අකුරු මැකී නෑ

Sunday, October 6, 2019

දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස

රාජමනි අංකල් ගැන කිය-කියා ඉඳිද්දී කොහෙන්ද චමිඳු කෙනෙක්? දෙවෙනි කොටස අවසානය කියවද්දී ඔයාලට හිතෙන්න ඇති.

මේකයි, මං තදින්ම අදහනවා හොඳක්; යහපතක් කළාම කවදාම හරි ඒකට සරිලන යහපතකුත් සිදුවෙන බව. අතුල අබේරත්න අයියාගෙ fb එකෙනුයි මං චමිඳු ගැන දැනගත්තේ

මං විශ්වාස කරනවා මොනම හරි හොඳක් - යහපතක් කළාම ඒකට සරිලන යහපතකුත්...........
චමිඳු ගැන ඒ පෝස්ටුව එහෙම පිටින්ම උපුටලා පළ කරන්න වටිනවා! ඉතින්, මං අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ ඔන්න!

අවංක වැසිකිලි සෝදන්නා.
---------------------------------------------
2011
මෙල්බර්න් වල හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන ගහන්න උදේම කොලු ගැටයෙක් එනව, පොරගෙ නම චමිඳු, ලංකාවෙ ඉඳල study කරන්න ආපු කොල්ලෙක්, පොර සුපුරුදු පරිදි ලැට් ටික හෝදල බින් ටික අස් කරන්න ගන්නව. ආබාධිතයන්ට වෙන්කරපු වැසිකිලියෙ කසල බඳුන අස්කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න බැරි දෙයක් පේනව. බඳුන ඇතුලෙ කසල වෙනුවට 50..100 ඩොලර් කොල පුරවල... ගල් ගැහුන චමිඳු මුලින් හිතන්නෙ මේක කාගෙ හරි විහිලුවක් කියල... ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි... දැන් මොකද කරන්නෙ?? බෑග් එක පිටින්ම ගෙදර අරන් යනවද.. මේක වාසනාවද? නැතිනම් ගෙදර අරං ගිහින් අහුවෙලා හිරේ යන්න වෙයිද?? මේ වගේ දාහක් දේවල් චමිඳුගෙ ඔලුවෙ වැඩ කලා...ඒත් චමිඳු තීරනයක් ගත්ත.. මේ සල්ලි මගෙ නෙවේ.. මම මගෙ සුපර්වයිසර්ට කතා කරනව.. එහෙම කරපු චමිඳු කෝල් එකක් දීල ලොක්කට එන්න කියනව.. මේක දැකල භය වුන ලොක්ක ටක් ගාල පොලිසියට කතා කරනව..

චමිඳුගෙ අවංකකමට රුපියල් කෝටියක් එයාට ලැබෙනවා!
පොලීසිය සල්ලි තමන් භාරයට ගන්නව.. සල්ලි ගණන් කරපු පොලීසියත් අන්දුන් කුන්දුන් වෙනව..ලංකාවෙ සල්ලි වලින් එක් කෝටි විසි ලක්ශයකට වැඩිය සල්ලි (ඔසී ඩොලර් 100,000.කවුද මේක වැසිකිලියට ගෙනත් දැම්මෙ?? දවස්..සති..මාස..අවුරුදු වලට පෙරලෙනව.. චමිඳු ඔස්ට්‍රේලියාවෙන් නවසිලන්තෙට යනව ඉගෙනගන්න.. අවු 3 කට පස්සෙ 2014 චමිඳුට කෝල් එකක් එනව ඕස්ට්‍රේලියාවෙ පොලීසියෙන්..

"චමිඳු ඔයාට කියන්න ආරංචියක් තියෙනව, ඔයා හොයල දුන්න සල්ලිවලට තාම අයිති කාරයෙක් හොයාගන්න බැරිවුනා, අද උසාවිය එක හඬින් තීරණය කළා ඒ සල්ලිවල අයිති කාරය ඔයා කියල. ඕස්ට්‍රේලියාවෙ නීතියෙ හැටියට ඒ සල්ලිවලින් ලක්ශ 23ක් ආදායම් බදු හැටියට අරගෙන ඩොලර් අසූ දාහක් නැතිනම් රුපියල් කෝටියක් චමිඳුගෙ අවංක බාවය අගය කරල වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිඳුට ප්‍රධානය කරනව. ඒ විතරක් නෙවේ ඕස්ට්‍රේලියාවෙ Permanent Residency එකත් චමිඳුට ප්‍රධානය කරනව. අද චමිඳු පරිගනක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බර්න් නගරයේ වාසය කරනව. තමන්ගෙ අවංකභාවය නිසා චමිඳු අද සතුටින් ජීවත්වෙනව.

