කඳ කුමාරයා තවම මයුර වාහනයෙන් යද්දී, තව දෙවිවරු............ |
“නිමල් අයියේ, මගේ
ජීවිතයේ ගෙවාපු සුන්දරම night එකක් තමයි ඊයේ රෑ! කවදාවත් මට මේක අමතක වෙන එකක්
නැහැ!! අයියෙ, ඔයාටත් පිං කටුපිල ආරට යන්නෙ නැතිව මෙතැන නැවතුණාට.” ඒ පීරිස්ය.
“මදැයි දුර ගෙවාගෙන ආවා සැනසිල්ලේ
නිඳාගන්න කියලා. තුඃ විතරක්.... තුනහමාරේ ඉඳන් තමුසෙලා මොන මල දානයක් කළාද ඕයි?”
ඒ
නෙවිල්ය. ජාමයක් වෙන තුරු හරි නිඳි මරන්නට ලැහැස්ති නෙවිල් උදෙන් නැඟිටින්නට හොරය.
මේ මර්වින්ය.
“මට නින්ද
ගියෙ නැහැ නිමලෝ. අලියත් මේ ඉසව්වේම ඉන්නවා කියලා සෝල්ජර්ස්ලා කතා වුණා. එයාලා
මාරුවෙන් මාරුවට නැඟිටලත් හිටියා.... ගිනි මැලේටත් දර දැම්මා....”
ගොරව-ගොරවා
නිඳාගත්තත් මර්වින් හැමදාම කියන්නේ නින්ද ගියේ නැතැයි කියලාය.
ලෝකය පෙරළුණත් මේ නිදිට නං හොඳට නින්ද යයි! |
චූටි පුතා; ජයශංඛ විතරය
මොකුත් නොකිව්වේ.
අපරාදේ කියන්නට බැරිය.
මගේ කෙටි නමේ අරුත මගේ විදිහටම හොඳට ගැළපෙයි, ලෝකය පෙරළුණත් මට නින්ද
යයි. මට නම් එදාත් හොඳට නින්ද ගියේය. ඒ තුනහමාර විතර වෙනකල්ය.
ගිනි පාන්දරම ඉන්දික එයාලගෙ නඩේ අයව කීද්දුවේය.
ගිය ආත්මයේ ඝණ්ටාර පූජා කළ පිනින්, එවැනිම නාදයක් ඇති කටක් හිමි ඉන්දිකගේ සද්දෙට
අපටත් ඇහැරුණේය!
කලින් දවසේ රෑ ඇට්ටපල්
කරුවලේ රොටි පුච්චද්දීත් එයාගෙ සද්දේ එහෙමමය. දෙන්නෙක් විතර පොල් ගෑවෝය. සුජී
රොටිවලට පිටි ඇනුවේය. ඊළඟට දෙතුන් දෙනෙක් රොටි වඩන රාජකාරියත් කළෝය.
ඒවා ළිප ළඟට
ප්‍රවාහනය කළේ තවත් දෙන්නෙකි.
“මචං නෙවිල්... ඔයාට
පුළුවන් නේද හිච්චිත් එක්ක රොටි පුච්චන්න...” ඉන්දික නෙවිල්වත් ළිප ළඟට
කැන්දාගත්තේය.
අන්තිමට බැලුවකොට ඉන්දික මහත්තයාගේ රොටි ගැහිල්ලෙන් වැඩි හරියකට ................ |
අන්තිමට බලද්දී ඉන්දිකගේ
‘රොටි ගැහිල්ලෙන්’ වැඩිම හරියකට අනෙක් අය කරගහලාය. හැබැයි, මං කරිය ඒදලා දුන්නාම
ඒක ළිපෙන් තියලා ඉව්වේ නම් ඉන්දිකය.
මට හිතුණේම රොටි මදි
වේවි කියලාය. කොයිකටත් කියලා මිශ්‍ර කරිය වැඩියෙන් හැදුවේ ඒකය.
හමුදා සොහොයුරන්ටත්
දීලා වුණත් රොටි ඉතිරි වුණා මිස මදි වුණේ නැත.
හැබැයි කරියයි, ලුනුමිරිසයි තිබුණු
සාස්පාන් දෙකේම අඩිය මතු වුණේය! කාටද ආඩම්බර?
අප ඒ සේරම හපන්කම් කළේ
විදුලි පන්දම් දෙකකත්, ෆෝන් දෙක තුනකත් එළියෙනි. ඊට අමතරව හමුදා සොහොයුරෝ කිහිප
දෙනෙක් ටික වෙලාවකට අපට ආලෝකය සපයන්නට ඉදිරිපත් වූහ.
