අකුරු මැකී නෑ

Wednesday, August 21, 2019

වීරයා පණ පිටින් ........

දිදුලන වර්ණවත් අලංකාර ලෝකයක ඉන්නා ඔබ ඉදිරියට.........
වීරයා ගෙදර ඇවිත් ගියේය. දැන් නම් සමහරුන්ට චාමර උන්නැහෙව අමතකත් වෙලා වගෙය. Out of sight – out of mind! ලෝකයේ හැටි එහෙමය. ඒත් රූපවාහිනී තිරයේ අන්ධ වීරයා එළියට ඇවිත්, ලේ මස්වලින් හැදුණු- නාඩි වැටෙන- පණ ගැහෙන මනුස්සයෙකු වාගේ ඔබේ ඉදිරිපිටට ආවොත්.....?

වර්ණවත්; දිදුලන චමත්කාරජනක ලෝකයේ ඉන්නා ඔබ ඉදිරියේ හිටින්නේ මසැසින් ඒ විචිත්‍ර දසුන් හැබෑවටම නොදකින වීරයෙකු නම්?

ඔබට කොහොම වෙතත් මට නම් ඒ වාසනාව උදා වුණේය. ඒ වීරයා එක්ක කතා කරන්නටත්.....

“දොස්තර මහත්තුරුන්ගෙන් මට ගොඩාක් උදව් කරන්නේ ශමින්ත අමරතුංග මහත්තයයි, හලාවත ඉස්පිරිතාලේ අක්ෂි වෛද්‍ය විශේෂඥ ඩයස් මහත්තයයි, මේ අයස්මන්ත මහත්තයයි තුන්දෙනා...... සමහර වෙලාවට අයස්මන්ත මහත්තයට කතා කළාම උත්තර දෙන්නෙ නැහැ. එතකොට ඉතින් මං දන්නවා ක්ලිනික් එකක් කියලා; 
එක්කෝ තියටර් එකක තමයි කියලා. ඩොක්ටර්ට ඒවාට නියමම වෙලාවක් කියල නැති බවත් මං දන්නවනේ, ඉතින් ආයෙම මට call කළේ නැතිනම් මං කරන්නේ අම්බලන්තොටට ඇවිත් බලාගෙන ඉන්නවා, ඩොක්ටර් එනකල්.”

අම්බලන්තොටට ඇවිත් මං බලාගෙන ඉන්නවා...............
“ඔව් අයියේ, මමත් ඉතින් පෝලිමේ ඉන්න ලෙඩ්ඩු බලන්න ඉස්සෙල්ල පියතිස්සත් එක්ක කතා කරලා, පිටත් කරනවා.” අපේ දොස්තර මහත්තයාත් කිව්වේය.

“එතකොට පියතිස්ස මහත්තයා ඔහොම තැන්වලට යන්නේ තනියෙන්මද?” 

ප්‍රශ්නය ඇහුවේ රසික ඔයාලා වෙනුවෙන් වුණත්, ටිකාක් රළු ප්‍රශ්නයක් නේද කියලා හිතුණේ ඊළඟටය. මොනවා කරන්නද? පියතිස්සව හමුවුණේ ගහෙන් ගෙඩි එන්නා වගේ අහම්බෙනි.

“දුරක යනවා නම් දෙන්නෙක් යනකොට වියදම් වැඩියිනේ අයියේ!”.

හරියටම කියනවා නම් අයස්මන්ත පීරිස් මහත්තයා පියතිස්ස ගැන කිව්වේ අගෝස්තු 2 වෙනදා රාත්‍රියේය. 

“නිමල් අයියේ, මාර ධෛර්යවන්ත මනුස්සයෙක් ඉන්නවා. අන්න මිනිස්සු. ඔව් මචං... පියතිස්ස කියලා. මිනිහගේ ඇස් දෙකම පේන්නෙ නැහැ. ඒ වුණාට කරන්නෙම ඇස් තියෙන මිනිස්සුන්ට උදව් කරන එක... මාර පොරක් නෙවිල්....”

මාර ධෛර්යවන්ත මනුස්සයෙක් ඉන්නවා!
ඒ කතාව නං නෙවිල්ටත් අල්ලලා ගිහින් වගේ පෙනිණි. 
“ඔන්න බලපන් මචං, මූ හෙට අනිද්දම ඔය මනුස්සයා ගැනත් මුගෙ පඩංගුවේ ලියයි... දැන් අපිට වචනයක් කතා කරන්න බැහැනේ. මේකා බලාගෙන ඉන්නේ මොනවද අහුලාගන්න පුළුවන් කියලා.”

