අකුරු මැකී නෑ

Wednesday, July 31, 2019

හරෝහරා! - සිව්වෙනි කොටස


නල්ලුර් කෝවිලේ සිටත් පාද යාත්‍රිකයන් ගමන .... (foto- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
“කතරගම කන්දස්සාමි දකින්න අපේ මිනිස්සු එන්න පිටත් වෙන්නේ කප් හිටෝන දවසේ....” ශිවසාන්ද්‍ර ස්වාමි කීවේය. ඒ උතුරේ තැන්-තැන්වල කෝවිල් කිහිපයක සිටය. ඇසළ පෙරහර; කාර්තිකෝත්සවය පැවැත්වෙන්නේ කප් සිටවා දින 45 කිනි.

“මාමේ, ඔය සේරම කෙරෙන්නේ නැකත්වලට...කප් හිටවන්න ඉස්සෙල්ලා ඒකට හොඳ ගහක් තෝරාගෙන කපන්න යන්නෙත් නැකත් බලලා, පේ වෙලා....” හිච්චි කිව්වේ මැණික් ගඟේ ඉවුර දිගේ (පරණ තොටුපළේ සිට වරහන තෙක්) එන අතරේය.

එහෙම කිව්වේ එක්තරා ගසක් පෙන්වා ‘හොඳට බලා ගන්න’යි කියලාය. “.. මේ ගහ මොකක්ද හිච්චි?” බ්ලොගය ලියන්නට හිතාගෙනම ගිය නිසාත්, මගේ නොසන්සිඳෙන කුතුහලය නිසාත් මම ඇසුවෙමි. එහෙම කළේ මගේ අනුමාන කිරීම නොපවසමිනි.

'මාමේ, මේ ගහ හොඳට බලාගන්න' හිච්චි මහත්තයා මට කිව්වේ.....
“එච්චර දේවල් මාමට ඕනේ නැහැනේ....” 
යන්තම් සිනහවක් පාලා හිච්චි මහත්තයා මගේ ප්‍රශ්නයට නිදැල්ලේ යන්නට හැරියේය. ඒ විශ්වාසයයි; ඇදහීමයි! හිච්චි මහත්තයා වගේ අය කප් හිටවීමට කපාගන්නා ගසේ නමවත් ආගන්තුකයන්ට තෙපළන්නට මැලි වෙති.

හිච්චි මහත්තයලා එහෙම වුණත් හැමෝම එහෙම නැත. කණු කපන මංගල්‍යය ගැන 2019 ජුලි 16 දේශය පත්තරේ මෙහෙම තිබුණේය.

“මේ මංගල්‍යය කප් සිටුවීම හා සම්බන්ධ චාරිත්‍රයකි. කණු කපන මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පෙරහර හා සම්බන්ධ සිරිත්-විරිත් ආරම්භ කිරීමට දින 45කට පෙරය.වෙසක් මස පුර පසළොස්වක දින විසා නැකතින් හා නන්දන මුහුර්තයෙන් යෙදෙන සුබ හෝරාවකට අනුව පෙරහරින් ගොස් කණු කැපීම සිදු කෙරේ. එක පඳුරේ වැඩුණු කණු දෙකක්  (කරු දෙකක්) ඇති රත්කරව් ගසක් සොයාගෙන සුබ මංගල ඇතු සහ තේවාකාරයන් ප්‍රධාන කොට ඇති දේවාලයේ නිලධාරින් පිරිස කුඩ, කොඩි,සේසත් සහිතව බෙර වාදනය කරමින් එම ස්ථානයට ළඟාවේ. ඊට පසු දෙබල සහිත කණු දෙක කප්පවා එම කණු මල්, පඬුරු, පිරුවට බඳිනු ලැබේ. එම කණුව රැගෙනවිත් වල්ලි අම්මා දේවාලයෙහි තැන්පත් කරයි. මෙම කණුව ගෞරවයෙන් රැගෙන එන්නේ කප් හිටුවීමට යොදා ගැනීමටයි.” 

ඇසළ පෙරහැර පටන් ගන්නේ....... (foto- කසුන් ප්‍රියලාල්)
“දෙයියන්නාන්සේගේ පිහිටෙන් කතරගමට ගියාට පස්සේ, මං මාමාව දේවාලේ ඇතුළට එක්ක යන්නංකො. කපු මහත්වරු පූජා වට්ටි කැප කරන්න බාරගන්න තැනට ඉස්සරහින් දෙපැත්තේ තමයි කප් හිටවලා තියෙන්නෙ. මාමටම බලා ගන්න පුළුවනි ඔන්න!” 
හිච්චි මහත්තයා මට පොරොන්දුවකුත් දුන්නේය. ඒ විතරක් නොවේ, ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළේය; වැඩිපුරත් එක්කම.

“මෙතැන තමයි මාමේ කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේට මුරුතැන් පූජාව සූදානං කරන්නේ....”

එච්චර උදව් කළ හිච්චි මහත්තයා වුණත් මගේ රසික සහෘදයන් උදෙසා සේරම විස්තර කියනවාට අකැමැති වෙන්නටත් ඉඩ තිබේ. නම නොකියන්නැයි කියලා මට විස්තර කියූ බැතිමතුන් පහුගිය දෙවාරයෙදීත් හමු විණි. එහෙම වෙන්නට ඇත්තෙත් කියවන ඔබේ වාසනාවටම විය යුතුය.

“දැන් නිමල් අයියේ රත්කරව් ගස් අඩුයි. ඒවාම ගත්තෙත් නිකම්ම නෙවෙයි. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ හමුදාවට කතරගම දෙවියන්ව හම්බ වුණාය කියනවනේ..... මැණික් ගඟේ ඉවුරේදි.... අර ආයුධයි, කෑම ජාති සේරමයි උඳු වුණේ...”

කතරගම දෙවියන්නාන්සේ වැඩ හිඳින්නේ ..............
“ඒ මොකක්ද ඒ? මං වැඩිය අහල නැහැනේ එහෙම කතාවක්?”

“මේකයි, දුටුගැමුණු කුමාරයා සේනාවත් එක්ක එළාර යුද්ධෙට යන ගමන් මැණික් ගඟේ ඉවුරේ නවාතැන් අරං. ඒ කාලේ කතරගම දෙවියෝ වැඩ හිටලා තියෙන්නේ වැඩිහිටි කන්දේ. උන්නාන්සෙ වල්ලි මාතාව දකින්න යන වෙලාවේ දැකලා තියෙනව මේ හමුදාව. 
ඉතින්, නාකි මිනිහෙක් විදිහට වේශයක් මවාගෙන ගියාලු අර හමුදාව වාඩිලාගෙන ඉන්න තැනට. ගිහින් හමුදාවේ ලොක්කාගෙන් විතර ඇහුවලු...

