අකුරු මැකී නෑ

Tuesday, July 9, 2019

හරෝහරා! - පළමුවෙනි කොටස

හරෝහරා කියලාම කතාව පටන් ගත යුතුය! හරෝහරා!









“ හා, හා මාමේ, මැදට බහින්න එපා! ඔහොමම ඉන්න. මං කරේ තියාගෙන එගොඩ කරන්නම්!”

එහෙම හිතවත්කමක්.... එහෙම භක්තිවන්තකමක්. අපි දැකලා - අඳුනාගෙන - කතාබහ කරලා ගතවුණේ පැය කීයද? 

ඉන්දික මා වෙනුවෙන් පල් මඩ වගුරකට බහින්නට හදයි! 

එතකොට මේ මනුස්සයාට, ඒ ගඳ ගහන කළුම-කළුපාට මඩ ගොහොරුව හරහා තුන්පාරක් ඇවිදින්නට වෙයි. එගොඩ වෙන්නට වරකි. ඉන්දිකගේ අතේ-කරේ-ඔළුවේ ගෙනියන බඩු මලු එගොඩින් තියලා ආපසු එන්නට සැරයකි.

එතකොට මේ මනුස්සයාට මාවත් උස්සාගෙන........(ෆොටෝ- නෙවිල් අනුරසිරි)
මළගිය ඇත්තෙකු වැනිව වැනි-වැනී, ගාට-ගාටා ඇදෙන මාවත් උස්සාගෙන යන්නට; කරේ තියාගෙන යන්නට තවත් වතාවකි! 

ඉන්දිකට මා දිගින්ද, හරහින්ද? .... මෙහෙම උදව් කරන්නට හදන්නේ. ඒකට කියන්න වෙන්නේ භක්තිය කියලාද - මනුස්සකම කියලාද? මට හිතාගන්නට බැරිය!

මෙහෙම ලිව්වාට එතැන වුණු දේ හරියටම තේරුම් ගන්නට අසීරුය.

එක වතාවක් හරි කුමන ජාතික වනෝද්‍යානයට; අඩුම තරමින් කුමන කුරුලු පාරාදීසයට හරි, එහෙමත් නැතිනම් යාල ජාතික වනෝද්‍යානයට හරි ගිහින් තියෙනවාද? 
ගියේ වට වන්දනාවක යද්දී නම්, බස් එකක නම් මේවා තේරුම් ගන්නට අමාරුය. එතකොට ඔබට යන්නට වෙන්නේ අසීරු පාරවල් හරහා නොවේ. තරමක් හොඳ, පළල් ගුරු පාරවල්වලය.

කුමන කුරුලු පාරාදීසයටවත් ගොඩවැදීමේ වාසනාව ලබලා..........
එහෙම දඹුලුත් ගිහින් තලගොයි මරණ විදිහට නොවේ; වන සතුන් බලන්නටම වන රජ දහනකට වදිනවා නම් ජීප් රියක හරි, අඩුම ගණනේ 4 wheel වාහනයක හරි යන්නට වෙයි. එහෙම යද්දී පළපුරුදු වන ජීවී නියාමකවරයාත්, රියදුරු මහත්තයාත් දත කන්නේ කොහොම හරි වලහෙක්- කොටියෙක් ඔබට මුළිච්චි කරවන්නටය. 

අලින්ටත් ටිකාක් විතර තත්ත්වයක් තිබේ. තත්ත්වයක් තියෙනවාය කිව්වේ උන්ගේ නෑදෑයන්ගෙ පාටියේ අලින්ට නොවේය. වල් අලින්ටය. හැම තැනම පෙනෙන්නට ඉන්නා හින්දා, මුවන් රංචු පිටින් හිටියත් ගණන් ගැනෙන්නේ නැතිය.

ඔය විදියට සතුන් බලන්නට යන්නේ කුඩා; දුෂ්කර මාර්ග ඔස්සේය. ඒ සමහර පාරක් වැටිලා තියෙන්නේ විල්ලු හරහාය; ආරවල් හරහාය; බාගෙට වියැළී ගිය මඩ වගුරු හරහාය.

ඒ කොහොම තැනකින් ගියත්, වාහනයෙන් එළියට බහින්නට නං tracker මහත්තයා ඉඩ දෙන්නේ නැත. ඒකට ඔබට අවසර නැත. 

වතාවක් අප යාල ගිය ගමනකදී අපේ වාහනයක් එවැනි වගුරක එරුණේය. ගොඩ ගන්නට ගිහින් අපේ නඩයේ නැඩයන්ගේ විතරක් නොව, කොලු-කුරුට්ටන්ගේත් හොඳ පණ ගියේය.

