අකුරු මැකී නෑ

Saturday, August 31, 2019

Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස

මම මහා නසරානියෙක්මි!
'නසරානියා' කියන්නේ කාටදැයි කවුරුන් හෝ ඇහුවොත්?
වචනයට  කැමති වුණත් ‘නසරානියා’ කියන්නේ කාටදැයි කවුරුන් හරි ඇහුවොත්? සිරි ලියනගේ මහත්තයාගේ ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ පොත මගේ උදව්වට එන්නේ එහෙම වෙලාවටය. 
ගොඩගේ ප්‍රකාශනයක් වෙන ඒ පොත ඩිමයි 1/8 ප්‍රමාණයේ පිටු 1250ක දැවැන්ත එකකි. ‘නස’ යටතේ, එහි 591 පිටුවේ තියෙන්නේ ‘නසනවා- නස්නය’ වචන දෙක විතරය.

ඉතින් ‘නසරානියා’ වෙනුවට සමහරුන් කියන ‘විතණ්ඩවාදියා’ වචනය හෙව්වෙමි.

මා ‘විතණ්ඩවාදියා’ වදනේ අරුත සෙව්වේ එරික් ඉලයප්පආරච්චි මහතාගේ ‘විතණ්ඩ සමය’ පොත ප්‍රින්ට් කරන කාලයේමය. එතැනත් වස වරදකි! වැරැද්ද මගේද, සිරි තිලකසිරි මහත්තයාගේද මන්දා.

මගේ ඔළුවේ තිබුණේ විතණ්ඩවාදියා කියන්නේ ‘විරෝධාකල්ප දරන- නව ප්‍රවණතා අගයන- රැඩිකල්- විප්ලවකාරී’ කෙනෙකුට කියලාය.ඒත් ශබ්ද කෝෂයේ තියෙන්නේ ‘බොරු තර්ක කරන්නා, ප්‍රයෝගකාරී ආකාරයෙන් වාද කරන්නා’ කියන දෙකය!

මං විතණ්ඩ වචනයේ නියම අරුත හෙව්වේ එරික් ඉලයප්ආරච්චි මහත්තයාගේ ...........
ඊටත් වඩා නම් වචනයේ අරුත්-නිරුක්ති හොයන්නට යන්නෙ නැත්තේ, සේරටම කලින් කියන්නට ආ කාරණාව කියලා ඉන්න හිතෙන හින්දාය.

මට ‘Reiki’ ගැන කියන්නට හිතුණේ පහුගියදාක හිමිදිරියේ ‘කණ්ඩාගෙ කොලම’ බලන්නට ගියාමය. 

ඒකෙ ‘Desert Rose; හැබෑම වාලුකා කුසුම’ පෝස්ටුව කියෙව්වාමය. කණ්ඩා හෙවත් රංගන කණ්ඩම්බිත් විතණ්ඩවාදියෙක් නේදැයි මට හිතුණේ ඒ පෝස්ටුව කියවාගෙන යද්දීය.

කණ්ඩා ‘හැබෑම වාලුකා කුසුම’fb ගැන කියන අතරේ හතර අතටම වනයි. 
කණ්ඩාත්, ටිකකට හරි ‘බ්රූස් ලී’ වෙලා වගෙය!

රංගන කණ්ඩම්බිත් බ්රූස් ලී වගේ හතර අතටම වනයි!
මමත් ගොඩාරියක් දේවල් විශ්වාස කරන්නේ නැති ‘නසරානියෙක්’මි. එහෙමය කියලා හැමදේම බැහැර කරන්නෙත් නැත. ඉන්නේ open mind එකෙන්ය. 

මැරෙනතුරුම ඉගෙනගන්නට හැකි වෙන්නේ එතකොටනේ. 

තවමත් මට හිතෙන්නේ විද්‍යාවෙන් හැම දේම තේරුම් කරන්නට බැරි බවය. අගෝස්තු හයවෙනිදා ‘Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට  පොස්ටුවට Pra Jay මහත්තයා දමාපු කමෙන්ටුවකට උත්තර දෙමිනුත් මං කිව්වේ මෙහෙමය.

“...මම වගකීමෙන් කියනවා හඳේ බලපෑමක් මිනිසුන්ට තියෙනවා කියලා.
ඕනෙම කෙනෙකුට කියන්න පුර පක්ෂයේ දින ඇතුළේ කොණ්ඩය කපලා, වැවෙන වේගය මැනලා බලන්න. ඒක වැඩියි. 

අව පක්ෂයේ දවස්වල කොණ්ඩේ කැපුවාම වැවෙන්නේ හෙමින්.
ජොලියට කරලා බලන්න පුළුවන් නිරීක්ෂණයක්. මම දැනටත් කොණ්ඩේ කපන්නේ අව අල්ලලා.”

විද්‍යාවෙන් හැම දෙයක්ම පහදා දෙන්නට හැකියාවක්..............
විද්‍යාවෙන් හැමදේම පහදලා දෙන්න පුළුවනිද? එහෙම බැරිවීම විද්‍යාවේ වරදක්ය කියලා මං නම් හිතන්නේ නැහැ. මිනිසාට තව-තවත් සොයාගැනීමට දේවල් ඉතිරිවී තියෙන නිසයි ඒ. මෙහෙම කියමුකො.

බුදු හිමියන්ගෙන් ෂඩ් වර්ණ රශ්මි දහරා විහිදෙන බව පැරැණි බණ පොත්වල තිබුණා. 

පස්සෙ-පස්සේ තවත් අයගෙනුත් එහෙම රැස් විහිදෙන බව කියවුණා. අවුරුදු පනහක් විතර පරණ සිංදුවකුත් ඔන්නම් සාක්කි: ‘...මිහින්තලාගල දෙසින් පෙනේ ෂඩ් වර්ණ රශ්මි දහරා.......’ ගීතය ‘මාලතී ප්‍රකාශි ද මැල්’ කියන ගායිකාවගේ. හොයාගන්න ලැබුණේ නන්දා මාලිනියගේ ගැයුම විතරයි.    

නමුත් Semyon Kirlian මහත්තයා ‘කිර්ලියාන් ඡායාරූප ක්‍රමය’ හොයාගත්තට පස්සේ හෙළි වුණා සමහර අයගෙන් ඉතා දැඩිවත් තවත් අයගෙන් අඩුවෙනුත් යම්කිසි කිරණ-රැස් විහිදෙන බව. 

වඩා බලවත් පෞරුෂයක්; මානසික ඒකාග්‍රතාවක් තියෙන අයගෙන් විහිදෙන රශ්මි කදම්බ වැඩි දුරකට විහිදෙන බවත් මේකෙන් හෙළිවුණා!   

ඒ විතරක් නෙවෙයි, සජීවී; අජීවී හැම දෙකින්ම මේ කිරණ විහිදෙන බවත්!!        