“ඇත්තමයි පීරිස්, මට හිතෙනවා ඒ මනුස්සයාව හම්බවෙලා කතා කරන්න. බ්ලොග් එක කියවන අය වුණත් ඒ මනුස්සයා ගැන දැනගන්න කැමති වෙයි.”

“ඔන්න බලපං පීරා, මං කිව්වේ... මං කිව්වේ. බොරුද ඉතින්?”

ඒ වෙලාවේ එහෙම කිව්වත්, මටත් වැඩියෙන් පියතිස්ස මහත්තයාගෙන් හාර-හාරා ප්‍රශ්න ඇහුවේ නෙවිල්ය. ඒ හම්බන්තොට ඉස්පිරිතාලයේදීය. මේ අගෝස්තු මාසයේ 8 වෙනිදාය. 

මට ක්ලිනික් යන්නට තිබුණේ එදාය. ගිහින් රුධිර පරීක්ෂණවලට blood samples දීලා ඉවරවී, උදේට කෑම කන අතරේය- පියතිස්ස මහත්තයා ඇවිත් ඉන්නා බව ආරංචි වුණේ.

99 ජුනි 15 වෙනිදා ඔඩ්ඩුසුඩාන් blast එකකදී මායි තව තුන් දෙනෙකුයි.........
“ඔන්න... තමුසෙට ඕනේ විස්තරත් අහගන්න පුළුවන්...... අර මං කියපු මනුස්සයා ඔය ඇවිත් ඉන්නේ. කාලා ඇවිත් අහගන්නවලකෝ!” 
අපට කියලා අයස්මන්ත මහත්තයා නික්ම ගියේය. 
දෑසම නොපෙනෙන කෙනෙක්.... අන්ධයෙක්.... සුදු සැරයටිකාරයෙක්... පව්, අසරණ මනුස්සයෙක්!!

ඇත්තම කිව්වොත් මාත් පුහුදුන් මනුස්ස ප්‍රාණියෙකුනේ. හිතාගෙන හිටියේ දෛවයේ අකාරුණික සරදමක් නිසා දෙනෙතම අහිමිවූ අසරණයෙක් දකින්නටය.

‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලියේ වීරයා; චාමර හැබැහින් දැකගන්නට නොවේ! පුදුමෙක හැටි. වුණේ ඒකය. 
දොස්තර මහත්තයාගේ කාමරයට ආවේ, දෙවුර කෙලින් තියාගත්- පපුව පෙරට දමාගත්- ප්‍රතාපවත් මිනිසෙකි. 

චාමර වගේම කොන්ද කෙලින්ය!

“මගේ ඇස් දෙක නැති වුණේ ඔඩ්ඩුසුඩාන් බ්ලාස්ට් එකේදී..... 1999 ජුනි 15 වෙනිදා.” දැනට අවුරුදු විස්සකි. ඒත් පියතිස්සගේ විස්ස පරවී නැත.

පිපිරීම සිදුවී අවුරුදු විස්ස පිරී ඇතත් පියතිස්ස මහත්තයාගේ විස්ස පරවෙලා නැත!
“...අපි හිටියේ 8 team එකක්. අපි මිෂන් එකකට ගියේ එදා රෑ.... පැය හතරකදී ටාර්ගට් එකට යන්න ඕනේ, එන්නත් ඕනේ පැය හතරකින්. එළිවෙන්න කලින්. Ltte කෑම්ප් එක ළඟදී blast එකක් ගියා. එක බ්ලාස්ට් එකක් වුණොත් තව වැලක්ම පුපුරණ විදිහටයි එයාලා land මයින්ස් අටවලා තිබ්බේ. ඒ මදිවට වෙඩිත් තියන්න ගත්තා. අපේ හතර දෙනෙකුට ඉන්ජර්ඩ්.....”

හමුදාවෙන් ලද පුහුණුව, ශික්ෂණය, විනය තවමත් පියතිස්ස සතුය. 

ඔහු කතා කරන්නේ ආවේගශීලීව නොවේ; කලබලයෙනුත් නොවේ; නිවිහැනහිල්ලේ ඉතා පැහැදිලිවය.

“පියතිස්ස මහත්තය මොකුත් හිතන්න එපා, මේක කිව්වට.... දැන් නිමල් අයියයි, ඩොක්ටර්යි, මායි තුන් දෙනා ඔයාට කතා කරද්දී හරියටම කතා කරන කෙනා ඉන්න පැත්තට හැරිලනේ ඔයා උත්තර දෙන්නේ!” 

නෙවිල් එහෙම කිව්වාම වැඩියෙන් පුදුම හිතුණේ මටය. අද නෙවිල් ඉන්නේ මටත් වඩා උනන්දුවෙනි; නිරීක්ෂණය කරමිනි.

