අකුරු මැකී නෑ

Thursday, May 23, 2019

යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස

රිටිගල කැලෑ පාලු යකුන්ගෙන් ආරස්සාවී තියෙන්නේ හෙළ යකුන්ගේ මහිමයෙන්ද?
රිටිගලට ඉස්සර කියලා තියෙන්නේ ‘අරිට්ඨ පබ්බත’ කියලාය. ආරක්ෂිත පර්වතය! අරිට්ඨ මහ රහතන් වහන්සේ වැඩහිටි නිසා ඒ නම කිව්වාය කියලත් මතයක් තියෙනවා. කොහොම වුණත් තවමත් රිටිගල ආරණ්‍ය සේනාසනයත්, වන ගහණයත් ආරස්සා වෙලා  තියෙන්නේ යකුන්ගේ අණසක තවමත් තියෙන නිසා වගේය.

අණසක විතරක් නෙවෙයි, යකුනුත් තවම ජීවත්ව ඉන්නවාය. යන්තර-මන්තර-තෝත්තර-සූත්තර-ගුරුකම් කොච්චර කෙරුවත් අද වෙනතුරුත් යකුන්ව නැත්තටම නැති කරලා දාන්න පුළුවන් වෙලා තියෙනවද? නැහැනේ. 

දන්නවනේ, (රිටිගල ජයසේන); ‘මහසෝනා’ වගේම, රීරි යක්කුත් රට පුරාම තැන්-තැන්වල.....

මහසෝන්නු රීරි යක්කු තවමත් රට පුරාම ඉන්නේ!
2019 මැයි 12 ‘රාවය’ පුවත්පතේ ‘පද්ම තටාකය’ පිටුවේ පළවුණා ජීවන්ති රත්නසේකර ලියූ ‘ඉඩ හැරුම’ මැයෙන් කවි දෙකක්!

‘තබාගෙන ඉඩ මල්වලට නව
දළු දමද්දී තුරුලතා
හදාගෙන හිත තවත් මල් පෙති
බිම වැටෙයි මුනිවත දරා

බදාගෙන හැඬුවාට නටු අග
සරත් සමයෙහි පත් රටා
ලතාවට එන හීන් දළු දැක
උනුත් පොළොවට පෙම් කළා’

රිටිගල තරණය කරද්දී අපට දකින්නට ලැබුණු දසුන් වැල ජීවන්තිත් දැකලාද? රිටිගලටම නොගියත්, කොන්ක්‍රීට් වනාන්තරේක හිටිද්දී වුණත් ‘නව දළු - මල්වලට ඉඩදී මිහිමව තුරුලට වැදෙන වියපත් මල් - කොළ’ දැකගන්න වාසනාව නැතිද?

හදාගෙන හිත තවත් මල් පෙති - බිම වැටෙයි මුනිවත දරා.............
හැබැයි ඒ ඕනෑකමින් බැලුවොත් විතරය. එකම වෙනස, රිටිගල වගේ තැනකදී ගෙවෙන හැම තත්පරයකදීම ‘නටුවෙන් ගිලිහී, හංස ගීතය ගයාගෙන, මඳ සුළඟේ බිමට වඩින තුරුපත්’ හිඟ වීමයි. රිටිගල බැලූ-බැලූ අත මහවිසල් වනස්පති..... වෙම්බඩංගා වැල්...යටිවියන් තුරු.... අපමණයි!

එහෙම වෙන්නේ ඒ පින්බිම; යකුන්නේ රට, 1931 වගේ ඈත කාලයක ඉඳලාම දැඩි රක්ෂිතයක් කොට තිබීම නිසයි. හෙක්ටෙයාර් 1528ක්, නරක නැහැ නේද විශාලත්වයත්?

“නිමල් අයියට මතකයිද මීට කලින්, මේ වගේම සමනල්ලු සිය ගණන්වල රංචු දැකපු තැනක්?”

“ඒක අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න ඕනේ. වස්ගමුවේ මැදපිටිය කෑම්පින් සයිට් එකේ ඉඳලා එද්දී.... පාර දිගේම පියඹාගෙන ගියා මදිවට, පාර පුරා වහලාත් හිටියා. අජන්තයි, පෝලුයි අතු දෙකක් කඩාගෙන, ජීප් එකේ ඉස්සරහින් බොනට් එකේ වාඩිවෙලා පාරේ බිම වහලා හිටි සමනලුන්ව එළව-එළවා ආවා... හරිද?”

