අකුරු මැකී නෑ

Saturday, August 10, 2019

ගණිත ගැටේ - සිව්වෙනි කොටස

අපට තියෙන දැවෙන- කැරකෙන- පැටලෙන ප්‍රශ්න.........
රටක ඉන්නා සේරම දෙනා උ.බු.ජ. නම් අපට තියෙන දැවෙන-කැරැකැවෙන-පැටලෙන ප්‍රශ්න අඩු වේවිද වැඩි වේවිද?

එතැනමත් ප්‍රශ්නයකි. කවුද මේ උ.බු.ජ.? කණ්ඩාගෙ කොලම ලියන, බ්ලොගර්ස් ඊව් සංවිධානය කළ රංගන කණ්ඩම්බි මේ දවස්වල මගේ බ්ලොගය මුල ඉඳලාම අනුපිළිවෙලින් කියවාගෙන එයි. එහෙම වෙලාවක දමා තිබුණු කමෙන්ටුවකය ‘උගත් බුඩ්ඩිමත් ජනතාව’ට අර abbreviation එක යොදලා තිබුණේ!

මමත් බුද්ධිය මෙහෙයවා කල්පනා කළෙමි. ඒ. ‘කාලය’ සඟරාව මුද්‍රණය වෙනුවෙන් අය කරගත යුතු හිඟ මුදල් ප්‍රශ්නය සාකච්ඡාවට ගන්නේ කොහොමද කියලාය.

කතා කරන්නට වෙන්නේ ගෙවිඳු එක්ක හෝ නලින් සර් එක්කය. දෙන්නාගේම ‘මූඩ්’ ගැන දැනගෙන හිටි හින්දා මං කළේ අප අතර ඇතිවිය හැකි සංවාද, හිතෙන්ම ගොඩ නඟමින් බලන එකය. 
එතකොටය මට සෝභිත හිමියන් ගැන සිහි වුණේ. “අඩේ, සෝභිත හාමුදුරුවොනේ එයාලව එක්කන් ආවේ. ඉස්සෙල්ලාම හාමුදුරුවන්ට කියලා බලනවා.’


නලින් මහත්තයලා හොරු නෙවෙයි!
“නිමල්, නලින් මහත්තයලා හොරු නෙවෙයි.... සල්ලි නොගෙවා ඉන්නෙ නැති වෙයි... මමත් හොයලා බලන්නම්කෝ.”

ප්‍රශ්නය ගැන උන්නාන්සෙට කිව්වාම ලැබුණු උත්තරය ඒකය. එතකොටත් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ‘කාලය’ පිරිවර අපත් එක්ක වැඩ කරලාය. අප ‘කාලය’ සඟරාව පළමුවෙන් මුද්‍රණය කළේ 1986 නොවැම්බර් මාසයේය.

එහෙම වුණත්, පහු-පහු වෙනකොටය 'වැඩේ' කොහු-කොහු වුණේ!

අවසන් දවස්වල ලිපි පරක්කු වීම, ගෙවීම් අවිධිමත් වීම ගැන කලින් පෝස්ටුවලදී මගෙන් කියැවිණි. ඒවා පුනරුච්ඡාරණය නොකළ යුතු වුණත්, ඒ නිසා කලට වෙලාවට ‘කාලය’ ඉවර කර දෙන්නට බැරි වෙන දවස් තිබුණු බව නම් කියන්නම ඕනෑය. 

අනේ, අපරාදේ කියන්නට බැරිය. එහෙම වෙලාවට ගෙවිඳුගේ හමුදාවේ ස්වේච්ඡාසේවී භටයෝ අපටත් උපරිම සහයෝගය දෙන්නට පටන් ගත්හ.

නමුදු ඔවුන්ට කළ හැකි වුණේ සීමිත වැඩ කොටසක් පමණි. 

