චින්තන පර්ෂදයෙන් කාලය සඟරාව අච්චු ගහන්නට සැලසුම් කරගෙන හිටියේ ඩිමයි 1/4 සයිස් එකටය. |
ඔය විදිහට, චින්තන පර්ෂදය ‘කාලය’ සඟරාව
ගහන්නට සැරසුණේ ඩිමයි 1/4 size එකටය. කළු-සුදු. තනි පාටින් ඇතුළු පිටු 28ක්
ඩිමයි කඩදාසියේ. අවශ්‍ය බ්ලොක්ස් සපයනවා.... කවරය ඕෆ්සෙට් ප්‍රින්ට් කරලා
ගෙනෙනවා..... සෙන්ටර් වයර් (එහෙම කියන්නේ
මැදින් කටු ගහනවාටයි.)
විස්තර ඉල්ලාගත් ගමන්, මං ඉස්සෙල්ලාම කළේ ප්‍රෙස් එකේ කිහිප
දෙනෙකු කැන්දා ගැනීමයි; ඒ තලත්තෑනි-පළපුරුදු උදවියව නොවේ.
එතකොට අච්චු කන්තෝරුවේ හිටියේ එක මැෂින්
මයින්ඩර්වරයෙකි. ඒ චයිනීස් ප්ලේටින් මැෂින් එකටය; ඇල්බට් බාස් උන්නැහේය. කොම්පෝසින්
කරන්නට; අකුරු අමුණන්නට හිටි ප්‍රවීණයා විල්සන් බාස් උන්නැහේය.
(දැන් ඒ දෙන්නාම ජන්මාන්තරගත වෙලාය. පණ
පිටින් ඉඳිද්දී ඒ දෙන්නා ජන්මාන්තර හතුරන්ය. දෙන්නාට දෙන්නා කතා කළේවත් නැත.)
ඇල්බට් බාස් උන්නැහේ ගංගොඩවිල ‘දීපානි මුද්‍රණාලයේ පවා සේවය කළ ප්‍රවීණයෙකි;
විනෝදකාමියෙකි; කටේ තොලේ නොගෑවී දෙපිට කැපෙන කතා කියන්නට හපනෙකි.
විල්සන් උන්නැහේ ‘ගවර්මන්ට් ප්‍රෙස්’ එකෙන්
රිටයර් වෙලා හිටි සුසිල්වත් කෙනෙකි; කොච්චර සීලවන්තද කියනවා නම් ‘ඉරිදා දිවයින’
පත්තරයට පවා හිංසා කළ කෙනෙකි.
ඉරිදා පත්තරවත් එක සැරේම මං අපේ ළමයින්ට බලන්න දෙන්නේ නැහැ. කියවලා නරක පිටු............. |
“ඔව් මිස්ටර් නිමල්, මම අපේ ළමයින්ට පත්තරේ
බලන්න දෙන්නේ, මං කියෙව්වට පස්සේ. එයාලට කියවන්න හොඳ නැති පිටු ඉරලා අයින් කරලයි
මං ‘ඉරිදා දිවයින’ වුණත් මේසෙ උඩින් තියන්නේ!”
ඒ ජාතියෙන් මෙතෙක් මට හමුවී
තියෙන්නේ එයා විතරය!
විල්සන් බාස් උන්නැහේගේ දරුවන් එතකොටත්
කර-දඬු උස මහත්වූවන්ය.
අර තැටිය දෙතුන්-වතාවක්ම වාදනය කළ පසු මට තවත් කට පියාගෙන
ඉන්නට බැරි වුණේ මගේ නොහැදුණුකම නිසාය.
“ඈ බාස් උන්නැහේ.... බාස් උන්නැහේ ඔච්චර
සීලවන්ත නං නෝනා මහත්තයට දුවල-පුතාලා හම්බ වුණේ සක්කරයාවත් දීලද?”
ඔය කිව්වේ ඇල්බට්, විල්සන් බාස් උන්නැහේලා
ගැන ටිකක් විතරය. ගොඩක් කියන්නත් බැරිය. විල්සන් බාස් උන්නැහේගේ බෑණා වෙන කෙනෙක්
දැන් මගේ ළඟම මිත්‍රයෙකි; මේ බ්ලොගයේත් පාඨකයෙකි!
ඒ දෙන්නාම මට හමුවූ ඉතාමත් විචිත්‍ර චරිත ඇත්තන්ය....... |
ඒ දෙන්නාම මට හමුවූ ඉතාම විචිත්‍රවත් චරිත
දෙකකි. ඇල්බට් බාසුන්නැහේ පිටතින් පෙනුණේ දුසිල්වතෙකු විදිහටය. විල්සන් බාසුන්නැහේ
ලෝකයාට සිල්වතෙකි. එයා නාග විහාරයට එන්නේ උදේ හතට විතරය. “මොකටද බාස් උන්නැහේ හතට
එන්නේ? අපි වැඩ පටන් ගන්නේ අටටනේ.”
