අකුරු මැකී නෑ

Monday, May 20, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස

මොකුත්ම නොදන්නා නවක මං කළේ සේරම; අල්පෙනෙත්තියක් තරම්වත් මිස් වෙන්නට නොදී බලාගෙන හිඳීමය. ගියවර පෝස්ටුව අවසන් කරද්දී මම කීවෙමි. 

නවක මං කළේ අල්පෙනෙත්තියක තරම් දෙයක්වත් මිස් වෙන්නට  නොදී........
මොකුත්ම නොදන්නා කෙනෙකුට යමක් ඉගෙනගන්නට ඕනෑ නම් කරන්නට තියෙන හොඳම ක්‍රම දෙක-තුනකි. එක්කෝ දන්නා කෙනෙකුගෙන් අසාගත යුතුය. නැතිනම් පොත-පතකින් හොයාගත යුතුය. දැන් නම් අන්තර්ජාලයත් පිහිටට සිටියි. 1971 මොන අන්තර්ජාලද? යන්තම් ජංජාලයක් ඉවර වුණා.......... නැත. යටපත් වුණා විතරය. 

ඉතින් එදා මාත් කළේ එකම අංශුමාත්‍රයක්වත් මිස් වෙන්නට නොදී සියල්ල බලාගෙන ඉඳීමය.

නිහාමු පොත බලාගෙන ගණන් හදයි. ‘අරකෙන් මෙච්චරයි, මේකෙන් මෙච්චරයි’. සෙනෙවිටත්, ජයන්තිටත් අණ කරයි.

‘ඔහොම නෙවෙයි, මේකට නෙවෙයි’. විවිධ විධාන නිකුත් කරයි. ඒ දෙන්නාම සීරුවෙනුත්; කලබලෙනුත්; අන්ද-මන්ද වෙමිනුත් මහා යුද්ධයක් කළහ. 
ඒ ඩයි මිශ්‍රණ හදා; දිය කරන්නටය. ඊළඟට ලොකු බේසම්වලට වතුර පුරවන්නටය.

“ජයන්තීඊඊඊඊඊ හිකි-හිකි ගාන්නේ නැතිව හරියට වතුර ගැලුම් ගාන ගැණගන්නවා. වැරැද්දුවොත් නං.....”

හිකි-හිකි ගගා ඉන්නේ නැතිව හරියට වතුර ..............
කාට නැතත් ජයන්ති නිහාමුට බයය. ඒත් පොඩ්ඩ බැරි වුණු ගමන්; නිහාමු අහක බලන ඇසිල්ලෙන්, ජයන්ති එයාටත් විරිත්තයි; කොකම් පායි. ඒවාට හිනා යන්නට ආවත් අමාරුවෙන් හරි නවත්තා ගන්නටය, මටත් වෙන්නේ. 
එහෙම නොකළොත් අමාරුවේ වැටෙන්නේ ජයන්තිය. පෙනුණේ සෙනෙවිට නම් ඒ වසංගා ගැනිල්ල හොඳටම පුරුදුයි වගේය.

හංගාගෙන; හැංගීගෙන හරි හිනාවෙන එක නම් හරිම වටිනා දෙයකි. හිනාව ඉනාවකි. තිස්ස දෙවේලේම හිනාවෙන්නට බලාගෙන ඉන්නා විට හිතවත්කම් වැඩියෙන් වගා-දිගාවෙන බව මගේ අත්දැකීමයි.

1976 මුල හරියේ බෙන්තොට බතික් ෆැක්ටරියකත් ටික කාලයක් වැඩ කරන්නට මට සිදුවිණි. 

ඒ කාලයේ මං නැවතී හිටියේ, ඒ බතික් වැඩපොළ හිමි මඩවිට පටබැඳිගේ සිරිසේන මහත්මාගේ නිවසේමය; ඒ ගෙදර ටෙරන්ස්, අතුල, ලොකු නංගී, කුමුදු නංගී වගේ අයත් එක්කම, බෙන්තොටමය. “අම්මපා ළමයෝ, ඔහෙ මහ පුදුම කෙනෙක්නේ. මෙහාට ඇවිත් මාස දෙක යන්න ඉස්සෙල්ලා මේ ගමේ මිනිස්සු එක්ක යාළු වෙලානේ. ගංකාරයා වෙලා මංවත් ඔය සමහරුන්ව අඳුනන්නේ නැහැනෙ.” එදා බෙන්තොට මුදලාලි කියූ කතාව එළි කරන්නේ වෙන මොකුත් නොවේ; මගේ හිනාවේ ආනුභාවයයි.