අච්චු කන්තෝරු රස්සාවක් නුපුරුදු, එහෙත් දිරිමත්ව කැපවී හිටි ඒ තරුණයෝ සඟරාව ගැදර් කරන්නට ආවෝය. අපේ කෙනෙකු ඒවාට මැදින් කටු ගසනවාත් එක්කම, නවන්නට ඉදිරිපත් වූහ. ඊළඟට ඒවා කපද්දී, කටර් එකේ රෝදය කරකවන රස්සාවත් කළහ!

කාලය සඟරාවේ වැඩ පරක්කුවීම වළක්වා ගන්නට ඒ තරුණයෝ....
ඒ සඟරා මිටි බැඳලා බෙදා හරින්නටත් වුණේ එයාලාටමය. ඒකට වෙනම යාන-වාහන අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට නම් ආවේ නැත. පාරේ දුවන බස්ය එයාලට පිහිට වෙන්නට ඇත්තේ. (මුල ඉඳලාමත් වැඩ කෙරුණේ ඒ විදිහටය.)

ඇත්තම කියනවා නම් ඒවා දකිද්දී; ඒ කැපවීම දකිද්දී මට හිතුණේ ‘කාලය’ චිරාත් කාලයක් පවතිනු ඇත කියලාය. ඒ ‘මෝඩ විශ්වාසය’ අපේ පාඩුව තවත් වැඩි කළ බව කියන්නටම ඕනෑය. එහෙම කියයුත්තේ මාත් එයට වගකිවයුතු බැවිනි. 

ලාල් අයියා බලාපොරොත්තු වුණු තරම් දැඩි බවක් ගෙවිඳුලාට පෙන්වීමට මා අසමත් වුණු බැවිනි.

ව්‍යාපාරයක් කරනවා නම් ඕනෑවට වඩා ගුණයහපත් වෙන්නට ගිහින් හරි යන්නේ නැත. බිස්නස්වලදී හැම විටම මට කෙළවී තියෙන්නෙත් ඒ නිසාමය. මට හෙණයට හිටියේ ‘සිඟාලෝවාද සූත්තරයයි’. සූත්‍රයම කියන එකත් වැරැදිය. මං තේරුම් ගත් විදිහය; වැරැදි.


උපයන දෙයින් හතරෙන් පංගුවක් දන්-පින් වැඩවලටත් යොදන්න කියලානේ...........
‘උපයන දේ හතරකට බෙදලා එක කොටසක් එදිනෙදා වියදමට ගන්න. කොටසක් කරන-කියන කර්මාන්තයක දියුණුවට යොදන්න. කොටසක් හදිසියකදී ගන්නට ඉතිරි කරන්න. ඉතිරි කොටස දන්-පින් වැඩවලට යොදන්න.’ 
මොට්ට මං හිතාගත්තේ මගේ වියදම වගේ හතර ගුණයක් උපයපුවාම ඇතිය කියලාය. 

අනේ, හතරවටේ බලනකොටනේ තේරෙන්නේ, වියදම ගැන නොහිතා; ඇති පදමක් ගැන නොහිතා; සාධාරණකම් ගැන නොහිතා හැකි තරම් හම්බ කළ යුතු බව!

දැන් ඉතින් මොනවා කරන්නද? අශ්වයා ඉස්තාලයෙන් පැනලා ගිහින්ය. දොර වහලා වැඩක් නැත.

දැන් තරම් මොළයක්වත් එතකොට මට නොතිබුණු හැටි.

දැන් තරම් මොළයක්වත් එතකොට මට නොතිබුණු හැටි!
(එහෙම කිව්වාට තවමත් මගෙන් කෙරෙන්නේ පරණ ගොන්කම්මය. හැබැයි අලුත්-අලුත් විදිහටය!) හැඟීම්බර වුණාම විචක්ෂණ බුද්ධිය මොට්ට වෙනවා වෙන්නැතිය; යථාවබෝධය ලබාගන්නට අසීරු වෙනවා වෙන්නැතිය.