යාල මඩ වගුරක එරුණු වාහනය ගොඩ ගන්නට ගිය අපේ නඩයේ නැඩයන් සේරෝමලා .....
වාහනය ගොඩ ගනිද්දී උදව් දුන් හැමෝම මඩෙන්; මඩ වතුරෙන් නැහැවිලා හිටියෝය.

“තමුසෙලා මස් කාලා ආව නිසා තමයි ඔය.” vegetarian දෙතුන් දෙනාට කැළේදී මොන වැරැද්දක් වුණත් ඒකට පළි ‘මස්- මාංශ’ය. දේව භක්තියත් එයාලා ළඟ අඩු නැතිවම තියෙන නිසාය. 

මත් විරෝධීන්ටත් කියන්නට දෙයක් තිබෙයි. “මුන් බීලා පිස්සු කෙළින ගමන් කියන කතා නිසයි මේ... මේ අඩවිවලදී අවකැපෙන කතා කිව්වම දෙයියෝ දඬුවම් කරනවා! කිව්වට අහන එකක්යැ.”

ඇත්තටම, හුඟාක් මිනිසුන් වගේ දෙවියනුත් ඉන්නෙ දඬුවම් කරන්නම බලාගෙනද?

මිනිසුන් වගේම දෙවියනුත් බලාගෙන ඉන්නේ දඬුවම් කරන්නමද?
ඔව්වා-මෙව්වා කොහොම වෙතත් එදා නම් දෙවියන් දඬුවමක් දුන්නේ මස් නොකන; මාළු විතරක් කන අහිංසක අංගනාවකටය. 

“නිමල් අයියේ...” මාව පැත්තකට කැන්දාගත් අර අංගනාවගේ නෑනන්ඩිය රහසක් කිව්වාය. “.... මොකද කරන්නේ නිමල් අයියේ, ...ට චූටි සිංදුවක් නෙවෙයි ලොකුම සිංදුවක් කියන්න ඕනිවෙලා මේ අස්සේ.... දැන් නං ඉවසගෙන ඉන්නම බැරි තරම්ලු.... ට්‍රැකර්ට කියලා පොඩි කැලයක් ගාව වාහනේ නවත්තවනවද?”

“එහෙම කරනවා නම් මෙතැනින්ම වතුරත් අරන් යන්න වෙයි, ප්ලාස්ටික් බෝතලේකට හරි.”

“ඊයා.... මේ වතුරෙන්...? පිටගැස්ම හැදෙයි. පේන්නැද්ද කළුම කළු පාට. කැකෑරි-කැකෑරී තියෙන දහජරාව...”
“එහෙනං ඉතින් හෝදාගන්නේ නැතිවම තමයි යන්න වෙන්නේ.”

කතාව කිව්වාම, ට්‍රැකර් සොහොයුරා වාහනය නවත්තලා, පස්දෙනෙකුට එළියට බහින්නට දුන්නෙත් වැඩි කැමැත්තකින් නොවේ. 
ආතුරයාගේ තනියට ගැහැනු දෙන්නයි, එයාලගෙ ආරස්සාවට පිරිමි දෙන්නයි. එදා ඒ අංගනාව ලොකු බරකින් නිදහස් වෙලා ආවේ සැහැල්ලුවෙනි. (මට ඇහෙනවා ඇහෙනවා වගෙයි .... අපෙත් එක්ක ගමන් යන එක්කෙනෙක් දෙන්නෙක් අහනවා කවුද ඒ කියලා.) 
ඕවා අකරතැබ්බනේ. ඉතින් සීක්‍රට්. හැබැයි මේ ටික නොකියා බැහැනේ.

බොබ් මාලෙයි 'බොග් මාලියි'....................
එයාගේ නමට කෑල්ලක් තියෙනවා ‘මාලි’ කියලා. එයා ලන්ද අස්සට ගිහින් ශරීර කෘත්‍යය කරලා එන ඩිංගට කවුදෝ කඩප්පුලියෙක් නමක් පට බැඳලා. “ආ බොග් මාලී!”

දැන් පෙනෙනවානේ. එහෙම වාහනයෙන්වත් එළියට බහින්නට අවසර නැති වනෝද්‍යානයක් ඇතුළේ ‘නිමල් දිසානායක’ කොහොමද පයින් ගියේ? ඉන්දික කවුද? කෝ ට්‍රැකර්ස්ලා?

හැම අවුරුද්දකම දවස් දාහතරකට විතරක් ‘කුමන හා යාල හරහා පා ගමනින් යන්නට’ විශේෂ අවසරයක් ලැබෙයි! හිතුමතේ- ඉබාගාතේ- හැම තැනම යත හැකිය කියලා නම් හිතන්න එපා පුතෝ! 

