අකුරු මැකී නෑ

Sunday, May 12, 2019

යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස

“බුදු අම්මෝ, මං දාගත්ත ලෙඩක්! ඊයේ රෑ තමයි රෑ නිමල් අයියේ! අනෙ අම්මෝ, පළ දුන්නු කරුමයක්!!”


සාන්ත, අයස්මන්ත හා සකලසූරිය වෙරුගල් ආරු පාලම් පාරුව උඩදී............
කොහෙ ගියත්, කීයට නිඳාගත්තත් මට උදෙන්ම ඇහැරෙයි. හුරුළුවැව තානායමේය කියලා ඒක වෙනස් වුණේ නැත. පිබිදී, වැව පැත්ත බලන්නට හිතාගෙන ඉස්සරහට එද්දී සකලසූරිය මට කීවේ නෝක්කාඩුවකි.

“ඇයි මොකද වුණේ?”

“වෙන මොනවා වෙන්නද? අතින් සල්ලි දීලනේ මං හූනියමක් කරවාගත්තේ..... අරුං දෙන්නා මට එක විනාඩියක් ඇහැ පියවගන්න දුන්නෑ. ආසන දෙකේ බණ කියනවා වගෙයි නිමල් අයියේ...... යක්කු එළවන්න ආටානාටිය කියනවට හපන්. මගෙ අම්මපා! එහෙමත් ගෙරවිල්ලක්.... තරගෙට.... දෙයියනේ, ඕකලට හොඳක් නං වෙන්න එපා. මං පාන්දර ඉඳන් මෙතැන පුටුව උඩ.” සකලසූරිය දිගටම නහයෙන් ඇඬුවේය.

ගමනක් ගියාම මහන්සිය ඇරෙන්නේ හොඳ නින්දක් දැම්මාට පස්සෙය. ඒක කරගන්නට බැරි වන සේ සකලෙට කෙළවිලාය!

මම සර්වශුභවාදියෙක්මි. විපත්තියකදී වුණත් මට පෙනෙන්නේ එහි සැඟව ඇති හොඳකි. ‘දුෂ්කර වකවානු ශක්තිමත් මිනිසුන් තනයි!’ 

ඒ වෙලාවේ නම් මං, මගේ දර්ශනවාදය සකලසූරියට දෙසන්නට ගියේ නැත. දහසක් බුදුන් බුදුවන පාන්දර යාමයක, යක්කුත් බය වෙන තිත්ත කුණුහරුප අහගන්නට කැමැති මොට්ටයෙකු වෙන්නද? එවෙලේ නොකිව්; නොකියා හිර කරගෙන හිටි ඒවා දැන් කියන්නට කාගෙන් තහංචියක්ද?

ශක්තිමත් මිනිස්සු සමෘද්ධිමත් සමයක් උදා කරති!
පීනසේද කොහෙද කියලා මහ පාන්දර නොනැඟිටින; නැඟිට්ටත් හචිස්-හුචුස් කියමින් කිඹුහුම් වස්සන කෙනෙක් එදා පාන්දර නැඟිට්ටේ දුෂ්කර රාත්‍රියක් විසින් ශක්තිමත් මිනිසකු තැනූ බැවිනි. කොච්චර හොඳ ප්‍රතිඵලයක්ද?

ඉහළින් ඇති දෙවෙනි ෆොටෝ එක මං දැක්කේ අතුල අබේරත්න අයියාගේ fb පිටුවකිනි. ඒකෙ දෙවෙනි වැකියෙන් කියන්නේ ශක්තිමත් මිනිසුන් සමෘද්ධිමත් සමයක් උදා කරන බවයි. ඊට පස්සේ....?

ඒ ෆොටෝ එක මම දෙකට කැඩුවෙමි. එහෙම කළේ බ්ලොග් එකේ පිටු කම්පියුටරයෙනුත්, මොබයිල් ෆෝන්වලිනුත් පෙනෙන; ඩිස්ප්ලේ වෙන විදිහ නිසාය. පින්තූර දිගටි හැඩේකට තිබුණාම ලස්සනය. (ප්‍රින්ටින් ක්ෂේත්‍රයේ හිටි නිසාද මන්දා පිටු සැකැස්ම ගැන නිකම්ම ඔළුවට එයි!)