ඒ එතැන duty හිටි අයට රෑ කෑම
අරගෙන ආ ට්‍රැක්ටරයේ කිහිප දෙනාය.
ඔවුහු ට්‍රැක්ටරයේ ලයිට් දල්වා, අපේ ගිනිමැල ළිපට
එල්ල කරගෙන සිටියහ.
කටුපිලආරේ ඉඳන් අප දුටු අසිරිය ළිංතුනේ නැවතී හුන් විනුර පෙරේරා ඇතුළු නඩයේ අයත් ...(foto-විනුර පෙරේරා) |
අයස්මන්ත පීරිස් දොස්තර
මහත්තයා අයස්කාන්ත දසුනක් අපට පෙන්නුවේ ඒ ට්‍රැක්ටරයේ විදුලි පහන් ඈතින් ඈතට ගියාට
පස්සෙය.
“ෂා! Milky Way එකේ
ලස්සන.....”
සිංහල ගීත කොච්චරක්
තිබුණත් ‘අහස් ගඟ’ තියෙන්නේ එකම එකක විතරක් වගෙය. ‘දියමන්ති’ චිත්‍රපටයට නන්දා
මාලනී ගයන ‘යොවුන් වසන්තයෙ දුහුල් වලාකුළේ - රැහැන් මුදාගෙන පාවී...’ එකේය.
ඒ ගීය ලියූ මහාචාර්ය
සුනිල් ආරියරත්නත් ‘ක්ෂීර පථයේ අසිරිය’ කොහේදී හෝ දකින්නට ඇතිය.
එදා රාත්තිරියේ හිටි අප
දොළොස්දෙනාගෙන්, තරු නිරීක්ෂණය කරන්නට ඉස්පාසුවක් තිබුණේ පීරිස්ට විතරද?
ජීවිතයේ කොච්චරක් නම්
දේවල් අපට නොපෙනී- නොදැනී- නොහැඟී මඟ හැරෙනවාද?
“Milky Way එක ටවුන් එකකදී මෙච්චර
හොඳට බලාගන්න බැහැ, අයියෙ. මෙච්චර ලොකු open ඒරියා එකක අපට ඉන්න ලැබෙන්නෙ
නැහැනේ... හිටියත් වලාකුළුයි, ලයිට් එළියි, දූවිල්ලයි හින්ද තමා මෙච්චර ලස්සනට
දැකගන්න බැරි.....”
බිම් කළුවර තුනී වෙන්නටත් කලින්ම ඉන්දිකගේ ඝණ්ටාරය ......... |
නිඳාගන්නට ඉටි කොළය
මත්තේ වැතිරුණාට පස්සෙත්, දොස්තර මහත්තයා තාරකා බිලියන 70 ක විතර මන්දාකිනියේ තරු
ගනිමින් ඉන්නට ඇත. හැබෑටම අනෙක් අය.... මං?
එකාවන්ව, එකම නඩයක, එකම ගමනක් යද්දී
වුණත් අප අතරේ තිබෙන විවිධත්වය........... ෂුවර් එකටම මර්වින් නම් (නින්ද නොගිය
නිසා වුණත්, ඇස් පියවී තියෙද්දී - ගොරවමින් හීනෙනුත්) අලි ගණන් කරන්නට ඇතුවාට සැක
නැත.
හැරෙන-පෙරළෙන වාරයක්
ගණනේ ඇහැරෙද්දී, නැවත නින්දට වැටෙන තුරු මං ගණන් කළේ කී දෙනෙකු ගොරවනවාද කියලාය;
එක-එක්කෙනා ගොරවන රටාවන් කොච්චර තියෙනවාද කියලාය. මටත් වැඩ නැතිවට!
කොහොමින් වුණත් බිම්
කළුවර මැකෙනවාත් එක්කම ඉන්දික නියෝගය දුන්නේය.
“තිලක්... උඹ මාමත් එක්ක පිටත්
වෙයං.... අපි ගිනි මැලේත් නිවා දාලා එන්නං!”
නිවන්නට තරම් දෙයක් නං තිබුණේ නැතත්,
ගිනි අඟුරු හෝ ඉතිරි කරලා ඒම හොඳ වැඩක් නොවෙයිනේ!
නිවා දමන්නට තරම් දෙයක් එතැන නොතිබ්බත්........ |
එතැනදී දමිළ බැතිමතුන්ගේ
චාරිත්‍රයක් ගැන නම් කියන්නම ඕනේ.
එයාලගෙ හුඟ දෙනෙකු, නවාතැන්ගෙන හිටි තැනින්
පිටත් වෙන්න කලින් ළිප නිවලා- අළුත් අරන් දමලා ඉවරවෙලා එතැන කපුරු පෙත්තකුත්
දල්වනවා. ඒ දර්ශනය දැක්කම නං මට මතක් වුණේ සිදුහත් ගෞතමයන් සම්මා සම්බුද්ධත්වයට
පත්වුණාට පස්සේ කරපු අනිමිස ලෝචන පූජාව!