රවා බලනවාට වඩා බෙහෙවින්ම අඩු වෙහෙසකින්; අඩු මාංශ පේශි ගණනක් උපයෝගී කරගෙන හිනා වෙන්නට පුළුවන් බව හුඟක් අය නොදන්නවා වගේය. පාර-තොටේ යන්නෙත් මුහුණ එල්ලාගත් ගමන්මය. ඇහුවොත් කියාවි ‘ප්‍රශ්න තියෙනවා’ කියලා. මට තියෙන ප්‍රශ්නය ‘බුම්මාගෙන හිටියාම ප්‍රශ්න විසඳෙනවාද’ කියන එකය.

හොඳින් දිගු කල් ජීවත් වෙන්නට කැමතිද?
“හොඳින්, දිගු කල් ජීවත් වීමේ රහස අඩක් කා, දෙගුණයක් ඇවිදලා, තෙගුණයක්  සිනාසී, අප්‍රමාණව ආදරය කිරීමය.” එහෙම කියන්නේ ටිබෙට් කියමනකිනි. ඒක ඇත්තද?

හිනා වෙවී හරි නැතා හරි වේවා, ඩයි කරන විට ඩයි බාත් දෙකක් හදන්නට ඕනෙය. තව ලොකු, අමතර වතුර බේසමකුත්! නිහාමු ඒ දවස්වල පාවිච්චි කළේ නැප්තෝල්, නැප්තනිලයිඩ් කියන ඩයි දෙවර්ගයයි.

ඒ දවස්වල තිබුණු ඩයි වර්ගවලින් හොඳම ඒවාය, ඒ. මට මතක හැටියට නම් මේවා (ජර්මනියෙන්?) ගෙන්නුවේ බවර් සමාගමය. ඒ ජාති දෙකම එක විදිහමය. නම් විතරක් වෙනස්ය. කොම්පැනි දෙකක හැදුවා වෙන්නට ඕනෙය.

“හරි නේද? දැන් ඔය රෙදි ටික පරෙස්සමෙන් වතුරෙන් තෙමනවා. .... අනේ මේ ජයන්ති, අදත් කියන්න ඕනෙද? හෙමින්, හෙමින්... gently! නැති නම් වැක්ස් කරපුවා සේරම ක්‍රැක් වෙලා තියෙයි.”

මේ බිත්ති සැරසිල්ලේ සුදු පසුබිමෙහි කහ පාටින් තියෙන්නේ උවමනාවෙන්ම යෙදූ ක්‍රැක්ස්ය. 
පත්තෑයට පෙත්තෙන් -6 පෝස්ටුව කියවූ කෙනෙකුට cracks ගැන ආයෙමත් කියන්නට ඕනෑ නැතිය.

ඉගෙනගන්නා දේවල් පොතේ ලියාගන්නටත්, ඒකටම වහල් වෙන්නටත් පුරුදු වුණු අය එමටය. එයාලට එතනින් එහා පෙනෙන්නේ නැත. හිතෙන්නේ නැත. දැනෙන්නේ නැත. නිහාමුත් ඒ වංශයේ වෙන්නට ඇතිය. 

ස්කාෆ්, ලුන්ගි, ගවුම් වැනි ඇඳුම් වර්ග ඉටි කිරීමටත් එහෙදී පාවිච්චි කෙරුණේ වැඩියෙන් මී ඉටිත්, අඩුවෙන් පැරෆින් ඉටිත් යොදා හදාගත් මිශ්‍රණයකි. එහෙම කරලාත්ය, නිහාමු ක්‍රැක්ස් ගැන අච්චර වද වුණේ.

