අකුරු මැකී නෑ

Tuesday, June 4, 2019

දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස

මහතුන්ගේ නික්ම යාම අපට එච්චර බාධාවක් වුණේ  නැත. “උ ඌ ග්ග් ගියදෙන් බං, අපි තුන් දෙනෙක් ඉන්නේ. ඒ මදැයි!” ටැයියා කිව්වේය. අපේ සුනිලුත් අලගු තිබ්බේය.

උ උ ඌ ග්ග්ගියදෙන් බං.... අපි තුන් දෙනෙක් ඉන්නේ...............
“අපි දෙන්නට වුණත් බැරිද බං ඌරෙකුට වැඩේ දෙන්න.”

“ලොකු ගල් ටිකක් ගත්තම වැඩක්ද බං? හැබැයි ටැයියෝ කොහොමද බං ඌව මස් කරගන්නේ.” සුනිල්ටත් ටැයියාටත් ප්‍රශ්න වෙලා තිබ්බේ එහෙම දේවල්ය.
“වැද්දොත් එව්වා කරගත්තේ පිහි-මන්නා තිබිලද මචං. ගලක් උල් කරගන්න පුළුවනිනේ.”

එයාලා එහෙම ප්‍රශ්න ගැන වද වෙද්දී මගේ ඔළුව වැඩ කළේම මේක නොකෙරෙන තැනට කටයුතු යෙදීමටය. ගෙදරින් පැනලා යන්නේ ආපහු එන්නට නොවේ. ආවත් අපේ තාත්තා නං අපව ගෙදරට වැද්ද ගන්නේ නැත. ඒක ස්ථිරය. 

ජීවිතේටම ආයෙමත් නංගිලා-මල්ලිලාගේ මුහුණ බලනවා බොරුය. චණ්ඩිකමට කියෙව්වාට මහ කැළයක් මැද්දේ අපි තුන් දෙනෙකුට ඉහ-ගහගෙන ඉන්නට පුළුවන්ද?

“මොකද බැරි? තිලක්ලත් තුන් දෙනයිනේ කැළේ අතරමං වුණේ. අපිත් තුන් දෙනෙක් ඉන්නේ.... රංජි දැන්මම පස්ස ගහනවනේ....”

අප ඉන්නට යන්නේ පොතක් ඇතුළේ නොවේ, රූස්ස වනාන්තරයක් ඇතුළේ හැබැහින්මය!
තිලක්, ලාල්, අජිත් තුන්දෙනා හිටියේ ‘වනගත ළමෝ’ පොත ඇතුළේය!  මේ හැබෑ ලෝකයේ නේද? එහෙම හිතුනත් මං ඒක කිව්වේ නැත. 

කිව්වොත් වෙන්නේ මගේ බයගුලුකම පෙනෙන එකය. සුනිලුත්, ටැයියාත් දෙන්නාම දුර-දිග පෙනුණු අය නොවේ. ඒ දෙන්නාටම තිබුණේ ඇඟේ හයියයි, මට තිබුණේ හිතේ හයියයි.

“හදිසියේ ලෙඩක් දුකක් හැදුණා.... මොකද කරන්නේ. කොහෙන්ද බේතක් ගන්නේ?” 

මගේ ඒ තුරුම්පුවත් වැඩ කළේ නැත. ලෝකේ ලෙඩවෙන හැමෝටම බෙහෙත් ගන්නට ඉඩ නොලැබෙන බව අපේ දෙන්නාටම මතක් විණි. ස්ටැන්ලි තව අටුවාවකුත් කිව්වේය. 
“..... එච්චර විතරක් නෙවෙයි රංජි, අව්වට වැස්සට තෙමෙන වේලෙන මිනිස්සුන්ට ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙත් නැහැල්ලු!”.

පණ්ඩිතයන් 500කටවත් එක මෝඩයෙකු එක්ක කතා කරලා දිනන්න බැරිලු. ඉතින් තනි මං දෙන්නෙක් එක්ක කොහොම දිනන්නද? අනෙක, මාත් පණ්ඩිතයෙක් නොව මැට්ටෙකි.

ගඳපාන පේනය බැලුව කිට්ටුව කාලෙදී මං.............
ඊළඟට මං කළේ අන්තිම තුරුම්පුව ගැහීමය. ඉරි අල්ලන එක, ගලද මලද කියලා අහන එක, දිවුරන එක, කාසිය උඩ දැමිල්ල වගේ දේවල් ඒ දිනවල අප අතරේ සුපුරුදු දේවල්ය.

