන කට්ටියක් හෝටල් ගානේ ගියහ. බඩු ලැයිස්තු හදන්නේ, ඉවුම්-පිහුම් දන්නේ ‘පන් මණ්ඩිතයා’ නිසා දෙතුන් දෙනෙක් මගේ පස්සෙනුත් ආවෝය.

සිල්ලර බඩු කඩ හෝටල්වලට හපන්ය. එළවලු නම් ඇත්තේම නැති තරම්ය. “නිමල්, කරන්න දෙයක් නැහැ. අද රෑටයි හෙට උදේටයි විතරක් ඇතිවෙන්න බඩු ගන්න. මල්ලිලා බාබකියු කරන්න චිකන් ගන්නවා කිව්වා.” ප්‍රියන්ත කිව්වේය.

එහෙ තුබුණු කඩ සේරම වාගේ හංකඩ - පාංකඩ කඩය!
හරිම අමාරුවෙනි ඕනෑ කරන දේවල් හොයාගත්තේ. ඊටත් අමාරුවෙන් බත් කන්නට හෝටලයක් හොයාගත් බව දැනගත්තේ ඒ අතරේය. 

“කෑම ඉවරලු. ඉතිරිවෙලා තියෙන එළවලුත් එක්ක කන්න හරි ගස්සන්නම්ලු. පට ගාලා තව බත් ටිකක් උයනවයි කිව්වා. එහෙම හරි ෂේප් කරගනිමු නේද නිමල් අයියේ?”

බත්වලටත් වැඩියෙන් හිත පිරුණේ යෝගට්, අයිස්ක්‍රීම් වගේ අතුරුපස හොයාගත් නිසාය. කාලා- ආයෙමත් හිරවෙලා අප හුරුළුවැව තානායමට යද්දී හතර විතර වෙලාය.

“වැව නම් ගති මචං!” කවුදෝ කිව්වා විතරය. පෝල් ඇඳගෙන හිටි ටී ෂර්ට් එකේ කොලරය උස්සා පෙන්නුවේය. 

“ඒයි, උඹලා දන්නවද? මේ රෙස්ට් හවුස් එක ඕපන් කරලා තියෙන්නේ ඩී.එස්. සේනානායක මහත්තයා....” පෝල්ට ඒ විස්තර කියන්නට ඉඩක් ලැබුණේ නැත. වසවර්තියෙක් bath room එකට ගිහින් ඇවිත්ය.

“අඩෝ පොලා. උඹ නොකිව්වත් ඒක නම් පේනවා බාත් රූම් එකට ගියාම. ඩී.එස්. සේනානායක මහත්තයා ආවට පස්සෙම මෙලෝ යකෙක් මෙහාට ඇවිල්ල නැහැ වගෙයි මචෝ.  ඊට පස්සෙම බාත් රූම් හෝදලත් නැහැ මචං.”

ඩී එස් සේනානායක මහත්තයා තානායම විවෘත කරන්න මෙහාට ආවට පස්සෙම.........
ඒ සහතිකය ලැබුණා විතරය; කවුරු-කවුරුනුත් උනන්දු වුණේ කාමර තෝරා ගැනිල්ලටය. “හක්ස්ලි අයියේ, අපි මේකට යං.... අපි මේකේ.... අපි මේකේ....” සකලසූරිය ඒ ළඟම තිබුණු කාමරයට රිංගා ගත්තේ හක්ස්ලිගේ බෑගයත් උස්සාගෙනමය. මට මතක හැටියට නම් සකලේ ඒ කාමරයම තෝරාගත්තේ මදුරුදැල් තිබ්බේ ඒකේ විතරක්ම නිසාය. 

පිරිස වැඩි නිසා සම්පතුත් ඒ කාමරයටම රිංගුවේය.

ධම්මපදයේ පාප වර්ගයේ තියෙන ගාථාවක් හරියටම හරි බව සකලසූරිය නිශ්චිතවම වටහා ගත්තේ එදා රාත්තිරියේය! ගාථාව මේකය.

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ජේ - න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො - යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා

යම් තැනක සිට පවේ විපාකයෙන් මිදිය හැකිද එබඳු තැනක් අහසෙහිත් නැත; මුහුද මැදත් නැත; පර්වත කුහරයකත් නැත; එබඳු බිම් පෙදෙසක් ලොව කොහෙවත් ඇත්තේ නැත.