කිර්ලියාන් ඡායාරූප ක්‍රමය හොයාගන්නකල් සජීවී-අජීවී දේවල් හැම එකකින්ම විහිදෙන කිරණ.............
ඔහොම අවිනිශ්චිත දේවල් කොච්චරවත් තියෙනවා. 

හරෝහරා-3’ පෝස්ටුවෙදී කියාපු ‘වල් දඹල’ කතන්දරේටත් තවම නම් මට නිශ්චිත අර්ථ කථනයක් ලැබිලා නැත්තේ අවාසනාවට.

ඉතින් කණ්ඩාගෙ රසවත් ලිපිය කියවාගෙන යනකොට හිතුණා මගේ හැඟීම කමෙන්ට් එකකින් ලියන්න බැරි බව. “ඉතින් යෝධයෝ, ලියපංකො පෝස්ටුවක්.... අරවින්ද ගැනත් ලියන්න නේද ඉන්නේ?” හිත මුරගෑවා. 

මෙච්චර දවසකට අරවින්ද ගැනත් ලියන්න වුණේ නැහැ. ඒත් අමතක වෙලා නෙවෙයි. ‘නිසි කල් - නිසි තැන්’ එළඹෙන්න ඕනිනේ.

මේ කියන්න යන අත්දැකීම මටම ලැබුණු සුවිශේෂී; අසාමාන්‍ය එකක්! 

ලැබුණු කිව්වාම අහම්බෙන් වගෙයිනෙ; ලබා දුන්නු එකක්!! 

අරුණ ඉන්ද්‍රසිංහ මහත්තයා විසින් ලබාදුන්නු අත්දැකීමක්. ඒක වුණේ අරවින්ද ඉන්ද්‍රසිංහ ‘පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්’ එකට ආවාට පස්සෙයි.

අරවින්ද, කාංචනා යුවලයි, අපේ නංගී සමන්ති හා පුතා ඩ්රූ එංගලන්තයේදී.............
කවුද හැන්ඩියෙක් ප්‍රෙස් එකට ඇවිත්, අපේ ඉස්සරහම මේසයේ හිටි රේණුකා එක්ක කතා කළා විතරයි, මනුස්සයාව මගේ ළඟට එව්වා. කලිනුත් කියල තියෙනවනේ. පොත් ගැන නං නිමල් ළඟට. 

ඉස්සෙල්ලාම මට වැදුණේ පෙනුම. ඔයාලා දන්නවනේ, මං පෙනුමට ලකුණු දෙන ‘මහීෂ නාම්බෙක්ය’ කියල. උසේ තරමට මහත; පැහැපත් පාට; පොකුටු කොණ්ඩේ; නීට් සූට් එක! ලකුණු 90%යි.

“Excuse me.... මිස්ටර් නිමල්, පොතක් ගහගන්න විස්තර ....” ඍජුව, විනීතව කළ කතාවටත් 90%යි. 

“මං අරවින්ද....” තවත් 90%ක්.

මොකෝ දන්නවද? මං අර්ථවත්, ලස්සන නම්වලටත් ආසයි; එහෙම නම් තියෙන්නේ එයාගේ අම්මලා-තාත්තලාට පින්සිද්ද වෙන්න තමයි. 

ඒත් මට ඒ බව මතක් වෙන්නේ පස්සේ. අනේ ගොනා, නිදි - මෝඩ හරකා. හොඳ නමක් තියෙන කෙනෙකුව දැක්කාම, මට හිතෙන්නේ උපදිනකොටම; මවගේ ගර්භාෂයෙන් බිහිවෙනකොටම ‘නමත්’ මිට මොලවාගෙන එනවා වගේය කියලයි!

මාර්ටින් වික්‍රමසිංහ, තිස්ස අබේසේකර, සනත් ගුණතිලක ත්‍රිත්වය නිසාත් 'අරවින්ද' අමරණීය වුණා................
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාත් අරවින්ද නම අමරණීය කළ එක්කෙනෙක්. මතකයිනේ ‘විරාගයේ’ අරවින්ද. 

ඒක තවත් සදානුස්මරණීය කළා තිස්ස අබේසේකර - සනත් ගුණතිලක දෙන්නා. ෆිල්ම් එකෙන්. සනත් ගුණතිලක හරි-හැටි නොකා-නොබී, වැහැරුණු අරවින්ද වෙන්න දරාපු උත්සාහය චිත්‍රපටය බලපු කාටවත්ම අමතක වෙන එකක් නැහැ.

“මිස්ටර් නිමල්, මේක මගේ පොඩි අයිය ලියපු පොතක්. රයිකී ගැන. පොඩ්ඩක් හොඳද බලන්නකෝ, කියවලා. ප්‍රින්ට් කළාට කමක් නැද්ද කියලත් කියන්න ඕනේ. ඔයාලා දන්නා අයනේ.”

මුලින්ම මට හිතුණේ රයිකී කියන්නේ බැල්ලියෙකු වගේ සතෙක් වෙන්න ඇතිය කියලා.

අනේ, අත් පිටපත පෙරලන කොටම දීලා තිබුණු ලකුණුවලින් සෑහෙන්න කැපීගෙන-කැපීගෙන ගියා. අත් අකුරු හොඳ නැහැ! 
කියවන්න ගත්තු ගමන් තවත් ලකුණු කැපෙන්න ගත්තා. සිංහල හොඳත් නැහැ!! 
ඒත් ‘ඡන්දයෙන්’; කැමැත්තෙන් අගතියට ගිහින් හිටි මට ඒ නොරිස්සීම එක විඩේම ‘බඃ’ ගාලා කියාගන්න බැරි වුණා; තැන්පත් විදිහට බලා හිටි අරවින්දගේ මුහුණටම!

එතකොට තමයි ෂෝන් කොනරිට වෙච්ච දේ වගේ දෙයක් වුණේ........
ටිකාක් වෙලාව ගන්න ඕනි නිසා පොඩ්ඩ දුරක් කියවාගෙන ගියා. ෂෝන් කොනරිට වෙච්ච දේ වුණේ එතකොට.

(මේ ටික වලංගු වෙන්නේ මගේ මතකය හරි නම් විතරයි. හොඳේ.) 

1962 තිරගත වුණු Dr. No චිත්‍රපටයේ පළමු ජේම්ස් බොන්ඩ් වුණේ Sean Connery. චරිතයට තෝරාගන්නා සම්මුඛ පරීක්ෂණයෙදී ෂෝන්ව චිත්‍රපටය හදන අයගෙ හිතට අල්ලලා නැතිලු. එතැනින් පිටත්වී යන්නට සෑහෙන දුරක් ඇවිදගෙන යන්න තිබුණාලු. 

ඉතින් පරීක්ෂක මණ්ඩලයට පිටුපා ෂෝන් ඇවිදගෙන යන උජාරු ගමන දැකලා, ඔහුව නැවත කැඳවා film එකට තෝරාගත් බවයි එවක ප්‍රසිද්ධ වුණේ. එයාට කොරිඩෝව දිගේ දිගු දුරක් ඇවිදගෙන යන්නට නොතිබිණි නම් ......