කුමනින් ඇතුළුවී කටගමුවෙන් පිටතට එනතුරු නිශ්චිත පාරවල්වල විතරය. 

එහෙම එන්නේ කතරගමටය. ඒ ගමනට කියන්නේ ‘පාද යාත්‍රා’ කියලාය. (කටගමුවේ සිට කතරගමටත් පා ගමනින්ම එනවා නම් ගමනේ මුළු දුර කිලෝ මීටර් 100කි.)

උයන-පිහන, කන-බොන, අඳින-පළඳින-නිදියන සේරම බරබද්දලුත් උස්සාගෙන, කිලෝමීටර් සීයක් දුර දෙපයින්ම යන ගමන......(ෆොටෝ- නෙවිල් අනුරසිරි)
මේ මා පාද යාත්‍රාවේ යෙදුණු තුන්වෙනි වතාවය. මගේ විතරක් නොවේ; අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස්, සුමිතුරු නෙවිල් අනුරසිරි දෙන්නාගේත්.

ඉතිහාසය කියන්නේ මිනිසුන් දහස් ගණනකගේ කතාව නේද? ඇයි මිනිස්සු විතරක්? ගහකොළ, සතා-සීපාවා, කැළේ- කොලේ සේරගේම ඉතිහාසයයි. එය නිවැරැදිව සටහන් කර තබන්නට වටිනා එකකි! 

ඉතින් මගේ පාද යාත්‍රා ඉතිහාස කතන්දරය කියද්දීත් අඩු නැතිවම කියන්න වෙනවාය.

ඔව්වොව් පුතේ, බඩවැල වගේ දිගට හිටීවිද මන්දා. මහා පතරංග ජාතකේ වගේ  කියන්න යද්දී මොනවා හරි මඟ ඇරුණොත්, අනේ සමාවෙන්න ඕනේ. හිතා-මතා එහෙම කරනවාට නෙවෙයි. එහෙම වෙන්න තියෙන ඉඩ වැඩියි නොවැ.... මහා විස්තර සම්භාරයක්ම තියෙනවනේ.



මහා විස්තර සම්භාරයක් කියන්නට තියෙයි! (foto- මාධව බොතේජු)
එක-එක දෙවිවරුන් එක-එක පළාත්වලදී; එක-එක රටවලදී වෙනස් නම්වලිනුත් හඳුන්වා තිබෙයි. පෙනෙන විදිහට නම් ලෝකය පුරාම ‘කතරගම දෙවියන් වහන්සේ’ වැඩ හිටිනවා වගෙය.

පළමුවෙනි වතාවේ, 2013 අවුරුද්දේ ඉස්සෙල්ලාම පාද යාත්‍රාවේ යන්න කලිනුයි, ගිහින් ආවාමයි මං කතරගම දෙවිඳු ගැන විස්තර හොයන්න ගත්තා. 

කේ.එන්.ඕ.ධර්මදාස - එච්.එම්.එස්. තුන්දෙණිය මහත්වරු දෙන්නා එකතුවී ලියලා පළ කරපු දැවැන්ත පොතක් තියෙනවා ‘සිංහල දේව පුරාණය’ කියලා. පොත මුද්‍රණය කෙරිලා තියෙන්නේ 1994- රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන්. (ඊට පස්සෙත් ප්‍රින්ට් වෙලා, හොඳේ.)

ඒ පොතේ තියෙනවා කඳ සුරිඳුන්ට කියන වෙනත් නම් 37ක්. (137 පිටුවේ.) 

මට තිබුණු ගාය නිසාම මාත් හොයාගත්තා තව නම් ටිකක්. ඔන්න ඒ 37ත් එක්කම, එහෙම හොයාගත් නම් 84ක්ම මෙතැන කොටන්නයි යන්නේ. නිදිගෙ ළඟ ඔව්වාට ලෝස්-බෝස් නැහැ; ශාස්ත්‍රීය කුහකකම් මයෙ ළඟ නැහැ.


හැමෝම කියවන්න කැමැති වෙන තාලේ...... ඔහොම විස්තර.......
ඔහොම වැඩි විස්තර, අප වගේ හුදී ජනතාවට දැන-කියා ගන්නට හොයලා- එක්රැස් කරලා- සටහන් තියලා- පළ කරලා තියාපු; තියන කාට-කාටත් පිංපෙත් අනුමෝදන් කරවමින් තමයි මේ නම් 84 සටහන් කරන්නේ. මට හමුවුණු ඒවා විතරයි මේ.... තව නම් කොච්චර ඇතිද?

