අවුරුද්දට මුදලාලි මහත්තයා කොහොම කරයිද කියලා............. |
“ඇන්ටි, අපි නං අවුරුද්දට නිවාඩු දෙනවා 10
වෙනිදා විතර. මුදලාලි මහත්තයා කොහොම කරයිද දන්නෙ නැහැ නේද?” මං ඇන්ටිගෙන් ඇහුවේ
කෙලින්ම මුදලාලිගෙන් අහන්නට බැරි නිසාය.
“සුද්දොන්ට මොන අවුරුදුද නිමල්.... වෙනදට නං
අපිත් නොනගතේට විතරයි සාප්පු වහන්නේ. මේ සැරේ සිරීපාදෙත් යන නිසා තමයි, ඉතින් .....
දැන් කවදද අපි යන්නේ?”
“අප්‍රේල් 16 උදේ පිටත් වෙන්නේ. මහරගමින් 5ට
බදුල්ලට තියෙන බස් එකේ.
17 පාන්දර මළුවේ.... ඉර සේවය බලලා එදා රෑ වෙද්දී
පලාබත්ගලට
කරුණා කරගන්නවා. එදා රෑ නවතින්නේ එහෙ....
18 හවස් වෙද්දී අපි මහරගම.....”
මම ගමනේ
සැලසුම විස්තර කළෙමි. ටෙරන්ස් වුණත් ඒවා අහගෙන හිටියේ ආසාවෙන්ය.
“...... වෙනදාටත්
එහෙමයි. දවස් තුනයි යන්නේ. හැබැයි ඇන්ටි,
එනකොට නං හොඳ ගණන්.... කකුලක් උස්සලා පඩි නැඟිලි-බැහිලි බොරු.”
සිරීපාදේ කරුණා කරලා එද්දී නං කකුල් දෙකම මැන්ඩලින් ගහනවා! |
“අපේ අම්මට ඇවිදලා හුරුයි නිමල් අයියේ.”
“මේ, මේ, ටෙරන්ස්. මං ගැන මම බලාගන්නං. ඔයා
ඔයාගේ ගැන බලා ගන්නවකො! .... එතකොට නිමල්, අපිට අප්‍රේල් 15 හවස ඔයාලගේ ගෙදරට
ඇවිත් ඉන්න වෙනවා. එහෙමනේ?”
“සිරීපාදේ නොගිය මිනිහත් මෝඩයා. එක සැරේකට
වැඩියෙන් ගිය මිනිහත් මෝඩයා!” කියන්නේ හරිම ප්‍රසිද්ධ කියමනකි.
එය ඇත්තක් නම් මේ
බ්ලොගය කොටන මමත් අන්ත මෝඩයෙක්මි.
1976 අපේ සිරිපා ගමනම වුණත්, මගේ හතරවෙනි හෝ
පස්වෙනි වතාව වෙන්නට ඕනෙය.
ඒ කාලයේ වන්දනා ගමන් මිස විනෝද චාරිකා
වැඩිපුර තිබුණේ නැතිය. වන්දනාවේ ගියෙත් අනුරාධපුර-පොළොන්නරු, කතරගම, සේරුවාවිල-නාගදීප
වගේ තැන්වලටය. විනෝදයට ගියේ පේරාදෙනි මල්වත්තට හෝ නුවරඑළිය-හග්ගල දෙකටය.
යූ. ඩී. පෙරේරා මාස්ටර් සහ ග්‍රේටා ජෙනට් ද සිල්වා ගායිකාව |
ඒවාට වඩා
වෙනස්, සිරීපාදේ ගමන සුවිශේෂ එකක් විණි. කොච්චර වෙනස් ගමනක් වුණාද කියන්නට හොඳම
සාධකයක් වන්නේ ගීතයකි.
ගීතය ලියා තියෙන්නේත් අති දක්ෂයෙකි.