චුට්ටකට ඉන්න!
ප්‍රෙස් එකේ වැඩ බාර අරගෙන ටික
දවසක් යද්දී මට පෙනුණේ සතියකට පැය හතළිස් පහ වැඩ කෙරෙන විදිය වෙනස් කළ යුතු බවයි.
සතියේ දින පහේ උදේ අටේ සිට හවස පහ දක්වා අප වැඩ කළ යුතු විණි. කෑමට පැයක විවේකයකි.
සෙනසුරාදාට අටේ ඉඳලා දවල් එක වෙනතුරුය.
හැමදාම වාගේ වැඩි දෙනෙක් වැඩට ආවේ පරක්කු
වෙමිනි. එයාලාත් එක්ක කතාකොට බලද්දී මට පෙනුණේ ප්‍රයෝගික විසඳුමකි.
“ලාල් අයියේ, practicaly අපේ කට්ටියට
ලෙහෙසියි, උදේ අටහමාරට වැඩ පටන් ගන්නවානම්. අටට එන්න ඕනේ වුණත් වැඩි දෙනෙක් ගොඩ
දවසට එන්නේ පරක්කු වෙලානෙ.” මම ලාල් අයියාට කීවෙමි.
වැඩ පටන් ගත්තේ අටට වුණත් හැමෝම වගේ වැඩට ආවේ සිරි ලංකාවේ වෙලාවටය........... |
“එතකොට හවස පහමාර වෙනකල් ඉන්න වෙනවනේ....”
“නැහැ ලාල් අයියේ, lunch එකට පැයක් නොගෙන පැය
බාගෙකින් කාලා එන්න කට්ටිය කැමතියි.... ඇල්බට් බාස් උන්නැහෙ විතරයිනේ ගෙදර ගිහින්
කාලා එන්නේ. එයාත් කිව්වා දවල්ට නෝනාට හරි පුතාට හරි කියලා කෑම එක ප්‍රෙස් එකට
ගෙන්නා ගන්නම් කියලා.”
“හා හා එහෙනං දැන් මට තියෙන්නේ කැමැත්ත දෙන්න
විතරයි?”
“අනේ නැහැ ලාල් අයියේ. අලුතින් වෙනසක් කරන්න
කලින් හරි, යෝජනාවක් කරන්න කලින් හරි සේරම study කරලා ඉන්න ඕනැනේ. ලාල් අයියලගෙන්ම
youth එකේදි ඉගෙනගත්තු ඒවායින් වැඩක් ගන්නත් එපැයි......”
එහෙම කිව්වාම නම් ලාල්
අයියා සද්දෙට හිනාවක් දැම්මේය.
ඒ ‘මායම’ හරිගිය නිසා ටික දවසකට පස්සේ මම දෙවෙනි
පියවරත් තැබුවෙමි.
මගේ යෝජනාව වුණේ සතියේ දින පහේ විතරක්.......... |
මගේ යෝජනාව වුණේ සතියේ දින පහේ විතරක් පැය 9
බැගින් වැඩ කරමු කියලාය.
“සෙනසුරාද එකට වැඩ ඇරුණාට මං වුණත් කාමරයට යද්දී
දෙකහමාරට-තුනට කිට්ටු වෙනවා. ඊට පස්සේ දවසෙන් වෙන වැඩක් නැහැ ලාල් අයියේ.....!”
එවෙලෙම ලාල් අයියාට පෙනුණේ මට නොපෙනුණු
පැත්තකි. “නිමල් මල්ලී.... ඔයා දන්නවද සමහර ආයතනවල එහෙම කෙරෙනවා තමයි.... හැබැයි
කස්ටමර්ලගේ පැත්තෙන් බැලුවොත්... මට මතකයි බිල්පොත් බලද්දී සෙනසුරාදාට අපේ
කස්ටමර්ලා ගොඩක් ප්‍රෙස් එකට එනවා වගේ...”
මට ඒ පැත්ත නොහිතුණු බව පිළිගත්තෙමි.
ඉතින්, වැඩ පටන් ගන්නා වෙලාව උදේ අටහමාර
වුණත් විල්සන් බාස් උන්නැහේ ‘රූටින්’ එක වෙනස් නොකළේය. කළේ වන්දනාමාන කරන වෙලාව
වැඩි කරන එකය.
එහෙම අයට වඩා මගේ විශ්වාසය රැඳී තිබුණේ
තරුණ පරම්පරාව මතය. මේරූ ගස් නැවීම ලෙහෙසි නැත. නවාගත හැක්කේ ළපටි ගස්ය!
