අකුරු මැකී නෑ

Monday, July 29, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස

මගේ බලු ගතිය කියන්නේ, ඒ නොඉවසිල්ලෙන් යන්තමට හරි ටිකක් ඔයාලටත් ඇතිවෙනවා නම් මං හරිම කැමැතිය. අදට පෝස්ටුව නවත්තන්නේ එහෙම හිතමිනි!

ඔය බලු ගතිය ටිකක් අඩු කරගන්න!
එහෙම කියමින් ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවාම ‘නොනමින් ලියන රසිකයෙකු’ කියලා තිබුණේ ‘ඔය බලු ගතිය ටිකක් අඩු කරගන්න’ කියලාය. අනේ රත්තරනේ, ‘හත් අවුරුද්දක් උණ පුරුකක දමලා තිබ්බත් .....

නැහැ, මං කියනවාට වඩා හරියන්නේ කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන කොළඹ පරපුරේ කිවිඳුන්ගේ කවි තුනක් උස්සලා මෙතැනට ඔබන එකයි. 
2019 ජුලි 21 ‘රාවය’ පත්තරේ ‘පද්ම තටාකය’ පිටුවට 
මේ කවි යොදාගෙන තිබුණේ කිවියර රත්න ශ්‍රී විජේසිංහ; මාර්ටින් කවියාට දැන් අවුරුදු 94ක් පිරෙනවාය කියන ගමන්! ඔබට දීර්ඝායු මාර්ටින් ජයවර්ධන කිවිඳුනි!!

බලු පිරුළු

    කොපමණ ඇතත් කණ කර අභරණද   රෙදිත්
    ඕනැම සබාවක විලිබිය නැතිව             හිඳිත්
    ගැසුවිට අසුර දිව එන රජ            සබයකදිත්
    සමහර මහත්වරු බලු කෝලමට          අඳිත්

        බල්ලා කම්මලේ ළිප ළඟ                නිදියෑවත්
        නොනැඟිට සිටී කොපමණ හෙණ ගෙඩි ආවත්
        උණ පුරුකේ දමා අවුරුදු ගත                 වූවත්
        බලු වලිගේ ඇදේ යනවද                 කවදාවත්

නොනැඟිට සිටී කොපමණ හෙණ ගෙඩි ආවත්.................(ෆොටෝ- තිළිණ කළුතොටගේ)
    ගංවතුරට හඳට රෑ             උඩුබුරුලෑවත්
    කොල්ලත් බල්ල වාගෙයි පඬිවරු  කීවත්
    කම්පට ගසා ගමනට බාධක         ආවත්
    බලුකම රැකගනී බල්ලා බලු         වූවත් 

දැන් බලු වසංගතයටත් වඩා වසංගතයක්ව තියෙන සිලි මලු ඒ කාලයේ තිබුණේ නැත. පරණ කඩදාසිවලින් හැදූ බෑග් විතරය තිබ්බේ. 
වැඩි බරක් දාන්නට ඕනේ නම් ගත්තේ සිමෙන්ති කොට්ටවල කවරවලින් හදාගත් බෑග්ය. ඒවාට වුණත් මස්-මාළු දැම්මේ හබරල කොළවල ඔතලාය. 
මුදවපු  කිරිහට්ටි දුන්නේ අමු පොල්කොළ පිරිවැස්සක (ඒක හරි අපූරු ඇසුරුමකි!) අහුරලාය.

එදා තාත්තා ගෙදර ආවේ අර වගේ ලොකු  සිමෙන්ති කඩදාසි උරයකුත්, පොල්කොළ ඇසුරුමක මීකිරි ඇතිළි දෙක-තුනකුත් දෝතින්ම උස්සාගෙනය. 
කඩදාසි උරයේ සම්බා හාල්, අර්තාපල්, හරක් මස්, පරිප්පු හා බූන්දි ටිකකුත් තිබුණේය. එළැඹුණු ලකුණු සුබය!