ඒ වගේ, කල් මරන්නට ඕනි නිසාම, අරවින්දගේ අත් පිටපත කියවාගෙන යද්දී මගේ කුතුහලය වැඩුණා.... රයිකී!

රයිකී සතෙකු නෙවෙයි. ගහක්- ගලක්- වස්තුවක් වගේ දේකුත් නෙවෙයි! ශක්තියක්.... විශ්වය පුරා විසිර-පැතිර තිබෙන ශක්තියක්. මේ පෝස්ටුව කියවන මොහොතේත් ඔබ වටා ගැවසෙන ශක්තියක්.... 

ඒත් අපට එකෑවරම ඒ ශක්තිය දැනෙන්නේ නැහැ. පෙනෙන්නෙත් නැහැ. එහෙනම්...?

රයිකී කියන්නේ මේ මොහොතේත් ඔබ වටා විසිරී-විහිදී අනන්ත විශ්වය තෙක්ම...........
හොයන්නේ නැතිව කොහොමද හම්බ වෙන්නේ. උවමනාවෙන් බලන්නේ නැති නම් කොච්චර දේවල් අපට නොපෙනී මඟ හැරිලා යනවද?  

“පහුගිය ලිපියෙ වාලුකා කුසුම හෙවත් වාරීස්ගෙ කතාව ඉදිරිපත් කරාට වාරිස්ට ඒ නම් දුන්න හැබෑම වාලුකා කුසුම එහෙමත් නැති නම් Desert Flower/ Rose කියන්නේ මොන වගේ එකක්ද කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ.
ඇත්තටම කිව්වොත් අදහසක් තිබ්බ නමුත් ඒ තිබ්බ අදහසත් වැරදි නිසා තමයි මුළු ජංජාලය පුරාම බැලුවත් හොයාගන්න ලැබුණේ නැත්තේ.” 
මෙහෙම වෙලා තිබුණේ රංගන කණ්ඩම්බිට.

කාලෙකට ඉස්සර මාත් ඔය පරිවර්තනය කියවලා තිබුණත් ‘කාන්තාරයේ කුසුම’ තේරුම් අරන් හිටියේ වැරැදියටමයි.

යාන්තම් හය-හතර තේරෙන්නත් ඉස්සෙල්ලා, ආච්චිත් එක්ක ‘පූජේමි බුද්ධං කුසුමෙන නෙන’ කියන දවස්වල හිටන්ම අපේ ඔළුවේ තියෙන්නේ ‘කුසුම’ කියන්නේ මලට කියලනේ. 

ඔන්න ඉලන්දාරි කාලේ එනකොට තවත් අදහසක් ඔළුවට එනවා. කාන්තාවනුත් මලක් වගෙයි, ලස්සනයි පියකරුයි කියලා. 
ඔය පාට කන්නාඩිය දාගෙන නේද අප ලෝකය දිහා බලන්නේ? ඉතින්, එහෙම බලනකොට කොහෙද වෙනින් මල්; ස්ඵටික කුසුම් පෙනෙන්නේ?

රෝස මලක හැඩය ගත මේ අපූරු ස්ඵට්ක කුසුම හෙවත් වාලුකා කුසුම........
“රෝස මලක හැඩහුරුකම සහ අපූර්වත්වය කැටි උනත් ශාකමය නොවන මේ ස්වභාධර්මයේ අපූරු නිර්මාණ හැබෑවටම ගත්තම වැලි හා මිශ්‍රවූ ජිප්සම් හෝ බැරයිට් ස්ඵටික (Gypsum/ Baryte Crystals). සහරා සහ නැම්බියානු කාන්තාර ප්‍රදේශවලින් බහුලව හමු උනත් එම ලක්ෂණම ඇති ලොව අනෙකුත් කාන්තාර ප්‍රදේශවලිනුත් මෙවැනිම වාලුකා කුසුම් හමුවන බව වාර්තා වෙනව.” 
කණ්ඩාගෙ කීම හොඳටම පැහැදිලි වෙනවා එයාගෙන්ම උපුටාගත් වාලුකා කුසුම් පින්තුර බලනකොට.

“නමුත් කතාව එතනින් ඉවර නැහැ.නොනැවතී මේ විස්තර හොයනකොට මේ වාලුකා කුසුම් සම්බන්ධ මිත්‍යා විශ්වාස කිහිපයක් දැනගන්නට ලැබුණ. (කණ්ඩාට ඒ ගැන සත පහක විශ්වාසයක් නැහැ. මේ වගේ ඔප්පු කරන්න බැරි හිතළු ගනින්න බැරි තරමට තියෙනව).

-විවිධ මත අතර වාලුකා කුසුම් පරිසරයේ තියෙන කැළඹීමකට ලක් උන විශ්ව ශක්තිය උරා ගන්න නිසා නිත‍ර කලබල හෝ ආතතියෙන් පෙළෙන උදවියට තමන් ඉන්න තැන්වල තියාගන්න කියල කියනවා. හැබැයි හරියටම කොහෙද තියාගන්න ඕන කියල නැහැ. ඒ ටික ඔයාලම හිතාගන්නකෝ.”  

ඔන්න ඕකයි රජෝ 'නිදි'ගෙ හිතට වැදුණු පොයින්ට් එක ..... විශ්ව ජීවන ශක්තිය.........
ඔන්න ඕකයි රජෝ නිදිට වැදිච්ච තැන, විශ්ව ජීවන ශක්තිය. 

මෙතැනදී නම් මං කණ්ඩම්බි මහත්තයට වඩා ගතානුගතිකයි; සාම්ප්‍රදායිකයි කිව්වත් කමක් නැහැ. (පෙනෙන විදිහට කණ්ඩා මටත් වැඩිය නසරානියෙක්!)

“මොකක්ද අරවින්දලගේ අයියා කියන මේ විශ්ව ශක්තිය?”

“මම නම් ඒ ගැන දන්නේ ටිකයි, නිමල් අයියේ. අපේ අයිය රයිකී උගන්වන මාස්ටර් කෙනෙක්. ඒක ජපන් මෙතඩ් එකක්..... 
-universe එක පුරාම විසිරිලා තියෙනවලු එකම ශක්තියක්.... හරියටම ඒක එකතු කරගන්න පුළුවන් නම්, ඒකෙන් ගොඩක් වැඩ ගන්න හැකියිලු.
-තවම ලංකාවේ වුණත් මේ ගැන දන්නෙම නැති තරම්..... ඔය පොත ගහන්න හදන්නෙත් ලංකාවට රයිකී අඳුන්වල දෙන්න!”

අරවින්ද ආපහු ගියේ දවස් දෙක-තුනකින් ආපහු එන බව කියලාය. ඒ එන්නේ පොත ගැන මගේ නිර්දේශය දැනගන්නටය. 