මේරූ ගස් නවන්නට බැරිය; නවාගත හැකි වන්නේ ළපටි ඒවාය.......... |
හටන් ආරච්චිලාගේ කුමුදුලාල්, ඒකනායක මුදියන්සේලාගේ සේනාධීර ඒකනායක, නෙවිල් අනුරසිරි පෙරේරා, සුදම්පිටි පන්නලාගේ විජිත් කුමාර කියන හතරදෙනාටය. ඔය නම් වැල ලියා තියෙන්නේ වයසේ අනුපිළිවෙලට නොවේ. ප්‍රෙස් එකේ ජ්‍යෙෂ්ඨකමේ විදිහටය. ප්‍රෙස් එක දියුණු කිරීමේදී මට එයාලාගෙන් ලැබුණේ ලොකු සහයෝගයකි.
ඒකත් නොකර බැරිකමටය.
“නිමල්, අපිට ප්‍රෙස් එක දියුණු කරනවා නම්
ඒකෙන්ම සල්ලි උපද්දාගන්න වෙනවා. ඒ වගේම තමයි training කරන වැඩෙත්. ඒකනෙ අපේ මුල්ම
ටාගට් එක. දැනට වෙනම ගුරුවරු ගන්න විදිහක් නැති නිසා බාසුන්නැහෙලා දෙන්නව ගත්තේ
පුරුදු වෙන අයට කියල දෙන්නත් එක්කයි.”
ලාල් අයියා මුලදීම කියා තිබිණි.
මෙයාලා අපට කියල දෙනකං හිටියොත් නං අපි නාකි වෙලා ඉඳියි.... |
“මං නිමල් අයියට කියන්නම හිටියේ.... මෙයාලා
අපිට කියල දෙනකල් හිටියොත් නං අපි නාකිවෙලා තියෙයි! මට නං දැන් එපාවෙලා.”
ඊ.එම්.එස්. ඒකනායක මට කිව්වේ හඳුනාගෙන දෙසතියක්වත් යන්නට කලින්ය! (සංගීතඥ නලින්
ඒකනායක ඔහුගේ සොහොයුරාය.)
ඉතින් මුලින්ම මට බෙහෙත් දෙන්නට වුණේ ඒවාටය.
ඒ ප්‍රතිකාර අල්ලලා ගියේය.
නෙවිල්, විජිත් දෙන්නාත්- ඊට පස්සේ තව ගොඩ දෙනෙකුත්
එහාට ආවේ ඊළඟටය. චින්තන පර්ෂදයෙන් සඟරාව ප්‍රින්ට් කරන්නට හැදුවේ ඒ දවස්වලය.
“අපිට ලොකු වැඩක් එන්නයි යන්නේ... මාසෙකට
සැරයක් ගහන සඟරාවක්.... වැඩේ ආවොත් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මොකද කියන්නේ...
කරමුද?
හැබැයි, වැඩේ ආවොත් පුතෝ.... නිවාඩු ගන්න නං බැරිවෙයි දැන් වගේ.
සමහරවිට රෑ
වෙනකල් වැඩ කරන්නත් වෙයි....
දැන් මට කොටේෂන් හදන්න තියෙනවා. ඔයාලට බැරි නම්
නොවටිනා ගානක් දෙනවා වැඩේ නොඑන්න....”
මොකද කියන්නේ? අපි වැඩේ කරමුද............. |
‘එපා, එපා. - වැඩේ කරමු. - අපටත් හොඳයිනේ. –
o.t. එකක් හරි වැටෙනවනෙ නිමල් අයියේ!’ වගේ දේවල්ය, එක හඬින්ම කියැවුණේ.
ඊළඟට මා කළේ මිල ගණන් සාදා; විස්තර ලියා; ගෙදර
යන ගමන් ලාල් අයියලාගේ ගෙදරින් තියලා යන එකය.
මුද්‍රණ වැඩ සඳහා මිල ගණන් හදන්නට මට
කියා දුන්නේ ලාල් අයියාය. ප්‍රෙස් එකේ බරට කරගසා හිටියෙත් එයාය. එවිට ලාල් අයියා
‘සලඅතස’ ප්‍රධාන ලේකම්වරයාය. මාදුළුවාවේ සෝභිත හිමියෝ සභාපති වූහ.
පසුවදා උදේ ලාල් අයියා මා එනතුරු ගෙදර
හිටියේය. “අයිසෙ නිමල්.... අපේ ප්‍රෙස් එකේ මෙච්චර දෙයක් කරන්න පුළුවනිද? අමාරුවේ
වැටෙන්නේ නැතිව...?”
මට බයක් තිබුණේ නැත. අමද්‍යප තරුණ පුහුණු
මුද්‍රණාලයෙන්ම පුහුණු වෙමින් හිටි අලුත් කොල්ලෝ ඊයේ මට පොරොන්දුවක් දුන්නෝය. මට ඒ
හයි-හත්තිය හොඳටම ඇතිය.
අනෙක් අතට ඒ වෙද්දී මට වෙනත් අභියෝග තිබුණෙත් නැතිය. මට
නම් එහෙම වුණාමත් ජීවිතයේ ත්‍රිල් එකක් නැහැ වගෙය....