පාර පුරා දහස් ගණනින් වහලා හිටි සුදු සමනල්ලු..............
“ඇතිද අහගත්තා.... කැරටුයි බිත්තරයි කාලා වුණත් පොරට අම්බානක මතකයක් නං තියෙනවා!” එහෙම කඩුලු කතා-බතාවලින්වත් වෙහෙස නිවාගෙන, එකම වේගයකින් රිටිගල නඟින්නට අපේ නඩයට බැරි වුණේය. සමහරුන්ට හතිය. සිගරැට් කොට මුවෙන් එළියට පනිනවාය. සමහරුන්ගේ ‘ජින්තු’ ගෙවිලා වගෙයිලු.

“අපේ වයසේ හැටියට අපි දෙන්නට තියෙන ෆිට් එකවත් අරගොල්ලන්ට නැහැ වගෙයිනෙ නිමල් අයියේ” මට වඩා වැඩිමල් වුණත් හක්ස්ලි මට කියන්නේ එහෙමය. නඩේ ඉන්නා වැඩිමහල්ලන් දෙන්නා අපය. 

“අපොයි ඔව්! හිතේ ඇති ෆිට් එකේ ඉන්නවයි කියලා .... කොයි වෙලේ ගහලා යයිද දන්නෙ නැති මැන්ටලේ.” අපේ ළඟින්ම හිටි මහෝදරයා; සම්පත් අනිත් අයගේ පංගුවටත් එක්කම උත්තර දෙයි.

“හා හා මල්ලී, කෝප ගන්ට එපා. කෝප ගන්ට එපා. ඔයාලට ඕන කාලයක් ඔයාලා ඉන්න. මට නම් තුනුරුවන් සරණින් තව අවුරුදු හැටක් විතර හිටියාම හොඳටෝම ඇති.” හක්ස්ලි කේන්ති ගන්නේ එහෙමත් වෙලාවක විතරය.

අපේ මහෝදර සහෝදරයා සම්පත් කියන දේට වැඩියෙන් නන්ද කුමාර කියනදේ අහගෙන ඉන්නා නෙවිල්......
අනුන්ට මොනවා කිව්වත් නඩේ වැඩි දෙනා ශාරීරික යෝග්‍යතාව අතින් ‘පේල්’ය. ඒ කාගෙ-කාගෙත් වාසනාවට වගේ කඳු මුඳුනටම යන්නට අපට අවසර නැත. රිටිගල උඩටම යන්නට නම් විශේෂ අවසරයක් ගන්නට වෙයි. 
“එහෙම අවසර දෙන්නෙත් විශේෂ අයට විතරයි සර්. ඔය සමීක්ෂණ කරන අයට.... ප්‍රොජෙක්ට්ස් කරන අයට වගේ....” කඳු පාමුලදීම අපට දන්වා තිබිණි.

“හ්යාහ්....!” පහත බහිද්දී සම්පත් රණසිංහ කරලා පෙන්නුවේ කරාටේද, ජූඩෝද එහෙම නැති නම් අංගම්පොරද කියලා හරියටම හොයාගන්නට නං ජනාදිපති කොමිසමක් පත් කරන්නට වෙයි. එහෙම කළාය කියලාත් වැඩක් ඇතිවෙන හින්දා නොවේ. උත්තර නොදී, විසඳුම් නොදී, ප්‍රශ්නවලින් ගැලවෙන්නට හොඳම ක්‍රමය ඒක නිසාය. 

ඒ මොනවා වුණත්, ඉසුඹුලන්නට අප වාඩිවී හිටි කවාකාර මළුව සටන් ශිල්ප හදාරන්නටත්, පුහුණුවන්නටත් පාවිච්චි කළැයි කියවෙන්නකි.

වඩාත්ම ප්‍රචලිත මතය නම් ‘හෙළ සටන් කලාව’ ලෙස හැඳින්වෙන අංගම් හටන් පුරුදු වුණේ මෙහිදී බවයි.