කරුණා
මූදේ නාමු ගිලීලා, කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමි, සිළුමිණි සෑය වඳිම් රම්‍ය
තව්තිසා භවනේ, මහා බෝධි මුලේ විදුරසුනේ, රාජ සඟබෝ හිස දී දුගියාටා වැනි ගීත ලියා
ඇත්තෙත් මේ රචකයාමය; යූ.ඩී. පෙරේරා මාස්ටර්ය!
ඔහු ලියූ ඒ අමරණීය ගීතය ගැයුවේ ග්‍රේටා
ජෙනට් ද සිල්වා ගායිකාවය; කොලොම්බියා තැටියකටය.
1910 වසරේ රත්නපුර නගරය හරහා වන්දනාවේ යන නඩයක්............. |
සිරි ලංකාවේ උසින් වැඩි කඳු අතරෙන් තෙවෙනි
තැන ගන්නා සමනල කන්දේ උස අඩි 7360කි.
හැබැයි, එච්චර ලස්සන ඒ ගීතය ලියූ උඳුගොඩගේ
ධර්මසිරි පෙරේරා මහත්තයාත් පල් මෝඩයෙකි; එහෙම වෙන්නේ අර ප්‍රසිද්ධ කියමනට අනුවය;
යූ.ඩී. පෙරේරා මහත්තයාත් ජීවිතේටම සිරීපාදේ නොගිය කෙනෙකි!
මේ ගැන, ඒ.ඩී. රන්ජිත්
කුමාර ලියා තිබෙන තවත් විස්තර
ඔබට ඇරයුම් කරන්නේ,
එය කියැවිය යුතු පෝස්ටුවක් යැයි මට හැඟෙන බැවිනි.
ගිවිසාගත් ඒ විදිහටම, බෙන්තොට ඇන්ටිලා අපේ
ගෙදරට ආවෝය.
වැඩපොළට නිවාඩු දීලා තිබුණු නිසා තාත්තාට පැය විසිහතර සඳහාම බතික්
මඩුවේ ලොකු මේසය සින්නවී තිබිණි. ඇන්ටි එතැනට ගිහින් අපේ තාත්තාත් එක්ක දිගම-දිග
කතාවකට පැටලීලාය. ඒ අතරේය ‘සේ’ ටීචර් අපේ ගෙදරට ආවේ.
දෙන්නාත් එක්කම මහ දිග කතාවකට පැටලී ඉන්නා අතරේය...... |
‘සේ’ ටීචර් ඉගැන්නුවේ බුවෙනකබා මහ විදුහලේය.
රසික ඔබට
කියූ ‘රාජමනි මිසී’ වගේ ගැහැනියකි;
හොඳ උස-මහතය, සුදුය; කටත් සද්දය; හොඳටම
forwardය; යකාටවත් බයකුත් නැතිය.
අපේ නංගිලා-මල්ලිලා සේරටම උගන්වා තිබුණු ‘සේ’
ටීචර් හිටියෙත් පමුණුවේමය.
“මේක ගෙදරින් තියපන් කෙල්ලේ! අවුරුද්දේ
ඉස්සෙල්ලාම හිස් අතින් එන්න හොඳ නැති හින්දයි ගෙනාවේ.... උඹලා සේරම අර මනුස්සයාව
තට්ට-තනියම බතික් මඩුවට දාලා ජොලියේ සිරීපාදේ යන්නයි එහෙනම් ලෑස්තිය....
හොඳා,
හොඳා. අපට කොහෙන්ද කෙල්ලේ එහෙම පිනක්?”
සේ ටීචර් වඩාත්ම කිට්ටු අපේ ලොකු නංගිට;
පුෂ්පා රංජනීටය.
“මං ඉක්මනට ටීචර්ට තේ එකක් හදාගෙන
එන්නං.....”
නැතිනං මූණ දෙක කරගනියි මමත් මිනිහා ගැන තැකුවේ නැහැයි කියලා ........... |
“එහෙනං ඒක මඩුවටම ගෙනෙන් පුෂ්පෝ... මං
ගිහින් අර මනුස්සයා එක්ක කයියක් දාන්නං. නැතිනං මූණ දික් කරගනියි මමත් එයා ගැන
තැකුවේ නැහැයි කියලා..... ආ නිමල්, තරහ නැතිව මේ පඬුරත් මළුවේදී දාහං කොල්ලෝ!”