දන්නෝ දනිති! බතික් කරද්දී මී ඉටි යොදාගන්නේ එතකොට ක්‍රැක්ස්, ඉරි තැලීම් ඉතා අඩු නිසාය. ඒත් මී ඉටි මිලෙන් වැඩිය.

“ජයන්තිට ඔය සීරු-මාරු වැඩ බැහැනේ නිහාමු!” 
ඩයි කරනවා බලන්නට ඇවිත් හිටි ඈනුත් හොට දැමුවාය. කේන්තියෙන්, නොරිස්සීමෙන් හිටි ජයන්තිට සම මට්ටමේ ප්‍රතිවාදිනියක් හම්බ වෙලාය.

අනුන්ගේ වැඩවලට හොම්බ නොදා තමන්ගේ වැඩක් ..................
“මේ ඈන්! තමුසේ තමුසෙගෙ වැඩක් බලා ගන්නවා, නිකං පව් නොදී.... තමුසේ කරනවකෝ එහෙනං සීරු-මාරු වැඩ, නිකං බලා ඉන්නේ.” ජයන්ති කේන්තියෙන් කියන්නේ නිහාමුටත් වදින්නටය. කොච්චර කිව්වත් ඈන් හැදුණේ නැත. හොම්බ දැමිල්ල එයාගේ ජන්ම ගතියකි.

සෙනෙවිට, ඇසිලින් අම්මෙට, සෝමා අම්මෙට විතරක් නොවේ මටත්, ඉතාම ඉක්මනින් ඈන්ව වහකදුරු විණි. එහෙම වුණත් මං ඒ බව ඇන්ට පෙන්නුවේ නැත.

හරියටම කවුද කියලා මතක නැතත්, කෙනකු දෙතුන්-වතාවක්ම මට දුන් අභිධානයක් මට හොඳට මතකය. “තමුසෙ මහ සීතල කපටියෙක්!” ඇත්ත වෙන්නටත් ඇති. 

ඒත් මා ඒ කපටි නුවණ පාවිච්චි කරන්නේ ගැලවෙන්නටය; අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගන්නටය; ඇඟ බේරා ගන්නටය. කාවවත් අමාරුවේ දමන්නට හෝ කාටවත් අංචියක් අදින්නට හෝ නොවේ. කලිනුත් කිව්වෙමි. මා වග කියන්නේ මගේ හෘදය සාක්ෂ්‍යයට මිස වෙන කිසිම දෙයකට නොවේ!

මගේ අප්‍රසාදය ඈන්ට නොපෙන්නුවේ ඒ දවස් වෙද්දීත් මං ‘පංච තන්ත්‍රය කියවලා තිබුණු බැවිනි. කියවලා විතරක් නොවේ; එයින් හුඟක් දේවල් ග්‍රහණය කරගෙනත් හිටි බැවිනි.

දන්තිල සිටුතුමා රාජකාරිය කළේ වර්ධමාන පුරයේ රජතුමා ළඟ............
වර්ධමාන පුරේ හිටියා ‘දන්තිල’ කියලා සිටුවරයෙක්. මනුස්සයා සේවය කළේ රජතුමා ළඟ, උපදේශකයෙක් විදියට. ඔන්න දන්තිල සිටුතුමාගේ දෝණියන්දෑගේ විවාහ මංගල්ලේ ජයට ගත්තා. ඒ කාලේ ෂැන්ග්‍රිලා, ග්‍රෑන්ඩ් සිනමන්, ටෙම්පල් ට්‍රීස් තිබුණේ නැහැනේ. එයාගෙ මන්දිරේමයි ගත්තේ.

ඔක්කොම ලොක්කෝ, ලොක්කන්ගේ මායියෝ, දූ-දරුවෝ පවුල් පිටින් ආවා මංගල්ලෙට. ලෙහෙසියෙන් එළි-පහළියට නොඑන රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ ලලනාවොත් මේකට ආවා. 