එබඳු තැනක් සමුදුර මැදත් නැත, පර්වත විවරයකත් නැත...............
“ආත්මාර්ථකාමියා. හොඳම කාමරේ අල්ලා ගත්තා. නිමල් අයියේ උන් ඕන මඟුලක් කරගත්තාවේ. කළුවර වැටෙන්න කලින් නාගන්න වැවට යමු. උයන්න ගෙනාපුවා කුස්සියට දීලා අපි චිකන් ටික මැරිනේට් කරමුද ඊට කලින්?”. 

ඒ යෝජනාව නිසා සකලෙලාගේ කාමරයට එබී බලන්නටවත් මට පුළුවන් වුණේ නැත.

පව් පළ දුන්නේ බාබකිව් එකෙනුත් පස්සේය. පැදුරු සාජ්ජයෙනුත් පස්සේය. රෑ කෑමෙනුත් පස්සේය.

ඒත් සූරිය දිවිය රාජයාට නම් ඒ බව කලින්ම දැනිලා වගෙය. 

හවස පහමාරට අප නාන්නට වැවට ගිහින් එද්දී, වැවට එපිටින් ඉර බැහැගෙන ගියෙත් සකලසූරියට හිනාවෙමින් බව අපට තේරුණේ මාර්තු හයවෙනිදා හිමිදිරි පාන්දරය.

හුරුළුවැවට එපිටින් සූරිය දිවිය රාජයා බැහැගෙන ගියෙත්...........

ඒ ටික ඊළඟ පෝස්ටුවෙන්!

***** පසුවදන: පෝස්ටුව පබ්ලිෂ් කළේ අද උදේය. මේක දැක්ක ගමන්ම දහවල් හිතවත් පෝල් වැරැද්දක් පෙන්වා දුන්නේය. "හුරුළුවැව තියෙන්නේ රෙස්ට් හවුස් එකක් නෙවෙයි. සර්කිට් බංග්ලෝ එකක්." තැන බුක් කළේ පෝල් හින්දා ඔහුට නම් වරදින්නට කොහොමටවත් ඉඩක් නැත. මේ පෝස්ටුව මෙහෙමම තියෙන්නට හරින්නේ මගේ වැරැද්ද අමතක නොවෙන්නටමය,
මටම ටොක්කක් ඇනගත්තා වෙනුවටය!
වැරැද්ද පෙන්වා දුන්නාට ගොඩක් ස්තුතියි පෝල්!


12 comments:

  1. ඔකනෙ ටෙන්ට් වල ඉන්න කියන්නේ 😂😂 කිසි කරදරයක් නෑ

    ReplyDelete
    Replies
    1. ටෙන්ට් නැතිවත් ඉඳලා තියෙනවා මධු!

      Delete
  2. හුරුලු වැව ඉරිගේෂන් සර්කිට් බන්ග්ලෝ එක ගැන නං මේ කියන්නේ 2014-5 කාලෙදි විතර මං ගියා. එතකොට නං හොදයි...අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි ලොකු. ඒක තමයි තැන, හැබැයි අපි යද්දී නම් .............

      Delete
  3. ..සකලේ යි සම්පතුයි පහුවදා උදෙන්ම නැගිටලා සුබ උදාසනක් කියනවා වගේ හොදින් අමතල කාමරයෙන් පිට උනා . ඒ ගොල්ලන්ට නින්ද ගියේ නැහැල්ලු රෑ එලි වෙනකම්ම මම ලී මෝල ස්ටාර්ට් කරලා කොට ඉරපු නිසා .

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි ඉයන්. කමෙන්ට් එකේ මුලින් අකුරක් හැලිලා නෙවෙයිනේ?

      Delete
  5. රිටිගල වෙන මොනම පුරාවිද්‍යා බිමකටත් වඩා අමුතුයි. ඒකෙ නටඹුන් සංරක්ෂණය කරල තියෙන්නෙ වනපෙතට හාණි නොකර. ඒ නිසා ඒ කාලෙ වනවාසී භික්ෂූන් වහන්සේලා අත්දැකපු නිසංසල විවේකීබව අපට දැනටත් අත් විඳින්න පුළුවන්. ඔය වගේම තමා අරං කැලේ... ගිහිං තියනවද?

    ReplyDelete
  6. ඩ්රැකී, ඔයාගේ කතාව සහතික ඇත්ත.
    මං අරන්කැලේ ගිහින් නැහැ. අද ඉඳන්ම ට්‍රයි කරනවා යන්න පොටක් පාදාගන්න. ස්තුතියි ඔත්තුවට.

    ReplyDelete