ඒවගේම ඕස්ට්‍රේලියාවෙ නොවිසඳුනු අපරාද එහෙම නැතිනම් X- files අතරට මේ කතාවත් ඇතුලත්. පොලීසිය සැක කරන්නෙ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගෙ කලු සල්ලි තමා මෙහෙම හම්බවුනේ කියල.”

හොඳ වැඩක් කරද්දී තමන්ගේ හිතට දැනෙන සතුට තමයි 'සැලරි' එක. ඒකට bonus එකක් ලැබෙයිද....
“නිමල්, උඹ හොඳ වැඩක් කරනකොට මොකක්ද වෙන්නේ? මොකක්ද හිතෙන්නේ...”
දවසක් රාජමනි අංකල් මගෙන් ඇහුවා. “සතුටක් හිතෙනවා!”

“Wright! ඒක තමයි උඹේ හොඳ වැඩේට උඹට හම්බවෙන සැලරි එක.... සැලරි එක බලාගෙන මිසක් bonus එක බලාගෙන හොඳ වැඩ කරන්න එපා, කවදාවත්.”

මට නම් එය එතරම් පැහැදිලි වුණේ නැත. “ඒ කිව්වේ අංකල්?”

“නිමල්... බෝනස් එක තමයි ස්තුතිය.
අපි හුඟ දෙනෙක් හොඳ වැඩක්, උදව්වක් කළාම ස්තුතියක් හම්බ වෙනවා නං කැමතියි. ඒත් හුඟක් අය ක්‍රිටිසයිස් කරනවා මිසක් ඇප්‍රිෂියෙට් කරන්නේ නැහැ.
විවේචනය කරනවට වැඩියෙන් අගය කිරීම නේද අපි කරන්න ඕනේ? සැලරි එකෙන් සෑහීමට පත්වෙන්න ඉගෙනගෙන හිටියාම අපිට ස්තුති කළේ නැහැ කියලා දුකක් හිතෙන්නෙ නැහැනේ!”
මට ඔය වගේ දාහක් දේවල් කියාදුන්නේ රාජමනි අංකල්ය!
ඔහොම දාහක් දේවල්, මට කියා දුන්නේ රාජමනි අංකල්ය.
මට ඉංග්‍රීසි ඉගෙන ගන්නටත් අංකල් උදව් වුණේය. මට විතරක් නොවේ; අහල-පහළ ගෙවල්වල කුඩා දරු-දැරියන්ටත්.

“අනේ නිමල් අයියේ.... අංකල් තව කාලයක් ජීවත් වෙලා හිටියා නං අපේ ළමයි ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගන්නවා.” අසල්වැසියෝ තවමත් කියති!

“නිමලෝ, උඹේ ගේ හදල ඉවර වුණාම අපේ කට්ටිය මාසෙකට සැරයක්වත් එහෙදි එකතු වෙනවා.... night පාක් එහෙ....” තජකයේත්, අමද්‍යපේත් හිතවතුන් පෙරුම් පුරාගෙන හිටියේ එහෙමය. 

ඉස්සෙල්ලාම ඒ විදියට කට්ටිය එකතු වුණු දවසේ රෑ හතට-අටට විතර මහරගම ජාතික තරුණ සේවා සභාව අසල බෝම්බයක් පිපිරුණේය. සද්දය ඇහුණා විතරය. “හංදිය පැත්තෙන් නේද ඇහුණේ.... අනේ දෙයියනේ.... අපේ මල්ලිත් ඒ පැත්තට ගියා....” තජකයේ සාමාජිකාවක් වුණු ශාන්ති අඬන්නට ගත්තාය. 
මහරගම ජාතික තරුණ සේවා සභාව අසලදී බෝම්බයක්...........
සාදය නවත්තලා දේව් මල්ලීව හොයන්නට කිහිප දෙනෙක්ම ගියෝය. දේව්ට උවදුරක් සිදුවී තිබුණේ නැත. ඒත් එකතුව කඩාකප්පල් විණි.