හිටපු ජනාධිපතිතුමාත්, වත්මන් ජනාධිපතිතුමාගේ ‘මතට තිතට’ ගරු කරලද කොහෙද බාල පුතාගේ මඟුලට වද්දා නොගත්ත ‘මධු මදිරා’ දන්තිල දෝණි මංගල්ලේදි මදි නොකියන්න තිබ්බා. කවුරුත් ඇති පදම් කෑවා-බිව්වා. ගෝරම්භයාත් එහෙම බීලා හිටියේ. 
නිකම්මත් නෙවෙයි; අන්තඃපුර ලලනාවන්ට දැවටි-දැවටී, සම්භාවනීය ආරාධිත අමුත්තනුත් ඉන්න තැනකම වාඩිවෙලා!

ගෝරම්භ කිව්වේ සොක්කෙක්. රජමැඳුරේ cleaning පාටියේ වැඩ කරන කෙනෙක්. ඔය අතු-පතු ගාන රාජකාරිය තමයි.

ලොක්කන් ගොඩේ ඉන්න සොක්කා දැකපු දන්තිල සිටාණෝ ‘මළ අතේ තියාගෙන’ ඌ ළඟට ගියා. ගෝරම්භයාගේ බෙල්ලෙන් අල්ලාගෙන, ඇදගෙන ගිහින් ඌව මැඳුරෙන් එළියට දැම්මා.

ගෝරම්භ වැඩ කළේ ක්ලීනින් පාටියේ; අතු-පතු ගාන රාජකාරි තමා..............
ඒ යුරෝපා රටක් නෙවෙයිනේ. අපේ වගේම තමා, වංශෙයි කුලෙයි රස්සාවයි තකනවාමයි!

“හිටපං පුතෝ. අඹරන්නං හොඳ ගුළියක්!” ගෝරම්භ තරහෙන් පිපිරි-පිපිරී කල් බැලුවා. මිනිහා දන්නවා රජතුමාගේ රූටින් එක. දවල්ට රාජ භෝජනේ වැළඳුවාම පැයක-හමාරක nap එකක් අනිවා තමයි. (රජවරුන් රට කෑවාම නං එහෙම කෙටි නින්දක් දාන සිරිතක් නැහැ වගෙයි; රට යනවා විතරයි!) ඔහොම වෙලාවට ඉතින් සයනයට වැටිච්ච ගමන්ම නින්ද යන්නේ නැහැනෙ, ටිකක් එහාට-මෙහාට පෙරළි-පෙරළී ඉඳෙනවා.

රජතුමා ඔහොම නින්දත්-නොනින්දත් අතරේ ඉඳිද්දී ගෝරම්භයා නිඳන කාමරයට කිට්ටු කළා. අතුගගා හිටපු විදියට පෙනෙන්න කොස්සත් එක අතකින් අල්ලාගෙන, බිත්තියකට හේත්තු වෙලා, ඇස් දෙක වහගෙන ඔන්න දැන් ගෝරම්භයා කියවනවා. “දන්තිල සිටාණෝ බයක්-හැකක් නැතිව රජ්ජුරුවන්ගේ අග්‍ර මහේෂිකා උන්නාන්සේව බදාගත්ත හැටි.... අම්මපා!”

ඒක ඇහුණා විතරයි, රජ්ජුරුවෝ ඇඳෙන් බිමට විසි වුණා. පැනලා අල්ලාගත්තා ගෝරම්භයාගේ බෙල්ලෙන්. “මොකක්ද තෝ කිව්වේ?”

පැනපු ගමන් අල්ලා ගත්තා බෙල්ලෙන්ම.......
“අනේ උතුමාණෙනි, සමාවෙනු මැනවි. ඊයේ රෑ පුරා සූදු කෙළිමින් හිටි නිසා නිඳි වැරුවා. අඩ නින්දෙන් මරු කියවෙන්න ඇති!” ගෝරම්භයා වැඳ වැටුණා. 

අතුගාමින් හිටි කොස්සත් අරන් මිනිහට යන්න දුන්නත්, රජ්ජුරුවන්ගේ හිතේ කොස්ස ඉතිරියි. බැරිම තැන රජතුමා දන්තිල සිටුතුමාගෙ උපදේශක පට්ටම අයින් කළා. මාළිගාවට එන්නත් සිටාණන්ට ඉඩ නොදෙන වෙලාවේ, ගෝරම්භයා සිටුතුමා ළඟින් ගියේ කින්ඩි හිනාවකුත් දාගෙන.

