අකුරු මැකී නෑ

Friday, August 2, 2019

ගණිත ගැටේ - තෙවෙනි කොටස

හැමදාම වාගේ ලිපි ගෙනෙන්නට පරක්කු වුණේය. අකුරු ඇමුණුවාටත් පස්සේ සමහර ඒවාට කෑලි එකතු වුණේය; අයින් කෙරුණේය. වැඩක් කරද්දී එහෙම තමයිය. ගොඩාරියක් වෙලාවට මං ඒවා ඉවසුවේ, ජීවිතයට වැදගත්ම පාඩමක් වන ඉවසීමප්‍රයෝගිකවම පුහුණු වෙමිනි! ඉතින්.......
යම්කිසි මතවාදයක් රටට දෙන්නට මේ නඩය කරන යුද්ධය ගැන දයාවක්..........
එහෙම ඉවසන්නට විශේෂ හේතුවකුත් තිබුණේය. චින්තන පර්ෂදයේ මතවාද ගැන මගේ වැඩි තැකීමක් නොතිබුණත්, යම්කිසි මතවාදයක් රටට දෙන්නට මේ නඩය කරන යුද්ධය ගැන දයාවක් නම් මට තිබිණි. ඒ අදහස් මට ඇල්ලුවේ නැතිවාට කමක් නැත. ඒවා පිළිගන්නා අයත් රටේ ඉන්නවනේ. 

මොන පන්නේ දේවල් වුණත් හිතන මිනිසුන් ඉඳීම ලෝකෙට සෙතකි.

අදටත් මං හිතන්නේ ‘අලුත්-අලුත් චින්තනයන් පහළ විය යුතුය; නව දර්ශනවාදයන්; නව අර්ථ කථනයන් පහළ විය යුතුය’ කියලාය. ඒවායේ හොඳ-නරක විසින්ම ඒවායේ පැවැත්මත්; ව්‍යාප්තියත් තීරණය කෙරේවි!

දැනුමට, දැනුම්වත් වීමට ඇති මගේ නොතිත් ආසාව නිසාය, මගෙන් ගෙවිඳුලාට උපරිම සහයෝගය ලැබුණේ. (ඒකම පස්සේ හෙණයක්- විණයක් වීම ගැන නම් මට තවමත් දුකය! සොකඩ මට එහෙම වුණාම මොකද, සොක්‍රටීස් විද්වතාටත් එහෙමනෙ වුණේ.)

සොකඩ මට එහෙම වුණාම මක් වෙයිද, අච්චර සොක්‍රටීස් උන්නැහේටත් ......
ඔය දැනුම්වත් වීමට තියෙන ආසාව හින්දාම දවසක් ‘අලි අමාරුවකත්’ වැටෙන්නට සිදුවිණි. කරුමය කියන්නේ ඒකටත් අපේ ගණිත මහාචාර්යතුමා සම්බන්ධ එකය; සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයත් සම්බන්ධ එකය. 

ඒ කතාවත් දේශපාලන වේදිකාවේදී, මට ‘හිඟන කොල්ලා’ අභිධානය ලබා දුන්නා වගේම ආඩම්බර හිතෙන එකකි; කබ්බෙක් උඩ දැමීමකි!

මේක වුණේ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදීය. එදා වැඩ සටහනට සහභාගිවී හිටියේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල ශිෂ්‍ය නායක-නායිකාවන් පිරිසකි. 

සිසු සම්මේලනයෙන් එදත් මට භාරදී තිබුණේ දිවා භෝජනයෙන් පසු පැවැත්වෙන දෙසුමයි.

වැඩකට පමාවී යන එක මගේ සිරිත නොවේ. ඉතින් එදාත් මා එහි ගියේ ටිකක් කලින්ය. එහෙම ගියාම ටිකක් දහඩිය නිවාගෙන, හුස්මක් අරගෙන නිවී-හැනහිල්ලේ දේශනයට සූදානම් විය හැකිය. ඊටත් අමතරව සහභාගිවන්නන් ගැන ක්ෂණික අධ්‍යයනයකුත් කළ හැකි වෙයි. සාර්ථකව කතාවක් පැවැත්වීමට නම් ඒකත් උදව් වෙයි. 


