අකුරු මැකී නෑ

Wednesday, October 9, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිවෙනි කොටස

අපේ නඩය ගෙදරට යන විටත් හතර වටේම කට්ටිය හතර අතින් දුවමින්...........
ඒ විලාපය; ඒ අඳෝනාව ගමම කැන්දන්නක් වුණේය.

අපේ නඩය ගෙදරට යනකොටත් හතර වටේම කට්ටිය හතර අතින් දුවගෙන එමින් හිටියෝය...... මං ගියේ කොර අනිමිනි. හැමදාම සිරීපාදේ ගිහින් එද්දී එහෙමය. දෙකකුලේම මස්පිඬු රිදුම් දෙන්නට පටන් ගෙනය.

කුලතුංග සර්ට ඒක තේරිලාද; මතක් වෙලාද මන්දා, අපේ වත්තට පල්ලම් බහිද්දී - උදව්වට වගේ මගේ අත තදින් අල්ලා ගත්තේය!

TV නොතිබුණු ඒ කාලයේ මිනිසුන් මෙවැනි අවස්ථාවක් කීයටවත් මඟ හැරගත්තේ නැත. ‘රියැලිටි show’. හැම දෙනාම අප දිහා; විශේෂයෙන්ම අපේ පවුලේ අය දිහාවට විමසිලිමත් බැලුම් හෙළුවේ, අප හංගාගත් රහසක් හොයා එළියට ඇදගන්නට මෙනි.

රියලිටි show තියා tvවත් නොතිබුණු ඒ කාලේ මිනිසුන්ට අපේ වැනි විපත්ති හෙණ ආතල්ය! 
‘අපෙන් මොනවා හොයාගන්නද යකුනෙ බලන්නේ? මොකෝ, අපි මැජික්ද?”

ඒත් ඒවා නොකියා, ඉවසාගෙන; කර බාගෙන ගෙට ගොඩවෙද්දී.... බස්නාහිරට හිස යොමාගෙන සැනසිල්ලේ නිඳන තම එකම දරුවාගේ- එකම පුතාගේ නිසල දේහය ළඟින්ම වාඩිවී හිටි දසනායක රත්නවතී හිස ඔසවා බැලුවාය! 

ආච්චිගේ ඒ හිස් බැල්මය අදටත් මට මැවී පෙනෙන්නේ. 

ගෙයි ඉස්සරහම කෑල්ලේ නිසංසලව, උඩුකුරුව සැතපී හිටි තාත්තාගේ දේහය මගේ මතකයේ තියෙන්නේ ඡායාවක් විදිහට විතරය! (එතකොටත් අපේ ගෙදරට තිබ්බේ කෑලි තුනකි. ඉස්තෝප්පුව, මැද කෑල්ල, කුස්සිය. හරියටම කියනවා නම් ගිනිපෙට්ටි තුනක් එකට ඈඳලා වගෙය.)

අපේ අම්මා ඉස්සරහට ආවේ චූටි නංගි දීපානිවත් වඩාගෙනය. අඬපු තරම කිව්වොත් අම්මාගේ..........
මැද කෑල්ලේ හිටි අපේ අම්මා චූටි නංගී දීපානිවත් වඩාගෙන ඉස්සරහට ආවාය. අම්මාගෙන් නම් කඳුළු පිටාර ගලමින් තිබිණි. 

අඬන වෙලාවට අම්මා පුරුදු විදිහටම කරන නහය හූරා දැමීම නිසා, අම්මාගේ  නහය ජම්බු ගෙඩියක් වගේ රතුවෙලාය. 

ආයෙමත් මගේ ඇස් තාත්තා දිහාවට.....

‘තාත්තේ! පොඩ්ඩක් ඇස් ඇරල බලන්නකෝ. අපි සිරීපාදේ ගිහින් ආවා. එතකොට ඔයා ගිහින්.... මේ... වැඩපොළේ ළමයි ඔයාට කතා කරන හැටිවත් බලන්න ඕනෙ නැද්ද? අනේ තාත්තේ.... අවුරුද්දෙන් පස්සේ අපි ඔයාව දාලා යන්න හිටියට ඊට කලින්.... එදා මං ඔයාව පැරැද්දුවට අද ඔයා මාව පරද්දලා තාත්තේ.’ 