තීරණයක් ගැනීමට අසීරු අවස්ථාවේ පේන බැලිල්ලත් එහෙම එකකි.

ඒකට ගත්තේ ගඳපාන මල් පොකුරකි. පොකුරක් කිව්වත් ඒක පුෂ්ප මංජරියකි. ඇත්තටම දැන් ගඳපාන වසංගතයක් වෙලාය. අලි ඇතුන් පවා ගඳපාන ගස් මණ්ඩියකට නොයන බවත්, ඒවා නොකන බවත් රහසක් නොවේ. 

ඒත් ඉදුණු ගඳපාන ගෙඩි කුරුල්ලන්ගේ නම් දිව බොජුනකි, ඒ හින්දාම කුරුලු වසුරු හරහා ඒවා හොඳින් පැතිරෙයි; බෝවෙයි! දැන් වනෝද්‍යානවල ගඳපාන මර්දනයටත් වියදම් වෙන්නේ මිලියන ගණනින්ය.

2013 අවුරුද්දේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ගඳපාන මර්දනයට වෙන්කර තිබුණු මුදල රුපියල් මිලියන 200 කි. ගඳ ගහන්නේ නැතිව වැඩේ කෙරුණාද කියලා හොයා බලන්නට වටිනවාය. ඒ වගේ ව්‍යාපෘතිවලට ග්‍රහ බලපෑම් නිමක් නැත.

ලොකු ප්‍රොජෙක්ට්ස්වල ග්‍රහයන් නීච වෙන්නේ හෙනහුරාලා හිටු කියලා බැල්ම ලන නිසාය.
ඉතින් පේනය බලන්නේ මෙහෙමය. ගඳපාන පොකුරක් අතට ගන්න. දැනගන්නට අවැසි දේ ගැන හිතන්න. හිතමුකෝ, අතරමඟදී ඔබේ හිතවතෙකු හමුවෙයිද - නැතිද කියන කාරණේ ගැන. ‘හම්බ වෙයි’ එක මලක් කඩා දමන්න. ‘හමුවෙන එකක් නැහැ’ තව මලක් කඩන්න. ආයෙමත් තව මලක් කඩා දමන්නේ හම්බ වෙයි කියන ගමන්ය. ඉතිරිවෙන එක උත්තරයයි!

ඔත්තේ-ඉරට්ටේ සෙල්ලමක් වගෙය.

ඉස්සර මුහුදු යාත්‍රා අනතුරකට පත් වුණාමත් එක අවාසනාවන්තයෙකු නිසා එහෙම වෙන බව හිතලා අවාසනාවන්තයා හොයා මුහුදේ ගිල්ලුවාලු. පස්සේ ඒකෙන් සෙල්ලමකුත් හැදුණාලු. ඒකට කියන්නේ ‘යොන් මැරිල්ල’ කියලාය! 
(ඒක මතක් කළේ ජාතිවාදීකමක් හෙම නිසා නොවේ. මා පළමුවෙන්ම මානුෂවාදීය; දෙවනුව ජාතිකවාදීය. ජාතිවාදීන්ට වැඩියෙන් ‘ක’යන්නක් ඒකට තිබේ. )

හැබැයි ගඳපාන මල් ළඟපාත නැති වෙලාවක අර පේනය බලන්නට රෝස මලක් හෙම ගන්න එපා! ඕනෑම රෝස මලකට තියෙන්නේ පහෙන් බෙදෙන පෙති ගණනකි.

ඉතින්, කාටත් හොරෙන් හොරෙන් ගඳපාන පේනය බැලුවාම කියැවුණෙත් පැනලා යාම සවුත්තු එකක් කියලාය.

ඕනෑම රෝස මලකට තියෙන්නේ පහෙන් බෙදෙන ගණනක.............

“මං නං හිතන්නෙම මේක මෝඩ වැඩක් කියලයි. ඒත් මං පොරොන්දු වුණානෙ. මමත් එන එක එනවාමයි.... ඒත් දැන් අපි තුන්දෙනා අතරෙත් මත දෙකක්නේ.... අපි කාසියක් උඩ දාලා තීරණේ කරමුද?” ටැයියාත්, සුනිලුත් පස්ස ගැහුවේ නැති එකය පුදුමේ. 