මේ අටම්පහුර වුණේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙදිය......
“කවුද මල්ලී දැන් ලෙක්චර් එක කරන්නේ?” මහවැලි කේන්ද්‍රයේ ඔඩිටෝරියම් එකෙන් පිටත සිටි සිසු සම්මේලනයේ සංවිධායක සොහොයුරෙකුගෙන් ඇහුවේ, අර විදිහට විස්තර දැනගැනීම උදෙසාමය.

“අනේ අයියේ, අද උදේ ලෙක්චර් එකට එන කෙනෙක් ආවේ පරක්කු වෙලා. ඒකයි තවම programme එක යන්නේ. හරි නම් ලන්ච් එකට නවත්තලයි තියෙන්න ඕනේ... නලින් සර් දැන් කතා කරන්නේ... යං, ඇතුළෙන් වාඩිවෙන්න...”

කවුරුන් සැලසුම් කළාද කියලා නම් මා දන්නේ නැත. 

මහවැලි ශ්‍රවණාගාරය සැලසුම් කරලා තියෙන්නේ ‘සිරි ලංක පුරේ’ වැසියන්ගේ රටාව නොදන්නා කෙනෙකු විය යුතුය. අපේ අය වෙලාවට වැඩ කරන්නෝ නොවෙති. වැඩකට එන්නෙම පරක්කු වෙලාය! ඉතින් එහෙම පරක්කුවී එන ඕනෑම කෙනෙකු ශාලාවට ඇතුළුවෙන දිහාවට, එතැන රැස්වීමේ ඉන්නා පිරිසගේ ඇස් සේරම දුවයි. දෙසුම කරන දේශකයාට එයින් වෙන්නේ බාධාවකි.

එහෙම වෙන්නේ මහවැලි දේශන ශාලාවට ඇතුළු වන දොරටු දෙකම තියෙන්නේ ඉස්සරහින් බැවිනි! ඇතුළුවන කෙනෙකු එක වරම නොපෙනෙන්නේ වේදිකාවේ අසුන්ගෙන ඉන්නා අයට විතරය.

දේශන ශාලාවට ඇතුළුවන කෙනෙකු එකවරම නොපෙනෙන්නේ  වේදිකාවේ ඉන්නා අයටය...........
“ඇතුළට යන්න නං ආසයි මල්ලී. ඒත් ලෙක්චර් එකට disturb වෙනවනේ...”

“ඒකට කමක් නැහැ අයියේ, එන්න”යි කියාගෙනම ඒ හාදයා හීන් සීරුවේ දොරත් විවර කළේය. සීරුවෙන් ඇතුළු වුණු මම ඉස්සරහම පුටු පේළියේ කොනක තිබුණු හිස් අසුනෙන් වාඩි වුණෙමි. 

එතකොටත් ශාලාව තිබුණේ උණුසුම් ගතියකිනි. මුණු-මුණුව වැඩිය. නලින් ද සිල්වා මහතා දෙසුම කරගෙන ගියේ ඒ බව නොතකමිනි.

ගියේ විනාඩි කිහිපයකි. නලින් මහතා කෝපයෙන් වෙවුලමින් ශාලාවේ පිටුපස කෙලවරේ හිටි සිසුවන් පිරිසකට ඇඟිල්ල දිගු කළේය. 

“මං කියන්නේ ඔය බූරුවන්ට! තමුසෙලාට වෙන-වෙන කතා කරගන්න ඕනෙ නම් යනවා, එළියට. ඉස්සෙල්ලත් මං කිව්වේ.... පල් මෝඩයෝ ටිකක්....” එහෙම කියලා ඉවර වෙලාය එතුමා සභාපති පුටුවේ හිටි හාදයා දිහාවට හැරුණේ.

කවුද මේ හරක්ව මෙහෙට ගෙන්නුවේ?
“කවුද මේ හරක්ව මෙහාට ගෙන්නුවේ? මෙහෙම නැහැදුණු එවුන්?”

සැබෑවකි! දෙසුමක් නීරස නම්, තමන්ට රුචිකර නොවේ නම් එතැනින් පිටව යාම එකකි. දෙසුමට බාධා වනසේ හැසිරීම වෙනම කාරණයකි. එහෙත් එවන් හැසිරීමකදී වුණත්.... 

රැස්වීම් සභාවක් පාලනය කිරීම මුලසුනේ සිටින කෙනාගේ වගකීමය. ඒ රාජකාරිය නිසි ලෙස ඉටු නොවුණත්, මම නම් ඇවිළෙන ගින්නට තෙල් දමා නිවන්නට නොයන්නෙක්මි!