“මට නිමල් අයියව විශ්වාසයි. වෙනින් කොපියක් නැති වුණත්, script එක තියල යන්නම්. ඔයා කියවලා අපිට කියන්නකෝ කරන්න ඕනේ මොනවද කියලා. දවස් දෙක-තුනක් ඇති නේද ඔයාට ඕක කියවන්න? .....
-ම්ම්ම්ම්ම්ම් එක්කෝ මෙහෙම කරමු. 
දැකලා, කතා කරලා එක දවසෙන්ම ඔයාට dead line එකකුත් දෙන එක මහ ජරා වැඩක්නේ. නිමල් අයියා ලෙෂර්ලි වෙලාව අරන් කියවලා ඉවර වුණාම මට call කරන්න..... 
එතකොට මම එන්නම්.”

ජපන් බසින් reiki කියන්නේ විශ්ව බල ශක්තියටය!
මගේ පොත් කියවීමේ රටාව හා වේගය ගැන අරවින්ද දන්න එකක්යැ? අනෙක හදිසියකුත් නැහැනේ. ඒත් ඒ ගැන නොකියා, මම ඔහුට එකඟ වීමි.

“ජපන් බසින් රයිකී යනු විශ්ව බල ශක්තියයි. මිහිමත ඇති  සියලුම දේ; තුරුලතා - සත්ව - මිනිස් සංහතීන් ඇතිවීමට, බිහිවීමට හා වැඩී වර්ධනය වීමට මෙන්ම පැවතීමටත් ශක්තියක් අවශ්‍යය. 
-එක එල්ලේ අපට නොපෙනෙන, අප නොදකින මේ ශක්තිය විශ්වය පුරාම විසිර පවතී.......

....විශ්ව බල ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට සහජයෙන්ම අප ලබන හැකියාව ජීවිතාරම්භයේ සිටම ක්‍රමයෙන් සැඟව යන්නට පටන් ගනී..........

.... රයිකී මඟින් කෙරෙන්නේ ඔබ සතුව ඇති, එහෙත් ඔබ නොහඳුනන ශක්තියක් ඔබට හඳුන්වාදී එයින් පල ලැබගන්නා අයුරු ඔබට වටහාදීමයි.”

සොක්‍රටීස් විද්වතාට වගේ මටත් ඒ ලියවිල්ල කියවා ඉවර වෙන තුරුම...............
එදා රාත්‍රියේම අත් පිටපත කියවන්නට ගත්තේ, ටිකක් විතරක් කියවලා ඉවරවී නිඳාගන්නයි. ඒත් මුලින්ම තිබුණු ටික දකිනකොට කියවීම  නවත්තන්න හිත දුන්නේ නැහැ, කුතුහලය නිසා. පොතත් මහ ලොකු එකක් නෙවෙයි; පොත් පිංචක්! දිගටම කියෙව්වා.

හැබැයි මේ පොත මේ තියෙන විදිහට නම් කීයටවත් ගහන්න දෙන්න බැහැ. 

අරුණ; අරවින්දගේ අයියා නෙදර්ලන්තයේම ඇටුවන් බැහැපු කෙනෙකු වෙන්නැති. 
ලියලා තියෙන සිංහලවලින් පෙනුණේ එහෙමයි. 
ඒත් අපේ එවුන්ට වැඩිය හොඳයිනේ. මට හිතුණා.

අපේ අම්මා එංගලන්තෙට ගියේ ඉංග්‍රීසි නොදැන. නංගිලා දෙන්නයි, මල්ලියි වුණත් එහෙමයි. ඒ රටේ ඉගෙනගත්තු නිසා ඉංග්‍රීසියෙන් වැඩ කරන්න වුණාය කියමුකො. 
ලංකාවේම හතර දෙනෙක් එකට ඉන්න ගෙදරදී වුණත් සිංහලෙන් නෙවෙයිද කතා කරන්න ඇත්තේ? අපේ යකුන්ගෙ සිංහල සේරටම හපන්නේ!

මගේ ටෙලිෆෝන් කෝල් එක දීලත් දවස් ගණනකට පස්සෙයි අරවින්ද ආවේ. 

නිකම්මත් නෙවෙයි, සමාවට කාරණායි- ලියුමකුයි වඩම්මාගෙන. ලියුම එයාලගෙ අයියාගෙන්; මට.

අවුරුදු විසිපහක් විතර වෙන දඬුමානෙකුට බාල-ළදරු-ටිකිරි මල්ලී කියද්දී.............
සම්ප්‍රදායික ස්තුතියක්. හැබැයි මල් හතේ සිංහල. (මෑතක් වෙනතුරුම ඒ ලියුම මගේ ළඟ තිබුණා. කොහාට වෙලාද මන්දා.) 
ඒ වෙලාවේ මට හිනා ගියේ ඉන්නේ ඔෆිස් එකේ බවත් අමතක වෙලා! 
එහෙම හිනාවෙන වේලාවකදී මට බ්රේක් නැහැ!

අඩි හයක් විතර උස, අවුරුදු විසිපහකටත් වැඩියි වගේ පෙනුණු දඬුමානෙකුට - 
කැම්පස් ගිහින්, ඩිග්‍රිත් ගහපු- 
රස්සාවකුත් කරන (එතකොටත් අරවින්ද කටුනායක එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක්) මිනිහෙකුට දාලා තිබුණු විශේෂණ පද නම් මැරෙන තුරුමත් මට මතක තියෙනවා ෂුවර්.)

“නිමල් අයියේ, මේ ලියුම අරගෙන එන මගේ බාල ළදරු ටිකිරි මල්ලී අරවින්ද ඔයා ගැන ගොඩක් හොඳ කිව්වා. හරිම කරුණාවෙන් help කරලා පොත අච්චු ගහන්න....”

අරවින්ද මං හිනාවෙන දිහා බලාගෙන හිටියේ මොකවත් තේරුම් ගන්න බැරිව. 

‘බාල- ළදරු- ටිකිරි’ A to Z කියලා දුන්නාමයි මිනිහටත් හිනා ගියේ. ඉතින්....... Reiki- විශ්ව ජීවන ශක්තිය ගැන වචන 1660කින් කියතහැකියැ. 

ඉර හඳ වගේ අපට බලපාන reiki ගැන වචන 1600කින් විතර කොහොමද කියන්නේ?
ඒ අස්සට desert rose එකයි අරවින්දයි දෙකත් ඈඳිලා.... 

'තව ටිකාක්' විතර තියෙන නිසා ඊළඟ සතියෙම ඉතිරි ටික කියවමු, හොඳේ! 

'තව ටිකාක්'...... දැන් නම් රසික ඔයාලා දන්නවනේ පිස්සු මගේ විදිහ කොහොමද කියලා. එහෙම කියන්න  හිතුණේ ඊළඟ පෝස්ටුවෙන් රයිකී කතාව complete කරන්න හිතාගෙන හිටියත්, කොච්චර වේවිද කියලා තවම කිසිම අදහසක් නැති නිසයි! 

