අකුරු මැකී නෑ

Thursday, July 11, 2019

දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස

“මෙච්චර ලොකු කුකුල් කොටුවක්?”
“ඉඩ තියෙනවනෙ ලොකූ, එක සැරේම ලොකුවට හදාගත්තාම ලෙහෙසියිනෙ.”

මල්ලියාගේ ඒ තර්කයත් හරිය.................
දීපාල්ගේ ඒ තර්කයත් හරිය. ඊට පස්සේ තවත් ලොකු කරන්නට ගියාම වියදම වැඩිය. බඩා මල්ලා එහෙම තර්ක කළේ, ඒ එයාත් අපේ  අම්මාගේ නුවණ ප්‍රයෝජනයට ගනිමින් හිටි වෙලාවක් නිසා වෙන්නැතිය.

හිටි ගමන් අපේ මව් යානයේ ‘ඥාන බුද්ධිය’ට ‘අ’යන්නකුත් එකතු කරන්නට වෙයි. ඒකේ වපසරිය තේරුම් ගන්නට මේ එකම-එක අත්දැකීම වුණත් හොඳටම සෑහෙයි.

එතකොට මට අවුරුදු පහක්වත් නැත. ඒ කියන්නේ ඉස්කෝලේ යන්නටත් කලින්ය. (එවිටත් මා ආච්චිලාට ඇසෙන්නට, දිනපතා ලංකාදීප පත්තරය කියවූ බව රසික ඔයාලා දැනටමත් කියවා ඇත. එහෙම සිංහල පුළුවන් වුණාට, ගණන් හදන්නට නම් මේ මැට්ටා කවදත් අදක්ෂය.)

පුංචිම සංදියේ, ඉස්කෝලේ යන්නටත් කලින් මං අපේ ආච්චිලාට ඇහෙන්නට
දිනපතා 'ලංකාදීප' පත්තරය........
“අද නං රංජී, හවසට චක්කර ටික කටපාඩම් ගන්න එක ගන්නවාමයි. පාඩම් නැතිව ඉඳපන්කො බලන්න. ආච්චිගේ හුරතලේ දෙපිටින් යන්න හොඳ වැඩක් කරනවා ඔන්න.” අම්මා ගොරවන්නට ගත්තේ වේලාසන ඉඳලාමය. 

දැන් හිතෙන්නේ අම්මා එදා මගේ පිටින් දමලා ගොරවන්නට ඇත්තේ ආච්චිට කියලාය. අපේ අම්මාත්- ආච්චිත් දෙන්නාම ඒ සෙල්ලමට නම් රුසියෝ වූහ.

වෙනදා වගේම ඒ පාරම් බෑම අම්මාට අමතක වෙතියි කියා හිතාගෙන හිටියත්, එදා එහෙම වුණේ නැත. 

බිම් කළුවර වැටෙද්දී ආච්චීත්, මාත් ලාවුළු ගහ යට තිබුණු ලෑලි පෙට්ටියේ බුදු පහන පත්තු කළා විතරය. “රංජී, වරෙන් මෙහාට. චක්කරේ පාඩම් දීලා හිටපං........” තුන්වෙනි සීනුව වැදුණේය. මා අම්මා දිහාවට ඇදුණේ ගොලුබෙලි වේගයෙනි.

“කොයිකේ ඉඳලද අම්මේ?”

“කොයිකෙ ඉඳලද? චක්කර හැටක් විතර තියෙනවද? දොළහනේ, දෙවරක් ඉඳලම කියපං බලන්න .....”

චක්කර කටපාඩම් කරන්නයි කියලා, මට ලබාදී තිබුණේ පරණ එක්සයිස් පොතකි!
මට චක්කර කටපාඩම් කරන්නැයි කියා, ලබාදී තිබුණේ පරණ එක්සයිස් පොතකි. 

ඒ කාලේ කොටු රූල්, තනි රූල්, ඩබල් රූල් පොත් හැම එහෙකම අග පිට කවරයේ චක්කර දොළහ, කිරුම්-මිනුම් වගේ දේවල් අච්චු ගැහීම සිරිතක් විණි.

