නල්ලුර් කෝවිලේ සිටත් පාද යාත්‍රිකයන් ගමන .... (foto- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා) |
“කතරගම කන්දස්සාමි දකින්න අපේ මිනිස්සු එන්න
පිටත් වෙන්නේ කප් හිටෝන දවසේ....” ශිවසාන්ද්‍ර ස්වාමි කීවේය. ඒ උතුරේ තැන්-තැන්වල
කෝවිල් කිහිපයක සිටය. ඇසළ පෙරහර; කාර්තිකෝත්සවය පැවැත්වෙන්නේ කප් සිටවා දින 45
කිනි.
“මාමේ, ඔය සේරම කෙරෙන්නේ නැකත්වලට...කප්
හිටවන්න ඉස්සෙල්ලා ඒකට හොඳ ගහක් තෝරාගෙන කපන්න යන්නෙත් නැකත් බලලා, පේ වෙලා....”
හිච්චි කිව්වේ මැණික් ගඟේ ඉවුර දිගේ (පරණ තොටුපළේ සිට වරහන තෙක්) එන අතරේය.
එහෙම කිව්වේ එක්තරා ගසක් පෙන්වා ‘හොඳට බලා
ගන්න’යි කියලාය. “.. මේ ගහ මොකක්ද හිච්චි?” බ්ලොගය ලියන්නට හිතාගෙනම ගිය නිසාත්,
මගේ නොසන්සිඳෙන කුතුහලය නිසාත් මම ඇසුවෙමි. එහෙම කළේ මගේ අනුමාන කිරීම නොපවසමිනි.
'මාමේ, මේ ගහ හොඳට බලාගන්න' හිච්චි මහත්තයා මට කිව්වේ..... |
“එච්චර දේවල් මාමට ඕනේ නැහැනේ....”
යන්තම්
සිනහවක් පාලා හිච්චි මහත්තයා මගේ ප්‍රශ්නයට නිදැල්ලේ යන්නට හැරියේය. ඒ විශ්වාසයයි;
ඇදහීමයි! හිච්චි මහත්තයා වගේ අය කප් හිටවීමට කපාගන්නා ගසේ නමවත් ආගන්තුකයන්ට
තෙපළන්නට මැලි වෙති.
හිච්චි මහත්තයලා එහෙම වුණත් හැමෝම එහෙම නැත.
කණු කපන මංගල්‍යය ගැන 2019 ජුලි 16 දේශය පත්තරේ මෙහෙම තිබුණේය.
“මේ මංගල්‍යය
කප් සිටුවීම හා සම්බන්ධ චාරිත්‍රයකි. කණු කපන මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පෙරහර හා
සම්බන්ධ සිරිත්-විරිත් ආරම්භ කිරීමට දින 45කට පෙරය.වෙසක් මස පුර පසළොස්වක දින විසා
නැකතින් හා නන්දන මුහුර්තයෙන් යෙදෙන සුබ හෝරාවකට අනුව පෙරහරින් ගොස් කණු කැපීම
සිදු කෙරේ. එක පඳුරේ වැඩුණු කණු දෙකක්
(කරු දෙකක්) ඇති රත්කරව් ගසක් සොයාගෙන සුබ මංගල ඇතු සහ තේවාකාරයන් ප්‍රධාන
කොට ඇති දේවාලයේ නිලධාරින් පිරිස කුඩ, කොඩි,සේසත් සහිතව බෙර වාදනය කරමින් එම
ස්ථානයට ළඟාවේ. ඊට පසු දෙබල සහිත කණු දෙක කප්පවා එම කණු මල්, පඬුරු, පිරුවට බඳිනු
ලැබේ. එම කණුව රැගෙනවිත් වල්ලි අම්මා දේවාලයෙහි තැන්පත් කරයි. මෙම කණුව ගෞරවයෙන්
රැගෙන එන්නේ කප් හිටුවීමට යොදා ගැනීමටයි.”
ඇසළ පෙරහැර පටන් ගන්නේ....... (foto- කසුන් ප්‍රියලාල්) |
හිච්චි මහත්තයා මට පොරොන්දුවකුත් දුන්නේය. ඒ විතරක් නොවේ, ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළේය; වැඩිපුරත් එක්කම.