මුලින්ම නං එයාලා බතික් කෑලි ටික බලන්නවත් ..........
“දෙතුන් පොළකට යන්න වුණා බං. ඒකට පාඩුවක් වුණේ නැහැ. 
උඹට මතකයි නේද, පිටකොටුවේ පොලීසිය... ලේක්හවුස් එක පහු කරනකොටම අර බෝ ගහ යට තියෙන්නේ... එතැන හෝල්ට් එකෙන් බැහැලා, පොඩ්ඩක් ඉස්සරහට යනකොට වමට තියෙන පාර... (ඒ කිව්වේ චැතැම් ස්ට්‍රීට් එකය.) 

ජෙම් සෙන්ටර් එකේ මහත්වරුන්ට එරන්දතීඇතුළු බිත්ති සැරසිලි හයම හොඳට හිතට අල්ලා තිබිණි. ඊළඟ අවුරුදු කිහිපයේම අපේ ජීවිත ගමන් කරන්නට වුණේ ඒ හිතට ඇල්ලීමෙන් හැරුණු පාර දිගේය.

“අනේ අසංග,  හෙට දාන්න හදන පෝස්ට් එකට චැතැම් ස්ට්‍රීට් එක පටන් ගන්න තැනම තියෙන සාප්පුවේ ෆොටෝ එකක් අරන් එවන්නකො.” කොළොම්පුරේ බ්ලොගය ලියන අසංග රණසිංහආරච්චිට කිව්වෙමි. අපේ ‘බ්ලොගර්ස් ඊව්’ එකට ඔන්න-මෙන්න තියලා පිහි ඇනුම් කෑවේ එයාය. 
“නිමල් අයියේ, දැන් එතැන ජෙම් සෙන්ටර් කියලා එකක් නැහැ. වෝග් කොර්නර් කියලා එකක් තියෙන්නේ." අද උදේම අසංග හොයා බලා කිව්වේය.

හෙට උදේට ඒකෙ ෆොටෝ එකක් අරන් එවන්නට කිව්වටත් පස්සේ, මම නිකමට ජාලය පිරික්සුවෙමි. ගෙදර ඉඳන්ම ජෙම් සෙන්ටර් එක රූපාන්තරණය වෙලා තියෙන ෆොටෝ එකක් හොයාගත්තෙමි. මේ පෝස්ටුව පබ්ලිෂ් කරලාමය, අසංගට කෝල් එකක් දෙන්නේ. ස්තුතියි අසංග!

දැන් එතැන ජෙම් සෙන්ටර් එකක් නැත. තියෙන්නේ වෝග් කෝනර් එකකි. අවුරුදු 45කට පස්සෙනේ....
රංජි, සාප්පුවේ මහත්තයා විස්තරත් ඇහුවා.... උඹ විතරයි වැඩේ කරන්නේ කිව්වාම පුදුමත් වුණා බං. උන් කිව්වනේ හදන තරමක් එහාටම ගෙනෙන්න කියලත්... ඒ ගොල්ලෝ ගන්නං කිව්වා.

හැබැයි එයාලා එදා වෝල්හැඟින්ස් හයම අරගෙන තිබුණේ රුපියල් 330/-කටය. එකක් රුපියල් 55/- ගණනේය.

එදා මට දැනුණු සතුට තවමත් දැනෙයි! 330/- මහ ගාණක් නොවේ! එහෙත් ඒ පටන් ගැන්මක් විතරය. ඒ වතාවේ වියදම කීයක් වුණිදැයි කියලා නම් මට මතක නැත. 

ඒත්, මේ විදිහට නම් බතික් කිරීමෙන් අපේ ගෙදර නඩත්තුව සලස්සා ගන්නට හැකිය. ඒ මදැයි!

මාස කිහිපයක් යනතුරුම ඒ රටාව දිගටම ගියේය. 

මිනිසුන්ට ඇති තණ්හාවේ නිමක් නැත. ලැබෙන තරමටම අවශ්‍යතාත් පුළුල් වෙයි. පොඩි දෙයකින් ලැබුණු සතුට මහ විශාල දේවල්වලින්වත් විඳගන්නට බැරි වෙයි. එහෙම අතෘප්තියක් නොතිබුණා නම් ලෝකය භෞතිකව මෙතරම් දියුණු වෙන්නෙත් නැහැනේ.... නේද? 
අපට වුණේත් ඒකමය.