දෙවරක් - තුන්වරක් කියාගත්තා වෙන්නට ඇතිය. ඊළඟට දිගටම වරදින්නට පටන් ගත්තේය.

අම්මා නැඟිට්ටේ තෘප්තිමත් විදිහටය. පැස්බරෙකු වගේ ආඩම්බරෙන් හිස උස්සාගෙනය. “රෑ දොළහට හරි කමක් නැහැ, දොළොස්වරක් වෙනකල් කිව්වේ නැත්තං අද උඹට  බත් නෑ. ගේ ඇතුළට ගන්නෙත් නෑ.....”

“හැබෑටම ලීලා උඹට පිස්සුද? මේ ඉස්කෝලෙවත් යන්නේ නැති නොදරුවට ඔහොම හිංසා කරන්නේ? හෙට හවසටවත්....” 

ආච්චී ඇපිල් එකක් දාන්නට උත්සාහ ගත්තත් අපේ අම්මා ඉඩ දුන්නේ නැත.

අම්මා අම්මගේ පුතාව හැදුවෙත් නැන්දම්මට ඕනේ විදිහටද?
“අම්මගේ කාලේ අම්මා ගුණේව හැදුවෙත් නැන්දම්මට ඕනේ විදිහට නෙවෙයි නේද. මමත් මගේ එකාව හදන්නේ මට ඕනේ විදියට.”

ඒක දිනුම් පදයක් වගේම ඇනුම් පදයකුත් වුණේය. 

රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතීට හෙවත් යසවතීට දිනුම බාරදී, දසනායක රත්නවතී හෙවත් මඤ්ඤොක්කා ආච්චී කට වසා ගත්තාය. 
එහෙම වෙලාවට ආච්චී නිශ්ශබ්ද විලියම්ටත් වැඩියෙන් නිස්සද්දය. එහෙම නිහඬව ඉඳලා වාඩුව අල්ලන්නටත් ආච්චී අමතක නොකළාය.

උඩදී කිව්වා නේද, අපේ අම්මා, මාව එයාට ඕනේ විදියට හදන්න යන කතාවක්. ඒකෙන් මට වෙන්නේ මොකක්ද කියලා එයා හිතුවේ නැති පාටය. 

අපේ ආණ්ඩුත් එහෙමය. 

තමන්ගේ කාලයේදී තමන්ට ඕනෑ හැටියට කෙළියේ යයි. රටට මොන හෙණයක් ගැහුවත් කමක් නැත.

පස්සේ ආ ලොක්කෝ 'ජනසවිය' සමෘද්ධිය කොට අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියා.....
ප්‍රේමදාස මහත්තයා අවුරුදු 2-4 අතර කාලයේදී දුප්පත්කම රටෙන් තුරන් කරන්නට බලාගෙන ‘ජනසවිය’ දියත් කළේය. ඊළඟ ලොක්කෝ, ඒ වැඩේට වෙනම නමක් දීලා; ‘සමෘද්ධිය’ කියා ලියාගෙන අනුන්ගේ ළමයින් තමන්ගේ කරගත්හ. 

දැන් සමෘද්ධි නිලධාරීන් 2,70,000 කට හා පරිපාලන නිලධාරීන්ට වියදම් කරන මුදල ‘සහනාධාර’ විදිහට දෙන මුදලටත් වඩා ගොඩක් වැඩිය! ගණන් හිලවුවලට අනුව නම් දැන් ලංකාවේ දුප්පත්කම 40%කි!

මාත් මේවා කියෙව්වේ ‘2019 ජුනි 30 ‘රාවය’ පත්තරයෙනි. 
එතකොට මතක් වුණේ දැන් රට කරවන්නෙත් අපේ මල්ලිලා දෙන්නා වගේ ‘පුළේ මොකේ’ තියෙන අය බවයි! ඒ එදාය. එදා අපේ අම්මාගේ නුවණ ගැන කතාව ඉස්සෙල්ලා කියා.............

