අකුරු මැකී නෑ

Sunday, June 2, 2019

වීරයා ගෙදරද? සිව්වෙනි කොටස

නාමල්ගේ සන්‍යාසි දිවියේ අත්දැකීම් ඔහුගේ තිරරචනාවලට පිවිසී......
“හරි කතාවක්නෙ ඒ!” සමහරවිට ඔබ කියනු ඇත. මගේ මොළයේ capacity එකට අනුව පාඨක ඔබට ඒ වග කියන්නෙමි. ඒත් අද නොවේ, තව පෝස්ටුවකිනි. ‘වීරයා ගෙදරද?’ තෙවෙනි පෝස්ටුව නැවැත්තුවේ එතැනිනි. ඉතින්........

නාමල්ගේ සන්‍යාසි අවධියේ අත්දැකීම්, ඔහුගේ තිරරචනාවලට පිවිසී අප ඉදිරියට එන්නේ සාධනීය ලෙසකිනි; අඳෝනා, යාදිනි හෝ negative- නිෂේධාර්ථ අයුරකින් නොවේ. 

මට වටින්නේ ඒ ටිකය; පොසිටිව් පැත්තය. නාමල් එය කරන්නේ නිකම්ම නොවෙන බව කලින්ම දවසක කියා තිබිණි; ඒ අදට අවුරුදු තුනකටත් පෙරාතුවය.

“.... මගේ නරුකමකම් වලින්, මගේ දුබලතා වලින් ඔබ, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයා ලබන වාසියක් නෑ. ඉතින් ඇයි මගේ අඳුර ඔබට දෙන්නේ? මට ඕන වුණේ, “මට අත්පත් කරගන්න බැරි වුණ සංස්කෘතික ජීවිතය ඔබට අත්පත් කරගත හැකියි” කියන යෝජනාව කරන්න.

උදා එළිය පුබුදා සිය නෙත් - පුබුදයි නෙළුම් මඩේ!

 “...... ‘අප්පච්චි’ චරිතය පෙනුමට සාධු ගුණ තිබුණත්, අතීත අඳුරක් නැතිව එවන් ජීවිතයක් අත්පත් කරගන්න බෑ.  මාර්ටින් වික්‍රමසිංහගේ ‘යුගාන්තයේ’ තිස්ස මෙහෙම කියනවා: “ඉතාම හොඳ අවංක හදවත් ඇත්තේ නරුමයන්ට පමණයි”. (‘ලංකාවේ සුභාවිත කලාව කියන්නේ විකල්ප යථාර්ථයක්- නාමල් ජයසිංහ’ 2016 සැප්තැම්බර් 03- මංජුල වෙඩිවර්ධන - ජේ.ඩී.එස් ලංකා)


අතීත අඳුරක්.... ඇත්තය. පියකරුම නෙළුම් මල් පිපෙන්නේ ගොහොරු මඩේය. 

කාලයකට පෙර ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයාණන් ඒ ටිකම වෙනත් වචනවලින් ප්‍රියා සූරියසේනට හරිම ප්‍රණීත අයුරින් ලියලාය.

‘උදා එළිය පුබුදා සිය නෙත් - පිබිදෙයි නෙළුම් මඩේ’. රසික අප වාසනාවන්ත වෙන්නේ, නාමල් ඒ අතීත අඳුර නොව එයින් ඉපදෙන නෙළුම අපට පුදන නිසාවෙනි.

මගේ ජීවන අත්දැකීම් වුණත් බ්ලොගයෙන් ලියන්නට ඕනේ තව කෙනෙකුට දිරියක්; සවියක් වෙන විදිහටය!
එහෙම කරන නාමල් මටත් කියා දෙන්නේ පාඩමකි. මගේ ජීවන ගමන් මඟේ අත්දැකීම් වුණත්, බ්ලොගයෙන් ලියන්නට ඕනේ තවත් කෙනෙකුට දිරියක් ඇති කරන්නටය. ජීවිතය ගැන කලකිරවන්නට නොවේ. 