ගුණසේන පොත්හළේදී මට හමුවුණු අපූරු සඟරා වගයක් තවමත් මගේ ‘නිධන් වස්තු’ අතර තිබේ. නම ‘සෙවිල්ල’ය. ඒවායේ කියන විදිහට නම් ‘ලිතෝ ප්‍රින්ටින්’ ක්‍රමයට අච්චු ගසා තිබෙයි. හරිම ලස්සන, වර්ණවත් ඒ සඟරාවක ‘සිරිකත හා හිඟන්නා’ කියලා කතාවකුත් තිබුණේය. චිත්‍ර ඇඳලා තිබුණේ ග්‍රීක රටාවකටය!

සෙවිල්ල සඟරාවේ තිබුණු ඒ කතාවට චිත්‍ර ඇඳලා තිබුණේ.......
දුගී හිඟන්නෙකු ළඟට එන්නී සිරිකතයි. ‘ඔබට රන් කාසියක් දෙන්නම්!’ හිඟන්නා ගැන අනුකම්පාවෙන් සිරිකත කියයි; රන් කාසියකුත් දෙයි.

“අනේ සිරිමතියෙනි, මට තවත් රන් කාසි ටිකක් දෙන්නට නොහැකිද?”
“පුළුවනි... ඒත් ඔබට දිගු කලක් යැපෙන්නට එක රන් කාසියක් සෑහෙනවා නේද?”

එහෙම ඇහුවත්, හිඟන්නාගේ පෙරැත්තය නිසාම ශ්‍රියා කාන්තාව රන් කාසි දෙන්නට පටන් ගනියි. “තව එකක්... තව එකක්...” හිඟන්නා රන් කාසි ඩැහැ ගනිමින් පසුම්බියට දමා ගනියි.

“පරෙස්සමින්.... ඔබේ පසුම්බිය පරණයි. දිරාපත් වෙලා තියෙන්නේ. එක රන් කාසියක්වත් බිමට වැටුණොත් සේරම අඟුරු කැට බවට පෙරළේවි!” ඇයගේ අනතුරු ඇඟවීමෙන් වැඩක් වුණේ නැත. හිත පිරුණේ නැතිවාට මල්ල පිරුණේය; බරට කඩා වැටුණේය.

ඒත් එව්වා ජීවිතයට මඟ පෙන්වූ පහන් ටැඹවල් වගෙය...........
ඇත්තය. ඒවා කතන්දරය. ඒත් මට නම් ඒවා ජීවිතයට පාර පෙන්වූ පහන් ටැඹවල්ය. උපන් ගතියක්ද මන්දා මා හොයන්නේ වස්තුව-වළඳුව නොවේ; සතුටය!

තණ්හාව අඩු වුණු තරමට; අපේක්ෂාවන් සීමිත වුණු තරමට; අල්පේච්ඡතාව වැඩි වුණු තරමට සතුට ලැබෙන බව මගේ අත්දැකීමයි. 
එහෙම අවබෝධයක් තිබුණාට මොකද, මේ ලියන්නා මැට්ටෙක් නිසා තවමත් වෙසෙන්නේ කෙලෙස්බරිත කෙනෙක් හැටියටය; පසිඳුරන් පිනවන කෙනෙක් හැටියටය! 
‘උඹට සසරින් එතෙර වෙන්න නං තව කල්පෙකටවත් බැහැ පුතෝ.’ වරෙක මම මටම කියාගන්නෙමි.

බතික් කෙරුවාව පුළුල් කෙරුණේ ටිකෙන් ටිකය. එහෙම කෙරෙනවාත් එක්කම මගේ ලෝකය කුඩා වෙන්නටත්; විවේකය නැත්තටම නැති වෙන්නටත් පටන් ගත්තේය.

පුළුල් වුණේ චිත්‍රපට බැලීමේ අවසරයයි. ‘සුමානෙකට එකයි!’ අපේ තාත්තා වරම් දුන්නේය. ඒ ගැන තිබුණු උනන්දුවෙන් 1% ක්වත් මුදල් පරිහරණය ගැන මට තිබුණේ නැත. තකතිරුකමය! ඇත්තම කිව්වොත් ඒ දවස්වල මැරෙන එක ගැන මට තිබුණ ලොකුම දුකත් චිත්‍රපටවලට සම්බන්ධය. 