සේ ටීචර් සුදු රෙදි කෑල්ලක දවටා ගැටගැසූ කාසියකුත් මගේ අතට දුන්නාය; දීලය පහළට බැස්සේ.
සේ ටීචර් පහළට ගියාම ඇන්ටි ඉහළට ආවාය. (ඉහළ-පහළ
කිව්වේ අපේ ඉඩම සමතලා එකක් නොවෙන නිසාය.) බතික් මඩුව තිබුණේ ගෙදරට වඩා පහළින්ය. වත්තේ හරි මැදට වෙන්නටය.
සේ ටීචර් කවදාත් අපේ තාත්තා එක්ක ගොඩ
වෙලාවක් කතා කරන්නීය; දෙපිට කැපෙන කතන්දරත් කියන්නීය; හෙමිනුත් නොවේ. ඇය, එදා
වුණත් වෙනදාට වඩා වැඩි වෙලාවක්, තාත්තා එක්ක ‘කාජාව දාගෙන’ හිඳීම අපට විශේෂයක්
නොවුණේ ඒ නිසාය.
ටීචර් පිටත්ව ගියා විතරය. තාත්තා මට කතා කළේය.
ඒ විධානය එච්චර තද එහෙකුත් නොවේ! |
“රංජි, ටිකකට ඇවිත් පලයං!”
ඒ විධානය එච්චර ‘තද’ එහෙකුත් නොවේ.
ඩී.බී.කුරුප්පු මහත්තයාගේ වචනයක් ණයට
ඉල්ලාගෙන කියනවා නම් ‘මෝදු’ වුණු තාලයේ එකකි! තරමක ලිහිලක් තිබුණු එකකි!!
ඒකත්
එච්චර හොඳ ලකුණක් නොවේ.
“ඇයි තාත්තේ?”
“ඔහොම ටිකක් වාඩි වෙයන්කෝ....! මොකක්ද
කලබලේ? මට උඹෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න.”
‘ඉවරයි, සේරම ඉවරයි.’ මට හිතිණි. ‘තාත්තට
සේරම ආරංචි වෙලා තමයි. ඒත් කොහොමද? කාගෙන්ද?’ එහෙම හිතුණත්; හිත ඇතුළ දෙමෝලෙන්
පිටි කොටන්නා වගේ ගැහුණත්, මං හිටියේ අහිංසක මූණක් මවාගෙනය. වෙස් මුහුණක් දමාගෙනය.
“හැබැයි, උඹ මට ඇත්තම කියන්න ඕනේ...”
මා කළේ
අහගෙන සිටීමය. ‘කට ඉස්සර කරගන්න එපා රංජියෝ!’
මගේ බුද්ධිය මට කිව්වේය.
කකුල් දෙකම නැති මේ ගුණපාලට පුළුවන්ද උඹලා ඔය යන්න හදන ගමන නවත්තන්න? |
“දැන් එතකොට උඹලා හෙට උදේ සිරීපාදේ යනවා,
එහෙමනේ...... එන්නේ 18 වෙනිදා.... දැන් උඹ මට කියපං, මේ කකුල් දෙකම නැති ගුණපාලට
කියපං....
මට පුළුවන්ද උඹලගේ ගමන නවත්තන්න?.... මට පුළුවන්ද....
දැන් දෙකේ කොළේට
වැටිලා ඉන්න උඹේ තාත්තට බැරිද උඹලගේ මහලොකු සිරීපාදේ ගමන නවත්තන්න?”
තාත්තා අහන්නේ මොන විකාර ප්‍රශ්නයක්ද?
ඒත් ඒ
බවක් කියන්නට මට හිතුණේ නැත.
දෙකකුල් නැතත්; දණහිස්වලටම උඩින් ඒවා කපා දමා තිබුණත්
තාත්තාගේ අභිමානය අඩුවෙලා නැති බව මට රහසක් වුණේ නැත.
