අකුරු මැකී නෑ

Tuesday, July 16, 2019

හරෝහරා! - දෙවෙනි කොටස

ඊශ්වර දෙවිඳුන්ගේ වාසනාවට ඒ කාලේ මොබයිල් ෆෝන් තිබුණේ නැත...........
දැන් භෂ්මාසුර ඉන්නේ දිවිය ලෝකෙටත් හැතපුම් ගණනාවක් උඩින්.

ඊශ්වර දෙවියන්ගේ වාසනාවට ඒ කාලේ මොබයිල් ෆෝන් තිබුණේ නැත්තේ. නැතිනම් හෙම භෂ්මාසුර කරන්නේ අර පැහැබර ළමිස්සියගේ නොම්මරය ඉල්ලාගෙන පස්සේ කතා කරන බව කීමය; කියලා ආයෙම මහ දෙයියන් පස්සේ වැටෙන එකය. 

එහෙම වුණා නම් හෙම ඊශ්වර දෙයියන් කම්මුතුය!

අසුරයා ‘Mission of Chasing’ පැත්තකින් තියලා ‘මිෂන් ඕෆ් ලව්’ පටන් ගත්තා. වෙන මොනවා උපකල්පනය කළත් ඔන්න ඕක තමයි හිතාගන්න බැරි. 

සාලිය-අශෝකමාලා, රෝමියෝ-ජුලියට්, ලයිලා-මජ්නු ව්දිහට නෙවෙයිනේ දේදුනු-කැලුම් ප්‍රේම කළේ. දැන් ඉන්න කපල්ස් වුණත් එහෙමයි... සහමුලින්ම වෙනස්. අමාරුවෙන් විස්තර හිතන්නේ මොකටද? Short & sweet කියනවා ඔන්න. 

භෂ්මාසුරත් පැණි හළන්න ගත්තා ඕසෙට.

“ඩාලිං, I love you! මං ඔයාට ඕනෙම සැපක් දෙන්නන්. ප්ලීස්, මැරි මී.”

මං ඔයාට ඕනෙම සැපක් දෙන්නං!
එතකොටයි රන් කිංකිණි හෙල්ලෙන හඬින් ‘අරයා’ කට ඇරියේ! කටහඬ ඇහුණාමත් බඩ පිරෙනවා, ආයෙම බඩගිනි වෙනකල්.

“ඔබ පවසන්නේ සැබෑවක්මද කුමරුනි. ඔබගේ වදන්වලින් මසිත පොබයයි. මමද ඔබට රිසියෙමි. එහෙත් කෙසේද පුරුෂයන් බස් අදහන්නේ? සමහර විටෙක ඔවුහු කතුන් අසරණ කර හැරදමා පියති!”

“පිස්සුද වස්තුවේ? ඔයා වගේ රත්තරන් කඳක් අතහරින්න මේ මං. නෑ නෑ, කීයටවත් ඒක නං මගේ පණ තියෙනකල් කෙරෙන්නෙ නෑ.”

දෙන්නාගේ පෙම්බස් හුවමාරුව කොච්චර නැඟලා ගියාද කිව්වොත් අසුරයාට උන්හිටි තැන් අමතක වුණා. රුවැත්තිය මෙහෙම දෙඩුවාම. “කුමරුනි, මම ඔබව විවාහ පිළිණ දෙන්නෙමි, එහෙත් ඊට ප්‍රථමයෙන්, කෙදිනකවත් ඔබ මා හැරදමා තනි නොකරන බවට ඔබේ හිස මත අත තබා දිවුරා පොරොන්දු විය යුතුය.”
ඔබ මා හැරදමා නොයන බවට හිස අත තබා..................
Result එක කියන්න ඕනෙත් නැහැනේ. එතැන ඉතිරි වුණේ භෂ්මාසුරගේ අළු ගොඩ විතරයි.

පණ එපාය කියලා, සෑහෙන දුරක් දුවගෙන ගිය ඊශ්වර දෙවියන්ට දැන් හොඳටම හති. speed එක ටිකාක් අඩුකරලා, යාන්තමට බෙල්ල හරවලා බැලුවා ‘මාරයා’ ළඟ එනවද කියලා. ම්හු! පෙනෙන තෙක් මානෙකවත් නැහැ. 

“ඕනෙ මඟුලක්” කියාගෙන වාඩි වුණා.

අපි පාද යාත්‍රාවේ යද්දිත් කී වතාවක් නං හති අරින්න වාඩි වුණාද? 