මැරෙන එක ගැන මට තිබුණු ලොකුම දුකත් චිත්‍රපටවලට සම්බන්ධය............
ඒ කාලයේ ෆිල්ම්ස් දිව්වේ පැල් බැඳගෙනය. 1973 වසරේ චිත්‍රපට 13 ක් තිරගත විණි. 

මාතර ආච්චි, අපරාධය හා දඬුවම, සුහද පැතුම, තුෂාරා, සදහටම ඔබ මගේ, හත්දින්නත් තරු, ගොපලු හඬ, හොඳම වෙලාව, සිනාවයි ඉනාවයි, සුනේත්‍රා, හොඳයි නරකයි, දාහකින් එකෙක්, හොඳට හොඳයි- කියන ඒවාය. (මගේ මතකය හරි නම් එයින් තුනක්ම දින 100 පැන්නූ ඒවාය.) එකක් පෙන්වද්දී ඒ මණ්ඩලයේ ඉස්සරහට එන්නට කිට්ටු චිත්‍රපටවල ට්‍රේලර්ස් කිහිපයක්මත් ප්‍රදර්ශනය කෙරෙයි.

‘අරක නම් බලන්නම ඕනේ. මේකත් හොඳයි වගේනෙ. ෂා, මේකේ සිංදුනෙ සිංදු....’ ට්‍රේලර්ස් බලන අතරේ හිතෙයි.

මට තවම මතකය. ‘හොඳට හොඳයි’ චිත්‍රපටයේ ට්‍රේලරය. 

හොඳින් ඔප දැමූ සපත්තු යුවලක් දමාගෙන හිටින ගාමිණී ෆොන්සේකාගේ පාවහන්වලට කැමරාව එල්ල වෙයි. කකුල් දෙක ටීපෝවක් උඩින් කතිරයක් වගේ හිටින්නටය තියාගෙන ඉන්නේ. අපට පෙනෙන්නේ සපත්තුවල යට පැත්තයි. ඊළඟට සපත්තු දෙක ඈත්වී ගාමිණීගේ මුහුණ පෙනෙන්නට වෙයි. මාර ගතිය! 

(ඊට මාස ගණනකට පස්සේ ‘අප්නා දේශ්’ හින්දි චිත්‍රපටය බලද්දී රාජේශ් ඛන්නාත් ඒක ගෙඩිය පිටින්ම කොපි කරලාය!

පස්සේ බලද්දී අපේ ගාමිණී ෆොන්සේකාව රාජේශ් ඛන්නාත් ගෙඩි පිටින් කොපි කරලාය!
ඔහොම ඉනාවල් ගිලින මා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ අලුත් එකක් රිලීස් වෙනතුරුය. අවංකවම කියනවා නම් එක ෆිල්ම් එකක් දින සීයක් දුවද්දී මං නම් හිටියේ තරහෙනි. ඔහොම බලාගෙන ඉන්න අතරේ මං මැරුණොත්.... 
ෆිල්ම්ස් කීයක් මිස් වෙනවද දෙයියනේ?

අදටත් මගේ ඒ අමනකම ඒ වගේමද කොහෙදය. මං වැඩියෙන්ම කරදර වෙන්නේ තුට්ටු දෙකේ සිල්ලර දේවල් ගැනය. 

ඒ දවස්වල ඉපැයූ දේවල් වියදම් කෙරුණේ කොහොමදැයි මම දැන නොසිටියෙමි. 
හරියටම කියනවා නම් සෙක්කුවේ බැඳපු ගොනා වගෙය. 
වටේ යන්නට විතරය දැනගෙන හිටියේ. ඒ ටික නම් හොඳට මතකයේ තිබෙයි.