අපි කාසිය උඩ දැමුවෙමු. ඒකත් පෙරළුණේ මගේ අවාසියටය; මං පරාදය. දැන් හැරෙන්නට බැරිය.

මම හිත හදාගත්තෙමි, ගමන සංවිධානය කරන්නට පටන් ගත්තෙමි.

“කැළේ ඇතුළට ගියාට පස්සේ ඕනෙම කරන දෙකට විතරයි අපි එළියට එන්නේ. නැතිනං කොයි වෙලේ හරි අපිව මාට්ටු වෙනවා. මාට්ටු වුණොත් නං පුතෝ, අපි තුන් දෙනාව ‘වතුපිටිවල’ටම යවයි. ඒ හින්දා අපිට වවාගන්න මඤ්ඤොක්කා දඬු, බතල කරටි, මෑ-නිවිති-බණ්ඩක්කා-දඹල වගේ එව්වයෙ ඇට එහෙමත් කැළේට යද්දීම අරන් යන්න වෙයි.”

ඒ කාලයේ බාල වයස්කාර වැරදිකරුවන් පුනරුත්ථාපනය කෙරුණේ වතුපිටිවලදී බව කියැවිණි. අපේ අජාසත්ත එකේ දේවදත්තට හිටි විමලේවත් එහාට යවා තිබිණි. එයා ආපහු ඇවිත් තිබුණේ හිටියාටත් වඩා මැරෑටියෙකු වෙලාය!

කැළේ ඇතුළට ගියාට පස්සේ.......... (චලන තෙන්නකෝන්ගේ ෆොටෝ එකකි).
මට ඕනෑ වුණේ පොතේ හිටි තිලක්ටත් වඩා කල්පනාකාරයෙකු; දක්ෂයෙකු වෙන්නටය!

තිලක්, ලාල්, අජිත් තුන්දෙනා සුරතල් බල්ලා ඩිංකිත් එක්ක වත්තක් මායිමේ තියෙන කැළයක ඇවිදින්නට යති. වල් අලි රංචුවක් දැක බියපත් වෙන ඔවුන් දිව යන්නේ මහ වනය ඇතුළටමය. වනයේ අතරමං වෙන ළමෝ වැවක් ආසන්නයේ, මහ ගසක අතු-පතර මැස්සක් තනාගෙන වන දිවිය පටන් ගන්නේ වෙනත් කළ යුතු දෙයක් නැති නිසාවෙනි. 

ඔවුන් වාසනාවන්තයන්ය. පලු-වීර-දිවුල්- ඇටඹ වැනි පළතුරුත්, මී පැණිත් ඔවුහු සොයා ගනිති. අහම්බෙන් වඳුරු පැටියෙකුත්; ටිකීත් ඔවුනගේ භාරයට පත් වෙයි!

“එයාලට වගේ අපිටත් මුල් කාලේ කන්න වෙන්නේ පළතුරු තමයි.”
“ඇයි මචං, අපිට මාළුත් අල්ලාගන්න පුළුවන්.”

“අපොයි ඔව්! මතකයි නේද තමුසෙ කොටුවෙ ආච්චිගේ කොටුවෙ මාළු අල්ලපු දවසේ කෑවද කියලා....” මං සුනිල්ට කිව්වේ එයාගේ හොඳ හිත ගැන මතක් කර දෙන්නටය.

එවෙලේ ඒ දෙන්නාට නොකිව්වත්, අර කියාපු පළතුරු සේරම හැදෙන්නේ එක කාලයක විතරය. අනුරාධපුරේ පැත්තේ තිබුණාට පලු, වීර වගේ එව්වා දුන්හිඳ කැළෙත් තියෙනවද? ඇටඹ නං කොහෙත් හැදෙනවා වෙන්නැති. 

මහරගම අපේ ගේ පිටිපස්සේත් තියෙන්නේ. ඒත් ඒකෙ ගෙඩි තියෙන්නෙත් කාලෙකට විතරයිනේ. අඹ, දිවුල් වුණත් එහෙම තමයි නේද?