ඊළඟ එකතුව යෙදුණේ 1993 මැයි පළමුවෙනිදාය!

(වැරැදිලාවත් මං ‘මැයි පළවෙනිදා’ කියලා නං කියන්නේ නැත. මගේ සුජාත මිත්‍රයෙකු කියන්නේ එහෙම දවසක් ‘කාන්තා ශෝක දිනයක්’ වෙන බවය! එහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවාට උත්තරයක් දෙන්නෙත් නැති එකය මිනිහගෙ වැරැද්ද.)

හවස හතරට විතර රාජමනි අංකල් දඩිබිඩියේ මට කතා කළේය.....

“නිමල් යාළුවන්ට ඉක්මනට ගෙවල්වලට යන්න කියපං... කර්ෆිව් දායි වගේ. ප්‍රසිඩන්ට් ප්‍රේමදාස ආමර් ස්ට්‍රීට් එකේ පිපුරුණු බෝම්බෙකට අහු වෙලාය කියලා BBC නිව්ස්වලට කිව්වා. පෙනෙන විදිහට කෑලිත් නැහැ වගේ..................”

ආමර් ස්ට්‍රීට් එකේදී bomb බ්ලාස්ට් එකක් වෙලාලු..... ප්‍රසිඩන්ට් ප්‍රේමදාසත්............
අපේ තජක- අමද්‍යප සුහද හමු කාලෙකටම නැවතී ගියේ එහෙමය. “ඇයි බං, අපි කට්ටිය උඹලගේ ගෙදරට සෙට් වුණොත් බෝම්බයක් පුපුරණවනේ!”

ඒත් අංකල්ට එහෙම කරුම පටිසන් දුන්නේ නැත. 

“නිමල්, දැන් මගේ ගණනේ පොඩි පාටියක් දාන්න ඕනේ.... මමම ඇඳුම් හෝදාගන්න පටන්ගත් හින්දා මගේ බජට් එකෙන් ලොන්ඩරියට ගිය ගණන ඉතිරියි. පරණ පත්තර ටික විකිණුවාම තවත් ගණනක් එකතු කරගන්න පුළුවනි..... ඒක පාටියක් දාන්න හොඳටම ඇති....”

රාජමනි අංකල් ‘මඳ පමණට’ සැර බීම ටිකක් ගත්තේ එහෙම දවසටය. 
වෙනදාට 24 පැයේම වැඩ කරන එයාගේ රේඩියෝවට, එහෙම දවසක විතරක් රාත්‍රියට නිවාඩු ලැබෙයි.

“එහෙම කියන්න එපා පුතේ, කෑව දේ ගඳයි, දුන්නු දේ සුවඳයි.... සීවලී මහ රහතන් වහන්සේගෙ කතාව මං උඹට කියා දීල තියෙනවනේ. උන්වහන්සෙත් එක්ක දාහක් දෙනා වහන්සේලා වැඩියත් දානෙ වේල වරදින්නේ නැහැල්ලුනෙ, උන්නාන්සේගේ පිං මහිමේ හින්දා! කෙනෙකුට දෙයක් දෙන්න හැමෝටම බැහැ පුතේ. තමුන්ට තිබුණත්, තියෙනවා කියලා දැනෙනවා නං විතරයි දරුවො තණ්ණාසෙ නොහිතා යමක් දෙන්න පුළුවන්....”

කෑව දේ ගඳයි පුතේ! දුන්නු දේ සුවඳයි!!
අපේ ආච්චී; දසනායක රත්නවතී මට කියා දුන්නේ කොටුවෙ ආච්චී එළවලු කොරටුවේ ඉඳලා ආ දවසකය.

එදා අපේ ආච්චී කිරි අම්මලාගේ දානයකට ගිය දවසකි. එහෙම දවසට අපට වාසිය. අපේ ආච්චීත්, නැන්සි ආච්චීත් දෙන්නාය පමුණුවේ එක්සත් සුබසාධක මාවත හරියේ හිටි හොඳටම ‘පින් දීම’ දන්නා කිරි අම්මලා දෙන්නා. ඒ නිසාම ඒ දෙන්නාටම කිරි දානවලට වැඩියෙන් ආරාධනාත් ලැබිණි. 