-අර ලොක්කට හිතුණාලු ‘මේ මනුස්සයට මොටද සේරම වංහුං කියන්නේ’ කියලා. ඉතින් උන්නැහේ කිව්වලු ‘මේ උඳු පුරෝපු කරත්ත වගයක්’ කියලා. 

-‘එහෙමද’ කියලා වයසක මනුස්සයා ඔළුව වනලා යන්න ගිහින්.

-ටිකකට පස්සේ කන්න ගිහින් බලනකොට කරත්තවල පුරවලා තිබ්බ කෑම ජාතියි- අවි ආයුධ සේරමයි උඳු ඇට වෙලා තිබුණාලු. මොකක් හරි වැරදිලා තමයි කියලා බය වෙච්ච හමුදාවේ ලොක්කා දුටුගැමුණු කුමාරයා ළඟට දුවගෙන ගිහින් කතන්දරේ කියලා. 

-එතකොටම කුමාරයට පෙනෙනවලු මැණික් ගඟ දිගේ ඈතට යන වයසක මනුස්සයා. කුමාරයා එයාගේ පස්සෙන් යන්න ගත්තා විතරයි ගඟේ වතුර වැඩිවේගෙන-වැඩිවේගෙන යන්න පටන් ගත්තාලු.

එතැනම තමයි අද වෙනකල්ම දිය කැපීමේ චාරිත්තරේ ඉෂ්ට කරන්නේ...........
-කුමාරයාට තේරුණාලු වයසක මනුස්සයා කවුද කියලා. ‘කතරගම දෙවි හාමුදුරුවනේ, මම මේ රටේ බුද්ධාගමයි, සම්බුද්ධ සාසනයයි වනසන ද්‍රවිඩයන්ගෙන් රට මුදවාගන්න යුද්ධයට යන ගමන්. ඔබ වහන්සේ මට ජයග්‍රහණය ලබාගන්න උදව් වෙන්න...... මට ඔබ වහන්සේගේ ළඟට එන්න අවසර දෙන්න ‘ කියලා කිව්වා විතරලු. 
නාකි මනුස්සයා වෙනුවට දෙවි හාමුදුරුවන් පෙනී හිටියාලු. ඊළඟට උන්නාන්සේ අතේ තිබුණු රත්තරන් කඩුවෙන් මැණික් ගඟේ වතුර කඳට ගැහුවාම දිය දෙබෑවෙලා කුමාරයාට එතැනට යන්න පුළුවන් වෙලා.

-ඒ තමයි පළමු දිය කැපිල්ල. එතැනම තමයි අද වෙනකල්ම දිය කපනවය කියන්නේ.”

මගේ හිතවතා කියා දුන්නේය. එයාත් මගේ පලෝලෙම මනුස්සයෙකි; කියන්නට ආවේ රත්කරව් කතන්දරයයි. පීලි පැනලා කිවේ වෙනින් එකකි. 

“ඉතින්... ඕකට කොහොමද රත්කරව් ගස්....”

කතරගම දේවාලය 1957 අවුරුද්දේ තිබුණු අයුරු.......
“මෙහෙමයි, දුටුගැමුණු කුමාරයා යුද්ධෙන් දිනලා ඇවිත් කතරගම දෙවි හාමුරුවො බැහැ දැක්කා. උන්නාන්සේ වෙනුවෙන් දේවාලයක් හදන්න කැමතියි කියලා ඒකට සුදුසු තැනක් පෙන්වන්න කිව්වා. කතරගම දෙවියෝ ඊතලයක් විදලා; ඒක වැටුණු තැන දේවාලේ හදන්නය කිව්වා. ඒ ඊතලේ රත්කරව් කෝටුවකින් හදාපු එකක්. වැද්දොත් ඊතල හදන්න ගන්නෙ ඒවාලු!”

මාත් ලේසියෙන් යමක් අත හරින්නේ නැත. අංකොං සේරම හොයනවාය. “එතකොට රත්කරව් ගස් අඩු නං...”

“ඒ හිලව්වට දැන් හුඟක් වෙලාවට ගන්නේ ගෝනපනා ගස්. දැන් ඒවා වුණත් හරි අඩුයි!”

කප් සිටුවන නැකත උදාවෙන අතරේ කතරගම බෝධීන් වහන්සේගේ එක ශාඛාවක පමණක් රන්වන් ලාදලු මතු වෙතියි කියන විශ්වාසයකුත් තිබේ! 
මේ බෝධීන් වහන්සේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නමකි. 
තවත් ලෙසකින් කියනවා නම්, අනුරපුර ජය සිරි මහා බෝධි වෘක්ෂයේ හටගත් පළමු ගෙඩි අටෙන් එකක් රෝපණයෙන් මතු වූවකි.

අපේ බුදුහාමුදුරුවන් වහන්සේ සමවත් සුවයෙන් වැඩහිටි බිමක තමයි කිරි වෙහෙර .... (foto- කසුන් ප්‍රියලාල්)
“මේක පින් බිමක් මහත්තයෝ. නිකංද.... බුදුහාමුදුරුවන් වහන්සේත් වැඩිය පින් බිමක්. කිරි වෙහෙර හදලා තියෙන්නේ එතැනනේ.... හරියට ජීවත් වෙන අයට සියලු ආරස්සාව, දේව බැල්ම වැටෙනවාමයි!” තවත් භක්තිවන්තයෙක් අදහන්නේ එහෙමය.

ඔය ඇදහිලි-විශ්වාස මොනවා තිබුණත් දේශපාලනේ කරන අය ඒවා තකන්නේ නැති පාටය. එහෙම නොතැකුවාට එයාලට ඇති හෙණයකුත් නැති පාටය. 

මට එහෙම හිතුණේ ජූලි 27 පාන්දරය. කුමන ජාතික වනෝද්‍යානයේ පාලක මහත්තයා ඇතුළු කාර්ය මණ්‌ඩලයත්, හමුදා සොහොයුරනුත්, තවත් බොහෝ අමුත්තනුත් හොඳටම අසරණවී හිටින වෙලාවේය. පාද යාත්‍රාවේ යන්නෝ හිටියේ හොඳටම තරහිනි; දෙස් දෙවොල් තියමිනි!

මේ ගමන පුරාවටම හැම කෙනෙක්ම වාගේ ගමන් අරඹන්නේ උදේ හයටත් කලින්ය; යන්තමට බිම් කරුවල ඉතිරිවී තියෙද්දීය. තද අව්වට කලින් හැකිතාක් ගමන් කිරීමය සිරිත. 