තිලක් නම් බාලක්ෂයෙකි. අපේ තුන්දෙනාගෙන් එකෙකුවත්...........
තිලක් බාලදක්ෂයෙකි. අප තුන්දෙනාගෙන් එකෙක්වත් එහෙම නොවේ. පොතේ හිටි අජිත් වගේ දුබලයා වුණේ මාය. තිලක්ට තියෙන නායකත්ව ලක්ෂණ එකක්වත් ටැයියා ළඟ නැත. ඇඟේ ලොකුකම අනුව නං ලොක්කා මිනිහය. ඊළඟට අපේ සුන්නාය. අන්තිමයා; බට්ටා මංය.

“ස්ටැන්ලි, මේ දවස්වල නං අපිට සල්ලි නැහැ. දැන් මම ඉඳියාප්ප තම්බන්නෙත් නැහැනේ. ආච්චිලගෙ බිස්නස් එකට මයියොක්කා, බතල ටිකක් කපලා දීලා තමයි කීයක් හරි අරගන්නේ, ඒකත් ඔක්කොම මගේ ළඟ තියාගන්න බැහැ තාත්තට හොරෙන්. කීයක් හරි තාත්තට දෙන්න එපැයි ගෙදරට බඩු ගන්න. කැළේට යන්න කලින් හාල්-පොල් ටිකක් ගන්න සල්ලි...........”. 

මා කීවේ හැබෑ තත්ත්වයයි. සුනිල්ටත් ඒ කාරණය තේරුණේ එතකොටය.

“හරි, හෙට ඉඳලා මාත් එන්නං මඤ්ඤොක්කා කපන්න.” සුනිල් කිව්වේය. ඒ දවස්වලත් සුනිල් හිටියේ ආච්චිලගේ ගෙදරය. අපට අග-හිඟකම් තිබුණත් සුන්නාට ඒවා තිබ්බේ නැත. ආච්චිලාට කියා මහලොකු දෙයක් නොතිබ්බත්, සුනිල්ට කෑම-බීම හිඟ වුණේ නැත. 

ඒ ‘අන්ජිසාම් පැකට්’ ව්‍යාපාරය නිසාය. අන්ජිසාම් කියන්නේ සත පහට වෙන්නැතිය! සත පහේ පැකට්ය අපේ සීයා වික්කේ!! එයින් ලැබෙන දෙයින් කාලා- බීලා පුළුවන් තරම් ගණනක් ඉතිරිත් කරගන්නටය ආච්චී වෙර දැරුවේ. ඒ අප හිටි පර්චස් 34 ඉඩමට ගෙවිය යුතු රුපියල් හයදාහ එකතු කර ගන්නටය.

කැළේට යන්න කලින් හාල්-පොල් ටිකක් ගන්න සල්ලි.............
මහරගම හන්දියේ සිට පමුණුව පාරෙන් එන්න. පළමු පල්ලම බහිද්දී වමට තියෙන එක්සත් සුභ සාධක මාවතට හැරෙන විටම ඇති ඉඩම; පර්චස් 17 අපේ අම්මාට විකුණන්නට එය අයිතිව හිටි රණසිංහ නෝනා කැමැති වුණාය. ඒත් රුපියල් හයදාහකටය. අම්මා ඉතිරි කරගෙන තිබුණු රුපියල් දාහක් ඇයට අත්තිකාරම් ගෙවලා ඇවිත් ඒ විත්තිය තාත්තාට කිව්වාය. ඒ 1973-74 විතරය.

“කවුද යකෝ හයදහකට ඔය කබොක් ඉඩම ගන්නේ? දැන්මම ගිහින් ඒ සල්ලි ඉල්ලගෙන වරෙන්!”. තාත්තා ගුගුරා හැළුණේය.

අම්මාට විකල්පයක් තිබුණේ නැත. දැන් ඒ ඉඩමේ පර්චස් එකක් කෝටියකටත් එහා මිස මෙහා නොවේ. සාප්පු පේළියක්, ගෙයක්, පොලිතීන් විකුණන වෙළෙඳ සලක් ඒ පොඩ්ඩේ ඉදිවෙලාය. පරණ දෙයකට ඉතිරිවී තියෙන්නේ බෙලි ගහක් විතරය.

දැන් පමුණුව පාර අයිනේ පර්චස් එකක් කෝටියකයකටත් වැඩි මිස අඩු............
සීයලාගේ බිස්නස් එක මේකය. 