එහෙත් මට ප්‍රබන්ධ කරන්නට නොහැකිය; හිතළු ලියන්නට නොහැකිය. චරිත, අවස්ථා මවන්නට-ගොතන්නට නාමල්ට ඇති නිදහස මට නැත්තේ මං ලියන්නේ හැබැහින්ම; මටම වුණු දේවල් නිසාය!

“පුතේ උඹල ඔය උදේ ඉඳල රෑ වෙනකං තුවක්කුව බදාගෙන ඉඳලා උඹලට උඹලගේ ජීවිතේ වටිනාකමකුත් නෑ. අනුන්ගේ ජීවිතවල වටිනාකමකුත් නෑ. ආන්න ඒකයි. .... උඹලට තුවක්කු දීපු එවුන් ඔය ටික උඹලට කියල දෙන්නේ නැත්තේ. මේ අම්ම කියන දේත් අහගනින් පුතේ. දැන්වත් උඹ ජීවිතේ වටිනාකම තේරුම් ගනින් පුතේ......” 

‘වීරයා’ 34 වෙනි එපිසෝඩ් එකේ පන්සල් යන ගමන් අම්මා කියන්නේ කාටද? චාමරටද නැතිනම්.......
මිනිසුන් බුද්ධිමත් වෙන තරමට.............
මිනිසුන් වෙනස් වන්නේ කාරණා තුනක් නිසා යැයි කියැවේ. ඔවුන් බුද්ධිමත් වන තරමට, ඔවුන්ගේ විඳවීම උපරිමයට පැමිණි විට හා ඒකාකාරිත්වය දුරු කර වෙනසක් කිරීම අවශ්‍ය විට. ඉතින් අප ඉන්නේ කොතැනද?

නාමල් ලිව්වත්, ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරමින් මවා පෙන්නුවත් මදිය; ඒක හරියටම අපට දැනෙන්නේ කැමරාව, සංගීතය, සංස්කරණය වගේ තවත් අංග ගණනාවක්මත් සාර්ථක වුණාමය. 

හිටි ගමන් මං කරන පොඩි, පිස්සු වැඩක් ඔයාලටත් කියන්නද? ෆිලුමක් හරි ටෙලියක් හරි බලද්දී mute; හඬ නැති කරලා බලන්න. මුලින් දැනුණු විදිහටම දැනෙනවාද? ඇත්තය, අපට වැඩියෙන්ම පෙනෙන්නේ නළු-නිළියන්ගේ රඟපෑම්ය. ඒවා දැනෙන්නේ අර ආනුෂාංගික කාරණාත් නියමෙට තියෙන වෙලාවටය.

එහෙම දැනෙන වේලාවක රසිකයන් ගුණපාලට වෛර කරන තරම්....!

ගියවර පෝස්ටුවට ගුණපාලගේ ෆොටෝ එකකුත් දාන්නට මට ඕනෑ විණි. ඒත් නළුවාගේ නම මං දැනගෙන හිටියේ නැත. එහෙම දෙයක් අහගන්නට හොඳම කෙනා හැටියට මං දැනගෙන හිටියේ උදේනි අල්විස්ය. ම්හු! මිනිහාව අල්ලාගන්නට බැරිවිණි. 

බුකිය හරහාම හඳුනාගත් වරුණ උදේශ් ජයසිංහ මතක් වුණේ එතකොටය. ‘සහෝදර සමාගම’ පිටුවට හැමදාම වගේ අලුත් පෝස්ටුවක් දමන වරුණට ප්‍රශ්නය දැම්මෙමි. ඉඳිගස්මුල්ලේ චන්දජෝති හාමුදුරුවන්ටත්. ‘හොයල කියන්නං අයියෙ!’ වරුණගේ උත්තරය ආවේය. හැබැයි පරක්කු වෙලා, පෝස්ට් එක publish කළාටත් පස්සේය. (ස්තුතියි, වරුණ!)