ගෙවිඳු කුමාරතුංග මහතාට අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය ගෙදර වගේ වුණේය! |
වැඩේ අපට ආවේය. ඒ job එකත් එක්කම ගෙවිඳුට;
ගෙවිඳු කුමාරතුංග මහතාට අමද්‍යප ප්‍රෙස් එක ගෙදරම වගේ වුණේය! එතකොට ගෙවිඳු විශ්ව
විද්‍යාල සිසුවෙකි.
වැඩියෙන්ම ‘කාලයේ’ වැඩවලට ආවේ ගෙවිඳුය.
ඔන්න
ගෙවිඳු මහත්තයෝ, නොකියා බැරි කාරණ තුනක් දැන් කියනවාය. මේවා මහ ලොකු දේවල්වත්,
කවුරුන්වත් නොදන්නා දේවල්වත් නොවේ. එක; ගෙවිඳු කුමාරතුංගත් ගුරුන්නාන්සේටම හරියන
කෙනෙකි; ඒ වල්ලේමය. පොඩ්ඩ බැරි වෙනකොට මළ පනියි. (තවමත් ඒ වගේමය. එහෙම කියන්නේ මේ
දසකයේ මුල් අවුරුදු කිහිපයේත් මා ගෙවිඳු මහතා ළඟ සේවය කළ බැවිනි. මල්ටිපල්
මයෙලොමාව වැලඳෙද්දී මා සේවය කරමින් හිටියේ ‘විසිදුනු ප්‍රකාශන’ ආයතනයේය.) ඒ කාරණය
සාක්ෂි අනවශ්‍ය එකකි.
දෙක. බොහෝ දෙනා ගෙවිඳු මහතාව දන්නේ
කේන්තිකාරයෙකු හැටියට විතරය.
එහෙත් ඔහු උපරිමයෙන්ම ප්‍රකාශනවලට; පොත්වලට අවංක වෙයි.
එහෙම කරන වෙනත් කිසිවෙකු මා නම් දැක නැත.
“නිමල්, වෙලාව ගත්තට කමක් නැහැ.... මට ඕනේ
අපේ පොතක හැම පිටුවක්ම එකම උසට තියෙන්න. එකම පළලට තියෙන්න. ඔයා බලන්න - ඔය
දෙබස්වලට ඉස්සරහින් දාන උඩ කොමා තියෙනවනේ.... හුඟක් ටයිප් සෙටින් කරන අය කී බෝඩ්
එකේ තියෙන යුගල කොමාව වෙනුවට තනි කොමා දෙකක් ගහනවා..... අපේ පොත්වල එහෙමවත් තියෙන්න
බැහැ. ඔයා ඒවා වැරැදි විදිහටම ලකුණු කරන්න. අනෙක නිමල්, අපේ සීයාගේ ශෛලියටයි
පොත්වල සිංහල තියෙන්න ඕනේ....”
මට ඕනේ විසිදුනු පොත් හොඳම කොලිටියෙන් තියෙන්න! |
මුලදීම ගෙවිඳු මට තේරුම් කර දුන්නේය. පාඨකයා
ගැන එහෙම අවංකව කැපවෙන පොත් මුදලාලිලා කොච්චර අඩුද?
පොත් කතුවරයෙකු පොතක් පරිවර්තනයෙදී
නොසැලකිල්ලෙන් ‘ගල් පෝච්චිය සිමෙන්ති පෝච්චියක්’ කළ කතාව
මා ඔබට කියා ඇත.
දැන් ඕෆ්සෙට් ක්‍රමයටය පොත් මුද්‍රණය
කෙරෙන්නේ. ඒ සඳහා ‘ප්ලේට්ස්’ පාවිච්චි කෙරෙයි. සමහර වෙලාවට ඒ මුද්‍රණ තහඩු ‘වීක්’
වෙයි. එහෙම ඒවා යොදාගත්තාම වෙන්නේ පොතේ මුද්‍රණයේ තත්ත්වය බාල වීමය. මේ ප්‍රශ්නය
එන්නේ පොතක් යළි-යළිත් අච්චු ගහද්දීය.
ඉතින් මා කරන්නේ එහෙම වී ඇති බව ප්‍රකාශක
මහත්තයාට දන්වන එකය. එහෙම නොදන්වා අලුතින් ප්ලේට්ස් දැම්මොත් යන වියදම අය කරගන්නට
බැරිය.
“ඔන්නොහෙ ගහන්න නිමල්... ඔයා බලන්න...
කියවන්නම බැරි නං විතරක් ප්ලේට්ස් කීපයක් දාගනිමු!” සමහර දෙනා හොයා බලන්නටවත්
මහන්සි නොවී සැපැයූ උත්තර එහෙමය.
ඒ ගොල්ලන් එක්ක සසඳද්දී ප්‍රකාශක ගෙවිඳු
කුමාරතුංග තැබිය යුත්තේ කොතැනද?
