අකුරු මැකී නෑ

Friday, May 10, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දෙවෙනි කොටස

මේ අත්තම්මා 'අඹ යහළුවෝ' එකේ එක්කෙනා තරම්..............
ලොකු හාමු හෙවත් අත්තම්මා හරිම කරුණාවන්තය. ඒ ගිහාමුටය. සැරෙන්-සැරේ සෙනෙවිට ගෙම්බර් පෙන්නුවත්, අත්තම්මා ‘අඹ යහළුවෝ’ එකේ අත්තම්මා තරම් නං කුඩුකේඩු වුණේ නැත. මා දුටු හැටියට, ගිහාමු නං ගෙවමින් හිටියේ හැබෑම කරුමයකි.

එයා සමහර වෙලාවට මළ-මුත්‍රා පහ කරගත්තෙත් තැන-නොතැන නොබලාය. එහෙම වෙලාවට සෙනෙවිට යකා වැහෙයි. රහසෙන් කුටු-කුටු ගාමින් ගිහාමුට දෙස්-දෙවොල් තියද්දී; සාප කරද්දී වුණත් ගිහාමු කරන්නේ හිනාවීමය. සමහර වෙලාවක සෙනෙවිව බදාගෙනත් හුරතල් වෙයි. 

ඒ අවාසනාවන්ත ජීවියාගෙ විසූක දස්සන ඇති පදම් දැකලා තිබුණු නිසාමය අපේ චූටි නංගී ‘කමලා සංජීවනී උපන් විට මගේ පපුව කඩා වැටුණේ; ඊට මාත් වගකිවයුතු නිසා, මටම සාප කරගත්තේ. අපේ අවාසනාව නම් කල් අල්ලා හිටියේ නැත. දවස් විස්සකින් චූටියා අපටත් සැනසීම දෙමින්- එයාගේ සදාකාලික සැනසීමත් හොයාගෙන ගියාය!

අද ගිහාමු කොහොම ඉන්නවා ඇතිද? සෙනෙවිත් දැන් හැට පැන්න කෙනෙකු විය යුතුය. ඇයි ජයන්ති?

සෙනෙවි, ජයන්ති එහෙම දැන් කොහොම - කොහේ ඉන්නවා ඇතිද?
ජයන්තියි, එයාලගෙ අම්මා ඇසිලින් අම්මෙයි දෙන්නා හිටියේ බොරැල්ලේ සේනානායක හන්දියේ වත්තකය. ජයන්ති මිටිය; පිරුණු ඇඟපතය. කොළඹම පාසලකට යමින් හිටියත් දැනගෙන හිටි දෙයක් නැතිම තරම්ය. 

ඇසිලින් අම්මේ එහාට ආවේ-ගියේ හිටි-හිටි ගමන් වගෙය. මෙතෙක් මගේ ජීවිතයේදී දැක ඇති පුදුම රෝගයක් ඇයට තිබිණි. ඔන්න ගැටළුවක්... දැන් ඉතින් දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයාටවත් කතා කරලා මේ ලෙඩේ ගැන විස්තර අහගන්නටම හිතෙයි.

“ඒ ලෙඩේට කියන්නේ, නියුරොෆයිබ්රොමැටොසිස් (Neurofibromatosis) කියලා. ඒත් නිමල් අයියේ, ඒකේ දෙකක් තියෙනවා. type 1 කියලයි, ටයිප් 2 කියලයි. හරියටම විස්තර ඕනේ නම්, හොයල බලල තමයි කියන්න වෙන්නේ.”

නිදිගෙ පංච තන්තරේට වෛද්‍ය උපදේශක පට්ටමක් නැතත් නොනිල විදියට ඒ රාජකාරිය කරන්නේ අයස්මන්ත මහත්තයාය. 

ඊයේ (මැයි 8 වෙනිදා රෑ දහයමාරට මං ටෙලිෆෝන් කරද්දී මනුස්සයා හිටියේ හෙම්බත් වෙලාය. “අදත් කැටරැක්ස් සීයක් කළා නිමල් අයියේ.” හම්බන්තොට ඉස්පිරිතාලයේ ඉඳන් එහෙම කිව්වාට පස්සෙත් තව කරදර කරන්නේ කොහොමද? “එපා, එපා. මං හොයාගන්නම් නෙට් එකෙන්. මට ඒකෙ ෆොටෝ එකකුත් හොයාගන්න තියෙනවා.....”