ඊට පස්සේ හිරු අවරට හැරෙනතුරු, හැරිලාත් දෙපැයක් විතර ගතවෙනතුරු නැවත ගමන් අරඹන්නේ නැත.
එහෙම තියෙද්දී චාරිත්‍රානුකූලව ගමන පටන් ගැනීමට ගේට්ටුව විවර කිරීම සඳහා ලොක්කන් ආවේ පරක්කු වෙලාය.
එහෙම තියෙද්දී හා-හා පුරා පාද යාත්‍රාව පටන් ගන්නා දවසේ පරක්කු වෙද්දී බැතිමතුන්ට තරහ යන්නේ නැතිද? කුමන පිවිසුමේ ගේට්ටුව ළඟ ඒ පරක්කුව ඇති වුණේ දේශපාලක උත්තමයෙකුත්, හමුදා ලොක්කෙකුත් විවෘත කරන්නට ආ හින්දාය. ආ හින්දා නොවේ, පරක්කුවී ආ හින්දාය. 

මෙන්න වැන්දා.... මෙවැනි වැඩවලදී තමුන්නාන්සේලාට (අපේ සල්ලි වියදම් කරමින් වුණත්) ලොකු වැඩ කොටසක් කරන්නට පුළුවන්ය. ඒ ටික කරන්න! විවෘත කරන්නට නාවාට කමක් නැත!!

හරියටම ගේට්ටුව ඇරියේ උදේ 7 විනාඩි 02 ටය.

“තමුසෙගෙ චීත්තවාහිනියෙන් ලියන්න ඕනේ මේවා නේද? බම්බුව.... මචං මූ වැඩියෙන් ලියන්නේ අපේ විස්තර. අපි නැතිනං මූට බ්ලොග් එකේ ලියන්න දේවල් නැහැ.” ඒ අස්සෙත් නෙවිල් කිව්වේය.

“ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි යක්ෂයෝ හොඳ ෆොටෝ ටිකක් අරන් දියං කිව්වේ!”

හොඳ ෆොටෝ ටිකක් අරන් දියන් කියලා.... (foto - දමිත් සංජය අමරසේකර)
බ්ලොගයක් ලියන්න හිතාගෙන හිටි නිසාම සමහර දර්ශන ඕනෑකමින්ම මගේ I Pad එකේ හිර කර ගත්තෙමි. නෙවිල් නළලේ තුන්නූරු තිලක තියාගෙන ඉන්නා ෆොටෝ එක මං එහෙම ගත් එකකි. මට ඕනෑ කළ සමහර දර්ශන නෙවිල්ලා ෆෝන් එකේ හිරකරගත්තේ නැත. 

එහෙම කළේ මගෙන් පරුෂ වචන අහගන්නට හිතුණාමය! ඒ අඩුව; ෆොටෝ අඩුව පුරවාගන්නට මාර්ගයකුත් කඳ සුරිඳුන්ම මට පාදා දුන්නා වගෙය!

ඇල්පිටියේ කුරුඳුගහහැතැප්මෙන් ආ නඩයක හිටි කසුන් ප්‍රියලාල් ගැන ගිය කොටසේදී කිව්වෙමි. මෙන්න බොලේ දැන් මනුස්සයා ෂෙයාර් කරගෙන තියෙනවා අපූරු පෝස්ට් ටිකක්. මල් මසුරං ෆොටෝ ටිකකුත් එක්කම. 
විනුර පෙරේරාගෙනුයි, දමිත් සංජය අමරසේකරගෙනුයි.

පළමුවෙනි සැරේ නම් අපේ දොස්තර මහත්තයාත් බරට-බරේ කැමරා උස්සගෙන ගියා. උස්සගෙන යන්න තියෙන අවුන්සයක් වුණත් පස්සෙ-පස්සේ දැනෙන්න ගන්නේ හොණ්ඩර වගේ නිසා මේ සැරේ ඒවා ඔක්කොම හළලයි ගියේ.

එයාලගෙ ෆොටෝස් වුණත් අරන් මගේ බ්ලොගය හැඩ කරන්න හදන බව... (ෆොටෝ- කසුන් ප්‍රියලාල්)
විනුරලගේ- දමිත්ලගේ ෆොටෝ මගේ බ්ලොග්  එකටත් අරගන්නවා කියලා දැන්මම කියලා යවලත් ඉවරයි! උත්තරත් ලැබිණි! 

ඒකට පාර පෙන්නුවාට නම් කතරගම දෙවියන් වහන්සේට පිං දෙන්නම ඕනේය!

මේ වාගේම කාට-කාටත් පිහිටවෙන එක කතරගම දෙවියන්ගේ ස්වභාවය වෙන්න ඇති. 

ඒ නිසාම වෙන්න ඇති, රට පුරාම හැම ආගමකම අය උන්වහන්සේව අදහන්නේ; පිහිට පතන්නේ. වාහනයක් ගත්ත ගමන් ගොඩක් අය ඉස්සෙල්ලාම යන්නේ කතරගමට. 
බිස්නස් කරන අය විතරක් නෙවෙයි.... 
දේශපාලන බිස්නස් එක කරන අයත් කොච්චර නම් කතරගම යනවද? 

එහෙම අය ඉල්ලාගෙන කෑව කතාවකුත් කතරගම ඇත්තෝ කියති.

“මතකයිද 2012 මැණික් ඉල්ලම් මතුවුණා.... තණමල්විල පාර හදද්දී......... දෙයියන්නාන්සේ ඒවා දුන්නේ අපේ දුප්පත් මිනිස්සුන්ට. මැණික් කතාව ආරංචි වුණා විතරයි ලොකුලොක්කෝ එකතු වෙලා ඒවා බදාගත්තා; බෙදාගත්තා. අන්තිමට මොකද වුණේ? උන්ට මැණික් හම්බ වුණා. හැබැයි විකුණාගන්නවත් වෙලාවක් නැතිව ගියා.... පෑදුණු නිල් මැණික් ගල් සේරම දවසෙන්-දෙකෙන් සුදු වෙවී - පලුදු වෙවී යන්න ගත්තා. ලක්ෂ ගණනින් වියදම් කරපු අයට වියදමවත් පියෝගන්න බැරි වුණා!”

පාර හදන්න ගෙනාව පස්වල තිබිලා මැණිකක් ලැබුණු බව දැනගත්තාම.......
එහෙම සර්වව්‍යාපී දෙවියෙකු වන කඳ සුරිඳුන් වඩාත්ම ප්‍රචලිතව තියෙන්නේ ‘ෂන්මුඛ’ වේශයෙන්ය. “දරුවා, මුහුණු හයක් තියෙන වේශයට කියන නම තමයි ඒ. එතකොට අත් දොළහකුත්.... දන්නවද ඒ අත්වලින් දරාගෙන ඉන්න දේවල්?”

“.... කෙටේරිය, පලිහ, පොත, කඩුව, අංකුශය, මුගුර, දුන්න, කුක්කුට ධජය, හක් ගෙඩිය, තෝමරය.... ඔය සේරටම වැඩිය දේකුත් තියෙනවා. කතරගම දෙවියන්ගෙන් දරු ඵලත් ඉල්ලනවය කියලා දන්නවද?”

ඒකට සාක්කි විදිහට තියෙන්නේ කවියකි.