ඊට පසු දේශනයේ ඉතිරි අර්ධය කරන්නට වුණේ නොසන්සුන් බව මැද්දේය. 

ඒ අස්සේ එළියේ හිටි කෙනෙකුගෙන් සභාපති සිසුවාට ‘chit’ එකක් ආවේය. ඒ හාදයා එය දේශකයාට දුන්නේය. 

“වෙලාව ඉවරයිලු! දැනටත් වැඩියෙන් අරන්ලු!! ඊළඟ ලෙක්චර් එකටත් ඇවිත්ලු!!! මෙහෙම සභාවක කොහොමද වෙලාවකට වැඩ කරන්නේ....” දේශකතුමා වෙවුලන සුරතින් ඒ තුණ්ඩුව සභාවට දික් කරගෙන ඇහුවේය.

ඊටත් විනාඩි කිහිපයකට පස්සේ එතුමා දේශනය හමාර කොට පිටත් වෙන්නට සැරසෙද්දී මම අසලට ගියෙමි. ඒ ඇඳුනුම්කම නිසාය; මනුස්සකමටය. අනේ එතුමාගේ තරහව එතකොටත් නිවිලා තිබුණේ නැත. එය පිටවුණේ සද්දෙටය. 

“තමුසෙලානේ දැන් මහ ලොකු ලෙක්චරර්ස්ලා වෙලා ඉන්නේ... ඊළඟ ලෙක්චරර්...”

තමුසෙලානේ දැන් මහ ලොකු ලෙක්චරර්ස්ලා වෙලා ඉන්නේ............
ඔය සිදුවීම වුණෙත් අප කියවාගෙන යන ‘ගණිත ගැටය’ට අහුවෙලා වසර කිහිපයකට පස්සෙය. ‘කාලය’ට කාලෙකට පස්සේය.

නව යොවුන් වයසේදී ‘ඇම්ම’ වැඩිය; අත්දැකීම් අඩුය. ළඟ පෙනුණාට දුර පෙනීම අඩුය. ගාය- විසේ හොඳටෝම වැඩිය! 
ඒ ලේ කකියන; උණුසුම් වැඩි ගතිය සිසු නායකයන්ට විතරක් නොවේ තිබුණේ. 

සරසවි සිසුවන් වුණත් ඒ වගේමය! එයාලට තෙල බෙදීම ලෙහෙසි වගෙය; කොක්ක ගැහීම ලෙහෙසි වගෙය. ‘වගෙය’ කියලා අඩමානෙට කියන්නේ මට සරසවි අත්දැකීම් යාන්තමට හෝ ලැබුණේ 40ත් පැන්නාට පස්සේ හින්දාය.

කොක්කට අහුවුණාට පස්සේ හෝ නැතිවා හෝ වේවා, යම්කිසි මතවාදයක් වෙනුවෙන් කැප වුණාම එහෙම අයට කෑම-බීමේ ගණනක් නැත. රෑ-දවල් වෙනසක් නැත. ඇඳුමේ-පැළඳුමේ වගක්; උන්නා-මළා වගක් නැත. ඒ බව හොඳටම පෙනුණේ ගෙවිඳුලාට හිටි සගයන් දැක්කාමය. 

මට පෙනුණේ නම්, ඒ හැම දෙනාම වාගේ ගෙවිඳුලාගේ සරසවි සගයන් ලෙසිනි. ඒ කාටවත්ම නොතිබුණු පුරුද්දක් නම් ගෙවිඳුට තිබිණි.

මට පෙනුණේ ඒ දවස්වල ගෙවිඳුලාට උදව්වට ආ සගයන් සරසවි සිසුවන් ..........
ගෙවිඳුට තිබුණු ඒ පුරුද්ද නම් අප කාගෙත් හිනාවට කාරණයක් විණි. “වෙන මොනවා ගැන තැකුවේ නැතත් ඒ මනුස්සයා අව්ව ගැන නම් හරියට පරෙස්සම් වෙනවා.” ප්‍රෙස් එකේ කට්ටිය හිනා වුණේ ගෙවිඳු එන හැම විටෙකම වාගේ කුඩයක් ඉහලාගෙන ආ බැවිනි.