එදාත් කැටරැක්ස් ඔපරෙෂන්ස් 100ක් කරලා හෙම්බත්ව හිටි.......
ඒ ලෙඩේ හැදෙන්නේ 3000කින් එක්කෙනෙකුට විතරලු. මාරාන්තික නැත; ඒකත් එක්ක හරියට ඩීල් කරනවා නම්!

ඒක ස්පර්ශයෙන් අනෙක් අයට බෝවෙනවා වෙන්නට බැරි බව විතරය මං ඒ කාලේ දැනං උන්නේ. මං එහෙම කියන්නේ ඒ කාලයේ, ඇසිලින් අම්මේගේ සද්ධිවිහාරිකයාට ඒ අසනීපය බෝවෙලා තිබුණේ නැති හින්දාය. 

ජයන්තිලාගේ බොරැල්ලේ ගෙදරදී මට ඒ පරාණකාරයා දෙතුන් පාරක්ම හමුවන්නටත් ලැබිණි. අනේ, ඒ මනුස්සයා අහිංසක වැඩිහිටියෙකි. ඒත් ජයන්ති නම් ඒ අහිංසකයාට පෙන්නුවේ ‘යෝනකයා ඌරු මාළුවලට’ පෙන්නන ජාතියේ සැලකිල්ලකි.

“මට පෙන්නන්න බැහැ බං. නාකි මනමාලයා. ඌ නැති වෙලාවට නං මම අපේ අම්මටත් දෙස්ස කපනවා.”මේ කතන්දර හෙළිවුණේ ටිකෙන්-ටිකය. 

ජයන්ති මේ තට්ටු ගෙදර නවතින්නේ, ‘බාප්පාකාරයා’ එයාලගේ ගෙදරට  එන දවස්වලටය. “.... හැබැයි නිමල්, අපේ අම්මා මං මිනිහට බනින විත්තිය අඟවන්නේ නැහැ. මට නම් හිතෙන්නේ මිනිහත් ඒවා නොදන්නවා වගේ හිටියට දන්නවා....”.

“නිමල්, දන්නවද වැඩක්. මෙයාට බාප්පාකාරයාව පේන්න බැරි වුණාට මොකෝ,  මෙයා බාප්පා ගේන දේවල් සේරම නං ගන්නවලු.” සෙනෙවිත් තොරතුරු කියයි.

ජයන්තිලාගේ අම්මාට තිබුණු අසනීපය එයාගෙන් තවත් අයට බෝවෙන ජාතියේ එකක්.........
“ඒකට මොකෝ? ඌ ගේන්නෙ මටනේ. ඌ එව්වා මට දික් කළාට මං ගන්නවයැ. ගස්සගෙන අහක බලාගන්නවා. ඒත් මිනිහා හීන්සීරුවේ එව්වා අම්මගේ අතට දෙනවා. අම්මත් කරන්නේ ඒවා ටීපෝ එක උඩින් තියන එක. ඉතින් ඒ දෙන්නම පේන්න නැති වෙනකල් ඉඳලා මං ඒ සේරම තනියෙන් කනවා”.

අපේ ආච්චී නං ඕවාට කියන්නේ ‘ආඳා මාළු අතින් නොකං - ඉරටෙන් කං’ කියලාය. ඒත් මං ජයන්තිටවත්, සෙනෙවිටවත් එව්වා කියා දෙන්නට ගියේ නැත. කොළඹ ඉස්කෝලයකට ගියත් ජයන්ති දන්නා බම්බුවක් නැතිම තරම්ය. අකුරුත් කැතය. අනුන්ගේ පහිනපත් වැඩ කරනවා මිස මෙලෝ දෙයක් බැරි තරම්ය. හැබැයි කටකාරය. 

බොරැල්ලේ වත්තෙන් ආ ගතියක්ද මන්දා පපුව ඉස්සරහට දමාගත් ගමන්මය.      