සිද්ධවෙන සංගදිය දන්නා හින්දා මං මේ සැරේ සැහැල්ලු පෝටබල් පුටුවක් අරගෙනයි ගියේ. නැතිනම් ඉඳගෙන ඉන්න මාව නැඟිට්ටවන්න තව කෙනෙක් උදව් වෙන්නම ඕනේ!

හොඳට ෆිට් අය යන මෙහෙම ගමනකට මං වගේ ලෙඩෙක් ගියාම හෙණ ලෙඩක් තමයි!
දන්නවද? මෙහෙම, කොල්ලන් යන ගමන් ගියාට මට නම් ඒක අන්තිම අනතුරුදායකයි. අසනීපෙ එහෙන්.  ලේ කැටි නොගැසීම මෙහෙන්.

ඇටකටු දිරා ගිහින් තිබීම  තව පැත්තකින්. දොස්තර මහත්තයෙකුත් එක්කම යන නිසා හොඳයි!

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ වගේ තමා. මගේ ගමන් සගයන්ගේ මෝඩ-හොඳකම තමා. ඔය ගමන යද්දී මං මළත් කරදරේ එයාලටනේ! ඒ ගැනවත් නොහිතා මාවත් සම්මාදම් කරගෙන ඔහොම යන්නේ මෝඩකමයි, හොඳකමයි දෙකම හින්දා නෙවෙයිද, ඇත්තටම?

මට කරන්න පුළුවන් වුණේ සූදානම් ශරීරෙ කියලා, ‘ඔටුවෙක් දෙන්නෙක්’ හොයාගන්න එක විතරයි. චොයිසස් හතරක් තිබුණා. අපේ අනිල් මල්ලිගේ පුතා අකලංක. නිල්ගල අසංක. කොට්ටාවේ නලින් මධුශංක. සුනිල් මල්ලිගේ පුතා ජයශංඛ. 

අකලංකටයි, අසංකටයි නිවාඩු ගන්න බැරිවුණා. නලින්ගේ ‘පෙර වැරැදි’ නිසා අම්මලා කැමති වුණේ නැහැලු කොල්ලව ගෙදරින් එවන්න. දවස් පහ-හයක්නේ.


චොයිසස් හතරයි! නලින් මධුශංඛ, අසංක ප්‍රියදර්ශන, අකලංක හා ජයශංඛ දිසානායකලා............
ලොකුම ප්‍රශ්නය වුණේ ජුනි 25 වෙනිදා වෙනතුරුවත් අපට අවසන් තීරණය ගන්න බැරිව හිටි එක. ඔහොම අංජ-බජල් අස්සේ ‘පින’ තිබුණේ ජයශංඛට විතරයි!

“හැබැයි චූටි පුතේ, තමුසෙව එක්ක යන්නේ ඔටුවගේ වැඩේට. ඩොක්ටර් පීරිස්ටයි, මර්වින්- නෙවිල් මාමලා දෙන්නටයි මගේ බරත් උස්සගෙන යන්න බැහැනේ. මගේ බරෙන් ටිකකටවත් තමුසෙට කරගහන්න වෙනවා.” 

මම කලින්ම දැනුම් දුන්නෙමි. මහරගමින් පිටත් වුණු වෙලාවේ ඉඳලාම අපේ ජයාගේ වැඩේ ප්‍රශ්න අහන එකය.

“එතකොට මහප්පේ, කතරගම දෙයියොයි, ගණ දෙයියොයි දෙන්නා සහෝදරයෝ නේද?”, “එයාලගෙ තාත්තා ඊශ්වරද?”

හැබැයි තමුසෙව එක්කන් යන්නේ ඔටුවට..............
කොල්ලාත් internet එක යහමින් පරිශීලනය කරන්නෙකි. ලෝකේ තියෙන සේරම apps මටත් දාලා දෙන්නට හදයි. 

“අනේ දරුවෝ, මට මේ තියෙන මඟුල් ටික හොඳටම ඇති.” කිව්වත් මිනිහා ආයෙමත් අහයි. තමන් කියන-කරන දේවල් තමන්ටම මතක නැතිවෙන ලෙඩක් ඒ කොල්ලාට තිබෙයි. ඒ මදිවාට ප්‍රශ්න ඇහීමේ කලාව දන්නෙත් නැත. 

විස්තරාත්මක පිළිතුරක් අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් අහනවා නම් අසන්නට ඕනේ තමන් දන්නා බව නොහැඟෙන විදිහටය!

අර ප්‍රශ්න දෙකෙන්ම මට තේරුණේ මිනිහා ගමනට කලින් යමක්-කමක් study කරලා තියෙන බවයි!