තුන. ගෙවීම්ය.... විසිදුනු එකට එන්නැයි මට
ආරාධනා කළාට පස්සේ අපි කටයුතු කෙරෙන්නට ඕනෑ විදිහ ගැන කතා කරගත්තෙමු. ඔහු දෙන්නට
හැදූ වැටුප මා හිතාගෙන හිටි එක නොවේ. මං කියන්නේ ඊට වඩා අඩුය කියලා නොවේ; වැඩිය
කියලාය.
“නැහැ මහත්තයෝ. මට ඊට වඩා පන්දාහක් අඩුවෙන් දෙන්න.” මම කීවෙමි.
'උඹේ ඔළුව අතගාලා බලහං' යහළුවෝ මට කීහ! |
ඔය විත්තිය කිව්වාම, මගේ යහළුවන් මට කිව්වේ
‘ඔළුව අත ගාලා බලන්නට’ය. වැදගත්කම ඒක නොවේ. මගේ වැටුප ලබාගන්නට පරක්කු වුණොත්,
ගෙවිඳුම ඒක මතක් කරන එකය; දෙන එකය. එහෙම හාම්පුතාලාත් හරි අඩුය! හරිම අඩුය!!
ඉතින් ‘කාලයේ’ කාලයට ආපහු යනවා නම් අමද්‍යප
ප්‍රෙස් එකේ තිබුණේ ලෙටර් ප්‍රෙස් ක්‍රමයට කෙරෙන වැඩය.
ඊයම් අකුරු අමුණලා, පිටු
බැඳලා, ප්‍රින්ටින් මැෂිමට අතින් කොළය බැගින් දෙමින් අච්චු ගහන තාක්ෂණයයි! එක
සැරයකට මුද්‍රණය කළ හැකි වුණේ ඩිමයි 1/8 සයිස් පිටු 4ක් විතරය. (සාමාන්‍ය නවකතා
පොතක ප්‍රමාණය ඩිමයි අටෙන් එකය.)
දැන් මගේ බ්ලොගයේ එක පෝස්ටුවකට අවම වශයෙන් චිත්‍ර;
ෆොටෝ දොළහක්වත් යෙදෙයි. එහෙම කරන්නේ දයාබර රසික-රසිකාවනුත් විචිත්‍රත්වයට කැමැතිය
කියා හිතමිනි. මා නම් එහෙමය.
ඒත් ඒ කාලයේ එහෙම විසිතුරු කිරීම් බෙහෙවින් වියදම් යන
ඒවාය. ලෙටර් ප්‍රෙස් ක්‍රමයේදී foto - චිත්‍ර යොදනවා නම් ඒවාට වෙනම බ්ලොක්ස්
කප්පවා ගත යුතුය.
ඉතින් පිටු ලස්සන කෙරුණේ ස්ථිර චිත්‍ර
කිහිපයක් ‘විශේෂාංග මාතෘකා’ ලෙසට යොදා ගැනීමෙනි; එකම බ්ලොක්ස් නැවත-නැවතත්
යෙදීමෙනි.
වියදම් පිරිමසා ගත යුතු නිසා තේමා බ්ලොක්ස් ටිකක් නැවත යොදාගෙන පිටු හැඩ කරගන්නට...... |
‘කාලය’ කාලයකට අමතක නොවෙන අත්දැකීම් සමුදායක්
මගේ දිවියටත් එකතු කළේය; කාලයකටවත් අමතක කරන්නට නොවෙන චරිත කිහිපයක් වරින්-වර මට
මුණ ගැස්සුවේය.
ආචාර්ය නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, ජී.අයි.ඩී. ධර්මසේකර,
කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද, කේ.ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරු ඒ අතර වූහ. ඉතා
කලාතුරකින් ප්‍රෙස් එකට පැමිණි උස, සිහින්, කළු හාදයෙකුත් මට මතකය. දැන් ඒ තරුණයා
‘ජනාධිපති අපේක්ෂකයෙකු’ විදිහටත් සමහරු හඳුන්වති. වන්නාටය; දැන් ඔහු ‘ඉන්න හිතෙන
රටක්’ හදන්නට සූදානම්ය!
ඇත්තම කියනවා නං ප්‍රින්ටින් රස්සාව එපා වෙන
තරමට දේවලුත් ‘කාලය’ ගහද්දී වුණේය.
අපේ කොම්පොසිටර්ලා හැමෝම වාගේ එතරම් පොත්-පත්තර කියවන්නට පුරුදු වුණු අය නොවූහ. ඒ නිසාම රටතොට-ඉතිහාස-නව ප්‍රවණතා- දේශපාලන
තොරතුරු එයාලා දැන හිටියෙත් අඩුවෙනි. ඒ හැමෝම ඒ කාලයේ භද්‍ර යෞවනයේ පසුවන්නෝ වූහ.
බාසුන්නැහෙලා
දෙන්නාම ඇසූ-පිරූ තැන් ඇති අය වුණත්, අපේ පුහුණු වෙන්නන් ප්‍රශ්නයකදී කලින්ම ආවේ
මගේ ළඟටය.