අනුන්ට කරදරයක් වෙන තැනකදී  වුණත් කුඩයක් ඉහලාගෙන යාම කාන්තාවන්ගේ නම් සිරිතය. ඒ හැරුණාම වැඩිපුර කුඩ ඉසලන්නේ වියපත් අයයි. එතකොට ගෙවිඳු භද්‍ර යව්වනයෙකි. ඒ නිසාමදෝය අපේ කට්ටියට ඔහුව නුහුරට පෙනුණේ!

“කට වහගෙන ඉන්නවලා.... ඒක එයාගේ කැමැත්තනේ. තමුසෙලාගේ අතින්-මිටින් යන්නේ නැහැනේ. ඒ මනුස්සයට ඇහුණොත්.... එයා අපි-තමුසෙලා වගේ නෙවෙයි, සීරියස්!” 

ගෙවිඳු කුමාරතුංග මහතාත් එක්ක වැඩ කිරීම ඒ තරම්ම අභියෝගයක් නොවුණේ එවන් අවබෝධයක් මට තිබුණු බැවිනි.

ඇට නැති දිව සෙලවීම ලෙහෙසියෙන්ම කළ හැකි වුණත්, එයින් හදවතක් තුවාල වෙන්නටත් ඉඩ තිබෙන බව මා අවබෝධ කරගෙන සිටි බැවිනි.

ඇට නැති දිව ඕනෑම අතකට හරවා ලෙළවන්නට පුළුවන් වුණත්.....
ඔහොම යද්දී කාලය සඟරාවේ අලෙවිය ක්‍රමයෙන් අඩුවීම මගේ හිතටත් දුකක් වුණේය! ප්‍රෙස් එකේ අනෙක් අයටත්!! මට දුක හිතුණේ මේ කට්ටියගේ කැපවීමට නිසි ඇගයීමක් නොලැබෙන බව පෙනෙද්දිය. මුද්‍රණාලයේ සගයන්ට දුක හිතුණේ කැපිලා ඉවත දමන කඩදාසි අඩුවෙන එක ගැනය. 

Printing භාෂාවෙන් කියනවා නං සඟරා ‘ෂේව්’ කරන විට ඉවත ලන කඩදාසි අඩුවෙන එකටය.

පරණ කඩදාසි එකතු කරන ව්‍යාපාරයක් පමුණුව පාර අද්දර තැනක තිබුණේය. එතැන දැක පුරුදු නිසාම ප්‍රෙස් එකේදි මට ‘අනේ, අපොයි’ කියලා හිතුණේය. ඒ කැපිලා අහක යන කඩදාසි තීරු ඉවත ලන බව දැක්කාමය. මුලින්ම නම් එව්වා එහෙමටය කියලා ගොඩක් තිබුණේ නැත. 

හවසට ප්‍රෙස් එක අතුගා පිරිසුදු කරන වසන්ත කළේ ඒවා කසළ ගොඩට දමා පුච්චන එකය.

“ඇයි කුමුදු, මේවා විකුණන්න බැරිද?” මං ඇහුවේ ප්‍රෙස් එකේ පරණම තරුණයාගෙනි.

“එච්චරට එකතු වෙන්නේ නැහැනේ, නිමල් අයියේ.” කුමුදුලාල් කිව්වේය.

“ටික-ටික වුණත් මොකෝ.... එකතු වෙනකොට ගොඩක් වෙයිනේ.... පොඩි-පොඩි දේවල් එකතු වෙලානෙ කුමුදු, ලොකු දේවල් හැදෙන්නේ!”

ඕනෙම ලොකු දෙයක් හැදෙන්නේ පොඩි දේවල් ගොඩක් එකතු වෙලානෙ......
ඊළඟට ලාල් අයියා හමුවුණු වෙලේම මං මේ ගැන කතා කළා මතකය. කතා කළා නොවේ, ව්‍යංග්‍යයෙන් තීන්දුව කියලා අනුමැතිය ගත්තා මතකය.

“ලාල් අයියේ, press එකේ වැඩ ෂේව් කරපුවාම අහක යන කඩදාසි කෑලි එකතු කරලා විකුණන්නයි මං හිතුවේ...... දැනට නං ඒවා පුච්චලා දානවනෙ. ඒක පරිසරයටත් නරක නිසා..... ඒවා විකුණලා, ඒ සල්ලි වෙනම එකතු කළොත් ප්‍රෙස් එකේ අයව ට්‍රිප් එකක් එක්ක යන්නත් පුළුවන්. එහෙම කරන්න ගියොත් එයාලත් වැඩේට සපෝට් කරයි.”