හෙළ සටන් කලාව කියන්නේ අංගම් පොර හටන්වලටද?
ලංකාව පුරා කරාටේ, ජූඩෝ පන්ති තිබුණත් ඒ දවස්වල අංගම් පොර ගැන තරුණ පෙළ අතර තියා ගොඩක් වැඩිහිටියන් අතරවත් කතාවක් තිබුණේ නැත. 

මගේ දැනීමේ හැටියට නම් අංගම් පොර කරළියට ගෙනාවේ ජයන්ත චන්ද්‍රසිරිය. මුලින්ම ජයන්ත හටන් කළේ පෑනෙනි. ඊළඟට වේදිකාවේත්, ටෙලිවිෂන් එකේත්, සිනමාවේත් හිටු කියා පෙළහර පෑවේය. ‘වෙදහාමිනේ’ එක්ක දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හොයා ගිය ජයන්ත, ‘දඬුබස්නාමානය’ ඔස්සේ නිල ශාස්ත්‍රයත් - අංගම් පොරත් ගම්-නියම්ගම් පුරා පැතිරෙව්වේය.

දැන් රිටිගල සුමේධ, සුමුදු අමල්ක වැනි අංගම් සටන් කලාවේ දිසාපාමොක්ලා ඔවුනගේ ආධිපත්‍යය පතුරවති. මට මතක හැටියට නම් හමුදා සාමාජිකයන්ට පවා දැන් අංගම් හටන් ඉගැන්වේ.

අංගම් පොරවලදී ‘නිල’ ඇල්ලීමට ඉගැන්වීමත් නොවරදවාම කෙරෙයි. ‘නිල’ කිව්වාම SLFP කියා වරදවා වටහා ගැනීමෙන් වළකින්නත් ඕනෑය. ඒකේ දැන් අල්ලන්න ඇති උලව්වකුත් ශේෂවී නැතිවා වගෙය.


අංගම් පොර හදාරන ආධුනිකයන්ට නිල ඇල්ලීම එක්වරම කියාදෙන්නේ නැත.
අල්ලනවා නම්, අපේ සිරුරේ නිල ස්ථාන 107ක් තියෙන බවත් ඒවායින් 20කට වඩා මාරාන්තික ඒවා බවත් තමයි ගුරුනාන්සේලා කියන්නේ. ජීවිතයේ නිලස්ථාන හරි හැටි තේරුම් ගන්නා එක, සිරුරේ මර්මස්ථාන තේරුම් ගන්නවාට වැඩියෙන් වැදගත්ය.

“ඇත්තටම නිමල් අයියේ, මේ වගේ පළාතක තමයි පදිංචි වෙන්න ඕනේ. හරි සිම්පල්. කිසි කරදරයක් නැහැ.” 

වෙසක් දවසේ හැන්දෑවේ; මැයි 18 වෙනිදා හැන්දෑවේ සරත් කිව්වේය. ඒ ‘නකල්ස්වින්ඩි’ නවාතැන් පොළේදීය. 


කන්දෙගම, ගල්කඩල්ල දියවලෙන් සීතලම සීතල වතුර නාලා..... වදවලකන්දේ තුෂාර මංජුල ඇතුළු තරුණ නඩයේ දන්සලෙන් උණු, උණු රොටියි - ලුනුමිරිසුයි - ප්ලේන්ටීයි සප්පායම්වී ඇවිදින් කතාවට වැටුණු වේලාවේය.  

මාවත් එහාට එක්කරන් ගියේ අපේ සුමිතුරු WAL ප්‍රියන්තය. එයාලා අවුරුදු දවස්වලත් හිටියේ එහෙය. මටත් එන්නැයි බල කරලාම කිව්වත් එහෙම ගමනක් යන්නට තරම් හිත ඉඩ දුන්නේ නැත. බිමල්, අනිල් දෙන්නාම මරණාසන්නව හිටි නිසාය ඒ. බිම් නම් දැන් සමාදානයේ සැතපෙයි, පිළිකාවෙන් විඳවීමක් නැතිව.