සද්දෙන්, සද්දේ එන විදිහෙන් tone එකෙන් අපි ගොඩක් දේවල් තේරුම් ගන්නවා!
“අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම. සද්දෙන්, සද්දේ එන විදිහෙන්, tone එකෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න තමයි මාත් පුරුදු වෙලා ඉන්නෙ.” පියතිස්ස පුංචි හිනාවකින් මුව සරසාගෙන කිව්වේය.

“එතකොට නම් මටත් තියෙනවා පියතිස්ස අහන්න ප්‍රශ්නයක්. පහුගිය කාලේ ටෙලි නාට්‍ය හදන කට්ටියක් හෙම ඔයාව හම්බවෙලා උපදෙස් ගත්තද?”

මං ඇහුවේ නිකම්මත් නොවේ.

‘වීරයා චාමර’ගේ ඉරියව්-හැසිරීම් එහෙම පිටින්ම වාගේ ඇස් පනාපිට පෙනෙන්නට තිබුණු නිසාය. 
මට නම් හිතුණේ රොෂාන් රවීන්ද්‍ර පියතිස්සව හොඳින් නිරීක්ෂණය කරලාම වෙන්නට ඕනෙය කියලාය. 

පියතිස්ස මහත්තයා ‘නැහැ’ කිව්වේය. 

මට රොෂාන් රවීන්ද්‍රව හමු වුණොත් මං අහන්නේ ‘නිරීක්ෂණය කළ අන්ධ මනුස්සයා කවුද?’ කියන ප්‍රශ්නයයි.

ඉතින් blast එකට පස්සේ?
“ඉතින් blast එක වෙලා....?”

“අපේ ටීම් එකේ අනෙක් හතර දෙනා තුවාල වෙච්ච අපිත් එක්කම පැය ගණනාවක් බඩ ගෑවා කෑම්ප් එකට. පාන්දර ඉස්පිරිතාලෙකට ගෙනියනකොට පැය ගානක් ගිහින්. 
මගේ ඇස් දෙකේම වීදුරු කටු පිරිලා තිබුණා. 
අනෙක් තුවාල හොඳ වුණාට පස්සේ ඇස් දෙකත් ඔපරේට් කළා.... 
ටික දවසක් යන්තමට පේන්නත් ගත්තා... ඒත් ටිකෙන්-ටික පෙනීම නැත්තටම නැතිව ගියා....”

“ඇයි ඒ?”
“ස්නායුවලටත් ඩැමේජ් වෙලා තිබුණු නිසාලු. ඉතින් මං හිත හදාගත්තා!”

“හිත හදාගත්ත කිව්වේ?”
“ජීවිතේට මුහුණ දෙන්න....”

“මාරයිනෙ!”

“නිමල් අයියා දන්නවද මං දැන් දරුවෝ තුන්දෙනෙක්ගෙ තාත්තෙක්. ලොකු පුතාට අවුරුදු 17ක්....”

පියතිස්ස කියන්නේ ආඩම්බරයෙනි. “2002දී අපි මැරි කළේ. ඒ දේවල් අතරේම තමයි ගොඩක් දෙනෙක්ගේ උදව් අරන් මේ සමාජ සත්කාරයත් කරන්නේ.”

2002 දී බැඳපු මං දැන් දරුවෝ තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්!
අම්බලන්තොට, ලුණම රණවිරු ගම්මානයේ වෙසෙන පියතිස්ස මහත්තයා දකින සිහිනයකි. ඒ සිහිනයේ මුල්තැන හිමිව තියෙන්නේ ඔහුගේ බිරියට හෝ දරුවන්ට නොවේ. 

“මං දන්නවා එයාලා හොඳට හැදෙනවා. අපේ වයිෆුත් රස්සාවකුත් කරන ගමන් එයාලව හොඳට හදනවා. මට ඕනේ මේ කළුවර ජීවිතේට වැටෙන්න ඉඩ තියෙන අයව බේරාගන්න..... අඩුම තරමින් 50,000ක්.”

සත්තකටම මම උඩ ගියෙමි! මෙහෙමත් ටාර්ගට් එකක්!!

නිදිගෙ පංච තන්තරේ බ්ලොගයෙන් මගේ ජීවිත කතාව කියවන සමහර රසිකයෝ නිදිත් විශේෂිත හපන්කම් සහිත කෙනෙකු ලෙස; දිරියෙන් යුතු කෙනෙකු ලෙස දකිති. 
ඒ මා මුහුණදී තිබෙන ජීවන අත්දැකීම් දෙස බලලාය. 