ඒ නිසා මේ කයි-කතන්දර, තොරතුරු එකක්වත් මං මිනිහාට එහෙදී කිව්වේ නැත. දැන් කියන්නෙමි. ඒ රසික පාඨකයන්ටත් එක්කය. ඉතින්, මෙන්න කතාවේ ඉතිරි හරිය. 
‘ජයෝ, බාගුරේ කලපුව ළඟදී වතුර උණු කරද්දී සද්දේ වහලා- වැඩේ විතරක් කළ විදියට අහගෙන ඉන්නවා!’  

බාගුරේ කලපුව ළඟදී කළා වගේ...............
ඉතින් ඊශ්වර දෙවියන් වහන්සේ වාඩිවෙලා, ඉසිඹුවක් අරගන්න හැදුවට මොකෝ, සිහියට එන්නෙම ඔන්චිල්ලාවේ හිටි ලලනාව. ‘ඕනේ රෙද්දක්. මැරුණොත් මැරෙන්නෙ එක සැරයයි’ කියලා එතුමාටත් හිතෙන්න ඇති. හීන් සීරුවේ ගාටන්න ගත්තා ආපහු.

තවමත් කෙල්ල උඩ යනවා බොලේ. 

ඒ පැත්තට, මේ පැත්තට! උඩ යද්දී හුළං පාරට එයා ඇඳගෙන ඉන්න සළු පොටවලුත් අහසට යනවා. වැහිලා තිබුණු දේවල් ඇරිලා පෙනෙනකොට, ඊශ්වර අකනිටා බ්‍රහ්ම ලෝකෙටත් වැඩිය උඩට ගියා.... 

අම්මපා. ඉටිකිරිස් වගේ කෑල්ල! දිවියාංගනාවන් මොක්කුද කියලා මනුස්සයට- සොරි, දෙයියන්ට හිතුණා!

“සොඳුර, මඳකට නවතිනු මැනවි!”

කීකෝරු වෙන්නම සූදානමින් හිටියා වගේ, හීන් සීරුවේ පැද්දිල්ල නතර වුණා. “හුදෙකලාවම කලාව කරගත් රුචිරාණනියෙනි. ඔබ දැකුමෙන් මා නෙත් ලැබුවේ - ඇති ඉහළම සතුටයි මෙලොවේ!”

ඔබ දැක්මෙන් මා නෙත ලැබුවේ - ඇති ඉහළම සතුටයි මෙලොවේ!
ඔන්න කොමළ හිනාවක්. මල්-මල් හිනාවක්. ඒ එක්කම කඩු පහරක්! 
“දැක්කා, දැක්කා. සතුට ලැබෙනවා තව ඩිංගෙන් - පස්සෙන් එළවාගෙන ආව අසුරයාට කිට්ටු කරගන්න හැකි වුණා නම්!”

ඇත්තටම ඇයි මේ අපේ ලොකුලොක්කන්ට විලිලජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැත්තේ? උන්දැලා අද කියනදේ නෙවෙයි හෙට කියන්නේ. ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි කරන්න ගියාම කරන්නේ. කොච්චර අතේ caught වුණත් ගණනකුත් නැහැ, තව කාරණා තියෙනවා නිදහසට කියන්නත්.

ඊශ්වරට එහෙම නැහැ. ලජ්ජාව තිබුණා. 

“ඔව් සොඳුර. මගේ වාහනය වන මහීෂයාට තිබෙන තරම්වත් නුවණක් මට නොතිබුණු හැටි....” එහෙම පටන් ගෙන සේරම විස්තර අර ළමිස්සිය ඉස්සරහ වැමෑරුවා. 

ස්ත්‍රී පරාණෙක ඇලුම-බැලුම ලබන්න ඕක හොඳ ගුරුකමක්; උප්පරවැට්ටියක්. උන්දැලා කවුරු වුණත් හරි ආසයි, පිරිමි තමන්ගේ ගොන්කම් එයාලා ඉදිරියේ හෙළිදරව් කරනවට.

ඊශ්වර දෙවියන්ගේ වාහනය වෙන මහීෂයාට තිබුණු තරම්වත් මොළයක්.............
“කමක් නැහැ, පේනව නේද. ඔයාව බේරාගන්න ඕනෙවටම මං එයාට දැලක් එලුවා. 
මාව සදහටම රකිනවාය කියලා ඔළුවට අත තියලා දිවුරන්න ගිහින් එයාම අළු ගොඩක් වුණා. දැන් සතුටුයිනේ.... ඔයාගේ අනතුර දුරුවුණානෙ.”