කන්දේගම වදවලකන්දේ තුෂාර මංජුල ඇතුළු තරුණ නඩයේ රොටී දන්සලෙන් උණු-උණුවේ ............
 “නිමල්, අපේ කට්ටියටම නකල්ස්වින්ඩි හොඳට හිතට අල්ලලා. අපරාදේ ඔයා අවුරුදු ට්‍රිප් එකට නොආවේ. අපි ආයෙම මැයි 18, 19, 20 එහෙ යනවා. මේ සැරේවත් යමු, බැහැයි කියන්න එපා. ඔයාට නියම පොරක් අඳුරගන්නත් පුළුවන් වෙයි!” ප්‍රියන්ත කිව්වේ සහතික කරලාය. මම වචනය දුන්නෙමි.

සරත් විවාහ කරගෙන ඉන්නේ ප්‍රියන්තගේ බාලම නැඟණියවයි. 

“සරත්, මෙහෙ නිස්කලංකයි හොඳයි තමා. ඒ කොච්චර වුණත් මට නම් මේ වගේ පළාතකටම එන්න ඕනේ නැහැ සිම්පල් වෙන්න. අපිට බැරිද අනෙක් මිනිස්සු එක්ක තියෙන තරගෙ නවත්තගෙන සැනසිල්ල හොයාගන්න. ඉන්නේ කොතැනක වුණත් මොකෝ, හිත අපේ නේද? දැන් බලන්නකෝ උපුල්!”

නකල්ස්වින්ඩි නවාතැනට යන්නට කලින් හත්-අට දෙනෙකුම උපුල්ට චරිත සහතික දුන්හ. “ඔයාට අඳුනාගන්නම ඕනේ කෙනෙක් නිමල් අයියේ. හරිම හොඳයි.... ටිකක් කතා කරලා බලන්නකෝ. හැමදේම දන්නවා.” හතර දෙනෙක් හොඳය කියනවා නම් හතර වරම් දෙවිවරුත් කෙනෙකු හොඳයි කියා කියනවාලු. ඒ නිසාම, මෙච්චර කියන උපුල්ව දැකගන්නට, හඳුනාගන්නට, කතා කරන්නට මාත් හිටියේ මඟ බලාගෙනය.  

නකල්ස් වින්ඩි බංගලාවේ, උපුල් පෙරගමන් ආවේ කට පුරා හිනාවීගෙනය!
අප කොබෝනිල්ලේ, නක්ල්ස්වින්ඩි බංගලාවට යනවිටම උපුල් පෙරගමන් ආවේ, කට පුරා හිනාවීගෙනය. පළමු විනාඩි පහ යන්නටත් කලින්ම කවුරුන්දෝ මට උපුල්ව හඳුන්වාදෙන්නට සැරසුණේය. එයාට ඒ සතුට ලබාගන්නට ඉඩ දිය යුතුයැයි මොට්ට නිමල් දිසානායකට එවෙලේ අමතක වුණේය. ඌ ඉස්සරහට පැන්නේය. 

“දකින කොටම මං හිතාගත්තා. ඔයානේ උපුල්?”

රටේ නම් හරියටම මතක නැතත්, ස්කැන්ඩිනේවියානු රටක අවුරුදු කිහිපයක් සේවය කර උපයාගෙන ආ ලක්ෂ දහසයකටත් වැඩි මුදලින් ඔහු තමන්ට ඉතිරි කරගෙන ඇත්තේ පහක් විතරය. අනික් සේරම ගම්වාසීන්ට; වැඩිහිටි අයට දොරදන් දීලාය. 

“මට ලක්ෂ පහක් තියාගත්තා. වයසට යනකොට වැඩිහිටි නිවාසෙකට ගිහින් ඉන්න.” ඒ කියන්නේ ඒ මනුස්සයා අතහරින විදිහයි, නේද? ඒත් උපුල් හැට පැන්න කෙනෙක් නොවේ. හතලිහට පා නඟන්නට සැරසෙන්නෙකි.

මට පෙනුණු විදියට උපුල් පතපොත කියවයි; යෝග හදාරයි; සිංහල-ඉංග්‍රීසි දෙපන්නයේම සූප සාස්තරේ නම් දැනටමත් කෙළපැමිණිලාය. කියන පමාවෙන් කාටත් උදව් දෙන්නට ලැහැස්තිය.