ඒ කාලේ අප හිටි ගෙදර තිබුණේ සිල්ලප්පු වත්තේ උඩහට වෙන්නටය. 

ආච්චිලා බද්දට අරන් තුබුණු ඒ ඉඩම පර්චස් 86ක් විතර වෙන්නට ඇතිය. ඉඩමේ පහළ කොටසේ තිබුණේ ඝන කැලෑ බූටාවකි. අපේ ආච්චී වෙරළු අහුළන්නට රිංගලාම, ඒකේ දිගට-හරහට වංකගිරි පාරවල් පවා හැදිලා තිබිණි. 

ඒ ගැන කිව්වේ අපේ වත්තට කලින්ම කරුවල ගලන බව පහදන්නටය. එදාත් එහෙම වුණේ, අසරණ මට රිද්දන්නට වගේය.

යක්කු, පෙරේතයෝ, හොල්මන් එළියට ඇදෙන ජාමයේ.............
එහෙම ජාමෙක මොන චක්කරද? කට්ට කරුවලේ පාඩම් කරන්නේ මොකක් බලාගෙනද? 

ඊටත් යක්කු-පෙරේතයෝ-හොල්මන් හැංගී ඉන්නා තැන්වලින් එළියට බහින යාමේ.... අපේ අම්මාම ඉස්සරහ දොර වහලා දැම්මේ මාව ඉස්තෝප්පුවේ තනි කරමිනි. 

ඉස්තෝප්පුවේ වටේ බිත්ති එකක්වත් නැත; ඒ මදිවාට කිසිම එළියකුත් නැත. 
කරන්නට තිබුණේ එකම දෙයකි. ඉස්තෝප්පුවේ තිබුණු හාන්සි පිටුව යටට රිංගාගත් මම, තදින් ඇස් පියාගෙන ඉතිපිසෝ ගාථාව මතුරමින් හිටියෙමි.

“මව්වත්කමක් ගෑවිලාවත් නැති අම්මෙක් බොල තොට ඉන්නේ.”
පහුවදා උදේ නැඟිට්ටාට පස්සේ ආච්චී රහසින් මට කිව්වේ ඔළුව අතගාමිනි. 

“වරෙන්, කන්න මොකුත් දෙන්න. උඹට බයටම හාන්සි පුටුව යට නින්ද ගිහින් තිබ්බා. හුලිජ්ජත් ගිහින්, ඉතින් ඇහැරවන්නේ නැතිවම අපි උඹව පැදුරට දැම්ම පුතේ.”

අදට වුණත්, මේ කතාව මතක් කරද්දී  බින්තැන්නේ උපන් අපේ අම්මාට උත්තර නැත. 

ඒ එයාගේ හැඳි මිට දිග තරමය. හැබැයි එහෙම අම්මණ්ඩිම ඉංග්‍රීසිත් නොදැන තනිවම එංගලන්තයට ගිහින්, (වයසක වුණත්) සුද්දෙකුටත් කොක්ක ගහලා - කසාදත් බැඳගෙන දැන් බ්‍රිතාන්‍ය පුරවසිකමත් ලබාගෙන හිඳියි. 

ඒකෙන් මට නම් පෙනෙන්නේ තර්කානුකූල බුද්ධියත්, ස්ථානෝචිත ප්‍රඥාවත් එකක්ම නොවෙන බවයි.

එක සැරේම පුළුවන් තරම් ලොකුවට හදාගත්තාම...................
“ඉඩ තියෙනවනෙ ලොකූ, එක සැරේම ලොකුවට හදාගත්තාම ලෙහෙසියිනෙ.” කියලාය මං පීලි පැන්නේ. හෙනං ඕන් ආයෙම එතැනට එනවා!

“එක සැරේම ලොකුවට කුකුළු කූඩුව හදාගත්තාම වියදම නම් අඩුයි තමා. කුකුළො කොච්චර විතර දාන්න කූඩුවක්ද තමුසෙලා මේ හදන්නේ?”

මං එහෙම ඇහුවා විතරය. 