“එහෙත් සොඳුර, දැන් ඊටත් වඩා අනතුරක් මට දැනෙයි. ඔබ මගේ සිරුරේ හැම අංශු-මාත්‍රයක්ම දවා හළු කරමින් හිඳියි. 
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ? 
ඔබ නොලැබෙයි නම් මට මගේ දිවිත් අවැසි නොවේ!”

“හා, හා. එසේ නොතැවෙනු මැනවි. මෙහෙසුරු වන ඔබේ පාදපරිචාරිකාව වීමට මමද කැමැත්තෙමි. නමුදු එකක් ඇත. ඒ සඳහා ඔබේ බිරිය වන උමා දේවියගේ අවසරය ලැබිය යුතුය. යන්න, නොපමාව ගොසින් ඇයට සියලුදේ පවසා, අවසර ගෙන මා කැන්දන් යන්නට නැවත එනු මැනවි.”

එතකොට අර ළමිස්සි අම්මෙක් වෙලා කියමුකො...........
ගියා නෙවෙයි, ඊශ්වර විදිල්ල වගේ දිව්වා. උමාවට සේරම කියලා ‘වරම්’ අරන් ආපහු ආවා.

එනකොට අර ළමිස්සි අම්මෙක් වෙලා; එවෙලෙම උපන් සීදේවි කිරිකැටියෙකුත් තුරුළු කරගෙන බලා ඉන්නවා. 

ඊශ්වරටත් පත්තරේ මංගල යෝජනා තීරු කියවලා පුරුදු ඇති. වරදට සමාව දෙන්න කැමැතිය කියලා උමාව කැන්දන් යන්න ලැහැස්ති වුණා.

“නැත, මම ඊට අකැමැත්තෙමි. ඔබ උමාවගෙන් අවසර ලබාගෙන ආවේ, ළඳක් මිස එක්දරු මවක් කැන්දාගෙන ඒමට නොවේ. ඉදින් ඇය එක්දරු මවක් ....” ඉතිරි හරිය ඇහෙන්නත් කලින් දෙයියා පරණ ගේට්ටුව ළඟ. 
ඒකට අවසර අරන් එද්දී දරුවා, දෙන්නෙක් වෙලා.... ආයෙම ගෙදරට...
ඒ එනකොට තුන්දෙනෙක්.... 
ඔය වැඩේ රිපීට් වෙවී දරුවා හත් දෙනෙක් වුණාම උමාව නැඟිට්ටා.

“හිමියනි, මේ පුදුමය දකින්නට මමද ඔබ හා එන්නෙමි!” දෙන්නා එක්කම එනකොට එතැන හිටි අංගනාවක් නැහැ, විෂ්ණුන්නාන්සේ ඉන්නවා දරුවන් හත් දෙනෙකුත් එක්ක.

මෙන්න වදේ, එහෙම එද්දී එතැන ඉන්නේ විෂ්ණුන්නාන්සේ .... තනියමත් නෙවෙයි, ළමයි හත් දෙනෙකුත් එක්කම!
“සබඳ ඊශ්වරයෙනි. අසුරයාගෙන් ඔබ මුදවා ගැනීම සඳහා ලියක වෙස් ගෙන ඕවිල්ලක පැද්දුණෙමි. මා කරන්නට ආ කාරිය සමාප්තය. දැන් මේ දරුවන් සත්දෙනා ඔබටම බාරය.” එහෙම කියලා විෂ්ණු දෙවියෝ දරුවන් මහ දෙවි යුවලට බාර දුන්නා.

“මෙච්චර කුමාර කන්දක් එකවර රැකබලාගන්නෙ කොහොමද. ‘මොවුන් සැම එකම දරුවෙක් වේවා’” කියලා උමාව දරු කුමරුවන් හත්දෙනාවම එක පොකුරට බදාගෙන ප්‍රාර්ථනා කළා.

හැබැයි එයා දන්නෙම නැතිව අත් දෙකෙන් තුරුල් කරගෙන හිටියේ දරුවන් හය දෙනයිලු! ඒ හය දෙනා එක දරුවෙක් වුණා. ඒ තමා කඳ කුමරු. 

එතකොට අනෙක් කෙනා තමයි ස්කන්ධ දේවයාණන්ගේ බාල සොහොයුරා ‘ගණේෂ’. (ගණ දෙවියන් වැඩිමලා ලෙසත් සමහරු සලකති!)

2013 මුල්ම වතාවට පාද යාත්‍රාවේ යද්දී අප එය ඇරඹුවේ............ 
2013 දී අපේ මුල් වතාවේ පාද යාත්‍රාවට සහභාගී වුණේත් හය දෙනෙකි. ඒ හයදෙනාට අපේ නෙවිල් අනුරසිරි උන්නැහෙව එකතු කරගත්තේ සම්පූර්ණ මගඩියකිනි.