රිටිගලෙන් පිටත්වී අප ගියේ ප්‍රියන්තගේ කායන්කර්නිවල ඉඩමටය.............
කිසාගෝතමී කී විදියේ ‘නිවී සැනහුණු කෙනෙකු’ දකින්නට නම්.... යන්න උපුල් කුමාර ජයසුන්දරව හමුවන්න. 

නිවන් දකින්නට ඔන්න-මෙන්න කියා සිටින සෝවාන් වූවන්; රහත් වූවන් ඉන්නා රටක පුරවැසියකු වන උපුලුත් නියමෙටම රඟනවා වෙන්නටත් පුළුවන්ය. හැබැයි එහෙම නම් උපුල්ට සරසවි; ජනාධිපති විතරක් නොවේ ඔස්කාර් සම්මාන වුණත් දෙන්නට වටිනවාය! ඒත් මගේ හිතේ වැඩිම පැත්තක් කියන්නේ ඔහු එවන් බොරුකාරයෙකු නොවෙන බවයි!

“අපේ කට්ටියේ සේරටම bungalow එකටත් වැඩියෙන් එහෙ යන්න ආසා උපුල්ගේ සැලකිල්ල හින්දා!” ප්‍රියන්ත කී කතාව ඇත්තකි. මාත් හිතාගෙන ඉන්නේ ළඟදීම අපේ පවුලේ අයවත් එහෙට දොක්කන් යන්නටය.

හැබැයි, අනේ මං නම් උපුල්ගේ අහලගම් හතකින්වත් තියන්නට පුළුවන් තරමේ එකෙකු නොවේ. එහෙම කියන්නේ.....

රිටිගලින් පිටත්වූ අපි නැවතුණේ ප්‍රියන්ත මිලදී ගෙන තිබුණු කායන්කර්නි ඉඩමේ වෙරළේය. ඒ වෙද්දී එතැන කැලෑවකි. රැය ගත කරන්නට වුණේ කූඩාරමකය. “අපොයි, ඕක අස්සේ නිදියනවට වැඩිය හොඳයි වැල්ලේ නිදියනවා. ඇහුණනේ ඊයේ රෑ.” ගෙරවීමේ භීෂණය අත්විඳි අය ආයෙමත් එවැන්නකට මුහුණපෑමට සූදානම් වෙද්දී කිහිප දෙනෙක්ම කූඩාරමට ඈතින් ස්ලීපින් බෑග්ස් දිගහැර ගත්හ.

ඇඳිරි වැටීගෙන එද්දී කායන්කර්නි වෙරළෙම කූඩාරම අටවාගෙන...........
“පිනි බාලා පීනසේ වැඩිවුණත් කමක් නැහැ, ගොරවන අස්සේ අදත් නිඳි මරන්න පුළුවන් කාටද?” තවත් එකෙක් එතනට ආවේය. රැය ගෙවුණේ එහෙමය.
   
“ළමයි, ඉක්මනට උයාගන්න වෙයි. තව ටිකකින් ඉර හොඳටම පෑව්වාම නම් මෙතැන වැඩක් කරගන්න බැරි වෙයි. ඔන්න ඉක්මනට මට උදව් කරනවා, බැහැ නොකියා.” 

අපරාදේ කියන්නට බැරිය. දෙතුන් දෙනෙක්ම මට අත දෙන්නට ආවෝය. වැරැද්ද එයාලා වැඩි දෙනෙකුට කුස්සියේ වැඩ මෙලෝ මලදානයක් බැරි එකය.

කොහොමින් හරි උදෙන්ම උයාගන්නට පටන් ගත්තා විතරය. හක්ස්ලිත් ඉස්සර කරගත් දෙතුන් දෙනෙක් හුරුල්ලන් වගයක් උස්සාගෙන එති. “දැන් ආපු බෝට්ටුවකින් ගත්තේ. fresh බඩු. නියමයි නිමල් අයියා.”

කිහිප දෙනෙක්ම දඩිබිඩියේ මගේ උදව්වට ආවෝය. වැරැද්දකට තිබුණේ...........
 “නියම වුණාට කමක් නැහැ මල්ලියෝ. මෙතැනම නැතිව, ආං අර ඈතට ගෙනිහින් මේවා සුද්ද කරගෙන ආවොත් උයන්නම්. හැබැයි මේ උයන ඒවා ඉවර වෙන්න කලින්. මටත් ඉක්මනට මේක ඉවර කරලා මුහුදට බහින්න ඕනේ. දවසම උය-උයා ඉන්න බෑ.” 