හිටි ගමන් රජ්ජුරුවන්ගෙ වෙස් පෙරළුණේ කොහොමද කියලා කල්පනා කරද්දියි, සිටුවරයට මතක් වුණේ මඟුල් ගෙදර පලහිලව්ව! No doubt! 

සිටුතුමාට හොඳටම විශ්වාසයි මේක ගෝරම්භයා දුන්නු ගේමක් බව. ගෙන්නුවා මිනිහව. දුන්න ග්‍රෑන්ඩ් ට්‍රීට් එකක්. Gift පාර්සලයක්! “කොල්ලෝ, එදා උඹව හිටි තැනින් අයින් කළේ, රජතුමාට මදි පුංචිකමක් විදියට හිතෙයි කියන සැකේට. දන්නවනේ.... උන්නාන්සේට එහෙම හිතුණා නං උඹත් ගස්, මාත් ගස්. ඒකයි!!”

ගෝරම්භයාට තේරුණා කතන්දරේ. ඒ වගේම සිටාණෝ දුන්නු තෑගි-බෝග හින්දාත් තරහ නිවුණා. පහුවදා ආයෙමත් මිනිහා අඩ නින්දේ අතුගාන වැඩේ රඟපෑවා. එදා කිව්වේ මෙහෙම කතාවක්. “අනේ ඇත්තට අපේ මහා රාජෝත්තමයාණන් වහන්සේට හිරිකිත නැතිද මන්දා, ශරීර කෘත්‍යය කරන ගමන් කැකිරි වළඳන්නේ.....”

මහ රජාට හිරිකිත නැතිද මන්දා..............
කතාවේ ඉතිරි හරිය කියන්නම ඕනේ නැහැනේ. පංච තන්තරේ තිබුණු ඒ කතාව ඉගෙනගෙන තිබ්බ හින්දයි, මං ඈන්ව ෂේප් එකේ තියාගත්තේ. ඈන්ගෙ ලොක්කා සීහාමු. සීහාමුනේ ඒ ගෙදර නිසි බලධාරිනී. දවස තිස්සෙම වගේ ඈන් ඉන්නේ සීහාමු ළඟ; මැහුම් වැඩ කරන්නේ එතැන; ගෝරම්භී කෙනෙක් වෙන එක ඈන්ට ටොයිස්! හැබැයි, මාත් පොළඟා වගේ.... ඉවසාගෙන ඉඳලා දුන්නා වැඩක්.... ඒක කියන්නෙ අද නෙවෙයි, තව කල් තියෙනවනෙ එතැනට එන්න. තවම එහාට ගිහින් සති කීයද? පළමුවෙනි ඩයි කරන දවසනෙ.

ඉටි කරපු රෙදි සීතල වතුරෙන් තෙමලා පළමුවෙනි ඩයි බාත් එකට දමනවා. ඒකේ තියෙන්නෙත් රසායනික ද්‍රව්‍ය ගොඩක මිශ්‍රණයක්. හරියටම කියනවා නම් ඒකෙ පාටක් නැහැ. බේස් එකක් වගෙයි. රෙදි ටික විනාඩි 15-20 විතර ඒ බාත් එකේ තියලා ගොඩට අරන් දෙවෙනි බාත් එකෙන් සීරුවට හෝදලා ගන්නවා. ඒ වැඩිපුර තියෙන හරිය හේදෙන්න. දෙවෙනි බාත් එකේ තිබ්බේ දියලුණු මිශ්‍ර වතුර වගෙයි මට මතක.

ඊළඟට තමයි රෙදි, තුන්වෙනි බාත් එකට ඔබන්නේ. ඒකෙත් තියෙන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක්. මුල් එකෙයි, තෙවෙනි එකෙයි තියෙන රසායනික දේවල් එකතු වෙලා තමයි අවශ්‍ය වර්ණය හැදෙන්නේ. විද්‍යාත්මක වචනවලින් කියනවා නම් ‘රසායනික ප්‍රතික්‍රියාවක්’.