     කතරගමට පඬුරු හතර          දෙවඤ්ඤයි
     නවගමුවට නව පඬුරුද             දෙඤ්ඤයි
     දොඩන්වෙලට දොළසක්ම       පුදඤ්ඤයි
     පුතෙක් දෙතොත් පෙරහරටත්    එඤ්ඤයි

අපේ කවුරුන්වත් දරු ඵල ඉල්ලුවේ නැත. පැතුවේ අතුරු අන්තරාවක් නැතිව ගමන නිමා කරන්නට පිහිට වෙන්න කියලාය. ඒත් අපම මෝඩකම් කරනවා නම්.....

එකම මෝඩකම තුන්වෙනි වතාවටත් කිරීම ගැන නම් අපට සමාවක් දෙන්නට වටින්නේ නැත. 

“නිමල් අයියේ, මේ සැරේ නම් අපි ටිකක් ඉඳ-ඉඳ යමු. එතකොට අනෙක් අය ගැන ස්ටඩි කරන්නත් පුළුවන්, කල්චර්ස් ගැන දැනගන්නත් පුළුවන්.” අයස්මන්ත මහත්තයා කලින්ම කිව්වේ එහෙමය. නෙවිල්ටත්, මර්වින්ටත්, මටත් ඕනෑ කළෙත් ඒකමය. 
ජයශංඛට ඡන්දයක් නොතිබුණේ කෝඩුකාරයා වුණු හින්දාය.

මේ වතාවෙත් ඉස්සෙල්ලාම ගමන නිමා කළ 125 අතරේ අපිද වීමු!
කීම කොහොම වෙතත් ගමන පටන්ගත් වෙලාවේ ඉඳලාම අයස්මන්තට තිබුණේ පුදුමාකාර ගායකි. “යං යං යං”. ඒ යක්ෂයා දිගටම මැතිරුවේ ඒ මන්තරයයි. 

ටිකාක්වත් විරුද්ධ වුණේ මං විතරය. නෙවිලුත්, මර්විනුත් කණු-කුණු ගෑවා මිස කෙළින්ම ‘බැහැ’යි කිව්වේ නැත. ඉතින්, තුන් සැරේම ‘වින්’ හෝ ‘ප්ලේස්’ හෝ තැන්වල අපිත් හිටියෙමු. පළමු වතාවේ; 2013 ඉස්සෙල්ලාම ගමන හමාර කළ 25 දෙනා අතර අපිද වීමු.

“තවම 125ක් එළියට ආවේ නැහැ.” මේ වතාවේ පිටවෙද්දී මට දැනගන්නට ලැබුණේ එහෙමය. එදා; ජුනි 30වෙනිදා හවස් වෙද්දී පා ගමන නිමා කර තිබුණේ 325 දෙනෙකු පමණි.

අපේ puකේ අමාරු කඩිකුලප්පුව නිසා ගමනේ අසිරිමත්කම සෑහෙන්නට මඟ හැරුණා වගෙය.

පාද යාත්‍රා බැතිමතුන්ට කුමන වනෝද්‍යානයෙන් ඇතුළු වෙන්නට අවසර ලැබෙන්නේ පෙරහරට දින දාහතරක් තියෙද්දීය. ඒ සේරම තීරණය කෙරෙන්නේ කප් හිටවූ පසුවය. 
කප් හිටුවන්නේ නැකත් අනුවය. නැකත් යෙදෙන්නේ ග්‍රහ-තරු පිහිටීම අනුවය කියාය මා දන්නේ. ග්‍රහ-තරු පිස්සු නටලාදෝ අප නමොවිත්තියෙන්ම පාද යාත්‍රාවේ යන්නට සූදානම් වෙද්දී ලොකුම අවුලක් පටන් ගෙන තිබිණි.

“2013 කතරගම පෙරහර තියන්නේ ජුලි මාසේදි නෙවෙයි.... අගෝස්තු මාසයෙදියි!” එතකොට කුමන ඩියුටි හිටි චන්දන අපට කිව්වේය.

මේ සැරේ දුර ඉඳලා එන මිනිස්සු සෑහෙන අමාරුවකයි වැටිලා ඉන්නේ.......
“ඒ කොහොමද? ඇසළ පෙරහර කියලනෙ කතරගම පෙරහරට කියන්නේ....”

“අනේ මන්ද නිමල් මහත්තයා. මේ සැරේ යාපනේ එහෙම ඉඳලා එන අයත් හරිම අමාරුවක වැටිලලු ඉන්නේ. පව්. ඒ මිනිස්සු එන්න පිටත් වෙන්නේ ජුලි පෝයට දවස් 45ක් තියෙද්දි. එහෙම ආව අය දැන් සති ගානක් තිස්සේ ඔකඳ දේවාලේ ඉන්නවා.

-ඒ සමහරුන්ගේ අතේ සල්ලිත් ඉවර වෙලා. සමහරු ආයිමත් පිටත් වෙලා පොතුවිල්, සියඹලාණ්ඩුව, මොනරාගල පාර දිගේ පයින්ම කතරගමට යන්න. 
එතකොට පාර දෙපැත්තේ මිනිස්සු හරි උදව් කරනවනේ..”

සේරෝම කතන්දර හෙළි වුණේ අන්තිමටමය!

වෙනදා නම් වෙසක් පෝයට කප් හිටුවන්න නැකත් යෙදෙනවා........... එතකොට පෙරහර ......
“අපේ ඇසළ උත්සවය පවත්වන්න නැකත් තීරණය කරන්නේ මහ දේවාලයේ නැකත් භාර කපු මහත්තයයි, මහ කපු මහත්තයයි එකතු වෙලා කරන නැකත් පරීක්ෂාවකට පස්සේ.

- වෙනදා නම් අවුරුදු මංගල්‍යය ඉවර වෙලා මේ දෙන්න එකතු වෙලා නැකත් බැලුවට පස්සේ වෙසක් පෝයට කප් හිටවන්න ලැබෙනවා. කප් හිටවලා දවස් 45ක් ගියාම නැකත් අනුව දින 14ක් හෝ 15ක් හෝ 16ක් හෝ පෙරහැර මංගල්‍යය පවත්වන්න දින තීරණය වෙනවා. ඒ දින සීමාව ලැබෙන්නේ ඊළඟ පෝයත් එක්ක. ඒ පෝයට කලින් පෙරහැර ඉවර කරලා පෝය ගෙවුණාට පස්සේ දිය කපලා ඉවර කරන්න ඕනේ. 

-මේ පාර වුණේ ඒ සුපුරුදු විදියට කප් හිටවන්න වෙසක් මාසේ නැකත් තිබුණේ නැහැ. ඒක නිසා කපු මහත්තුරුන්ට සිදුවුණා පොසොන් පෝයට නැකත් ලබාගන්න.....” 