Thursday, August 29, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - පහළොස්වෙනි කොටස

මඩවිට පටබැඳිගේ සිරිසේන මුදලාලිගේ මතම යැපෙන්නේ නැතිව ඉන්නට නම් අනෙක් ගැනුම්කරුවන්ටත් අප හදන බතික් රෙදි දෙන්නට වෙයි. එහෙම  දුන්නත් ඒවා දැකපු ගමන් හඳුනා ගන්නට හැකිය. මේ ප්‍රශ්නයට විසඳුමක් රසික ඔබෙන් ඇහුවේ පසුගිය කොටසේ අගදීය.

මෝස්‌තර වර්ග ගොඩක් හදලා, කට්ටියට වෙන-වෙනම...........
Char රසිකයා කමෙන්ට් එකකින් කියන්නේ “මෝස්‌තර වර්ග ගොඩක් හදලා කට්ටියට වෙන-වෙනම  දුන්නා.” කියලාය. උත්තරයේ බාගයක් නිවැරැදිය.

අපේ මල්ලී සුනිලුත්, ලොකු නංගී පුෂ්පා රංජනී හෙවත් නෝනාත් මෝස්‌තර අඳින්නට ආවේ එතැනදිය. බිත්ති සැරසිලිවලට නොවේ; ඇඳුම්වලටය. 

ඒවා wax කෙරෙව්වෙත් වෙනමම ළමයින්ට දීලාය. ‘වොල්හැඟින්ස් වුණත් එහෙම කරමු, අලුතින් අන්දවාගෙන....’ එහෙම කළාම සෑහෙන දුරට ප්‍රශ්නය විසඳාගන්නට හැකිවිණි.

(මට හිතෙන විදියට, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුවෝ) දෙතුන් දෙනෙක් ඒ වෙද්දී අපට චිත්‍ර ඇඳගෙන ආවෝය. දැරණියගල පැත්තේ තරුණයෙකුවූ කරුණාදාසත් ඒ දිනවල අපේ ගෙදරම නැවතී චිත්‍ර අඳිමින් උන්නේය.

සිසුවෝ කිහිප දෙනෙක් ඒ දිනවල චිත්‍ර ඇඳගෙන අපේ වැඩපොළට.........
හදන රෙදි ගෙනියන එකටත් උපමාරුවක් යොදා ගන්නට වුණේය. ඔබේවංශ මුදලාලි අපේ ගෙදරටම ඇවිත් බතික් ගෙනියන්නට කැමැත්ත දුන්නේය. එයින් ඇතිවුණු හිතවත්කම නිසාමය, ඊට කාලෙකට පස්සේ දියවින්නේ මැණික් ගරන්නට ගිය ගමනට එයාත් අපේ හවුල්කරුවෙකු වුණේ! 

“ඒ ප්‍රශ්නෙත් හරි! කාන්ති අක්කලාගේ කඩේ බෙන්තොට පාලම පැන්න ගමන්ම හම්බවෙන නිසා ලේසියි. එහාට ගෙනියන ඒවා වෙනම ඔතාගෙන ගියාම හරිනේ.” සුනිල් කිව්වේය. රෙදි රැගෙන යන ගමන්වලට වැඩියෙන්ම යැවුණේ එයාවය. ඒත්.......

“අනේ ළමයෝ, රෙදි අරගෙන ඔය ළමයාම එනවා නම් හොඳයි! මට නම් සුනිල්ව දිරවන්නෙ නැහැ.” බෙන්තොට මුදලාලි දවසක් කිව්වාම තවත් ප්‍රශ්නයක් පැන නැංගේය.

අපේ සුනිල් මට හාත්පසින්ම වෙනස්ය. 

මට වඩා හිත හොඳ වුණත්, මිනිහා සුදෙන් අඩුය. හිනාවෙන් තොරය. කතා-ලතාව ටිකාක් විතර පොල්ලෙන් ගහනවා වගෙය. උත්පත්තියෙන්ම වගේ මට ලැබී තියෙන්නේ හිනාවේගෙනම ඉන්නා ගතියකි. අපේ අම්මාගේ රූපශ්‍රීයෙන් ටිකක් මටත් ලැබිලාය! 

සුනිල් ගිහින් තියෙන්නේ තාත්තාගේ ආරෙටය.
අපේ අම්මාගේ රූපශ්‍රීයෙන් ටිකාක් විතර මටත් ලැබීලාය!
බෙන්තොට මුදලාලිට විතරක් නොවේ; ඉස්කෝලේ යන කාලේ මටත් සුන්නාව පේන්නට බැරිය. මතකයිනේ, අසමජ්ජාති මං අපේ පන්තියේ ළමුන් ලවා සුන්නාට  ‘උලමා’ කියෙව්වා.

“කරන්න දෙයක් නැහැ, රංජි. ඒ මනුස්සයාගේ බඩු ටික ගෙනියන දවසට උඹම බෙන්තොට ගිහින් වරෙන්.” අපේ තාත්තා කිව්වේය. එහෙම බෙන්තොට ගිය ගමන් මතක් වෙද්දී හිනහත් එයි. සමහර දවසකදී මං ආපහු ආවේ බඩේ ‘සර්ප බෝම්බ’ බැඳගෙනය!

එතකොට Highway තිබ්බේ නැත. මහරගමින් දෙහිවලට ගිහින්, එතැනින් අලුත්ගමට බසයක..... එතැනින් තව එකක බෙන්තොටට. උදේට ගියාම සමහර දවසකට එන්නේ රෑ හත-අටත් පහුවෙලාය. මා නිදිකුම්බයකු බව දැනටමත්  ඔයාලට රහසක් නොවේ. 

උදේට යද්දී දත කාගෙන නොනිදා ගියත්, හැන්දෑවට එන ගමනේදී නම්, බසයේ හිටගෙන ආවත් මට නින්ද යයි. ඉතින්....

දවසක් බුදුහාමුදුරුවන් වහන්සේත්, ආනන්ද හාමුදුරුවන් වහන්සේත් වඩින අතරේ පාර අයිනේ තිබුණු වටිනා වස්තුවක් දැක්කාලු. ‘ආනන්දය, සර්පයා දුටුවෙහිද?’ කියලා එවිට බුදුන් වහන්සේ ඇසුවේල.

බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් 'ආනන්දය සර්පයා....
බෙන්තොට ඉඳලා එන ගමනේදී මා එන්නේ සෑහෙන මුදලකුත් අරගෙනය! සමහරදාට රුපියල් හැට-හැත්තෑදාහක් පවා. 

ඒ කාලේ තිබුණු ලොකුම මුදල් නෝට්ටුව රුපියල් සීයයි. 50,000/-ක් වුණොත් නෝට්ටු 500කි. “උඹේ මර නින්දත් එක්ක සල්ලි බෑග් එකක දාගෙන ඇවිදින් කෙළවාගන්න එපා. ඉනේ ගැටගහගෙන වරෙන්.” උපායක් කිව්වෙත් තාත්තාමය.

ඉතින් ගෙදරින් යද්දීම පොලිතින් බෑග් ටිකකුත් අරගෙනමය, මං යන්නේ. 