අන්නා දීපාල් දිහා බැලුවේය. දීපාල් අන්නා දිහා බැලුවේය. 
ඒ ගොයියන් දෙන්නාම එතකොටත් ඒ ගැන හිතලා නැතිවා වගෙය.

“තමුසෙලා කුකුළු දැල් ගෙනාවද?”


දැන් නම් කොයිකා උත්තර දෙන්නෙත්..............
“වහලෙට....”

“ෆවුන්ඩේෂන් එක දාලා ඉවර වෙලා ඒවා ගේනවා.....” දැන් කොයිකා උත්තර දෙන්නේත් කලින් තරම් ගැම්මක් ඇතිව නොවේ. ආඩතාඩෙටය.

“දැන් කවදද තමුසෙලා අත්තිවාරම දාන්න යන්නේ?”
“හෙට උදේම දානවා ලොකූ!”

“හෙට උදේම දාන්නෙ කොහොමද මිනිහෝ. කෝ, තවම ඕනේ කරන බඩු ගෙනල්ලත් නැහැනේ.....”

“බඩු හරි ලොකා.....” අනිලුත් සම්මාදම් වුණේය; පොඩි ජයග්‍රාහී හිනාවකුත් එක්කය. කෝචෝක් ගතියකුත් හැංගිලා තිබුණත් එය අර  සුප්‍රසිද්ධ ‘හතර හිනාවෙන් එකක්’ නොවේ.

මේ foto එක දකිද්දී නැඟෙන්නේ හතර හිනාවෙන් එකක්ද?
          “අර්ථා හසස්න්‍යුචීත දාන විහීත ලුබ්ධං - 
           මෘත්‍යුර්හ සත්‍ය වනිපං රණ රංගසීරුම් -
           භුම්මෙයා හසන්ති මම භූමරිතිබ්‍රැවාණම් - 
           දාරා හසන්ති තනයානු පලාල යන්තං”
කියලයි ශ්ලෝකයේ තියෙන්නේ. ඒක නම් කියවනවට වඩා අමාරු වුණේ කොටන්න ගියාම.

‘සකස්කඩ’ කියවලා තියෙන නිසා බැරි-බැරි ගාතේ හරි කියවා ගත්තාය කියමුකො. බ්ලොග් එක නිසාම හුරුවෙන කී බෝඩ් එකෙන් සමහර අකුරු ගන්නම බැහැ. ඉතින්, ශබ්දවෙන විදිහට ගැහුවා!

තේරුම තමයි හරිම වැදගත්. සිංහල සාහිත්‍ය විශ්ව කෝෂයේ’  814 පිටුවේ මෙහෙමයි අර්ථය පෙන්වලා තියෙන්නේ.

‘දන් පින් නොකරන මසුරා දෙස බලා ධනය සිනාසෙයි; 
යුද බියට බිය වී මුළු ගැන්වෙන රජු දෙස බලා මරුවා සිනාසෙයි; 
‘මහ පොළොව මගේ’ය සිතමින් ඉඩම් කඩම් උදෙසා පොරකන්නවුන් දෙස බලා මහ පොළොව සිනාසෙයි; 
හොර සැමියකු නිසා ලත් දරුවා නියම ස්වාමියා සුරතල් කරන විට ස්ත්‍රිය සිනාසෙයි.’

හැම ප්‍රශ්නයකදීම කොමිසමක් පත් කරනවා වගේ තකතීරු වැඩකට......
ඒ වෙලාවේ නම් මටත් හිනාවක් ගියේය. තවත් හාරන්නට-පාරන්නට ඕනෑකමක් නැත. මුන් දෙන්නා පට්ට තකතීරු mission එකකට අත ගහලාය. 

දැනටත් ටිකාක් විතර කෙළවිලාය. ඉතිරි ටිකවත් බේරා දෙන්නට ඕනෑය.

අත්තිවාරම දමන්නට අවශ්‍ය ගල්-වැලි-සිමෙන්ති මොකුත්ම ගෙනැවිත් නැති එකත් වාසියකි. “සිමෙන්ති, ගල්, වැලි මොනවත් නැතිවද උඹලා අත්තිවාරම් දාන්නේ?”