කතරගම පූජා භුමිය භාර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පත්මසිරි රාජපක්ෂ මහතා අවුලට හේතුව ‘2013 අගෝස්තු 18 - ඉරිදා දිවයින’ට කියා තිබුණේ එහෙමය.

ඒ අවුලෙන්; පමාවී ගමනට දින නියම වීමෙන් අපේ නෙවිල් අනුරසිරිත් ලොකු අවුලක පැටලුණේය! එතකොට උන්නැහේගේ ගෙදර හදලා ඉවර වෙන්න ඔන්න-මෙන්නය. 

කුලියට අරගෙන හිටි ගෙදර ආපහු බාරදෙන්නට වෙලා තිබුණේය.

තව ගොං කෙළියකුත් ගෙට ගෙවදිල්ලට ඈඳීලා තියෙනවා මචං...........
“මාර කෙළියක්නේ මචං. ගෙට ගෙවදෙන්න නැකත් වැටිලා තියෙන්නේ පාද යාත්‍රාවේ යන දවසේ. මං හැලෙන්නද? බොරුවක් හරි කරලා නැකත් වෙනස් කරවගන්න තිබුණා වැඩේට මම ගියා නං. අම්මයි නැකත් බලවගෙන ආවේ! තව ගොං කෙළියකුත් නං තියෙනවා.......”

“මාර කේස් එකනේ!” මර්විනුත් කිව්වේ නැකත් පට්ටෙටම විශ්වාස කරනවා වගෙය.

“කට වහගනින්.... උඹේ මඟුල් දවසේ නැකත් වෙනස් කරපු හැටි මතකයි නේද... තාත්තත් එක්කම එකතු වෙලා. මාර කේස් එක!! මොකක්ද නෙවිල් අර ගොං කෙළිය?”


Monday, July 29, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස

මගේ බලු ගතිය කියන්නේ, ඒ නොඉවසිල්ලෙන් යන්තමට හරි ටිකක් ඔයාලටත් ඇතිවෙනවා නම් මං හරිම කැමැතිය. අදට පෝස්ටුව නවත්තන්නේ එහෙම හිතමිනි!

ඔය බලු ගතිය ටිකක් අඩු කරගන්න!
එහෙම කියමින් ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවාම ‘නොනමින් ලියන රසිකයෙකු’ කියලා තිබුණේ ‘ඔය බලු ගතිය ටිකක් අඩු කරගන්න’ කියලාය. අනේ රත්තරනේ, ‘හත් අවුරුද්දක් උණ පුරුකක දමලා තිබ්බත් .....

නැහැ, මං කියනවාට වඩා හරියන්නේ කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන කොළඹ පරපුරේ කිවිඳුන්ගේ කවි තුනක් උස්සලා මෙතැනට ඔබන එකයි. 
2019 ජුලි 21 ‘රාවය’ පත්තරේ ‘පද්ම තටාකය’ පිටුවට 
මේ කවි යොදාගෙන තිබුණේ කිවියර රත්න ශ්‍රී විජේසිංහ; මාර්ටින් කවියාට දැන් අවුරුදු 94ක් පිරෙනවාය කියන ගමන්! ඔබට දීර්ඝායු මාර්ටින් ජයවර්ධන කිවිඳුනි!!

බලු පිරුළු

    කොපමණ ඇතත් කණ කර අභරණද   රෙදිත්
    ඕනැම සබාවක විලිබිය නැතිව             හිඳිත්
    ගැසුවිට අසුර දිව එන රජ            සබයකදිත්
    සමහර මහත්වරු බලු කෝලමට          අඳිත්

        බල්ලා කම්මලේ ළිප ළඟ                නිදියෑවත්
        නොනැඟිට සිටී කොපමණ හෙණ ගෙඩි ආවත්
        උණ පුරුකේ දමා අවුරුදු ගත                 වූවත්
        බලු වලිගේ ඇදේ යනවද                 කවදාවත්

නොනැඟිට සිටී කොපමණ හෙණ ගෙඩි ආවත්.................(ෆොටෝ- තිළිණ කළුතොටගේ)
    ගංවතුරට හඳට රෑ             උඩුබුරුලෑවත්
    කොල්ලත් බල්ල වාගෙයි පඬිවරු  කීවත්
    කම්පට ගසා ගමනට බාධක         ආවත්
    බලුකම රැකගනී බල්ලා බලු         වූවත් 

දැන් බලු වසංගතයටත් වඩා වසංගතයක්ව තියෙන සිලි මලු ඒ කාලයේ තිබුණේ නැත. පරණ කඩදාසිවලින් හැදූ බෑග් විතරය තිබ්බේ. 
වැඩි බරක් දාන්නට ඕනේ නම් ගත්තේ සිමෙන්ති කොට්ටවල කවරවලින් හදාගත් බෑග්ය. ඒවාට වුණත් මස්-මාළු දැම්මේ හබරල කොළවල ඔතලාය. 
මුදවපු  කිරිහට්ටි දුන්නේ අමු පොල්කොළ පිරිවැස්සක (ඒක හරි අපූරු ඇසුරුමකි!) අහුරලාය.

එදා තාත්තා ගෙදර ආවේ අර වගේ ලොකු  සිමෙන්ති කඩදාසි උරයකුත්, පොල්කොළ ඇසුරුමක මීකිරි ඇතිළි දෙක-තුනකුත් දෝතින්ම උස්සාගෙනය. 
කඩදාසි උරයේ සම්බා හාල්, අර්තාපල්, හරක් මස්, පරිප්පු හා බූන්දි ටිකකුත් තිබුණේය. එළැඹුණු ලකුණු සුබය!

මුලින්ම නං එයාලා බතික් කෑලි ටික බලන්නවත් ..........
“දෙතුන් පොළකට යන්න වුණා බං. ඒකට පාඩුවක් වුණේ නැහැ. 
උඹට මතකයි නේද, පිටකොටුවේ පොලීසිය... ලේක්හවුස් එක පහු කරනකොටම අර බෝ ගහ යට තියෙන්නේ... එතැන හෝල්ට් එකෙන් බැහැලා, පොඩ්ඩක් ඉස්සරහට යනකොට වමට තියෙන පාර... (ඒ කිව්වේ චැතැම් ස්ට්‍රීට් එකය.) 

ජෙම් සෙන්ටර් එකේ මහත්වරුන්ට එරන්දතීඇතුළු බිත්ති සැරසිලි හයම හොඳට හිතට අල්ලා තිබිණි. ඊළඟ අවුරුදු කිහිපයේම අපේ ජීවිත ගමන් කරන්නට වුණේ ඒ හිතට ඇල්ලීමෙන් හැරුණු පාර දිගේය.