අනෙක් කාරණාව ගැනත් කියන්නේ මගේ කෝණයෙන් බලලාය. කා එක්කවත් අමනාපයෙන් නොවේ. ඉඩ තියෙන විදියට, වෙලාව ලැබෙන විදියට ‘නිදි’ත් හැකිතාක් වැඩියෙන් බ්ලොග් අඩවිවලට, fb එකට ගොඩ වෙයි. 

එහෙම කරන්නේ දැනීමක් ලබාගන්නටය; තව අයගේ අදහස් දැනගන්නටය; update වෙන්නටය. යමක් කළ යුතු හැටි වගේම නොකළ යුතු හැටිත් ඉගෙන ගන්නටය. සමහර අඩවිවල තියෙන පෝස්ට්ස් දැක්කාම මටම පුදුමය.

කොහෙන්ද අප්පේ එයාලට ඔච්චර වෙලාවක්.............
ඒවා ඒ තරම් දිගය. කොහෙන්ද අප්පේ එච්චර දිගට කොටන්න වෙලාවක්? ඒවා කොටන ඇත්තන්ට වෙලාව තිබුණාට, ඒ සේරම එක දිගට කියවන්නට වෙලාවකුත් ඕනැනේ! 

එහෙම තිබුණත් ඩේටා? බොහොම අමාරුවෙන් කාඩ් එකක් දමාගෙන ජාලයට එන අය ගැනත් හිතන්න ඕනේ නේද? ඊළඟට මං වගේ පොට්ටයන් ගැනත් හිතන්න, හොඳේ. මම උපැස් පළඳින්නෙක්මි; කසිඩි-බිසිඩි මනුෂ්‍යයෙක්මි; පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේ වැඩ කරන කාලේ මට කිව්වෙත් Mr කලබල කියලාය. 

එහෙම මිනිහෙකුට ගොඩාක් දිග පෝස්ටුවක් කියවන්නට නොහිතෙනවා නං පුදුමද? 

කොච්චර පත්තර- පොත් කියෙව්වත් සෑහීමකට පත් නොවෙන මං, කොණ්ඩය කපාගන්නට ගියාමවත් නොකියවන දිනපතා පත්තරයක් තියෙයි. ඒක ජනප්‍රිය පත්තරයකි. ඒත් layout එක; පිටු සැකැස්ම නම් අන්තිම බව මගේ හැඟීමයි. එය ඇසට පීඩාවකි; මට නම්.

මේ ටික කියන්නේ කාට හරි ප්‍රයෝජනයක් වෙතැයි අවංකවම හිතාගෙනය.

හුඟක් අය හිතවතුන්ට වැරැදි පෙන්වා දෙන්නේ නැත. අප ප්‍රශංසා ඉවසුවත් විවේචන දරාගන්නට; ඒවායින් පලක් ගෙන හැදෙන්නට පුරුදු ජාතියක් නොවේ.

සමෘද්ධිමත් සමයක ඉන්නා මිනිස්සු ක්‍රමයෙන් දුර්වල..............
‘සමෘද්ධිමත් සමයක් තනන්නේ දුර්වල මිනිසුන්ය.’ 

‘අප්පට හුඩු!’ පුරුද්දට කිව්වාට මොකද මේ වදන් දෙකේ තේරුම්-පැහැදුම් ජේ. බී. දිසානායක මහාචාර්යතුමාවත් දන්නවාද මන්දා. 

ඉස්සර වගේ නම් එතුමා, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සරත් විජේසූරිය වැනි ප්‍රාමාණික සිංහල උගතුන් තිස්සෙම මුණ ගැහීමේ වාසනාව මට තිබිණි. රස්සාව නවතිනවාත් එක්කම ඒ වාසනාවත් ගිලිහිලාය.

ඉතින් අන්තිම කාරණාවට ආයේම එනවා නම්, එළඹෙන්නට වෙන්නේ දුක හිතෙන සීන් එකකටය. “දුර්වල මිනිස්සු නරක කාලයක් උදා කරති!”