නෝට්ටු මිටි නිකම්ම බඩතුරේ ඔබාගත්තොත් පහුවදාට ඒවා වේළාගන්නට වෙයි. ඒ මට නොසෑහෙන විදියට දමන දහදියෙන් ඒවා පෙඟෙන නිසාය. 

ඉතින් නෝට්ටු මිටි ගොඩවල් දහයකට විතර බෙදාගෙන, පොලිතින්වලින් දවටා, යට ඇඳුම වටේට අසුරා, පටියකිනුත් ගැට ගැහුවාම Rambo වගෙය. රැම්බෝ බඩේ බැඳගන්නේ පතරොම්- බෝම්බ වගේ දේවල්ය. මං? සල්ලි මිටිය!

බුදු හිමියනුත්, රැම්බෝත් එකට ඈඳලාය, මං සර්ප බෝම්බ බඩේ බැඳගෙන ආ බව කීවේ.

Rambo බැඳගෙන එන්නේ බෝම්බය..............
මේ දවස්වල ජනාධිපති අපේක්ෂකකම ලබාගැනීමට යුද වැදිලා සිටින අපේක්ෂක මහත්මයෙක් එක වාගේම ‘බුද්ධිමත් කතන්දර ගොඩාරියක්’ කියයි. “මං දිනුවාම වෙලාවකට නොකා-නොබී-නොනිඳා වැඩට කැපවෙනවා!” 

අනේ මෙහෙම මොළයක්.........

පරහිතකාමී ගෞතම බුදුරජාණන් වහන්සේවත් ඔහොම කැපවුණේ නැත. 

විද්‍යාඥයන් කියන විදිහට නම් උපරිම ශක්තියෙන් වැඩ කරන්නට නම් නිසි පරිදි පෝෂණය ලැබිය යුතුය. විවේකය නින්ද ලැබිය යුතුය. හරි-හමන් නින්දක් නැති වුණාම මොළය නිසි විදියට වැඩ කරවන්නේ කොහොමද? 

කාලය කළමනාකරණය කරගන්නවාය කියන්නෙත් ඒකටම නේද? සම්පත් කළමනාකරණය කියන්නේ ඒකට නේද?

මා මෙව්වා කියන්නේ අත්දැකීමෙනි. අර විදියට දහස් ගණනින් සල්ලි ගෙනාවත් ඒවා හරි-හමන් විදිහකට වියදම් කරනවාද, ආයෝජනය කෙරෙනවාද කියන එකක් මං හෙව්වේ නැත. ඒවා හෙවිය යුතුයැයි කියලා හිතුවෙවත් නැත. 
රෑ දවල් නැතිව වැඩ කෙරුවා විතරය. අනේ හරකා!

නොකා නොබී නොනිඳා වැඩ කරන එක මෙලෝ මනුස්සයෙකුට කළ හැකි කෙරුවාවක්ද?
ඒ අතරවාරයේ ගෙදර අපායක් වෙන්නටත් පටන් ගත්තේය. තාත්තාගේ බීමත්කම නප්පියටම වැඩි වුණේය; බැන අඬගැසීම් ඉහවහා ගියේය. බීගත්තාම හරිම සාමකාමීව ‘කරණීය මෙත්ත කුසලේන.............’ කියාගෙන පිරිතෙන් පටන් ගන්නා තාත්තාට ටික වෙලාවක් යද්දී පාර වරදියි.

‘ඩඩ්ලි නෙවෙයි නං, සිරිමාට..... අම්මේ... ගුණපාලල අම්මේ, අම්මට ශ්‍රී ලංකා එක ලොකු වුණා....ලොකු මුනුබුරා unp එකෙන්  ඡන්දේ ඉල්ලුවත් අම්මගේ ඡන්දේ දෙන්නෑ කිව්වා නේද එහෙනං.....’ 
දේශපාලනයට බහින; පරණ කෝන්තර ඇදගන්නා තාත්තා ඉක්මනින්ම කුටුම්බයට එයි.

“අනේ huකේ, උඹට එහෙනං මාව එපා වුණා ලීලා.... පර ##@#, අම්මට @#$%$#@.... යකෝ, තෝ දන්නවද මේ ගුණයා....”

අන්තිම හරිය තිත්ත කුණුහරුපය. අහගෙන ඉන්නම බැරි දවසට විතරක් අපේ ආච්චීත් කට අරියි. ඒ කඳුළුත් පෙරමිනි.

“අනේ අම්මේ මගේ පූරුවේ කරුමෙකට තමයි තෝ වගේ අසික්කිත බල්ලෙක් මගේ කුසෙන් වදන්න වුණේ. කෑවා බිව්වා නං ඒ විදිහට වැටිලා නිඳාගනින්කො පරයෝ! රට්ටු හිනස්සන්නේ.... අම්මගෙ රෙද්දෙ ඡන්දේ. තොටම ජාතක වෙච්චි එවුන්ට නේද, තෝ මේ තිත්ත කුණුහබ්බ උගන්නන්නේ.... අනේ දෙයියනේ මේවා නොපෙනෙන්න ඉක්මනටම මාව මේ ලෝකෙන් තොලොංචි වෙලා යනවා නං.”

එයා වැටී හිටි තත්ත්වය තේරුම්  ගැනීම මට නං එච්චර අමාරු වුණේ නැත.
එච්චර දේවල් වෙද්දී වුණත් තාත්තා ගැන මට තිබුණේ අනුකම්පාවකි. එහෙම වුණේ එයා වැටී හිටි තත්ත්වය මගේ වැටහීමේ හැටියට මා තේරුම් ගත් බැවිනි.

දිසානායක හේවගේ ගුණපාල බෙහෙවින් සමාජශීලී පුද්ගලයෙකි; පිරිස් ඇසුරට හුරු වූවෙකි; ආධිපත්‍යධාරීව නායකත්වය දැරූවෙකි.  එසේම ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝනය වැඩියෙන් වහනය වන්නෙකි. 
එනිසාම විය යුතුය- ඔහු කාන්තා ඇසුරට ලොල්, බිරියට ආශක්ත වුණු මිනිහෙක් වුණේ.

ත්‍රොම්බෝසිස් අසනීපය නිසා අතපයේ ඇඟිලි එකින් එක අහිමි වෙමින් යද්දී.... සැත්කම් තිහ-හතළිහත් පනිද්දී...... අනුන් මත යැපෙන්නට වෙද්දී.... බිරියගෙන් පිළිකෙව් වෙද්දී.....

එහෙම මිනිහෙකුට මොනවා හිතෙන්නට පුළුවන්ද? අභිමානය පලුදු වීම.......!