(මගේ මතකය හරි නම්,) බතික් ශිල්පය ජනගත කිරීමේදී ඇ. ලයනල් ද සිල්වා උන්නැහෙත් සෑහෙන වැඩ කොටසක් කළා විය යුතුය. ‘මල් පියලි’ ප්‍රකාශන එක්කම බතික් ගැනත් පොත් පළවිණි. දැන්වීම් පළවිණි.

“මහත්තයා... අලුත් ඩයි ජාතියක් තියෙනවා. වැට් ඩයි කියලා..... යේක රෙදිවලට නම් ඔඳයි!” ඒ වෙනකොට අඳුනාගෙන හිටි ඩයි කඩයේ එක්කෙනෙක් කිව්වේය. “බාත්ස් දෙකක් තමයි ඕනේ නෑ. පෙර්ෆෙක්ට්.... ෆේඩ් වෙන්නෙත් නැහැ. try කරලා බලන්නකෝ...”

මේ සියලුම බතික්වලට පාවිච්චි කර තියෙන්නේ වැට් ඩයි වර්ගය.............
මට ‘වැට් ඩයි’ හඳුන්වා දුන්නේ මරදානේ ඒ.සී.ඒ. මුතලිප්බ් එකෙනි. ඒක තිබුණේ ගාමිණී හෝල් එකට මෙහායින් තියෙන පිට්ටනිය ඉස්සරහම කඩ පේළියේය. 
ඉරිදා පත්තරවලින් දැන්වීම් දැකලය මං මුලින්ම එහාට ගියේ.

“අම්මට සිරි. ඔක්කොම ජාති තියෙනවනේ... මී ඉටිද, පැරෆින් ඉටිද, නැප්තෝල්- නැප්තනිලයිඩ්- ප්‍රෝෂන් ඩයි ජාති... කෝස්ටික් සෝඩා... හයිඩ්රෝ...” පළමුවෙනි සැරේ ගියාම මං උඩ ගිහින් හිතුවා මතකය.

ඒ දවස්වල මුතලිප්බ් එකට තිබුණු වෙළෙඳාම හිතාගන්නටවත් අමාරු තරම්ය. 

බතික්වලට ගන්නා ජාතිවලින් එහි නොතිබුණේ රෙදි වර්ග විතරය. ඡන්ටින්ස්, පුනීල, පින්සල් වගේ දේවලුත් එකම වහලයක් යටදී ගන්නට නම් ඒ දවස්වල එතැනට ගියාම හරිය.

සමහර දවස්වලට ඕනෑ කරන ඩයි වර්ග ගන්නට ගියාම ඒවා නැතිය. 
විකිණී හමාර වෙලාය. “මහත්තයා... තව කොහාට හරි ගිහින් එන්න තියෙනවා නම් ගිහිල්ල එන්න. අද දොළහට කලින් බඩු එනවා. ෂුවර්... ඕනේ නම් බිල් එක දාලා යන්න. ඇවිත් pay කරලා බඩු ටික...” 1974 දවසක එහෙන් කියවුණේය. 
මට විතරක් නොවේය. තවත් කිහිප දෙනෙකුටත්ය. ඒ අතරේම තව ටික දෙනෙකුත් බලාගෙන හිටියෝය.

හදවත් නැත්තන් කොටසක් එකතුවී මරදානේ ගාමිණී හෝල් එකටත් ගිනි තැබුවේ.............
‘කොහෙ ගිහින් එන්නද?’ මහරගමින් ගාමිණී හෝල් හරහා ගියේ 108 කොටුව බස් එකත්, 125 අවිස්සාවේල්ල- පාදුක්ක- ඉංගිරිය වගේ බසුත් විතරය. එතකොටත් නවයහමාර පහු වුණා විතරය. මහරගමට ගියත්, ගිය පිම්මටම ආපහු එන්නට වෙයි. එතැනටවී බලාගෙන ඉන්නටත් බැරිය.

‘හදවත් නැත්තෝ!’

බස් එකෙන් බහිද්දී දැකපු දැවැන්ත කටවුට්ස් මතක් වුණේ එතකොටය. ගාමිණී හෝල් එක ඉස්සරහමය ඒවා තිබුණේ. (සිනමාස් සමාගමේ ප්‍රධානම සිනමා ශාලාවක්වූ ගාමිණී හෝල් එක නොඑන ගමන් ගියේ ගින්නට බිලිවෙලාය. 1983 කළු ජුලියේදී ඒවාට ගිනි තිබ්බාය කියන්නේ ජාති ආල කාරයන්ය!)