පැය ගණනාවක් තිස්සේ හැංගී තිබුණු මගේ කඳුළු ගලන්නට පටන් ගත්තේ, මටම හොරෙන්ය; අනවසරයෙන්ය!

උනහපුලුවාට කඳුළු නොආවාට මට නම් කඳුළු ඉනුවේය; මදිය නොකියන්නටම!
අප දිහා කන්නට වගේ බලාගෙන උන් අයගෙන් මගේ කඳුළු හංගාගන්නට මං ජනේලයෙන් වත්ත දිහා බැලුවා මතකය. 

දෙයියනේ.... ඒ පැත්තට මොකද වෙලා තියෙන්නේ... මම අනෙක් පැත්තට හැරුණෙමි. 

ඒ පැත්ත? ඒකටත්.... මී හරක් දාහක-හමාරක මහ විශාල හරක් පට්ටියක් ගාල කඩාගෙන අපේ වත්තට කඩා වැදිල නේද? පමුණුව පැත්තේ එච්චර මී හරක් ගාලක් කොයි දීපංකරේද තිබුණේ?

අපේ බතික් මඩුව වටේ තිබුණු පොල් ගස්, කොස් ගස්, ගොඩපර ගහ, අඹ ගහ වගේ ලොකුම ගස්වලට විතරය හානියක් වෙලා නොතිබුණේ; 
කෙසෙල් ගසුත් බිමට පෙරළලා තළා දමලාය! 
පුංචි මිරිස් ගස්, දහස්පෙතියා පාත්ති, සීනියාස් මල් පාත්ති සේරමත් හිත්-පිත් නැති විදිහටම විනාශ කරලාය!

මිනිස්සු වත්තට ආවේ වැටවල් කඩාගෙන.... දුව-දුවා..........
“රංජි මල්ලීට කියන්න, මිනිස්සු ආවේ වැටවල් කඩාගෙන. කොහොම ආරංචි වෙලාද මන්දා.... මුළු වත්තම පිරෙන්න සෙනඟ පොදි කකා හිටියා.”

“බතික් මඩුව වටේටම මිනිස්සු.... කොරනල් එනකල්ම එකෙක්වත් ගියේ නැහැ...”

“මගේ අම්මේ, ගුණපාල අයියගේ මිනිය බිමට බානකල්ම කිය-කියා හිටපු සහගහන කතන්දර....!”

“නිමල්, තාත්තා සරම හොඳට තදට ඇඳලා ගැට ගහගෙන වගෙයි හිටියේ. තව සරමක් එක උරහිසකින් දාගෙන ඒකෙ අත පටලවාගෙන.... මැරෙන්නම හිතාගෙනයි.....”

තාත්තගෙ මිනිය බිමට බානකල්ම මිනිස්සු කියපු කතන්දර.........
කලින් අවුරුදු 10ක් විතරම, අපේ තාත්තා රෝහල්ගතව සිටියදී වාට්ටුවලට ගෙනෙන රෝගීන් ගොඩ දෙනෙකු දැක තිබිණි. සියදිවි නසා ගැනීමට තැත්කොට වැරැදුණු අයත්. 

“හම්මෝ, වහ බීපු මිනිස්සු විඳපු දුකක්. වහ බීලා ගෙනාවම, ඉස්පිරිතාලේදී වමනේ කරවනවනේ. එතකොට උගුර-කට සේරම ආයෙත් පිච්චෙනවාලු. 
මැරෙන්න යන මිනිහෙක් වහ බොන්න නම් හොඳ නැහැ බං..... ඒක මහ පණ යන වැඩක්....”

අපේ තාත්තා ඉස්පිරිතාලයේ සිට ආවාම කියා තිබිණි. 
එච්චරමත් නොවේ!

“රංජියො, ඕනෙම මිනිහෙකුට මැරෙන්න යන අන්තිම මොහොතේදී හරි ආයෙම ජීවිතේට ආසාවක් එනවලු. 
හිතේ වේගෙට මැරෙන්න ගියත්.... තව ටිකක් ජීවත් වෙන්න හිතෙනවලු.”