“ඔය තියෙන්නේ, අපේ පරිසර පර්ෂදයෙන් නිමල් මල්ලිලා ඉගෙනගත්තු ඒවා!” ලාල් අයියා කිව්වේ සතුටෙනි.

“කාගෙන් හරි වැඩක් කරවාගන්න ඕනේ නම්, බකස් ගාලා එක පාරටම කියන්න එපා බං. ඒ මනුස්සයා සන්තෝසෙන් ඉන්න වෙලාවක විතරක් කියපං. නැත්තං සන්තෝස කරලා ඉවරවෙලා කියපං. උඹ අහල තියෙනවද.... 
ඉස්සර ඉඩකඩම් යායවල් තිබුණු වස්තුකාරයන්ට හොඳට කන්න-බොන්න දීලා තමයිලු ගොඩක් අය ඉඩම් ලියවගෙන තියෙන්නේ. විශේසෙන් ඌරු මස්.... 
කිල්ලට අහු වෙනවය කියලා හුඟක් ගෙවල්වලට ඌරු මස් ගේන්නෙ නැහැනේ.... ඉතින්, ඌරු මස් එක්ක රස බත් වේලක් උස්මුරුත්තා වෙනකල් කන්න දීලා....” 

අපේ තාත්තා ලොකු ධර්මයක් කියලා දුන්නේ එහෙමය.

ඉස්සර එක වස්තුකාර ඉඩම් තියෙන මිනිහෙකුට ඉස්මුරුත්තාවට එනකල්..............
“.... එහෙම වෙලාවක තමයිලු රංජියෝ, ලෝබ ඉඩම්කාරයෙක් ‘තෙල් කෑල්ලක් කාලා ඉඩම් කෑල්ලක් ගියත් මොකෝ’ කියලත් කිව්වයි කියන්නේ!”

පරිසර පර්ෂදය තිබුණෙත් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට සම්බන්ධවය. ඒකෙන් දියත් කෙරුණු වැඩ සටහන්වලින් කියවුණේත් අසීමිත ජනගහණ වර්ධනය පරිසරයට විණ කරන ආකාරයයි. 

පර්ෂදයේ සභාපති ධුරය දැරුවේ එඩ්වින් ආරියදාස වියතාණන්ය. ගරු ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ නන්ද පී. කළුතන්ත්‍රී අයියාය. නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමාත්, ලාල් අයියාත්, තව පිරිසකුත්, මාත් එහි ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ වීමු.

පරිසරය රැකෙන කතාව කීවාම සතුටට පත්වුණු ලාල් අයියාගෙන්, මගේ නව යෝජනාවට අනුමැතිය ලැබුණේය.

කෙරෙන්නට යන ‘ට්‍රිප් එකේ වැඩේ’ දැනගත්තාම ප්‍රෙස් එකේ හාදයන්ගෙන් කවුරුන්වත් එක කඩදාසි තීරුවක්වත් අපතේ යන්නට ඉඩ දුන්නේ නැත. 

එහෙම කාලයක, මාසයකදී ‘කාලය’ සඟරා (මට මතක හැටියට) 3000ක තුන් පැත්ත කැපෙනවා කියන එකත් සෑහෙන දෙයක් වෙලා තිබුණේය.

කූඹියාට හුලිජ්ජ පාරත් ගංගාවක්ලු!
කූඹියාට හුලිජ්ජ පාරත් ගංගාවක්ලු! පසු කාලයක එක දවසකදී පොත් හාර-පන්දාහ කැපෙන අච්චු කන්තෝරුවල වැඩ කරද්දී ඒවා මතක් වෙලා මටම හිනා ගියේය. 

කොටින්ම කියනවා නම්, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ එතකොට තිබුණේ විදුලි බලයෙන් වැඩ කරන තාලයේ ‘කටර් මැෂින්’ එකක්වත් නොවේ. අතින්ම වැඩ කරවන එකකි!

“අපරාදේ නිමල් අයියේ, කාලය නවතියිද?” 

ප්‍රෙස් එකේ කෙනෙකුත් ඇහුවාම මට හිතුණේ අයිති නැති වැඩකට හොම්බ ඔබන්නටය. ඒ විත්තිය ආයෙමත් කියනවාට වඩා සුදුසු ‘දියවිනි ඉනාව - 3’ පෝස්ටුවට මං ලියූ ටිකක් උපුටලා පෙන්වන එකය.