ජයශංඛත්, තිලකුත්,
භානිත් එක්ක වැඩි දුරක් යන්න කලින්ම, පහුවෙලා ආව කට්ටිය අපිව ඇල්ලුවා. හැබැයි,
හාවගෙයි ඉබ්බගෙයි රේස් එකේදී වගේ අපිව පහු කරගෙන ගියේ නැහැ, අපිත් එක්කම ඉස්සරහට
ඇදුණා.
ටිකයි ගියේ...
බඩ-පපුව දාලා පිච්චිලා යන දසුනක් ඉස්සරහින්. කටුපිල ආරේ!
ඈතටත් පෙනෙන්න, බැබළි-බැබළී
තිබුණේ නැතැයි, සද්දන්ත දන්සලක්!
“තමුසෙට බැරි වුණානෙ මේ
චුට්ටත් ඉස්සරහට එන්න. ආවා නං ෂපාන් එකේ දන්සලෙන් කාලා, මෙතැනම වැටිලා නිඳාගන්න
තිබ්බනේ!” මට attack එකක්.
මං පන්දුව නිදැල්ලේ යන්න ඇරියා. චුට්ට දුරයි යන්න වුණේ.
දන්සල ඉස්සරහම පුංචි ළිපක් අටවාගෙන දමිළ පිරිසක් තේ උණු කරනවා.
ගිහාන්ලා නම් දවල් දෙකට විතර කටුපිල ආරේ දන්සලෙන් 'උදේ හීල' පිරිමහගෙන තිබුණා. (foto- ගිහාන් වික්‍රමසිංහ) |
“මෙතනටම ආවා නං තමුසෙට
කන්න තිබුණා දත්මිටි! තවම දන්සල පටන් අරන් නැහැ හලෝ. නැතිනං අර මිනිස්සු එළියේ
ළිපක වතුර උණු කරනවද?”
මගේ කටට පණ ආ ගමන්ම මිත්තරයා නිරුත්තර වුණේය.
මේ තෙවෙනි දවසේ උදෑසනය.
දන්සල විවෘත කරනවා ඇත්තේ අද දහවලට විය යුතුය.
අතරමඟ දන්සල් කිහිපයක් තිබෙන බව
කියවුණත් ඒ සේරම පටන් ගැනෙන්නේ දවස් හතරක්-පහක් ගියාට පස්සෙය. බොහොමයක්
වන්දනාකරුවන් නිවිහැනහිල්ලේ බුරුතු පිටින් මේ ඉසව් පසු කරන්නේ ඒ දවස්වලටය.
පාද යාත්‍රාවෙදී
‘අපායට යතත් ඉස්සෙල්ලා යන්නට ඕනේ’ කියන කියුම වලංගු නැත. එහෙම ගියාම ලැබෙන එකම
වාසිය නහය හකුළුවා නොගෙන යන්නට හැකිවීම විතරය.
එදා ඉර හැරුණාට පස්සේ;
දෙකට විතර කටුපිලආරට පැමිණි ගිහාන් වික්‍රමසිංහලාගේ නඩය නම් ඒ දන්සලෙන් එදා ‘උදේ
වේල’ පිරිමසා ගත්තාලු!
කොච්චර මහන්සි වුණත් වරහනටම..... ගමනේ යා! ඒ වැලි තලාවේම.......... |
නුගගස් ආර වැනි කඳවුරු බිම් කිහිපයත් පසු කරගෙන- මැරීගෙන වරහනටම....
ඒ එතැන මැණික් ගඟේ ඒ ඉසව්වේ වතුර වැඩි හින්දාය; වැලි තලාව පුළුල් හින්දාය.
අනේ! ආපු මෝඩකම!!
“ගඟේ කිඹුලෝ ඉන්නවා. මේ
වතාවේ ගඟේ නවතින්න දෙන්න එපා කියලා orders දීලයි තියෙන්නේ.”
ගඟට බැහැලා නවතින්නට
හැදූ කාටත් වුණේ කීකරු වෙන්නටය.
එතකොටම අපේ දොස්තර මහත්තයාව හොයාගෙන ආ පියනන්ද
මහත්තයාත් ඒ විත්තිය සනාථ කළේය.
පියනන්ද මහත්තයා ඇවිත්
තිබුණේ සුබ ආරංචියකුත් අරගෙනය.
“සර්ලා අද මෙහෙ නතර වෙනවද? නැති නං කටගමුවටම යනවද?