මැරෙන්නම හිතාගෙන කෝච්චියට පැනපු ගෑනු කෙනෙක්ව දැක්කා.........
ඒක හොඳ point එකක් නේද? සියදිවි නසා ගැනීම්වලින් ඉහළ තැනක ඉන්නා රටක, එහි අඳුරු පැත්ත වටහා දෙන්නට බණ කියන කවුරුන්වත් මේ සාධකය ප්‍රයෝජනයට නොගන්නේ ඇයි? 

රෝහල්ගත කෙරෙන එවන් අයගේ පුවත්; අවසන් මොහොතේ ජීවිතයට ඇල්මක් ඇතිවෙන හැටි ගැන කතා පුවත්, පණ පිටින් ඉන්නා උදවියට වටින්නේ නැතිද? 

මට එහෙම හිතුණාට, මැරෙන්න ගිය අය කතා කරන්නට; මරණාසන්න හැඟීම් ගැන හෙළි කරන්නට කැමති නැතිවා වෙන්නටත් ඉඩ තිබෙයි!

“සමහරු එහෙම නැහැයි කිව්වත්, මගේ ජීවිතේටම එක මනුස්සයයි ඇත්තටම මැරෙන්න හිතාගෙන කෝච්චියට පනිනවා දැක්කේ.” සිය පණ නසාගැනීම් ගැන කතා කරද්දී අපේ තාත්තා එයාගේ Fire Man රස්සාවේ අත්දැකීමකුත් අපට කිව්වේය. 

“.... ඒ ගෑනු කෙනෙක්. පුංචි කෝච්චියට පැන්නේ... පන්නිපිටිය හරියෙදී....”

රේල්වේ ඩ්‍රයිවර්ලා කියන විදිහට කෝච්චියට පනින හැමෝම වගේ........
“ඒ කියන්නේ තාත්තත් කැලණිවැලි line එකේ වැඩ කළා?”

“...... කෝ උඹලා කියන්න දෙනවය... මැද්දට පනිනවනේ. 
රේල්වේ driversලා කියන විදිහට නං ඕනෙම කෙනෙක් කෝච්චියට පනින්නේ හරි පීල්ලට බෙල්ල තියන්නේ හරි රේල් පාරෙන් පිට පැත්තේ ඉඳලා..... 
බාගෙට කළුවරේ... වංගුවක් ළඟ ඒ මනුස්සයා හිටියේ. 
මේ අම්මණ්ඩි රේල් පාර මැද්දට ඇවිත්, චීත්තෙත් ලෙහලා, ආයෙම තද කරලා ඇඳගෙන පීල්ලට බෙල්ල තිබ්බනේ... 
අපිට කෝච්චිය නවත්තගන්න තියා හිතන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ..... 
හැපිලා, ඇඹරිලා ගියා ....”

“ඉතින්...?”

“ඉතින් තව මොනාද බොලව්? .... කෝච්චිය පරක්කු වුණා!”

ඉතින්? තව මොනවද බොලව්, කෝච්චිය පරක්කු වුණා!
ඒ-මේ කතන්දර පසු කාලයක හරි මෙහෙම ලියවේවි කියලා හිතුවේ කවුද? 
හිතුවා නම් වැඩි විස්තර තාත්තා මැරෙන්නට කලින් අහගන්නට තිබිණි.

එකම එක වතාවක්..... ඔව්, එකම එක දවසක මටත් ‘ජීවත් වුණා ඇති!’ කියා හිතුණේය; මැරෙන්නට හිතුණේය.... 

ඒත්, එතකොටම හිතට ආවේ (තවත් කාලයක් ජීවත් වෙන්නට ඇල්මක් නොවේ.) ඒකෙන් පවුලේ අයට අත්විය හැකි අපවාදයයි. 
තාත්තා මියගිය විදිහෙන්.... පවුලක දෙතුන්-දෙනෙක් සියපණ නසාගත්තාම අනෙක් අයගෙත් පණ යයි; ලජ්ජාවෙන්.