..... එවෙලේ මට දිග කතාවක් කිව්වේ ජී.අයි.ඩී. ධර්මසේකරය. කලින් රැවුල වවාගෙන- ජාතික ඇඳුමෙන් හිටි ඔහු, මුහුණ සහමුලින්ම මුඩු කර- කෙස්ස කොටට කපා- කලිසම හා කමිසයට බැස අමුතුම කෙනෙක්වී උන්නේය. මා දැක ඇති හොඳම වෙස් වලාව ඔහුගේය.....

දැන් අනගාරිකවී ඉන්නා ජී.අයි.ඩී. ධර්මසේකර මහතාත් ඒ දවස්වල 'කාලයේ'...........
ජී.අයි.ඩී. ධර්මසේකර ලේඛකයා නම් මට කිසිදා අමතක නොවන්නෙකි. ඒ 'කාලය සඟරාවේ' ලේඛකයකු ලෙසිනි. 
කාලය ගැහුවේ ඩිමයි 1/4  ප්‍රමාණයෙනි. පිටුවක කොලම් තුනකි. අකුරු 10 point ය.

ධර්මසේකරගේ එක වැකියක් අර කොලමකටත් වඩා දිගට දුවන ඒවාය! කොහොමත් 'කාලය'ට ලියූ කාගෙත් වැකි දිගය. අදහසුත් දිගම දිගය. එහි අයෝග්‍යතාව නූගත් මට තේරුණු තරමට ගෙවිඳු කුමාරතුංග මහතාට පහදා කිව්වෙමි.

ඒ පොත-පත කියවන පාඨකයෙකු වශයෙනි. මාකටින් පැත්තත් බැලුවොත් ප්‍රින්ටර් වශයෙන් අපටත් සුබ බැවිනි. ඒවා පිළිගත් බවක් තබා, ඇසුණු බවක්වත් නොදැක්කෙමි.

පොන්ත නෝනාගේ මොකක්ද එක හෝදන්නේ ඇල් වතුරෙන්ද, උණු වතුරෙන්ද එහෙමත් නැත්නම් මිරිස් වතුරෙන්ද කියා තීරණය කිරීමේ මානව හිමිකම ඇයට හිමිය. 

ගෙවිඳුලාටත් එහෙමමය. අප වැනි සොකඩ-හින්නිකිතර-කැම්පස් නොගිය පාඨකයන්ගේ අදහස් මොකට මායිම් කරන්නද? ප්‍රතිඵලය වුණේ දිග අදහස්- දිගම දිග වැකිවලින් ඕසෙට පළවුණු 'කාලයේ' ආයුෂ කෙටි වීමය! ඒ මගේ මතයයි, මා වැරැදි විය හැකිය. වැරැදියි නම් ඒකට සමාවෙන්න.”   

එක අතකින් ගෙවිඳු ටිකාක් හරි හොඳය; අහගෙන ඉඳලා හීනියට හිනා වුණා මිස මට flat වෙන්නම ගැහුවේ නැත. 

ලංකාවේ හුඟක් සංවිධාන හා පක්ෂ ඊට අන්තය. මැරූ මේ සම්මතේකට අලුත් අදහසකට, වෙනසක් කෙරෙන හිතිවිල්ලකට ඉඩ දෙන්නේ නැත.

අලුත් අවුරුද්දට කැමති වුණාට අලුත් අදහස්වලට නම් අපේ දේශපාලන පක්ෂත්, හුඟාක් සංවිධානත් ...............
‘අපේ අදහස් පිළිගන්නා අය පිළිගනියි. අපි මොකටද එහෙම නැති අය ගැන කරදර වෙන්නේ.” ඔවුහු සිතති; කියනවාත් එක්කය. 

තමන් යම්කිසි මතවාදයක් පිළිගන්නවා නම් පිළිගන්නේ එය නිවැරැදිය කියලා හිතන නිසාවෙනි. එය වෙනුවෙන් පෙනී හිටිනවා නම් අනෙක් අයටත් ඒ ගැන කියාදීම යුතුකමයි. 