වටේ පඳුරු තැළුවා ඇතිය. අද සිරි ලංකාවට වෙලා තියෙන්නේ ඒකද? 

50, 60, 70 දසකවල උපන් අය හැබෑම අවාසනාවන්තයන් වගේය. කොච්චර මරණ දකින්නට සිදු වුණාද? කොච්චර සැකෙන්-බයෙන් ජීවත් වෙන්නට වෙලාද? හිතන්නට ඕනෑය. හිතලා හැදෙන්නට ඕනෑය. ඒ දෙකම කරන්නට තියෙන්නේ අපටමය. එහෙම නොකරනවා නම් අප, අපතේ යවන්නේ ඉතා අගනා දේවල්ය.

එහෙම නොකරනවා නම් අප වතුරේ යවන්නේ............
ඔන්න හක්ස්ලි මහත්තයෝ ‘නරක කාලයක් උදා කරන දුර්වල මිනිසුන්’ කිව්වේ ඔබතුමාට හෙම නොවේ. හැබැයි, ඔයාට එහෙම හිතනවා නං මම මොනවා කරන්නද? 
අනෙක ‘නිඳි වර්ජිත අතිබිහිසුණු රාත්‍රියක් උදා කෙරෙව්වේ......’ වැඩි විස්තර ඕනෑ නැත.

හක්ස්ලිම මේ පෝස්ටුවේ පළමුවැන්නට මෙහෙම කමෙන්ටුවක් දමා තිබිණි. (මගේ බ්ලොග් අඩවියට පළමු කමෙන්ටුව දමලා තිබුණෙත් ඔහුමය!)

Huxley Perera  May 6, 2019 at 12:20 AM
සකලේ යි සම්පතුයි පහුවදා උදෙන්ම නැඟිටලා සුබ උදාසනක් කියනවා වගේ හොඳින් අමතල කාමරයෙන් පිට උනා.  ඒ ගොල්ලන්ට නින්ද ගියේ නැහැල්ලු රෑ එළි වෙනකම්ම මම ලී මෝල ස්ටාර්ට් කරලා කොට ඉරපු නිසා.

මගේ දයාබර රසික-රසිකාවියන් මවු කිරි බීලා හැදුණු අය මිස මදු කිරි බීලා හැදුණු අය නොවේ. එබැවින්, හක්ස්ලිගේ වචනවල තේරුම එයාලා නිසියාකාරව තේරුම් ගන්නවා නිසැකය.

“තොට හොඳ වැඩේ. මහ ලොකුවට එඤ්ඤ හක්ස්ලි අයියේ කියලා කැන්දගත්තා.” කවුදෝ කාමරයක් ඇතුළේ ඉඳගෙනම, බිමට xකාපු රිලවා වගේ හිටි සකලසූරිය මහත්තයාට හුරේ දැම්මේය.

සකලසූරියට හුරේ දැම්මේ මෙයින් එක්කෙනෙකි! සම්පත්, පීරිස්, නලින්, නන්ද කුමාර, නිදි, සාන්ත හා හක්ස්ලි.....
“බොලා හිනා වෙයල්ලා. ඔහොමද යකෝ මිනිහෙක් මුළු රැයක් පුරා නිඳිමරාගෙන හිටියාම අනුකම්පා කරන්නේ? උඹලත් මිනිස්සුද....” රණ්ඩුව දිගටම බලාගැනීමේ වාසනාව මට ලැබුණේ නැත. උයන හාදයා ප්‍රාදුර්භූතවී හිස වනා මට කතා කළේය. නොගිහින් කොහොමද? මොකක් හරි අහගන්න වෙන්නැතිනේ.

“මහත්තයා, මොනවද උදේට හදන්නේ?”
“ඇයි ඊයෙම මං කිව්වේ. උදේටත් බත්මයි කියලා.”
“හාල් නං තියෙනවා සර්. බිත්තරත් තියෙනවා. කැරට් අල දෙකතුනකුයි, පොඩි පොල් ගෙඩියකුයි තමා ඉතිරිවෙලා තියෙන්නේ.” කුල්ලක තබා තිබුණු අපේ ඉතිරි සේසතම මිනිහා මට පෙන්නුවේය. “බිත්තර හොද්දක් හදමුද?” මං තරහ හංගාගෙන ඇහුවේ එයාගෙන්ම උත්තර ගන්නය.