ඒ සේරටමත් වඩා තාත්තාට උහුලන්නට අමාරු වෙන්නට ඇත්තේ මා පිටතින් පෙන්වූ උපේක්ෂා සහගත බවයි. 
මිනිහෙකුට හොඳටම රිද්දන්නට නම් කළ යුත්තේ ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම්-ඇනුම්-බැණුම් කිසිවක් ගණනකට නොගෙන; නොතකා හැරීමය. 
ඒ පාඩමේ සත්‍යතාව අවබෝධ කරගෙන හිටි මම අභ්‍යන්තරයෙන් යක්ෂයෙක් වෙද්දී - පිටස්තරින් මුනිවරයෙක් වීමි! 

ඇත්තම කිව්වොත් ඒ, තරහින් දැවෙමින් හිටි නිසාමය!!

තරහෙන් පිපිරෙමින් වුවද එය පිටතට නොපෙන්වා, මුනිවර ඉවසීමකින් යුතු මුහුණක් මවා පෑමට මම සමත් වීමි! 
අනෙක් අතට තමන්ට මොනවා හිතුණත්, අපේ තාත්තා ඒවා පාලනය කරගන්නට දැනගෙන හිටියේ නැත; ඒවා අනුන් පිටින් යවන්නට තැත් කළේය. එයින් වුණේ අපේ ජීවිත හරිම වේදනාකාරී; අසහනකාරී වකවානුවකට එළඹීම පමණි!

එකම සැනසිල්ලකට තිබුණේ බතික් වැඩපොළේ ගැහැනු ළමුන් ඉන්න වෙලාවලට තාත්තාගේ විසූකදස්සන නොපැවත්වීමයි. 

වැඩ වැඩි කාලයට සමහර ගැහැනු ළමයි අපේ ගෙදරම නැවතිලාත් සිටියෝය. 
ළඟපාත අය නම් රෑ දහය-දොළහ වෙනතුරු වැඩ කොට ගෙවල්වලට ගියහ. 
අපේ තාත්තා බිව්වත්, එහෙම කාලයට ඝෝෂා කළේ නැත!

ඒවා විශ්ලේෂණය කොට මම එක කරුණක් උගත්තෙමි. 

බොන මිනිසුන් මොන පිස්සුවක් කෙළියත් ඒ 100%ක්ම අසිහියෙන් නම් නොවේ! බිව්වාම කළ-කී දේ මතක නැතැයි කියන්නේ පට්ට බොරුවකි.

බීගත්තාම කළ-කී දේ මතක නැතැයි කියන්නේ පට්ට බොරුවකි!
“රංජි.... උඹටම කැපෙන ගෑනු ළමයෙක් ගැන ඔත්තුවක් ලැබුණා. ගිහින් බලමු.” දවසක් අපේ තාත්තා කිව්වේය. මං බැලුවේ කෙටි ප්‍රශ්නයකින් උත්තරදී ලිස්සා යන්නටය. ‘පිස්සුද?’

“පිස්සුද කියන්නේ. අද හෙටම බඳින්න ඕනේ නැහැ. බලලා හරි යනවා නම් තීන්දු කරලා කාලයක් යනකල් ඉන්න එකනේ තියෙන්නේ.” 

තාත්තා මට ගැලවෙන්නට දුන්නේ නැත. 
“බෝගහවත්තේ... පන්නිපිටියෙනේ... මහා දුරක්ය. වෙලාවක යන්න දාගන්නවා... මං මැරෙන්න කලින් උඹව හරි.....”

“තාත්තා බැන්දෙත් ආච්චිලාගේ ඕනෑවට නෙවෙයිනේ. තාත්තගේ ඕනෑකමට යාළුවෙලානේ. මාත් මට හරියන කෙනා හොයාගන්නම්. අපිටත් ඒ නිදහස ඕනෑ. නැතිනං ඉතින් මිනිස්සු කියාවි අපි නොට්ටිගෙ පුත්තුය කියලා....” 

මං විහිළුවකුත් කතාවට එකතු කළත් තාත්තාට හරි ගියේ නැත.

උඹේ ලොකු මල්ලිම තෝරා ගන්නවා වේසාවියක්. උඹ එයාව මේ ගෙදරට ගෙනෙන්න දෙනවද?
“මේ තාත්ත පණ පිටින් ඉන්නකම් ඒවාට නං ඉඩ ලැබෙන්නේ නැහැ පුතෝ. අන්න ඒක මතක තියාගනින්.”

එදා නම් අපේ කතාව ඇවිළීගෙන ගියේය. 

“තාත්තා මොනවා කිව්වත් මම නම් කියන්නේ කෙනෙක් කසාදෙට තෝරාගන්න ඕනේ තමන්ට ඕනේ කෙනෙක්ව මිසක් අනුන් තෝරලා දෙන කෙනෙක් නෙවෙයි කියලයි. තමන්නේ ජීවිත කාලයක් ඒ මනුස්සයා එක්ක ගෙවන්නේ.”

“එතකොට කවදා හරි දවසක උඹේ නංගිලා මල්ලිලාත් තම-තමුන්ට ඕනේ අයව තෝරාගත්තොත් උඹ ඒකටත් හා කියනවද?”
“ඔව්!”

“යකාගේ වැඩක්නෙ යකෝ! හොඳයි, සුනිල්ම කියමුකො. තෝරාගන්නවා වේස ගෑනියෙක්. උඹ ඉඩ දෙනවද වේසියෙක්ව මේ ගෙදරට ගෙනෙන්න. අනික් එවුන්ට ලජ්ජා වෙද්දී?”

මගේ තීන්දු බලෙන් කාටවත් පටවන්න..............
“එහෙම වෙලාවක් ආවොත් නං තාත්තේ, මං මගේ අදහස කියනවා මිසක් මගේ තීන්දු බලෙන් එයා පිටේ පටවන්නේ නැහැ. ඒ ගෑනි අපට නොගැළපෙනවා වුණත්, සුනිල්ට හොඳ නං ඒ කසාදෙ කරගන්න අරිනවා. 
හැබැයි ඒකෙන් අනික් අයට ලැජ්ජාවක් වෙනවා නම් මං කියාවි- අපේ ගෙදරට එක්කගෙන එන්නේ නැතිව උඹේම තැනකට එක්කගෙන පලයන්- කියලා එච්චරයි!”

තාත්තා හිතන්නට ඇත්තේ එතකොටත් මං හිටියේ හයේ පන්තියේ කියලාය. 

කථික තරගයට යන්නට තාත්තාගෙන් කරුණු අහගත් පුත්තරයාමය කියලාය. 
ඒ ඊට හය-හත් අවුරුද්දකට කලින් බව තාත්තාට අමතක වෙන්නට ඇත. 

අදටත් හුඟක් දෙමවුපියන් ඒ වගෙය. දරුවන්ගේ කරදඬු උස-මහත් වෙද්දී, දරුවන් මෝරද්දී ඔවුන්ට නිදහස දෙන්නට දෙමවුපියන්ට හිතෙන්නේ නැත.

අපේ නංගිලාගේ-මල්ලිලාගේ දරුවන් සමඟ පවා මට නම් ප්‍රශ්නයක් නැත. දෙමවුපියන් සමඟ කටයුතු කරනවාට වඩා පහසුවෙන්  ඔවුහු මා සමඟ කටයුතු කරති.