තරහක් මවා පාගෙන එහෙම නොකිව්වා නම් අපේ හාදයන් තවමත් හුරුල්ලන් සුද්ද කරමින් ඉන්නවාට සැක නැත.

උන්දැලා මොන වැඩේට බැස්සත්, ඉස්සර කරගන්නේ කටවල්ය. එතකොට පූජාව පරක්කු වෙන බවක් දැනෙන්නේ නැතිය.

ඇත්තම කිව්වොත් ඒ වෙද්දීත් ඉර අව්ව හොඳටම සැර වෙලාය. කලබලේ වැඩි නිසාම අත සෝදාගන්නට මං වහන්සේ පොල්තෙල් බෝතලය අතට වත්කර ගත්තෙත් එහෙදීය. මෙව්වා කියන්නේ ගතයුත්තක් ඇති නිසා නොවේ. නිදිටත් වරදින බව ප්‍රසිද්ධ කරන්නටය. අපේ යාළුවන්ට එතකොට හරි චූන්ය!

ගැඹුරක් ඇත්තේම නැති කායන්කර්නි මුහුදේ රැල්ලකුත් නැත. ඈතින් නොගැඹුරු මුහුදේ සුරංගනා ලෝකයක්..........
කායන්කර්නි ගියාම පිහිනන්නට නොදන්නා අයට වුණත් මුහුදේ ගව්වක් ඈතට යන්නට පුළුවනිය.

මුහුද ගැඹුරු නැත. අවුරුද්දේ වැඩිම කාලයකදී රැල්ලක් කියා නාමයක්වත් නැතිය.

ටිකක් ඈතින් ලස්සනම ලස්සන දිය යට සුරංගනා ලෝකයකුත් තියෙයි! එහෙම තැනකදී අනෙක් අය මුහුදේ බැහැගෙන ඉඳිද්දී, උයා-පිහමින් ඉන්නට මං ලැහැස්ති නැත. එදා උපුල් එතැන හිටියා නම්, අපට යන්නට කියා තනියම වුණත් උයාවි. ඒකට මං!

කොච්චර ගෙරෙව්වත්; ගොරවමින් ඉව්වත්, එදා මා ඉවූ හුරුල්ලන් මාළුව තිතටම තිබුණේය. එමින් ගමන, මින්නේරිය වැව ළඟදී දවල්ට බත් කද්දී කවුරු-කවුරුත් බත්වලට වැඩියෙන් කෑවේ ඒවාය.

එදා මා මිරිසට ඉවූ හුරුල්ලන් මාළුව තිතටම.......
එහෙම කාලාත් අද වෙනකල්මත් ආයෙ-ආයෙත් කියන්නේ කොහෙද හිටි මනුස්සයෙක්, කෝන්තර පිරිමසාගන්නට වගේ හැදූ කැරට් සම්බෝලයක අංකොන්ය. හුරුල්ලන් ගෙනා විට මං තරහෙන් පිම්බූ හැටිත් ඉඳහිට මතක් කළත්, ඒකෙ වරුණේ කියන්නට නම් වැරදිලාවත් ඒ යකුන්ගේ දිව නොනැමෙයි෴


12 comments:

  1. කායන්කේනියේ වැල්ලේ පොල් අත්තක් දාල නිදාගන්න හදනකොට පිරිස් දොස්තර මහත්තය මට මෙගා sprite බෝතලයකට වතුර දාල බෙල්ල යටින් තියාගෙන නිදාගන්න උපදෙස් දුන්න. ඒක නින්දෙන් ගෙරවීම වැළැක්වීමට උපක්‍රමයක්‌ .පසුව තමයි තේරුනේ අනිත් අයට කරදරයක් නැතිව නිදාගන්න පුළුවන් උනා කියල.

    ReplyDelete
    Replies
    1. හක්ස්ලි මහත්තයෝ,
      දැන් ගොරවන්නේ නැහැ නේද?