“අයියෝ ලොකා..... සිමෙන්ති ඕනේ නැහැ! අලුත්ම විදිහකට වැඩේ කරන්නයි හදන්නේ. අපි අත්තිවාරම දමනවා මෝඩ ගඩොල්වලින්!” අන්නාගේ මුහුණ ආයෙමත් අර ජයග්‍රාහී හිනාවෙන් සැරසිලාය.

“ඔව් ලොකූ. වියදම ඉතිරියිනේ. මැටි ගොඩකුත් පාගලයි තියෙන්නේ.” බඩාත් මුක්කු ගහද්දී මගේ යකා සිරසටම නැංගේය.

එහෙම මරි-මෝඩ-අමන-තකතිරුකම් දැන් හැම තැනමය!
ඉස්සර එහෙම වුණත්, දැන් නම් එහෙම කතන්දරවලට මට තද වෙන්නේ නැතිය. ‘හිකෙන් පුනා යනවා’ විතරය. එහෙම මරි-මෝඩ-අමන තකතිරුකම් හැම තැනමය. 

ලක්ෂ ගණන්වලින් පඩි කන ඇත්තෝ අපේ දීපාල්ලා තරම්වත් මොළේ නැතිව වැඩ කරන්නෝය. 

හොඳට ඇහැ-කණ ඇරලා බලනවා නම් හැමදාම වගේ, මෙහෙම අමනකමක්-දෙකක් හොයාගන්නට පුළුවන්ය.

අපේ රට පැණියෙන් නැතත්, කිරියෙන් උතුරවන්න බලාගෙන 2017 දී ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නුවා ප්‍රීසියන් කිරි හරක් 20,000 ක්. වැඩිය නෙවෙයි, එක හරකෙකුට ආණ්ඩුවෙන් වියදම් කරලා තිබුණා සොච්චම් රුපියල් 2,65,000/= බැගින්; එකෙකුට දෙලක්ෂ, හැටපන්දාහ ගණනේ. හුටා!

පස්සෙයි දන්නේ, උන් ලෙඩ හරක්. 

Bovine Viral Diarrhea පාචන රෝගේ හැදිච්චි එවුන්. ඉතින් ටික දවසකින්ම උන් මැරිලා ගිහින්! කිරිත් නැහැ; මසුත් නැහැ.

දැනටමත් පිළිගෙන ඉවරයිලු 'හරක් ගනුදෙනුව' අමුහරක් වැඩක් බව..........
වංචා දූෂණ පිළිබඳ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන්, අදාළ නිලධාරීන් 20  දෙනෙකුම දැනටමත් පිළිගෙන ඉවරයිලු ‘හරක් ගනුදෙනුව’ හරක් එකක් බව. 

ඒ වගේම හෙළිදරව් වෙලා ඉවරයි, ගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ ලොකුලොක්කොත් වැඩේට හවුල් කියලා. 

මොනවද ඔට්ටු, කවදාවත් මේවාට වගකිවයුතු කිසිම කෙනෙක් දඬුවම් නොලබනවාට. ඒක ඉර-හඳ වගේ විශ්වාසයි!

හොඳටම විශ්වාසයෙන් තමයි මං අපේ කොල්ලෝ දෙන්නාගේ ඇඟට කඩන් පැන්නේ. 

“යකෝ, තොපිට මොකේ අමාරුවක් හැදිලද අත්තිවාරම් කපලා ඉවර වෙලා, මෝඩ ගඩොල්වලිනුයි- මැටි වලිනුයි අත්තිවාරම් දාන්නේ..... සේරම පස් නේද යකුනේ. ඊට හොඳ නැද්ද, නිකම්ම පිහිටි පොළොව හාරන්නේ නැතිව වැඩේ කරන එක?”

මගේ ‘අමන සහෝදරයන් දෙන්නාට’ කතන්දරේ මීටර් වුණේ එතකොටය.