“නිමල් අයියේ, නෙවිලුත් ආවේ නැති නං අපේ ගමන පරිප්පු නැති හෝටලේ වගේ වෙයි. යුෂ්මතාට වලි දාගන්නත් එක්කෙනෙක් ඕනෙමනේ.... ඔන්න තමුසේ හොට නොදා ඉන්නවා. හොඳද... මම ගානට වැඩේ ෂේප් කරගන්න හැටි  බලනවකො.” 

ඉස්සෙල්ලාම දොස්තර අයස්මන්ත මහත්තයා මට ‘මුඛ බන්ධනය’ක් කරලාය ‘මිෂන්’එක පටන් ගත්තේ.

“මචං මේක එච්චර සීරියස් ගන්න එපා. අපිත් මේ ටිකේ කිලෝ මීටර් හත-අටක් ගානේ ඇවිදලා ප්‍රැක්ටිස් වෙනවනේ. මං කියනවට වරෙන්, එක දවසක් ඇවිදලා බලහං අමාරුයිද කියලා.”

පීරිස් තෙල බෙදුවේය. නෙවිලුත් ආවේය. නව රෝහල ළඟ ඉඳලා පැය දෙකක් විතර ඇවිද්දේය.

ඊළඟට පීරිස් ඒ කිට්ටුවම තිබුණු Coolspot එකකට අපව කැන්දාගෙන ගියේය. එයාගේ ගණනෙම ‘ස්මූති’ත් අරන් දුන්නේය. අන්න ඒවා බොන අතරේය, නෙවිල්ගේ ‘බොක්කටම බිලී කටුව’ බැස්සුවේ.

ස්මූති එකකුත් බොන්නට දීලාය නෙවිල්ගේ බොක්කටම බිලීකටුව බැස්සුවේ..........
“විශ්වාස කරපං මචං, උඹ අපි සේරටම වඩා fit. කිසි අවුලක් වෙන්නෑ. උඹට යතෑකි.” නෙවිලුත් ‘යමු’යි කිව්වේය. 

ගමන යන අය සති හතරක් විතරවත් මස්-මාළු-පිලිහුඩුවලින් වැලකී, පේ වෙන්නට ඕනෑ බව කිව්වේ ඊට පස්සෙය. (පුළුටු නැතිවුණාම නෙවිල්ට බත් බැහෙන්නේ අමාරුවෙන්ය.)

“තොපිලගේ *&%#$%&*+ යකෝ, මෙච්චර කල් මුන් දෙන්නා දෙන ලණු ගිලලත් මට තවම බැරි වුණානෙ පාඩමක් ඉගෙනගන්න. අනේ දෙයියනේ, ලබන ආත්මෙකට නං මේ කරුමේ ගෙනියන්න දෙන්න එපා. මේ ආත්මෙදීම ගෙවන්නම්. ඒ ඇති හොඳටෝම!” යි පසුතැවිලි හඬින් කිව්වා මිස නෙවිල් ගමනට නෑවිත් හිටියේ නැත.

එහෙම සූදානමක් ඇතත්-නැතත් පාද යාත්‍රාවේ යන කවුරුනුත්, ඔකඳ දේවාලයට යා යුත්තේ පානමෙන් දකුණට හැරී යන්නට ඇති පාර ඔස්සේය. ඒ පාරට හැරෙනවාත් එක්කම දකුණෙන් තියෙන්නේ ‘පානම ශ්‍රී ගණදෙවි දේවාලය’යි.

පානමෙන් ඔකඳ දේවාලයට; කුමන වනෝද්‍යානයට යන්නට ඇති එකම පාරට හැරෙද්දීම තියෙන්නේ
ශ්‍රී ගණදෙවි දේවාලයයි.........
ශ්‍රී ලාංකිකයන් ගණ දෙවියනුත් අපේම කරගෙන ඇත්තේ අදක-ඊයෙක නොවේ. ඉපැරැණි ‘ගණදෙවි හෑල්ල’ කියවන කෙනෙකුට මේ කවිය හමු වෙනවාමය.

          ගණ දෙවියන් නුවණ දෙන්ට
          සරස්වතී පහළ          වෙන්ට
          සියලු රෝග දුරු       කරන්ට
          නිතර වඳිමි        තුනුරුවන්ට

පානම ගණ දෙවි කෝවිලේ ඉස්සරහින්ම තියෙන්නේ ආඬියා ළිඳය. 