ඒ දවස්වල, මාදුළුවාවේ සෝභිත හිමියන් හිටි ගමන් වටාපතත් අරන් බස් එකකින් හෝ පා ගමනින්ම හෝ ළඟ-පාතකට වඩියි. ඒ නිරුවත් දෙපයිනි. උන් වහන්සේ සෙරෙප්පු පාවිච්චි කළේම නැත. 

සුවපහසු වාහනයක් තියෙද්දී, වෙනම රියදුරෙකුත් හිටිද්දී අර වාගේ තනියම වඩින්නේ ඇයිදැයි මට නම් තිබුණේ කුතුහලයකි.

සැදැහැවන්තයන් ලොකු ගණන් ගෙවලා ‘ක්ෂණික මරණයෙන් මුදාගත් හරකුන්’ නොකා-නොබී පිපාසාවෙන්; හාමතෙන් මැරෙන්නට නාග විහාර භූමියට ගෙනැවිත් දමමින් තිබුණු දවස්ය ඒ. තත්ත්වාවබෝධයකින් යුතුව විහාරාධිපති සෝභිත හිමියන් ඊට මුහුණ පෑවාද යන්න මට තවමත් නොතේරෙයි. 

එහෙම විචිකිච්ඡාවන් තියෙද්දී....

ක්ෂණික මරණයෙන් මුදවාගන්නා හරක් සාපිපාසාවෙන් හා හාමතින් මැරෙන්නට කොහෙ හෝ පන්සලකට.....
“නිමල් මහත්තයෝ.... අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ හිතන්නේ ඔහොම ගිහින් ආවාම රට-තොට ගැන දැනගන්න පුළුවන් වෙනවා කියලනේ.... කොහෙද, වටපිටාවේ ඉන්න ඇත්තොයි, දායක සභාවේම වුණත් සමහරුයි සෝභිත හාමුදුරුවන්ට වුණත් ඇත්තටම වෙන දේවල් දැනගන්න දෙන්නේ නැහැනේ....”

ගණිත ගැටේ 1’ පෝස්ටුවේදී ‘මෙදා පොටේ නං අපේ ලොකු හාමුදුරුවනුත් ලොකුම ලණුවක් ගිළියි වගේ...’ ප්‍රකාශය කළ දායක මහතාගේම, කතාවෙනි මගේ කුතුහලය නිවුණේ.

චින්තන පර්ෂදයේ වැඩ ගැන උන්වහන්සේට තිබුණු අවබෝධය කොහොම එකක් දැයි මට කිසිදු දැනීමක් නොතිබිණි. ඒවාත් අපේ අවාසියට හිටි බව මටත් දැනුණේ පස්සෙය.

‘සතර අගතිය’ කියා දෙයක් තියෙන බවත් මට මතක් වුණේ පස්සෙය. 

‘හීන මානය’ නිසා වගේම ‘උච්ච මානය’ නිසාත් මිනිසුන් නොතරම්කම් කිරීමට පෙළඹෙනවාය කියන පාඩම මං උගත්තේ ඊටත් වඩා කල් ගිහින්ය. 
මා නම් අගතියට ගිහින් හිටියේ ‘ඡන්දය’ නිසාය. ඒ කිව්වේ කැමැත්ත හින්දාය! ලැදියාව හින්දාය!!

අගතියට යන අය ගැන පාඩම ඉගෙනගන්නට මට සෑහෙන කලක් ගත වුණේය.
අවබෝධය... අවබෝධය.... සමහර කරුණු අප දැනගන්නේ ඉතාමත් පමා වෙලාය. 

මේ ගණිත ගැටය ගැන හිතවත් පාඨකයන්ට හෙළි කරන බව මා කිව්වේ අද-ඊයේ නොවේ. 2018 ජුනි 29 වෙනිදා තරම් ඈතකදී ‘නැණ ලැබ ගත්තෙමි -3’ පෝස්ටුවේදීය.