“මෙතැන
තමයි මාමේ කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේට මුරුතැන් පූජාව සූදානං කරන්නේ....”
එච්චර උදව්
කළ හිච්චි මහත්තයා වුණත් මගේ රසික සහෘදයන් උදෙසා සේරම විස්තර කියනවාට අකැමැති
වෙන්නටත් ඉඩ තිබේ. නම නොකියන්නැයි කියලා මට විස්තර කියූ බැතිමතුන් පහුගිය
දෙවාරයෙදීත් හමු විණි. එහෙම වෙන්නට ඇත්තෙත් කියවන ඔබේ වාසනාවටම විය යුතුය.
“දැන්
නිමල් අයියේ රත්කරව් ගස් අඩුයි. ඒවාම ගත්තෙත් නිකම්ම නෙවෙයි. දුටුගැමුණු
රජ්ජුරුවන්ගේ හමුදාවට කතරගම දෙවියන්ව හම්බ වුණාය කියනවනේ..... මැණික් ගඟේ
ඉවුරේදි.... අර ආයුධයි, කෑම ජාති සේරමයි උඳු වුණේ...”
කතරගම දෙවියන්නාන්සේ වැඩ හිඳින්නේ .............. |
“ඒ මොකක්ද
ඒ? මං වැඩිය අහල නැහැනේ එහෙම කතාවක්?”
“මේකයි,
දුටුගැමුණු කුමාරයා සේනාවත් එක්ක එළාර යුද්ධෙට යන ගමන් මැණික් ගඟේ ඉවුරේ නවාතැන්
අරං. ඒ කාලේ කතරගම දෙවියෝ වැඩ හිටලා තියෙන්නේ වැඩිහිටි කන්දේ. උන්නාන්සෙ වල්ලි
මාතාව දකින්න යන වෙලාවේ දැකලා තියෙනව මේ හමුදාව.
ඉතින්, නාකි මිනිහෙක් විදිහට
වේශයක් මවාගෙන ගියාලු අර හමුදාව වාඩිලාගෙන ඉන්න තැනට. ගිහින් හමුදාවේ ලොක්කාගෙන්
විතර ඇහුවලු...
-අර ලොක්කට
හිතුණාලු ‘මේ මනුස්සයට මොටද සේරම වංහුං කියන්නේ’ කියලා. ඉතින් උන්නැහේ කිව්වලු ‘මේ
උඳු පුරෝපු කරත්ත වගයක්’ කියලා.
-‘එහෙමද’ කියලා වයසක මනුස්සයා ඔළුව වනලා යන්න
ගිහින්.
-ටිකකට
පස්සේ කන්න ගිහින් බලනකොට කරත්තවල පුරවලා තිබ්බ කෑම ජාතියි- අවි ආයුධ සේරමයි උඳු
ඇට වෙලා තිබුණාලු. මොකක් හරි වැරදිලා තමයි කියලා බය වෙච්ච හමුදාවේ ලොක්කා
දුටුගැමුණු කුමාරයා ළඟට දුවගෙන ගිහින් කතන්දරේ කියලා.
-එතකොටම කුමාරයට පෙනෙනවලු
මැණික් ගඟ දිගේ ඈතට යන වයසක මනුස්සයා. කුමාරයා එයාගේ පස්සෙන් යන්න ගත්තා විතරයි
ගඟේ වතුර වැඩිවේගෙන-වැඩිවේගෙන යන්න පටන් ගත්තාලු.
එතැනම තමයි අද වෙනකල්ම දිය කැපීමේ චාරිත්තරේ ඉෂ්ට කරන්නේ........... |
-කුමාරයාට
තේරුණාලු වයසක මනුස්සයා කවුද කියලා. ‘කතරගම දෙවි හාමුදුරුවනේ, මම මේ රටේ
බුද්ධාගමයි, සම්බුද්ධ සාසනයයි වනසන ද්‍රවිඩයන්ගෙන් රට මුදවාගන්න යුද්ධයට යන ගමන්.