වරුණ දුන් ඔත්තුව ඔස්සේ ගිහින් හොයාගත් තිදෙනා...........
වරුණගේ ඔත්තුව ඔස්සේ fb එකට ගියාම හරිය. හැබැයි එතැන තියෙන නම 'ආනමක්' වගෙය. Chamal Rdpcr. මං දන්නා විදිහට කියවාගන්නට බැලුවත් බැරිය. 

‘චමල්’ කෑල්ල නම් හරි වගේ හින්දා කියන්නෙමි. එයාගේ fb තිබුණු මේ ෆොටෝ එකත් එක්ක බැලුවාම නම්.... ගුණපාල වෙනම ලෝකෙකින් ඇවිත්ය. චමල්......., සුප්පා ඇක්ටින්!

රොෂාන්, චාන්දනී, ජයනි, නෙතලි, දිනූපා, චින්තක, සේවියර්, චමල් විතරක් නෙවෙයි, ‘වීරයා’ එකේ කැරැක්ටර් එකක් නාමල්ටත් කරන්නය තිබුණේ. එහෙනම් අපේ ‘ස්වයං පත්වීම්’ දීගෙන ඉන්නා විනිශ්චය මණ්ඩල සකල අමාරුවක වැටෙනටා ෂුවර්ය.

දැනට ප්‍රදර්ශනයවී ඇති චිත්‍රපට තුනක රඟපා ඇති නාමල් ඒකටත් දක්ෂයෙකි. 

‘ඉර මැදියමේ’ සොල්දාදු අයියා, ‘මචං’ එකේ ෆුට්බෝල් ක්‍රීඩකයා හා ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ චරිතය.... නෑ නෑ, ඒ ටික කිව්වේ නාමල්ට රඟපාන්න යැයි අයදින්නට නොවේ. තවත් ලස්සන කතාවකට පෙරවදනක් විදිහටය.

රඟපෑ චිත්‍රපට තුන ඇරුණාම මට කතා කළෙත් ........
“නළුවෙක් විදියට වටිනාකමක් මිලක් තියෙනවද?”

“පහුගිය කාලය ගත්තාම මම රඟපෑ චිත්‍රපට තුන ඇරුණාම තව මට කතා කළෙත් චිත්‍රපට තුනකට විතරයි. බොරුවට සෑහෙන්න කතා කළා  කියන්න ඕනෑ නැහැනේ. එයිනුත් මම කැමති නැති ඒවාට බැහැ කිව්වා. දැන් ඔයා අහපු ප්‍රශ්නයට කියන්නම්කෝ. 

-ඇත්ත නළුවෝ විදිහට අපි ඩිමාන්ඩ් කරනවා. ලොකු ගණං කියනවා. මිලක් තියෙනවා. ඒත් වැඩේ කියන්නේ, රඟපාලා ඉවර වුණාමනේ ඔක්කොම මුදල් ලැබෙන්නේ. 

-ඉතින් අන්තිමට කරපු චිත්‍රපටයට තවම මුදල් ලැබුණේ නැහැ. ලොකු වටිනාකමක් දීලා තමයි ගියේ. ඒත් තවම සල්ලි නෑ. (හිනා) ඉතින් ගණන් නම් කතා කරගෙන ගියාට වැඩක් නැහැ. එකඟ වුණාට පස්සේ පොලු........... (දැන් කෙල්ලකට වඩා...-2017නොවැම්බර් 19 ‘රාවය’- ටිරාන් කුමාර බංගමආරච්චි)

පැළයක් හිටෙව්වාට පස්සේ ඒකෙන් දල්ලක් ලියලනවා දකින එක කොච්චර සතුටක්ද?