හරකෙකුගේ ඉදිරිපිටින් ගොස් ඌට ළං නොවන්න!
අශ්වයෙකුගේ පිටුපසින් ඌට ළං වීමෙනුත් වළකින්න.
මොනම පැත්තකින්වත් මෝඩයකුට නම්
කිට්ටු නොවන්න!
foto එකකුත් එක්කම ඒ පණිවිඩය දුටු දවසෙම මට මතක් වුණේ 1976 අප්‍රේල්
15 රාත්‍රියේ මා කළ හපන්කමයි! එවෙලේ මට හිතුණේ අපේ තාත්තා අසාධාරණ සටනකට; සාධාරණ
නැති අභියෝගයකට මා බඳුන් කරන බවය. එහෙම වෙලාවට වැඩ කරන්නේ හීන් සැරයයි!
එහෙම වෙලාවට 'ලෙසටම' වැඩ කරන්නේ 'හීන් සැරයයි!' |
සාමාන්‍යයෙන් කරන විදිහට නොවේ, එදා නිමල්
දිසානායක කළේ; පොල්ලෙන් ගහනවා වගේ උත්තරයක් නොදී, තාත්තාගේ සාඩම්බරය වැඩි කරවන
උත්තරයකි, එවෙලේ මා දුන්නේ!
“තාත්තට මොකද බැරි..... ඔයානේ තාත්තා!”
මගේ උත්තරයෙන් අපේ තාත්තා එක සැරේම හේබා
ගියේය!
අපේ තාත්තා පෑවේ පරාජිත හිනාවකි.
“මං පරාදයි
බං. මං පරාදයි.... එක අතකින් මං දිනුම්... මොකද, දිනුව උඹ මගේ ලොකු පුතා හින්දා...
මං පරාදයි බං....”
අදත් තාත්තා බීලාවත්ද? මං හිතාගෙන හිටියේ, බෙන්තොට කට්ටියත් එන
නිසා තාත්තා නොබී ඉන්නවා කියලාය.
නැත්තං මොනවද මේ කියවන විකාර?
උඹලට තුනුරුවන් සරණයි..... පරෙස්සමෙන්........... |
“උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන්
ගිහින් වරෙල්ලා...”
තවත් එතැන පොරොත්තු වෙන්නට මට හිතුණේ නැත.
මට දැනුණේ ලොකුම කඩුල්ලක් පැනගත් බවය; මං කට වරද්දාගත්තා නම් තාත්තා මොන ගිනි විජ්ජුම්බරයක්
කරන්නට හිටියා වෙන්න ඇතිද?
ඒවා කල්පනා කරන වෙලාවක නොවේ, එදා මා හිටියේ. විසිදෙනෙකු
විතර කට්ටියක් එක්ක වන්දනාවක යන්නට තියෙද්දී හිතන්නට දේවල්ද නැත්තේ?
ඉතින්, සිරිපා කරුණා කරද්දී අපට ලොකු අවුලක් වුණේ
නැත.
සිරිපා ගමන් ගැන පෝස්ටුවක්- දෙකක් ලියන්නට
ඕනේ කියලා හිත කියයි. වන්දනාවේ විස්තරත් මෙතැන නොලියා ඉතිරි කරගන්නට වෙන්නේ ඒකටය.
Plan කළ විදිහටම 17 වෙනිදා රාත්‍රිය පලාබත්ගල නැවතී සිට 18 වෙනිදා රත්නපුරයට ආවාමය
වෙනසක් කරන්නට වුණේ!
ඉර සේවයත් බලලා, එදා රාත්‍රිය වෙන්නට කලින් පලාබත්ගලට............ |
එදා නම් තිබ්බෙම නැති තරම්ය. ආපසු ගමනේදී අප රත්නපුරයට එන්නෙත් එහෙන් පටන්
ගන්නා බස් එකක වාඩිවෙලාම එන්නට හිතාගෙනය.