ආර්.ඩබ්ලිව්.වී. පියතිස්ස ඔහුගේ ජීවිත කතාව ලියන්නට ගත්තොත්..... සත්තෙන්ම මාත් කැළේය.

“කොහොමද පියතිස්සට ඔය කල්පනාව ආවේ?”

අපි බත් කන්නේ ඔරලෝසුවේ හයේ ඉලක්කමේ ඉඳලා............
“උපතින්ම අන්ධ වෙනවා වගේ නෙවෙයි. හුඟක් අයට පෙනි-පෙනී ඉඳලා අන්ධ වෙන්න වුණාම දරාගන්න අමාරුයි. ඒකට හැඩ ගැහෙන්න අමාරුයි. 
eye හොස්පිටල් එකේ ඉන්න කාලේ මං ළඟින්ම ඉන්න අයට කන්න ඕනේ විදිහත් කියල දුන්නා. නිමල් අයියල දන්නවද? 
අපි බත් කන්නේ ඔරලෝසුවේ හයේ ඉලක්කමේ ඉඳලා....”

මට නම් ඒ අප්‍රභංස කතාව තේරුණේ  පියතිස්සම පහදලා දුන්නාමය.

“ඉස්පිරිතාලේදී කෑම එක ලැබුණාම කැව්වේ ළඟ හිටි කෙනෙක්. 
හැමදාම ගජබා රෙජිමන්ට් එකේ යාළුවෙක් හරි, ගෙදර කෙනෙක් හරි මුල් දවස්වල මගේ ළඟින් හිටියනෙ. මටම හිතුණා- ඒ වැඩේ හරි යන්නේ නැහැයි කියලා. 
ජීවිත කාලයක්ම අනිත් කෙනෙකුගේ උදව්වෙන් ගෙවන්න බැහැනේ. 
මුලින්ම මං යන-එන විදිහ, බඩු-මුට්ටු තියෙන විදිහ සේරම මතක තියාගන්න ගත්තා....”

වීරයා ගෙදර ඇවිත් ටෙලියෙදී චාමර කළෙත් ඒකය. 

අක්කලාගේ ගෙදර මිදුලේ පිහිටීම, ළිඳට-කඩයට ඇති දුර සේරම පියවර ගණනින් ගණන් තියාගන්නවා අපි දැක්කෙමු.

වීරයා ගෙදර ඇවිත් ටෙලියෙදී චාමරත් කළේ එහෙමය!
“...ඊට පස්සේ තනියම බත් කන්නත් පුරුදු වුණා. 
සමහර වෙලාවට යාළුවො අහනවා - අද මොනවද බත් එකේ තියෙන එළවලු- කියලත්. ඒකට උත්තර දෙන්න ලෙහෙසියි හැමෝම ඔරලෝසුවේ විදිහට කනවා නම්. 
ඔරලෝසු මුහුණතේ හයේ ඉලක්කම තියෙන තැනින් පටන් ගන්නේ. එතැන ඉඳන් කටු යන පැත්තටම අත ගෙනියනවා. 
හිතමුකෝ නවයේ ඉලක්කම තියෙන තැන තියෙනවා බෝංචි. 
දොළහේ මාළු..... දෙකේ අල බැදුම්... හතරේ පරිප්පු තියෙනවා කියලා. 
යාළුවන්ට ඒක කියන්න පුළුවනිනේ.”

එහෙම පටන්ගත් පුහුණුව නිසාම පියතිස්ස එඩිතරව ඊළඟ පියවරත් ගත්තේය.

“මම කිව්වා මගේ ළඟ කව්රුවත් ඉන්න ඕනේ නැහැයි කියලා. 
තරහෙන් නෙවෙයි... මගේ වැඩ මමම කරගන්න ඕනේ නිසා, අනුන්ට බරක් නොවී.”

පියතිස්සලා එහෙම පටන්ගත් පුහුණුව................
එහෙම පටන්ගත් ඒ ගමන කොච්චර දුර එකක්දැයි වැටහෙන්නේ පියතිස්ස ගිහින් තියෙන දුර දැක්කාමය.

“මට ඉන්නවා හොඳ යාළුවෙක්. එයා නේවි එකේ හිටියේ. එම්.බී.ඩබ්ලිව්. කුමාර. 
දැන් එයාගෙත් කකුලක් කොටයි, ඉන්සිඩන්ට් එකකින්.... 
අපි දෙන්නා හිතුවා අපේ වීරිය රටේ ඉන්න අනෙක් අයට පෙන්වන්න.... 
ඇස් පෙනෙන, කකුල් දෙකම හොඳට තියෙන මිනිස්සුත් කොච්චර පසුගාමියිද අපේ රටේ? 
අපි  එක වතාවක් අනුරාධපුර රුවන්වැලි සෑයෙන් පටන් අරන් කතරගම කිරි වෙහෙරට ආවා.”