පැළයකින් දල්ලක් මෝදු වෙනවා දකිනවිට දැනෙන සතුට කොච්චරද?
‘වීරයා ගෙදර ඇවිත්’ ඉන්නා වෙලාවේම මට ඒ ගැන ලියන්නට හිතුණේය. ටෙලිය ගැන බ්ලොග්ස් නොලිව්වත්, රසිකයන් එක-එක දේවල් කෙටියෙන් කියන්නේ තරගෙට වගේය. කසුන්ටත් එහෙම හිතිලාය.

“නිමල් අයියේ, මං මේ කතාව ගැන මට හිතෙන/දැනෙන දේවල් එකතු කරලා කාලෙකින් නොලියපු මගේ බ්ලොග් එකක් ලියන්නයි හිතුවේ. මුල ඉඳලම ගියපු කොටස් 30ම බොහොම ආසාවෙන් බලලා බොහොම රස විඳපු කතාවක්. 

-ඒ කතාවේ නාමල් වීරයාගේ චරිතය නිර්මාණය කරනකොට පාවිච්චි කරල තියෙන දේ ගැන විශේෂයෙන් ලියන්න ඕනෙ. මං හිතන්නේ ඒක වෙනම සබ්ජෙක්ට් එකක්.” කසුන් කියලා තිබ්බේ මගේ පෝස්ටුවකට ප්‍රතිචාර දක්වමිනි.

කසුන් නයනජිත් ලියන බ්ලොගය ‘අහසෙන් එන්න’ය. ඔන්න කසුන්, ඔයාවත් ටිකක් හිර කළා. දැනටමත් ඔයාගේ පෝස්ටුව ලියන්න පටන් අරන්ද?

කසුන් ලියන බ්ලොගය 'අහසෙන් එන්න'ය......
හරියටම එතැනට වෙනතුරු කොටලා තියෙද්දී එයා ආවේය. අහසෙන්ද, පොළොවෙන්ද, මුහුදෙන්ද ආවේ කියලා නම් නොදන්නෙමි. ආවේ මාරයාය! 

මා ළඟට නොවේ. අපේ පවුලේ හතරවැන්නා ළඟටය. අනිල් ධර්මකීර්ති දිසානායක ළඟටය. ඒකෙන් වුණේ මැයි මාසයේදී වියෝවීම් දෙකකටම මුහුණ දෙන්නට අපේ පවුලේ අයට සිදුවීමය. අන්නාගෙ මරණ සහතිකයේ මරණයට හේතුව ලෙස ලියැවුණේ 'රෙස්පිරෙටරි ඇරස්ට් කාසිනෝමා ඊසොපැගස්' ය. අපේ දැනීම නම් අන්නා පිළිකාවෙන් මියගිය බවය. ඒ මැයි 29 වෙනිදාය.

අපේ සුනිල් මල්ලීගේ බිරිය මල්ලිකාත්, සමන්ති නංගිගේ සැමියා බිමලුත්, අනිල් මල්ලීත් එකම හේතුවකින් දැනටම පරලෝකප්‍රාප්තවී හමාරය. සමන්ති නංගීත්, මාත් ඒ පෝලිමේමය. පිළිකාව එතරම්ම ලාබ වෙලාය!

අනිල්, බිරිය ගංගා, අකලංක, ප්‍රමෝද්‍ය හා දියණිය සිඟිති.........
 “රංජි, මං 29 වෙනිදා මෙහෙන් පිටත් වෙනවා. අරවින්ද පුතා ටිකට් එක බුක් කරන්න ගිහින් ආවේ දැන් ටිකකට කලින්. 30 වෙනිදා දවල්ට මාව එයාෆෝට් එකෙන් ගන්න. අනිත් අයටත් කියන්න....” රටකින් රටකට යාම විනෝදාංශයක් වගේ වෙලා තියෙන අම්මා, මට කිව්වේ 22වෙනිදා හවසය. අපට අමතක ‘ජනරජ දවසේ’දීය. 