මෙතනට වාහනයක් ගෙන්නන්නද? මං සර්ලට කෑම ලැහැස්ති කරනවා එහෙ...”
කටගමුවේ රාජකාරි කරන පියනන්ද මහත්තයා..... |
“පිස්සුද පියනන්ද. මට
ඕනේ කොච්චිපතානේ ගණ දෙවි කෝවිලට යනකල්ම පයින් යන්න.” දොස්තර මහත්තයා කිව්වේය. “හෙට
උදේට අපි එහාට එන්නං....”
“අනේ සර්.... නොවැරදීම
එන්න. මං උයනවා!”
“අපි දොළොස් දෙනෙක්නේ
පියනන්ද....”
“ඉතින් මොකද සර්....
සර්ලා එන්නකෝ. මං එහෙනම් බලා ඉන්නවා.”
පියනන්ද මහත්තයා රාජකාරි කරන්නෙත් වන
ජීවියේය; කටගමුවේය.
පීරිස් දොස්තර මහත්තයාගෙන් ‘ඇස් පාදාගෙන’ තිබුණු නිසා පුදුම
භක්තියකිනි හිටියේ.
මේ පෝස්ටු මාලාවේ මුලට, මෙවර පාද යාත්‍රාවේ යෙදුණු අයගේ සංඛ්‍යා ලේඛන මට සපයා දුන්නෙත් පියනන්ද මහත්තයාය!
කොහොම වුණත් සිද්ද වුණේ
අත්දැකීම් වැඩිකමත් හරහට හිටිල්ලය.
කාන්තාරයක යද්දී ක්ෂේම
භූමියක් ඉලක්ක කරගෙන යනවා වගෙය අපත් ‘වරහන’ ඉලක්ක කරගත්තේ. පාද යාත්‍රා ගමන්වලට
කලිනුත් තුන්-හතර වතාවක්ම අපි වරහන කඳවුරු භූමියේ නැවතී ඇත්තෙමු. ඒ දවස්වල කිසිම
කිඹුලෙක් හිටියේ නැත.
ඩාහය නිවාගන්නට රෑ නවය-දහයටත් වතුරට බහින අපි වරු ගණන් වතුරේ
වැතිරීගෙන පට්ටන්දර දිගෑරියෙමු. පාද යාත්‍රාවේ ආ මුල් දෙවතාවෙත් එහෙමය!
ජීවිත කාලයටම අමතක නොවන පසුතැවිල්ලක් මට හිමිව තියෙන්නෙත්.................. |
ජීවිතේටම අමතක නොවෙන අත්දැකීමක්
හා පසුතැවිල්ලක් මට හිමිවෙලා තියෙන්නෙත් මේ වරහනේදීමය!
2013 පාද යාත්‍රාවේ යෙදී
අප වරහනට එනවිට එතැනට ඇවිත් හිටියේ පහළොවකටත් වඩා අඩු පිරිසකි. වැල්ලේ හොඳටම ඉඩකඩ
ඇති තැනකින් අපේ බෑග් තියා, අපි වතුරට දිව්වෙමු.
වතුරේ වැතිරීගෙන නෙවිල්
පම්පෝරි කියවන්නට විණි.
මට හරියටම මතක නැතත් මිනිහා කිව්වේ ‘වල්ලි අම්මාගේ දිය
රෙද්දක්’ ගැන කතාවකි. කතාව කියනවාත් සමඟම වහින්නට ගත්තේය.
වතුරේ හිටියේ අප විතරය.
චිත්‍රපටයකට කෘත්‍රිම වැස්සක් වස්සවනවා වගේ, මේ වැස්සත් ඇද හැලෙන්නේ අප ළඟට විතරය!
පෙනෙන තෙක් මානයේම හොඳට ඉර පායලාය.
වැහි වලාකුළ නැවතිලා තිබුණේ අපේ ඉහට උඩින්මය.
හතර අතටම ඉර එළිය වැටිලා තියෙද්දී ඒ වැහි වලාකුළ ගඟේ අප හිටි තැනට උඩින් නැවතී.... (foto-අයස්මන්ත පීරිස්) |
“පේනවා නේද? මං වගේ
උත්තමයෙක් ගඟට බැස්සට සන්තෝසෙන් දෙයියෝ ආසිරි වැස්සක් වස්සනවා!” නෙවිල් තවමත්
කට-පට්ට අදියි.
එතකොටත් අපේ බෑග් සේරම තෙමිලා බව ඒකාට මතක නැත!
වැස්ස වහින්නේ තරහට
වගෙය!
අපෙත් එක්ක කෝන්තර පිරිමහන්නට වගෙය.