ඒත් ප්‍රංශය වගේ රටක බලධාරීන්ටත් වරදිනවා නම්..............
එක අතකට ඒ දෙන්නට දොස් කියන්නටත් බැරිය. අමුතු ඇටයේ නම් අමුතු නාඩගම් සිදුවෙන්නේ කාගෙ හරි ‘බැංකු ගිණුම් තර කෙරෙන්නටය.’ 

ඒත් ප්‍රංශය වගේ රටක බලධාරීන්ටත් වරදිනවා නම්.... එයාලාටත් ‘මීටර්’ නොවුණු වැඩක් ළඟදී සිදු වෙලා තිබිණි. 

ඒක දැක්කාමය මට ‘දිසානායකලාගේ ටිකිරි මොළේ’ ගැන ලියන්නට හිතුණේ.

ප්‍රංශ දුම්රිය සේවාව (SNFC) ඩොලර් බිලියන ගණනක් ($15 bn) වියදම් කරලා අලුතින් දුම්රිය කට්ටල තොගයක් මිලදී අරන්. ඒ දුම්රිය ධාවනයට නියමිත මාර්ගවල ස්ටේෂන්ස්; දුම්රිය නැවතුම් පොළවල් 1,300 ක් තිබෙන බවත් වාර්තා වුණා. 

කෝච්චි ගෙනාවට පස්සෙයි අහු වෙලා තියෙන්නේ, ඒ දුම්රිය නැවතුම් පොළවල තියෙන වේදිකා; platforms සේරම පටුයි. ඒවා සේරම පුළුල් කරගන්න නම් තවත් කොච්චරක් වියදම් කරන්න වෙයි කියලද හිතන්නේ?

මගේ ටිකිරි මල්ලිලා දෙන්නට වෙලා තිබුණේ ඒකේ අනෙක් පැත්ත. 

ගෙයි පිටිපස පැත්තේ තිබුණු තරම් ඉඩ අරගෙන ඒ දෙන්නා අත්තිවාරම හෑරුවා. අරපිරිමහගන්න හිතුවේ හාරපු අත්තිවාරමේ, මෝඩ ගඩොල් යොදාගෙන බදාමයටත් මැටි පාවිච්චි කරන්න ගිහිං. එච්චරත් නෙවෙයි.... තව තිබුණා.

ඔය කෙහෙල්මල් සේරම නවත්තලා තමුසෙලා ගණන් ටිකක් හදලා ...............
“හරි, තමුසෙලා දෙන්නා එස්ටිමේට් එකක් හදලා තියෙනවද... දැල්වලට... ලීවලට... වහලේ හෙවිල්ලන ඒවාට...” පිළිතුරු දෙනවා වෙනුවට අනිලුත්, දීපාලුත් කළේ තුෂ්ණිම්භූතව හිඳින එකය.

“දෙයියන්ගෙ නාමෙට දැන් වෙන මොකුත්ම කරන්න යන්න එපා. 
ඔය කෙහෙල්මල් සේරම නවත්තලා, උඹල දෙන්නත් එක්ක ගණන් ටිකක් හදපල්ලා. 
මං හෙට උදේට එනවා... එතකොට මට කියපල්ලා උඹලගෙ කූඩුව හදන්න යන වියදමයි, ඒකට දාන්න යන කුකුළු පැටවු ගණනයි, මාස දෙකක් විතර වැඩේ ඇදගෙන යන්න කීයක් ඕනෙද කියන එකයි....!”

පහුවදා උදේ මම එහි ගියෙමි. 
ඒ යනකොටත් කපලා තිබුණු අත්තිවාරම ගොඩ කරලා ඉවරය!

“මොකද යකුනේ මේ?”

“සොරි ලොකා. වෙරි සොරි..... හොඳ වෙලාවට ඔයා ආවේ. මගේ අතේ එච්චර ලොකු ගණනක් නැහැ ලොකා.... තියෙන සල්ලි ටිකෙන් බාගයක් ලොකුවට කූඩුව හැදුවත්, කුකුළො ගන්න.....” දීපාල් මල්ලී කිව්වේ නවත්ත-නවත්තාය.