ඔබ වහන්සේ මට ජයග්‍රහණය ලබාගන්න උදව් වෙන්න...... මට ඔබ වහන්සේගේ ළඟට එන්න අවසර
දෙන්න ‘ කියලා කිව්වා විතරලු.
නාකි මනුස්සයා වෙනුවට දෙවි හාමුදුරුවන් පෙනී
හිටියාලු. ඊළඟට උන්නාන්සේ අතේ තිබුණු රත්තරන් කඩුවෙන් මැණික් ගඟේ වතුර කඳට ගැහුවාම
දිය දෙබෑවෙලා කුමාරයාට එතැනට යන්න පුළුවන් වෙලා.
-ඒ තමයි
පළමු දිය කැපිල්ල. එතැනම තමයි අද වෙනකල්ම දිය කපනවය කියන්නේ.”
මගේ හිතවතා
කියා දුන්නේය. එයාත් මගේ පලෝලෙම මනුස්සයෙකි; කියන්නට ආවේ රත්කරව් කතන්දරයයි. පීලි
පැනලා කිවේ වෙනින් එකකි.
“ඉතින්... ඕකට කොහොමද රත්කරව් ගස්....”
කතරගම දේවාලය 1957 අවුරුද්දේ තිබුණු අයුරු....... |
“මෙහෙමයි,
දුටුගැමුණු කුමාරයා යුද්ධෙන් දිනලා ඇවිත් කතරගම දෙවි හාමුරුවො බැහැ දැක්කා.
උන්නාන්සේ වෙනුවෙන් දේවාලයක් හදන්න කැමතියි කියලා ඒකට සුදුසු තැනක් පෙන්වන්න කිව්වා.
කතරගම දෙවියෝ ඊතලයක් විදලා; ඒක වැටුණු තැන දේවාලේ හදන්නය කිව්වා. ඒ ඊතලේ රත්කරව්
කෝටුවකින් හදාපු එකක්. වැද්දොත් ඊතල හදන්න ගන්නෙ ඒවාලු!”
මාත්
ලේසියෙන් යමක් අත හරින්නේ නැත. අංකොං සේරම හොයනවාය. “එතකොට රත්කරව් ගස් අඩු නං...”
“ඒ හිලව්වට
දැන් හුඟක් වෙලාවට ගන්නේ ගෝනපනා ගස්. දැන් ඒවා වුණත් හරි අඩුයි!”
කප් සිටුවන නැකත උදාවෙන අතරේ කතරගම බෝධීන්
වහන්සේගේ එක ශාඛාවක පමණක් රන්වන් ලාදලු මතු වෙතියි කියන විශ්වාසයකුත් තිබේ!
මේ
බෝධීන් වහන්සේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නමකි.
තවත් ලෙසකින් කියනවා නම්, අනුරපුර ජය
සිරි මහා බෝධි වෘක්ෂයේ හටගත් පළමු ගෙඩි අටෙන් එකක් රෝපණයෙන් මතු වූවකි.
අපේ බුදුහාමුදුරුවන් වහන්සේ සමවත් සුවයෙන් වැඩහිටි බිමක තමයි කිරි වෙහෙර .... (foto- කසුන් ප්‍රියලාල්) |
“මේක පින් බිමක් මහත්තයෝ. නිකංද....
බුදුහාමුදුරුවන් වහන්සේත් වැඩිය පින් බිමක්. කිරි වෙහෙර හදලා තියෙන්නේ එතැනනේ....
හරියට ජීවත් වෙන අයට සියලු ආරස්සාව, දේව බැල්ම වැටෙනවාමයි!” තවත් භක්තිවන්තයෙක්
අදහන්නේ එහෙමය.
ඔය ඇදහිලි-විශ්වාස මොනවා තිබුණත් දේශපාලනේ
කරන අය ඒවා තකන්නේ නැති පාටය. එහෙම නොතැකුවාට එයාලට ඇති හෙණයකුත් නැති පාටය.