(අම්මා වසරකට තුන් වතාවක් විතර එංගලන්තයේ ඉඳ ලංකාවට එයි! ඇවිත් යන්නේ ආපහු මාස හයකටවත් එන්නේ නැහැ කියලාය. හැබැයි මාස තුනක් යන්නටත් කලින් අම්මාගේ විමානය රත් වෙයි!)

මල්ලිකා අවුරුදු හතක් පීඩා වින්දාය; බිමල් අවුරුදු එකහමාරක් විතරය; අනිල් වසරකට කිට්ටු කාලයකි. 


පසුගිය අවුරුදු කිහිපයේ දීපාල්ලාගේ ගෙදර හිටි අනිල්ට හොඳටම සමීප වුණේ .........
පැරැණිම රෝගිණිය සමන්ති නංගිය. අවුරුදු හත-අටකටත් වඩා රෝගය යටපත්ව තිබී, මාස කිහිපයකට කලින් ආයෙම මතු වුණේය. මාත් අවුරුදු හයක ප්‍රතිකාරවලින් පස්සේ ඉන්නේ රෙමිෂන් මට්ටමේය.

අම්මා අර විදිහට විඩෙන්-විඩේ ලංකාවට එන දවසක පාන්දර මල්ලිකා නොඑන ගමන් ගියාය. මේ සැරේ එන දවසේ අනිල් නික්මිලාය. “අම්මේ, ඊළඟ සැරේ එද්දී බලාගෙනයි, මගේ වාරේද දන්නෑ.” මා අම්මාට කිව්වේ 30 වෙනිදා රාත්‍රියේය.

“ඔව්, ඔව් අම්මේ. මගෙත් නිවාඩු ඉවර වෙලා ඉන්නේ. මේ අවුරුද්දට ඔය ඇති.....” නෙවිලුත් මුක්කු ගැහුවේය.

“එක්කො එන්න අම්මේ. අම්මගේ නෙවිල් පුතාගේ චාන්ස් එකද දන්නෙත් නැහැනේ ඊළඟට, කැන්සර් නැතත්.” මං කියද්දී අම්මා රවාගෙනම හිටියාය. අපේ අම්මා නම් මරණය ගැන කතා කරනවාටත් බයයි වගෙය! 
නිමල් බෙන්ට කොච්චර දුකයිද කියනවා නං කොල්ලාට ඕනේ වුණේ අන්නාගේ සරමක් මළගම දවසේ...........
බයක් නැතත් මරණය ගැන වැඩි අවබෝධයක් නැතිව හිටියේ ‘නිමල් බෙන් ටොමැල්ඩන් දිසානායක’ය; අපේ බඩා මල්ලාගේ දෙවෙනි පුතණුවන්ය. පහුගිය අවුරුදු කිහිපයේ අනිල් මල්ලී හිටියේ එයාලගෙ ගෙදරය. අන්නාට වැඩියෙන්ම attach වෙලා හිටියේ පොඩි නිමල්ය.

කොල්ලාට කොච්චර දුකද කියනවා නම්, ඒකාට ඕනෑවී තිබුණේ මළගමට අනිල්ගේ සරමක් ඇඳගෙන එන්නටය!

අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. “ලොකූ, උඹලගේ පවුලේ අය විතර ස්ට්‍රෝන් කට්ටියක් මට නං මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ. දැන් ඔයා..... සෑම්. දන්නවද, මේ සැරේත් ලන්ඩන් මැරතන් එක දිව්වා. සෑම්ට කීමෝතෙරපි පටන්ගත් දවසෙත් බැඩ්මින්ටන් ගහන්න ගියා. අනිල් අයියාත් හැම තිස්සෙම හිනා වේගෙන ඉන්නේ කොච්චර අමාරුකම් තිබ්බත්.....” පීයා ළඟදී දවසක කිව්වාය.