හිටි ගමන් රෙදි කෑල්ලකුත් උස්සාගෙන එන ජයන්ති ස්ටූල් එකකුත් ඇදගෙන වාඩි වෙයි. ඒ නිහාමු නැති වෙලාවකය. “නිමල්, මටත් දියන් ඡන්ටින් එකක්.” ඒක කියන්නෙත් ආඩම්බර තාලෙනි. ඒවා නම් මට දිරවන්නේ නැත. 

මුල් දින කිහිපයේ ඉවසුවාට, ඊට පස්සේ මාත් කළේ පෙණය පිප්පීමය. “ජයන්ති හිතන්නෙ හරියට මාත් එයාගේ අත පල්ලෙන් වැටිලා කියලනේ!” ඡන්ටින් එක ජයන්තිට දෙන ගමන් මා කියන්නේ සෙනෙවිටය. බාගෙට හිනාවෙමින්ය. දවසෙන් දෙකෙන්ම ජයන්ති ඉඟිය තේරුම් ගත්තාය.

‘අද දෙන්නං’ කියාගෙන පටන් ගත්තත්, ජයන්ති ටිකකින්ම ගසා-බසා දමා නැඟිටින්නේ නහයෙන් අඬමින්ය. “අපෝ, උඹට පුළුවන් වුණාට දිගටම වාඩිවෙලා ඉටි උල-උලා ඉන්න මගේ පස්ස රිදෙනවා බං. සොරි මචං.... උඹ කැමැති නැහැ නේද උඹ-බං කියනවට.”

මොකද බං බං ගාන්නේ? බානේ වැල කැඩිලද............
ඒ අනෙක් කතාවය. ‘බං’. අපේ ගෙදරදී නම් කාටවත්ම ‘බං’ කියන්නට අපට අවසර තිබ්බේ නැතිය. ආච්චී හරි තාත්තා හරි වුණත් එහෙම කිව්වේ තරහ ගිය වෙලාවකය. අපෙන් කවුරුන් හෝ ‘බං’ කියනවා එයාලට ඇහුණෝතින් ප්‍රශ්නයක් ප්‍රතිවාදනය වෙනවාමය! 

“මොකද බං බං ගාන්නේ බානේ වැල කැඩිලද?”. (බාන කියන්නේ වැලකින් එකට ඈඳූ ගොන් දෙන්නෙකුටය. 

මළා! අද ගොන් දෙන්නෙක් කියාපු ගමන් කාගෙත් සිහියට එන්නේ රටම හඳුනන දෙන්නෙකි. අපොයි, මේ දවස්වල කට වරද්දාගන්න හොඳ නැත. ඊටත් කිරිසප්පයන් පවා දන්නා කතාවක් මොකට කියනවද? ඉතින් අර පුරුද්ද නිසාමදෝ, අදටත් මගෙන් ‘බං’ වචනය කියැවෙන්නේ නැතිම තරම්ය.

මගේ ජීවිතය දෙස ආපසු හැරී බලනවා නම්; සිංහාවලෝකනයක යෙදෙනවා නම් ඔය විදිහට අපේ ගෙදරින් ඉගැන්වූ-පුරුදු පුහුණු කරවූ දේවල් අපමණ ඇති බව පෙනෙයි. ඒ නීති-රීති වැඩි හරියක් දැන් fb එකේ පෝස්ටු විදිහටත් දැකගන්නට ලැබෙයි. හිතවත් ගාමිණී බණ්ඩාර ෂෙයාර් කරගෙන තිබුණු එකකි මේ. 
ඇත්තෙන්ම මේකෙන් කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව ගැන නේද? මේවාට ‘like’ දමනවා විනා, ඒවා ගැන අප හිතා-බලනවාද?
මේවාට likes දමලා අමතක කරනවා මිස, ඒවායේ අරුත ජීවිතයට සමීප............. 
ජයන්ති, සෙනෙවි වැනි අතිශයින්ම පටු මානසිකත්වවල උන් අය සමඟ පවා කටයුතු කිරීම මට ලෙහෙසි වුණේ, මේ මැද පිළිවෙත නිසාය. 