මට
එහෙම හිතුණේ ජූලි 27 පාන්දරය. කුමන ජාතික වනෝද්‍යානයේ පාලක මහත්තයා ඇතුළු කාර්ය
මණ්‌ඩලයත්, හමුදා සොහොයුරනුත්, තවත් බොහෝ අමුත්තනුත් හොඳටම අසරණවී හිටින වෙලාවේය.
පාද යාත්‍රාවේ යන්නෝ හිටියේ හොඳටම තරහිනි; දෙස් දෙවොල් තියමිනි!
මේ ගමන පුරාවටම හැම කෙනෙක්ම වාගේ ගමන්
අරඹන්නේ උදේ හයටත් කලින්ය; යන්තමට බිම් කරුවල ඉතිරිවී තියෙද්දීය. තද අව්වට කලින්
හැකිතාක් ගමන් කිරීමය සිරිත.
ඊට පස්සේ හිරු අවරට හැරෙනතුරු, හැරිලාත් දෙපැයක් විතර
ගතවෙනතුරු නැවත ගමන් අරඹන්නේ නැත.
එහෙම තියෙද්දී චාරිත්‍රානුකූලව ගමන පටන් ගැනීමට ගේට්ටුව විවර කිරීම සඳහා ලොක්කන් ආවේ පරක්කු වෙලාය. |
එහෙම තියෙද්දී හා-හා පුරා පාද යාත්‍රාව පටන්
ගන්නා දවසේ පරක්කු වෙද්දී බැතිමතුන්ට තරහ යන්නේ නැතිද? කුමන පිවිසුමේ ගේට්ටුව ළඟ ඒ
පරක්කුව ඇති වුණේ දේශපාලක උත්තමයෙකුත්, හමුදා ලොක්කෙකුත් විවෘත කරන්නට ආ හින්දාය.
ආ හින්දා නොවේ, පරක්කුවී ආ හින්දාය.
මෙන්න වැන්දා.... මෙවැනි වැඩවලදී
තමුන්නාන්සේලාට (අපේ සල්ලි වියදම් කරමින් වුණත්) ලොකු වැඩ කොටසක් කරන්නට පුළුවන්ය.
ඒ ටික කරන්න! විවෘත කරන්නට නාවාට කමක් නැත!!
හරියටම ගේට්ටුව ඇරියේ උදේ 7 විනාඩි 02 ටය.
“තමුසෙගෙ චීත්තවාහිනියෙන් ලියන්න ඕනේ මේවා
නේද? බම්බුව.... මචං මූ වැඩියෙන් ලියන්නේ අපේ විස්තර. අපි නැතිනං මූට බ්ලොග් එකේ
ලියන්න දේවල් නැහැ.” ඒ අස්සෙත් නෙවිල් කිව්වේය.
“ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි යක්ෂයෝ හොඳ
ෆොටෝ ටිකක් අරන් දියං කිව්වේ!”
හොඳ ෆොටෝ ටිකක් අරන් දියන් කියලා.... (foto - දමිත් සංජය අමරසේකර) |
බ්ලොගයක් ලියන්න හිතාගෙන හිටි නිසාම සමහර
දර්ශන ඕනෑකමින්ම මගේ I Pad එකේ හිර කර ගත්තෙමි. නෙවිල් නළලේ තුන්නූරු තිලක තියාගෙන
ඉන්නා ෆොටෝ එක මං එහෙම ගත් එකකි. මට ඕනෑ කළ සමහර දර්ශන නෙවිල්ලා ෆෝන් එකේ
හිරකරගත්තේ නැත.
එහෙම කළේ මගෙන් පරුෂ වචන අහගන්නට හිතුණාමය! ඒ අඩුව; ෆොටෝ අඩුව
පුරවාගන්නට මාර්ගයකුත් කඳ සුරිඳුන්ම මට පාදා දුන්නා වගෙය!
ඇල්පිටියේ කුරුඳුගහහැතැප්මෙන් ආ නඩයක හිටි
කසුන් ප්‍රියලාල් ගැන ගිය කොටසේදී කිව්වෙමි. මෙන්න බොලේ දැන් මනුස්සයා ෂෙයාර් කරගෙන
තියෙනවා අපූරු පෝස්ට් ටිකක්. මල් මසුරං ෆොටෝ ටිකකුත් එක්කම.