හතරදිග් භාගයෙන්ම එන බැතිමතුන්ට පැන් පහසුව සැලසුවේ ඒ ළිඳය. පාද යාත්‍රාව අවම වශයෙන් දින 45ක එකකි.  

නාගදීපය, සෙල්වච්චනිති, වල්ලිපුරම්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව කෝවිල්වලින් කාණ්ඩ වශයෙන් පිටත්වී එන ඔවුහු මඟ දිගේ නවාතැන් ගනිති; උයා-පිහා ගනිති! 
උපන් හැටිද- එහෙමත් නැතිනම් අව්ව; වැස්ස; දුහුවිල්ල හින්දාද මන්දා..... එහෙම එන හැම දෙනාම වාගේ කළුය.


යාපනයේ, මඩකලපුවේ ඉඳලාත් පා ගමනින්ම එන බැතිමතුන් ...............
පා ගමනින් එන බැතිමතුන් පානම කෝවිලේදී නැවතී, ආඬි ළිඳෙන් දිය නා- පිරිසිදු වෙනවාමය. දුහුවිල්ලෙන් නැහැවී දුඹුරු පාටවී ඉන්නා අය එතකොට නම්, ආපහු කළු පාට වෙති! අනේ, එහෙම වෙන්නේ කොච්චර ටික කාලයකටද? 

පානම ඉඳලා ඔකඳට කිලෝ මීටර් විස්සකි.

පාද යාත්‍රා කාලය වෙද්දී ඒ පැත්ත-පලාතම අව්වෙන් පිච්චෙයි; කරුකුට්ටන් වෙයි. සැරෙන්-සැරේ හමාගෙන එන හුළඟටත් කේන්ති ගිහින් වගේය. 
තැන-තැන තියෙන රොඩු-බොඩුත්, දූවිල්ලත් මදි නොකියන්නම හතර අතේ විසුරුවයි! ගොඩාරියක්ම අමාරු හරිය අර කිලෝ මීටර් විස්ස කියලාය, මට හිතෙන්නේ.

ඒ නිසාමදෝ හැම නඩයක්ම පාහේ පානමදී රැයක් ගත කිරීම සිරිතකි. 

සංවර්ධනයත් එක්කම විරිත් විතරක් නොවේ, සිරිතුත් ඈත්වී යයි. ‘විරිත්’ කියන්නේ නම් අත්හළ යුතු දේවල්ය. ‘සිරිත්’ අත් නොහළ යුතු දේවල්ය; අනුගමනය කළ යුතු දේවල්ය.

මෙච්චර පණ්ඩිතකම් ඇද බාන අපිත් එතනදී නම්  ‘කටින් බතල හිටවන්නෝ’ වීමු.


ගණ දෙවියනුත්, අයියනායක දෙවියනුත්, පුල්ලෙයාර දෙවියනුත් එක්කෙනෙක්මද?
පළමුවෙනි වතාවේ, 2013 ගමනේදී අප ඉස්සෙල්ලාම ගියේ ‘පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය’ටය. මල්-පහන්-සුවඳ දුම් පුදා, පන්සිල් සමාදන් වෙලාය අප කෝවිලට ගියේ. දෙවෙනි වතාවෙත් එහෙමය. 

මේ සැරේ ඒ දෙපොළටම නොයාය, අප ඔකඳටම ගියේ. අප විතරක් නොවේ; වාහනවලින් ඔකඳ දක්වා ගිය වැඩි දෙනෙක්. ඔන්න අපේ බැතියේ තරම!

හැබැයි, ඒකෙන් එක හොඳකුත් සිදු විණි.

ගණ දෙවි කෝවිලේදී, සමහරුන් සිහි කරන්නේ ගණ දෙවියන්ය; තවත් අය පුල්ලෙයාර් දෙවිඳුන්ය; අයියනායක දෙවියන් සිහි කරන අයත් සිටිති. ඒ තිදෙනාම එක දෙවියෙකු විදිහටත් අදහනු ලැබෙයි. 

ඒ නිසාම ඉස්සර නම් මේ කෝවිලේදී ගහකින් අතු කෑල්ලක් කඩා එල්ලන චාරිත්‍රය අකුරටම ඉටුවිණි.

අවුරුද්දකට වතාවක් වුණත්, පාද යාත්‍රාවේ යන දාස්  ගණනක් දෙනා ....(foto- සචිත් සමුදිත)
අවුරුද්දකට වතාවක් දහස් ගණනක් දෙනා ‘අතු සංහාරයක්’ කිරීම පරිසර හිතකාමී දෙයක්ද? කට පියාගෙන ඉන්නට බැරිකමට ඇහුවාට මේ ගැත්තාට සමාවෙන්න ඕනේ. එහෙ තියෙන ගහ-කොළ කන්දරාව බැලුවාම ඔච්චර අතු කැඩිල්ල වුණත් ‘මෝය කටෙන් පොල් ලෙල්ලක් යැවීම’කි.

