අකුරු මැකී නෑ

Monday, August 5, 2019

Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට

ඇඳුමට විතරක් ඩොලර් විසි ලක්ෂයක් වුණේලු!
Neilගෙ ඇඳුමේ වටිනාකම විතරක් ඇමෙරිකන් ඩොලර් විසි ලක්ෂයක් වුණාලු; රුපියල්වලින් නම් එක්කෝටි හැට ලක්ෂයක්... 

හැබැයි ඒ අද ගණන් හිලවු එක්කලා නොවේ. හාල් සේරුව රුපියල් 1.20ට, පොල් ගෙඩිය සත 25ට, ‘දිනමිණ’පත්තරය සත 20ට තිබුණු කාලයේය. ඉතින්, 1,60,00,000/- අද කීයක් වෙනවාද කියලාත් ආසන්න ගණනටවත් දැනගන්නට ආසයි නම් කරන්නට තියෙන්නේ, ඒක 343න් වැඩි කරලා බලන එකය!

ඔය කිව්වේ 1969 අවුරුද්දේ තිබුණු තත්ත්වයයි. එතකොට මේ අකුරු කොටන මනුස්සයා ගැටයෙකි. අවුරුදු 15ක. සුනිල්ට අවුරුදු 13කි.

මගෙ අම්මෝ! මටම එහෙම කියවුණේ ‘හත’ 343න් වැඩි කරලා බැලුවාමය. ඒ දවස්වල මං පේව්මන්ට් එකේ රජවෙන  කාලයයි. දවසක සාමාන්‍ය ආදායම රුපියල් 7-8 විතර මට්ටමේය තිබුණේ. ඒ නිසාය ගුණ කිරීම කරලා බැලුවේ. අද හැටියට නම් රුපියල් 2401/-කි.

ඒ කියන්නේ ඒ දවස්වලම මාත් මාසෙකට 72,030/-ක පඩිකාරයෙකි. හැබැයි පේව්මන්ට් එකේ රජවෙන රාජකාරියට short ලීව්, ලෙඩ නිවාඩු, නිවාඩු මොනවාවත් තිබ්බේ නැතිය. වැඩ නොකළොත් පඩි නැත.

හැබැයි පේව්මන්ට් රාජකාරියට නිවාඩු නැතිය. නිවාඩු දවස්වලට සති පොළකට හරි ගිහින්....
කොටුව, පිටකොටුව, බොරැල්ල, මරදාන පාලුවට යන හින්දා අඩුම තරමින් සති පොළක් තියෙන දිහාවකටවත් යන්නම වුණේය. අපට එතකොට තිබුණේ ‘එදා වේල’ ආර්ථිකයකි!

එතකොට ඒක හුඟාක් අයට පොදු තත්ත්වයක් වුණු බවත් කියන්නම ඕනෑය. ඉතින් හුඟාක් ගෙවල්වල රේඩියෝවක්වත් තිබුණේ නැත! Devilo රේඩියෝව අපේ ගෙදරට ආවෙත් ඊට පස්සේ වෙන්න ඇතිය.

“පොඩි සෝමා කිව්වනේ එහෙදි රේඩියෝව අහමු කියලා.” අපේ තාත්තා ඇවිත් කිව්වේය. අප හැම දෙනාම එදා රේඩියෝව අහන්නට අනුර ශාන්ත හෙවත් උස අනුරලාගේ  ගෙදරට යැවුණේ එහෙමය.

පොඩි සෝමා කිව්වනේ රේඩියෝව අහන්න එහෙ එන්න කියලා!
‘.....මට හොඳටම මතක හිටපු හාදයෙකුත් මහරගම සිටියි. මිනිහා මාව දකින වාරයක් ගණනේ, අහල-පහළ කවුරුන්වත් නැත්තං නොවරදවාම කියන වචන ටිකක් ඇත. 

මනුලොව ඉපිද කළාවූ අකුසලයන්ගේ හේතුවෙන් යක්ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ යෝනීන්හි උපන්නාවූ සත්ත්වයන් මා හමුවට පැමිණියේද?”. 

අනුර එහෙම කියලාත් නවතින්නේ එහෙමත් දවසකය. මං ඉන්නේ දුවන ගමන් නොවෙයි වගේ නම් මාව නවත්තාගෙන මේ ටිකත් කියයි. නිමල් අයියේ, මතකද ඔයා මාව නළුවෙක් කළා. අපි කවදා ස්ටේජ් එකකට නඟින කොල්ලොද, ඔයා නොහිටින්න.

නීල් ආම්ස්ට්‍රෝංලා හඳට ගොඩ බහිද්දී අප හිටියේ අනුර සාන්තලගේ ගෙදරට ගොඩ බැහැලාය.................
...... පමුණුව පාරෙන් එක්සත් සුබ සාධක මාවතට හැරුණාම දකුණු පැත්තේ තිබුණු පළමු නිවහන අනුරලාගේය. ඒ ඉස්සරය; හැටේ දශකයේය; පමුණුව පාංකඩ පමුණුවවෙන්නට කලින්ය. ඒ දවස්වල අපේ තාත්තලා-අම්මලාත්, අනුරලාගේ ගෙදර වැඩිහිටියනුත් ගජ යහළුවෝය.

ඒ යාළුකම කොච්චරද කිව්වොත් නීල් ආම්ස්ට්‍රෝන් ඉස්-ඉස්සෙල්ලාම හඳට ගොඩ බහින වෙලේ අපේ ගෙදර කට්ටියම හිටියේ අනුරලාගේ ගෙදරට ගොඩ බැහැලාය. 

එතකොටවත් අපට රේඩියෝවක් තිබුණේ නැති නිසාය; අනුරලාට ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් තිබුණු නිසාය........ සිරි ලංකාවෙන් ඉස්සෙල්ලාම ඩුබායි ගිය; ගිහින් අවුරුදු විස්සක්-තිහක් එහේම හිටි අයගේ ගොඩට මේ අනුරගේ මව් යානයත් අයිතිය.......’