මිනිසුන් හැටියට අප එහෙම අවිද්‍යාත්මක විශ්ලේෂණවලට හරි කැමැතිය.

අපි; පවුලේ සොයුරු-සොයුරියන් තිදෙනෙක්ම පිළිකාවට ගොදුරුවී හිඳිමු.......
අපේ සමන්ති නංගිත්, අනිල් මල්ලිත්, මාත් පිළිකා රෝගයට ගොදුරුවී හිඳින්නෙමු.

අනිලුත්, සමන්තිගේ සැමියා බිමලුත්, සුනිල් මල්ලිගේ පළමු බිරිය මල්ලිකාත් පිළිකාවෙන් එලොව ගිහිල්ලාත් අහවරය.

ඒ විස්තර දැනගන්නා හුඟ දෙනෙකු අහන්නේ ‘පරම්පරාවේ අයට?’ කියලාය. 

බිමල්, මල්ලිකා අපේ පවුලට සම්බන්ධ වෙන්නේ පස්සේ කාලයකය. ඊටත් දැන් පිළිකාව තියෙන අය කොච්චරක්ද? විස්තර ආයෙමත් නොකියන්නේ ‘වැරදි බෝනස් එක’ පෝස්ටුවලින් මං වහන්සේම, හිටු කියලා තොරතුරු කියා තියෙන හින්දාය.

“ගුණපාල අයිය ඇඳගෙන හිටිය සරමෙන් කොටසක් බිම දිගේ වැක්කෙරිලයි තිබ්බේ. මිනිස්සු හැමෝම දන්නෙ නැහැනෙ රංජි මල්ලී, තාත්තගෙ කකුල් දෙකම කපලයි කියලා. 
උන් තමයි කිව්වේ -පේනවද... මරලා එල්ලලා. 
මරලා ඉවර වෙලා තමයි එල්ලුවේ- කියලා... 
-කකුල් දෙක බිම ගෑවෙද්දී එල්ලිච්ච මිනිහෙක්ගේ හුස්ම හිර වෙනවද- 
කියලයි ලොකුවටම හා-හෝව ගියේ....”

තාත්තාගේ මරණයේ විස්තර සේරම මා දැනගත්තේ දවස් කිහිපයක් තිස්සේය...........
මේ සේරම මට වාර්තා කළ අය කිහිප දෙනෙකි. 

රංජිත් ගුණසේකර අයියා, සෝමවීර මල්ලිකාරච්චි, රංජිත් පී., නුගේගොඩ ඇන්ටි, අනුලා ඇන්ටි, සේ ටීචර් හා කුලතුංග සර්!

“නිමල්... හොඳ වෙලාවට ඔයාලා ගෙදර නොහිටියේ. සීයයි, සුනිලුයි, නෝනයි (අපේ ලොකු නංගි පුෂ්පාට ගෙදරට කිව්වේ නෝනා කියලාය.) කට්ටියම ගෙදර හිටියා නං සමහරවිට ඔයාලව කූඩුවට දාලා ඉන්නත් ඉඩ තිබ්බා... 
මරණ පරීක්ෂණයටත් කලින් කොහෙවත් නැති එවුන්නේ තීන්දුව දීගෙන හිටියේ!” 

කුලතුංග සර් කිව්වේය.

“ලොකු වාසියක් වුණා සේ ටීචර්ගෙයි, චුට්ටේගෙයි සාක්කි දෙකත්....”

“චුට්ටේ? 
ඒකා මොනවා කියන්නද... ඌට මොනවා තේරෙනවද?”

උදය, අපේ දීපාල් (මැදින්) හා තාත්තාට ලණු කැරැල්ල ගෙනැවිත් දුන් චුට්ටේ (දකුණේ). තාත්තාගේ මරණයෙන් අවුරුදු 6කට පසු, දීපාල්ලා එංගලන්තයට ගිය දවසේ..........
චුට්ටේ අපේ බඩා මල්ලා දීපාල්ගේ පලෝලේ කොල්ලෙකි. 
ඒ දවස්වල දීපාල්ගේ හොඳම යහළුවන් වුණේ උදයත්, චුට්ටේත්ය. 
තාත්තා වියෝ වෙද්දී දීපාල්ට අවුරුදු 6කි. එතකොට හිතාගන්නකෝ, චුට්ටේට වැඩිම වුණොත් අවුරුදු අටක්-නවයක් වෙන්නට ඇතිය.