පළමුවෙනි සැරේ නම් අපේ දොස්තර මහත්තයාත්
බරට-බරේ කැමරා උස්සගෙන ගියා. උස්සගෙන යන්න තියෙන අවුන්සයක් වුණත් පස්සෙ-පස්සේ
දැනෙන්න ගන්නේ හොණ්ඩර වගේ නිසා මේ සැරේ ඒවා ඔක්කොම හළලයි ගියේ.
එයාලගෙ ෆොටෝස් වුණත් අරන් මගේ බ්ලොගය හැඩ කරන්න හදන බව... (ෆොටෝ- කසුන් ප්‍රියලාල්) |
ඒකට පාර පෙන්නුවාට නම් කතරගම දෙවියන් වහන්සේට පිං දෙන්නම
ඕනේය!
මේ වාගේම කාට-කාටත් පිහිටවෙන එක කතරගම
දෙවියන්ගේ ස්වභාවය වෙන්න ඇති.
ඒ නිසාම වෙන්න ඇති, රට පුරාම හැම ආගමකම අය
උන්වහන්සේව අදහන්නේ; පිහිට පතන්නේ. වාහනයක් ගත්ත ගමන් ගොඩක් අය ඉස්සෙල්ලාම යන්නේ
කතරගමට.
බිස්නස් කරන අය විතරක් නෙවෙයි....
දේශපාලන බිස්නස් එක කරන අයත් කොච්චර නම්
කතරගම යනවද?
එහෙම අය ඉල්ලාගෙන කෑව කතාවකුත් කතරගම ඇත්තෝ කියති.
“මතකයිද 2012 මැණික් ඉල්ලම් මතුවුණා.... තණමල්විල
පාර හදද්දී......... දෙයියන්නාන්සේ ඒවා දුන්නේ අපේ දුප්පත් මිනිස්සුන්ට. මැණික් කතාව
ආරංචි වුණා විතරයි ලොකුලොක්කෝ එකතු වෙලා ඒවා බදාගත්තා; බෙදාගත්තා. අන්තිමට මොකද
වුණේ? උන්ට මැණික් හම්බ වුණා. හැබැයි විකුණාගන්නවත් වෙලාවක් නැතිව ගියා.... පෑදුණු
නිල් මැණික් ගල් සේරම දවසෙන්-දෙකෙන් සුදු වෙවී - පලුදු වෙවී යන්න ගත්තා. ලක්ෂ
ගණනින් වියදම් කරපු අයට වියදමවත් පියෝගන්න බැරි වුණා!”
පාර හදන්න ගෙනාව පස්වල තිබිලා මැණිකක් ලැබුණු බව දැනගත්තාම....... |
එහෙම සර්වව්‍යාපී දෙවියෙකු වන කඳ සුරිඳුන්
වඩාත්ම ප්‍රචලිතව තියෙන්නේ ‘ෂන්මුඛ’ වේශයෙන්ය. “දරුවා, මුහුණු හයක් තියෙන වේශයට
කියන නම තමයි ඒ. එතකොට අත් දොළහකුත්.... දන්නවද ඒ අත්වලින් දරාගෙන ඉන්න දේවල්?”
“.... කෙටේරිය, පලිහ, පොත, කඩුව, අංකුශය,
මුගුර, දුන්න, කුක්කුට ධජය, හක් ගෙඩිය, තෝමරය.... ඔය සේරටම වැඩිය දේකුත් තියෙනවා.
කතරගම දෙවියන්ගෙන් දරු ඵලත් ඉල්ලනවය කියලා දන්නවද?”
ඒකට සාක්කි විදිහට තියෙන්නේ කවියකි.
කතරගමට පඬුරු හතර දෙවඤ්ඤයි
නවගමුවට නව පඬුරුද දෙඤ්ඤයි
දොඩන්වෙලට දොළසක්ම පුදඤ්ඤයි
පුතෙක් දෙතොත් පෙරහරටත් එඤ්ඤයි
අපේ කවුරුන්වත් දරු ඵල ඉල්ලුවේ නැත. පැතුවේ
අතුරු අන්තරාවක් නැතිව ගමන නිමා කරන්නට පිහිට වෙන්න කියලාය. ඒත් අපම මෝඩකම් කරනවා
නම්.....