කොතෙක් හිතෛෂී වුවද; සමීප වුවද මගේ කිසිම මිතුරෙකුට මා ඕනෑවට වඩා කිට්ටු වෙන්නේ නැත. ආස්සරය අතේ දුරින්ය. කිසිවකුට මගේ සියලුම තොරතුරු මා කියන්නේ නැත. රහස් ගැන මගේ පරෙස්සම ඊටත් වඩා හපන්ය!!

අනේ, සමාවෙන්න ඕනේ. මෙයින් කියන්නේ මගේ ගතිය ගැන මිස, මගේ හිත-මිතුරන්ගේ අඩු-පාඩුවක් ගැන නොවේ. “මූ ගල් ආඳා. අපිටවත් සේරම කියන්නේ නැහැනේ. අපි කියන ඒවා නං අහගනියි.” සමහරු මට කියති. මං මොනවා කරන්නද? ඒ මගේ උපන් ගතියය.

මේ ‘උපදේශ කාව්‍යය’ කියවද්දී තේරෙන්නේ තවත් එහෙම අය ඉඳලා තිබෙන බවයි..

    රැවුල එන්ට පළමුව තරුණයා        වෙතී
    අලියා එන්ට පළමුව මිණි හඬ    ඇහෙතී
    ගොරවාලන්ට පළමුව විදුලිය    කොටතී
    උපන් ගෙයි ගතිය බලි ඇරියත්  නොයතී

ගොරවාලන්ට පළමුව විදුලිය කොටතී...............
ඉතින්, මගේ ජන්ම ගතිය ඔහෙ තියෙද්දාවේ. ඒක නිසා වෙලා තියෙන; වෙමින් තියෙන දේවල් ගැන කතා කරමුකෝ. නේද? 

ජයන්ති වැඩියත්ම කළේ ඒ නිවහනේ දූලා දෙන්නාගේ රාජකාරිය. දැනටමත් මං නිහාමු ගැන නම් කියා තිබේ. මං රුහාමුව ඉස්සෙල්ලාම දැකගත්තේ එහාට ගිය දවසේ දවල් කෑම වේලාවේය. එයාගෙත් රූප සම්පත්තිය අඩුවක් නැත. සුදුය; උසේ තරමට මහතය.

රුහාමුට තිබුණේ ඒ කාලයේ ආසියාතික රූමතියකගේ සිරුරකි. එහෙම ‘ඒ කාලයේ’ කියා කියන්නේ දැන් trend එක කෙට්ටු; සිහින්; ඇඟක් නිසාය.

රුහාමුට තිබ්බේ පිරුණු අඟපසඟය. ඇත්තම කියනවා නම්, මං එයා දිහා බැලුවෙත් හොරෙන් වගෙය; ඇස් කොණෙන්ය. ඒ වෙන කිසිවක් නිසා නොවේ, මගේ ලජ්ජාව හින්දාය; එයාගේ වස්තරේ හින්දාය. එයා ඇන්ද ගවුම් සේරම වගේ සෑහෙන්නට කර හාරා කපාපු ඒවාය; ‘ජාතික කිරි මණ්ඩලයම’ පෙනෙන ජාතියේය. ඒ මදිවාට ඒ ගවුම් උසෙනුත් සෑහෙන්න අඩුය.

අපේ ඉස්කෝලේ යහළුවන් නම් එහෙම අඳින අයට කිව්වේ ‘ගල් එළියේ දාගෙන’ කියලාය. උන් දකින්න තිබ්බේ රුහාමු මේසයට වාඩිවෙන ලස්සනය. එයා වැඩියෙන්ම වාඩිවෙන ඉරියව්වේදී කළේ, කකුල් දෙකම උස්සා ඉදිරිපිට පුටුවක් උඩින් තියාගැනීමය.

රුහාමු පිඟන් පලඟාන් ආදියේ, පාට වූල් හා පාට නූල්වලින් විවිධ මෝස්‌තර..............
ඒ කලාත්මක ඉරියවුවෙන් යුතුව, රුහාමු කළේ තවත් කලා නිර්මාණ කාරියකි.