අග්නි, අග්නි පුත්‍ර, අග්නිභ සරවන, අග්නිභූව, අග්නිභූ, අල් කදිර්,
ආරුමුගන්, ආරුමුගම්, ඇක්ස්ලීපියස්, ඉයොන්, ඊතලේ යකා, කතරගම දෙවිඳු, 
කතිරදේව, කතිරවේල්, කදිරකාමම්, කදිරදේව, කඳ සුරිඳු, කාචරග්‍රාම දේව, 
කන්දලි, කන්දසාමි, කන්දස්වාමි, කන්දෙ යකා, කන්දෙසාමි, කන්නන්, 
කාර්තික කුමාර, කාර්තිකා පුත්‍ර,  කාර්තිකාම, කාර්තිකේය, කුමාරකන්ද, කේසරම්, 
ගංගජ, ගංගේය, ගිරක්ෂනාථ, ගුහ, ග්‍රහ ස්වාමි, ජානකසේන, 
ඩයනීසස්, තාරකජිත්, තාරාරි, තේසන්, දෙව් සෙනෙවි, දේවසේන,
නම්කන්,  නිර්මල භාක්ස්ත්‍රිකාව, නේත්‍රසුත, නෛගමේය, බාල සුබ්‍රමණ්‍ය, මහාකාලසේන,   
මහාඝෝෂ, මහාසේන, මිහිපති, මුරුකන්, මුරුගන්, මුරුගන් කදිර්කාමන්, 
මුරුගා, ලෝහිත ගාත්‍ර, වන්නියා, විනයකසේන, වේලන්, වේලුපිල්ලේ, 
ශන්මුඛ, ශරජන්මන්, ශරවනභව, ශාවාණන, ෂ්ට්මාතෘ, ෂන්මාතෘ, 
ෂෂ්ටිමාතෘ, ෂාංමාතුර, ස්කන්ධ කුමාර, ස්කන්ධ ස්වාමි, ස්වච්චානන්ද, ස්වාමිනාථ, 
ස්වාමු, සනත් කුමාර, සරවනභවන්, සරවනභව, සරවනමුත්තු, සවදක්,  
සිංහ, සුභ, සුභ්‍රමණ්‍ය, සුභ්‍රහ්මාණ්‍ය සවත්, සේනාණි,සේනාධිපති.


ඩයනීසස් කියන්නෙත්, දියොනීසස් කියන්නෙත්, ස්කන්ධ කුමාර කියන්නෙත්...........
මං කලින් කිව්වනේ කතරගම දෙවියන් ලෝකය පුරාම වන්දනයට - බුහුමනට ලක්වෙන විත්තියක්. ඒකට එක හේතුවක් වෙන්න ඇති ලෝකය පුරා මිනිසුන් සංක්‍රමණය වී තිබීම. මිනිස්සු රටකින් රටකට ගියාය කියලා, ගති-සිරිත් ඇදහිලි-විශ්වාස එහෙම පිටින්ම වෙනස් වෙනවයැ.

විදග්ධ අය කියන විදියට නම් දේව සංකල්පයත් එහෙම ලෝකය පුරා පැතිරෙන්නක්. 

ඔය උඩින් තියෙන නම් ලැයිස්තුවේ 37 වෙනි එක ‘ඩයනීසස්’ ග්‍රීක දෙවියෙකු වෙන ‘දියෝනිසස්’ (Dionysus) ලු. ඒවා ඉතින් වැඩි දුරට හිතා බලන්න වටිනවා.

මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්. 
අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු මිනිසුන් මියගියාට පස්සේ වුණත් එයාලාව අමරණීය කරන්න අප කැමතියි. ඒකට හොඳම විදිහ එයාව දේවත්වයට ඔසවලා තැබීම. 

රුහුණේ හිටි තෙද බලැති මහාසේන හෙවත් මහාඝෝෂ මරණයෙන් පසු මේ විදිහට දේවත්වයට පත් කළාලු කියලත් ප්‍රවාදයක් තියෙනවා. එහෙම බලනකොට නම් කතරගම දෙවිඳු දේශීය දෙවියෙක්!
කතරගම කන්දස්වාමි වැඩ හිඳිනවාය කියා විශ්වාස කෙරෙන්නේ සියඹලාව දෙවොලේය.........
දේශජ වේවා, නොවේවා දැනටත් කඳ සුරිඳුන් වැඩ සිටිනවාය කියන්නේ නම්, සියඹලාව දේවාලයෙයි. එතැනත්, දැන් විපිරියාස වෙලා තියෙන තරම නිසා කතරගම දෙවි හාමුදුරුවොන්ටත් අවතැන් වෙන්න හිතිලා ඇති කියලයි මට හිතෙන්නේ.