ලෙටර් ප්‍රෙස් අකුරු තිබුණේ 'කේස්' දෙකකය. එකක් ඔබේ කම්පියුටරය තබන හැඩයට මඳක් ඇලේට හිටවලා වගෙය....... |
කාලයට ලියැවුණු ලිපි සේරම වාගේ හරබර ඒවාය.
එච්චර ‘රීඩබල්’ නැත.
යව්වන කොල්ලන් ඒවා බලාගෙන අකුරු අමුණනවා මිස ඒවා කියවා බලන්නේ
නැත. නොදන්නා අයගේ දැනගැනීමට විතරක් මේ ටිකත් කියනවාට සමාවෙන්න. ඊයම් අකුරු
තියෙන්නේ අකුරු කේස් දෙකක ඒ ඒ වළවලය. ‘අම්මාගෙ’ කියන වචනය අමුණන කෙනෙකුට ඒ සඳහා
අකුරු වළවල් හයකට අත යවන්නට වෙයි!
අ - ම් - ම -ා - ෙ - ග විදිහටය. ඒ මදිවාට ඒ
අකුරු තියෙන්නේත් නොපිටටය.
හ, හි, හී, හු, හූ, හ් අකුරු දිහා බලන්නකෝ. මේ අකුරු හය
තියෙන්නේ යාබද වළවල් හයකය. හා, හෙ, හේ, හෝ අකුරු හදාගන්නට වෙන්නේ ඇලපිලි, ඉස්පිලි,
පාපිලි, කොම්බු, හල් ඇලපිලි අරවා-මෙව්වා එකතු කරගෙනය.
පහළ අකුරු කේස් එක තැන්පත් කරන්නේ මේසයක් උඩ තියෙන විදිහටය........ |
අපට ලැබුණු බොහොමයක් අත් පිටපත්වල අකුරු තිබ්බේ හකුරු
වගෙය.
වයිවාරන්න අත් අකුරුවලින් ලියූ, දිරවාගන්නට
අසීරු ලිපි, 10 point අකුරුවලින් අමුණන්නේ කොලම් සයිස් අනුවය.
ඊළඟට ඒවා තීරු
විදිහටම ගල් අච්චුවෙන් පිටපත් කෙරෙයි. ඒ සෝදුපත් බලන්නටය. මුලින්ම proof බලන්නේ
මාය. ඒවා නිවැරැදි කරලා ඉවර වුණාම, දෙවෙනි සෝදුපත ගැනෙයි. ඒකය ගෙවිඳු බැලුවේ.
ප්‍රින්ටින් පාඩමක් නොවෙන නිසාය එතැනින්
නවත්තන්නේ. අපට කන්නට වුණු පරිප්පුව යන්තමින් හරි මවා ගැනීම බුද්ධිමත් ඔබට අසීරු
නැත!
හැමදාම වාගේ ලිපි ගෙනෙන්නට පරක්කු වුණේය.
අකුරු ඇමුණුවාටත් පස්සේ සමහර ඒවාට කෑලි එකතු වුණේය; අයින් කෙරුණේය.
වැඩක් කරද්දී
එහෙම තමයිය. ගොඩාරියක් වෙලාවට මං ඒවා ඉවසුවේ..... ජීවිතයට වැදගත්ම පාඩමක් වන
‘ඉවසීම’ ප්‍රයෝගිකවම පුහුණු වෙමිනි! ඉතින්.......
1975 න් විතර පසුව අකුරු කේස් එකක් දැක්කේ අදයි . පරණ මුද්‍රණ ශිල්පයත් එහි තාක්ෂණයත් දැන් ඉතිහාසයේ මතකයක් පමණයි නේද ??
ReplyDeleteඇත්තමයි සෑම්.
Deleteඒ කාලයත් එක්ක බලද්දී දැන් කොච්චර ලේසිද?
අකුරු ටයිප් කරද්දී උණුවුණු ඊයම්වලින් අකුරු වැක්කෙරෙන (කාස්ටින්) ක්‍රමය එහෙමත් දැන් නැහැනේ.
අපගේ "වනයේ නෙළුම, (නලීන් ද සිල්වා) තුමාට අපහාස කරන උන්ට ශැාප වේවා! ශාප වේවා!!
ReplyDeleteඋන්ට මහා ධන සම්පත් ලැබේවා. රජකම ලැබේවා. අන්තඃපුර ලැබෛ්වා
ලැබී වැනසේවා
වරේවා ජගත් මහත්තයා! ආයු බොහෝ වේවා, ආවඩා - ආයු බෝ වේවා!!
Deleteපිට කවරේ වර්ණයෙන් පි‍්‍රන්ට් කලේ කොහේද? ගල් අච්චුවේ එහෙම වැඩ දාන්න බෑ නේද?
ReplyDeleteඅසංග, ගෙවිඳු මහත්තයලාමයි පිට කවරය ඕෆ්සෙට් කරලා ගෙනැවිත් දුන්නේ.