ඒ ටික කළ හැක්කේ මනුස්සයන්ට පමණකි. සංකීර්ණ අදහස් සංනිවේදනය කරන්නට පුළුවන් හෝමොසේපියන්ලාට විතරයි නේද? ඉතින් අන්න එතැනදී, අනුන් ගැනත් කරුණාවෙන්; දයාවෙන්; අනුකම්පාවෙන් බලන්නට බැරිද?

ඒ වෙනුවට සිදුවෙන්නේ ඔළුවට පොල්ලකින් ගහනවා වගේ දේවල්ය.

බුදුහාමුදුරුවන් වහන්සේ වුණත් බණ කිව්වේ පතළ මහා කරුණාවෙන් යුතුවය. ශ්‍රාවකයා බඩගින්නේ ඉඳිද්දීවත් නොවේ! සන්නිවේදනයත් බරසාර කලාවකි. වෙනම ඉගෙනගන්නට බැරි නම් වටපිටාවෙන්වත් ඉගෙනගන්නට වෙයි! අනේ, මං නම් එහෙමය.

කොහොමින් වුණත්, එන්න-එන්නම කාලයේ ලිපි ලැබීම අවිධිමත් වීගෙන ගියේය. (කඩිමුඩියේ ලියැවුණු ලිපිවල රහත් අඩු වුණා වෙන්නැතිය.) ඒකෙන් වුණේ අපේ වැඩත් අවිධිමත් වෙන එකය. ‘කාලය’ කලට-වෙලාවට එළියට නොවඩින්නටත් ඒක හේතුවක් වුණේය.

(පසු කාලීනව මා දැනගත් කරුණු අනුව නම් එහෙම වෙනකොට ඉස්සෙල්ලාම වාසිය ගන්නට බලන්නේ පොත්-පත්තර විකුණන උදවියයි. ඔවුහු ගෙවීම් පමා කරති. ප්‍රකාශකයා නට්ටං වුණොත් එතෙක් විකුණා ඇති ඒවාටවත් සල්ලි ගෙවන්නට ඕනෑ නැහැනේ!)     

බුදු බණ වුණත් දේශනා කර තිබෙන්නේ පතළ මහා කරුණාවෙන් මිස ද්වේෂයෙන් නොවේ.
ඔයින්-මෙයින් වුණේ, අපට කළ යුතු මුදල් ගෙවීම් හරියාකාරව සිදු නොවීමය. ඒවා එකතු වෙන්නට පටන් ගත්තේය! ඒ කිව්වේ ණය වැඩිවෙන එකය.

“නිමල් මල්ලී, මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. එන්න-එන්නම පේමන්ට්ස් පරක්කු වෙනවනේ... එයාලට කියන්න වෙයි අපි වැඩ නවත්තනවයි කියලා. මහන්සි වෙලා අච්චු ගැහුවට වැඩක් නැහැනේ, සල්ලි හම්බ වෙන්නේ නැතිනම්...” 

ප්‍රෙස් එකේ අය-වැය, ලැබීම්-ගෙවීම් සේරම බලන රාජකාරිය කළ ලාල් අයියා කිව්වේය.

“මෙහෙම ගියොත් ප්‍රෙස් එකේ පඩි ගෙවන්නවත් චෙක් එකක් ඉල්ලගෙන එන්න එපා නිමල්... මට චෙක් ලියන්න වෙන්නේ බැලන්ස් එක බලලනේ.”

සකල අමාරුවක වැටුණේ මාය. අප්‍රසන්න දේවල් කියන්නට වෙන එක මහාම කරුමයකි. 
දැන් නයා මරන්නෙත් නැතිව, පොල්ල කඩාගන්නෙත් නැතිව ‘දේවකාරිය’ ඉටු කිරීම බාර වෙලා තියෙන්නේ මටය.............

අනේ, නුවණට අධිපති ගණදෙවි හාමුදුරුවනේ. පින් සිද්ධ වෙයි......................
          ලද හැකි ගජන්                       මත්                                     
          ලද හැකි රුසිරි දිගු               නෙත්
          ලැබේ මිණි-මුතු                      වත්
          නොලද හැකිමැයි තැනක් පැනවත්

අනේ ගණදෙවි හාමුදුරුවනේ, ගජමුතුවලටත් වැඩිය දුර්ලභය කියලා කාව්‍යශේඛරයේත් කියලා තියෙන නුවණ මටත් දෙන්නකෝ, මේ පුරස්නෙ විසඳගන්න .....