“කරන්න දෙයක් නැහැ.... පරණ පාරෙන් යන බස්
එකක හරි කමක් නැහැ ... අපි අවිස්සාවේල්ලට යමු. එතකොට එතැන ඉඳලා හරි වාඩිවෙලා
යතහැකිනේ!”
“අනේ ඔව් ළමයෝ. දැන් නම් පෝලිමේ හිටගෙන
ඉඳලත් මට ඇතිවෙලයි තියෙන්නේ.” අපේ සීයාත් කිව්වේය.
“අම්මේ, අන්න පානදුර බස් එකක් එනවා. අපි ඒකෙ
ගිහින් අලුත්ගම එකකට නඟිමුද?” ඒ අස්සේ ටෙරන්ස්ගෙනුත් යෝජනාවකි.
විරුද්ධ වෙන්නට
හේතුවක් තිබුණේ නැතිය. ඇන්ටිලා පානදුර බස් එකෙන් පිටත්ව ගියහ. පොල් පැටවුණු බසයක
හිරවී, අප අවිස්සාවේල්ලට එනවිට එතැනත් වෙනදා තරම් බස් තිබුණේ නැත.
පොල් පැටවුණු බසයක නැඟී කරත්තයක එනවාට වඩා අසීරුවෙන් අවිස්සාවේල්ලට එද්දී.......... |
කොළඹ යන බසයක් තිබුණත්, ඒ වෙද්දීත් එය
පිරිලාය. පිරිසක් හිටගෙනත්..... අපේ නඩය බස් පෝලිමට එකතු වුණේය! මාත්.....
“ස්...ස්... නිමල්”
මම හැරී බැලුවෙමි. සරත්! බළල් සරත්!! එයාත්
පමුණුවේම කෙනෙකි; අපේ නාට්‍යවලට ආ රංජිත් ගුණසේකර අයියාගේ යහළුවෙකි.
සරත්ලා සෑහෙන්නට හිටි නිසාය මෙයා බළල් සරත් වුණේ. එයාට තිබ්බේ බළල් ඇස්ය.
සරත් අප හිටි තැනට ආවේ නැත.
හිටි තැනම හිටගෙන,
අත වනලා මට කතා කළේය.
“ඒකගේ තියෙන මහන්තත්තකම බලපල්ලකො ඉතින්. පොඩ්ඩක් මෙහාට ආවා නං කකුල්
ගෙවෙනවද?” මං බළල් සරත් ළඟට ගියේ හිත යටින් බනිමින්, වත උඩින් හිනාවක් දවාටාගෙනය.
හිත යටින් බනිමින්, වත උඩින් හිනා පාමින්.............. |
“මොකද නිමල්, අර බස් එකේ යන්නෙ නැද්ද?” සරත්
ඇහුවේය.
‘තමුසෙ ඕක අහගන්නද මාව මෙතන්ට වැඩම්මුවේ?’ මගේ හිත කිව්වේය.
“සිරීපාදෙ ගිහින් එන ගමනනෙ සරත්.... හිටගෙන
යන්න බැහැ. ඊළඟට එන එකක යනවා! හදිසියක් නැහැනේ.” මුව කිව්වේය. මගේ උත්තරයෙන්ය
සරත්ගේ කට ඇරුණේ.
“ඈ?...... හදිසියක් නැහැ? ඔයාට ආරංචිය හම්බ
වුණේ නැද්ද?”
“මොකක්ද?”
“සෝමයා අපිත් එක්ක ආවේ නැහැනේ.”
නැතිවෙලා නෙවෙයි, නිමල් එල්ලිලා! |
සරත් මගේ අතකින් අල්ලා ගත්තේය.
“සෝමවීර
ඔයාලත් එක්ක ගියෙ නැති බව අපි දන්නවා. අපිනේ ඌව එව්වේ ඔයාලට පණිවිඩේ කියන්න......
එහෙනං සෝමයාට ඔයාලව මීට් වෙලා නෑ. ඔයාලා මේ බස් එකේම ගෙදර යන්න දැන්ම, හිටගෙන
හරි...”
“සරත්, මොකක්ද ඔයාලා අපිට එව්ව පණිවිඩේ...