හරෝහරා මාතෘකාවෙන් කියනවා නම් කියන්නට දේවල් කන්දරාවක් තිබෙයි. 

ඒත් අපේ ගමනේ කතාව රසවත් කරගන්නට ඕනෑ ‘අනුපාන’ විතරක් තෝරාගෙන ‘කෙන්දක්’ විතර ටිකකි මා කියාගෙන යන්නේ. ඒකෙනුත් අදට ලියන ‘හීන් කෙන්ද’ මෙච්චරය.


12 comments:

  1. ඔකඳ ධීවර ගමටත් ගියාද?
    බාගුර ආර නම් ලස්සනයි. ඒත් ඔය කාලෙට hygiene එක කොහොමද?

    ReplyDelete
    Replies
    1. Pra Jay, ඔකඳ ගමකට යන්න තරම් ඉස්පාසුවක් ලැබුණේ නැහැ, මේ වතාවෙත් කුඩුම්බිගල යන්න හිටියත් එකත් බැරිවුණා.

      බාගුරේ විතරක් නෙවෙයි නොවෙයි , දිගටම හයිජිනික් ප්‍රශ්නය නිසාමයි අපි ඉස්සරහින්ම යන්නේ.

      ඊළඟ කොටසේදී ඒ ගැනත් ලියවෙනවා. ස්තුතියි, හොඳේ!

      Delete
  2. මූනු හතකුයි අත් දා හතරකුයි එන්න තිබ්බ එක නූලෙන් මිස් වෙලානෙ.

    //‘කෙන්දක්’ විතර ටිකකි මා කියාගෙන යන්න‍ෙ// ඒ මදැයි

    ReplyDelete
    Replies
    1. ඒකෙන් වෙච්ච හොඳකුත් තියෙනවනේ, ප්‍රසන්න. දෙවිවරු දෙන්නෙක්ම පහළ වුණානෙ.

      චණ්ඩියා වගේ මේ කෙන්ද ලියන හැටි ගැනත් ඔන්න ඊළඟ කොටසෙන් ලියන්නම්.

      Delete
  3. This walking trip must be a lifetime experience. Hope everything you say here about gods are correct (gods will check this), never knew how Katharagama Deviyo got 12 hands.

    Is Siyambalawa the correct name, where people say Katharagama deviyo is really present.(I have some other name in my mind, once a STF friend told me I can go there with him, but need follow some rules for at least one month before going there)

    Number of gods, number of names for the same god confuses me. However, my father use to take us to Kadirapura every year and I take my children to Katharagama whenever I can, to show them some spiritual side of our culture as well.

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, මගේ හැඟීමත් ඉතා වටින අත්දැකීමක් බවයි, මේ ගමන.

      කතරගම දෙවියන් ගැන මගේ හැඟීම හා විශ්වාසය ගැනත් ටික-ටික ලියනවා. ඒවා හැකිතාක් නිවරදිවයි ලියන්නේ. එක-එක්කෙනා දකින කෝණයන් වෙනස්නේ.

      වත්-පිළිවෙත් සිරිත්-විරිත් වුණත් එහෙමයි. මගේ අදහස අපි පිළිපදින්නේ නැති වුණත් ඒ කිසිම සිරිතකට ගැරහිය යුතු නොවන බවයි. ඒවා හැම එකකම යමක් තියෙනවා වග්ගෙයි, හොඳ විමසිල්ලෙන් බැලුවොත්. ඉතින් මගේ විචාර බුද්ධියේ වපසරියේ ඉඳගෙන ඒවාත් කියවේවි. එතකොට හරි-වැරදි කියන්න, මටත් හැදෙන්න උදව්වක් වෙනවනේ.

      Delete
  4. //උඹ අපි සේරටම වඩා fit
    ඔය දීල තීන්නේ ලනුව නියමෙටම.සෑහෙන්න වැඩ කරන එකක්.
    නිදි ඔය වගේ පයින්ම වන්දනාවේ යන යන ගමන් ලංකාවේ තව තියේද,
    කැළණිය වඳින්නනං බණ්ඩාරගම සිට එන බවක් අහ තියේ.

    ReplyDelete
    Replies
    1. ඔයාලා ඔහොම කියද්දී තවත් guts එනවා, ස්තුතියි සිරිබිරිස් උන්නැහේ.