මර්විනුත්, පීරිසුත් මොනවාදෝ කටු-කුටු
ගෑවෝය. වතුරෙන් උඩට යන ගමන් මර්වින් කතා කළේ මටය.
“නිමලෝ, අන්න අර පඩත්තලයට කියපං
උගේ පඩික්කම් කට වහගෙන ඉන්නය කියලා.... අපි කඩවර අප්පච්චිට පඬුරක් ගැට ගහන්නයි හදන්නේ...”
ඒ අතරේ අපේ ආසන්නයෙන්
යමින් හිටි දමිළ පිරිසක් දෑත් අහසට ඔසවමින්
‘හරෝහරා’ යැයි දිගටම ගැයුවෝය.
ඒ අපට සිදුවී තිබුණු
ඇබැද්දිය තේරුම් අරන්, අපේ පව් අරවන්නටද?
“හරෝහරා කියන්නේ අර+හර කියන එකෙන්
හැදිච්ච වචනයක් කියනවානෙ. අර කියන්නේ පවු. හර කියන්නේ නැතිවීම නැත්නම් කැපිලා යාම.
ඉතින් මේ අර+හර එකතුවෙලා අරෝහරා..... ඒක පස්සේ කාලෙක හරෝහරා වුණා කියලා කියනවා...”
අපි කඩවර අප්පච්චිට පඬුරක් ගැට ගහන්නයි යන්නේ! |
ඒ පැහැදිලි කිරීම තිබුණේ
2013 අගෝස්තු 18 වෙනිදා කේ. සංජීව ‘රාවය’ පත්තරයට ලියා තිබුණු ‘මෝරන ඇසළ සඳ යට බලාපොරොත්තු පොදි
බැඳන්’ ලිපියේය.
මර්වින්ලා පඬුරක් ගැට
ගැසුවෝය.
ඒවායේ සත්ත කොහොමදැයි මං දන්නේ නැත. එහෙත් එකක් නම් නිශ්චිතවම දැකගතිමි.
විනාඩියක්වත් යන්නට කලින් වැස්ස නැවතුණේය!
එච්චර කඩිනමෙන් දෙවියන් අපට සවන්
යොමනවාද?
ඒවා-මේවා මොක වුණත් ඒ
අත්දැකීම නම් විස්මය දනවන තරම් එකකි; මට!
ඉතින් එහෙම වෙන අතරේ
තවත් නඩ වරහනට ආවෝය; ගඟටත් බැස්සෝය.
ඩිල්හාන්ලාත් ගඟට බැස්සේ එතකොටය.
අපේ කට්ටිය දුටු වහාම එයාලාත් අපට කිට්ටුවෙන්ම තැනක් වෙන්කොට ගත්හ.
පාද යාත්‍රාවේ ආ තවත් දෙමළ නඩයක් මැණික් ගඟට බැස්සේ.......... |
තවත් දමිළ නඩයක් අපේ
ඉසව්ව දෙස බලමින් එනවා මට පෙනුණේත් එවිටමය.
“සුනිල්, ටක් ගාලා අපේ බෑග් ටික ඈතින්-ඈතින්
තියලා ලොකු ඉඩක් වෙන්කරගනිමු! අරගොල්ලොත් මෙතනට එන්න වගේ.” අප එහෙම කරද්දී දෙමළ
නඩය තවත් ටිකක් ඈතට ගියේය.
එතැන හිටි සිංහල නඩයේ අයත් මොනවාදෝ කියමින් මායිම්
පුළුල් කරගන්නවා පෙනිණි. මුහුණු ඇඹුල් කරගත් පිරිස වටපිට බලද්දී.......
අපේ අයස්මන්ත මහත්තයා මට
කනේ පාරක් ගැහුවේය. ගැහුවා නොවේ...
ගැහුවාට වඩා හොඳ වැඩක් කළේය.
“සාමී.... වාංග.”
ඒ කට්ටිය එන අතරේ අපේ මායිමට මා තියා තිබුණු බෑග් මෙහාට කළේය!
මගේ ආත්මාර්ථකාමීකම ගැන
ඒ වෙනවිටත් පසුතැවෙමින් හිටි මට දැනුණේ සහනයකි.
‘නාවලපිටිය
දිස්ත්‍රික් මහ රෝහලේදී...
2014.
02.14
දයාබර
නිමල් අයියේ.....
......