සතියකට දෙතුන් වතාවක් සීයා කොළඹ එළවලු මාර්කට් එකට යයි. මයියොක්කා, බතල දෙකෙන් එකක්; එදාට වැඩියෙන්ම ලාභ ජාතියෙන් ගෝනි කිහිපයක් මිලදී ගනියි. 
වැඩියත්ම ගෙනාවේ මඤ්ඤොක්කාය. ඒවායේ විලාසම ලියවලා, ලොරියකට පටවලා මහරගමට ගෙන්නා ගනියි. හුඟ වෙලාවට ඒවා ගෙදරට ගෙනාවේ අත් කරත්තකාරයෙකු ලවාය.

ඊළඟට එව්වා එකම ප්‍රමාණයට කුට්ටි කපා, පොතු ඇරලා, බෙරි නොවෙන්නට තම්බා ගනියි. ඒවා දිග අතට හීනි තීරුවලට කපා රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැදගත යුතුය. සීනි උණු කර, පත් පැණි හදාගෙන මයියොක්කාවලට දාන්නේ ඊළඟටය. 

විනාඩි දහයක් විතර යද්දී ඒවා පදමට වේළෙයි. කලින් හදාගත් කඩදාසි පැකට්වලට ඒවා අසුරා, පැකට්වල කට වසා අලවාගැනිල්ල ඊට පස්සෙය. 

ඒ පැකට් එකකි සත පහට විකුණුවේ!
එදාට ලාබෙටම තියෙන මඤ්ඤොක්කා හෝ බතල හෝ ගෝනි කීපයක්...........

කොස් බදින්නේ අමුවෙනි. බතලත් එහෙමය. කොස් වාරයට ගමේ ඇවිදලා කොස් ගෙඩි කඩවාගත්තේ අපේ ආච්චීය. ආච්චී පමුණුව පාරේ ප්‍රසිද්ධවී හිටියෙත් ‘මයියොක්කා ආච්චී’ නමෙන්ය.

ඉතින් පෙනෙනවානේ, මයියොක්කා වියාපාරේට ශ්‍රමය ගොඩක් ඕනෑය. නිදහසේ කළ හැක්කේ කඩදාසි පැකට් අලවා තියන එකය. සීයා අතින්ය, ඒ රාජකාරිය වැඩියෙන්ම කෙරුණේ. සමහර වෙලාවට මමත් ඒවා ඇලෙව්වෙමි.

පැකට් හදාගන්නට ගෙනාවේ පරණ අභ්‍යාස පොත්ය. බෝතල් පත්තර කඩෙන් රාත්තල් ගණනටය. එක කොළයකින් පැකට් දෙකක් හදාගත හැකිය. 

පැකට් සීයක් අලවා දුන්නාම ආච්චී මුලින්ම සත තුනකුත්, පස්සේ සත පහකුත් මට ගෙව්වාය. මං බතල, මයියොක්කා, කොස් එහෙම තීරු කපලා දුන්නෙත් ගණනක් හොයා ගන්නටය. මිම්ම කුල්ලකි. කුල්ලක් පිරෙන්න කපා දුන්නාම ගෙවූ මුදල නම් මතක නැත.

එහෙම හදාගෙන ලොකු පන්මලු දෙකක් පුරවා ගෙනියන පැකට් එදාම විකුණා ඉවර කරගන්නට ඕනෑය. ඉතිරි වුණොත් crispi ගතිය නැතිවෙයි; හං වෙයි.

කුල්ලක් පිරෙන්නට මයියොක්කා, බතල හෝ කොස් තීරු කපලා දෙනවාට සත පහක් ...
එහෙම විකුණලා ඉවරවී, එන ගමනේදීම පිටකොටුවේ එළවලු මාරකැට්ටුවේ, පස්වෙනි හරස් වීදියේ පාර අයිනේ ගොඩවල් ගහලා විකුණන එළවලු, මාළු එහෙමත් ගෙදරට ගෙනෙයි. ඉතින් කෑම අහේනියක් හිටිනවාද? ඔය රූටින් එක දැකීමේ වාසනාව තිබුණේ මටත් සුන්නාටත් විතරය.

සීයාට සැදැහැ සිතක් ඇති වුණාම අප දෙන්නාවත් කොළඹ එක්ක යයි. සීයාගේ ගොදුරු බිම් තිබුණේ වතුවලය. වැඩියත්ම මරදාන පැත්තේය; BBC එක හරියේ අතුරු පාරක් මට හොඳටම මතකය. 