ඒ වෙද්දීවත් මා ගාමිණී හෝල් එකේ film එකක් බලා තිබුණේ නැත. 

කඩිමුඩියේ දුවගෙන ගිහින් ටිකට් ගත්තාමය තරු පෙනුණේ. second class එකේත්, ගැලරියේත් පෝලිම් දෙකම තිබුණේ එකිනෙකට යාබදවය. මං ගිහින් තිබුණේ ‘ගැලරියටය’. නුපුරුදු හින්දා කණු-කුණු ගාන්නට හිතුණේත් නැත. 
ගාමිණී හෝල් එකේ ගැලරියේ ඉඳගෙන ‘හදවත් නැත්තෝ’ බැලුවේ එහෙමය. 
ඒක තවත් අනුස්මරණීය වෙන්නේ දොන් සිරිසේන නපුරු පිම්පියෙකු විදිහට කළ රඟපෑම නිසාය! කොල්ලාට හිටියේ රොබින් ප්‍රනාන්දුය. කෙල්ල නීටා ප්‍රනාන්දුය.

සිගරැට් - බීඩි ගඳට 'සූස්ති' ගඳත් එකතු වුණාම.............
ෆිල්ම් හෝල් එකකට යනවාය කියන්නේ ඒ දවස්වල ගඳ ගහන වැඩකි. සිගරැට් ගඳ... බීඩි ගඳ... සමහර වෙලාවට ‘සූස්ති ගඳත්’ ඒකට එකතු වෙයි. 
එදා ඩයිත් අරගෙන ගෙදර යද්දී මං ගියෙත් හතර අතට අර ගඳවල සම්මිශ්‍රණයක් විහිදුවාලමිනි.

ගිය ගමන්ම මා කළේ වෙච්ච දේ සහසුද්දෙන්ම දිගාරින එකය. 

ඒකත් මගේ එක trick එකකි. හොර වැඩක්; අයුතු දෙයක් කළාට පස්සේ මට නම් එය හිතට මහ බරක් වෙයි. සේරම නැතත්, ටිකක් හරි කියලා දැම්මාම අහවරය. හිතේ බරෙනුත් නිදහස්ය. අහගෙන ඉන්න කෙනා වැඩියෙන් හාරන්නෙත් නැත. විශේෂයෙන් අපේ තාත්තා.

එතකොට මට අවුරුදු විස්සක් වුණාය කියලාවත් තාත්තා ගණන් ගත්තේ නැත.

“මේ ගෙදර ඉන්නවා නං, උඹලා ඉන්න ඕනේ මං කියන විදියට... උඹ වුණත් රංජි, මට යමක් හංගලා, අහුවෙන්න නං එපා පුතෝ.” ඒ වගේම යමක් කරන්නට කලින් තාත්තාට කියන්නටය කියලාත් නීතියක් තිබිණි. 
ඒකෙන් සිද්ද වුණු ලොකුම වාසියකුත් තිබේ. නීති තියෙන්නේ ඕනේ නම් කඩන්නටය; හැබැයි, මොට්ට විදිහට නොවේ! හරිම සූක්ෂ්ම විදිහට කලාවටය.

නීති කඩනවා නම් කඩන්නට ඕනේ අපේ ලොක්කන් කරනවා වගේ හරිම සූක්ෂ්ම තාලෙටය............
දැන් මට හිතෙන්නේ මං ඒ කලාව ප්‍රගුණ කළ එකෙකිය කියලාය! තාත්තාගේ කණෙන් රිංගීම මට ලේසි වුණේ ඒ නිසාය.

හැම විජ්ජාවටම වැඩියෙන් ගැලවිජ්ජාව ලොකුය. 
අද ඉන්නා ගොන් biජ්ජන් හුඟ දෙනෙකු ඒකවත් දන්නේ නැත. 
පටන් ගන්නෙම අනාගෙනය. 