මොකක්ද හදිස්සිය?”
“ඔයාලගේ තාත්තා නැතිවෙලා....” සරත් කිව්වේ
රහසෙනි; ඇහෙන-නෑහෙන ගණනටය.
“ඈ.... නැතිවෙලා....?”
“නැතිවෙලා නෙවෙයි, නිමල් මල්ලී...... එල්ලිලා
මැරිලා!”
සරත් වෙනින් විස්තර කිව්වේ නැත; මං අහන්නට
හිටියෙත් නැත.
ආපිට හැරුණු විගසම බස් පෝලිමට ගියෙමි.
“අපි මේ බස් එකේම යමු....
නඟිනවලා ඉක්මනට.”
නවක වධය දෙන සීනියර් සිසුන්ගේ වගේ අධිකාරි tone එකකි එවෙලේ........... |
“ඊළඟ එකේ නේද යමු කිව්වේ!”
“පැය ගානක් යනවලු ඒක එන්න. කැමති කෙනෙක් ඉඳල
එනවලා. මගෙන් වැරද්දක් නැහැ. හැබැයි, මං මේකේ යනවාමයි.”
මගේ අධිකාරී තීරණත්, කටහඬේ tone එකත්
නොදන්නා කිසිවෙක් එතැන හිටියේ නැත.
සෙනඟ පිරී හිටි බසයට කවුරුනුත් නැංගේ තවත්
කිසිවක් අහන්නේ නැතිවමය. තවමත් මටම පුදුමය. මං ඒ සේරම තීරණය කළේ, විධාන දුන්නේ ඇහේ
එකම-එක කඳුළක්වත් නැතිවය; හඬේ කිසිම ශෝකී ස්වරයක්- වෙව්ලිල්ලක් නැතිවමය.
ඒත්
දෙයියනේ, මගේ හිතිවිලි සසල වෙවී තිබුණු හැටි.... හැඟීම් තෙරපෙමින් තිබුණු හැටි
කියන්නට අදටත් මා අසමත්ය!
පනාගොඩ හමුදා කඳවුර හරියේදී මම සුනිල්ට කිට්ටුවී........... |
මගේ දෙසවනේ රැව්-පිළිරැව් දෙමින් තිබුණේ එයා
මට කී අවසන් වචනය. ඒවා අදත් දෝංකාර දෙයි.
“උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන්
ගිහින් වරෙල්ලා... උඹලට තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා... උඹලට
තුනුරුවන් සරණයි.... පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා...”
මට හොඳටම මතකය. පනාගොඩ හමුදා කඳවුර හරියේදී
මම සුනිල් ළඟට කිට්ටු කළෙමි.
“සුනිල්, මහරගමින් බැස්සාම කාටවත්ම ගෙවල්වලට
යන්න දෙන්න එපා. එයාලව අපේ ගෙදරට එක්ක ගිහින් ඉවරවෙලයි ගෙදර යවන්නේ. මං එයාලව
නවත්තගෙන ඉන්නං. තමුසේ ගිහින් ටැක්සි තුන හතරක් අරන් එනවා.”
“ඇයි ලොකා?”
“කියපු විදිහට කරනවා!!! ගෙදරට යනකල් කාටවත්
ඇඟෙව්වොත් බලාගෙනයි.....” මගේ ස්වරයම සුනිල්ව නිහඬ කරවන්නක් විණි. “වෙනසක්
පෙන්වන්නෙ නැතිව ඉන්නවා, මං වගේ..... තාත්තා අන්තරා වෙලා!”
එතකොට three වීලර් ගැන අහලාවත් තිබ්බේ නැතිය. මයිනර් කාර්ය Taxi දිව්වේ! |
මහරගම අනුෂා සිනමාහල අසලදී බසයෙන් බැසගත්
ගමන්ම සුනිල් පිටත්ව ගියේ ටැක්සි කිහිපයක් අරන් එන්නටය.