අප කැටුව ගිය හැමදාකම, ඒ හරියේ තිබුණු පේව්මන්ට් කඩයකින් බාබත් කරියක් එක්ක මනි පිට්ටු අරන් දෙන එක සීයා වැරැද්දුවේ නැති නිසාය; ඒ. අම්මෝ ඒවායේ රහ....

සීයාගේ කස්ටර්මර්ලා වැඩි දෙනා හිටියේ එහෙම වතුවලය. දැන් චූන්-පාන්කාරයා වගෙය අපේ සීයාව පිළිගත්තේ. “ආ චාලි නානා, අද පොඩි එවුන් දෙන්නවත් බිස්නස් එකට ගෙනාවද?” වතුවල හිටි හැම කෙනාම සීයාගෙන් අසයි. එයාලාත් එක්ක සීයා කතා කරන්නේ සිංහලෙන් විතරක් නොවේ. දෙමළ භාෂාවෙනුත්ය. 

ඒ අතරට සීයා එයාගේ චෙම්බආස්සලපීඑයා.... ජලා හුකා හුකා පරියා...." බාසාවත් දායි.

ඒ වතුවල හිටි මරක්කල කාන්තාවන්ගෙන් එක්කෙනෙක්වත් හිජාබ ඇඳගෙන හිටියේ නැත.....
එතකොට මොට්ටැක්කිලි ඔළුවෙන් රූරා වැටුණත් ගණනක් නැතිව සීයා වටේට ඉන්නා ගැහැනු හිනා වස්සති; කුණුහරුපත් කියති. අපට දෙමළ බැරි වුණත් ඒ බව තේරෙන්නේ සමහරුන් ‘හාස් - හූස්’ කියන විදියෙනි.

ඒ වතුවලදී දිසානායක හේවගේ චාර්ල්ස් නිකම්ම චාලි නානා වුණේය.

කියන්නම ඕනෙය. අර මරක්කල ගැහැනු..... අනේ, අපහාසෙකට කියනවා නොවේ- අප ඒ දවස්වල කිව්වේ එහෙමය. මරක්කල මිනිස්සු! ඉතින් ඒ ස්තිරියාවන්ගෙන් කිසිම කෙනෙකු හිජාබ් ඇඳගෙන හිටියේ නැත; සාරි පොට හිස වටේ දවටාගෙන හිටියා මිස. යොවුන්- තරුණ යුවතියන් නම් ඔළුව වටේ රෙදි කඩක් දවටාගෙන හිටියා විතරය.............

ඉතින්, අදට වැඩිය හෙට හොඳය. හොඳ-හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ!

   

20 comments:

  1. කැලයක් දැකලා නැති අපිටත් තිබුනා කැලේ පනින්න ගහක් උඩ ගෙදරක් හදාගන්න ආසාකරපු සුන්දර කාලයක්. සමහරවිට මඩොල් දුව පොත කියවලා ඇතිවෙච්චි ආසාවක් වෙන්නත් ඇති. දැන් ළමයින්ට මේවා ගැන ආසාවක් ඇත්තේත් නෑ උන් පොත් කියවන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. "..උන් පොත් කියවන්නෙත් නෑ. "

      සහතික ඇත්ත..

      Delete
    2. ඒකට වග කියන්න ඕනේ වැඩිහිටියෝ. ළමයින්ව ඒකට හුරු කරවන්න ඕනේ පුංචි කාලේ ඉඳලා.
      විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා කියන දෙයක් මට තවම මතකයි. "ළමයි තොටිල්ලෙ ඉන්දැද්දිම පොඩි පොත් අතට දෙන්න ඕනේ සෙල්ලම් කරන්න. එතකොට ළමයි පොතේ හැඩයට, එඉදියට හුරු වෙනවා.'

      ඇත්තටම වනගත ළමෝ වගේම, රොබින්සන් කෲසෝ, කොරැල් දූපත, දිගාමඩුල්ලේ ආශ්චර්යය, පාර දිගේ, maayaa රාජ්‍යය වගේ පොත් ගොඩක් අපිට නම් වැදුණා බොක්කටම.