එහෙම ට්‍රික්ස් දන්නා උදවියගෙන් වෙනවාට වඩා අන්තරායක් වෙන්නේ ගොන් මොට්ටයන්ගෙනි. මෝඩ වඳුරාත් එක්ක මිතුරුදමක් පවත්තාගෙන ගිය රජ්ජුරුවන්ට වෙච්චි දේ මතකයිනේ.

ඒ කාලේ වගේ නොවේ, දැන් නම් ලොක්කන්ට උපදේශකයනුත් හිටියි. එයාලා කියන දේවල් අහන්නේ නැතිවද, කියන්නේ නැතිවද කියලා ගැටළුවක් මට ඇති වුණේ මේ සතියේය. 

යටින් තියෙන ෆොටෝ එක දුටුවාමය. හැබෑටම, අපේ රට කරවන උත්තමයන් වහන්සේලාට යහමින් නිවාඩුපාඩු - අස්වැසිලි තියෙනවා වගෙය.

සිල්ලර වැඩකට කැපවී හිටිද්දීවත් මට නං මෙහෙම චුන්වලට වෙලාවක්.............
බතික් කරනවා වගේ සිල්ලර වැඩකට කැපවී හිඳිද්දීවත් මට නං මෙහෙම චූන්වලට වෙලාවක් තිබුණේ නැති හැටි!

18 comments:

  1. කොමෙන්ට් එක නිසා කවි 3කුත් දැනගත්තා, Thanks

    ReplyDelete
    Replies
    1. ඔයාගෙනුත් අදහසක් එකතු වුණා. ඒකට මාත් තෑන්ක් කරන්නම ඕනේ!

      Delete
  2. පින්තුරේ ගන්න ගිහින් වෙච්චි ඇබැද්දිය හින්දා සමාව දෙන්න නියමිත වේලාවට පින්තුරය අරන් දෙන්න බැරිවුනාට.

    සෙවිල්ල සගරාවන් තුනක් එකට බැද මා ලගත් තියේනවා. ඔය සගරාව ප‍්‍රින්ට් කරලා තියෙන කොලිටිය දැන් තියෙන එවායෙත් නෑනේද? මුල් කාලේ ප‍්‍රගති ප‍්‍රකාශකයන්ගේ රුසියානු පරිවර්ථන පොත්වල කොලිටියමයි.

    ReplyDelete
    Replies
    1. අසංග, ඔයාඅ පරක්කු වුණාට වඩා වුණේ, මට ෆොටෝ එකක් තිබුණු එක. ඒ අදහස ආවෙත් ඔයා කියූ වෝග් කෝනර් එක හෙවු නිසා!

      මං දන්නා විදිහට සෙවිල්ල හා රුසියානු පොත් ප්‍රින්ට් කෙරුණේ ලක්ෂ ගණනින්. හැබැයි එහෙම ප්‍රින්ට් කෙරුණේ ෆොටෝ- චිත්‍ර විතරයි. හොඳට බැලුවොත් පෙනෙයි ඒවායේ නම්- අන්තර්ගතය වගේ දේවල් ප්‍රින්ට් වෙලා තියෙන්නේ කළු (තනි) පාටකින් බව.

      අර විදිහට රූප ප්‍රින්ට් කරලා ඒ ඒ රටට- භාෂාවට අනුව තමයි පස්සේ කළු පාටින් මුද්‍රණය වුණේ. මේකත් එක්තරා සංස්කෘතික ව්‍යාප්තවාදයක්; ආක්‍රමණයක් කිව්වත් කමක් නැහැ. ඉතිරි දේශපාලන කතන්දරේ.......

      Delete
  3. සෙවිල්ල මැගසින් එකතුවන් බයින්ඩ් කරල සමහර පාසල් පුස්තකාලවල තිබුනා. ඒකේ මං කැමතිම දේ ඉලියඩ් කතාවෙ චිත්‍ර.ඇකිලීස් හා පැට්‍රොක්ලස් එක තාම මතකයි. තව ග්‍රීක් මිත්‍යා කතා සහ යුරෝපීය ඉතිහාසය ගැනත් ලස්සන ඒවා තිබුනා.