      Delete
    2. ප්ලාස්ටික් බෝතලයක් වතුර පුරෝල බෙල්ල යටින් තිබ්බාද ? නිදියන්න අපහසු නැද්ද ?

      Delete
    3. මිගාර, දැන් ඒ වයසක මහත්තයා මොකක්ද කොට්ටයක් අරගෙනයි එන්නේ. බෙල්ල වටේට 'මන්තෙ' වගේ දමාගෙන නිදියන්න පුළුවන් වෙන්න.

      Delete
  2. අයියන්ඩි තැන දැක්කම ආස හිතුන බැරිවෙයිද එක රෑකට අපිටත් ඉල්ල දෙන්න. කෑම්පින්ග් පාරක් දාල එන්න

    ReplyDelete
    Replies
    1. ප්රියන්තත් එක්ක කතා කරලා මං ඔයාට කියන්නන්, මධු.

      Delete
  3. මමත් ආසම වැඩක් තමයි කාම්පින්. සමහර කට්ටිය ආස නෑනේ කට්ට කන්න. නමුත් මේවායේ තියෙන රසය කියා නිම කරන්න බෑ. දවස් තුනක් හේනක ගෙවපු අත්දැකීම මමත් අකුරු කළා. පුළුවන් වෙලාවක බලන්න. මගේ යාලුවෙක් තැනක විස්තරයක් කිවුවා, මෙතන වෙන්න ඕනේ. එයාලා ගිහිං තිබුණේ, තොප්පිගල කිට්ටුව තියෙන මුහුදට.

    ReplyDelete
  4. වස්ගමුවේ සුදු සමනලුන් සමග ලා කොල සමනල්ලුත් ඉන්නවා. එකවගේ. පාට විතරයි වෙනස්. Lemon Emigrant

    https://www.dilmahconservation.org/butterfly-garden/sri-lanka-butterfly/lemon-emigrant--cc2eaad7ff3e5f22b791997bde5073b5.html

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි. Pra Jay. රිටිගලත් ඒ වගේමයි. හිතාගන්නත් බැහැ එච්චර සමනල්ලු කන්දරාවක් ගැන. ෆොටෝ එක නම් net එකෙන් හොයාගත්තේ, ඒ කාලේ ගත්තු සමහර ෆොටෝ දැන් හොයාගන්න නැති නිසා.

      Delete
  5. ඇවිද්ද පයේ පෝස්ටු තුනම කියෙව්වා. ඔයාට උත්තර ලියන්න කලින්.

    සුදීක, ඔයාලාගෙ වගේ අත්දැකීම් තුනක් මතක් වුණා. එක-වැල්ලවාය පැත්තේ ගම්බාරේ කෙනෙකුගේ උදව්ව ඇතිව දෙමලිය පරුවතේ ළඟ රැයක් හිටපු එක.
    දෙක පොළොන්නරුවේ දාස්තොට වැවක් ළඟ ගෙවූ දෙරැයක්, එතැන දවල්ටත් අලි.
    තුන ඔක්කම්පිටියේ ගල්ටැම්මණ්ඩිය පන්සලක හිටි එක.

    විසිපස් වතාවකට විතර වැඩියෙන් වැව්, මුහුදු, කැලෑ විතරක් නෙවෙයි පාරවල් අයිනෙත් අපි ටෙන්ට් ගහගෙන ඉඳලා තියෙනවා. ඒත් දැන් නම් එහෙම කරන්න බැරිම තරම්. අඳුනන කාගෙ හරි සබඳකමක් නැති නම් පොලිසියක ලගින්නනේ වෙන්නේ.

    අනෙක හුඟක් තැන අපිම විනාශ කරලා. කැබිලිත්ත වගේ. යන්න වෙලාව තියෙ නම් හොඳම තැන ටිකක් කියන්නම් පස්සේ.

    ReplyDelete
  6. ඔය වගේ සුදු සමනල්ලු පාර දිගේ හිටිය අපි එකපාරක් සිතුල්පවුවෙ යනකොට.

    කායන්කර්නි නං ලස්සන තැනක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම සමනල්ලු හැමදාම නැහැ වගෙයි.
      ප්‍රසන්න, මට නම් කායන්කර්නි පාසිකුඩාවලට වඩා ලස්සනයි.

      Delete