“අනේ අසංග,  හෙට දාන්න හදන පෝස්ට් එකට චැතැම් ස්ට්‍රීට් එක පටන් ගන්න තැනම තියෙන සාප්පුවේ ෆොටෝ එකක් අරන් එවන්නකො.” කොළොම්පුරේ බ්ලොගය ලියන අසංග රණසිංහආරච්චිට කිව්වෙමි. අපේ ‘බ්ලොගර්ස් ඊව්’ එකට ඔන්න-මෙන්න තියලා පිහි ඇනුම් කෑවේ එයාය. 
“නිමල් අයියේ, දැන් එතැන ජෙම් සෙන්ටර් කියලා එකක් නැහැ. වෝග් කොර්නර් කියලා එකක් තියෙන්නේ." අද උදේම අසංග හොයා බලා කිව්වේය.

හෙට උදේට ඒකෙ ෆොටෝ එකක් අරන් එවන්නට කිව්වටත් පස්සේ, මම නිකමට ජාලය පිරික්සුවෙමි. ගෙදර ඉඳන්ම ජෙම් සෙන්ටර් එක රූපාන්තරණය වෙලා තියෙන ෆොටෝ එකක් හොයාගත්තෙමි. මේ පෝස්ටුව පබ්ලිෂ් කරලාමය, අසංගට කෝල් එකක් දෙන්නේ. ස්තුතියි අසංග!

දැන් එතැන ජෙම් සෙන්ටර් එකක් නැත. තියෙන්නේ වෝග් කෝනර් එකකි. අවුරුදු 45කට පස්සෙනේ....
රංජි, සාප්පුවේ මහත්තයා විස්තරත් ඇහුවා.... උඹ විතරයි වැඩේ කරන්නේ කිව්වාම පුදුමත් වුණා බං. උන් කිව්වනේ හදන තරමක් එහාටම ගෙනෙන්න කියලත්... ඒ ගොල්ලෝ ගන්නං කිව්වා.

හැබැයි එයාලා එදා වෝල්හැඟින්ස් හයම අරගෙන තිබුණේ රුපියල් 330/-කටය. එකක් රුපියල් 55/- ගණනේය.

එදා මට දැනුණු සතුට තවමත් දැනෙයි! 330/- මහ ගාණක් නොවේ! එහෙත් ඒ පටන් ගැන්මක් විතරය. ඒ වතාවේ වියදම කීයක් වුණිදැයි කියලා නම් මට මතක නැත. 

ඒත්, මේ විදිහට නම් බතික් කිරීමෙන් අපේ ගෙදර නඩත්තුව සලස්සා ගන්නට හැකිය. ඒ මදැයි!

මාස කිහිපයක් යනතුරුම ඒ රටාව දිගටම ගියේය. 

මිනිසුන්ට ඇති තණ්හාවේ නිමක් නැත. ලැබෙන තරමටම අවශ්‍යතාත් පුළුල් වෙයි. පොඩි දෙයකින් ලැබුණු සතුට මහ විශාල දේවල්වලින්වත් විඳගන්නට බැරි වෙයි. එහෙම අතෘප්තියක් නොතිබුණා නම් ලෝකය භෞතිකව මෙතරම් දියුණු වෙන්නෙත් නැහැනේ.... නේද? 
අපට වුණේත් ඒකමය.

ගුණසේන පොත්හළේදී මට හමුවුණු අපූරු සඟරා වගයක් තවමත් මගේ ‘නිධන් වස්තු’ අතර තිබේ. නම ‘සෙවිල්ල’ය. ඒවායේ කියන විදිහට නම් ‘ලිතෝ ප්‍රින්ටින්’ ක්‍රමයට අච්චු ගසා තිබෙයි. හරිම ලස්සන, වර්ණවත් ඒ සඟරාවක ‘සිරිකත හා හිඟන්නා’ කියලා කතාවකුත් තිබුණේය. චිත්‍ර ඇඳලා තිබුණේ ග්‍රීක රටාවකටය!

සෙවිල්ල සඟරාවේ තිබුණු ඒ කතාවට චිත්‍ර ඇඳලා තිබුණේ.......
දුගී හිඟන්නෙකු ළඟට එන්නී සිරිකතයි. ‘ඔබට රන් කාසියක් දෙන්නම්!’ හිඟන්නා ගැන අනුකම්පාවෙන් සිරිකත කියයි; රන් කාසියකුත් දෙයි.

“අනේ සිරිමතියෙනි, මට තවත් රන් කාසි ටිකක් දෙන්නට නොහැකිද?”
“පුළුවනි... ඒත් ඔබට දිගු කලක් යැපෙන්නට එක රන් කාසියක් සෑහෙනවා නේද?”

එහෙම ඇහුවත්, හිඟන්නාගේ පෙරැත්තය නිසාම ශ්‍රියා කාන්තාව රන් කාසි දෙන්නට පටන් ගනියි. “තව එකක්... තව එකක්...” හිඟන්නා රන් කාසි ඩැහැ ගනිමින් පසුම්බියට දමා ගනියි.

“පරෙස්සමින්.... ඔබේ පසුම්බිය පරණයි. දිරාපත් වෙලා තියෙන්නේ. එක රන් කාසියක්වත් බිමට වැටුණොත් සේරම අඟුරු කැට බවට පෙරළේවි!” ඇයගේ අනතුරු ඇඟවීමෙන් වැඩක් වුණේ නැත. හිත පිරුණේ නැතිවාට මල්ල පිරුණේය; බරට කඩා වැටුණේය.

ඒත් එව්වා ජීවිතයට මඟ පෙන්වූ පහන් ටැඹවල් වගෙය...........
ඇත්තය. ඒවා කතන්දරය. ඒත් මට නම් ඒවා ජීවිතයට පාර පෙන්වූ පහන් ටැඹවල්ය. උපන් ගතියක්ද මන්දා මා හොයන්නේ වස්තුව-වළඳුව නොවේ; සතුටය!

තණ්හාව අඩු වුණු තරමට; අපේක්ෂාවන් සීමිත වුණු තරමට; අල්පේච්ඡතාව වැඩි වුණු තරමට සතුට ලැබෙන බව මගේ අත්දැකීමයි. 
එහෙම අවබෝධයක් තිබුණාට මොකද, මේ ලියන්නා මැට්ටෙක් නිසා තවමත් වෙසෙන්නේ කෙලෙස්බරිත කෙනෙක් හැටියටය; පසිඳුරන් පිනවන කෙනෙක් හැටියටය! 
‘උඹට සසරින් එතෙර වෙන්න නං තව කල්පෙකටවත් බැහැ පුතෝ.’ වරෙක මම මටම කියාගන්නෙමි.

බතික් කෙරුවාව පුළුල් කෙරුණේ ටිකෙන් ටිකය. එහෙම කෙරෙනවාත් එක්කම මගේ ලෝකය කුඩා වෙන්නටත්; විවේකය නැත්තටම නැති වෙන්නටත් පටන් ගත්තේය.