“නිමල්, දැන් නම් බලාගෙන හිටියා හොඳටම ඇති.... නැකතක් එනකල් බලා ඉඳලා හරියන්නේ නැහැ. මේ මාසෙ සඟරාවට ආර්ටිකල්ස්තුත් තවම ගෙනාවෙ නැහැයි කිව්වනේ..... නවත්තන්න හදනව වෙන්නත් පුළුවන්. ඊට පස්සෙ නිමල්ටම තමයි පස්සෙන් යන්න වෙන්නේ.” ලාල් අයියා කිව්වේ නොමනාපයෙනි.

ඒ වෙනවිට අපට අයවිය යුතු මුදල රුපියල් දෙලක්ෂය පන්නලාය!

කාලය කලාප 16ක් මුද්‍රණය වෙලා තිබිණි. 

මාස කිහිපයක සිට ටිකෙන්-ටික එකතු වුණු ගෙවීම්ය ඒ. “මම දන්නවනේ, නිමල්තුත් කැමති නැහැ ඒ හාදයන්ට තදින් ඉන්න.... ගෙවිඳුලා ඔහෙටත් ඉනාවක් දීලද දන්නෙත් නැහැනේ....”

ඒකය මගේ ‘මරු නිලයට’ම වැදුණේ.

ගෙවිඳුලා ඔහෙටත් ඉනාවක් දීලද දන්නෙත් නැහැනේ!
ලාල් අයියා මගේ ගැන දන්නා නිසාය එහෙම කිව්වේ. මේ කතාව දැනගන්නා වෙනත් කෙනෙකු කියන්නට ඉඩ ඇත්තේ එහෙම නොවේ. 

‘නිමල්ට අත යටින් ගණනක් හම්බ වෙනවද දන්නේ නැහැනේ...” කියලාය. 

මීට කලිනුත් වතාවක් කිව්වෙමි. බලහත්කාරයෙන්ම මට අයුතු දීමනාවක් ලැබුණේ එකම-එක වතාවකදීය. එය කෙලවර වුණේ අතිනුත් ගණනක්‌ වියදම් වෙලාය. ‘ගෙවිඳුලාට දෙකක් කියන්නම වෙනවා’ මම තදින්ම හිතා ගත්තෙමි.

“ඔබතුමා කතාවක් පවත්වන්න යනකොට කොච්චර කාලයක් ඒ සඳහා සූදානම් වෙනවද?” හිතවතෙක්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවූ වුඩ්රෝ විල්සන් මහත්මාගෙන් විමසුවේය.

“ම්ම්ම්... මිනිත්තු දහයක කතාවක් පවත්වන්න නම් සුමාන දෙකක විතර සූදානමක් වෙනවා!”

“දෙවියනේ... පැයක කතාවක් නං?” ජනාධිපතිවරයාගේ පිළිතුරෙන් පුදුමයට පත් වුණු හිතවතා ඇහුවේය.

ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ පිළිතුරෙන් අන්ද-මන්ද වුණු හිතවතා ඊළඟට ඇහුවේ.............
සතියක් විතර ගතවෙන බව කියැවුණාමය, අර හිතවතා ඊළඟ ප්‍රශ්නයත් ඇහුවේ. “පැය දෙකක කතාවකට නම්...?”

“එච්චර දිග කතාවකට සූදානමකුත් ඕනෙද?”

දිගු සූදානමකින්; යළි-යළිත් හිතා බැලීමකින් පසුව මම ගෙවිඳුට කතා කළෙමි. ගෙවිඳු උත්තර දුන්නෙත් අසීරුවෙනි. “අපිටත් ඕනේ කාලය නවත්තන්න නෙවෙයි, නිමල්. ඒත්... මං නලින් සර් එක්කත් කතා කරලා කියන්නංකො.”

කතා කරලා කිව්වා වුණත් වෙනසක් වුණේ නැතිය. කල් මැරීමක් විතරක් වුණේය. 