ඩයි කෙරිල්ල කජු කනවා වගේ ලෙහෙසි වැඩක් නෙවෙයි..............
ඔය වැඩේ කියන තරම් ලෙහෙසි නැහැ. මොකද ඩයි කරද්දී අව් රැල්ලක් රෙද්දට වැටුණොත් එතැන පාට අනෙක් තැන්වලට වැඩිය අඩුවෙනවා; කලර් පැච් එකක් හිටිනවා. රෙද්ද නැමිලා- පොටවල් රැලි ගැහිලා තිබුණත් එහෙම වෙන්න බලනවා..... පිහිනන්න ඉගෙනගන්න ඕනේ නං වතුරට බහින්නම ඕනැනේ. මේකත් එහෙම හුට්ටප්පරයක්!

සීරුවට ඩයි දාපු රෙද්ද, සීරුවට ඇල් වතුරෙන් හෝදලා, සීරුවට වැලක වනලා පවනේ වේළාගන්න තමයි ඊළඟ රාජකාරිය! එහෙනං, ඊළඟ පෝස්ටුවට යන්න කලින් රෙදි වේළාගනිමු. ආආආආ තව එකක්.... ඒ අතරේම බලන්නකෝ ‘වී වේළිලාද?’ කියලත්.

10 comments:

  1. //‘වී වේළිලාද?’// දැන් කල් වැඩී.

    //බැයි, මාත් පොළඟා වගේ.... ඉවසාගෙන ඉඳලා දුන්නා වැඩක්....// මට නම් කරන්ට බැරිම වැඩක් මල පැන්නාම ලග ඉන්න එකා අදාලම නෑ.

    ReplyDelete
    Replies
    1. මධූ, මට නම් කල් වැඩි බවක් නොදැනෙන වෙලාවල් ඕනේ තරම්! (සභාවේ සිනා!)
      සැබෑ ලෙසම කේන්තියක් ආවාම මං නම් කතා කරන්නේවත් නැහැ, පුළුවන් තරම් නිහඬව ඉන්නවා. මොකද එහෙම වෙලාවට තමයි මගේ මෝඩකම එළියට එන්නේ.

      Delete
  2. “I regret that it takes a life to learn how to live.”
    ― Jonathan Safran

    ReplyDelete
    Replies
    1. Pra Jay, කොච්චර ඇත්තද? ඒක නේද ජීවිතේ?

      Delete
  3. රෙද්ද ගලෝගන්නැතුව ඩයි කරන්න ඉගෙන ගන්න සෑහෙන ට්‍රයි එකක් දීල වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසන්න.
      මොකද දන්නවද.... රෙදි ගලවගන්න උදව් කරන අය වුණත් ආයෙම රෙදි ඇඳගන්න උදව් වෙන්නෙ නැහැල්ලුනේ.

      Delete
  4. ඔය දන්තිල ගෝරම්භ කතාව අපේ අට වසරෙ සිංහල පොතේ තිබුණා.

    අර කේන්ති ගියාම කට පියං ඉන්න එක හරි. මටත් කේන්ති ගියාම පැය බාගෙකට විතර පස්සෙ ඒ තියරිය මතක් වෙනව. එතකොට මෝඩකං ඔක්කොම ගමටම පෙන්නලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් අස්සයා පැනල ගියාට පස්සේ.....?

      Delete
  5. මේක කියවගෙන යනකොට එක පාරටම අකුණක් ගහන්න වගේ මතක් උනේ අපිට ඉස්කෝලෙදි අත්වැඩ (වැරදියට හිතනවහෙම නෙමෙයි ඕං ) වලට හෝ ජිවන කුසලතා විෂයට බතික් කරන හැටි බොහොම සුළුවට ඉගැන්නුවනෙ. හැබැයි කොයි ඉස්කොලෙදීද කියල මතක නැහැ :O

    ReplyDelete
    Replies
    1. අදමයි මං ඒ වගේ තොරතුරක් ඇහුවේ. හරියට උගන්වන්න නම් තරමක හරි වියදමකුත් දරන්න වෙනවනේ..... නමුත් උගන්වන්න හැකි නම් හිත නිවෙන, තැන්පත් කරවන කලාවක්!

      Delete