එකම මෝඩකම තුන්වෙනි වතාවටත් කිරීම ගැන නම්
අපට සමාවක් දෙන්නට වටින්නේ නැත.
“නිමල් අයියේ, මේ සැරේ නම් අපි ටිකක් ඉඳ-ඉඳ යමු.
එතකොට අනෙක් අය ගැන ස්ටඩි කරන්නත් පුළුවන්, කල්චර්ස් ගැන දැනගන්නත් පුළුවන්.”
අයස්මන්ත මහත්තයා කලින්ම කිව්වේ එහෙමය. නෙවිල්ටත්, මර්වින්ටත්, මටත් ඕනෑ කළෙත්
ඒකමය.
ජයශංඛට ඡන්දයක් නොතිබුණේ කෝඩුකාරයා වුණු හින්දාය.
මේ වතාවෙත් ඉස්සෙල්ලාම ගමන නිමා කළ 125 අතරේ අපිද වීමු! |
කීම කොහොම වෙතත් ගමන පටන්ගත් වෙලාවේ ඉඳලාම
අයස්මන්තට තිබුණේ පුදුමාකාර ගායකි. “යං යං යං”. ඒ යක්ෂයා දිගටම මැතිරුවේ ඒ
මන්තරයයි.
ටිකාක්වත් විරුද්ධ වුණේ මං විතරය. නෙවිලුත්, මර්විනුත් කණු-කුණු ගෑවා
මිස කෙළින්ම ‘බැහැ’යි කිව්වේ නැත. ඉතින්, තුන් සැරේම ‘වින්’ හෝ ‘ප්ලේස්’ හෝ තැන්වල
අපිත් හිටියෙමු. පළමු වතාවේ; 2013 ඉස්සෙල්ලාම ගමන හමාර කළ 25 දෙනා අතර අපිද වීමු.
“තවම 125ක් එළියට ආවේ නැහැ.” මේ වතාවේ
පිටවෙද්දී මට දැනගන්නට ලැබුණේ එහෙමය. එදා; ජුනි 30වෙනිදා හවස් වෙද්දී පා ගමන නිමා
කර තිබුණේ 325 දෙනෙකු පමණි.
අපේ puකේ අමාරු කඩිකුලප්පුව නිසා ගමනේ අසිරිමත්කම
සෑහෙන්නට මඟ හැරුණා වගෙය.
පාද යාත්‍රා බැතිමතුන්ට කුමන වනෝද්‍යානයෙන්
ඇතුළු වෙන්නට අවසර ලැබෙන්නේ පෙරහරට දින දාහතරක් තියෙද්දීය. ඒ සේරම තීරණය කෙරෙන්නේ
කප් හිටවූ පසුවය.
කප් හිටුවන්නේ නැකත් අනුවය. නැකත් යෙදෙන්නේ ග්‍රහ-තරු පිහිටීම
අනුවය කියාය මා දන්නේ. ග්‍රහ-තරු පිස්සු නටලාදෝ අප නමොවිත්තියෙන්ම පාද යාත්‍රාවේ
යන්නට සූදානම් වෙද්දී ලොකුම අවුලක් පටන් ගෙන තිබිණි.
“2013 කතරගම පෙරහර තියන්නේ ජුලි මාසේදි
නෙවෙයි.... අගෝස්තු මාසයෙදියි!” එතකොට කුමන ඩියුටි හිටි චන්දන අපට කිව්වේය.
මේ සැරේ දුර ඉඳලා එන මිනිස්සු සෑහෙන අමාරුවකයි වැටිලා ඉන්නේ....... |
“අනේ මන්ද නිමල් මහත්තයා. මේ සැරේ යාපනේ එහෙම
ඉඳලා එන අයත් හරිම අමාරුවක වැටිලලු ඉන්නේ. පව්. ඒ මිනිස්සු එන්න පිටත් වෙන්නේ ජුලි
පෝයට දවස් 45ක් තියෙද්දි. එහෙම ආව අය දැන් සති ගානක් තිස්සේ ඔකඳ දේවාලේ ඉන්නවා.