එතකොට දැන් වගේ ඕසෙට three
වීලර් තිබ්බේ නැත. තිබුණේ මොරිස් මයිනර් වර්ගයේ ටැක්සිය. (අදට වුණත් මට හඳුනාගන්නට
පුළුවන් කාර් වර්ගයකි ඒ.)
“දැන් සුනිල් ටැක්සි දෙක-තුනක් අරන් එයි. ඒ
ආවාම ඔයාලා කවුරුත් එක්ක අපේ ගෙදරට ගිහින්, ඊට පස්සේ ගෙවල්වලට යන්න. පරක්කු වෙන්නෙ
නැහැ.”
එතැනත් කාටවත්, මොකවත් අහන්නට බැරිවෙන මගේ ටෝන් එක ‘ලෙසටම’ වැඩ කළේය!
ටැක්සි කිහිපය පිටත් වෙන්නට කලින් මම අවසන්
විධානයත් නිකුත් කළෙමි. “පිරිමි ළමා නිවාසයට.”
කුලතුංග සර්ය, ඒ කාලයේ මහරගම පිරිමි ළමා නිවාසයේ පාලකයා.
ටැක්සි කිහිපයෙන් අපේ
කට්ටිය බහිද්දීත් හැම දෙනාම හිටියේ මේ කඩා පාත් වෙන්නේ මොන මරාලයක්දැයි
හාන්කවිසියක් නොදැනය! කුලතුංග සර් ඉස්සරහටම ඇවිත් මගේ අතින් අල්ලා ගත්තේය.
එතෙක්
මගේ අතේ තිබුණු ‘මෙහෙයුම් යෂ්ටිය’ ඔහු අතට ගියා වගේ මට දැනිණි.
මහරගම පිරිමි ළමා නිවාසයේ පාලකයා විදිහට ඒ දිනවල සේවය කළේ කුලතුංග .......... |
මං හරිය. කතා කළේ කුලතුංග සර්ය. “කට්ටියගෙම
බෑග් ටික මෙහෙන් තියලා පහළට ගිහින් එමු!”
අපේ ලොකු නංගිත්, සීයාත් දෙන්නා බෑග් උස්සා
ගත්තාමත් කුලතුංග මහත්තයා ඒවා බිමින් තියෙව්වේය.
“සීයලට අමාරුයිනේ. යං, මං පස්සේ
ළමයි දෙන්නෙකුට කියන්නංකො ඔව්වා අරන් එන්න.”
ළමා නිවාස වත්ත මැදින් අඩි පාරේ ඇදුණු අපේ
සීයාය, සිල්ලප්පු වත්තට ඇතුළුවෙන තැන- පාර හරහට දමා තිබුණු සුදු කොඩිය ඉස්සෙල්ලාම
දැක්කේ.
දිසානායක හේවගේ චාර්ල්ස්; චාලි නානා; අමු කැළේ ඒ දැකුමෙන්ම සියල්ල තේරුම්
ගත්තා වගෙය.
ඊජිප්තුවන්ගේ මරණයේ දේවතාවා; අනුබිස් අපේ ගෙදරටත් පැමිණ ඇති බව දැනගෙන
වගේ මා දෙසට හැරුණේය...
අනුබිස්; ඊජිප්තු මරණයේ දේවතාවා අපේ ගෙදරටත් සම්ප්‍රාප්තවී තියෙන බව .............. |
ලෙහෙසියෙන් හිනා නොවෙන - නොහඬන - කම්පා
නොවෙන සීයාගේ වියපත් මුහුණේ ඇස් විතරක් යාන්තමට දිලිසෙමින් තිබෙද්දී සීයා මගේ
පැත්තට හැරුණේය. මට උත්තරයක් දෙන්නට ඉඩක් ලැබුණේ නැත.
ලොකු නංගි ලොකු විලාපයක් දීගෙන පහළට දුවන්නට
ගත්තාය.
බතික් වැඩපොළේ ගැහැනු ළමයිනුත් ඒ පාරේම.....
ඊළඟට.........