‘කාලය’ අභාවයට ගිහිනුත් සති ගණනක් වුණේය. ලාල් අයියා සෝභිත හාමුදුරුවන් වහන්සේ සමඟ කතා කළා වෙන්නට ඇතිය. 
“මම කිව්වේ නිමල්... ප්‍රශ්නෙට මැදිහත් වෙන්න වෙන්නේ තමුන්ටමයි. දැන් ඉතින් ණයකාරයෝ හොයන්න යන්න වෙන්නේ ඔහෙටමයි.....” 
මට අණක් ලැබිණි.

දැන් ඉතින් ප්‍රශ්නෙට මැදිහත් වෙන්න තියෙන්නේ තමුන්ටමයි!
ඒ දවස්වල ජංගම දුරකථන නොතිබුණු තරම්ය. තිබුණු ඒවාත් ගඩොල් බාගයක් විතර ලොකුය.

ගෙවිඳුගේ ලිපිනයක්, දුරකථන අංකයක් වැනි කිසිම දෙයක් මගේ ළඟ තිබුණේ නැත. එහෙත්, නලින් ද සිල්වා මහතාගේ ගෙදරට නම් මා කිහිප වරක් ගිහින් තිබිණි. එතුමා උන්නෙත් මහරගම දුම්රිය මාවතේමය. 
මගේ නවාතැන; කාමරය තිබුණෙත් එහාට විනාඩි පහක ඇවිදින දුරකිනි.

දෙතුන් වතාවක්ම එහාට ගිහින් ඒ ගැන කිව්වත් පලක් වුණේ නැත.

“මේවා ප්‍රෙස් එකේ ළමයිනුයි ඔහෙයි අවුරුදු ගණනක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරපු සල්ලිනෙ නිමල්. මෙහෙම නිකන්ම වතුරේ යවලා ඉන්නද? 
සල්ලි ගන්න ලීගල් ඇක්ෂන් ගන්නයි වෙන්නේ. නිමල් ගිහින් නලින් ද සිල්වා මහත්තයට කියන්න, අපි එහෙම කරන්නයි යන්නෙ කියලා. 
යන්න කලින් සෝභිත හාමුදුරුවන්ටත් කියලා ඉන්න, මෙහෙම කියන්න යන බව.” 

ලාල් අයියා අවසන් පියවර ගන්නට සැරැසෙමින් හිටියේ එහෙමය.

උන්නැහේලට දැන් පන්සලුත් එපා වෙලා වගේ! සෝභිත හාමුදුරුවෝ ............
“එහෙනං එහෙමවත් කරන්න තමයි තියෙන්නේ.... කෝ, මේ මහත්තුරු කවුරුවත් දැන් නාග විහාරෙ පැත්තකවත් එන්නෙ නැහැනේ. උන්නැහේලට දැන් පන්සලුත් එපාවෙලා වගේ....” සෝභිත හාමුදුරුවන් වහන්සේත් මට අවසර දෙමින් කීහ.

මම මහාචාර්ය නලින් ද සිල්වා මහතාට මුහුණ පෑවෙමි. 

එතුමා ගණිතඥයෙකු බවත්, තර්ක ශාස්ත්‍රයේ හසලයෙකු බවත්, කුකුළු කේන්තිකාරයෙකු බවත් තදින්ම සිහියේ තියාගෙනය මා කතා කළේ. 
කාලය සඟරාව මුද්‍රණය වෙනුවෙන් අයවිය යුතු හිඟ මුදල් ලබා ගැනීම සඳහා නීති ප්‍රකාරව කටයුතු කරන්නට අප සූදානම් වෙන බව, හැකිතාක් නිවුණු ගතියකින් එතුමාට කිව්වෙමි.

හොඳින් සවන් දීගෙන සිට, උපහාසාත්මක හිනාවකින් මුහුණ සරසාගෙන නලින් මහතා මගෙන් ප්‍රශ්නයක් ඇසුවා මට හොඳටම මතකය.