-ඒ
සමහරුන්ගේ අතේ සල්ලිත් ඉවර වෙලා. සමහරු ආයිමත් පිටත් වෙලා පොතුවිල්, සියඹලාණ්ඩුව,
මොනරාගල පාර දිගේ පයින්ම කතරගමට යන්න.
එතකොට පාර දෙපැත්තේ මිනිස්සු හරි උදව්
කරනවනේ..”
සේරෝම කතන්දර හෙළි වුණේ අන්තිමටමය!
වෙනදා නම් වෙසක් පෝයට කප් හිටුවන්න නැකත් යෙදෙනවා........... එතකොට පෙරහර ...... |
“අපේ ඇසළ උත්සවය පවත්වන්න නැකත් තීරණය කරන්නේ
මහ දේවාලයේ නැකත් භාර කපු මහත්තයයි, මහ කපු මහත්තයයි එකතු වෙලා කරන නැකත්
පරීක්ෂාවකට පස්සේ.
- වෙනදා නම් අවුරුදු මංගල්‍යය ඉවර වෙලා මේ දෙන්න එකතු වෙලා නැකත්
බැලුවට පස්සේ වෙසක් පෝයට කප් හිටවන්න ලැබෙනවා. කප් හිටවලා දවස් 45ක් ගියාම නැකත්
අනුව දින 14ක් හෝ 15ක් හෝ 16ක් හෝ පෙරහැර මංගල්‍යය පවත්වන්න දින තීරණය වෙනවා. ඒ
දින සීමාව ලැබෙන්නේ ඊළඟ පෝයත් එක්ක. ඒ පෝයට කලින් පෙරහැර ඉවර කරලා පෝය ගෙවුණාට
පස්සේ දිය කපලා ඉවර කරන්න ඕනේ.
-මේ පාර වුණේ ඒ සුපුරුදු විදියට කප් හිටවන්න වෙසක්
මාසේ නැකත් තිබුණේ නැහැ. ඒක නිසා කපු මහත්තුරුන්ට සිදුවුණා පොසොන් පෝයට නැකත්
ලබාගන්න.....”
කතරගම පූජා භුමිය භාර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පත්මසිරි රාජපක්ෂ
මහතා අවුලට හේතුව ‘2013 අගෝස්තු 18 - ඉරිදා
දිවයින’ට කියා තිබුණේ එහෙමය.
ඒ අවුලෙන්; පමාවී ගමනට දින නියම වීමෙන් අපේ
නෙවිල් අනුරසිරිත් ලොකු අවුලක පැටලුණේය! එතකොට උන්නැහේගේ ගෙදර හදලා ඉවර වෙන්න
ඔන්න-මෙන්නය.
කුලියට අරගෙන හිටි ගෙදර ආපහු බාරදෙන්නට වෙලා තිබුණේය.
තව ගොං කෙළියකුත් ගෙට ගෙවදිල්ලට ඈඳීලා තියෙනවා මචං........... |
“මාර කෙළියක්නේ මචං. ගෙට ගෙවදෙන්න නැකත්
වැටිලා තියෙන්නේ පාද යාත්‍රාවේ යන දවසේ. මං හැලෙන්නද? බොරුවක් හරි කරලා නැකත්
වෙනස් කරවගන්න තිබුණා වැඩේට මම ගියා නං. අම්මයි නැකත් බලවගෙන ආවේ! තව ගොං කෙළියකුත්
නං තියෙනවා.......”
“මාර කේස් එකනේ!” මර්විනුත් කිව්වේ නැකත්
පට්ටෙටම විශ්වාස කරනවා වගෙය.
“කට වහගනින්.... උඹේ මඟුල් දවසේ නැකත් වෙනස්
කරපු හැටි මතකයි නේද... තාත්තත් එක්කම එකතු වෙලා. මාර කේස් එක!! මොකක්ද නෙවිල් අර
ගොං කෙළිය?”