ආච්චීට එහෙම ආරාධනාවක් කරන්නට එන උදවිය අපේ අම්මාටත් ආරාධනා කළෝය.

අපේ අම්මා දන්නා පින්පෙත් පැමිණවීමක් - කිරි අම්මලා මෙහෙයවීමක් හින්දා නොවේ. ආච්චීට කියලා, අම්මාට නොකියා හිටීම නිසා හිත රිදේවි කියලාය. ඒ නිසා අපට වාසි වුණේ දෙන්නාම සුදු සාරියේ පොටකිනුත් ඔතාගෙන එන කැවුම්- කිරිබත්- කිරියා- කෙසෙල් ගෙඩි ‘පංගු’ දෙකක් නිසාය.
කිරි අම්මලාගේ දානයක් දවසට අපේ උදේ වේල එයින් පිරිමැහුණේය!
එහෙම දවසට අපේ ගෙදර උදේ කෑම පිරිමැහෙන්නේ ඒවායිනි.

‘කිරි දානෙකට ලැබෙන දේවල් දවල් දොළහ වෙන්න කලින් කාලා ඉවර කරන්න ඕනේ!’ එහෙම කියන ආච්චී කිසිම දෙයක් ඉතිරි කරගන්නේ නැත. හකුරු කෑල්ලක්වත්!

එදාත් සේරම බෙදලා ආච්චීට ඉතිරි කරගෙන තිබුණේ එකම-එක හැඳි කැවුමක් විතරය. කොටුවෙ ආච්චී ගෙට ගොඩවුණේ එතකොටය. “කහට ටිකක්වත් බොමුද ගුණපාලලැ අම්මේ? කලන්තේ හැදෙන තරමට බඩගින්නක් ආවා ඕයි.... ඒකමයි....” 

ඉතිරි හරිය ඔබට හිතාගත හැකියි නේද?

කොටුවෙ ආච්චී යනකල් මං හිටියේ අඬු පුප්පාගෙන තරහෙනි. තරහ වැඩිකමටම මට ඇඬෙන්නටත් කිට්ටුවය. “ආච්චිට තියාගත්ත කැවුම නේද කොටුවෙ ආච්චිට දුන්නේ? මොකටද ඒක දුන්නේ. පව් ආච්චී....” කියාගෙන යද්දී මට හෝ ගාලා ඇඬුණේය.
........ හිටියේ අඬු පුප්පාගෙන තරහෙන් දැවෙමිනි............
“හා, හා, පුතේ. පව් පුරෝගන්න එපා.... කුස රජ්ජුරුවන්ට වෙච්චි දේ වෙයි... මූණ කැවුමක් වගේ වෙයි.”

එහෙම පටන් ගෙනය, ජීවිතයටම අමතක නොවෙන පාඩමක් ආච්චී මට කියා දුන්නේ. ඒ අතින් නම් ආච්චී greatය; අතිවිශිෂ්ටය; සුපිරිය! වෙනින් වචන හිතට නොඑන එක ගැන මටම තරහය........... 

අපේ ආච්චී තනිකරම තියරි විතරක් කිව්වේ නැත. හැම තිස්සෙම න්‍යායත් එක්ක පණ ගැහෙන උදාහරණයකුත් කිව්වාය. මටත් ඒ පුරුද්ද යාන්තමට තියෙනවා වගෙය.

ඉතින් රාජමනි අංකල්ගෙ පාටි දමන ‘දාන පාරමිතාවත්’ එහෙමය. අංකල්ගෙ budget එකත් හරිම සීමිත එකක් වෙද්දී.............

දන්නා කාලෙක ඉඳලාම අපේ බහුශ්‍රුත, බුද්ධිමත්, කීර්තිධර ගරු මුදල් ඇමතිතුමන්ලාටවත් කරගන්නට බැරි වුණු හපන්කමක් රාජමනි අංකල් කළේය. 