“පයින්ම?”

“අම්මට සිරි!” 

නෙවිල් විස්මය පෙන්නුවේ එහෙම කියමිනි. ඒ ප්‍රහර්ෂය පියතිස්සව උද්දාමයට පත් කළා වගෙය.

අනුරාධපුරේ රුවන්වැලි සෑයෙන් පටන් අරගෙන............
“දෙවෙනි සැරේ වවුනියාවේ.... ඒ කිව්වට... මැදවච්චියේ- තියෙනවා ඉසින් බැස්ස ගල කියල රජ මහා විහාරයක්. එතනින් පටන් අරන් සිරීපාදේ කරුණා කළා. 
ඒත් පා ගමනින්ම.... කුමාරට ඇස් පේනවනේ.”

ඉරිසියා හිතන්නටවත් වෙලාවක් ලැබුණේ නැත.

පියතිස්ස එළැඹෙන ඔක්තෝබරයේදී වාර්තාවක් පිහිටුවීමේ අභිලාෂයෙන්ම කරන්නට යන පා ගමනක් ගැනත් අපට කීවේය. 

“මේ වතාවේ ගමන පටන් ගන්න හිතාගෙන ඉන්නේ යාපනේ නාගදීපයෙන්... එතැන ඉඳන් කතරගම කිරි වෙහෙරට.... ඔක්තෝබර් 18 පටන් ගන්න හිතාගෙන ඉන්නේ. අපිට ඉවර කරන්න පුළුවන් වෙයි නොවැම්බර් 25 වෙනිදා විතර!”

පිටරටවල නම් මෙහෙම ගමන් කරන්නේ ‘අරමුදල් රැස් කරන්නට’ය. 

“පියතිස්ස මහත්තයලත් ඔහොම යන්නේ එහෙම ඉලක්කයක්වත් තියාගෙනද?”

“නෑ, නෑ. කාච අරන් දෙන වැඩේට මේ පා ගමනේ සම්බන්ධයක් නැහැ. ඒක වෙනයි!”

පියතිස්ස වැඩ කරන්නේ රටම පටලවාගෙන නොවේ!

මෙහෙම යන්නේ අරමුදල් රැස් කරන්නද? (foto- දමිත් සංජය අමරසේකර)
සමහරුන් වැඩක් කරන්නේ නිසි සැලසුමක් නැතිවය. එහෙම නැතිව නම් මේසා විශාල වැඩක් කරනවා බොරුය. 

“දැන් පියතිස්ස කාච අරන් දෙන එක විතරක්ද කරන්නේ?”

“අනේ අයියේ, ඒක විතරක් කළාට හරියන්නේ නැහැනේ. කාච අරන් දෙන්න කලින් ඇස් බලවන්න ඕනේ. ඔපරේෂන් කරවලා කාච දැම්මට පස්සෙත් සති කීපයක් යනකල් පරෙස්සම් කරවන්න ඕනේ. 
තමන්ගේ ඇස් දෙක වුණත් පේන්නෙම නැතිව ගියාමයි සමහරුන්ට ඒවායේ අගේ තේරෙන්නේ. 
දැන් මම ක්‍රමෙයි, දොස්තර මහත්තුරුයි, තැනුයි දන්නා නිසා සේරම හොයල බලලා plan කරනවා. 
එක සැරේ ගොඩක් දෙනාට ඔපරේෂන් කරවලා, කාච දාන්න තමයි ලැහැස්ති කරවන්නේ. එතකොට බස් එකක් බුක් කරගෙන එයාලාව එක සැරේම එක්කගෙන ගිහින්....”

පියතිස්සත් යකෙකි. සමාජ මෙහෙවරක් කරනවා වුණත් මෙහෙමත්? 

අද (2019 අගෝස්තු 19 හවස 3.30ට) මේ පෝස්ටුව කොටමින් ඉන්දදී, ඒ වැඩේ නවත්තන්නට මට සිද්ධ වුණේය. ඒ පියතිස්ස මහත්තයා මහරගමට එන බව කියලා තිබුණු නිසාය.

“පහුගිය 10 වෙනිදා ඔය වගේ කට්ටියකට ඔපරේෂන් කරවලා කාච දැම්මෙව්වා. අද එයාලව ආයෙමත් මහරගම ‘කරුණා ප්‍රජා අක්ෂි සත්කාර මධ්‍යස්ථානය’ට එක්කගෙන එනවා. දොස්තර මහත්තයට පෙන්වන්න. නිමල් අයියත් මහරගම නේද ඉන්නේ?  