ඒ ඒ වයසට ගැළපෙන පරිදි දරුවන්ට වුණත් නිදහස දෙන්නට ඕනෑය!
ඒ මා වයසට ගැළපෙන විදිහට ඔවුන් හා ඇසුර කරන බැවිනි. ඔවුන්ට ගරු කොට- ඔවුන්ට තීරණ ගන්නට ඉඩදී- ඔවුන්ගේ දෙපයින් නැඟී සිටිය යුතු යයි කියන බැවිනි. 
ඒ වයසේදී මට දැනුණු-හැඟුණු විදිහට ඔවුනටත් දැනෙනු-හැඟෙනු ඇතැයි උපකල්පනය කරන බැවිනි.

ඉතින්, හැරුණු තැනට ආපහු ගියොත් මම බෝගහවත්තේ මනාලිය බලන්නට ගියෙමි. 

ඒ තාත්තාට අවනම්බුවක් නොවෙනු පිණිසය. “මං ඒ මිනිස්සුන්ට කියලයි තියෙන්නේ උඹත් එක්ක එනවය කියලා.” තාත්තා අන්තිම තුරුම්පුවත් ඇද්දේ එහෙම කියමිනි.

“එහෙම නම් යමු. හැබැයි අපරාදේ... ඒ මිනිස්සුන්ගෙ සල්ලි. බලන්න එන්නම් කිව්වේ තාත්තා බොරුකාරයෙක් වෙන එක නවත්තන්න. නැතිව මඟුලට කැමති වෙලා එහෙම නෙවෙයි ඕං!”

ඒ මා බලන්නට ගිය දෙවෙනි මනාලියයි. 

එහෙම කිව්වාම අවුල් වගේ වුණත් ඇත්ත ඒකය! මා පළමු මනාලිය බලන්නට ගියේ unofficially විදිහටය. ඒකත් මට නොවේ; ලොකු මාමාටය; රහුබැද්දේ විදානෙලාගේ වික්‍රමසූරියටය. 
බදුල්ලේ සීයාගේ මල්ලිගේ; කඩේ සීයාගේ (විනයවර්ධනකාරයෙකුවූ ඔහු මියෙන තුරු නිඳාගත්තේ  මිනී පෙට්ටියකය. මගේ වේලාපත්කඩය බලා කසාද පළ නැතැයි කිව්වෙත් ඔහුය.) පුතාටය.

කඩේ සීයා මැරෙන තුරුම හාන්සිවී විවේක ගත්තේ; නිඳාගත්තේ කඩේම තියාගෙන හිටි මිනී පෙට්ටියේය.
එතකොට ලොකු මාමා ගලේවෙල විදුලි ඉංජිනේරුවකු ලෙසින් වැඩ කරමින් හිටියේය. 

“බාස් උන්නැහේ, මේ අපේ මල්ලිට හොඳ තැනක්    එහෙම තියෙනවද බලනවකො!” ලොකු මාමා ඇවිත් ඉන්න වෙලාවක අපේ ගෙදරට ගොඩ වැදුණු බාස් උන්නැහේට තාත්තා කිව්වේය. (අනේ කුරුලු කූඩුවලට පෝස්ටුවෙදී කියවුණේ මේ බාස් උන්නැහේ ගැනය.

අපේ බතික් වැඩපොළේ පාන් කෑමේ තරගයෙන්  සෝමවීරව පැරැද්දූ වජිරා මොහුගේ දෙවෙනි දියණියයි!)

දවස් දෙක තුනකින්ම බාස් උන්නැහේ මඟුල් ඔත්තුවක් අරගෙන ආවේය. “බාස් උන්නැහේ.... ලොකු මල්ලී ඇවිත් ගිය ගමන්ම හින්දා ආයේ ටික දවසක් යනකල් එන එකක් නැහැ. නිවාඩුත් නැහැනේ.... මඟුල් බලන්න යන විදිහටම නෙවෙයි. නිකමට අපේ රංජිව එහාට එක්කගෙන යන්න....”

“ගිහින්, ගුණපාල උන්නැහේ?”

“මම දන්නවනේ මූ ගැන. මේකා කියයි කෙල්ලව ලොකු මල්ලිට ගැලපෙනවද කියලා. එහෙම වුණොත් මිනිහව ගෙන්නමු. ඒක දෙගොල්ලන්ටම වාසියි; කරදරත් අඩුයි!”

රංජි, උඹ කෙල්ලව බලලා කියපන්කො ලොකු මාමට ගැළපෙනවද කියලා.........
යෝජනාව ස්ථිර වුණෙන්, මට බාස් උන්නැහෙත් සමඟ පතිරගොඩ නිවසකට යන්න වුණේය.

මනාලිය ‘කිසිම ගැහැනු අංගපුලාවක් නැති එකියකි’යි මගේ නිර්දේශයත් තාත්තාට දුන්නෙමි. ඒ මංගල යෝජනාව එතැනින් එහාට ගියේ නැතිය.

“මොකද නිමල් මල්ලී. අපේ අක්කා තමුසෙලා ලොකු මාමට හොඳ මදිද?” 

මගේ හිතවතෙකුවූ ලීල් පස්සේ දවසක ඇහුවාමය මට පොළොව පළාගෙන යන්නට හිතුණේ. අප ගිහින් තිබුණේ ලීල්ගේ නිවසට බව මා දැනගත්තේ එතකොටය. ඒ මදිවාට බාස් උන්නැහේ එයාලටත් සේරම කියලාය!

දෛවය පුදුමාකාරය. ලොකු මාමා කසාද බැන්දේ පස්සර පැත්තෙනි. එදා මනාලියට අන්දන මනුස්සයා ආවේ නැතිවාම  මනාලියට double bun කොණ්ඩ මෝස්තරය දාන්න වුණේ, මනාලිය කැන්දන් එන ගමනට ගිහින් හිටි මටය!!

එදා මනාලියට අන්දවන මනුස්සයා ආවේ නැත. සෝමා පුංචි-කඩේ පුංචි දෙන්නා ඇයට ඇන්දෙව්වාම, අනාගත නැන්දාට double bun  කොණ්ඩ මෝස්තරය දැම්මේ මාය. 
කොහොම වුණත් බෝගහවත්තට වගෙම තවත් දෙතුන්-පළකටත් මනාලියන් බලන්නට යැවිණි. 
ඒ එකක්වත් නිල ගමන් නොවිණි. ඒ හැමෙකක්ම දැනෑඳුනුකම් මත යැවුණු ඒවා වගෙය. 
ඒත් ගියායින් පසු මට හංගා තිබුණු කතන්දර තේරුම් ගියේය. 
ආයෙමත් මගේ පුරුද්ද.... බබා හුකුම් පෙන්නමින්  කඹය ඇති තෙක් ගැඹුර දෙන පුරුද්ද ඉස්මතු වුණේය!

ඉතින්.......