සුදු පිඟන්-පලඟාන්වල පාට නූල් හා වූල්වලින් මෝස්‌තර ඇලවීමය. වැඩිමනත් විස්තරයක් නම් මට බලාගන්නට විදියක් වුණේ නැත. ඒත් රුහාමු ඒවා හැදුවේ විකුණන්නට බව නම් සෙනෙවිලා කීහ.  

ඒ ගෙදර හැමෝම සල්ලි හම්බ කරන්නට පේවී උන් අයයි.’  පසුගිය පෝස්ටුවෙදී මම කීවෙමි.
මේ බිස්නස් එක කෙරෙව්වේ කවුරුන්දැයි පැහැදිලිවම නොදනිතත්, ඒ ගෙදර තවත් ව්‍යාපාරයක් සරුවට කෙරුණේය. 

‘බෝතල් කළ කෑම නිපදවීම’. හැදුවේ වර්ග කිහිපයකි. අච්චාරු, පොළොස් පැහි, හාල්මැස්සන් පැහි හා වම්බටු මෝජුය. ඒවා හදන දවසට සෝමා අම්මෙටත්, ඇසිලින් අම්මෙටත්, ජයන්තිටත් විතරක් නොවේ- සෙනෙවිටත් බර වැඩය.
   
ඒකෙන් මටත් වාසියක් වුණේය. එහෙම හදන කෑම, හොඳින් සෝදා වියළාගත් පිරිසිදු බෝතල්වල අසුරන්නේ නිවුණාට පස්සෙය.


පොළොස් පැහි, හාල්මැස්සන් පැහි වගේ දේවල් හදන දවසට මගේ පිඟානටත්.........
එහෙම දවසට බත් කන වෙලාවෙදී අර ජාතිවලින් හැන්දක්-දෙකක් නොවරදවාම මගේ පිඟානටත් වැටෙයි. මා පළමු වතාවට පොළොස් පැහි, හාල්මැස්සන් පැහි කෑවේ එහෙදීය. (සමහරුන් පොළොස් කරියටත් පැහි කියලා කිව්වත් ඒක වැරැදිය. බටු මෝජු හදනවා වගේ ගන්නා හැම දෙයක්ම තෙලෙන් බැදගෙන- විනාකිරි, කහ, අබ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු පදමට එකතු කරගෙන අනලාය පැහි හදන්නේ.)

ඔහොම සිල්ලර උදව් කළ සෝමා අම්මෙට එහෙමත් පළමුවෙනි සතියෙන් පස්සෙම මං හින්දා ලොකු පාඩුවක් වුණේය. ඒ රෙදි ඩයි කරන්නට ගියාමය.

බතික් නිර්මාණයක් කරන කෙනෙකුට සැලසුමක් තිබිය යුතුමය. Wax කරන්නට කලින්ම ඒ රෙද්දට යොදන වර්ණ ගැන හිතා බලන්නට වෙයි. ළා පැහැයකින් ඩයි කළ රෙද්දකට ඊට වඩා තද පැහැයක් දමනවා මිස, වෙනත් ළා පැහැයක් දැමීමට බැරිය. 

ඒ ක්‍රමය මෙහෙම කිව්වාම වඩා පැහැදිලිය.

ළා කහ- තද කහ- තැඹිලි- රතු- දුඹුරු- කළු. මේ අනුපිළිවෙලට සුදු රෙද්දකට වරින්-වර වර්ණ යොදන්නට පුළුවන්ය. 

කහ- රතු- කළු එක ක්‍රමයකි; කහ- කොළ- කළු තවත් ක්‍රමයකි..........
කහ- කොළ- කළු තවත් පිළිවෙලකි. ළා නිල- තද නිල- කළු. ඒ තවත් ක්‍රමයකි. 

නමුත් රතු පාට දැම්මාට පස්සේ ඒවාට කොළ පාට හෝ නිල් පාට හෝ දාන්නට බැරිය. රතු පාටට කොළ පාට එකතු වී හැදෙන්නේ කළු පාටකි. මේ, මං කිව්වේ මූලික ටිකක් විතරය. කහ පාටට නිල් පාට එකතුවී හැදෙන්නේ කොළ පාටය.