තියෙන සල්ලි ටිකෙන් බාගයක් ලොකුවට ............
ඒ වැරැදීමෙන් ලොකු වාසියකුත් වුණේය.

“Hi boys, use your brains.” හිටි ගමන් අපේ දීපාල් මාර්කොටත්, නිමල් බෙන්ටත් උපදෙස් දෙයි. ඇහුණාම ඉතින් මට හිනහය; විවේක ඇති වෙලාවක නම්, හිනාවෙලා නිකම් නොඉඳ, ඒ තාත්තා කොලු කාලේ මොළේ පාවිච්චි කළේ කොහොමදැයි ඔහුගේ පුතාලට කියා දෙමි. ඒ චාන්ස් එක පොඩි වාසියක්ද෴

14 comments:

  1. ලංකාවේ ඉන්න දෙකෝටියක් හරක් ටික රවට්ටන්න පුලුවන් 225ක මීහරක් ටිකට. ඔය කියන ගනුදෙනු කිසිවක් නොදැන කරනවා නොවේ. දැන දැන කරනවා. රටට පාඩු කරන්නේ උන් ගොඩගන ක‍්‍රමය මිසක් උනුත් අමාරුවේ වැටෙන ක‍්‍රමයට නොවේ. අපරාදේ මල්ලිලාට උදැල්ල දැම්මේ අමාරුවෙන් හරි වැඩේ කරන්න උදව් කලා නම් බැරි බැරිගාතේ හරි වැඩේ ගොඩදා ගන්නවා. නැත්නම් හොද පාඩමක් ඉගෙන ගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒකට නම් එකඟ වෙන්නේ නැහැ මහත්තයෝ!

      ඒ ගොල්ලන්ගේ තව කෙරුවාවල් තියෙනවා.

      හැබැයි පෝස්ටුව ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ මට හිතුණා 'මගෙන් මංගල යෝජනාවක්' පෝස්ටුවෙදී කියාපු මගේ මොට්ටකමත් එක්ක බලද්දී මේවාත් වැඩද කියලා.

      Delete
  2. ඔය කාලකණ්නි බොරුවට කියවන්නේ /ඇත්ත උවමනාවක් තියෙනවානම් ගිවිසුම් අත්ගිටුවලා ගෙවිම් නවත්තන්න පුවවන්. කොහෛ් හරි ලොකු කොමිස් කුට්ටියක් ගිරවෙලා ඇති.
    අර ලංකාවේ දොස්තරලා සෙට් එකකට ප්‍රසම්පාදනය ගැන උගන්වන්න ඉන්දියාවේ යැව්වාලු්‍ ගිය එකෙක්ගෙන් මම ඇහුවා බොලා පාවිච්චි කරන්නේ ඉන්දියාවේ procurement guidelines ද කියලාග නෝ උත්තර

    ReplyDelete
    Replies
    1. ඒත් උදාර, තවමත් අපේ ගොඩ දෙනෙක් මේවා අවධානයට ගන්න ඕනෙය කියලා හිතන්නේ නැහැනේ. අපේ සල්ලි, රටේ සම්පත් නේද මෙහෙම කාබාසිනියා කරන්නේ කියලා හිතනවද?

      Delete
  3. Replies
    1. ස්තුතියි කිඹුලී, කොහිල වළකද ඉන්නේ?