හුරුළුවැව සර්කිට් බන්ග්ලෝ එකේ වැඩ කළාට, එයාලා හිටියේ වෙනම ගෙදරකය. උවමනාවක් වුණාම එහාටම ගිහින් කතා කරන්නටය අපට සිදුවී තිබුණේ. එයාලගෙ වැඩ කෙරුණේත් ‘එපා වාහෙට හොදි බෙදන’ තාලයටය. බාබකිව් කළ කුකුළු මස් ටික නොතිබෙන්නට රෑටත් හාමතේ ඉන්නටය තව ඩිංගෙන් අපට වෙන්නේ. 

උයන බඩු බාර දෙද්දී මං පැහැදිලිවම කිව්වේ අප උදේටත් කෑම කාලාම පිටත් වෙන බවයි. ඒ හිමිදිරියේ, ඒ පැත්තේ අප  දහ-දොළොස් දෙනෙකුට හීල සප්පායම් වෙන්නට තැනක් බලාපොරොත්තු වීම අමු මොට්ටකමකි.
බාබකිව් කළ කුකුළු මස් ටික නොතිබුණා නම් හෙම............
උයන-පිහන බඩු අපම ගෙනගොස් දෙන තැන්වලදී මේ සෙල්ලම අපට පුරුදුය. එහෙම අයත් එක්ක රණ්ඩු වෙනවාට වඩා පහසුම දේ අවශ්‍ය තරමටත් වඩා බඩු ගෙනිහින් දීමය. එහෙමත් කරලාය, මේ පොඩි පොල් ගෙඩියක් විතරක් ඉතිරිය කියන්නේ.

“සර්ලා ඔක්කොටම බත් කන්න තරමට හොදි හදන්න නම් පොල්......” මං හිතුවේ ඔහු ‘ගෙදර තියෙන පොල් ගෙඩියක් හරි ගෙනෙන්නම්’ වගේ උත්තරයක් දේවි කියලාය. මොන? මිනිහා මටත් වඩා ගල් ආඳෙකි. හදන්නේ උදේට නොඋයා බේරෙන්නටය. ඒවා කොහෙද මේ නිමලුත් එක්ක.

“මං කියන්නම් වැඩක්. බිත්තර තම්බල ගනිමු. ෂෝක් කැරට් සම්බෝලයකුත් හදමු. පොල් ගෙඩියේ සම්බෝලවලට වැඩිය අහුපෑවතකුත් හිටිනවනේ එතකොට.” මං යෝජනා කළේ කරන්නට තිබුණු එකම විසඳුමය. 

අදටවත් මට වෙනින් කිසිවක් කල්පනාවට නොඑයි. මගේ කතාවට ඒ හාදයා වැඩි මනාපයක් නැති බව නං පැහැදිලිවම පෙනිණි.

ඒක තවත් හොඳට පෙන්වමින්, උදේ කෑම මේසයේ තිබුණේ කුඩා දීසියකට දැමූ කැරට් සම්බෝල ටිකකි. ඒකත් හදා තිබුණේ කැරට් අල පොලු ගහලාය. හීනියට කපලාවත් නොවේ. තම්බපු බිත්තරයි, ඒ සම්බෝලෙයි එක්ක කොහොමද බත් ටික බඩට යවන්නේ? ගිලෙන්නේ නැතිව හිර වෙයි. ඉතින්, අපේ හාදයන් බත්වලට වැඩියෙන් කෑවේ මාවය. අදටත් එහෙමය. මොනම කෙනෙක් එක්කවත් සම්පූර්ණ කතාව කියන්නේ නැත. “නිමල් දුන්නු මෙනු එකනේ මේ...” කියන්නේ එච්චරය!
ඉස්සර අපේ උන්නාන්සේලාට මුත්‍රා කරන්නට සකසා තිබුණේ කැටයම් කළ මුත්‍ර ගල්...........
ඉතින්, ‘අනුරාජපුරේ කිට්ටුව ලොකු කඳු කොහෙද බොලව්?” කියලාය මටත් අහන්නට  හිතුණේ, ඉස්සර හුඟාක් වයසක උදවිය කියාපු තාලෙටය. රිටිගල ඒ තරම් කන්දකි; කඳු ගණනාවක්ම පරිවාරෙටත් තියෙයි.