වරහන මැණික් ගඟේ වැලිතලාවේ, හින්දු චාරිත්‍රයක් වන පාද යාත්‍රාවේ ඇවිත් දෙමළ
ජාතිකයන්ට විවේක ගන්නට ඉඩ නොදීපු සිංහල නඩ (හැම නඩයක්ම නොවේ.) මටත් තවම මතක්
වෙනවා. එහෙම කළ ඔවුන් ගැන අවමානයක්, වෛරයක් මගේ හිතේ නෑ. අනෙක් මිනිහා ගැන තීරණය; විනිශ්චය
කරන්න හෝ තීන්දු ගන්න මට නෛතික බලයකුත් නෑ. ඇත්තටම බැලුවොත් සදාචාරාත්මක
අයිතියකුත් නෑ! ඒ සිදුවීම තුළින් අපි යම් අධ්‍යාපනයක් ලැබුවා නේද නිමල් අයියේ; මට
ඒ ගැන හරි සතුටුයි.
කෙටි කාලයකට වවුනියාවේ හා යාපනයේ සේවා කළ කාලයත් ......... |
-මගේ රාජ්‍ය
සේවයේ මුල ඉඳලාම, මගේ වාසනාවට සේවය කරන්න ලැබුණේ වියළි කලාපයේ. එයිනුත් රජරට, පොළොන්නරුව,
කන්තලේ, සේරු නුවර. කෙටි කාලයකට වවුනියාවේ හා යාපනයේ සේවා කළ කාලයත් ජීවිත විශ්ව
විද්‍යාලයයේ නේවාසිකව ..... හැදෑරූ අතිදුෂ්කර පාඨමාලා හා සමානයි.
-විශේෂයෙන්
සේරු නුවර/ සේරුවිල කලාපයේ සේවය කළේ
එල්ටීටීඊය අලිමංකඩ අත්පත් කරගත් කාලයේ. ආරක්ෂක මුරපොල හතරක් හෝ ඊට වැඩි
සංඛ්‍යාවක බස් රථයෙන් බහිමින්, පරීක්ෂණවලට ලක් වෙමින් යන-එන ගමනේදී ජීවිතයේ
අනිස්ථිර බව හදවතටම හඟිමින්.
කොයි වේලේ කොතැන ක්ලේමෝ බෝම්බයකට දිවි පුදාවිදැයි
නොදනිමින් ගත කළ කාලය වරහනදී මට මතක් වුණා, නිමල් අයියේ.’
මේ උපුටන්නෙත් එදා වරහනේදී මගේ
දුෂ්ටකමෙන් සසල වුණු අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහතා පොතට ලියා එවූ දිගු
ඌනපූරණයෙන් කොටසකි.
සේරම විස්තර නම් එදාට අදාළ නැති බව හැබෑය.
වඩා වැදගත් වෙන්නේ අපේ හැබෑම ජීවිත අත්දැකීම් නේද? |
ඒත් මොකෝ. නිදිගෙ පංච
තන්තරේ නොවැ, වැදගත් වෙන්නේ අපේ හැබෑම ජීවිත අත්දැකීම් නේද?
‘......
මුළු පළාතටම විදුලිය නැහැ. රෝහල් වැටට අල්ලපු වත්තෙ පොලීසිය. රේඩියෝ සංඥා හරහා ත්‍රිකුණාමලය
හා සම්බන්ධ විය හැකි දුරකතනයක් තිබුණෙත් එහි විතරයි. මුළු පැත්තටම. රාත්‍රිය පුරා
මෝටාර් පුපුරණ හඬ එක්කයි නිඳාගත්තේ.
-මුළු කාර්ය මණ්ඩලයත්, රෝගීනුත්, මාත් කෑවේ
රෝහල් කෑම. කිසි රහක් නැති ඒ කෑමත් මම තලු මරමින් කෑවා, බඩගින්නට.
දුරකතන,
රූපවාහිනී, රේඩියෝ නැති මට පාළුව මඟ ඇරගන්නත්, කල් මරන්නත්, ආයුධයක් හැටියට තිබුණේ
මගේ වෛද්‍ය විද්‍යා මහ පොත ‘Oxford Text Book of Medicine’ පමණයි. ඒ මම විවාහවූ
මුල් දවස්.....
-මගේ ගැබ්ගත් බිරිය කොළඹ. මම ත්‍රිකුණාමලේ. ඈත වනගත පෙදෙසක ජීවිතයටද
අස්වාමිකව..............
-අසල
මහින්දපුර ‘No fire Zone’ එකෙන් එහා නිල නොලත් එල්ටීටීඊ අඩවියේ සිට එන දෙමළ
රෝගීන්ගේත්, මෙහා පැත්තේ සිංහල රෝගීන්ගේත් ඇස්වල තිබුණේ බිය, සැකය, ද්වේෂය. මෙය
දකින්න මම හොඳටම පුහුණු වුණා, නිමල් අයියේ.’
එහෙම මනුස්සයාට එදා වරහනදී මගේ හිතේ තිබුණු නොමනාපයත් හොඳටම පෙනෙන්නට ඇති! |
එහෙම මනුස්සයාට මගේ හිතේ
තිබුණු නොමනාපයත් ඉස්තීරෙටම පෙනෙන්නට ඇති!