“සෝභිත හාමුදුරුවන් වහන්සේම නේද නිමල්ලගෙ අමද්‍යප සංවිධානයේත් සභාපති?”

සෝභිත හාමුදුරුවොම නේද නිමල්ලගෙ අමද්‍යප සංගමේ සභාපති?
මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයා එහෙම ඇහුවේ ඇයි කියලා හිතාගන්නටවත් මට බැරි විණි. මං විතරක් නොවේ, අත්දැකීම් බහුල; උගත්; බුද්ධිමත් කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියනුත්, ලාල් හේවාපතිරණ මහතාත් වැටුණේ ඒ ගොඩටමය. 

  දෙදෙනා පවා සිටියේ ‘තමන්  සූක්ෂ්ම ගැටයකට අහුවී ඉන්නා බවට හාන්කාවිසියක්වත් නොදැන’ය.

ශ්‍රිනිවාස රාමනුජන් කියන්නෙත් ලෝකෙම දන්න; සුප්‍රසිද්ධ ගණිතඥයෙක්. 
1887 ඉපදුණු ඔහු 1920දී කාලයාත්‍රා කළේ අවුරුදු 33වත් සම්පූර්ණ වෙන්නට කලින්. 
ඒ අකල් මරණයට ‘සම්මත න්‍යායක්’ බලපෑවාද කියලා දන්නෙ රාමනුජන් මහත්තයයි, දෙවියන්මයි විතරයි.

2019 මාර්තු 10 ‘රාවය’ පත්තරයේ ‘කලන විජිතය’ තීරුව ලියන දුෂ්‍යන්ත මහබදුගේ මහතා (එයත් ගණිතඥයෙක්.) ශ්‍රිනිවාස විද්වතා ගැන කියා තිබ්බේ මෙහෙමයි.

ශ්‍රිනිවාස රාමනුජන් කියන්නේ ලෝකෙම සුපරසිදු ගණිතඥයෙක්.........
'..... අනෙක් විෂයයන් මෙන් නොව ගණිතඥයෙක් තම ක්ෂේත්‍රයේ උපරිම විශිෂ්ටත්වයට හෝ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ වයසින් අවුරුදු 35 වීමට පෙර බවට පිළිගැනෙනවා. 
එම හේතුව නිසාමයි ගණිතය සඳහා නොබෙල් ත්‍යාගය ලෙසට සැලකෙන ෆීල්ඩ්ස් මෙඩ්ල් නැතහොත් ෆීල්ඩ්ස් පදක්කම වයස අවුරුදු 40ට අඩු ගණිතඥයන්ට පමණක් පිරිනමන්නේ.... ඉහත කරුණ සනාථ කිරීමට රාමනුජන් යනු හොඳම සාධකයක්.’

මතකයිනේ, ‘ගණිත ගැටේ 1 පොස්ටුවේ’ කියාපු නුග ගහ යට ගෝරිය.... 

ඒකත් මගේ ඔළුගෙඩිය ඇතුළේ නිදන් වෙලා තියෙන අතරේ, රාමනුජන් මහත්තයා ගැන කියවනකොට එව්වා-මෙව්වා සේරම සැසඳෙන්න ගත්තේ නිරුත්සාහයෙන්.

බොලේ, නලින් මහත්තයා ඒ රණ්ඩුවට පැටලෙනකොට 40 පැනපු වැඩිමහලු කෙනෙක්!

මං ගිහින් ‘චින්තන පර්ෂදයට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නට සැරසෙන බව’ නිවේදනය කරද්දී එතුමා අවුරුදු 42ක-43ක තලත්තෑනි කෙනෙක්. 
තව විදිහකින් කියනවා නම්, 1944.10.20 වෙනිදා උපන් ‘චතුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා’ මහතා ගණිත ක්ෂේත්‍රයේ, තර්ක විද්‍යා ක්ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලාත් හත් අවුරුද්දක් වෙලා! 