අදටත් හොඳම ‘සක්මන් මං පෙත්’ වගේම අපූරු කැටයම් සහිත ‘මුත්‍ර ගල්’ පවා දකින්නට ලැබෙන්නෙත් රිටිගල ආරණ්‍ය සේනාසනයේදී බවට මෙන්න සහතිකයක්.

මුත්‍ර ගල් කියාපු ගමන්ම අපේ ඔළුවට එන්නේ, වැඩියෙන් වතුර බොනවා නම් බොහෝවිට හැදෙන එක වළක්වා ගත හැකි; මුත්‍රාශයේ හැදෙන ගල්ය. මේ එව්වා නොවේ. රජ කාලේ හිටි අපේ මිනිසුන්ගේ ඉවසීමත්, කලා කෞශල්‍යයත් හොඳින්ම කියාපාන ශෛලමය නිර්මාණයකි. වෙලාව තියෙනවා නම් මේ මුත්‍ර ගලකුත් අද තියෙන ස්කොටින් පෑන් එකකුත් සසඳා බලන්න; කොච්චර ආඩම්බර හිතේවිද කියලා!

එහෙව් රිටිගල. යකුන්ගේ ජය බිම. නිසංසල සෙනසුන!!!

දහසක් කරච්චල් සද්ද-බද්දවලින් තොරව, නිසංසලේ දෙනෙත් පියාගෙන..... හීන් හුළං හීන් සැරෙන් හීන් හඬින් කියාගෙන යන රහස් අහගන්නට......; ‘උස මුදුනකටම වෙලා හිටියා මදැයි - දැන්වත් බිමට බැහැලා, අපට උඩ යන්නට ඉඩ දීලා, පාතම උන් පොළොව මහී කාන්තා අම්මගේ තුරුල්ලට ගිහින් සදාකාලික නින්දට යන්න ඕනෑ!’යි පතාගෙන බිමට වඩින තුරු පතක ගමන් ලතාව අහගන්නට.....; කොච්චරවත් අනේ බැහැ කිය-කියා, නැවතිල්ලක නැතිවම රේස් දුවන ජීවිතේට ඉස්පාසුවක් එකතු කරගන්නට..... හිතෙනවද?

වි ජ මු කියනවාටත් වඩා එතුමා පොදු ජනයා අතර ප්‍රකටව හිටියේ කොළ කැඳයා......... 
එහෙම වෙලාවක යන්නට අපූරු අඩවියක් විදියටය, මං රිටිගල දැක්කේ.

‘උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය’ හෙවත් ‘ඌ ඇන් පී’ එක 77 ආණ්ඩු පෙරළියෙන් පස්සේ බලයට ආවේය.  විජමු කියනවාටත් වඩා ‘කොළ කැඳයා’ නමින් පසු කාලයක වඩාත් ප්‍රසිද්ධ වුණු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහත්තයා ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තේය.

ඒ ඔසු පැන්- කොළ කැඳ ජනප්‍රිය කරවන්නටය. ඒකට කොච්චර විතර වියදම් වුණාද, වියදමේ හැටියට ප්‍රතිඵල තිබුණාද වගේ දේවල් ගැන මගේ දැනුම නිල්ය. හැබැයි එයින් පස්සේ සිරි ලංකාවේ නගර-ගම්-නියම්ගම් හැම තැනකම කොළ කැඳ කඩ දැක ගැනීමේ වාසනාව උදා වුණේය. ඒ trend එක තවමත් රජ වුණු ගමන්මය.