පියතිස්ස, සුනිල් මල්ලිකාරච්චි මහත්වරු මහරගම කරුණා ප්‍රජා අක්ෂි සත්කාර මධ්‍යස්නථායේදී...........

මම තැන අසාගත්තෙමි. ඒ ගිහින් සියැසින්ම දැක-බලා ගන්නටය!
(ඒ ගමන්ම ඒ සත්කාරය කෙරෙන තැන ෆොටෝ එකකුත් ගත හැකි විණි.) එහෙම කටයුතු දාහක් මැදය පියතිස්ස ඔක්තෝබරයේ මාසයක විතර පා ගමනකුත් යන්න හදන්නේ.

“එතකොට ඔයාලා දෙන්නට එක දවසකදී යන්න ඕනෙය කියන දුරක් ඔළුවේ තියාගෙනද ගමන යන්නේ.... වැස්සොත්.... අව්වේ?”

“ඒක නම් අපට එච්චර වදයක් වුණේ නැහැ. වැස්සකට වුණත් මොකටද බය වෙන්නේ? අපි ෆෝසස්වල ඉන්නකොට ලැබුණු ට්‍රේනින් එක හින්දා වෙන්නැති. දවසකට මෙච්චර යනවා කියලා ඉලක්කයක් තියාගෙනම තමයි අපි දවස පටන් ගන්නේ!”

ඒකටත් එක්ක අපේ මිත්තරයන්ය. සමහරුන් පොද වැස්සටත් එළියකට බහින්නට බය තරමේ සූකිරි බබාලාය! අතපය සේරම හොඳට තිබිලත් පාද යාත්‍රාවේ යන්නට මැලි වුණු අය ගොඩකි.

(හරියටම විස්තර බලාගන්නට කැමතියි නම් ‘හරෝහරා’ පෝස්ටු පෙළත් කියවන්නකෝ.) එයාලාට දිවැස් ඇත. කම්මැලි අයටත් ඒවා තියෙනවාලු. මොකක්දෝ සූත්තරයකත් පිරිහීමේ කාරණා විදියට හේතු ගොඩක්ම පෙන්වලා තියෙනවා නේද?   

කම්මැලියාට දිවැස් තිබීමත් පිරිහීමේ ලක්ෂණයක් කියලා..........
ඒ සේරම පියතිස්ස දන්නා පාටය.

“ඉන්න ටිකටනේ නිමල් අයියේ. මගේ ඇස් දෙක පේන්නේ නැතිව ගිහින් ලෝකෙම කළුවර වුණාම මගේ හිතට වැටුණේ එකයි. මං තරම්වත් හව්හරණක් නැති දුප්පත් මිනිස්සු කී දාහක් පෙනෙන්නේ නැතිව අමාරුවේ වැටෙනවද? 
ගොඩක්ම වයසක අය. එයාල දුර්වල වෙද්දී, ඇසුත් පෙනෙන්නෙ නැතිව ගියාම.... ටිකක් හිතන්නකෝ....

.... කවුරු කොහොම කිව්වත් හම්බන්තොට, මාතර වගේ තැන්වලත් ඉස්පිරිතාලෙකට යන්න බස් එකට සල්ලි නැති මිනිස්සු ඉන්නවා. 
සමහර අයට කාච අරගෙන දෙන්න විතරක් නෙවෙයි, බස් ෆෙයාර් එකත් මගේ අතින් දෙන්න වෙන වෙලාවල් අනන්තයි!”

දෙකකුල්වලට පණ තියෙන තුරු; ගතට වාරු තිබෙන තුරු, දෑස අඳ වෙන්නට යන අයට පිහිට වීමය පියතිස්සගේ පැතුම!

ගොඩාක් දෙනා අපට උදව් කරනවා!
“ගොඩක් දෙනා මට උදව් කරනවා. එයාලට පින්. විශේෂයෙන් කියන්න ඕනේ, මං කවදාවත් එයාලගෙ ආධාරවලින් සතයක්වත් අපතේ යන්න ඉඩ තියන්නේ නැහැ. 
ඒවායින් මගේ ළමයින්ට කන්න දෙන්නේ නැහැ! 
උදව් වෙන්න ඕනේ අයට විතරයි උදව් කරන්නේ. පුළුවන් අයට නෙවෙයිනේ බලන්න ඕනේ.”