(සමහර වෙලාවට එවේලේත් අවතැන් වුණු  සම්‍යක් දෘෂ්ටික දෙවි-දේවතාවන් රොත්තක්ම ඒ ශ්‍රේෂ්ඨත්වය තවත් ඔප් නංවමින්;  එතුමාට මඟ පෙන්වමින් ඉන්නටත් ඇති.)

එදා නම් මං ඔය විත්ති එකක්වත් දැනගෙන හිටියේ නැත. එහෙම වේවිය කියලා හිතුවෙවත් නැත.

කඩදොර පන්සල වගේ තැනකින් අවතැන් වුණු  සම්‍යක්දෘෂ්ටික දෙවි-දේවතාවුන් වහන්සේලාත් එදා එතුමාට....
ඉතින්, මම එතුමාට උත්තර දුන්නෙමි “ඔව් සර්!”

“ඇත්තද?” එහෙම කියලා ඉවරවී, නලින් සර් හීන් සීරුවේ මේ ටිකත් උත්තරයට එකතු කළේය. 

“එහෙනං ඉතින් සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානෙ සභාපති සෝභිත හාමුදුරුවෝ, චින්තන පර්ෂදයේ සභාපති සෝභිත හාමුදුරුවන්ට විරුද්ධව නඩු කියාගත්තාවෙ!”෴


28 comments:

  1. ඔයාගේ ලිපියේ අන්තිම වාක්‍යය කියෙව්වාම පරණ විහිලු කතාවක් මතක් උනා.

    එක කලක "කඩුව" කියලා බොහොම මතභේදාත්මක කරුණු රැගත් පුවත්පතක් පල උනාලු. ටික දිනකින් ඒකේ තියන මතභේදාත්මක කරුණු තදින් විවේචනය කරමින් "පලිහ" කියලා තවත් අලුත් පුවත්පතක් පල උනාලු. මේ පත්තර දෙක එකිනෙකා තදින් විවේචනය කර ගනිමින් වාද කරන නිසා පත්තර දෙකම ඉතාම ජනප්‍රිය උනාලු. මේ පත්තර දෙක අතර තියන යුද්ධය සාමදාන කරන්න හිතා ගත්ත එක පාඨකයෙක් මේ පත්තර දෙකේම කතෘවරුන්ට තම නිවසට රාත්‍රී භෝජනයකට ආරාධනා කලාලු. දෙදෙනාම ආරාධනාවන් පිළිගත් අතර නියමිත දින නියමිත වෙලාවටම වාගේ එක ආරාධිතයෙක් ආවාලු. භෝජනය සුදානම් කල පාඨකයා එතුමාව පිළිගෙන ""ඔබතුමා කඩුව පත්තරයේ කතු තුමාද, එහෙම නැත්නම් පලිහ පත්තරයේ කතු තුමාද ?"" කියලා ඇහුවලු.

    හොඳට රැවුල කරකවලා හිනාවක් එහෙම දාලා මිනිහා කිව්වලු '''මම තමයි ඔය දෙකේම කතෘ''' කියලා.

    මේක 70/80 යුගයේ මොකක් හෝ පත්තරයක පල උන "චන්දර මාමාගේ සිනා අන්දරය" කියන විහිලු කතා කොළමේ තිබුන කතාවක්.

    ReplyDelete
  2. අවුරුදු හතලිහ තලත්තෑනි වයසක් ලෙස ප්‍රකාශ කරමින් අපගේ තරුණබව හෑල්ලුවට ලක් කිරීමට විරුද්ධව වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව දන්වමි. එහෙම නැති වෙන්ඩ නං අර දෙනවා කියා තවමත් නොදුන් ඩයට් රෙසිපි ඉක්මනින්ම දෙන්ට උවමනාය.

    ReplyDelete
    Replies
    1. නඩු නං ඉතින් බලවගන්නවත් බැරියැයි.

      (ලොකූ, ඔයා රෙසිපීස් හරියට කරනවා කිව්වේ නැති නිසයි නොඑව්වේ.)