මරණය හරි පුදුම දෙයක් ලොකා...සමහර සමීපතමයන්ගේ මරණ ඒ අයගේ ජීවිතවලට වඩා අපිට පාඩම් කියල දෙනවා...හරි පුදුමයි නේද?
ReplyDeleteසත්තයි ලොකු. දුක, හිස් බව, පාඩුව, අසරණකම හැම දේමත් ඉතිරි වෙන්නේ ජීවත් වෙන අයටනේ.
Deleteඒ වෙනකොට කප්පරක් අත්දැකීම් තිබ්බ නිමල් අයිය පණිවිඩේ දැනගත්ත වෙලාවෙදි කලබල නොවී ඔය විදියට හැසිරිච්ච එක මටනම් අරුමයක් නෙමෙයි. අපේ තාත්ත ඉස්පිරිතාලෙ නවත්තල තිබුණෙත් මම කතරගම ගිහින් ඉද්දි. ඊට පහුවෙනිද උදේ මම හොස්පිටල් ගියාට පස්සෙ තමයි තාත්ත නැති උනේ. නිමල් අයිය වගේ තැලි පොඩිවෙලා නැති මම උනත් ඒ වෙලාවෙදි කලබල නොවී කරන්න ඕන වැඩ කටයුතු ටික සංවිධානය කරගත්ත.
ReplyDeleteප්‍රසන්න, අවස්ථාවක් අආවම තමයි මිනිසුන්ගේ සැඟවුණු හපන්කම්, හැකියාවන් මතුව එන්නේ!
Delete//ඒ ගීතය අහද්දී, මනැසින් සිරිපා කරුණා කරන්නට// ලිංක් එක වැඩ නෑ.
ReplyDeletehttps://www.youtube.com/watch?v=wAZd1YMbVx8
Deleteලිපියටත් මේ ලින්ක් එක යෙදුවා. නැවත හොයා බලන්නම්. කිව්වාට ගොඩක් ස්තුතියි ප්‍රසන්න.
ප්‍රසන්න, දැන් හරි, හොඳේ!
Deleteහ්ම්,පරිසරට වෙනස් නොවන දැඩි තීරණ වල කෙලවර.ලාස්ට් සමුරායිවල කසිමොටෝ වගේ.
ReplyDelete(බෝවනං වෙනම අල්ලගන්න ඕනෑ මේ දෙවන සැරේ අපිව අල්ලලා පොලේ ගහපු)
අත්දැකීම් සහිත පාඨක ඔබ වැනි රසිකයෙකුත් කම්පනයකට පත් වුණ එක ගැන සතුටුයි; එකෙන් පෙන්නේ මං හරියටම වදින්න ජීවන අත්දැකීම කියලා තියෙන බවනේ.
Deleteස්තුතියි, සිරිබිරිස් උන්නැහේ!!
හරකෙකුගේ ඉදිරිපිටින් ගොස් ඌට ළං නොවන්න!
ReplyDeleteඅශ්වයෙකුගේ පිටුපසින් ඌට ළං වීමෙනුත් වළකින්න.
මොනම පැත්තකින්වත් මෝඩයකුට නම් කිට්ටු නොවන්න +++++++++++++
ඉයන් මහත්තයෝ, මගේ පරිවර්තනය හරි නැතිද?
Deletehmm
ReplyDeleteස්තුතියි Pra Jay!
Deleteමටත් තාත්ත නැති උන වෙලාවෙ පපුව කඩාගන යන වේදනාවක් ආව හොදම යාලුවාටත් කෝල් එකක් ගත්තා තප් 4ක් විතර කතා කරගන්න බැරි උනා.
ReplyDeleteහැබැයි විනාඩියක් යන්නත් කලින් මහ බරක් ඔලුවට ආව වගකීම් ගැන ඒක අදටත් එහෙමමයි කවදාවත් නැතිවෙන එකක් නෑ වගේ ඊට පස්සෙ මට දුකක් තිබිබෙ නෑ මහ අමුතු උපේෂා හැගීමක් තාමත් තියෙන්නෙ
ඒ හැඟීම් වචනයට නඟන්න බැහැ මධු!
Delete