අපේ තාත්තාගේ මරණ පරීක්ෂණයේ වැදගත්ම සාක්ෂිකාරයෙක් වුණු චුට්ටේලා හිටියේ වනාත වත්තේ පොඩි ගෙදරකය; කුලියටය. 

පස්සේ කාලයක හිටියේ (දැන් නාවින්නේ ආර්පිකෝ වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ විශාල කටවුට් කිහිපයක් ඉදිකර ඇති තැන තිබුණු) මාර ගස් යට පැල්පත්වලය. එයාලව එහාට යැවුණේ මුළු පවුලම එකට එකතුවී ‘කුඩු’ ගහන්නට ගත්තාමය! ඒකෙන් නන්නත්තාර වුණාමය!!

මහරගමට කුඩු ගෙන්වූවා යැයි ‘ගමේ මිනිසුන් රහසෙන් කෙඳිරූ උදවිය’ නම් දැන් කෝටිපති උපාසක ව්‍යාපාරිකයන්ය. 

ඉස්සෙල්ලාම කුඩු ගහන්නට පුරුදු වුණු සමහර මගේ මිතුරනුත්
චුට්ටේලාත් තමා අපායට වැටුණේ!

මහරගමට කුඩු ගෙන්වූවා යයි කියවුණු මහෝපාසකයන් දැන්............
“ගුණපාල මාමා මගෙන් ඇහුවා අවුරුද්දට උන්චිල්ලාවක් බැඳගත්තද කියලා....
මං නැහැයි කිව්වා.... 
එතකොට මට රුපියල් දෙකක් දීලා කිව්වා, ලණු කැරැල්ලක් ගෙනෙන්..... 
උන්චිල්ලාවක් බැඳලා දෙන්න කියල....”

“එතකොට ඔය ළමයා ලණු කැරැල්ලක් ගෙනත් දුන්නා....”

“කොහෙද උන්චිල්ලාව බඳිනවය කිව්වේ?”

අපේ තාත්තා චුට්ටේට ඔංචිල්ලාවක් බැඳ දෙන තැන විදිහට පෙන්වා තිබුණේ බතික් මඩුවේ හරස් බාල්කයකි. (ඒවා ළමා නිවාස වත්තෙන්ම කපාගත් වල්සපු ගස්ය.) 
එයින් එකක් හරියටම මෝස්‌තර පිටපත් කරන ලොකු මේසයට ඉහළින් තිබිණි. 
තාත්තාව ඒ මේසය උඩින් තැබුවාම, තාත්තාට ඒ බාල්කය අල්ලන්නට පුළුවන් තරමට, මඩුවේ වහලය පහතය.

හැබැයි, මිනිහා එදා වෙනදාටත් වැඩියෙන් සිගරැට් බිව්වා!
ඒ සේරමලාටත් වැඩියෙන් තැවුණේ සේ ටීචර්ය. 

“කවුද බං දන්නේ මේ යකා මෙහෙම නස්පැත්තියක් කරගන්න ඉන්නවයි කියලා. ගුරුවරියෙක් වෙලත් මට මේකගෙ කතාවෙ හංගලා තිබ්බ දේවල් තේරුනෙ නැති හැටි.....”

“ඒ කිව්වේ ටීචර්?”

“උඹට මතකයිනේ කොල්ලෝ..... එදා ....15 වෙනිදා හවස මං ඇවිත් ගුණේත් එක්ක කතා කර-කර හිටියා. 
මිනිහා වෙනදාටත් වැඩිය සතුටෙන් කතා කර-කර හිටියේ. 
හැබැයි, වෙනදාටත් වැඩියෙන් සිගරැට් බිව්වා.... ඒ අස්සේ කිව්වනේ -ඔන්න සේ ටීචර්ව බලන මම ඔයාලගේ ගෙදරටම එනවා 17 වෙනිදා- කියලා. 
මං ඉතින් කොලොප්පම් කළා -කකුල් දෙකම නැති තමුසෙ පුකෙන්ද එන්නේ- කියලත්.... එතකොට තමයි මිනිහගෙන් ඉඟියක් කියැවුණේ.... 