ඉතින් පාද යාත්‍රාව කියන්නේ අදක-ඊයෙක පටන් ගත්තු දෙයක් නෙවෙයි. අවුරුදු සිය ගණනාවකටත් එහා ඉඳලයි මිනිස්සු කතරගමට පා ගමනින් ඇවිත් තියෙන්නේ.

“ළමයෝ, ඒ දවස්වල... උඹලගේ සීයා රත්නපුර ස්ටේෂන් එකේ  වැඩ කරද්දී, අපි කුරුවිට පාරෙන් සිරීපාදේ නැග්ගා. එතකොට සමහරු ගියේ ඉඩකඩම් සේරම දූදරුවන්ට ලියල දීලා. සිරිපාදේ කරුණාකරන්න හිමේ ගියාම ආයේ එන්න ලැබෙයිද කියලා කවුද දන්නේ? අලි කොටි වලස්සු ඉන්න හිමේනේ..... සුමන සමන් දෙවි හාමුදුරුවන්ට මතු බුදුවෙන්න පිං අයිති වෙන්නෝනි. උන්නාන්සේගේ පිහිටෙන් තමයි අපි ආපහු ආවේ.” 

අපේ ආච්චී සිරිපා ගමන් ගැන කීවේ එහෙමය.


සමන් දෙයි හාමුදුරුවන්ට පිං අත්වෙන්න අපි කුරුවිට පාරෙන්.... (foto-නදීෂ් දිල්ශාන් දිසානායක)
අපේ ආච්චිලා උතුරණ ශ්‍රද්ධා භක්තියෙන් යුතුව සිරිපා කරුණා කරද්දී, උතුරේ වැසියෝ එවැනිම ශ්‍රද්ධාවකින් සන්නද්ධව මහා වනාන්තර මැදින් කතරගමට ආවෝය. ඔවුන් අදත් එහෙමමය!

අපි? අභිමානවත් සිංහලයෝ? ‘මේ බුදුන්ගේ දේශයයි’ කියා අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියාගෙන, ඒවා three wheel පිටිපස්සේ ගහගෙන ඉන්නා ජාතියේ උදවිය... 

සිරීපාදේ යනකොට ගෙනියන මත්පැන් බෝතල අත්අඩංගුවට ගන්නටත් දැන් වෙනම පොලීසිකාරයෝ සිටිති!

දැනට තුන් වතාවකි, මා පාද යාත්‍රාවේ යෙදී තියෙන්නේ. 

ඒ ටිකට දැක්ක-දුටු-අත්විඳි දේ අනුව නම් (මාත් ඇතුළුවය, හොඳේ.) අපේ භක්තිය බක්කියකට දාන්නට වටිනා තරම්ය. 

මස්-මාංශයෙන් වැළකී; පේවී පාද යාත්‍රාවේ එන්නෝ මත්පැන් ගෙනෙන්නේ නැත. (මා දන්නා විදිහට නම් ‘රතු ගොනා’ can ඇතුළේ ආවත් මත්පැනකි. ඒක වැරැදියි නම්, මගේ ගොන්කමට සමාවෙන්න.) සමහර සිංහල බැතිමතුන් පා ගමනේ ගියේ ඒවායේ ‘ජවයත්’ ලබා ගනිමිනි.


ආසන්නව දවස් 45 ක් තිස්සේ එන මේ පාද යාත්‍රිකයන්ගේ අරමුණ 'දකුණේ කෛලාශ කූඨය'.................
නාගදීපය, සෙල්වච්චනිති, වල්ලිපුරම්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව කෝවිල්වලින් පිටත්වී සති හතක තිස්සේ; ආසන්නව දින 45ක් තිස්සේ පයින්ම කතරගමට එන දමිළ බැතිමතුන් නම් ‘මත්පැන්’ ගෙනා බවක් මා දැක්කේ නැත. එහෙමත් කෙනෙක් ‘කංසා’ උරනවා නම් දුටුවෙමි. කිහිප විටක්ම නහයටත් ඒවා දැනිණි!

ඒකට දොසක් කියන්නේ කොහොමද? 

හින්දු දේව කතන්දරවල කියන විදිහට නම්, කඳ කුමරුන්ගේ තාත්තා ඊශ්වරත් ගඩුගුඩාවේ දුම් උරන්නෙකි. ගඩුගුඩාවට දමන්නේ ‘ත්‍රෛලෝක විජයපත්‍රම්’ කොළය. ඒ කියන්නේ කංසාය. තාත්තා කළ දේ නොකරන පුතා නොට්ටිගෙ පුතෙකු වෙනවාය කියන හරුපය නොදන්නා නිසාද කොහෙද, ස්කන්ධ කුමාර ගඩුගුඩාව නොඋරයි.