      බණ්ඩාරගම සිට එන ගමන ගැන මාත් කියවා තියෙනවා. හැබැයි ඒකට එන්නේ ඒ පළාතේම උදවිය විතරයි වගේ. මහියංගනේ පෙරහරට හෙනානිගල වැද්දන් එන එකකුත් ඇහුවා; ඒ වගේම.

      මටත් යන්න බැරිවුණු තව වන්දනා ගමනක් තමයි, සුමන සමන් දේව ප්‍රතිමාව සිරීපාදයට වඩම්මන ගමන. දැන්-දැන් මේ ගමනත් වඩ-වඩා සංවිධානාත්මක වීගෙන පුළුල්වීගෙන එනවා. පෙරහැර කිහිපයක් කිහිප පොළකින් පිටත් වෙනවාත් එක්ක. එක කෙරෙන්නේ දෙසැම්බර් පුර පසළොස්වක පෝයත් එක්ක.

      Delete
  5. මමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්. ක්‍රමයක් නැතුව ඉන්නෙ. දන්නව නං මමත් එනවා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ, මේ වතාවේ පාද යාත්‍රාව ගිය 27,630 තව එකකින් වැඩිවෙන්න තිබුණු ඉඩක්නේ නැතිවෙලා තියෙන්නේ.

      හැළපේ, guts තියෙනවා නම් ඕනෙම කෙනෙකුට මේ ගමන යන්න පුළුවන්! බය වෙන්න දේකුත් නැහැ. මේ වතාවේ එක ගෑනු කෙනෙක් ත්‍රිකුණාමලයේ හිට එද්දී නංගිලත් එක්ක තරහ වෙලා තනියම ගියේ. "මාව තනියෙන්ම ගමනේ යවන්න ඕනි නිසා තමයි මුරුගා නංගිලාව තරහ කෙරෙව්වේ" කියලයි එයා කිව්වේ.

      2013 අපි පළමු වතාවට ගිය හයදෙනාම කෝඩුලා. දැන් ලේසියිනෙ මහත්තයෝ. මමම තමා ඉන්ටර්නෙට් එකෙන් විස්තර හොය-හොයා study කරලා ගමන plan කළේ. දිග වැඩි වුණත් 'හරෝහරා' පොස්ටුවල සේරම විස්තර ලියනවා; තව අයට ලෙහෙසි වෙන්න.

      Delete
  6. //මස්-මාළු-පිලිහුඩුවලින් වැලකී, පේ වෙන්නට ඕනෑ// ලංකවෙ බයික් පදින අය අතර සම්මත අමාරු රයිඩ් කීපයක් තියනවා යකාගෙ පඩිපෙල,දෙනියායෙ මෝර්නිග් සයිට් හෙවත් =හිමිදිරි පෙදෙස වගේ ඒව ඇත්තම කියනව නම් මීට අමාරු ඒව ඕනි තරම් තිබ්බත් ඒව ප්‍රසිද්ධ නෑ නමුත් අමාරුම එකක් තමයි කැඹිලිත්ත ගමන නමුත් මට කවදාවත් යන්න වෙන්නෑ අම්මත තාත්ත වෙනුවෙන් මිස වෙන කිසිම එකෙක් වෙනුවෙන් මස් කෑම නම් නවත්තන්නෑ ඉතින් ඔ්‍ය ගමන තනියම යන්නත් බෑනෙ මට යන්න වෙන එකක් නෑ. ඒ ලිස්ට් එකට ඔන්න තවත් එකක් එකතු වෙලා මම දැනන් හිටියෙ නෑ පාගමනටත් නිර්මාංශ වෙන්න ඕනෑය කියල - දෙයියො එක්ක මට ගනු දෙනු නැත ඒක නිසා මේවා අදාලම නැත.

    ReplyDelete
    Replies
    1. මධු, ඩෙවිල්ස් ස්ටෙයාර් කේස් නම් අපිත් පයින් ගියා. ඔයා කියන එක හරි. පයින් යන අයට නම් තව ගමන් තියෙනවා ප්‍රසිද්ධ නැති, රජගල, රිටිගල, දාස්තොට, මානියන්ගල, නග්රක් ඉඳලා ලෝකාන්තයට නඟින පාර වගේ....

      ඔයාලා ඉතින් රෝද දෙකෙන්නේ යන්නේ.

      එහෙම වුණත් ඉතින් ටිකක් නම්‍යශීලි වෙලා, වෙජිටේරියන් වෙලා අලුත් අත්දැකීමක් විඳ ගත්තම වාසියක් නෙවෙයිද? no pain- no gain කියනවනේ!

      Delete