      මං කලිනුත් කිව්වා, සිංහල පොතෙන් 'එකම ලේ' පාඩම කියවලා 'ඇස් දෙක' පොත හොයාපු හැටි. 'නෙල්ලි කැලේ' පාඩමෙන් තමා අපි maayaa රංජන්ට වහ වැටුණේ!

      Delete
  2. https://en.wikipedia.org/wiki/The_Swiss_Family_Robinson

    https://en.wiktionary.org/wiki/must_have_killed_a_Chinaman

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      මට හිතෙන්නේ මේකෙන් ආභාෂය ලබලද දන්නේ නැහැ 'රණරාළ' පොත් ලියැවුණේ, බලාගන්න විදිහක් නැහැ, මයෙ ළඟ ඒ පොත නැති නිසා.

      මට මතක හැටියට පී.වික්‍රමනායක හෝ ජනක රත්නායක 'රණරාළ' නමින්ම දවස ප්‍රකාශනයක් වන 'ටිකිරි' ළමා පත්තරේටත් මේක චිත්‍ර කතාවක් විදිහට ඇන්දා.

      Delete
    2. 'රණරාළ'- https://en.wikipedia.org/wiki/Masterman_Ready,_or_the_Wreck_of_the_Pacific

      Delete
    3. ගොඩක් ස්තුතියි Pra Jay. රණරාළ 'Masterman Ready' අනුවර්තනයක්!

      Delete
  3. හොඳ වෙලාවට මේ කට්ටිය "වනගත ළමෝ" පොතට අනුව පැනලා යන්න උත්සාහ කරලා තියෙන්නේ. එහෙම නැතිව "හොල්මන් දූපත" විදියට කරන්න ගියානම් මීට වඩා කරදර වෙනවා. දොන් පීටර් පියතුමා ඒ කතා දෙකම එකම කතා සැකිල්ලක් මත නිර්මාණය කල ඒවා උනාට කොයි එක මුලින් ලිව්වාද කියලා නම් මතක නැහැ.
    ඔය මයියොක්කා, බතල, කොස් තුනම බැදලා පැණි දාන එක ගැන කිව්වට දෙල් ගැන කියලා නැහැනේ??? දෙල් බැද්දේ නැද්ද?? මගේ නම් ප්‍රියතම එක දෙල්.
    මම සංඥක අකුරු වලින් මංඤොක්කා කියලා ලියන්න උත්සාහ කළා. 'ම'යන්න ට පස්සේ 'ක'යන්න බැඳී අල් 'ද'යන්න ගන්න තේරෙන්නේ නැහැ. ඒ වාගේම කොම්පඥ්ඥ වීදියට 'ග'යන්න බැඳි 'ද'යන්න එනවා මිසක් 'ක' යන්න බැඳී 'ද'යන්න එන්නෙත් නැහැ. මේවා හොයන්න ගියාම මොලේ මංඥඥන් වෙනවා කියලා ලියන්නත් බැහැනේ! නිමල් මහත්තයා මේවා ගැන හිතන්නේ නැතිව ඊළඟ කොටස ඉක්මනට ලියන එක ගැන පමණක් හිත යොමු කරන්න. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්, කාලෙකට පස්සේ.

      දොන් පීටර් පියතුමා පොත් හතරක් ලියලා තියෙනවා. මං හිතාගෙන හිටියේ වනගත ළමෝ පළමුවෙනි එක කියලයි. ඔයාගේ කමෙන්ට් එකට උත්තර ලියන්න කලින් ඒ. ඒ. පියරත්න මහත්තයාගේ (සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලිය' පොත බැලුවා. එයට අනුව
      'ඩිංකි'- 1964- කොළඹ ලේක්හවුස්
      'වනගත ළමෝ' -1967- ලේක්හවුස්
      'හොල්මන් දූපත' 1971- කොළඹ වෙස්ලි මුද්‍රණාලය
      'විදුහලේ විත්ති' -1974- ප්‍රදීප ප්‍රකාශකයෝ - විදියට පොත් හතරක් පළ කරලා තියෙනවා.

      ඔයා හරි. මට දෙල් අමතක වෙලා. හේතුව ඒ දවස්වල දෙල් බද්දේ ඉතාම අඩුවෙන්. එව්වා මිලෙන් වැඩිව තිබුනාද සැකයි.
      මගෙත් ප්‍රියතම දෙල්. දෙවෙනියට මඤ්ඤොක්කා. අන්තිමට බතල. බතල තමයි බැද්දාම වඩාත් ඉක්මනින් හං වෙන්නේ.