අය-වැය නූලට-රූලට plan කළේය; ඒ විදිහටම balance කළේය; අතුරු ගිණුම් - අමතර ණය මොනවාවත් නැතිය. අමතර දෙයකට මුදල් ඕනෑ වුණාම (ආපසු ගෙවීමට අනවශ්‍ය) විදේශ ආධාර දෙන්නට සොහොයුරියකු ඕස්ට්‍රේලියාවේ හිටි බවත්, එයාගේ ඔළුවේ සමහර විට තියෙන්න ඇති!
අංකල් එයාගේ අයවැය නම් හරි ගණනටම බැලන්ස් කරගත්තේය!
“මේක නිමල් අමතර සල්ලියක්. ඉස්සෙල්ලා මට හම්බ වුණේ නැති එකක්. ඒකෙන් මෙහෙම enjoy කළාට වරදක් නැහැ. We deserve it!”

එහෙම මා ලැබිය යුතු සතුටක් මම අදත් භුක්ති විඳිමි!

ආඩම්බරයෙන්... සාඩම්බරයෙන්..... එහෙම කරන්නට හැකිවුණේ අපේ ආච්චී කියා දුන් පාඩමත් මගේ ඔළුවේ ‘ගලේ කෙටූ අකුරක්’වී තිබුණු නිසාය.

ඒ අංකල් අපේ ගෙදරට ඇවිත් දෙවෙනි හෝ තුන්වෙනි හෝ අවුරුද්ද වෙන්නට ඇත. “නිමල් මේ සැරේ යන්නේ වස්ගමුවේ.
නියම තැනක්... මැදපිටිය කියලා නියම කෑම්පින් සයිට් එකක් බුක් කළා.... අපේ මල්ලිගේ බැචාලා දෙතුන් දෙනෙකුත් යනවා..... පීරිස්, පෝල්, සාදු, අරුණලාල් (දැන් ඒ සේරමලා දොස්තරලා; විශේෂඥයන්ය.) .... මං හිතන්නේ හතර දෙනාමත් එනවා...” වල් ප්‍රියන්ත කිව්වේය.
අපේ මල්ලිගේ බැචාලා හතර දෙනෙකුත් වස්ගමුවේ යන්න .............
එතකොට අප වස්ගමුවට එකම-එක වරක්වත් ගිහින් තිබුණෙත් නැත. ඒ දවස්වල අපේ ගමන්වලට වාහනය- ඉන්ධන- තැන්වලට ගෙවීම් සේරම ප්‍රියන්තගෙනි. හාල්-පොල්-තුනපහ-සැමන්-කරවල- අල-පරිප්පු වගේ දේවල් මගෙනි. අතරමඟදී ගන්නා එළවලු- බීම වගේ දේවල් වෙනින් අයගෙනි.

සුපුරුදු විදිහටම, ගමනට පිටත් වෙනදා උදේ ප්‍රියන්ත අනෙක් හැමෝමත් නංවාගෙන අපේ ගෙදරට ආවේය.

“මේ මොකෝ අද මේ මනුස්සයා තවම සරම පිටින්... තවම ලැහැස්ති වුණේ නැද්ද? ටක් ගාල ඇඳුමක් දාගන්න නිමල්. දුර යන්න තියෙනවා. ඔයා අඳිනකල් අපි බඩු ටික දාගන්නං.... කොහොමද pack කරගන්න ඕනේ කියල විතරක් කියල ඉන්නකො....” ප්‍රියන්ත ඇහුවේ බඩුමුට්ටු මිස මගේ සූදානමක් නොතිබුණු බැවිනි.

“ඊයේ වෙනකල්ම මාත් යන්න තමයි හිතාගෙන හිටියේ. අංකල්ට ටිකක් සනීප මදිවයි හිටියේ..... උදේ බලනකොට ටිකක් වැඩියි වගේ ප්‍රියන්ත... මං ගිහින් කොහොමද?  වෙනදා වගේම සේරම ඕනේ දේවල් අරගෙනයි තියෙන්නේ.... වළන්-පිඟන් සේරමත් මේකේ. මේ එළවලු දෙක-තුන විතරයි මගින් ගන්න තියෙන්නේ.....”
මිනිහෙක් විදිහට තවත් මිනිහෙකු වෙනුවෙන්..........
හත්-අට දෙනෙකුගේ සුහද පෙරැත්තයත්; කරුණු දැක්වීම් සේරමත් මගේ තීරණය හොලවන්නට සමත් වුණේ නැත. “තරහ වෙන්න එපා. ආයෙම වෙලාවක යමුකො. ඔයාලා ගිහින් එන්න!”