පුළුල් වුණේ චිත්‍රපට බැලීමේ අවසරයයි. ‘සුමානෙකට එකයි!’ අපේ තාත්තා වරම් දුන්නේය. ඒ ගැන තිබුණු උනන්දුවෙන් 1% ක්වත් මුදල් පරිහරණය ගැන මට තිබුණේ නැත. තකතිරුකමය! ඇත්තම කිව්වොත් ඒ දවස්වල මැරෙන එක ගැන මට තිබුණ ලොකුම දුකත් චිත්‍රපටවලට සම්බන්ධය. 

මැරෙන එක ගැන මට තිබුණු ලොකුම දුකත් චිත්‍රපටවලට සම්බන්ධය............
ඒ කාලයේ ෆිල්ම්ස් දිව්වේ පැල් බැඳගෙනය. 1973 වසරේ චිත්‍රපට 13 ක් තිරගත විණි. 

මාතර ආච්චි, අපරාධය හා දඬුවම, සුහද පැතුම, තුෂාරා, සදහටම ඔබ මගේ, හත්දින්නත් තරු, ගොපලු හඬ, හොඳම වෙලාව, සිනාවයි ඉනාවයි, සුනේත්‍රා, හොඳයි නරකයි, දාහකින් එකෙක්, හොඳට හොඳයි- කියන ඒවාය. (මගේ මතකය හරි නම් එයින් තුනක්ම දින 100 පැන්නූ ඒවාය.) එකක් පෙන්වද්දී ඒ මණ්ඩලයේ ඉස්සරහට එන්නට කිට්ටු චිත්‍රපටවල ට්‍රේලර්ස් කිහිපයක්මත් ප්‍රදර්ශනය කෙරෙයි.

‘අරක නම් බලන්නම ඕනේ. මේකත් හොඳයි වගේනෙ. ෂා, මේකේ සිංදුනෙ සිංදු....’ ට්‍රේලර්ස් බලන අතරේ හිතෙයි.

මට තවම මතකය. ‘හොඳට හොඳයි’ චිත්‍රපටයේ ට්‍රේලරය. 

හොඳින් ඔප දැමූ සපත්තු යුවලක් දමාගෙන හිටින ගාමිණී ෆොන්සේකාගේ පාවහන්වලට කැමරාව එල්ල වෙයි. කකුල් දෙක ටීපෝවක් උඩින් කතිරයක් වගේ හිටින්නටය තියාගෙන ඉන්නේ. අපට පෙනෙන්නේ සපත්තුවල යට පැත්තයි. ඊළඟට සපත්තු දෙක ඈත්වී ගාමිණීගේ මුහුණ පෙනෙන්නට වෙයි. මාර ගතිය! 

(ඊට මාස ගණනකට පස්සේ ‘අප්නා දේශ්’ හින්දි චිත්‍රපටය බලද්දී රාජේශ් ඛන්නාත් ඒක ගෙඩිය පිටින්ම කොපි කරලාය!

පස්සේ බලද්දී අපේ ගාමිණී ෆොන්සේකාව රාජේශ් ඛන්නාත් ගෙඩි පිටින් කොපි කරලාය!
ඔහොම ඉනාවල් ගිලින මා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ අලුත් එකක් රිලීස් වෙනතුරුය. අවංකවම කියනවා නම් එක ෆිල්ම් එකක් දින සීයක් දුවද්දී මං නම් හිටියේ තරහෙනි. ඔහොම බලාගෙන ඉන්න අතරේ මං මැරුණොත්.... 
ෆිල්ම්ස් කීයක් මිස් වෙනවද දෙයියනේ?

අදටත් මගේ ඒ අමනකම ඒ වගේමද කොහෙදය. මං වැඩියෙන්ම කරදර වෙන්නේ තුට්ටු දෙකේ සිල්ලර දේවල් ගැනය. 

ඒ දවස්වල ඉපැයූ දේවල් වියදම් කෙරුණේ කොහොමදැයි මම දැන නොසිටියෙමි. 
හරියටම කියනවා නම් සෙක්කුවේ බැඳපු ගොනා වගෙය. 
වටේ යන්නට විතරය දැනගෙන හිටියේ. ඒ ටික නම් හොඳට මතකයේ තිබෙයි.

(මගේ මතකය හරි නම්,) බතික් ශිල්පය ජනගත කිරීමේදී ඇ. ලයනල් ද සිල්වා උන්නැහෙත් සෑහෙන වැඩ කොටසක් කළා විය යුතුය. ‘මල් පියලි’ ප්‍රකාශන එක්කම බතික් ගැනත් පොත් පළවිණි. දැන්වීම් පළවිණි.

“මහත්තයා... අලුත් ඩයි ජාතියක් තියෙනවා. වැට් ඩයි කියලා..... යේක රෙදිවලට නම් ඔඳයි!” ඒ වෙනකොට අඳුනාගෙන හිටි ඩයි කඩයේ එක්කෙනෙක් කිව්වේය. “බාත්ස් දෙකක් තමයි ඕනේ නෑ. පෙර්ෆෙක්ට්.... ෆේඩ් වෙන්නෙත් නැහැ. try කරලා බලන්නකෝ...”

මේ සියලුම බතික්වලට පාවිච්චි කර තියෙන්නේ වැට් ඩයි වර්ගය.............
මට ‘වැට් ඩයි’ හඳුන්වා දුන්නේ මරදානේ ඒ.සී.ඒ. මුතලිප්බ් එකෙනි. ඒක තිබුණේ ගාමිණී හෝල් එකට මෙහායින් තියෙන පිට්ටනිය ඉස්සරහම කඩ පේළියේය. 
ඉරිදා පත්තරවලින් දැන්වීම් දැකලය මං මුලින්ම එහාට ගියේ.

“අම්මට සිරි. ඔක්කොම ජාති තියෙනවනේ... මී ඉටිද, පැරෆින් ඉටිද, නැප්තෝල්- නැප්තනිලයිඩ්- ප්‍රෝෂන් ඩයි ජාති... කෝස්ටික් සෝඩා... හයිඩ්රෝ...” පළමුවෙනි සැරේ ගියාම මං උඩ ගිහින් හිතුවා මතකය.

ඒ දවස්වල මුතලිප්බ් එකට තිබුණු වෙළෙඳාම හිතාගන්නටවත් අමාරු තරම්ය. 

බතික්වලට ගන්නා ජාතිවලින් එහි නොතිබුණේ රෙදි වර්ග විතරය. ඡන්ටින්ස්, පුනීල, පින්සල් වගේ දේවලුත් එකම වහලයක් යටදී ගන්නට නම් ඒ දවස්වල එතැනට ගියාම හරිය.