ස්කාෆ්, සරොම්, කමිස, සාරි, වගේ දේවලට දාන්නේ පාට තුනකි. බොහෝ විට ඊටත් අඩුය. (ඒ වියදම ගැනත් හිතන විටය.) 

ඉතින් මුල්ම සතියේ අප ඉටි කළ රෙදි සේරටම දාන්නට කතා කරගෙන හිටියේ රතු-කළු පාට දෙකත්, කොළ-කළු පාට දෙකත්ය. ඒ විදියට වැක්ස් කළ රෙදි ගොන්නකුත් සූදානම්ය. නිහාමු ගරාජයට ආවේ කිරුම්-මිනුම් සේරම ලියූ සටහන් පොතකුත් උස්සාගෙනය. සෙනෙවි ඩයි වර්ග දමා තිබුණු පෙට්ටිය උස්සාගෙන ආවේය. ජයන්තිත් ලෑස්තිය.

ඩයි දැමීම අව්ව වැටෙන තැනක කිරීමට බැරිය. එහෙදී හැමදාම ඒ රාජකාරිය කළේ ගරාජයේදීය. ඔය කිව්වේ නිහාමු කියා දුන් හැටිය. ක්‍රම සහ විධි ඉගෙන ගත්තාට පස්සේ ඕනේ මඟුලක්!

ඉටි තැවරූ රෙදිවලට ඩයි දැමිල්ල අව්ව වැටෙන තැනකදී කරන්නට බැරිය!
මොකුත්ම නොදන්නා නවක මං කළේ සේරම; අල්පෙනෙත්තියක් තරම්වත් මිස් වෙන්නට නොදී බලාගෙන හිඳීමය. 

එහෙම බලාගෙන ඉඳලා එකතු-පහදු කරගත් විස්තරය, මෙහෙම අදටත් වමාරන්නේ. ඒත් ඒකට තව පෝස්ට්ස් කිහිපයක් ලියන්නට වෙයි වගේය!


13 comments:

  1. "නිදි" ගේ බතික් දැනුම සහ අනිකුත් හැකියාවන් ගැන කියවුනාම මට හිතෙන්නේ ඔයා Jack of all trades ජාතියේ එක්කෙනෙක් කියලයි. ඒ වගේම අතීතය මතක තබා ගැනීමේ විශ්මිත හැකියාවකුත් තිබීම ගැන ඔයා ආඩම්බර විය යුතුයි. රසවත් බ්ලොග් පෝස්ටුවට ස්තුතියි.

    ReplyDelete
  2. හැබැයි සෑම්, ඔයා දන්නවද මට කාර්මික පැත්තේ මොකුත්ම බැහැ කියලා. ප්‍රින්ටින් මැනේජර් කෙනෙක් විදිහට අවුරුදු 23ක්, ආයතන තුනක වැඩ කළාට මොකෝ අදටවත් ඒ මැෂිමක් on- off කරන හැටිවත් නොදන්නා මැට්ටෙක් මං.

    කලින් කිව්වනේ, හෙල්මට් හතක සල්ලි දීලා අරන් තිබුණත් දන්නේ පිලියන් එකේ වාඩිවෙලා යන්න විතරයි.

    මතකය නං වැඩිවෙන්න ඇත්තේම අපේ ආච්චී මට කවමු කොළ-පලා කන්දරාවත්, තවමත් මං එළුවෙක් තරමට කන කොළ සම්බෝල කන්දත් නිසා වෙන්නැති.

    ඉතින් මහත්තයෝ, ඒ මතක තිබීම හින්දාම අහන්නේ, ඔයාගේ රහස් එළියට දාන්න පටන් ගත්තද?

    ReplyDelete
  3. සුන්දර ලිපියක්; මම මේ කෙහෙල් මල් එක් රටාවක් ලිආගෙන යන්න ගිහින් මගේ ජීවිතෙ "තුන - පහ" ගැන ලිවීම යට ගිහින් . ඒ නිසාමයි මගේ බොහෝ චාරිකා සටහන් "මාගල්" වී ඇත්තේ!

    අපූරු ලියමනක්! අතිශය සුන්දරයි.