මට තවමත් එය පරිවර්තනය කරගන්නට බැරිය............
නිතරම හිනාවක් තිබුණත් මට අඩුවක් නැතිවම කඳුළු උනයි.

සමන්ති නංගී නැවත අසනීපවී ඉන්නා බව දැනගත්තාම නිමලුත්, මාර්කෝත් සමන්ති නැන්දාට කියූ දේවලට සෑම් දීලා තිබ්බේ කදිම; ගීතවත් උත්තරයකි. පීයා එය මට පෙන්නුවාම නම් නොහඬා ඉන්නට බැරිවිණි. අනේ, සමාවෙන්න. මට තවමත් එය පරිවර්තනය කරන්නට හිත දෙන්නේ නැත. (සෑම්, මේවා පීයාගෙන් ඉල්ලා ගත්තේ ඔයාගේ අසනීපය ආයෙමත් මතුවී තියෙන බව මට හංගාගෙන හිටි දවස්වලය!)

ඉරණමට හෝ දෛවයට හෝ එඩිතරව මුහුණ පෑම වීරකමක් නෙවෙයිද? අපේ පවුලේ කවුරුන්වත් චාමර වාගේ හමුදාවේ හිටියේ නැත. අපට සටන් කරන්නට සිදුවී තිබුණේ ජීවිතය එක්කය. එහෙම කරන අප වීරයන් නෙවෙයිද?

“මං අතරමං වෙන්න බය නැහැ!” 

36 වෙනි එපිසෝඩ් එකේදී චාමර කියයි. ඒක නම් ටිකක් හරි නැතිවා වගෙය. ඒ උඩු පෙළ අරුත ගත්තොතිනි. චාමර බය නැත්තේ අතරමං වෙන්නට නොවේ. අතරමං වෙන්නට පවා ඉඩ තිබියදී අභියෝගවලට මුහුණ දෙන්නටය. හැබෑ වීරයෝ එහෙමය.

මං අතරමං වෙන්න බය නැහැ!
මේ පෝස්ටුවෙන් ‘වීරයා ගෙදරද’ අවසන් කරන්නටය මං හිතාගෙන හිටියේ. අන්නාගේ මරණය හින්දා ඒක තවත් දික්ගැහුණේය. එයින් විඩාවක් දැනුණා නම් සමාවෙන්න. වරද මගේ අතේය. මට හිතෙන දේ, අනුන්ට අහිතක් නොවේ නම් කරලාම ඉන්නා විදිහේ දරදඬුකමක් උපතින්ම හිමිවෙලා තියෙද්දී වෙන මොනවා කරන්නද?

අන්නා භූමදානය කර, ගෙදර ඇවිත් ඊයේ රාත්‍රියේ “වීරයා” බැලුවාම තිබුණු දේවල හැටියට නම් තව පෝස්ටුවකට යන්නම ඕනෑ වගේ දැනෙයි!

‘වැරැද්ද සමඟ මිස වැරැදිකරුවා සමඟ අමනාප විය යුතු නැත’ කියන දහම මම තදින්ම ප්‍රිය කරමි! එසේම තව කෙනෙකුගෙන් සමාව ඉල්ලීමත් හොඳ ගුණයක් ලෙස සලකන්නෙමි. ඒ කියන්නේ නිකාම්ම ‘සොරි’ කියන එක හෙම නොවේ.

මෙවැනි සාමාන්‍ය; එහෙත් උත්තරීතර මානුෂීය ගුණාංග ...........
“පොඩි වැඩක් හම්බවුණා අයියෙ.... කාලෙකින් මේ ඒකට යන ගමන්.” තුෂාර කියයි. ටිකාක් නිහඬව ඉන්නා චාමර ප්‍රශ්නයක් අහයි. “එදා අමාරු වුණාද?” රසික අපට පෙනෙන්නේ  දෙන්නාගේම හිතේ කෝන්තරයක් නැති බවයි. 
“ආ නෑ. බෙල්ල පොඩ්ඩක් ඇදුණා.”