දිව්‍ය අංගනිසේ 4  පෝස්ටුවේදී මං අනුරලා ගැන කියලා තිබුණේ එහෙමය.

අවුරුදු බිලියන 50ක් වයසැති හඳට ගිය පළමු තිදෙනාම අවුරුදු තිහේ හිටි.........
ඇමෙරිකානු ඩොලර් විසි ලක්ෂයක ඇඳුමක් 1969දී හැදුවේ නීල් ආම්ස්ට්‍රෝන්ට විතරක් නොවේ. එඩ්වින් ඕල්ඩ්රින්ටත්, මයිකල් කොලින්ස්ටත් ඒ ජාතියෙන්ම ඇඳුම් හදලා තිබිණි. ඒ, එයාලා තුන්දෙනා හඳට යාමට සූදානම් වෙමින් හිටි නිසාය. 

අවුරුදු බිලියන 50ක් වයස හඳට ඉස්සෙල්ලාම ගියේ මේ තුන් කට්ටුවයි.

බැලූ බැල්මටම හඳ අපට පෙනෙන්නේ ඉරට වඩා ලොකුය කියලාය. ඒත් හඳ ඉරට වැඩිය 400 ගුණයක් පුංචිය. 

නමුත් හඳේ වායු ගෝලයක් නැති නිසාය, අර තරම් විය-පැහැදම් කරලා; සේරම නූලටම ගණන් බලලා ආරක්‍ෂිත ඇඳුම් හදන්නට වුණේ!

 හඳෙන් විහිදෙන දීප්තිය පෘථිවියට වඩා 81 ගුණයක් වැඩිය!
එතකොට අපි? අනේ අපිට නම් බූල් බළල්ලු හිටියේ නැත. ඒ හින්දාමද කොහේදෝ අපේ කලිසම් කමිස සේරම මහලා දුන්නේ රහුබැද්දේ විදානෙලාගේ යසවතී හෙවත් ලීලාවතී හෙවත් අපේ අම්මාය. හැට්ට මහන්නට පුළුවන්කම තිබුණු නිසා අම්මාගේ කමිසවල නම් එච්චර අවුලක් තිබුණේ නැත. 

ඒත්, කලිසම්වල ගෝල්ෆිය අවශ්‍ය තරමට දිගට නොතිබුණු නිසා අපේ සුන්නාත්, මාත් දෙන්නාම ඒ 'සරුවාල' හින්දා, කලින්ම ‘තලතුනා’ වුණාද කොහෙදය.

“ලීලා... පොඩි සෝමල ගෙදරට නිකම්ම අත් වන-වනා ගිහිල්ලා බැහැ. ඒ මිනිස්සුත් ඔය මොන-මොනවා හරි හදන්නෙ නැතැයි. අපිත් කඩල ටිකක් තම්බලා...” 
අපේ තාත්තා සැලසුම් කළේ එහෙමය.

තමුසෙට පිස්සුද? ඉස්ස්සෙල්ලා තාත්තාගෙන් අහල ඉන්නවා!
“ටැයියෝ, උඹත් වරෙන් මචං අපිත් එක්කම.... අපේ ගෙදර අය සේරම යනවා රේඩියෝව අහන්න ඉන්ද්‍රානි අක්කලාගේ ගෙදර.” අපේ සුනිල් ස්ටැන්ලිටත් ආරාධනා කළේ තාත්තාගෙන්වත් නාහාය.

“තමුසෙට පිස්සුද? ඉස්සෙල්ලා තාත්තාගෙන් අහලා ඉන්නවා! දන්නවනේ...” මම සුනිල්ට මතක් කළෙමි.

එතකොට යුරෝපා රටවල පවා තිබුණේ කළු-සුදු රූපවාහිනී විතරය. අපේ රටේ රූපවාහිනී තිබුණේම නැත; Internet තිබුණේත් නැත; ඒ තියා ගොඩාක් ගම්වලට- ගම්වල ගෙවල්වලට විදුලියවත් තිබුණේ නැත. 

ගමට අලුත්ම ආරංචි අරගෙන ආවේ ගුවන් විදුලියයි. පත්තර තිබුණත් ඒවා එන්නට කලින් රේඩියෝවෙන් විස්තර අහගන්නටය අප සැරසුණේ.

එතකොට ගොඩක් ගම්වලට රූපවාහිනී තියා විදුලියවත් තිබුණේ නැත............
මට හිතෙන්නේ ඒ දවස්වල එඩ්වින් ආරියදාස, ඊ.ඩබ්ලිව්. අදිකාරම්, මහින්ද රණවීර මහත්වරුන් තුන් දෙනාට කොහොමට ඉස්පාසු තියෙන්න ඇතිද කියලාය. 
පැරැණි වාර්තා අනුව, ‘හඳ තරණය’ ගුවන් විදුලි විකාශනවල මෙහෙයවුම්-පරිවර්තන වැඩ ගොඩක් කෙරුණාය කියන්නේ ඒ මහත්වරුන් අතිනි. 

දවස් නවයක් තිස්සේ කඩින්-කඩ විකාශය කෙරුණු ගුවන් විදුලි වැඩ සටහන්වලට තිලක් රත්නාකර, වසන්තා සෙනෙවිරත්න, එච්.ඩී.එස්. සමරවීර, පාලිත පෙරේරා, මහින්ද රණවීර, ඇල්ෆ්‍රඩ් පෙරේරා යන පිරිස නිවේදන කටයුතුවලින් එකතු වුණා කියලත් කියවෙනවා; ඒ සිංහලෙන්.

ඉංගිරිසියෙන් නම් ගොඩක්ම විස්තර ඉදිරිපත් කරලා තියෙන්නේ ආතර් සී. ක්ලාර්ක් මහත්තයාය.

රේඩියෝ නොතිබුණු, නිතරම පත්තර ගන්නට වත්කමක් නොතිබුණු, එදා වේල පිරිමහගන්න එක ගැනම වෙහෙසුණු අපට නම් දැනුණේ හඳ එච්චර වැදගත් දෙයක් විදිහට නෙවෙයි.

ආච්චී හිතුවෙම හඳේ හාවා නැතිව යාවි කියලාය...........
“මොන කෙහෙල්මලකට සුද්දො හඳට යන්න හදනවද මන්දා. ලෝකෙට පරකාසේටනේ... ඇමරිකන්කාරයාට ඕනේ රුසියාව පරද්දන්න. උන්ට ඕනේ මුන්ව පරද්දන්න. අපරාද සල්ලි. දැන් ‘ලයිකා බැල්ලිව’ උඩ යැව්වා, මොකක්ද වුණු සෙතේ?” 

අපේ සීයා තිස්සෙම කිව්වේ ඇමරිකාවත් රුසියාවත් අතරේ තරගය ගැනය.

ආච්චී හිතුවෙම හඳේ හාවා ගැනය. “ශක්‍ර දේවේන්ද්‍රයා ගිහින් හඳේ ඇන්ද හාවාගේ රූපෙනේ අපිට ඔය පේන්නෙ. කොයි කපේද? බුදුහාමුදුරුවෝ බුදුවෙන්නත් ඉස්සෙල්ලා.... බෝධිසත්ව කාලෙනේ සස ජාතකයෙ හාවෙක් වෙලා ඉපදිලා, ඇඟ මස් දන් දෙන්න ගියේ.... ඈ බං පුතේ, රොකට්ටු ගියාම හඳේ එළිය අඩු වෙලා යයිද....” ආච්චිගේ කතා පස්සේ මතක් වුණේ විහිළු හැටියටය.

ඊට අවුරුදු අටකට විතර පස්සේ දියවින්නට ගියාම හඳ ගැන අරනෝලිස් මුදලාලිගෙ කතාවල් පෙනුණේත්  විහිළු හැටියටය. “හඳට ගියාය කිව්වට රොකට්ටුවෙන් ගිහින් මේ ලෝකෙම දුර තැනකට බහින්න ඇති.” ඔහු කිව්වේ එහෙමය.

ඊටත් අවුරුදු 10-15ක් ගියාමය දැනගත්තේ, සමහර යුරෝපීයයන් පවා ‘මිනිසා සඳ තරණය කිරීම බොරුවකි’ යයි අදහන බව! ඉතින් ලංකාවේ සමහර දෙනෙකු හරි එහෙම හිතන එක වරදක්ද?

හඳට ගියාය කියලා කිව්වට, රොකට් එකෙන් ගිහින් පොළොවේම වෙන කොහාට හරි ගොඩ බහින්න ඇති!
‘ආතර් සී. ක්ලාර්ක් මහතා සඳට ගිය පිරිස මුණ ගැසී සුබ පැතීමට අමතක නො කළ අතර සඳ මත පා තබූ දෙවැනි මිනිසා වන එඩ්වින් ඕල්ඩ්රින් 2001 වර්ෂයේ දී ආතර් සී. ක්ලාර්ක් මහහතාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකාවට ද පැමිණියේය. 

එම අවස්ථාවේ දී සඳ ගමන පිළිබඳව ආතර් සී. ක්ලාර්ක් මහතා සමඟ පැවැති මාධ්‍ය හමුවක දී සඳ ගමන ගැන ඔහුගෙන් තොරතුරු විමසන ලදී. සඳ ගමන බොරුවක් ද? සඳෙහි පිහිටුවූ ඇමෙරිකානු කොඩිය ලෙළ දෙන්නේ කෙසේ ද? එම අවස්ථාව කෘත්‍රිම පරිසරයක නිර්මාණය කරන ලද්දක් ද? වැනි ප්‍රශ්න රැසක් විමසන ලදී. 

එහි දී එඩ්වින් ඕල්ඩ්රින් පිළිතුරු දුන්නේ සඳ ගමන පරම සත්‍යයක් බවත්, මෙය බොරුවක් නම් මේ ගමන වැඩ සටහන සඳහා සහභාගී වූ 1000ක් පමණ පිරිස ගෙන් එක් කෙනෙකු ගෙන් හෝ බොරුව හෙළි වන බවත් ය.........’ (සඳ ගමනට වසර 50යි -චින්තන විජයවර්ධන- 2019.7.17 ‘විදුසර’ -13 පිටුව)

“අඅඅප්පේ අම්මලා නං කිව්වා ග්ග්ග්ග්ගෙද්ද්දර ඉඳගෙන රේඩියෝව අහන්න බැයිද ක්ක්කියලා...” ටැයියා ඒ ටික කිව්වෙත්  නහයෙන් අඬමිනි. “ඇයි බං අපේ අක්කා දිගට්ට්ට්ටම නැඟිටලා ඉන්නවද? මට විතරක්...”

වනගත ළමුන් වෙන්නට අප ගෙදරින් පැනලා දුන්හිඳට ගියේ, මීට අවුරුදු දෙකකට .............
“හරි, හරි. තව දවස් තියෙනවනේ. තවම රොකට් එක උඩට යැව්වා විතරයිනේ.... අපේ තාත්තා නං කිව්වා හඳේ කක්සේටද මොකටද මන්දා ඇතුළ් වෙන එකත් හෙණ ඩේන්ජර් වැඩක්ය කියලා... නේද ලොකා?”

“හ්ම්!”

ළමා නිවාස වත්තේ ලොකු ළිඳේ තාප්පය ළඟ තිබුණු අපේ සම්මන්ත්‍රණය ඉවරවී සුනිලුත් ටැයියලාගේ ගෙදරට ගියේය. ඒ අපත් එක්කම රේඩියෝව අහන්නට ස්ටැන්ලිව එවන්නැයි ඉල්ලා හිටින්නටය. ඒ ගමන පලදායී එකක් වුණේය. 

1969 ජුලි 21 වැනිදා හැන්දෑවේ උස අනුරලාගේ ගෙදරට ගියේ අප විතරක් නොවේ. ටැයියාත් අප එක්ක ආවේය.

එතකොට අනුර සාන්තත් පුංචිය. අනුරගේ ලොකු අක්කලා දෙන්නාම වුණත් මට වඩා බාලය. අපේ සුන්නාගේත්, ස්ටැන්ලිගේත් ලෝකයට එයාලා පොඩි වැඩිය. මං ටිකාක් විතර ලොකු වැඩිය. (අප දුන්හිඳ අද්දරට පැනලා  ගියේ මීට අවුරුදු දෙකකට පස්සෙය.)

“අයියේ... වස කම්මැලියි බං.... ටැයියා අහනවා ගෙදරට ගිහින් එමුද කියලා..... උන්ගේ ගෙදරින් තේ බීලා එමුලු...” අපේ සුනිල් ඇවිත් මගේ කණට කෙඳිරුවේය.

අප තිදෙනාගේ කඩුල්ල උඩ සම්මන්ත්‍රණය ඉවරවෙලා.......... 
තාත්තාත් අනුරලාගේ අම්මලා-තාත්තලාත් ලොකු කයියකය. ඒ අස්සේ රේඩියෝව දිගටම විස්තර කිව්වේය. උනන්දුවෙන් අහගෙන ඉන්නට අයය නොහිටියේ.

හඳට ගිය ඇපලෝ 11 යානයේ කොටස් ටික විතරක් 1,50,000කි. 
සැරෙන්-සැරේ තිතට කෙරෙන්නට තිබුණු රාජකාරි කන්දරාව 10,000කට වැඩිය. 
ගමනේ වැඩවලට වරින්-වර එකතුවීලා තිබුණු මිනිසුන් ගණන 4,00,000කි. 
වෙන මොකුත්ම ඕනෑ නැත. 

සේරමල්ලා කළ යුතු රාජකාරි සියල්ල ලියා තිබුණු සටහන් පොත්වල පිටු 25,000ක්ය කිව්වාම තේරෙනවානේ!

ඔහොම විස්තරත් කියවෙද්දී වෙන්නට ඕනේ අප තුන්දෙනා අනුරලාගේ ගෙදරින් එළියට බැස්සේ.

ශක්‍ර දේවේන්ද්‍රයා ඇන්ද හාවා හඳේ නැතත් නීල් ආම්ස්ට්‍රෝං තැබූ පිය සටහන නම්..............
ස්ටැන්ලිලා ඇති-පැති අය බව මා කලිනුත් කියා තිබේ. එදාත් නුගේගොඩ ඇන්ටි ලෝස් නැතිව අපට සංග්‍රහ කළාය. ඒ එක්කම සුපුරුදු විදිහටම කඩුලු කතන්දරත් කිව්වාය. 

“මොකෝ.... උඹල තුන්දෙනා විතරක් පල්ලම් බැස්සේ? පොඩි සෝමලා තේ ටිකක්වත් ලෑස්ති කරලා තිබුන්නැද්ද? උන් කොහෙද බං....”

“අම්මෙ මේ.... අන්න අරහෙට යන්නකෝ, මට කණක් ඇහිලා තේ ටික බොන්න දීලා....”

“අපොයි ඔව්, බොටත් හරි අමාරුයි මං කියන ඒවා අහගෙන ඉන්න... වෙන කවුරු හරි නං, කණ ළඟ ඉඳගෙන බෙර ගැහුවත් කටයි-පුකයි දෙකම වහගෙන අහන් ඉඳියි!”

නුගේගොඩ ඇන්ටිගේ කරච්චලය අස්සේ එහෙ රේඩියෝවත් එයාගේ රාජකාරිය කරමින් උන්නේය.

මචං, බොමුද කුරුම්බා?
‘.... පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර සැතපුම් දෙලක්ෂ හතළිස්දාහක්... ඒ වගේම තමයි, එතරම් දුරක ඉඳලා; හඳේ ඉඳලා බලන කෙනෙකුට අපේ මහ පොළොව පෙනෙන්නෙත් දීප්තිමත්ව. හඳක් වගේ. ඒත් හඳ පොළොවට වඩා 81 වාරයක් ආලෝකවත්....’

කරච්චලයෙන් බේරෙන්නට ඉක්මනින් තේ බීලා එළියට පැනගත් අපට ඊළඟට පිහිටට ආවේ  කඩුල්ලයි. 

ස්ටැන්ලිලාගේ වත්තට ඇතුළුවෙන තැන තිබුණු කඩුල්ල හොඳ සවිමත් එකකි. අප තිදෙනාගේම බරත් එදා දරාගෙන උන්නේ ඒ හින්දාය. 
“හඳට ගොඩ බහින්නේ හෙට පාන්දරලු බං.... අපරාදේ අද හැන්දෑවේ ඉඳලම අහන්න ගත්තේ.”

“ඒකනේ බං... මං හිතන්නේ උඹලගේ තාත්තයි, ජිනදාස මාමයි බොන්න තමයි මේක දාගන්න ඇත්තේ....” ස්ටැන්ලි ජිනදාස මාමාය කිව්වේ අනුරලාගේ තාත්තාටය.

අපේ ප්‍රශ්නය වුණේ හොර කුරුම්බා බොන්නට යන්නේ කොහාටද කියන එකය!
“බොන්න..... ඔහොම හිටපං... ඔහොම හිටපන්... ටැයියෝ,  බොමුද කුරුම්බා?” අපේ සුන්නා ඇහුවේ එතකොටය.

“ක්ක්ක්ක්කොහෙන්ද මචං?”

දැන් හඳට ගිහින් අවුරුදු 50කි. ඊට වැඩියෙන් එහාටත් ගිහින් ඉවරය. ඒ සේරටම මුල් වුණේ ජර්මන් ජාතිකයෙකුගේ බුද්ධි මහිමය බව අපට අමතකය. ජර්මන් ජාතික, නාසිවාදී  ඒකාධිපති මිනීමරුවා ගැන ලියන-කියන-කතා කරන තරමට අප ‘වොන් බ්‍රවුන්’ ගැන කතා කරන්නේ නැත. දන්නෙත් නැත. 

ඒත් හඳ ගමනේ මහ මොළකරුවා වොන් බ්‍රවුන්ය. ඔහු ඇමරිකාවට පලා ආවේ දෙවෙනි ලෝක යුද්ධය හින්දාය.

එයා ආවේ කොයි රටෙන්ද කියන එක ගැන වගේ-වගක් අපට නොතිබිණි. 

අපේ බරපතළ ප්‍රශ්නය වුණේ හොරෙන් කුරුම්බා කඩන්නේ කොහෙන්ද කියන එකය.

ඇපොලෝ 11 ගගනගාමීන්ට සදහටම හඳේ ඉන්නට වුණා නම්, ජාතියට කියන්නට කතාවක්...........
“එදා අපි කතා කර-කර ඉඳිද්දී දැක්කා සුනිල්, නිවාසේ ළිඳ ළඟ ගහේ නං ලොකු කුරුම්බා වල්ලක්ම තියෙනවා...”

“අනේ, අනේ... ඕක තමයි උඹලගේ රාජකාරිය. යකෝ, අපේ ආච්චිට ඇහුණොත් නං ඉවරයි පුතෝ. අනික ටැයියෝ, ඒකනේ බං උසම ගහ.”

“ඒක නං ඇත්ත රංජි. බෑවොත් නං....”

“මැරෙන වැඩක් බං....” සුන්නා කිව්වේය. ඔහොම වැඩක් කරන්නට කලින් අංජනං බලන්නම වෙයි.

ඒ කාලයේ ඇමෙරිකාවේ ජනාධිපති රිචඩ් නික්සනුත්, ඔහුගේ උපදේශකයනුත් ඒ වගේම අංජනම් බලා තිබිණි. ඒ යම් විදිහකින් හෝ ඇපොලෝ 11 සඳ ගමනේදී අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වුණොත් කියලාය.

අනාගතයේ යම් දිනෙක හඳට යන අයටත් දැකගන්නට සිහිවටන ඵලකයක්..............
“ඉරණම විසින් තීන්දු කෙරී ඇත්තේ සාමය උදෙසා සඳ මත ගොඩබට මිනිසුන් සමාදානයේ සැතපීම සඳහා සඳ මත රඳවා ගැනීමට ය.
නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්රින් නම් මේ එඩිතර මිනිස්සු තමන්ට මේ ඉරණමින් ගැලවීම සඳහා බලාපොරොත්තුවක් තබාගත නොහැකි බව දන්නා අතර ම තමන්ගේ මේ කැප කිරීම මානව වර්ගයා තුළ තවදුරටත් බලාපොරොත්තු ඉතිරි කරන බව ද දනිති.

මොවුන් ජීවිත පූජා කරන්නේ උත්තම අභිලාෂයක් වෙනුවෙනි. ඒ සත්‍යය සෙවීමටත් අවබෝධයටත් ය.....” 

ඔය කිව්වේ සේරම නොවේ. හඳට ගොඩබැස්ස ගගනගාමීන් දෙන්නාට මොන අවාසනාවකින් හරි එහෙම නතර වෙන්නට වුණා නම් .... ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් කරන්නට හිටි කතාවේ මුල් කොටසේ පරිවර්තනය විතරය. 

ඒක ලියලා තිබුණේ ජනාධිපති කතා රචක විලියම් සැෆයර්ය. 

හඳ ගමනෙන් අවුරුදු තිහකට පස්සෙය, ඒ කතාව එළියට ඇවිත් තියෙන්නේ.

පණ්ඩිතයා වගේ ඒ ටික මෙතැනට ඔබන්නට හැකි වුණේ ‘විදුසර’ට පින් සිදු වෙන්නටය. එහාටම ගිහින් සේරම බලන්නට හිතුණා නේද? 

එතනදී නම් හරි නැති වැඩකුත් වෙලා තිබෙයි. ෆොටෝ එකේ වම් පැත්තේ තියෙනවා වගේ කුණු මලු 96ක් ..........
දැන් යමු ළමා නිවාස වත්තට..... “මචං, කුරුම්බා වල්ල බෑවෙ නැතිනම් වැඩේ මාට්ටු වෙනවාමයි, අපි කවරුවත් ගෙදර නැති නිසා අද නං ආච්චි ඉන්නේ වෙනදටත් වැඩිය හෝදිසියෙන්... ආච්චිලා ගෙදර නං කඹයක් තිබ්බා... ඒක ගන්න ගියොත් නං...”

සුනිල්ට එකෙල-මෙකෙල වෙන්නට නොදී ස්ටැන්ලි ආපහු ගෙදරට ගියේය. ඒකා ආයෙම ආවේ තේඩාවක් උස්සාගෙනය. “හොඳ වෙලාවට මේක මඩුවේ තිබ්බේ... යං.”

එතකොට මට අවුරුදු පහළොවකි. අනෙක් හොර කුරුම්බාකාරයන් දෙන්නා ඊටත් බාලය.

නීල්, එඩ්වින්, මයිකල් තුන්දෙනාම එතකොට අවුරුදු තිහේ හිටියෝය! 

මතක් කරනකොටත් හිනා යයි. අප කාටත් හොරෙන්, ආච්චිට නොදැනෙන්නට ළමා නිවාස වත්තේ උසම පොල් ගහේ කරඬුවට යන්නට සැලසුම් කරද්දී, ගගනගාමීන් තිදෙනා ඉන්නට ඇත්තේ හඳෙන් පස් රාත්තල් 20ක් පොළොවට ගෙනෙන්නට සූදානම් වෙමින් විය යුතුය.

ආච්චිට නොදැනෙන්නට ළමා නිවාස වත්තේ උසම පොල් ගහට නඟින්නට ප්ලෑන් කරද්දී..........

එතැනදී නම් නොගැළපෙන වැඩකුත් සිදුවෙලාය. 
ආපසු ගමනේදී හැකිතාක් බර අඩු කරගත යුතු නිසා ගගනගාමීන්ගේ බහිස්ස්රාවි ද්‍රව්‍ය මලු 96ක් හඳේ දමා ඇවිදින්ය! 

දැනට නම් හඳට ගිහින් තියෙන්නේ මිනිසුන් දුසිමක් විතරය. 

මතු යම් දවසක හඳේ ජනාවාස හැදුණොත්.... කසල කළමනාකරණයෙන් හම්බ කරගන්නට අපේ පොලිටික්කනුත් එහාට යනවා සහතිකය. එයාලා හැත්ත-බුරුත්ත පිටින්ම උඩු ගුවනට යවලා ගෙන්නා ගන්නට හැකි නම් මරේ මරුය. 

එහෙම යහ කල්පනාවක් මට පහළ වෙන්නේ නිකම්මත් නොවේ.

මෙතෙක් උඩු ගුවනට ගිය ගගනගාමීන් හැම කෙනෙකුගේම ‘පුරුෂ බීජ’ ජනක ශක්තියෙන් තොරවී තිබෙන නිසාය. නිශ්චිත හේතුවක් තවම හෙළිවී නැතත් ඒකෙන් අපේ රටට සෙතක් කරගන්නට පුළුවන් නේද?

ඉතින්, අපේ සුනිල් තේඩාවත්, පිහි කොටයත් අරගෙන ඉස්සෙල්ලාම ගහට නැංගේය. “ටැයියෝ... උඹ කුරුම්බා වල්ල පරෙස්සමෙන් බාපන්. කඹේ දිග මදි වුණොත් නං උඹටත් බාගයක්වත් නඟින්න වෙයි.”

තරු එළියෙන් පෙනුණේ..............
සුන්නා කිව්වා හරියට හරිය! එයා පොල් ගහේ කරටියේ ඉඳගෙන, කඹය ගැට ගසා, කුරුම්බා වල්ල බෑවේය. තරු එළියෙන් පෙනුණේ කුරුම්බා වල්ල අතරමඟ නැවතී තිබෙන බවය. ටැයියා අතේ තිබුණේ කඹ කෙලවර විතරය. “රංජි දිග මදි... දිග මදි..” ටැයියා කෙඳිරුවේය.

“සුනිල්ට විතරක් බර දීලා බෑ.... ටැයියෝ, කඹෙත් අල්ලාගෙන උඹත් නැගහං...” මම කීවෙමි.

නැංගා තමයි! ස්ටැන්ලි ටික දුරක් ගහට නැග්ගේය. අඩි දහයක් විතර වෙන්නට ඕනේය. මිනිහාට ‘ක්ක්ක්ක්කෙළියා’ කියවෙනවාත්, කුරුම්බා වල්ල බිමට වැටී සී-සීකඩ විසිරෙනවාත් දෙකම වුණේ එක විඩේමය. තත්පරයක්වත් පමා නොවුණු මා හිටියේ එතැනම තිබුණු කැප්පෙටියා පඳුරු ගොල්ලේය. සුරුස් ගාලා, බිමටම රූටාගෙන ආ ස්ටැන්ලි පළමුවත්, සුන්නා දෙවනුවත් ඒකටම රිංගා ගත්හ. විනාඩි පහක්-දහයක් බලාගෙන හිටියත් ආච්චිගේ ලකුණක් නොවිණි. අප එළියට බඩ ගෑවේ එතකොටය.

“බඩයි පපුවයි හීරිලා බොලේ! ලේත් එනවා.”
“එ එ එක්ක්ක්කට  න්නං ක්ක්ක්කමක් නෑ මචං. උඹලගේ ආච්චිට අහු නොවී.... හිටපන් බලන්න... කුරුම්බැට්ටියක් තිබුණොත් උරච්චි කරලා ගාපුවම හරිනේ”

නීල්ලා හඳට ගිහින් චන්ද්‍ර පාෂාණ රාත්තල් 20කුත් අරගෙන ආවත්, අපට එක..........
Neilලා හඳට ගියෝය. මිෂන් එක සාර්ථකව නිමා කොට චන්ද්‍ර පාෂාණත් අරන් ආපහුත් ආවෝය. අපේ සුන්නාත් එදා රාත්‍රියේ උසම නෙරළු තුරක කරඬුවටම නැඟලා එයාගේ කොටස සාර්ථකව කළේය. එහෙම වෙලාත්, අප කැප්පෙටියා ගොල්ලෙන් ඇවිත් බලද්දී සේරම කුරුම්බා පුපුරලාය! අපේ මිෂන් එක 100%ක්ම ෆේල්ය෴

පසු සටහන: සඳ ගමන ගැන තොරතුරු හා ඡායාරූප රැසක්ම මා ලබාගත් මූලාශ්‍ර මෙහි දක්වන්නේ රසික ඔබටත් එයින් පලක් වෙතියි හිතලාය! 
මෙතෙක් මට දිරි දෙමින්, ‘නිදිගෙ පංච තන්තරේ’ට විවිධාකාරයෙන් සහාය වෙමින් මා හා රැඳී හිඳින හිතාදර ඔබට කෙරෙන කෘතවේදී සංග්‍රහයකුත් විදිහටය; මෙච්චර දිගට ලිව්වේ.
ඒ අද මා ලියුවේ 200වෙනි පෝස්ටුව නිසාය!

 

33 comments:

  1. සාමයෙන් යුතුව අභ්‍යවකාශයේ යාත්‍රා කරනා නිර්භය මිනිසුන් සිය කැපවීම තුළ මනුෂ්‍ය වර්ගයාට බලාපොරොත්තුවක් තිබෙන බව ඔවුහු දැන සිටිති.

    මේ මිනිසුන් මනුෂ්‍ය වර්ගයාගේ උතුම්ම අරමුණ වන සත්‍යය සහ අවබෝධය සොයාගැනීම සඳහා සිය ජීවිත කැප කර තිබේ…..

    ඒ උත්තමයන්ට සාන්ත අන්තෝනි මුණිතුමාගේ පිහිට ආරක්ෂාව පාර්ථනා කරමු

    ReplyDelete
    Replies
    1. යහපත් හිතිවිල්ලක්! ස්තුතියි!!

      Delete
  2. ලිපිය දිගයි ඒ වුනාට හොඳයි. මට අවුරුදු 4 විතර ඇති. ඒ නිසා කිසි දෙයක් මතක නැහැ.

    ReplyDelete
  3. Replies
    1. දැනට නම් බාගයක් විතර ලියවිලාද කියලත් හිතෙනවා අසංග!

      Delete
  4. https://www.aljazeera.com/indepth/opinion/2013/05/2013521386874374.html

    https://www.livescience.com/65984-top-moon-conspiracies.html

    ReplyDelete
    Replies
    1. Pra Jay, ලින්ක්ස් දෙකටම ගිහින් බැලුවා.

      වොන් බ්‍රවුන්ට වයස දහතුනේදී අම්මා දුන් ටෙලෙස්කොප් එක නිසා ගිහින් තිබුණු දුර දකිද්දී අපේ අම්මලා-තාත්තලා දරුවන්ට දෙන දේවල් ගැන දුක හිතෙනවා.

      හැබැයි, ඒ ලිපියෙම කියලා තියෙනවා වගේ මනුස්සයාගේ පෙර වැරදි අමතක කරන්න ඕනේ නැහැ. පසුව කළ සේවය අගයනවා වගේම. අංගුලිමාලටත් රහත් වෙන්න හැකි වුණේ, අන්තිම වැරදි මිනිහෙකුට වුණත් පස්සේ හොඳ වෙන්න හැකියිනේ.

      දෙවෙනි ලිපියේ තියෙන දේවල් ගැන විරුද්ධ වෙන්න තරම් අපේ දැනීම මදි.

      හැබැයි, මං වගකීමෙන් කියනවා හඳේ බලපෑමක් මිනිසුන්ට තියෙනවා කියලා.

      ඕනෙම කෙනෙකුට කියන්න පුර පක්ෂයේ දින ඇතුලේ කොණ්ඩය කපලා වැවෙන වේගය මැනලා බලන්න. ඒක වැඩියි.
      අව පක්ෂයේ දවස්වල කොන්ඩේ කැපුවාම වැවෙන්නේ හෙමින්. ජොලියට කරලා බලන්න පුළුවන් නිරීක්ෂණයක්. මම දැනටත් කොන්ඩේ කපන්නේ අව අල්ලලා.

      Delete
  5. 1969 වෙනකොට මට වයස හතයි. ඒක නිසා මට එතරම් දැනුම් තේරුම් ඇති වයසක් නොවෙයි. හඳට ගිය තුන්දෙනාගේ ලස්සන වර්ණ පින්තුරයක් ඒ කාලේ ඇමරිකන් එම්බසි එකෙන් නොමිලේ දුන්නා.මගේ හිතේ තිබුනේ ඒ කාලේ හාල් සේරුවක මිල සත හැටක් විතර කියලයි. හාල් පොත් වලට දෙන "රට හාල්" නම් ඊටත් වඩා අඩුවට තිබුනා කියලයි මම හිතාගෙන හිටියේ !. සීනි සත 72, පරිප්පු හුන්ඩුව සත 28, පාන් 35 මිහිර පත්තරේ සත 25, ගිනි පෙට්ටියක් සත පහට තියනවා මට හොඳට මතකයි. අපොයි රටකට ගිය කල කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සෑම්, හාල් සේරුව සත 55 ටද කොහෙද තිබුණේ සමූපකාරෙන් හාල් පොතට දුන් එක නේද?
      ඇත්තටම උද්ධමනය තේරුම් ගන්න ගණනම සසඳන්න වෙනවා තමා.

      Delete
  6. එකක් අතනෑර කියවන්ට පුලුවන් පෝස්ට් 200. අගට තව බින්දු එකතුකරගෙන ඉස්සරහට යන්න ශක්තිය හා දයිර්ය ලැබේවා.

    ReplyDelete
  7. 200ට සුබ පැතුම්. හඳට යන්න පුලුවන් තරං උසට ලියන්න හැකියාව ලැබේවා.

    කුරුම්බ පිපුරුවම මොකද ඔය මුලින්ම හඳට යන්න ප්ලෑන් කරගෙන හිටපු අයත් අත්වැරදීමකින් මොකක්ද අටමගලයක් අස්සෙ බේක් වෙලා තිබ්බ නේද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, අපිට නං වෙන්නෙම අලකලන්චිනේ.

      ගුවනට යන්න හදලා කී දෙනෙක් නම් අවසන් ගමන් ගියාද?

      Delete
  8. “ඉරණම විසින් තීන්දු කෙරී ඇත්තේ සාමය .........

    උන්දලත් ඔය ඉරණම් කතා විශ්වාස කරවද අම්මපා !!??

    පිට රටවල උන්දලා හදට ගිහින් පසුත් අරන් එද්දි අනේ අපිට පොල් වල්ලක්වත් බාගන්න බැරිවෙන එක හෙන දුකක් නේද?

    හැබෑටම උන්දලා පැය හතක් විතර හඳේ හිටියද? මම හිතුවෙ පටස් ගාලා ආපහු ආවා කියලා.. ගිය ඉරිදා මව්බිම පත්තරේද කොහෙද තිබුනා හඳට පය තියපු සාපය වැදිලා දෙන්නගෙම ජීවිත ඊට පස්සෙ කාලකණ්නි වුනා කියලා...

    කුණු දාල ආපු එකනම් කැත වැඩේ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ශෝක පණිවිඩයක් වුණාම දෙන්න එපයි කඳුළු උනන්න, එක අතකට අපිට වැඩියි එයාලගෙ මිත්‍යා විශ්වාස!

      මට නම් මව්බිම කියවන්න වුණේ නැහැ. හඳට ගිහින් තියෙනවනේ 12ක්.

      කුණු දාලා එන්න වෙලා තියෙන්නේ පස් කිලෝ 20ක් ගෙනෙන නිසා.

      Delete
    2. අම්මපා ! මම හිතුවෙ මුන් දෙන්නා විතරයි කියලා. ඇමෙරිකාවෙන් විතරද? රුසියාවත් පස්සෙ යැව්වද?

      Delete
    3. සෙන්නා, එක සැරේම නෙවෙයි තව දහ දෙනෙක් ගියේ. වරින්වර.... පොඩ්ඩක් ජාලයේ කරක් ගහන්නකෝ!

      Delete
  9. ලොකාට කියන්ඩ මං තමයි ඔය හදට ගිය රොකැට් එක හැදුවෙ. ලංකාවටත් එකක් හදල දෙන්ඩ උවමනාව තිබ්බත් නීල් කිව්වනෙ කවුද කොල්ලො දෙන්නෙක් හදට එන්ඩ ගහ්ක් බඩගානව දැක්ක කියල ලංකාවෙ ඉදල.ඉතින් ඇමරිකන් කාරයො කැමති උනේ නෑ මෙහෙට්ට රොකැට් එකක් දෙන්ඩ. ඒකයි මං ඇමරිකාවෙන් චුත වෙලා මෙහෙට්ට ඇවිල්ල ඉපදුනේ....මං හිතුවෙ අර නීල් කියපු කොල්ලො සෙට් එක හොරෙම්ම හදට යන්ඩ ඇති කියල. ඒකයි මං උකටලීව වැද හොත්තේ..දැන්නෙ බොල දන්නෙ සීන් කෝන් එක...ඔන්න එහෙනං හෙට ඉදං මං හදනවා ලංකාවෙ රොකැට් එක.....එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා....කවදහරි ඔයා දෙදාහ ලියපු දවසට මතක් වෙයි දෙසීය කියන්නෙ පොඩි ගානක්නෙ කියල....සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ලොකු, එතකොට අර ජෝතියි, මිල්ටනුයි, එම්.එස්.ද කොහේදැයි කියන සිංදුව 'ලෝකෙට ලොක්කා මං තමයි -ගම දුනියාවේ, මේ වගේ ලොකුකම් කවුරු කරාවිද ලංකාවේ' එකේ හඳට රොකට් එක අරන් ගියේ මං කිව්වෙත් ඔබතුමා ගැන වෙන්ඩම ඕනෑ.

      Delete
  10. 200 ට සුබ පැතුම්.....

    ReplyDelete
  11. ඒ වගේම ..... ලිවීම ගැනත් සතුටුයි.... ඉක්මනින් 2000 ලියමු නේ....

    ReplyDelete
  12. හොඳ ලිපියක්. වොන් බ්‍රවුන් ගැන දැනගෙන හිටියේ නැහැ. වෙනදට ගොඩක් වෙලාවට ලියන්නේ මොකක් හරි කතාවක ඉතිරි කොටස් නිසා වැඩිය කියවන්නේ නැහැ... ඔක්කොම කියවන්න වෙන්නේ නැති නිසා. ඉතිරි කොටසක් නොවන එකක් කියල දැකපු ගමන් ඇවිල්ල බැලුවා :) :)

    ReplyDelete
    Replies
    1. පාඨකයන් ගනතව පැත්තකුත් ඔයාගෙන් දැනගත්තා පැතුම්, ස්තුතියි!

      Delete
  13. //ඒ අද මා ලියුවේ 200

    රස කතා ලියලා
    අපව දැනුවත් කරලා
    බොහෝ පිං ලබලා
    නිදි ඔබහට ජයම වේවා

    //අඩි දහයක් විතර වෙන්නට ඕනේය
    අනුනමෙන් නොවැ ටැයියා බේරිලා තීන්නේ.ඔලුව උඩට අතහැරුන නං ඔන් ද ස්පොට්.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ,

      රසිකයො කියෙව්වත්
      රසයක් ලබා ගත්තත්
      කිව යුතුය මේකත්
      බොරු නොවෙයි මේ කියු එකක්වත්

      කියන්නේ ඇත්තයි
      සිදුවුණු දෙයක් විතරයි
      ටිකක් නං ඉවරයි
      ලියන්නට දිරි දෙන්නෙ ඔබලයි

      හැමට තුති වේවා
      දිරි-සවි-එඩි වැඩේවා
      ජය-ජය-ජයම වේවා
      සියල් සතහට සෙතම වේවා!

      Delete
    2. ඇත්ත ඇති සැටියෙන්
      කියයි පුරවා රසයෙන්
      වැඩ දෙන්න කවියෙන්
      නිමල් රුසියෙක් වගෙයි වැටහෙන්

      Delete
    3. අරටු රුක් නොමැති රට තුත්තිරි ගහ ගසකි
      කවියන් නොමැති තැන 'නිදි' කවිකාරයෙකි
      චමී, කවි ලෝකයට මං නම් නවකයෙකි
      ඔබලගෙ වදන් දිරි ගන්වන අමාවකි

      Delete
    4. අපහට උරුම දෙස බස රැස ඉවතහෙලා
      නොරටින් පැමිණි පුහුදේ මානයෙන් බදා
      දරුවන් තුලින් නුපන් රසවතුන් මරා
      කවියන් දැන් නැතැයි අපි ඉදිමු උඩ බලා

      Delete
  14. "අරටු රුක් නොමැති රට තුත්තිරි ගහ ගසකි", සුද්ද්ගෙ භාෂාවෙන් කිවුවොත් - In the country of blind, one eyed man is the king.

    ReplyDelete