බැරිම තැන එයාලා අංකල් හමු වෙන්නටත් ගියහ. ‘අක්කත් එයි... අල්ලපු ගෙවල්වල අයත් බලයි, වෙනදා වගේම ට්‍රිප් ගියාම. නිමල්ට යන්න කියන්න.’ අංකලුත් කිව්වේය. ඒත් මා ගියේ නැත. දින දෙක තුනකදී අංකල් සුව අතට හැරුණේය....

“ඒකනෙ අපි කිව්වේ..... අපරාදෙ නියම fun ට්‍රිප් එකක් ඔයාට මිස් වුණේ.....” මිතුරෝ කීහ.

එහෙත් අදටත් මට තියෙන්නේ දුකක් නොවේ; සතුටකි. 
‘මිනිහෙක් වෙනුවෙන් තවත් මිනිහෙකු විදිහට කළ යුතු යුතුකමක්’ පැහැර හැරියේ නැති එක ගැන සතුටකි! ඒ සතුට වඩාත් තීව්ර වුණේ ඊට අවුරුදු කිහිපයකට පසුවය..... දෛවය අකාරුණික වෙන්ට පටන් ගත්තාට පස්සෙය. 

ඊට කලින් තවත් දේවල් ටිකාක් විතර කියලා ඉන්නම්.... හොඳේ?
තවත් කෙනෙකු ඒවා දකින්නේ වෙනස් විදිහකටය!
අංකල් වෙනුවෙන් එදා ගමන නොයා, මා කළ පුංචි පරිත්‍යාගය සුවඳ හමන්නේ දැන්ය.
          ‘..... දියත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
                 සිඳිත මඩිත එක ලෙස විහිදෙයි සුවඳ’
කියලා කියනවා වගෙය!

එහෙම කියන්නේ මේ ලියන මාය; නිදිය. තව කෙනෙකු අදටත් එය දකින්නේ නිමල්ගේ මෝඩකමක් විදිහටය.

“තමුසේ හිටියයි කියලා අමුතු හොඳයක් වුණේ නැහැනේ! ඒ මනුස්සයා ලෙඩ වුණා... සනීප වුණා. තමුසෙට trip එකක් මිස් වුණා!” සමහරවිට එයාලා හරිත් ඇති. මට හිතෙන්නෙම මං හරි කියලාය. වචනවලින්ම සියලුම හැඟීම් කියන්නට; තවකෙකුට පහදා දෙන්නට පුළුවන්ද?

ඒ මදිවාට කැත විදිහට වචන වෛශ්‍යා කර්මයේ යොදවන අවස්ථා කොච්චරද? මං තරහෙන් කියන විදිහට නම් වේසාකමේ.............

කිසිම පරෙස්සමක් නැතිව වචන ගණිකා වෘත්තියේ යොදවන දේශපාලුවන්..............
පහුගිය ටිකේ රසික සූරියආරච්චි හිතවතා රසිකොලොජි බ්ලොගයේ පොත් ගැන පෝස්ට්ස් කිහිපයක් ලියලා තිබිණි. ඒ පොත් ගැනය. සැප්තැම්බර් සාහිත්‍ය මාසය හින්දාය. 

මගෙත් එක ප්‍රේමයකි පොත්; භාෂාව තවත් එකකි. 

ආරියවංශ රණවීර කිවිඳුන්ගේ ‘ඉම තව දුරය’ කාව්‍ය ග්‍රන්ථය මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩුම ගැනත් ‘රසික’ ගොඩක් ලියා තිබිණි. එයින් මගේ හිත වැඩියෙන්ම වැදුණේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසා තිබුණු දෙයක් ගැන කියවුණු කොටසයි.

“ඒ අතරින් වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ සිංහල භාෂාවේ සාහිත්‍යමය ඉරණම ගැනයි. ඔහු දක්වූ උදාහරණ ද එකතු කරගනිමින් පැවසුවහොත්, හිනිදුම සුනිල් සෙනෙවි කීවේ වීරවංශ, ගම්මන්පිල (සහ තවත් නොවැදගත් නම් කිහිපයක් කියැවිණි.) වැනි දේශපාලුවන් තම ජඩ අරමුණු සඳහා සිංහල භාෂාව භාවිත කළ පසු (ඒ වචන, යෙදුම්, භාෂා ප්‍රයෝග යනාදිය නැවත) අපට සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණ වන බවයි.”