“අනේ සොරි මල්ලී.”
“ආ එව්වා ගාණක් නැහැ අයියේ, මමයි හරි නම් සොරි කියන්න ඕනේ.” 

මෙවැනි සාමාන්‍ය; එහෙත් උත්තරීතර මානුෂීය ගුණාංග අපට නොදැනීම අපේ හදවත පතුළම කිති කවද්දී, ඒවා ගැන නොලියා සිටිය හැකිද? ඉතින්, තව එක පෝස්ටුවක් විතරක් වීරයා ගැන ලියන්නටය අදහස. ඒකත් කියවනවා නේද?

ඊළඟ පෝස්ටුව කොටනකල්, 36 වෙනි කොටස බලා මං දැමූ කවි කමෙන්ටුව කියවන්නකෝ..........

ඡන්ද කාලෙට යුද්දෙ ඕනෑ..............
ඡන්ද කාලෙට යුද්දෙ ඕනෑ - එන්නෙ නරකම කලක්         අයියෝ
අදාළත් නෑ; පෙනෙන්නෙත් නෑ - එහෙම ඒවා අපට      ගොයියෝ
අතරමං වෙන එකෙත් ගණනක් - නැත්තෙ හින්දයි, අපිත්  බයියෝ
‘සකෝ බල ලෝ’ රකිනු අප හැම - අපට ඉන්නේ උඹල  දෙයියෝ!

8 comments:

  1. මොන ගූ ගොඩක්ද මල්ලි මේ?

    ReplyDelete
    Replies
    1. කියවන අප වෙනුවෙන් නොසැලී දිගටම ලියන්න

      Delete
    2. ස්තුතියි සුධීර! බ්ලොගය කියවන, කියවා අවංකව අදහස් කියන කාටත් මම ගරු කරනවා. තදබල විවේචනයක් ගැන වුණත් හිතා බලනවා.

      ඒත් එකෙන් ගත යුත්තක් ඇති නං අරගන්නවා මිස, සැලෙන්නේ නැහැ. එහෙම කරන්නයි ජීවිතේ මට උගන්වලා තියෙන්නේ.

      Delete
  2. අයියන්ඩි මේක නම් විකාරයක්. ඔය කතාවෙ කියන තරම් ගැම්මක් නෑ නිකම්ම නිකම් ගොං පාර්ට් එකක් ඇත්ත ගතියක් නෑ මලාට වෙන්න බැරි බහු බූතයක්
    කතාවට වඩා මරු අර කියමන. "cancer can't stop me" සුපිරිම චරිතයක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු! අපේ නංගිටත් ඔයාගේ පැසසුම දිරියක් වේවා!

      Delete
  3. පිළිකාව කියන්නෙ පවුල් පාරට ඇදල දාන මහම මහ කරුම ලෙඩක් අයියෙ ... අවාසනාවකට අපේ පවුලටත් ඔය කරුමෙන් අඩුවක් නැහැ :(

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, මං බය නැතිවම;අත්දකීමෙන්ම කියන්නේ.

      පිළිකාවට කරන ඕනෙම බෙහෙතක් කරන්න. ඒ අතරේම දවසේ කෑම වෙල් සියල්ලම පැය අටක් ඇතුලත ගන්න. ඒවාටත් සීනි, කිරිපිටි, පිටි එළවලු ඇතුළු කරගන්නෙම නැතිව ඉන්න පුළුවනි නම් වඩා හොඳයි.

      පිළිකා සෛල මැරෙනවා- අඩපන වෙනවා සීනි රහිත පරිසරයකදී. ඒකයි මූල ධර්මය. වැරදි බෝනස් එක පෝස්ට්ස් පෙළ ලිව්වෙත් ඔය ටික කියන්නත් එක්කම!

      Delete