Deleteගල් අච්චුවේ ප්රූෆ් ගත්තා කිව්වේ ඔය කාලේ ඉස්කෝලවල ප්‍රශ්න පත්තර එහෙම අච්චු ගහපු (ස්ටේන්සිල්ස් යොදාගත් - රෝනියෝ) ක්‍රමය නෙවෙයි. ඇමිණු අකුරු උඩ තීන්ත තවරලා, ඊට උඩින් කොළයක් තියලා තද කිරීමෙන් පිටපතක් හෝ දෙකක් හෝ ගන්නා එකටයි. ඒක ගන්නේ සෝදුපත් බලන්නමයි.
ලෙටර් ප්‍රෙස් ක්‍රමයේදීත් වර්ණවත් මුද්‍රණ කටයුතු කරන්න පුළුවන්, 4 colour වැඩකට නම් බ්ලොක්ස් හතරක් කප්පවාගන්න ඕනෙ. ඕෆ්සෙට් වලදීත් එක වර්ණයක් සඳහා එක plate එකක් ඕනේ වගේමයි!
ඔය ජාතියෙ ප්‍රෙස් එකක් මෙහේ තිබුණ පළාත් සභාවෙන් කරපු. ඒකෙ ලැගගෙන ඉඳල මටත් ඔය අකුරු අමුණන ජංජාලෙ ටිකක් පුරුදුයි. ස්පේස් තියන්න වෙනම පටි කෑලිත් තියෙනව නේද ඕකෙ.
ReplyDeleteසම්පූර්ණ බිල්පොත් පිටු ඊයම් බ්ලොක් විදියට හදපුවත් ඒකෙ තිබුණ.
//අකුරු ඇමුණුවාටත් පස්සේ සමහර ඒවාට කෑලි එකතු වුණේය; අයින් කෙරුණේය// ඒකනං පණ යන වැඩක් වෙන්න ඇති. දැන් කොම්පියුටරෙන් ටයිප් කරපු එකක් එඩිට් කරනව වගේ ලේසි නෑනෙ ඒක.
ප්‍රසන්න, පහළ අකුරු කේස් එකේ තික්, තින්, මිඩ්ල් ස්පේස් වළවල්වල තිබුණේ ඔයා කියන පටි කෑලි. ක්වාට්ස් තරමක් ඝන ඊයම් කුට්ටි!පේළිවල හිස් තැන පිරෙව්වේ ඒවායින්.
Deleteඑක කොළමකට අකුරු අමුනලා බලද්දී අකුරක් අඩුවෙලා තිබුණොත් ඒ අකුර දාන්න ඉඩ නැති වුණාය කියලා නිකං ඉන්නද? සමහර වෙලාවට පේළි හත අටක් යනකල්ම හදන්න වෙනවා ඒ ඉඩ අරගන්න ගියාම. මට මතක විදිහට එහෙම කරනවාට කිව්වේ 'රනවුන්' කරනවා කියලා.
“ඈ බාස් උන්නැහේ.... බාස් උන්නැහේ ඔච්චර සීලවන්ත නං නෝනා මහත්තයට දුවල-පුතාලා හම්බ වුණේ සක්කරයාවත් දීලද?”
ReplyDeletemekata labuna uththare mokadda?
විල්සන් බාස් උන්නැහේ මං වගේ නෙවෙයි. හොඳ ශීලාචාර මනුස්සයා. 'මිස්ටර් නිමලුත් අහන ප්‍රශ්න' කියලා විතරයි කිව්වේ!
Deleteඉතින්.......ඊලග පෝස්ට් එක එනකන් ඉවසන්න වෙනවා
ReplyDeleteචමින්ද, ඔයා ඉවසීම පුහුණු කරගෙනනේ ඉන්නේ!
Deleteනිදි, ලෙටර් ප්‍රේස් කරපු සිංහල ඊයම් අකුරු හැදුවේ කොහොමද?
ReplyDeleteඒ font type වලට තිබු නම් එහෙම මතකද? අර සමන් සයිස් එහෙම කියන්නේ පොතේ ප්‍රමානයටද
සිරිබිරිස් උන්නැහේ, මම දන්නා තරමට නම් ඒ කාලේ ඊයම් අකුරු නිෂ්පාදකයන් තුන් දෙනෙක් හිටියා. (අපි බඩු ගන්න ගිය තැන්.) චිත්‍රා අකුරු නිෂ්පාදකයෝ. පුංචි බොරැල්ලේ. අක්වයිනස් එකට එහා. අංක 963. ඒ දවස්වල එයාලාට තමයි බිස්නස් වැඩියම තිබුණේ.
Deleteඊළඟට කොටුවෙ, මැලිබන් ස්ට්‍රීට් එකේ අංක 88 එම්.එන්. ශාන්ති කොම්පැනිය.