ඊශ්වර දෙවිඳුන්ගේ පුත්‍ර රත්නය වන සරවනභවගේ මාතාව ලෙස සැලකෙන්නේ උමා දේවියයි!

සරවනභව උන්නාසේගේ උප්පත්ති කතන්දරත් මහා ගොඩකි. ඉස්-ඉස්සෙල්ලාම මං එහෙම එකක් දැනගත්තේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ‘සිංහල - 8’ පොතෙන්ද කොහෙදය.


කතරගම දෙවියන්ගේ මේ උත්පත්ති කතාව මං දැනගත්තේ.......
ඊශ්වර දෙවියන් ළඟ හිටියා භෂ්මාසුර කියලා අසුරයෙක්. බොහෝම භක්තියෙන්; ඔක්කොම ps කරගෙන හිටි භෂ්මාසුර ගැන ඊශ්වර හොඳටම පැහැදුණා. 


“පුතා, මං සුරයෙක් වුණත්, අසුර උඹගේ සර්විස් එක ගැන හොඳටම මනාපයි. උඹ හොඳ එකා. මොනවද උඹට ඕනේ? ලජ්ජා වෙන්නෙපා. උඹ ඉල්ලන ඕනෙම වරයක් දෙන්නයි මේ ලැහැස්ති වෙන්නේ.” දෙවියෝ කීහ.


“සමිඳුනි, ඔබ වහන්සේගේ මහා කරුණාවට නිගා නොවෙනු පිණිසය මා මේ වරය පතන්නේ. හුදෙක්ම මට අවැසි නිසා නොවේ! මගේ අත්ලට මතුරා, ඒ අත්ල යම් කෙනෙකුගේ හිස මත තැබූ පමණින් ඔහු හෝ ඇය හෝ දැවී-අළුවී යන තරමේ බලගතු මතුරක් මට දෙනු මැනවි.” 

භෂ්මාසුර අන්තිම විනීත තාලෙන්, සුවචව; කීකරුව උත්තර දුන්නා.

‘19 හොඳද, නරකයිද කියලා නොදැනයි මං කැමති වුණේ!’ කියලා අපේ ජනාධිපතිතුමාටත් කියන්න වුණු එක පුදුමයක් නෙවෙයිනේ. අච්චර බලගතු ඊශ්වරත් ‘පානි talks’ වලට රැවටුණේ. 

මොකුත්ම නොහිතා ඊශ්වරයා මහා බලගතු මන්තරය සේවකයාට කියලා දුන්නා. භෂ්මාසුර එවෙලෙම එයාගේ අතට මැතිරුවා.

අච්චර බලසම්පන්න ඊශ්වරයාත් භෂ්මාසුරයාගෙ පානියට රැවටුණු එකේ .....
“Please boss, මට දැන්මම මේ මන්තරයේ සත්ත බලන්න ඕනේ. චුට්ටක් ඉවසලා ඔළුව පහත් කරන්නකො, මේ අත ඔබතුමාගේ ඔළුව උඩින් තියලා බලන්න.”

ඒ ටික ඇහුණාම තමයි, ඊශ්වර දෙවියන්ටත් දෙවියෝ සිහිවුණේ. අළු ගොඩක් වෙන්නයි සිද්ධ වෙන්නේ පොඩ්ඩක් හරි පමා වුණෝතින්. 

‘පමා වෙවී හිඳිනට නැත වෙලා - කාලය ඉගිලී යයි; ඉගිලී යයි’ වික්ටර් රත්නායක කියූ බව එයාට මතක් වෙන්නැති. 

ඉතින් පටන් ගත්තේ නැතැයි, අපේ සුසන්තිකාටත් වැඩිය හයියෙන්  දුවන්න. අම්මට සිරි! භෂ්මාසුරත් මතුරපු අත උරුක් කරගෙන ඊශ්වර දෙවියන්ගේ පස්සෙන් පන්නන්න ගත්තා.

ඔන්න දැන් දෙන්නා කෛලාශ කූඨය වටේ මැරතන් එකක්! 