‘..... තද
ගිනි කූටකේ ගුරුනගර් සිට අම්මා-තාත්තා හදිසියේ මියගිය අවුරුදු හතර-පහ වයසැති ළමයි
උණෙන් පෙළෙද්දී, එයාලව තුරුල් කරගෙන කිලෝ මීටර් 11-12 දුර ජීවිතයේ අඩමානෙන් එන
අත්තම්මලා ඕපීඩී එක අරිනකම්, යන්තම් වැටෙන හෙවණ තීරුවක බිම වාඩිලා ඉන්නවා අයියේ,
ඔයාලා දැකලා තියෙනවාද?
-ඒ ඇවිත් පැරසිටිමෝල් පෙති කීපයක් ගෙන ආපසු පයින් ගුරුනගර්
යන්න හදන එයාලව වළක්වා, බොරු රෝගයක් හරි ලියා වාට්ටුවේ නවතා දවස් දෙකක් පමණ
කන්න-බොන්න දී විටමින් පෙති, යකඩ පෙති දී මන්ද පෝෂණය පොඩ්ඩක් හරි නිවැරැදි කරන එක
කළ යුතු වැඩක් මිස උත්තම ක්‍රියාවක් නෙවෙයි නේද?
-එහෙම නැත්නම් බුවා වෙන්න
හැදුවාවත්ද මම?.......
-2001
මාර්තු මාසයේ යම් දවසක අලුයම දෙකට පමණ.....
-මහින්දපුර,
එල්ටීටීඊ අත්පත් කරගත් භූමියට මෙහා ඇති අවසාන හමුදා කඳවුරට අත් ට්‍රැක්ටරයක් ආවා.
සෙබළු සීරුවෙන්. අත් ට්‍රැක්ටරයට රයිෆල් මෑනිලා. බියපත් දෙනෙත්, ට්‍රැක්ටරයේත්,
කඳවුරෙත්.... ට්‍රේලරයේ පිදුරු අතුරලා.
ට්‍රැක්ටර් ට්‍රේලරයේ දෙමළ යුවතියක් විළිරුදාවෙන්.... ඒ ආවේ වෙස්වලාගත් කොටි සෙබළියක් නං? වටේම හිටි හමුදා සොයුරන්ගේ රයිෆල් මෑනිලා ! |
-දෙමළ
යුවතියක් ප්‍රසව වේදනාවෙන් ඇකිලෙනවා.... කෙඳිරි ගාන්නත් බයේ..... ඇඳුම් ලේවලින්
තෙත් වෙලා. හමුදා සෙබළු වහ-වහා ඇයව රෝහලට එව්වා.
ඒ විදිහට ලේ නාගෙන ආවේ කොටි
සෙබළියක් නම්?
-එදා මගේ
එක දිගට හරි නින්දක් නැති අටවෙනි රාත්‍රිය.
අම්මා සූතිකාගාරයේ වැතිරිලා. මොකක්දෝ
නරක දෙයක් වෙන්න යන බව මට දැනෙනවා. සායනික ලකුණුත් හොඳ නැහැ.
-එහෙ
ගිලන් රථය රෝගීන් රැගෙන ත්‍රිකුණාමලයට ගොස්. සිංහකන්ද - වඳුරු පාලම අතර අවි-ආයුධ
ගැටුම් නිසා රෑම ආපහු එන්න විදිහක් නැහැ. කන්තලේ ගිලන් රියටත් එන්න බැහැ;
සිරිමංගලපුර රෑට පහු කිරීම සියදිවි හානි කරගැනීමක් නිසා.....
-මේ අම්මාව මෙහෙ
තියාගන්නත් බැහැ. පහසුකම් හා දැනුම මට නැහැ. මූලික පිළියෙළ කිරීමකින් පසු ඇයව ත්‍රිකුණාමලය
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉක්මනින් යවන්න ඕනි....’
ඒ විස්තරය දිග වුණත් පණ ගැහෙන එකක් හින්දා ................. |
දිග
වුණත් මේ විස්තරය අනුවේදනීය හා තවමත් පණ ගැහෙන එකක් හින්දාම, මට ඒක කප්පාදු කරන්න
හිතුණේ නැහැ.
මං ඒක කියෙව්වෙත් ගල් ගැහුණු ගමන්; කුතුහලයෙන් පණ යද්දී.
පීරිස්ගේ
ලියවිල්ල ගැන- ලියන ශෛලිය ගැන මට ඉරිසියාවයි.... මට එහෙම ලියන්න බැහැනේ. එහෙමත් වෙද්දී.....