“එතකොට පියතිස්සට දැන් වයස......”
“මං උපන්නේ 76. 1976 නොවැම්බර් 14 වෙනිදා....”
මට ගණනක් හැදුණේ ඉබේමය. 

“ඒ කියන්නේ පියතිස්ස බ්ලාස්ට් එකට අහුවෙද්දී අවුරුදු විසිතුනක්වත් පිරිලා නැහැ.”

“ඒක වෙන්න තිබුණු දෙයක් වෙන්නැති.... හැබැයි ඒකෙන් මට ලොකු පිනක් කරගන්න ඉඩ ලැබුණානේ... දැනට මං ඇස් කාච 11,825ක් දම්මවලා තියෙනවා. ඒක පොඩිද?” 

ඒ අහිංසක ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් මට තිබ්බේ නැත.
  
ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ආර්.එම්.වී. පියතිස්ස හැබෑම වීරයෙකු නෙවෙයිද? මට නම් ඔහු විරුවෙකු වන්නේ හමුදාවේ සේවය කළ නිසා නොවේ.

පියතිස්ස වීරයෙකු වෙන්නේ හමිදා සේවයේ සිටියදී පිපිරුමකට අසුවී........
දෑසම නැති වුණාටත් පස්සේ දිරියෙන් නැඟී සිට, වසර විස්සක් තිස්සේ දැන් කරන (වැටුප් රහිත) උත්කෘෂ්ට සේවාව හින්දාය. 

ලොව දකින වාසනාව අහිමි වෙන්නට යන අවාසනාවන්තයන් රැසකට කාච 50,000ක් දෙවන්නට කරන අධිෂ්ඨාන පූජාව හින්දාය.

“පියතිස්ස මහත්තයෝ... මාත් ඔයාගෙන් ලොකු දහිරියක් ගත්තා.... 
අයස්මන්ත මහත්තයා ඔයා ගැන කියපු වෙලේමයි මට හිතුණේ මං ලියන බ්ලොග් එකෙන් ඔයාගේ ගැන ලෝකෙටම කියන්න. 
මං නම් එච්චර පෝසතෙක් නෙවෙයි. ඒත් මමත් මට පුළුවන් උපරිමයෙන් ඔයාට උදව් වෙන්නං. කමක් නැතිනම් විතරක්, ඔයාගේ ටෙලිෆෝන් නොම්මරෙත් මේ පෝස්ට් එකට දමන්නම්. හිත හොඳ මිනිස්සු ඕනේ තරම් ඉන්න නිසා කාට හරි හිතුනොතින් ඔයාගේ වැඩේට උදව්වක්  වෙන්න.....”

එතකොට ඕනේ නම් මං කියන්නේ ඇත්තද කියලා...............
“අනේ කමක් නැහැ නිමල් අයියේ. එතකොට ඕනේ නම්, මං කියන්නේ ඇත්තමද කියලත් හොයන්න ලේසියිනෙ. ලුණම කියන්නේ මහ දුරක්ය? ඇවිදින්  හොයලා බැලුවත් කමක් නැහැ... තව ගොඩකට යහපතක් වෙනවනේ....!”

තවත් මොනවා කියන්නද? හොඳ හිතිවිල්ලක්; පින් සිතුවිල්ලක් දයාබර ඔබටත් ජනිත වුණා නම් පියතිස්ස මහත්තයාටම කතා කරන්න, මෙන්න අංකය: 0771 424 155. හරි නේද෴

20 comments:

  1. ලොකා රියල් වීරයෙක් ගැන කිව්වට පිං!!!

    ReplyDelete
  2. සද්ද නැතුව යහපත් වැඩ කරන මිනිස්සු කොච්චර අප අතර සැඟවී ඉන්නවද නිදි,
    තුති රියල් පොරක්ව පෙන්නලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. මේ ස්තුතියෙන් 75%ක්ම හිමි අයස්මන්ත මහත්තයාටයි! එයා තමා මට පියතිස්ස මහත්තයා ගැන කියලා, මුණ ගැහෙන්න ආසයි කිව්වාම ඉඩකඩ සලස්සලා දුන්නේ.

      Delete
  3. වීරය ගෙදර ඇවිත් ආයෙ බැලුවා වගේ.. ඇත්ත වීරයා ටෙලි වීරයට වඩා ගොඩක් ඉදිරියෙන්...

    වීරයගේ කාන්තාව ගැනත් වචනයක් කියන්න ඕනා. තම්න්ගෙ මිනිහට කෙළවුනාම වෙන එකෙක් එක්ක පැටලිලා යන ගැණු අතරෙ අන්ධ මනුස්සයෙක්ව බැඳලා ඒ මනුස්සයගෙ මුළු ජීවිතේටම එළියක් වෙලා දරුවන්වත් උස් මහත් කරගෙන දිවි ගෙවන ඇයත් වීර වරියක් නේද?