හිටි-හිටි ගමන් ඔහොම ලොකු; හොඳ වැඩ කෙරෙන බව අදටත් පෙනෙයි.  2030 වෙද්දී, ශ්‍රී ලංකාවේ හරිත ආවරණය; වන ගහණය 27% ඉඳලා 32% දක්වා වැඩි කිරීමේ ඉලක්කය තියාගෙන අපේ ගුවන් හමුදාව MI හෙලිකොප්ටර් යානාවලින් බිජු දමලා. ගෙවුණු දෙසැම්බර් මාසයේදී. ඒ රනෝරාවේ රජයේ වනාන්තරයෙ අක්කර පහක ප්‍රමාණයේ. තව ටිකෙන් මඟ හැරෙනවා, ‘බිජු දමලා’ කිව්වට ඒ බීජ නිකම්ම විසුරුවලා නෙවෙයි. ඊට කලින් ඒවා පොහොර මිශ්‍රණයක් එක්ක දවටලා, ගුළි කරලා.


මේ බිජු දැම්මේ MI හෙලිකොප්ටර් යානාවලින් ගිහින්ය!
ඒ project එක දියත් කෙරෙන්නටත් ඉස්සර අපේ කුප්‍රසිද්ධ කැලෑ පාළුවොත් දැන් තියාම ගුළිය අඹරාගෙන ඇත්තේ වැවෙන ගස් කපාගන්න!

එච්චර ලොකුවට ගුවනින් බිජු නොදැම්මට, ලොකු ටාගට්ස්  නොපෙන්නුවට අපේ අතුල අබේරත්න අයියාත් ලොකු ජාතික සත්කාරයක් කරනවා හීන් සීරුවේ. අතුල අයියාව ඔයාලට හමු වුණා ‘යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි’ පෝස්ටුවලදී. ඔන්න අතුල අයියේ, මෙච්චර දවසක් අහන්න හිටිය ප්‍රශ්නයක් දැන් අහනවා, ප්‍රසිද්ධියේම. ‘ඇයි කට්ටිය ඔයාට කටුස්සා කියන්නේ?’.

ඔයාගේ fb එක පැත්තේ ආවාම, මෙතෙක් දවසක් නම් ‘කටුසු ගතියක්’ මං දැක්කේ නැහැ. මං දැක්කේ හිත නිවන කතා; ඊටත් වැඩියෙන් ඔයාලා නිශ්ශබ්දව කරන මෙහෙවර.

අතුල අයියලා පුළු-පුළුවන් විදිහට, ඉඩකඩ නිවාඩු කොහොම හරි හදාගෙන; අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන පැළ හිටවනවා! වාසනාවන්!! මෙහෙම නිස්සරණාධ්‍යාශයෙන් මහන්සි වෙන අයට, පුළුවන් හැමෝම උදව් කරනවා නම් පුළු-පුළුවන් හැටියට. මාත් යහළුවන් කිහිප දෙනෙකුට කියන්නයි ඉන්නේ, ගම්පහට ගිහින් වෙලාවක අතුල අයියලත් එක්ක ශ්‍රමදානයක් කරමු කියලා. එහෙම කියන්නේ රිටිගල රක්ෂිතය වුණත් රහසෙම කෙසඟ වෙනවා වගේ පෙනුණු හින්දා.


අතින් වියදම් කරගෙන පැළ හිටුවන; වන වගා කරන අතුල අයියා වගේ උදවිය පොළොව මහී කාන්තාවට පෙම් බැඳී උදවියයි.
ඉතින් ‘නිමල් දුන්නු මෙනු එකේ’ විදිහට හැදුව කෑම අමාරුවෙන් කාලා රිටිගලට ගියාම නං කාගෙ-කාගෙත් හිත් සතුටෙන් පිරුණා වගෙය; ඔකඳ වුණා වගෙය. ඊට පස්සේ ......... 


  
පසුව ලියමි: කටුසු කතාව ගැන අතුල අයියා කෙටියෙන් කියන්නේ මේකය.

මට වෙච්ච අසාධාරණයක් හින්දා හිතේ තියෙන කේන්තිය අමාරුවෙන් යටපත් කරගෙන ඉන්න කෙනෙක්. ඒත් ඒක ප්‍රසිද්ධියේ කියන්න බැහැ. කිව්වට කාටවත් පිළිසරණක් වෙන්නත් බැහැ. ඒ හින්දම අසාධාරණයකදී මගේ තියෙන සෞම්‍යකම ඔටෝම නැතුව යනවා. ඒකයි ඒ.