එක්කෙනෙක් දුවන්නේ පණ බේරාගන්න, මර බයේ. අනෙකා මරන්න බලාගෙනයි දුවන්නේ. පරාණ බයෙන් දුවන කෙනාට වේගය වැඩියිනේ, ඒත් හති වැටෙද්දී..... එන්න-එන්නම දෙන්නා අතරේ gap එක අඩු වෙන්න පටන් ගත්තා.
අපරාදේ කියන්න බැහැ, අංග-පුලාව තියෙන; කාන්ති කඩා හැලෙන; sexy කෑල්ලක් ...
(ඊ.එන්.එම්.කේ. සොයිසාගේ සිතුවමකිනි)

හිටි ගමන් ඊශ්වරට පේනවා ඉස්සරහින් ලස්සන ඔන්චිල්ලාවක්. ඊට හපන් ඔන්චිලි පදින කෑල්ල! අපරාදේ කියන්න බැහැ. හොඳ අංග-පුලාව තියෙන; කාන්ති කඩා හැළෙන; sexy... කියන්න වදන් නෑ.  


එත් හත් දෙයියනේ.... මර බයෙන් ආතුර වෙලා ඉන්න අව්අස්සේ මොන නැවතිල්ලක්ද? නැවතුණොතින් ඒකාන්ත මරණය තමා. ඉතින්, උන්නැහේ nonstop දිව්වා.

ඊශ්වර බොස්ව Follow කරගෙන එන භෂ්මාසුරත් දැක්කා ඔන්චිල්ලාවේ ඉන්නා රූබර අංගනාව. “කවුද ඔබ කවුරුන්දෝ?” කියාගෙන නැවතුණා. මොන ගොනාද තට්ට තනියම වනන්තර ඉසව්වක ඉන්නා ලස්සනම-ලස්සන ළමිස්සියක්ව දැක-දැකත් පිට පාරෙන් යන්නේ?

“මෙන්න බොලේ, එයා ඇහැක් ගහනවා.... ෂා... flying kiss එකකුත් එව්වා.” දැන් භෂ්මාසුර ඉන්නේ දිවිය ලෝකෙටත් හැතපුම් ගණනාවක් උඩින්.

පොරත් හිටි ගමන් ප්‍රේමයෙන් වෙළීගෙන-වෙළීගෙන යනවා. ගිහින්.........
“අපේ නිමල් අයියත් එහෙම තමයි, හිටි ගමන් ප්‍රේමයෙන් වෙළීගෙන-වෙළීගෙන යනවා..... ඊට පස්සේ...” මේ හරිය කියවද්දී දොස්තර අයස්මන්ත මහත්තයා කියනු ඒකාන්තය. පාද යාත්‍රා ගමනේදීත් කිහිප වතාවක්ම එයා එහෙම කිව්වා! නෙවිලුයි, මර්විනුයි දෙන්නම හූමිටිත් තිබ්බා. ඔව්වා සේරම කලබලයෙන්-කෙටියෙන් කියනවාට ඔයාලා කැමැති නැහැ නේද?

ඒ නිසාමයි වැල්-වටාරම් සේරෝම ලියන්න, ඊළඟ කොටසට යන්නේ!

8 comments:

  1. මගුල . එකක් ලියලා ඉවර කොරනවාකෝ

    ReplyDelete
    Replies
    1. එකට දෙකක්ම ඉවර කරන්නයි යන්නේ, උදාර.
      තරහ ගන්න එපා. ඔයාලා වගේ රසිකයන් දිගටම රඳවාගන්නත්, විවිධත්වය රැකගන්නත් උපායක් තමයි මේ, කැටගරි කිහිපයකින් ලියන එක.

      Delete
  2. ගිය අවුරුද්දේ බඹරගස්තලාවෙ ඉඳන් ලේනම එලියටත් ආපසු කිරිපොකුණගල්ගේ හරහා බඹරගස්තලාවටත් පයින් යන්න ලැබුනා විශේෂ අවසරයකින්, පාද යාත්‍රා කාලයට පස්සෙ.
    බාගුර, කුමන පැතිවල නම් වාහනෙන් යන්න පුලුවන්නෙ. (පාදයාත්‍රාවලින් පස්සෙ වැහි තුන හතරකටත් පස්සෙ ගිය නිසා පාදයාත්‍රා ඩිපොසිට් හා සුවඳ ඉතුරු වෙලා තිබුනෙ නෑ )
    ඒක නෙමෙයි කැලේ මැද්දෙ තියනව හකුරු සියඹලාව කියල තැනක් , ඒ ගස්වල සියඹලා පැණි රසයිලු. තායි සියඹලාවගේ වෙන්න ඇති. නිමල් දන්න විදිහට ලංකාවේ ඒ ජාතියෙ සියඹලා වැවෙනවද?
    ස්කන්ධ කියන්නෙ ඇලෙක්සැන්ඩර් නමෙන් ආපු එකක් කියලත් මතයක් තියනවා.
    "ඇලෙක්සැන්ඩර්" නමෙන් විකාශනය වුන නම් ආසියාවෙ තියනවා. https://www.behindthename.com/name/alexander/related