සමහර දවස්වලට ඕනෑ කරන ඩයි වර්ග ගන්නට ගියාම ඒවා නැතිය. 
විකිණී හමාර වෙලාය. “මහත්තයා... තව කොහාට හරි ගිහින් එන්න තියෙනවා නම් ගිහිල්ල එන්න. අද දොළහට කලින් බඩු එනවා. ෂුවර්... ඕනේ නම් බිල් එක දාලා යන්න. ඇවිත් pay කරලා බඩු ටික...” 1974 දවසක එහෙන් කියවුණේය. 
මට විතරක් නොවේය. තවත් කිහිප දෙනෙකුටත්ය. ඒ අතරේම තව ටික දෙනෙකුත් බලාගෙන හිටියෝය.

හදවත් නැත්තන් කොටසක් එකතුවී මරදානේ ගාමිණී හෝල් එකටත් ගිනි තැබුවේ.............
‘කොහෙ ගිහින් එන්නද?’ මහරගමින් ගාමිණී හෝල් හරහා ගියේ 108 කොටුව බස් එකත්, 125 අවිස්සාවේල්ල- පාදුක්ක- ඉංගිරිය වගේ බසුත් විතරය. එතකොටත් නවයහමාර පහු වුණා විතරය. මහරගමට ගියත්, ගිය පිම්මටම ආපහු එන්නට වෙයි. එතැනටවී බලාගෙන ඉන්නටත් බැරිය.

‘හදවත් නැත්තෝ!’

බස් එකෙන් බහිද්දී දැකපු දැවැන්ත කටවුට්ස් මතක් වුණේ එතකොටය. ගාමිණී හෝල් එක ඉස්සරහමය ඒවා තිබුණේ. (සිනමාස් සමාගමේ ප්‍රධානම සිනමා ශාලාවක්වූ ගාමිණී හෝල් එක නොඑන ගමන් ගියේ ගින්නට බිලිවෙලාය. 1983 කළු ජුලියේදී ඒවාට ගිනි තිබ්බාය කියන්නේ ජාති ආල කාරයන්ය!)

ඒ වෙද්දීවත් මා ගාමිණී හෝල් එකේ film එකක් බලා තිබුණේ නැත. 

කඩිමුඩියේ දුවගෙන ගිහින් ටිකට් ගත්තාමය තරු පෙනුණේ. second class එකේත්, ගැලරියේත් පෝලිම් දෙකම තිබුණේ එකිනෙකට යාබදවය. මං ගිහින් තිබුණේ ‘ගැලරියටය’. නුපුරුදු හින්දා කණු-කුණු ගාන්නට හිතුණේත් නැත. 
ගාමිණී හෝල් එකේ ගැලරියේ ඉඳගෙන ‘හදවත් නැත්තෝ’ බැලුවේ එහෙමය. 
ඒක තවත් අනුස්මරණීය වෙන්නේ දොන් සිරිසේන නපුරු පිම්පියෙකු විදිහට කළ රඟපෑම නිසාය! කොල්ලාට හිටියේ රොබින් ප්‍රනාන්දුය. කෙල්ල නීටා ප්‍රනාන්දුය.

සිගරැට් - බීඩි ගඳට 'සූස්ති' ගඳත් එකතු වුණාම.............
ෆිල්ම් හෝල් එකකට යනවාය කියන්නේ ඒ දවස්වල ගඳ ගහන වැඩකි. සිගරැට් ගඳ... බීඩි ගඳ... සමහර වෙලාවට ‘සූස්ති ගඳත්’ ඒකට එකතු වෙයි. 
එදා ඩයිත් අරගෙන ගෙදර යද්දී මං ගියෙත් හතර අතට අර ගඳවල සම්මිශ්‍රණයක් විහිදුවාලමිනි.

ගිය ගමන්ම මා කළේ වෙච්ච දේ සහසුද්දෙන්ම දිගාරින එකය. 

ඒකත් මගේ එක trick එකකි. හොර වැඩක්; අයුතු දෙයක් කළාට පස්සේ මට නම් එය හිතට මහ බරක් වෙයි. සේරම නැතත්, ටිකක් හරි කියලා දැම්මාම අහවරය. හිතේ බරෙනුත් නිදහස්ය. අහගෙන ඉන්න කෙනා වැඩියෙන් හාරන්නෙත් නැත. විශේෂයෙන් අපේ තාත්තා.

එතකොට මට අවුරුදු විස්සක් වුණාය කියලාවත් තාත්තා ගණන් ගත්තේ නැත.

“මේ ගෙදර ඉන්නවා නං, උඹලා ඉන්න ඕනේ මං කියන විදියට... උඹ වුණත් රංජි, මට යමක් හංගලා, අහුවෙන්න නං එපා පුතෝ.” ඒ වගේම යමක් කරන්නට කලින් තාත්තාට කියන්නටය කියලාත් නීතියක් තිබිණි. 
ඒකෙන් සිද්ද වුණු ලොකුම වාසියකුත් තිබේ. නීති තියෙන්නේ ඕනේ නම් කඩන්නටය; හැබැයි, මොට්ට විදිහට නොවේ! හරිම සූක්ෂ්ම විදිහට කලාවටය.

නීති කඩනවා නම් කඩන්නට ඕනේ අපේ ලොක්කන් කරනවා වගේ හරිම සූක්ෂ්ම තාලෙටය............
දැන් මට හිතෙන්නේ මං ඒ කලාව ප්‍රගුණ කළ එකෙකිය කියලාය! තාත්තාගේ කණෙන් රිංගීම මට ලේසි වුණේ ඒ නිසාය.

හැම විජ්ජාවටම වැඩියෙන් ගැලවිජ්ජාව ලොකුය. 
අද ඉන්නා ගොන් biජ්ජන් හුඟ දෙනෙකු ඒකවත් දන්නේ නැත. 
පටන් ගන්නෙම අනාගෙනය. 

එහෙම ට්‍රික්ස් දන්නා උදවියගෙන් වෙනවාට වඩා අන්තරායක් වෙන්නේ ගොන් මොට්ටයන්ගෙනි. මෝඩ වඳුරාත් එක්ක මිතුරුදමක් පවත්තාගෙන ගිය රජ්ජුරුවන්ට වෙච්චි දේ මතකයිනේ.

ඒ කාලේ වගේ නොවේ, දැන් නම් ලොක්කන්ට උපදේශකයනුත් හිටියි. එයාලා කියන දේවල් අහන්නේ නැතිවද, කියන්නේ නැතිවද කියලා ගැටළුවක් මට ඇති වුණේ මේ සතියේය. 

යටින් තියෙන ෆොටෝ එක දුටුවාමය. හැබෑටම, අපේ රට කරවන උත්තමයන් වහන්සේලාට යහමින් නිවාඩුපාඩු - අස්වැසිලි තියෙනවා වගෙය.

සිල්ලර වැඩකට කැපවී හිටිද්දීවත් මට නං මෙහෙම චුන්වලට වෙලාවක්.............
බතික් කරනවා වගේ සිල්ලර වැඩකට කැපවී හිඳිද්දීවත් මට නං මෙහෙම චූන්වලට වෙලාවක් තිබුණේ නැති හැටි!