      ඥ, ඤ ප්‍රශ්නේ මටත් මුලදී තිබ්බා. දැන් Google Input Tools එකෙන් කොටන නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙත් drakee කෙටුවාම එන්නේ 'ද්‍රකී'.

      Delete
    2. සෑම් 'මහත්තයා'ටත් ගූග්ල් ඉන්පුට් ටූල්ස් දම්මාගෙන බලන්න.

      එහෙම කිව්වේ මුලින් මහත්තයා කියන්න අමතක වුණු නිසා!

      Delete
  4. අර ගඳපාන නෙමේ නේද? අපි ඕවට කිව්වේ බාලොලියා කියලා. ගඳපාන කියන්නේ වැල් ජාතියක්නෙ...

    ReplyDelete
  5. ඔව් සෙන්නා, සමහර පැතිවල මේවාට බාලොලියා කියනවා. තව පැතිවල 'හිඟුරු' කියලත් කියනවා දැකලා තියෙනවා
    ගඳපාන වැල් නම් හම්බ වෙලා නැහැ.
    අර කලින් දවසක මං ඔයාට කිව්වා නේද 'කරඹ' හොයද්දී විකිපීඩියා එකේ තිබුණු පින්තූරය ගැන. මට පස්සේ මතක් වුණේ ඒක 'ඩෙබර' වගෙයි. මාස තුනකට කලින් හම්බන්තොට බෙරගමදී ඒවා කෑවා, පළමු වතාවට. ෆොටෝ එකක් ගෙන්වාගන්න බලන්නම්!

    දන්නා අය ඉන්නවා නං කියන්නකෝ!

    ReplyDelete
  6. මම අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවේ. මාගේ අඩවියේ දැමූ කමෙන්ටුවක් නිසා තමයි දැනගත්තේ මේ බ්ලොග ගැන!ඒ් වගේම කියන්න ඔ්නි මේ ලිපිය වැදගත් ඉතිහාසයක් ගැන කියනවා! මාරයි. අද වැඩ වැඩි වෙලාවක්. අනිවාම බුක් මාර්ක් ඒකක් දා ගත්තා! ්ඉක්මණට ආයෙම ඒන්නම් ඔබගේ ලිපි කියවන්න! සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මාධව, ගොඩක් ස්තුතියි. මාතලන්ගේ සින්ඩියෙන් දැකලයි ඔයාගේ අඩවියට ගොඩ වුණේ. වෙලාවක් ලැබුනම අනෙක් සහෘදයන්ගේ අඩවිවලටත් ගොඩවෙනවා update වෙන්න. එහෙම කරන්නම එපැයි, නේද?

      Delete
  7. කැලේ පනින්න හිතන තරමක්. අර පොත්වල හිටපු එවුවොත් ඔහොම හිතුවනං අද කොල්ලන්ට බලන්න ඒ පොත් ලියවෙන්නෙ නැතිවෙන්න තිබ්බ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, මිනිස්සු කැලෙන් එළියට ඇවිත් ගතවුණු කාලය හරිම කෙටියිනේ මානව වංශ කතාවත් එක්ක බලද්දී. සාපේක්ෂව බලද්දී අපි දිගු කාලයක්ම හිටියේ වනගතව නිසා, තවමත් අපේ හිත එහාටම ඇදෙනවා වෙන්නැති.

      හැබැයි රජෝ, කැළේ පනින්න වුණත් උගත්කමක් තිබ්බොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

      Delete
    2. කැලෑ අස්සේ රිංගලා වැඩියෙන්ම හම්බ කරණ එකා කවුද?

      Delete
  8. මහරගමයි හැදිලා, මරදානෙයි, පිටකොටුවෙයි හක්කලන් ගහපු හාදයෙක් තමයි එතකොට මේ කැලේ පැනල ජංගල් ජෝන් වගේ ජිවත් වෙන්න හදන්නෙ :-D

    ReplyDelete
    Replies
    1. උපන්නේ බින්තැන්නේ නිසා වෙන්නැති කණ්ඩො, එහෙමත් නැත්තන් වල් වදින්න තියෙන වල් ආසාව!

      Delete