    සෙවිල්ල ඔරිජිනල් එක මොන රටේද? නම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Pra Jay,
      බොහොම වෙලාවක් වැය කරලා මං හොයාගත්ත ග්‍රීක විදිහේ චිත්‍රයත් සෙවිල්ලේ තිබුණු එකක්. එච්චරමයි තිබුණේ.

      මට සෙවිල්ල සඟරා හමු වුණේ ගුණසේන වාර්ෂික - සැප්තැම්බර් පොත් සේල් එකෙන්. සේරම පිළිවෙලකට නං තිබ්බේ නැහැ. හැබැයි ඒ තිබුණෙත් එකට බැඳපු කලාප කිහිපය බැගින්.

      ඔරිජිනල් එක නම් මොන රටේද කියලා තිබුණේ නැහැ වගෙයි. ලිතෝ ප්‍රින්ට් එකක් කියලා නම් තිබුණා.

      Delete
  4. ඇත්තටම ඒ කාලෙ ඔය බතික් සැරසිල්ලක් කීයක් වටිනවද?

    ReplyDelete
    Replies
    1. අනේ මධු, එක නං අහගන්න වෙන්නේ ෂොප් එකකින්ම තමයි. මං දැනගෙන හිටි එක තැනකවත් මිල පැහැදිලිව තිබ්බේ නැහැ. සුද්දගේ හැටියටයි හුඟක් අය ගණන් කිව්වේ.

      Delete
  5. //ඔහොම බලාගෙන ඉන්න අතරේ මං මැරුණොත්....
    අම්මපා බෝව නං අදහන්න වටිනවා :-)

    ReplyDelete
    Replies
    1. අදහන්න නෙවෙයි සිරිබිරිස් උන්නැහේ, කරවල වගේ වේලලා තියාගන්න නේද වටින්නේ?

      Delete
  6. කරුණාකරලා කතාවේ හොදම හරිය එනකොට හෙටට කල් දාන්නේ නැතිව එක දිගටම ලියල ඉවර කරන්න .අපිටත් වෙන්නේ ඊලග film එක එනකල් බලන් ඉන්න උන වගේ වැඩක් ...
    මීට
    ලොක්කා....

    ReplyDelete
    Replies
    1. එහෙම කරනකොටම ලියන්න තව හොඳ අත්දැකීමක් පැටලෙනවනේ ලොකු මහත්තයෝ! දන්නවනේ... පංච තන්තරේ කියලා.

      තරහන් නේද දැන් වැඩිය කමෙන්ට් කරන්නේ නැත්තේ? මට අමතක වෙලා නෙවෙයි, ඔබතුමා තමයි පළමු කමෙන්ටුව එව්වේ.

      සාම ජාතකයේ නාට්‍යය ගැන තමයි ඊළඟට ලියන නාට්‍ය අත්දැකීම. ඔයා බලාගෙනම ඉන්නේ ඒක ලියනකල් නේද? එක පරක්කු කළේ ඔයාගේ ඉල්ලීම නොසලකා හැරීමකට නෙවෙයි, පිළිවෙලකට කියන නිසා! හොඳේ...

      Delete
  7. ටිකයි, රසයි. බොහොම හොදයි.ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. ඔයා මෙච්චර මාගලකට කියන්නෙත් ටිකයි කියලද, චමී?

      Delete
    2. තවත් වැඩියෙන් කියවන්න තියෙන ආසාවට ටිකයි කිවුවට තරහ අවසර.

      Delete
    3. මං එහෙම තරහ ගන්නේ නැහැ, චමින්ද, එතකොට මගේම ලේනෙ නාරක් වෙන්නේ.

      Delete
  8. අර බලු කවි පන්තිය මරු ... අපි මරදාන පැත්තෙ එනකොට ගාමිණී හෝල් කියන්නෙ බස් නවත්තන තැනක් විතරයි :)

    ReplyDelete
  9. බල්ලෝ බලුකම රකින අපූරුව මිනිස්සුන්ට මනුස්සකම රකිනකොට මතක් වෙනවා නං කියලා නිතරම හිතෙනවා කණ්ඩා.

    ReplyDelete