      Delete
  4. ඔය ඕස්ට්‍රේලියන්/නවසීලන්ත එළදෙනුන් පිලිබඳ පුවත මෙහෙ ABC එකේ පෙන්නුවා. ඕස්ට්‍රේලියානු සමාගම (Wellard) බේරා ගැනීම එහි පරමාර්ථය වුවා යැයි මම හිතන්නේ නැහැ. එය බොහොම සමබරව වාර්තා කර තිබුනා. සමහර ලෙඩ සතුන් ඉන්නා ආකාරය නම් බොහොම දුක්ඛිතයි. . කොටින්ම පුවතේ දර්ශන වලට පළමුව මේ "දර්ශන වලින් නරඹන්නන්ට මානසික බලපෑමක් සිදු වේවි" කියලා අනතුරු ඇඟවීමකුත් කළා. ලංකාවේ ගොවියන් කිසිවිටක ලෙඩ වූ සතුන් මරා දාන්නේ නැහැ. ඉතාම දුක්ඛිත විදියට බිම වැතිරිලා ඇට සැකිල්ල පේන තරමට කෙට්ටු වෙලා හිටියත් අපේ ලාංකික ගොවියන් ඔවුන් කෙසේ හෝ ගොඩගන්න උත්සාහ කරනවා. එයින් අනිකුත් සතුන්ටත් ලෙඩ බෝවීමට විශාල ඉඩක් ලැබෙන බව කිව යුතු නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ (හෝ ඉන්දියාව හැර වෙනත් විදේශීය රටක) ගොවියන් ලෙඩ වූ සතෙකු මරා ගොවිපොළෙන් ඉවත් කිරීමට කල් ගත කරන්නේ නැහැ. රෝගයක් පමණක් නිසා නොවෙයි, සතාව නඩත්තුවට සරිලන ප්‍රතිලාභ ලැබෙන්නේ නැතත් ඒ ඉරණමම තමයි.
    ලංකාවේ විගණකාධිපති , ගොවිපොළ හිමිකරුවෙක්, පශු වෛද්‍ය කෙනෙක් මෙහි අදහස් දැක්වුවා. අවසානයේ වෙලාර්ඩ් සමාගමේ කෙනෙකුත් අදහස් දැක්වුවා. මට හිතෙන ආකාරයට ලංකාවේ දේශගුණයට නොගැලපෙන සතුන් වීම මුලික කාරණයයි. 'up to 20 litres per day' කියන යෙදුම "දිනකට කිරි ලීටර් විස්සක් ලබා දෙනවා" ලෙස වැරදියට පරිවර්තනය කිරීම හෝ වටහා ගැනීම ලංකාවේ ගොවියන් ගේ හෝ මේ සඳහා වූ අතරමැදියන්ගේ වරදක් බවත් මට හිතෙනවා. නිරෝගී සතුන් ලෙස මොන විදියට සහතික කරලා තිබුනත්, ලෙඩ සතුනුත් යම් ප්‍රමාණයක් මේ අතර ඉන්න ඇතැයි මට හිතෙනවා. 10% මලා කියන එක වෙලාර්ඩ් එකෙනුත් පිළිගත්තා (ඔවුන් 9% ලෙස පිළිගත්තා.)
    ඒ වගේම මේ සතුන් බෙදා හැරීමේදී ගව පාලනය ගැන දැනුම, යටිතල පහසුකම්, ආදියට වඩා දේශපාලකයන්ගේ ඇම්බැට්ටයින් වීම උසස් කොට සලකා බැලුවාද කියලත් සොයා බැලුව යුතුයි.
    මට ඔයාගේ කලින් පෝස්ට් එකට රිප්ලයි එකක් දාන්න මිස් වෙලානේ. සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෑම්.
      මෙවැනි සිදුවීම් වැඩියෙන්ම වෙන්නේ අපේ රටේ තියෙන නුසුදුසු අයට තනතුරු දීමේ තත්වය නිසා වගෙයි. අනෙක බඩගෝස්තරවාදය. කොහොමින් හරි හැකිතාක් හම්බ කරගැනිමනේ අපේ වැඩිම දෙනෙකුගේ ඉලක්කය. රටක්,ජාතියක්, අනාගත පරපුරක් ගැන තැකීමක් නැහැ. ලොකුවට කොමිස් ලැබෙනවානම් ඒ ඇති.....
      ඒකෙන් අපට පාඩුවක් නැහැනේ කියලයි අපේ පුරවැසියන් වැඩි දෙනා හිතන්නෙත්!

      Delete
  5. පොඩි දෙයකින් ලොකු කතා ගණනාවක් කියලා.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කාරණාත් එක්ක කියද්දී එහෙම කරන්න වෙනවනේ මියුරු. අවූල්ද?

      Delete