'ඉම තව දුරය' කාව්‍ය ග්‍රන්ථය දොරට වඩින දවසේ හිනිදුම සුනිල් සෙනෙවි මහතා කිව්වේ............
පස් අවුරුදු සැලැස්ම, වගා සංග්‍රාමය, ධර්මිෂ්ට සමාජය, සුබ අනාගතයක්, ආශ්චර්යයක් හා යහපාලනය වගේ වචන ගණිකා වෘත්තියේ යෙදවුණු; අවභාවිතයේ යෙදවුණු හැටිත් ඒ පොස්ටුවේ තිබිණි.

ඒ අතින් රාජමනි අංකල් මට කළේ ලොකුම උදව්වකි. 

සිංහල ගැන උනන්දු වුණු, ඉංගිරිසිය ගැන ආසාවක් තිබුණත්, (බලු වැඩවලට බලු ඇඳුම් ඇන්ද එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයලාට පින්සිදු වෙන්නට) සිංහල රජවී හිටි සමයක උගත් මට තරමක් දුරට හෝ ඉංගිරිසිය කියා දුන්නේ අංකල්ය. සමහර ඉංග්‍රීසි කුණුහරුපත්!

ඒ නිතරම අප අතර කෙරුණු කතාබහේදී මිස පාඩම් මාලාවකින් නොවේ.
  
ඊටත් අමතරව ඔහු කියවූ ‘Women’s Day’ සඟරාව මට කියවන්නට සැලැස්වීමෙනි.

ඊටත් අමතරව ඔහු කියවූ සඟරාවක් මටත් කියවන්නට දීලා.............
රෝද පුටුවකට සිරවී හිටි, විශ්‍රාමික අංකල් ඒ වගේ කාන්තා සඟරාවක් එක්ක තිබ්බාම ‘Cheese & Chalk’ වගේමය. ඔව්, චීස් හා චෝක් දෙක වගේ සහමුලින්ම නොගැළපෙන අන්ත දෙකක්!

ඒ දෙක පෑහුණේ අග-හිඟකමුත් අංකල්ට බලපෑ නිසාය! ඒවාත් කියවමුකො ඉස්සරහට.....

10 comments:

  1. <3 <3 <3 මැයි පළමු වෙනිදා.. :) :) :D

    ReplyDelete
  2. නිමල් අයියගෙ ගේ හදල තියෙන්නෙ බෝම්බ නැකතින් ද.

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් වෙලාද මන්දා, ප්‍රසන්න.

      Delete
  3. මතර සල්ලියක්. ඉස්සෙල්ලා මට හම්බ වුණේ නැති එකක්. ඒකෙන් මෙහෙම enjoy කළාට වරදක් නැහැ. We deserve it!”

    නියම කතාවක්

    ReplyDelete
    Replies
    1. හැබෑවටම මධු, රාජමනි අංකල් ළඟ තිබ්බේ ඔය වගේ වැඩ. එයාගෙන් ඉගෙනගෙන මං සමහර වෙලාවට මටම තෑගි දීගන්නවා... මට ආසා කරන දෙයක් මිලදී ගැනීමෙන් වගේ.... එයා කිව්වේ එතකොට life එක enjoy කරන්න ලෙහෙසිය කියලයි!

      Delete
  4. May be since he is limited to one place, he has lot of time to think and do the right thing? (just a thought) Hard to imagine a life limited one room, will come to us someday I guess.

    You are right, it is like Cheese and Chalk. Woman's Day is a gossip magazine, mostly gossip about popular people. I get to read it when I wait for a haircut.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා විජේබාහු මහත්තයෝ එහෙම. ඔයා කියනවා වගේ එක තැනකටම වෙලා ඉඳිද්දී හිත වැඩ කරනවා වැඩිවෙන්න ඇති.

      මම නම් Women's Day කියෙව්වේ ආසාවෙන්. සරලව ලියවී තියෙන නිසා සහ වෛවර්ණ ෆොටෝත්, නියම printing කොලිටියත් නිසා.

      Delete