මොනවා කරන්නද වස්තුවේ? ඉතිරි ටික කියන්න වෙන්නේ නම් ඊළඟ පෝස්ටුවෙන්මය.
නිමල් මහත්තයාගේ පංච තන්ත්‍රයේ උඩ කොටස blank වෙලා, ලිපිය ඊට හුඟාක් පහලින් වැටිලා තියෙන්නේ මොකක් හරි දෝෂයක් නිසාද ? පසු ගිය ලිපි දෙකතුන කියෙව්වෙත් අදයි. "කුතුහලය උපරිමයට ඇති කරලා කතාව ඊළඟ කොටසට කල් දැමීමේ කලාව" නම් ඉතාම හොඳට ප්‍රගුණ කරලා තියන බව පේනවා. කුතුහලය ඇති කරලා නැවැත්තුවත් එහෙම නැතුව නැවැත්තුවත් නොවැරදීම කියවන බවට නම් සහතික වෙනවා.
ReplyDeleteස්තුතියි සෑම්!
Deleteමේ දෝෂය මගේ කම්පියුටරයේත් තියෙනවා. කල්‍යාණ මිත්‍ර, රෝද දෙකේ රස්තියාදුවේ මද්දා වගේ තව කිහිප දෙනෙකුගේත් තියෙනවා.
හොයල බලනකොටයි අහුවුණේ, මේක google එකේ වැරද්දක් වගෙය කියලා. ඒක කියූ කෙනා මගේ කම්පියුටරයේම firefox එකේ බ්ලොගය හරියට පෙන්වන හැටිත් උදාහරණයකට දුන්නා.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා හිතවතාත් කිව්වේ සමහරවිට දින කිහිපයකින් මේක හරි යාවි කියලයි. ඒ නිසයි බලන් ඉන්නේ.
අටම්පහියේ ලක්මාල් ඇවිත් බලන්න ලැහැස්ති වුණාමත්, ඒකයි මම කිව්වේ ටිකක් බලමු කියලා. ඊටත් මේ දවස්වල හැමදාම වගේ හවසට වැහිනවනේ.කුණුත් කොටනවනේ. ලක්මාල් තෙමීගෙන ඇවිල්ලත් වැඩක් කරන්න බැරිවුනොත් කියලා...
සෑම්, මං නිතරෝම හිතන්නේ අනෙක් රසිකයොත් මම වගේ කියලයි. ඒ දවස්වල චිත්‍රකතා පත්තර කියවපු පුරුද්ද.... ඊළඟ සතියේ කොටස කියවන්නම බලා ඉන්නවා, මේ සතියේ අන්තිම කොටුව බැලුවට පස්සේ! නිතරෝම ඒක ඔළුවේ!
මොන මඟුලක්ද? මේක ටෙලි නාට්‍යයක් කියලා හිතුවද? දිග වැඩි උනාට කමක් නැහැග දානවකෝ
ReplyDeleteමරැ ආවේස වෙන්නේ නැත්ද මේ වැඩේට?
ඒක නං ඇත්ත හලෝ!
Deleteමේ උදාර, කාරණාවක් අහන්නද? ඔය විඳවිල්ලේත් ඇත්තටම සැපයක් නැද්ද?
හැබැයි, මහත්තයෝ. ගොඩක් තරහ ගත්තොත් ලේ පිච්චෙනවා!
දෙයියන්ටඒව මේව කියල තනියෙන් නාපු එකනං අගේ ඇති සිද්ධියක්.
ReplyDeleteතනියෙන් එකා විතරක් නෙවෙයි නෑවේ. අපි කට්ටියමනෙ ප්‍රසන්න.
Deletehttps://www.darksky.org/light-pollution/
ReplyDeleteආලෝක දූෂණයයි, ශබ්ද දූෂණයයි කියලා ඒවා තියෙනවද කියලවත් අපි හුඟ දෙනා දන්නේ නැති එක කොච්චර කරුමයක්ද Pra Jay මහත්තයෝ?
Deleteබ්ලොග් එකේ වරද නම් තාම හැදිල නෑ අයියා.
ReplyDeleteඅර පොත පලකරාද දැන් එතකොට?
ෆයර්ෆොක්ස් එකෙන් බලද්දී හරියට පෙනෙනවා. සමහර අයට google එකෙන් වුණත් අවුලක් නැහැල්ලු. මටත් හිතාගන්න බැරිවයි ඉන්නේ.
Deleteමධු.ඒ පොත දැන් යල් පැනලා. ඊට පස්සෙත් ගමන් දෙකක්ම ගියානේ. පොත ගැහෙන වැඩේ නැවතුණා අසනීපෙත් එක්ක ඕවා කරන්න බැරි නිසා.