14 comments:

  1. ඔය ගණිත මහැදුරුතුමා තද වෙන්නේ නැතුව ඉවර කරපු දේශනයක් හෝ සාකච්චාවක් ඔබතුමා දැක තිබේද? අඩුම ගණනේ එවැන්නක් ගැන අසා තිබේද?

    ReplyDelete
    Replies
    1. ඉල කැඩෙන ප්‍රශ්නයක්නේ ලොකු. මාත් එක්ක සාකච්චා කළ වේලාවන්හිදී නම් අපි රණ්ඩු වලා නැහැ.

      Delete
  2. අපගේ නෙළුම් සිල්වා ඇදුරුතුමාට අපහාස කලවුන්ට ගෑණු 1000ක් සමඟ රමණය කරන්න ලැබේවා
    (එහෙම තමයි ඉස්සර ඉර්සින්වහන්සේලා ශාප කෙරුවේ)

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඉරිසින්නාන්සේලාත් ප්‍රයෝරිටි එක දීලා තියෙන්නේ ගෑනුන්ටනේ ජගත් මහත්තයෝ!

      Delete
  3. //හදවතක් තුවාල වෙන්නටත්
    පරණ අය කියන්නේ නිදි, මිනිස්සුන්ව මරාගන්න එපා කියලා.
    නප්පියට තද උනාම කරන්න අමාරුම වැඩේත් ඒක.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ, මට නම් එහෙම තරහ යන අය ගැන තියෙන්නේ දුකක්. ඇයි දන්නවද?

      ඔය දෝෂයට වග කියන්න ඕනේ සිරුරේ තියෙන රසායනික නිසා. උපතින්ම ඒවා ලැබිලා තියෙන්නේ එහෙම නම් ....

      ඒ ගැන දැනගත්තාට පස්සේ ඉතින්, මග බඹාට තමයි නඩු දාන්න වෙන්නේ!
      හැබැයි, ඒ ගැන දැනුම්වත් වුණාම නම් බුද්ධිමත් අයට පුළුවන් සෑහෙන තරමට පාලනයක් කරගන්න.

      Delete
  4. තමන්ගේ මත නොයිවසන, ඒවා විවේචනය කරණා අයවලුන්ට "පණ්ඬියන්" යන ලේබලය ගැසීම ඔය මහඇඳුරු ගේ ගිනිපුක් ගාය පෙන්වන හොඳ ලක්ෂණයක් තමා...

    ReplyDelete
  5. ඔහොම ලෙක්චර් කරන්න ගිහිල්ල ගුටි නොකා බේරුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. තවමත් අපේ රටේ උගත්කමටයි, වැඩිහිටිකමටයි ගරු කරනවා, ප්‍රසන්න.

      Delete
  6. ඒ වගේ ⁣ගංකබරයින්ව මොකට ලෙක්චර්ස් වලට ගෙන්නනවද ඉතිම් සංවිධායකයන්

    ReplyDelete
    Replies
    1. අනේ මධු, ඒ වගේ ගොඩක් සංවිධානවල අය වැඩ සටහනක් සංවිධානය කරන්නේ අතින් වියදම් කරගෙන. මහන්සි වෙලා. කතිකයන්ට හුඟ වෙලාවකට ගමන් වියදම විතරක් වුණත් දෙන්නේ අමාරුවෙන්. ඉතින් හුඟක් කථිකයන් ඒ වැඩ සටහන් වැලට එන්නෙත් නැහැනේ.
      සමහර පිරිසක් තමයි ආරාධනාව බාරගෙන නිසි වෙලාවට එන්නෙත්.
      මම දන්නා විදිහට ඒ අතින් නලින් මහත්මයා හොඳ කෙනෙක්.

      Delete
  7. නලින් සිල්වාගේ දේශපාලනය ගැන නොදනිමි. එක පාරක් කොහෙද මංදා කාබන් කාල නිර්ණ ක්‍රමය බටහිර නිසා එය ප්‍රතික්ශේප කර ඒකට දේශීය ක්‍රමයක් අවශ්‍යයි වගේ එකක් කිව්වට පස්සෙ එතුමාගේ කතා සීරියස් ගැනීමට අපහසුබවක් ඇත

    ReplyDelete
    Replies
    1. රජරට ගොවීන්ගේ වකුගඩු රෝගය පිළිබඳව කළ සමහර ප්‍රකාශත් ඒ වගෙය කියලයි මටත් හිතුණේ, Pra Jay.

      Delete