    අන්න අළුත් පෝස්ට් එක දැම්මා. මොන එකක් වෙලාද මන්දා ඒක සින්ඩි වල අප්ඩේට් වෙලා නෑ. ඉබා ගාතෙ ආපු එවුන් විතරයි දැකලා තියෙන්නේ!

    ReplyDelete
  4. ඔය අඹයහළුවෝ නාට්‍යය ටීවී එකේ යන දවස්වල අපේ අම්මා ඒකෙ නම කියෙව්වෙ "ය" යන්න නැතුව. අපි කියෙව්වෙ "ය" යන්න ලොප් කරලා "හ" යන්නට "එ" යන්න ආදේශ කරලා...

    ReplyDelete
    Replies
    1. එතකොට ඩ්රැකී උන්නැහේ ඉල්ලන්+දැරි වයසේ වෙන්ටෑ!

      Delete
    2. ඉස්කෝලෙ හතර වසරෙ... හැක්

      Delete
    3. පොඩිකමට නෙවෙයි නේද ඇට්ටර වැඩ?

      Delete
  5. යකඩො ඊයේ මීකට මාගලක් විතර දිග කොමෙන්ටුවක් ලියලා ලියලා එල්ලුවා. අද බැලුවාම ඒක බහිරවයා ගිලලාද කොහේද?
    හැමදාම ෆ්‍රයිඩ් රයිස් කකා ඉඳලා කිරට හදපු දෙල් මාළුවට බදපු බල කරෝල කෑල්ලක එක්ක සුදු බත් ටිකක් කන්න ලැබුනා වගේ. මදි පාඩුවට මැල්ලුමකුත්!

    ඉතින් මේ වගේ රස කතා මගේ ජීවිත කතාවෙත් එහෙන් මෙහෙන්! ඒත් මේ ලියන්න පටන් ගත්තු ලිවිල්ලට පොඩ්ඩක් එහා මෙහා උන ගමන් දන්න කියන එවුන් මග තොටේදි හම්බුනාම " යකෝ මිනිස්සුන්ට පුළුවන් දේවළුයි බැරි දේවළුයි කියලා දෙකක් තියෙනවා! කොච්චර ට්‍රයි කලත් පෝලියෝ රෝගීන්ට ෆුට් බෝල් ගහන්න බෑ බං!" කියලා ආදරේට වගේ කියනවා. ඉතිං ඒ ලිවීම එච්චරම තමයි.

    ඉතින් නිදි රසවත් ලියැවිල්ලක්! කියවන්න තමයි වෙලාව හිග. මොකද සතියකට වචන 2000 ක් විතර ලියන ලියවන පට්ටලයක් වන බැවින්!
    එළ!

    ReplyDelete
    Replies
    1. ඊයේ කමෙන්ට්ස් බලමින් ඉඳිද්දී spam එක උඩ ක්ලික් වුණා. අයම එක ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා දැනුමැත්තෙක් තමයි අහගන්න ඕනේ. අනේ, සමා වෙන්න, නොදැන වුණ වැරැද්දට.
      මං හිතාගෙන හිටියේ මගේ ලියන වේගය අඩුයි කියලයි. අනෙක, දන්නවනේ...... මැරෙන්න කලින් පුළුවන් තරමක් ලියලා ඉවර කරන්නත් ඕනැනේ.
      මගේ ලියවිල්ල කියවනවාට ස්තුතියි. ඔයාගේ ලිවීමත් අතපසු නොකරනවා නං නේද හොඳ?
      භින්නරුචික ලෝකෙක ඉන්න හින්දා හැමෝම කියන ඒවාට සවන් දුන්නට මොකද, හැමෝටම ඕනේ විදියට වැඩ කරන්න ගියොත් නං රජෝ..... මතකනේ බූරුවාව විකුණන්න ගෙනිච්ච තාත්තගෙයි පුතාගෙයි කතාව?

      Delete
  6. නිමල් අයිය බතික් .. බතික් ... කිව්වට අඹේවෙල පැත්තේ ගොහිං ගල් කැටයම් බලාගෙන ඇවිල්ල :-D

    ReplyDelete
    Replies
    1. බලාගත්තා නෙවෙයි, එළියේ තියාගෙන ඉන්නකොට පෙනුනා!

      Delete