    නිදීට බොහොම පින් උදේපාන්දර මෙහෙම කතාවක් කියවන්න සැළැස්සුවට..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, පියතිස්ස නෝනා ගැන ඒ කතාවට මාත් එකඟයි!

      Delete
  4. Good work NiDi, will try to help Mr Piyathissa. Sad thing is most our people have already forgotten the service done by armed forces.

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, පහුගිය දවස් තුනෙත් යාපනයේ සංචාරයක නිරත වෙද්දී හමුදාවේ කිහිප දෙනෙකු එක්කම කතා කරන්න ඉඩ ලැබුණා. ඔවුන් ඒ සමයේ අත්දැකීම් ගැන කියද්දී හිතෙන්නේ දුකක් වගේම අප ගැන කළකිරීමක්.

      පියතිස්ස මහත්තයාගේ සද්කාර්යයට ඔබතුමා වැනි අයගේ උගව් ලබා දීම තමයි මගෙත් මූලිකම අරමුණ වුණේ!

      Delete
  5. වටින පෝස්ට් එකක්.

    ReplyDelete
  6. ග්‍රීක් චිත්‍රයෙ තියෙන්නෙ නැටුමක් ද?
    නැත්නම් මේකද? https://en.wikipedia.org/wiki/Moirai

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Pleiades_(Greek_mythology)

      Delete
    2. Pra Jay මහත්තයෝ, අපේ සිරිබිරිස් උන්නැහේ හරියටම හරියන උත්තරය දීලා තියෙන නිසා මට කරන්න තියෙන්නේ ඔබ දෙපළටම ස්තුති කිරීම විතරයි.

      Delete
  7. ඔය කටු ඔරලෝසුවෙ හැටියට කෑම කන එක අපේ විතරක් නෙවෙයි. මේක බොහෝ දේට අන්තර්ජාතිකව භාවිතා කරන ක්‍රමවේදයක්.

    වීරයා හැබැහින් හමු වී මේ සටහන ලියා තැබූ එකනම් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. කසුන්, මම නං කලින් ඒ ක්‍රමවේදය ගැන අහලා තිබුණේ නැහැ.

      ඔයාලා වැනි අයත් පියතිස මහතාගේ චරිතය ඇගයීම ගැන සතුටුයි! ස්තුතියි!

      Delete
  8. අන්න රියල්ම වීරයෙක්

    ReplyDelete
  9. මේක මේ පෝස්ට් එකට අදාලම නෑ ..
    ඒත් නොදන්නා නිසයි අහන්නේ . රේන්ද ගොතන්න ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙකු භාවිතා කලයුතු නූල් වර්ගය මොකක්ද ? ගොතන කටුව මොකක්ද ?
    මෝඩ ප්‍රශ්නයක් වගේ පෙනෙයි. ඒ ගැන ඉවසා වදාරා උත්තර දෙන්න පුළුවන් නේද ?

    ReplyDelete
  10. අත් රේන්ද ගොතන්න නම් ඉස්සර ක්‍රෝචට් කියලා නූල් වර්ගයක් තිබුනා වගේ මතකයි. දැන් තියෙනවද මන්දා.

    මම රේන්ද ගොතන කාලයේ නම් සාමාන්‍ය මහන මැෂිමට දම්ගන්නා සුදු නූල් තමයි ගත්තේ. ඒ හැරුණාම මල්ටිකලර් සිල්ක් නූල් (ඒවා ගන්නේ එම්බ්‍රොයිඩර් වැඩට) හෙමත් ගත්තා, එතකොට රේන්දය විචිත්‍රයි.

    ගොතන කටු එක-එක ප්‍රමාණවලින් තියෙනවා දැන් නම්, ලේඬියා ලොකු එකක් දම්වැල ගෙතීමට පුරුදු වෙන්න හොඳයි. හැබැයි ලස්සනට හීනි නූල් පාවිච්චි කරලා රේන්ද ගොතද්දී හීනිම කටුවක් පාවිච්චි කරන්නම වෙනවා. නැතිව දෙපොට, තුන්පොට පිරවිලි කාරිය කරන්න බැහැ; බැහැ නෙවෙයි ලස්සන නැහැ.

    ප්‍රශ්න ඇහුවට තරහ වෙන්නේ නැහැ මම නං. ඉගෙන ගන්න කෙනෙකුටනේ. දන්නේ නැතිනං ඉතින් ඒකත් කියනවා කිසිම පැකිළීමක් නැතිව.

    ReplyDelete