9 comments:

  1. අම්මප මම හිටිය නම් මිනිහව හොදි හදනව

    ReplyDelete
  2. මධු,

    මට මතක් වුණේ ඉස්සර දැකපු කාටූන් එකක්. තිබ්බේ නවයුගයේද කොහෙද.

    ලොකු ළිපක් උඩ තියාපු ලොකු හැළියක් වටේ ගෝත්‍රික පිරිසක් නටමින් ඉන්නවා. ළිපට ගින්දර දාලා තියෙන්නේ. හැලිය ඇතුළේ මරබයෙන් මිරිකිලා ඉන්න මිනිහෙක්.

    'අද නම් සුප් එක බොන්න වෙන්නේ නැහැ. බයටම මිනිහට වෙන්න ඕනේ දේවල් හැලිය ඇතුළෙදිම වෙලා' කැප්ෂන් එක යටින් තිබුණා.

    ReplyDelete
  3. කැරට් කෑලියි බිත්තරයි එක්ක පාන්දර බත් ගිලිනකොට කට්ටියගෙ මූණු තිබ්බ හැටි ගැන හිතිගත්තහැකි. ඇති උං ටික නිමල් අයියව හොදි හදල නොගත්ත.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,
      මේ පෝස්ටුව ගැන මම fb එකේ දාපු සටහනට දාලා තිබුණු කමෙන්ට්ස් බලන්නකො, එතකොට තේරෙයි එයාලට එක මතක හිටලා තියෙන තරම. හොඳ වෙලාවට එයාලාගෙන් වැඩිම දෙනෙක් බ්ලොග් කියවන්නෙත් නැහැ, fb එකෙත් නැහැ. ජනපතිතුමා කියන විදියට විදග්ධයෝ වෙන්නැති!

      Delete
  4. Hello Nimal
    My friend Mr DB Kuruppu who lived in Melbourne and passed away year and half ago was telling about Nimal Disanayaka. That Nimal has also worked in the printing industry at Nugegoda area. Is that you?
    Regards
    Chandra hewage

    ReplyDelete
    Replies
    1. Yes Mr Hewage, that's me.
      කුරුප්පු මහත්මා ගැන මේ බ්ලොගයේ වරින්-වර ගොඩක් ලියවුනා. මගේ ජීවිත කතාවනෙ මේකේ ලියන්නේ. මුලින්ම; බලෙන්ම (කිත්සිරි කරුණාරත්න මහත්තයා අතට සල්ලිත් දීලා එවලා) මට කම්පියුටරයත් අරන් දුන්නෙත් කුරුප්පු මහත්තයානේ. ඉතින් කොහොමද එතුමා ගැන නොලිය ඉන්නේ?
      එතුමාගේ පොත්වල proof බලද්දී 'චන්ද්‍ර හේවගේ' නම ගොඩක් සැරයක් හමු වුණා. ඒ නිසා- දැකලා නැතත්, කතා කරලා නැතත් ඔබතුමා කුරුප්පු මහත්තයාට කොච්චර හොඳ යහළුවෙක් වෙලා හිටියද කියලා දන්නවා. හරිම සතුටුයි මෙහෙම හරි ඔබතුමාට ලියන්නට ඉඩ ලැබුණු එකට. කුරුප්පු මහතාගේ පොඩි දුව නම් දන්නවා බ්ලොගය ගැන.
      මම කුරුප්පු මහත්තය ගැන වෙනම පෝස්ට්ස් තුනක් බ්ලොගයට ලිව්වා. 'ආවොත් නොයා බැරිය' කියලා. මෙන්න ලින්ක් එක. http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_22.html
      ස්තුතියි!

      Delete
    2. දිසානායක මහත්මයා,
      වැඩිදුරටත් විස්තර දැනගැනීමට සහ දිවයිනට ආවිට හමුවීමට කැමැත්තෙමි.
      මට ඔබගේ ඊ මේල් ලිපිනය හා විස්තර පහත සඳහන් මගේ ඊ මේල් ලිපිනයට එවන්න. 

      hewage50@yahoo.com.au

      ස්තුතියි
      චන්ද්‍රා හේවගේ

      Delete