හොඳයි, මං ටීචර්ලගේ ගෙදරට ආවේ නැතිනං ටීචර් එන්නකෝ මාව බලන්න..........
-එතකොට ගුණපාල කිව්වා -හොඳයි, දාහත්වෙනිදා උදේට මං ටීචර්ලා ගෙදරට ආවේ නැත්තං ටීචර් එන්නකෝ මෙහෙට- කියලා. 
මේ පරයා හිතාගෙන ඉඳලා තියෙන්නෙම පාන්දර වෙද්දී මේ නස්පැත්තිය කරගන්නනෙ... මිනිහ කිව්වා වගේම මට මෙහෙට එන්න වුණානෙ....
අනේ, ඔහොම බවක් තේරුම් ගියානං ළමයෝ.......”

ඒ තරම් ප්‍රබල සාක්ෂි තිබියදී වුණත් ගැටලුව වෙලා තිබුණේ තාත්තා ගෙල වැලලාගත් ක්‍රමය වටහාගැනීමය!

ඉස්සර ‘දවස’ නිවසෙන් පත්තර ගොන්නක්ම පළ විණි. 
එයින් එකක්, ‘රිවිරැස’ පත්තරයේ තිබුණු පුංචි දැන්වීමක් මගේ ජීවිතයේ 
හැරවුම් ලක්ෂ්‍යයක් වුණේය. 

‘ඉරණම’ පත්තරයේ තිබුණු දැන්වීමකට ප්‍රතිචාරයක් යැව්වත්, ඒක බාගෙට ක්‍රියාත්මක වුණත් අකාලයේම නැවතුණේය.

අගද තන්ත්‍රය උගන්වනවා කියලාය දැන්වීමේ තිබ්බේ ............
‘සර්ප විෂ වෙදකම. අගද තන්ත්‍රය ඉගැන්වීමේ පාඨමාලාවක්- නොමිලේ!’

‘සර්ප වෛද්‍ය ශාස්ත්‍ර පාඨමාලාව’ පැවැත්වෙනවා කියා තිබුණේ මරදානේ පන්සලකය. එල්ෆින්ස්ටන් සිනමා ශාලාව පහු කරගෙන යද්දී, මාලිගාවත්ත පැත්තට හැරෙන පාරට චුට්ටක් ඉස්සරහින් දකුණු පැත්තටම තියෙන පොඩි පාරක පන්සලක්.... ඒකෙ බණ මඩුවේය.

‘සිරා’ සම්මුඛ පරීක්ෂණයකින් පස්සේ, ඇවිත් හිටි හැම දෙනාවම; (15-20ක් විතර) ගෝලයන් විදිහට තෝරා ගැනුණේය. 

“ආයුර්වේදය කියන්නේ ආයුෂ වර්ධනය කරන උතුම් සාස්තරයක්...” 
ජාතික ඇඳුමක් ඇඳගෙන හිටි වයෝවෘද්ධ ගුරුතුමා කිව්වේය. 

“මේකේ කොටස් අටක් තියෙනවා.... තන්ත්‍ර අටක්.... කාය චිකිත්සා, ශල්‍ය චිකිත්සා, ශාලක්‍ය චිකිත්සා, කෞමාරභෘත්‍ය, අගද, භූත, රසායන, වාජීකරණ කියලා. 

-මං උගන්වන්න යන්නේ අගද තන්ත්‍රය. විෂ චිකිත්සාව!”

ඒ පාඩම මට ගලක කෙටූ සටහනක් සේ මතකය!
සතියකට එකක් ගණනේ දවස් තුන හතරක්ම පංතිය පැවැත්විණි. 
මොකක්දෝ අවාසනාවකට හැම වාරයක් පාසාම ගෝලයන් සංඛ්‍යාව පහත වැටීගෙන-වැටීගෙන ගියේය. 
අන්තිමටම නවතින ගෝලයා වