අකුරු මැකී නෑ

Tuesday, August 13, 2019

හරෝහරා! - පස්වෙනි කොටස

මහීෂ ප්‍රශ්නය නිසා පා ගමනට නොලැබෙන්නට ගිය නෙවිල්ගේ සහභාගිත්වය...........
මහීෂ අබග්ගය නිසා කෙළවෙන්නට ගිය නෙවිල්ගේ සහභාගිත්වය යළි තහවුරු වුණෙත් නොසිතූ අයුරකිනි.

අපේ සුනිල්ට රූපවාහිනිය නැතිවම බැරිය. මිනිහා එතැනින් නවතින්නේ නැත. “අයියේ, හොඳ ජ්‍යෝතිෂ වැඩ සටහනක් යනවා... නියමම ට්‍රිප් එකක් ගැන විස්තර මේ දැන් යන වැඩ සටහනක කියනවා අයියේ... මරු දේශපාලන විවාදයක් යනවා...” කියමින් මිනිහා විඩෙන්-විඩේ මටත් ටෙලිෆෝන් කරයි. 

නොමිලයේම ලැබුණු ඒ service එක දැන් නතරවෙලාය. මා මේ අවුරුද්දේ මුල සුනිල්ට මෙහෙම කිව්වාට පස්සෙය.

“පණිවිඩේ කිව්වට නං ස්තුතියි සුනිල්, මං ගෙදර තිබුණු tv එකත් මානෙල්ලට දීලා දැම්මා. මාස ගානකටවත් මං ඒක on කරන්නේ නැහැනේ... බලන එකක් කම්පියුටරෙන් බලනවා මිසක්...”

එයින් පස්සේ සුනිල්ගේ පණිවිඩ නැවතුණත්, ඒ පුරුද්දෙන් 2013දී නෙවිල්ට ‘ගොන්’ කතාවකුත් එක්කම මතු වුණු ‘ගෙට ගෙවැදෙන ප්‍රශ්නය’ට නම්, උත්තරයක් ලැබිණි.

ඉස්සෙල්ලාම ගෙට ඇතුළු වෙන්න තියෙන්නේ හරකෙකුට!
‘ගොං කතාව’ මේකය. “මාර කතන්දරයක්නෙ නැකත් බලන්න ගියාම අපේ අම්මට කියලා තියෙන්නේ.... ඉස්සෙල්ලාම නැකතට ගෙට ඇතුල්වෙන්න තියෙන්නේ අපිට නෙවෙයි. හරකෙකුට...” නෙවිල් අපට කිව්වා විතරය. comments වැස්සක් වැස්සේය.

"හරිනේ යකෝ, ගෙදර ඉන්න යන ලොකුම හරකට වැඩිය මොළේ තියන එකෙක් ඉස්සෙල්ලම ගෙට ගියාම හොඳයි වෙන්නැති.”

“නැහැ අයියේ, එහෙම කරන්න කියන්නේ වස්-දොස් යන්න. දෝෂ තිබ්බොත්.......”

“මොන ඉලව් දෝෂයක්ද සුනිල්? ලක්ෂ ගණනක් වියදම් කරලා ගෙයක් හදලා ඉස්සෙල්ලම හරකෙක් ගෙට යවන එකම හරි මස්තබාල්දුකමක්නෙ. ඔන්න ඉන්දියාවේ නං ‘ශුද්ධවූ ගවයා’ට මිනිස්සු වඳිනවා, ඒත් අපි.... ”

“නෙවිලෝ, ගෙදර උලුවස්සෙන් තඩි හරකෙක්ව ගෙට ගෙනියන්නේ කොහොමද බං.... ටයිල් කරලා නේද තියෙන්නේ? උඹට තියෙන්නේ හරකෙකුගේ බෙල්ල කපලා, ඒකත් අරන් ගෙට ඇතුල් වෙන්න.....”

ඔන්න ඉන්දියාවේ නං මිනිස්සු ශුද්ධවූ ගවයාට වඳිනවා!
“නැහැ මර්වින්, ගිය සුමානේ සියත tv එකේ ගිය වැඩ සටහනකදිත් කිව්වා. මේ ජුලි මාසේ අග සුපිරි නැකතක් තියෙනවය කියලා ගෙට ගෙවදෙන්න... දැනුයි මට මතක් වුණේ. ඒ නැකත ඕනෙම කෙනෙක්ට සුබයිලු. මේ සුමානේ වැඩ සටහනේදී සේරම විස්තර කියනවා කිව්වා.”

අපට පොටක් පෑදුණේ ඒකෙන්ය. ඒ සතියේ ‘චතුර් විද්‍යා’ වැඩ සටහනේදීත් නැකත ගැන කියවුණේය. අලුත් ගෙට වෘෂභ රාජයෙකුගේ හොම්බ පොවන එකේ සුභ ඵල ගැනත් කියවුණේය.

“නෙවිල්, අම්මට කියමු මේ නැකතට ගෙට ගෙවදෙමු කියලා.... ඔයාලට දීපු නැකතට වැඩිය මේක හොඳයි කියමු... තියෙන්නෙත් ඊට දවස් දෙකකට කලින්නෙ.” 
නෙවිල්ගේ සහභාගිත්ව ප්‍රශ්නය එහෙම විසඳුණේය.

ගෙට ගෙවැදිලා දවස් දෙකකින් නෙවිල් අපත් සමඟ 2013 පාද යාත්‍රා ගමනට එකතු වුණේය. 

ඒ ජුලි 31 වෙනිදා හිමිදිරියේය. 
මේ අවුරුද්දේ අප පිටත් වුණේ ජුනි 25 වෙනිදා හැන්දෑවෙදීය.

සමහරු පාද යාත්‍රාවට ඇවිත් තිබුණේ අතදරුවන් එක්කය. (foto- දමිත් සංජය අමරසේකර)
“ඕනෙම දේවාලෙක, කෝවිලක වැඳුම්-පිදුම් කරන දෙවි-දේවතාවුන් වහන්සේලාගෙ පිළිම අඹලා තියෙනවනේ. නිමල් දන්නවද.... පාද යාත්‍රාවෙන් ගිහින්, ඔයාලා යන්න හදන කතරගම දේවාලේ ඇතුළේ කිසිම දේව ප්‍රතිමාවක් නැති බව?”

“එතකොට....? දේවාලේ ඇතුළේ මොනවද ....”

“මුළු දකුණු ආසියාවෙන්ම, අදාළ දේව ප්‍රතිමාවක් නැති එකම ප්‍රධාන දේවාලය විදිහටයි කතරගම දේවාලය සැලකෙන්නේ!” 
මං ඒ කතාවෙන් විස්මයට පත් වුණත්, මගේ හිතවතා එදා ඊට වඩා තොරතුරු හෙළි කළේ නැත.

පාද යාත්‍රාවේ යන අය; වසරකට එකම වතාවක් හෝ කතරගම දෙවොල පිදීමට යාම අනිවාර්ය පුරුද්දක් කරගෙන සිටින අය පවා මේ ගැන දැනුවත්දැයි මට නම් සැකය. 

ප්‍රතිමාවක් නැති වුණාට මොකෝ, දෙවොලේ දෙවියන් වැඩ සිටිනවා නම්!

සකොණ යන්ත්‍රය හා 'ඕම් අක්ෂරයත් යන්ත්‍ර සටහනත් ' සහිත පෙන්ඩන්ට් එකක්.........
“මං ඔය ඔත්තුවක් විතරයි දුන්නේ. තමුසේ පාද යාත්‍රාව ගැන පොතක් ලියන්න කරුණු එකතු කරන නිසා. හොයාගන්න බැරි වුණොත් අහනවකො. net එකේ search කරනවා!” 

නම කියනවාට අකැමැති ඒ හිතවතා නියම ගුරුවරයෙකි. 

කරුණු හොයන්නට පෙළඹවීම ඉතාම වැදගත්ය. ඉගැන්විය යුත්තේ එහෙමය. උගත යුත්තේ එහෙමය; තමන්ම මහන්සි වෙලාය. අපේ රටේ නම් පහේ පන්තියටත් ඉස්සෙල්ලාම ළමයින් වෙනුවෙන් ඉස්කෝලේ යන්නේ අම්මලා-තාත්තලාය!

කතරගම දේවාලය ඇතුළේ තිබෙනවාය කියන්නේ ‘සකොණ යන්ත්‍රය’යි; 
නිකම්ම නිකම් යන්ත්‍රයකුත් නොවේ. 
දොළොස් අවුරුද්දක් තිස්සේ ‘ශරවනභව’ ෂඩාක්ෂරයෙන් ජපයෝග පිරූ සකොණ යන්ත්‍රයයි.

ස්කන්ධ කුමාර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආවේය. ඒ ආවේ ප්‍රිය බිරිය ‘තේවානි’ හෙවත් ‘දේවයානි’ තනි කර දමමිනි. 

කියවෙන හැටියට නම් කඳ කුමරු ලංකාවට ආවේ පෙර භවයක ඔහුගේ පතිනිය වී සිට, දැන් වැදි රැහැක ඉපිද සිටින ‘වල්ලී’ සොයාගෙනය. ඉතින් තේවානි පති විප්‍රයෝගයෙන් දැවෙන්නට වූවාය! දැවෙමින් විසඳුමක් සෙව්වාය.

මේ කාලයේත් ඉන්දියාවේ සාධුවරුන් හිඟ නැත!
“කල්‍යාණගිරි තවුසාණෙනි. මා වෙනුවෙන් මේ රාජකාරිය ඉටු කළ හැකි ඔබටම පමණයි. කෙතෙක් කල් ගියත් කම් නැහැ. ලංකාවට ගොස්, මගේ හිමියන් හමුවී, නැවත එතුමා මෙහි කැටුව එන්න! එතෙක් මා මඟ බලා හිඳින්නම්.” තේවානි අම්මා කල්‍යාණගිරි තාපසයාට කීවාය.

ඒ යුගයේ දඹදිව් තලයේ පෙළපත් දහයක තවුසන් සිටි බව සඳහන් වෙයි. 

නම් වශයෙන් ගතහොත්- ගිරි, පුරි, භාරතී, ආශ්‍රම, තීර්ථ, ආරණ්‍ය, පර්වත, සරස්වතී, මන, භාරතී තීර්ථ ඒ දහයයි. කල්‍යාණගිරි තවුසා අයත් වන්නේ ගිරි පෙළපතටය. 

සොයා බලනවිට පෙනෙන්නේ මේ හැම තවුසෙකුම, සාධුවරයෙකුම අතිශයින් විශ්වාසවන්ත- කැපවුණු- අරමුණ ජය ගන්නා තුරුම පසු නොබසින අය බවයි!

‘ඒත් ස්කන්ධ කුමාරතුමාව හමු නොවී කොහොමද ආපහු ඉන්දියාට එක්කගෙන යන්නේ?’ ලංකාවට ආව තවුසා හිතුවා.

ලංකාවට පැමිණි කල්‍යාණගිරි තාපසයා සකොණ යන්ත්‍රය ඉදිරිපිටින් තියාගෙන....... 
ඉතින් කල්‍යාණගිරි තාපසයා කළු ගලක කෙටුව ‘සකොණ යන්ත්‍රය’ක් ඉදිරිපිටින් තියාගෙන දිවා රෑ නොබලා ජප යෝගය පිරුවා. 
ශරවනභව කියන ෂඩාක්ෂර මතුරමින් දොළොස් අවුරුද්දක් ජප යෝගය පිරුවේ ‘කඳ කුමරුන් මා ඉදිරිපිට දර්ශනය වේවා!’ කියන අදිටන ඇතිවයි. 

ඒත් හරි ගියේ නැහැනේ. දැන් තාපසයාට හොඳටම මහන්සියි; වෙහෙසයි; නිඳිමතයි. අන්තිමේදී සේරම පැත්තක දමලා කල්‍යාණගිරි ගොරව-ගොරවා නින්දට වැටුණා.

ඒ දවස්වල තාපසයා ඔහොම ජප යෝග පුරන තැනට යන්න-එන්න පුරුදු වෙලා හිටියා වැදි කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. 

උන් දෙන්නා එන හැම දවසකම තාපසයා ඉඳගෙන මතුරමින් ඉන්නවා විතරයි දැක්කේ. මෙන්න වැඩේ, එදා එද්දී මිනිහා බිම දිගාවෙලා. ‘මේ මනුස්සයා මැරිලාවත්ද’ කියලා ඒ කොල්ලට හිතෙන්න ඇති. ළඟටම ගිහින් අතගාලා- ඔබලා- මිරිකලා බලන්න පටන් ගත්තා. 

එතකොට තවුසාගේ නින්ද කැඩුණා; ඇහැරුණා. කල්‍යාණගිරිට යකා වැහුණා. සැරයටියත් උරුක් කරගෙන වැදි කොල්ලා පස්සේ පන්නන්න ගත්තා.

සකොණ යන්ත්‍රය සහිත කඳ සුරිඳුන්ගේ රූපයක් 
වැදි ළමයි දෙන්නා ආත-බූත කඩාගෙන දුවනවා, තාපසයා පස්සෙන් පන්නනවා. 
ළමුන් දෙන්නා සෙල්ල කතරගම හරියේදී මැණික් ගඟ හරහා දුවන අතරේ තාපසයා ඉද්ද ගැහුවා වගේ නැවැතුණා; නැවතිලා වැඳ වැටුණා.

කතරගම දෙවි හාමුදුරුවෝ වල්ලි අම්මාත් එක්කම දර්ශනය වෙලා!

“අනේ දෙයියනේ, මං දොළොස් අවුරුද්දක් මහන්සි වුණේ මේ දේව දර්ශන ප්‍රතිලාභය ලබාගන්නනේ.” එහෙම හිතුවා මිස එක සැරේම කඳ කුමරුන්ට ‘ආපහු යමු’ කියන්න තවුසාට හිතුණේ නැහැ. ඒ වාසිය ගත්තේ වල්ලි අම්මාය. 

“කල්‍යාණගිරි තවුසාණෙනි, ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්නෙමි. කිසිදු අයුරකින් මගේ හිමියන් මගෙන් වෙන් නොකළ මැනවි!”

වල්ලි මාතාව එසේ ඉක්මන් වුණු බැවින්, තවුසා අසරණ වීල. 

අන්තිමේදී ඔහුටත් සිදු වුණේ ලංකාවේම නවතින්නටය. තේවානි අම්මාන් කෝවිල සෑදවූයේ ඔහු විසිනැයිද ප්‍රවාදවල කියැවේ.

තවමත් කතරගම දෙවොල තුළ දේව ප්‍රතිමාවක් නැති බවත්, තිබෙන්නේ 'සිද්ධි' වීම නිසා රැස් විහිදෙන ................
තවමත් කතරගම දෙවොල තුළ තැන්පත්ව තිබෙන්නේ කල්‍යාණගිරි තවුසා ජප යෝග පිරූ ‘ශෛලමය සකොණ යන්ත්‍රය’ බව විශ්වාස කෙරෙයි. තවුසාගේ ජපයෙන් ‘සිද්ධි’ වී ඇති බැවින් ඒ යන්ත්‍රයෙන් තවමත් ‘රශ්මි කදම්භයන් නිකුත් වේ’යැයි ඇදහිල්ලකුත් තතු දන්නා අය අතර තිබේ!

පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ගෙනුත් ගිනිරැස් නම් විහිදෙනවා. දේව බලයකින් හරි සිද්ධි වීමකින් හරි නම් නෙවෙයි; යක් කටුවක් ඇනුණාම.

අපට පා ගමනින් යන්න තියෙන්නේ කුමන හා යාල වනෝද්‍යාන දෙක මැද්දෙන්. 

ඒ වපසරියේ ගහ-කොළ පණ ගහලා කොළ-දලු දමලා නිල්ල ගහන්නේ ඊසාන දිග මෝසම් වැස්සෙන්. 

ඉතින් ඒ ඉසව් ‘අර්ධ සදාහරිත වනාන්තර’ කියල හඳුන්වන එක පුදුමෙකුත් නෙවෙයි. වැඩි හරියක් තියෙන්නේ පඳුරු... ලඳු කැලෑ. ඒත් පලු, කොහොඹ, දිවුල්, සියඹලා, මයිල ගස් වගේම ගං ඉවුරු දෑලේ අහසටම නැඟුණු සුවිසල් කුඹුක් ගසුත් අපව පිළිගන්නේ හමන පවන සිසිල් කරමින්.

යක් කටු වගේ පඳුරු නැති තැනක, හෙවණක නැවතිලා  විඩා නිවාගෙන.....
 හුඟක් බැතිමතුන් පැයක හමාරක ගමනකින් පස්සේ විඩා හරින්න නවතිනවා. ඒ යක් කටු, එරමිණියා, පතොක් වගේ ගස් නැති තැනක, පොඩි හෙවණක.

එහෙම වෙලාවක දමිළ උදවිය නම් snack එකකින් සප්පායම් වෙන්න අමතක කරන්නෙත් නැහැ. 

ස්නැක් කොහෙන්ද බොලේ එහේ? ඔයාලට හිතුණා නේද. 

මේ ගමන යන්නට හිතනවා නම්, මතක තියාගන්න. මුළු ගමන පුරාවටම කිසිම බඩුවක්-මුට්ටුවක්-සීනි, තේකොළ ටිකක්වත් ගන්න කිසිම තැනක් නැහැ. වනෝද්‍යානයක් ඇතුළේ කොහෙන්ද ඒවා. යන අය සේරම අරගෙන-උස්සාගෙන තමයි යන්නේ.

ඉතින් අර විදිහට කෙටි කෑමක් විදියට එයාලා කන්නේ හබල පෙති. හබල පෙතිවලට පොල්-සීනි-හකුරු දමලා අපි හදන විදිහට මිශ්‍ර කරලා නෙවෙයි. ඒවායේ තෙත ගතියක් ඇත්තෙත් නැහැ. වියළි හබල පෙති සීනිත් එක්ක කවලම් කරලයි එයාලා ගෙනෙන්නේ.

සමහර බැතිමතුන් ඇවිත් තිබ්බේ පවුලේම අයගෙ නඩයක් විදිහට. ඒ වගේම ආබාධිත අයත් අත් වාරුවෙන් යමින් දුරුකතර ගෙව්වා!
“නිමල් අයියේ, උයන්නේ නැතිව ඕනෙම තැනකදී ගන්න පුළුවන් ශක්තිජනක ආහාරයක්.....” මුල්ම වතාවේ සීනි මිශ්‍ර හබල පෙති කාලා බලලා දොස්තර අයස්මන්ත මහත්තයා මට කිව්වා. තර්කානුකූලව ඒක ඇත්ත. 

එහෙම වුණත් ඒවා අපේ කාගේවත්ම හිතේ නම් රැඳුණේ නැහැ වගේ. 

ඊළඟ වතාවලදීවත් ඒවා අපේ ‘මෙනු’ එකේ නොතිබුණේ ඒ නිසා වෙන්නැති. අඩුම ගානේ අපේ අය ඒවා ගැන ඇහුවෙවත් නැහැනේ!

මං දැකපු හැටියට නම් හුඟක් තරුණ නඩ වැඩියෙන් තෝරාගෙන තිබුණේ ක්ෂණික නූඩ්ල්ස්. හැබැයි ඒවා කෑවාම ඉක්මනටම ආයෙමත් බඩගිනි වෙනවා.

දෙමළ අය ඇවිත් තිබුණේ පවුල් පිටින්. අප වගේ මිතුරු නඩයක් විදිහට නෙවෙයි. 
එක නඩයක හැම වයසේම අය හිටියා. 
සමහර අය ඇවිත් තිබුණේ මුළු පවුලම. ආබාධිත අය පවා.... දමිළ තරුණයන් විතරක් ඉන්න නඩ මට නම් පෙනුනෙම නැහැ. 

හැම නඩයකම වගේ කාන්තාවනුත් හිටියා. එයාලා කෑම ඉව්වා වුණත්............
හැම නඩයකම කාන්තාවනුත් හිටියා, එයාලා කෑම ඉව්වා වුණත් තෝරාගෙන තිබුණු දේවල් අපට වෙනස්.

“අපි වගේ නෙවෙයි අයියේ, බලහන්කො.... එක කවලම් සාම්බාරුවක් එක්ක බත් ටිකක් විතරයි හදන්නේ. එක්කෝ මුරුතැන් බතක් උයන විදිහට මුංඇට කිරිබතක් සීනිත් දාලා. අර මනුස්සයා නං රටඉඳිත් දානවා... මුද්දරප්පලමුත් එක්කම.” 

වරහනදී අපේ වටේ හිටි අය උයන දිහා බලාගෙන හිටි සුනිල් කිව්වේය.

“සුනිල් අයියේ.... ඒක ලෙහෙසියි. වැඩෙත් ඉක්මන්...”

පීරිස් එහෙම කියද්දී සුනිලුත් හූමිටි තිබ්බාම නම් මම පරල වුණෙමි. 

හින්දු දේව ප්‍රතිමාවල සකොණ යන්ත්‍රය වෙනත් දෙවිවරුන් සඳහාත් යොදාගෙන ඇත.
“ඇයි මනුස්සයිනේ, තමුසෙලා දෙන්නම කිව්වා නේද මොනවා වුණත් හොඳට නොකා-නොබී නම් යන්න බැහැය කියලත්. දැන් මෙහෙම කියන්නේ?”

ගමනට සැලසුම් හැදුවේ, කෑම-බීම තීරණය කළේ, බඩු ලැයිස්තු හැදුවේ නිමල් දිසානායක විසිනි. 

“අයියේ, හැමදාම පරිප්පුයි බතුයිම නං කන්න ලැහැස්ති වෙන්න එපා. හැමදාම වුණත් කමක් නැහැ පොල් සම්බෝල නං. ඒකයි පපඩමකුයි එක්ක නං පරිප්පුත් යනවා ....” 
මුල්ම කනිපින්දම අපේ සුනිල්ගෙනි.

“අන්න හරි සුනිල් අයියේ. ඔහොම කිව්වේ නැතිනං මේකා ගොඩින්ම මඟ අරියි. මසක් මාළුවකුත් නැති එකේ....” 
ඒ නෙවිල්. ගමනට පේවෙන දවස්වලත්, පිළිහුඩු ජාති නැති බැවින් මිනිහා හිටියේ හරිම අමාරුවෙනි.

දවස් හතරක් පහක් පුරාවට මස්-මාළු-පිළිහුඩු ජාති නැතිව තනිකරම වෙජිටේරියන් ආහාරවලින් යැපෙමින්............
මේ පීරිස්. “හැමදාම වුණත් මටත් පොල් සම්බෝල නං කන්න පුළුවන්!”

මර්විනුත් නිකම් හිටියේ නෑ. “ඔව්, ඔව්, ඔව්. අපි හොඳට කන-බොන මිනිස්සු! උලා කන්නෝ නෙවෙයිනෙ මචං....”

“හරි...... කන්නමනෙ ඕනේ. ඔන්න පොල් ගෙඩි උස්සගෙන යන්න කෙඳිරිගාන්න එපා. හිරමනයක් උස්සගෙන යන්නත් බැහැ කියන්න එපා.... 
බර වැඩියි කියන්නත් එපා. මට පේන්නෙ එකෙකුට තමන්ගේ බඩු ඇරුණාම, අපේ බඩුත් කිලෝ 10-12ක් වැටෙයි වගේ.” 

මමත් කොන්දේසි දැම්මෙමි. එතකොටය කට්ටියටම වැටහුණේ. හැබැයි අපේ සුන්නා ඒකටත්  විසඳුමක් දුන්නේය.

“හරි. මං ලෙහෙසියෙන් උස්සගෙන යන්න පුළුවන් විදිහට හිරමනයක් හදල දෙන්නම්! රෙදි බෑග් ටිකකුත් මහන්නම්.”

පාද යාත්‍රා ගමනටම ගෙනියන්නට සුනිල් හැදූ හිරමණයයි, අකුළන ළිපයි........
අනෙක් අය ගැන නම් මට වගක් නැත. ගමනකට කලින් මං නම් හැම දේම ලියා, සටහන් කරගෙන හොඳට හිතා බලන්නෙමි. ඒ වෙද්දීත් මගේ හිතේ තවත් එක ප්‍රශ්නයක් ඉතිරිවී තිබිණි.

“සුනිල්. අපි කැබිලිත්තේ යද්දී දැක්ක විදිහට නම් යාල කැළේ හරියෙදි ළිප් හදන්න ගල්ගෙඩි හොයන වැඩෙත් ලේසි වෙන්නෙ නැහැ. 
දහස් ගානක් යන නිසා ඒ ප්‍රශ්නේ තවත් වැඩිවෙයි. බැරිද ඔයාට ළිපකුත් හදන්න..... හැබැයි අකුළන්න පුළුවන් විදිහට.....?”

සුනිල් ඒ රාජකාරියත් ටක්කෙටම ඉෂ්ට කළේය. 

මෙතෙක්, ඒ ළිප අපේ ගමන් තුනටම සහභාගී වුණේය. දමිළ පාද යාත්‍රාකරුවන් වැඩි දෙනෙකුත් යකඩෙන් හැදූ ළිප් අරගෙන එන බව මං දැක්කේ ඊට පස්සෙය. 
හැබැයි, ඒ එකම එක්කෙනෙක්වත් ‘අකුළන්නට පුළුවන්’ type එකේ ළිප් නොවේ ගෙනැවිත් තිබුණේ. ඒවා බරෙනුත් වැඩිය; කුඩාය.

කුමනින් ඇතුළුවී ටික දුරක් යද්දී හමුවන යෝධ ළිපෙන් වැඩක් ගන්නට අපට නම් බැරිය!
කුමන වනෝද්‍යානයට ඇතුළුවී කිලෝ මීටර් කිහිපයක් යනකොට නම් ළිපක් හමුවෙයි. 

ඒත් ඒ ළිපෙන් පල-පොරෝජන් ගන්නට අප පුංචි වැඩිය. ළිප යෝධ ළිපකි. පාර වැටී තියෙන්නෙත් ළිප මැදින්මය.

ඒ ළිපෙන් වැඩක් නොගත්තත්, readymade ළිප් නොගෙනාවත් තැනේ හැටියට ඇණේ ගහන්නට බැතිමත්තු හපන්නු වෙති.

හතර වටේම කරක් ගහලා හරි එයාලා ළිපක් හදන්නට ගල් ගෙඩි හොයා ගනිති; නැතිනම් අනුන් හදාගත් ළිපක උයලා ඉවර වෙනතුරු බලා හිඳිති. මේ ගමනේදී අන්‍යොනය සහයෝගය ඒ වගෙය.

නැතිනම් අනුන් හදාගත් ළිපක උයලා ඉවර වෙනකල් බලා හිඳ ...........
     ‘පලනී පලනී - වේල් මුරුගා//
      සරණම් සරණම් - වේල් මුරුගා//

      ගණපති සෝදර - වේල් මුරුගා//
      කාර්තිකේයා - වේල් මුරුගා//
      සුබ්‍රමණියා - වේල් මුරුගා//’

දිගටම මේ වගේ බැති ගී ගයමින් යද්දී..... හරියටම අප ‘තුන්සරණේ කවි’ කියමින් සිරිපා කරුණා කරනවා වගෙය. 

දමිළ බැතිමතුන් ‘හරෝහරා’ කියන්නේ අප ‘කරුණාවයි’ කියන්නාක් මෙන්ය. සිරිපා කරුණා කරද්දී අපට හමුවන නාඳුනන ඇත්තනුත් අපේ නෑදෑයන් වෙයි. විශේෂයෙන් තරුණ අයට නම්......

අපේ කට්ටියක් ෆිෂින් හට්වල සිට සිරිපා කරුණා කරද්දී..............
පාද යාත්‍රාවේ යද්දී පිරිමි ඔක්කොම ‘සාමි’ලාය. ගැහැනු ඔක්කොම ‘අම්මා’ලය.

“ආණ්ඩවනේ සාමී.....!” “අනේ දෙයියනේ... !” 
ඉස්සර පානම්පත්තුවේ, ඔකඳ දේවාලය හරියේ හිටි ඇත්තෝ විස්මයෙන් කියන්නට ඇත; බලා හිඳින්නට ඇත. ශ්‍රී ලංකාධිපති ජගදීශ්වර රාවණ මහා රාජෝත්තමයාණන් දඬුමොනරයෙන් ඔකඳට සැපත් වෙද්දී...

ඒ විස්තර කියවන්නට ඊළඟ කොටස බලනවානේ?

22 comments:

  1. "ඒ විස්තර කියවන්නට ඊළඟ කොටස බලනවානේ?" - නැතුව නැතුව

    ReplyDelete
  2. නියමයි. .... නියමයි. ....👍👍👍👍👍

    ReplyDelete
  3. Good, I had no idea about God's statue, I always thought it must be inside, behind those paintings of God.

    Bath pigana dakkam pissu haduna.

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, දෙවියන් ගැන මගේ අදහස තවම ලියන්න ලැබුණේ නැහැ, ලියන්නම්.

      බත් පිඟන් දෙක දැක්කම නම් මටත් පිස්සු හැදුණා. හැබැයි ඒවා අපේ නඩයේ අය ගත්තු ඒවා නෙවෙයි. කසුන් ප්රියලාල්ලගේ නඩයේ අය ගත්තු ඒවා.

      Delete
    2. Waiting for the next one,

      I have been going to K'gama since I was small, now I know much more about K'gama thanks to you.

      Delete
    3. ස්තුතියි, විශේෂයෙන්ම බැතිමතුන් උරණ වේවිද කියා බයෙනුයි මට හමුවෙන-දකින-හිතෙන දේවල් ලියන්නේ! විජේබාහු මහත්තය මුල්ම පොස්ට් එකකදී කරපු කමෙන්ටුවකුත් හීනි අනතුරු ඇඟවීමක් වගෙයි දැනුණේ!

      Delete
  4. කද කුමාරයාව හොයාගෙන ආපු මුස්ලිම් යාලුවා කවුද? අර කතරගම දේවාලය හරියේ තියෙන පල්ලියේ එයාගේ සොහොන එහෙමත් තියෙනවා කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. අසංග. අද පෝස්ටුවේ කියා ඇති කල්‍යාණගිරි ප්‍රවාදය තවත් විදිහකට කියවෙනවා, මුත්තුලිංගම් ස්වාමි නම් කෙනෙකුත්, මුස්ලිම් හිතවතෙකුත් විදිහට. ඒත් ඒවා ගැන තොරතුරු හරිම විරලයි.

      ඒ කතාවේ විදිහට නම් වල්ලි අම්මා දුගී කාන්තාවක විදියට ගිහින් තමයි මුත්තුලිංගම් ස්වාමිගෙන් යන්තරය ඉල්ලන්නේ. (එයාලා ළඟ තිබුණේ යන්ත්‍රය කෙටුව තඹ තැටියක්ලු.) දෙන්න දෙයක් නොතිබුණු නිසා ජප කළ තැටිය වල්ලි අම්මාට දුන්නාලු. ඒ නිසයි කඳ කුමරුන් ආයෙම ඉන්දියාවට නොගියේ,

      හැබැයි යහළුවන් දෙන්නාගේ කැපවීම නිසාම දේවාලය සමීපයෙන්ම ඔවුන්ට නවාතැනක් ගොඩ නඟාගන්නට කීවාලු. ඔයා කියන සොහොන ඒක වෙන්නැති.

      පසු කාලීනව නොයෙක් හේතු මත අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන තාත්තලා කොහෙත් ඉන්නවානේ. ඒ නිසා නියමම ඇත්ත හොයාගන්න හරි අමාරුයි. පෙනෙනවානේ, සිරීපාදයටත් හින්දු- මුස්ලිම් දෙගොල්ලම සබඳකම් කියන්නේ.

      Delete
    2. මුස්ලිම් යාලුව නිසා කතරගම ටයිම් ලයින් එක අප්සෙට් වෙන්නෙ නැද්ද? මුස්ලිම් (ඉස්ලාම්) පටන් අරන් තාම අවුරුදු 1400ක් විතර නේද?

      Delete
    3. ජනප්‍රවාදවල ඔහොම පරස්පරත් තියෙනවනේ Pra Jay.

      ඔයාගේ තර්කය විදුහුරු දෑසකට යොමු වේවා!

      Delete
  5. අකුලන්න පුලුවන් ලිපේ පින්තුරයක් එහෙම දැම්මානම් අපිටත් එකක් එහෙම අටවා ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අසංග, දාලා තියෙන පින්තූරය පැහැදිලිව අදහසක් දෙන්නේ නැතිද.

      Delete
  6. අයිය ලිපේ අයිඩියාවනම් මරු වගේ අපිටත්.

    මටත් ඔය ක්ෂනික නූඩ්ල්ස් නම් පේන්න බෑ තියෙන සේරම ජාති එක්ක මාගරීන් ටිකක් දාල බතක් හැදුවනම් මරු.
    පොල් රොටී
    බේකන්
    එලවලු තම්බලා
    වගේ හරි ලේසි කෑම තියනව ගමන් වලට මමම හදාගත්තු ලිස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මධු, හරිම පහසුවෙන් හදාගන්නත්, අටවා ගන්නත් පුළුවන් ළිපක්.

      බතට මාළුව බඩගින්නය කියලා කිව්වා වගේ, පදමට ලුණු, ඇඹුල්, මිරිස් දාලා තැනට හරියන්නට හදාගන්න හැකි රෙසිපිස් නියමයි නේද?

      Delete
  7. “මොන ඉලව් දෝෂයක්ද සුනිල්? ලක්ෂ ගණනක් වියදම් කරලා ගෙයක් හදලා ඉස්සෙල්ලම හරකෙක් ගෙට යවන එකම හරි මස්තබාල්දුකමක්නෙ". - එහෙම නොකර ඔය ගේ මොනාහරි උනාම නිතරම හිතට වද දෙන්න පුළුවන් ඕක. ඒ නිසා ඒක කරපු එක හොඳයි... එක පැත්තකින්. හිත ශක්තිමත් වෙන ඒකත් වෙනවා නෙව... ඕව අදහන අයගෙ.
    ඉන්දියාවේ කෙහෙල් ගස් හිට බන්දවන්නෙ... ඔය වාගෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට, මෙහෙ ගස් බන්දවන පුරුද්ද එක සැරෙන්ම නැවතුණේ!

      Delete
  8. සයකොන, ත්‍රිකෝණ ආදී සංකේත සමහර ශිෂ්ඨාචාර වලින් හමුවෙලා තියෙනව... හැබැයි ඔවුන් ඒවා භාවිතා කරපු කාරනා විවිධ වෙන්න පුළුවන් බොහෝ දුරට

    ReplyDelete
    Replies
    1. ඔව්! ඒත් නමී ඒවායේ සැඟවුණු විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා නේද. පිරමිඩ ගොඩ නඟා තියෙන අනුපාතා හැම විටම එකක්. එහෙම නිර්මාණයක් ඇතුළේ දේවල් වැඩි කලක් සංරක්ෂණය වෙනවලු!

      Delete
    2. හුම්... එක ටෙස්ට් එකකදී හැදුව කුඩා පිරමිඩ් එකක් ඇතුලේ තියපු රේසරයක් නොතියපු රෙසරයකට වැඩිය පාවිච්චි කළ හැකි බව ඔප්පු වෙලා තිවන.

      හැම ආගමකටම අයත් පැරණි ස්ථානවල ගොඩනැගිලි හදලා තියෙන්නෙ යම් පරිමාණයන්, හැඩයන් මුල් කරගෙනලු. ඒ හොයා බලපු පර්යේෂකයෝ තමා එහෙම කියන්නෙ.
      ස්තූප, දෙව්මැදුරු, පිරමිඩ් හදලා තියෙන්නෙ cosmic power එක ඇද ගැනීමට හැකි වෙන විදිහටයි කියලා එයාල කියන්නෙ. එහෙම බැලුහොත් මේ තැන් ඇතුලේ යාඤ කරන, භාවනා කරන, දේශනා සවන්දෙන අයට ඒ බලයට ඒකාත්මික වෙන්න පුලුහං තැන් තමයි ආගමික ස්ථාන.

      එක කෙනෙක් කිව්වා මුළු ගමේම අකුණු සන්නායකය පන්සලේ ස්තූපය කියලා. ඒ ශක්තිය පොළොව හරහා ගමන්කරලා ගමටම විහිදෙනවා කියලා. මේවා කියවද්දී තේරෙනවා අපි නොදන්න තැන් බොහොමයි.. විද්‍යාව දියුණුය කියලා කියල කීවත්

      Delete
    3. ඔය ආටිකල් එක කියවලා අපේ සුනිලුයි මමයි ඒ අනුපාතයට පිරමීඩ හදලා බැලුවා කෑම කල් තියා ගැනීම හරි යනවද කියලා. ටික දවසය් කලේ.... හැබැයි හරි ගතියක් පෙනුණා.

      Delete