      Delete
  3. නලීන් ද සිල්වවාට තරහා යන්නේ ඇත්තටමද?

    ReplyDelete
  4. විත්තිකාරයයි, පැමිනිලි කාරයයි එක්කෙනෙක් උනාට පෙරකදෝරුවෙ දෙන්නෙක් ගත්තම වැඩේ ඉවරයිනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට. වාසනාවට ඒ කාලේ ප්‍රසන්න ලෝයර්තුමාව නාඳුනන්නෙ.

      Delete
  5. ඔය ප්‍රෙස් එකේ වැඩ කලේ දේසීය අයනෙ. ඒත් මැශින් ඔක්කොම බටහිර නූතන නව ලිබරල් හෝ මාක්ස්වාදී යුදෙව් ක්‍රිස්තියානි ඒවා. ඒවායේ තාක්ශණය අපේ අයට හරි යන්නෙ නෑ.
    අපිට ගැලපෙන්නෙ නැති බොරු බටහිර තාක්ෂණයෙන් නැතුව දේශීය ක්‍රමයට ප්‍රින්ට් කලා නම් ඕක වෙන්නෙ නෑ, එහෙනම් නාත දෙයියො හීනෙන් හරි සල්ලි දෙනව නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමම කරන්න ඕනෙනං රෙද්දට-සරමට බහින්නත් වෙනවනේ.

      Delete
    2. නාත දෙය්යො හීනෙන් එන නිසා දේසීය පිජාමා එකක් අඳින්න.
      ඉන්දුනීසියාව බටහිර නොවෙන නිසා දේසීය කට් එකකට බතික් වලින් හොඳයි

      Delete
    3. කමක් නැද්ද දන්නේ නැහැ බටහිරෙන් ආපු කම්පියුටර්- ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරන එක. ඒවා කැපයිද?

      Delete
  6. ඉතාම හොඳ අවසන් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමී.

      වෙච්චි දේ නං අන්තිම නරකයිනේ! ලියවිල්ල හරි හොඳින් අවසන් වුණු එක සතුටක්.

      Delete
  7. ලෝකෙට වැදි බණ දෙසුවට තමන්ගෙ ණය ටික ගෙවලා දාන්න ඕනා කියන මහත්මා ගුණයවත් නොපෙන්වා එතනත් අති පාණ්ඩිත්වය පෙන්වලා නේද?

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මිටි තැනින් තමයි වතුර බහින්නේ.

      Delete
    2. අපි වැඩකරන්න ඔ්නේ එයා කරන විදියට නෙමෙයි එයා කියන විදියට

      Delete
    3. ගොඩ දෙනෙක් නෙවෙයි, අපි හැමෝම වගේ හිතන්නේ එහෙමම නේද? හැබැයි එහෙම නොවුණත් ඉවසනවා බුද්ධිමත් අය.

      Delete
  8. කෙලල තියෙන්නෙ.

    ReplyDelete
  9. "කණ්ඩම්බි මේ දවස්වල මගේ බ්ලොගය මුල ඉඳලාම අනුපිළිවෙලින් කියවාගෙන එයි"
    අයිය,මාත් එහෙම කෙනෙක් ...

    ReplyDelete
    Replies
    1. ජීවිත කතාව නිසා සේරම දැනගන්න නම් ඔහොම කියවන්නම වෙනවා නේද මහත්තයෝ. කොරෝනාවේ හොඳ පැත්තක් නිසා ගොඩ දෙනෙකුට වෙලාවයි නිදහසයි නම් ලැබිලා!

      දිගටම කියවන නිසා, හොඳ ළමයා වගේ ඉඳහිට හරි අඩුපාඩුත් කියන්න. ස්තුතියි කියලත් කියනවා ඔන්න, අඩුවක් නොහිටින්න.

      Delete
  10. නලියා ලෝක අමාරුකාරයෙක්!

    ReplyDelete