    පාකිස්ථානෙ සිකන්දර්ලා, ඉස්කන්දර්ලා ඉන්න්නවා. සිකන්දර් බාට් කියලා ක්‍රිකටර් කෙනෙකුත් හිටියා.
    https://en.wikipedia.org/wiki/Sikander_Bakht_(cricketer)

    Sikandar Raza in Zimbabwe (From Pakistan)https://en.wikipedia.org/wiki/Sikandar_Raza

    ReplyDelete
    Replies
    1. ඔන්න Pra Jay දැන්මම ලෙඩක් දැම්මා.
      හකුරු සියඹලාව ගැන හොයන්න ගන්නවා. ඇහුවේ අයි! ඔත්තුවට ස්තුතියි.
      ස්කන්ධ ඇලෙක්සැන්ඩර් සම්බන්ෂතාව මාත් කියවලා තියෙනවා. ඒත් නොලිව්වේ කියවපු තැන හොයාගන්න බැරි වුණු නිසා. හරියටම තහවුරු කාරණා විතරයිනෙ රසිකයන්ට දෙන්න ඕනේ.
      ඔයා දීලා තියෙන ලින්ක්ස්වලටත් ගිහින් බැලුවා. ස්තුතියි!

      Delete
    2. සියඹලා ගස්නම් තියනවා එතන. අපි ගිය කාලෙ කරල් තිබුනෙ නෑ. එක ඔය (ආර )කට (නම මතක නෑ)ෆීඩ් කරන දිය පාරක් හා පොකුණකුත් තියනවා.

      ඔය චොකලට් සියඹලා කියල පාර අයිනෙ විකුණන සුනිල් ට්‍රේඩර්ස් ආනයනය කරන සියඹලා ජාතියෙ ගස් ලංකාවෙ කොහෙවත් තියනවද කියල හෙව්වෙ. එහෙම තියනවනම් හකුරු සියඹලා කියන්නෙ ඒක වෙන්න ඇති.

      http://www.thailandbreeze.com/sweet-and-sour-tamarind.html

      Delete
  3. හින්දුන් පාදයාත්‍රාව කරන්නේ කතරගම දෙවියන්ට කරපු අපහාසයකට සමාව ඉල්ලන කියලා මතයක් අහ තියේද නිදි
    රතු ගොනා බොන්න හොඳ නැත්තං කෝපි බොන්නත් හොඳ නැහැ.
    //හිටි ගමන් ප්‍රේමයෙන් වෙළීගෙන
    දෂ්ටේ නං කමක් නැහැ ගිලින්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. මෙතෙක් නම් මට හමුවී තියෙන්නේ හින්දූන් කතරගම දෙවිඳුන් වතුරෙන් එගොඩ නොකොට ලුණු කඩන්නට ගිය පුවත පමණයි, නොසලකා හැරීමක් විදිහට.

      සිරිබිරිස් උන්නැහේට එහෙම අපහාස කතන්දරයක් තිබුණේ කොහෙද කියලා මතකයි නම් කියන්නකෝ. තරහ නැතිව.

      රතු ගොනා ගැන මං දන්නේ අඩුවෙන්, මගේ ඔව්වා පාවිච්චියක් නැති නිසා. කෝපිවල තියෙන්නේ කැෆේන් නේද? ඇල්කොහොල් නැහැනේ.

      ඉන්නකෝ, ඔය ප්‍රේමයෙන් වේලීම ගැන ඉදිරි හරෝහරාවලදී කියනවා.

      මුල් කාලයේ ඉඳලාම මෙහෙට ඇවිත්, කමෙන්ට්ස් දාලා මාව දිරිමත් කරපු ඔයා වගේ කෙනෙක් තවමත් පංච තන්තරේට පැමිණීම ලොකු සතුටක්, දිරියක්! ස්තුතියි ඒ වෙනුවෙනුත්!

      Delete
  4. ලා මතකයක් තීන්නේ නිදී රෙෆෙරන්ස් නං නැහැ.ආපු රන් ඔරුව බෙදාගන්න මිනිස්සු මරා ගන්න ගත්තු නිසා හින්ද ඒක ගලක් කරලා ආඩිගුරෙක් වගේ පයින්ම එනකොට මිනිස්සුන්ගෙන් වෙච්චි කෙනෙහිලිකම් හින්දා බොලට මගේ පිහිට ඕනිනං පයින්ම වරෙල්ලා වගේ මතයක්.
    //ඇල්කොහොල් නැහැනේ
    රතු ගොනාත් එසේමැයි

    ReplyDelete