කාලයක් ඉහළින්ම වැජඹිලා, අවරට යමින් හිටි ඇන්.ජේ. කුරේ සහ පුත්‍රයෝ අනෙකයි. තිබුණේ දෙමටගොඩ -මරදාන පාරේ, රේල් ගේට්ටුව කිට්ටුව.කුරේ සමාගමේ ආදී කර්තෘ ඇන්.ජේ. කුරේ අප්පුහාමි මහත්තයා ගැන කලුකොඳයාවේ පඤ්ඤාශේඛර හාමුදුරුවන්වහන්සේ කියා තිබෙන විදිහට නම් 1884-85 ව්තර කාලේ තමයි 'කුරේලා' මෙහෙම අකුරු නිපදවන්න පටන් අරන් තියෙන්නේ.
අකුරු පොයින්ට්ස් 8-10-12-14-18-24 වගේ සයිස්වලින් භාෂා තුනෙන්ම හදලා තිබෙනවා.
මොනෝ - ස්මෝල් පයිකා - ටූ ලයින් බ්රීවියර් - සරසවි - වගේ සිංහල අකුරු වර්ග ගණනාවක් සුදු හා කළු (බෝල්ඩ්) වශයන් තිබිලා.
ටෛම්ස් - නිව් රෝමන් - ගිල් සැන්ස් වගේ වර්ග ගොඩක්ම නිපදවූ බව, මගේ ළඟ තියෙන 'කුරේ'කැටලොග් එකේ තියෙනවා.
ඩිමයි - සැමන් සයිස් ගැන මම ලිව්වා 'කෙලින් සනා - 2' පෝස්ටුවේ.
http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_4.html
ඊයම් අකුරු නිෂ්පාදකයන් වෙනම හිටියා. අච්චු කන්තෝරුවල අය අකුරු ගත්තේ එයාලාගෙන්.
Deleteසිරිබිරිස් උන්නැහේ, මම දන්නේ නම් අපි අකුරු ගත්ත තැන් ගැන විතරයි.
1 චිත්‍රා අකුරු නිෂ්පාදකයෝ- 963, මරදාන පාර, පුංචි බොරැල්ල. ඒ දවස්වල පීක් එකේ හිටියේ මෙයාලා තමයි.
2. M.N.ශාන්ති & කම්පැනි, 88, මැලිබන් ස්ට්‍රීට්, කොළඹ 11.
3.N.J.කුරේ සහ පුත්‍රයෝ,37/6,දෙමටගොඩ පෙදෙස, කොළඹ 9.
කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර හාමුදුරුවන් වහන්සේ 1959 ජුලි 30 'කුරේ' එකේ කැටලොග් එකට ලියන සටහනකට අනුව, N.J.කුරේ අප්පුහාමි 1884-85 වගේ ඈත කාලෙක තමයි ඊයම් අකුරු හැදිල්ල පටන් අරන් තියෙන්නේ.
ඩිමයි - සමන් සයිස් ගැන මම 'කෙලින් සනා 2'පෝස්ටුවේ ලිව්වා, ගිහින් බලනවා නේද?http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_4.html
තුති නිදි තොරතුරුවලට.සමරසිංහ මහත්තයා කියනවිදියට සයිස් එකට අමතරව සමන් අකුරුත් අලුත් වැඩක්.
Deleteඔව් ඔව් සිරිබිරිස් උන්නැහේ, සමන් පොත් ලංකාවට අලුත්ම වෙනසක්, නිමාවක්, අනන්‍යතාවක් එකතු කළා.
Deleteගෙවිඳු මාර සීරියස් පුද්ගලයෙක් නේද? සෙන්ස් ඔෆ් හියුමර් එහෙම අවමයි
ReplyDeleteඔව්නේ Pra Jay.
Deleteහැබැයි මට නම් එයා විහිලු කරනවා, හිනාවනවා දකින්න ලැබිලා තියෙනවා, කලාතුරකින්.
ගුවන් විදුලියේ කෙනෙකු කියූ හැටියට එයාලගෙ පරම්පරාවම හෙණ සීරියස්ලු. ගෙවිඳුලගෙ බාප්පා කෙනෙකු ගැනද කොහෙද කියන ගමන් ඒක කිව්වේ!
ගෙවිඳුගෙ ඥාති සහෝදරයෙක් වෙන කසුන් කුමාරතුංග (නැසී ගිය ) මා සමග ඉගන ගත්තා. ගෙවිඳු නම් හමුවෙලා කතා කරල තියෙන්නෙ 2පාරයි
DeletePra Jay, මට නම් එයාලා කවුරුන්මවත් හමුවී නැහැ, ගෙවිඳුගේ බිරියත් පුතත් විතරයි.
Deleteපිරින්ට් කරන්න කන කට්ටක්.
ReplyDeleteඑක නං එහෙම තමයි මධු. හැබැයි වැඩේ නියමෙට තියෙනකොට දැනෙන සතුට! ආඩම්බරේ!!
Delete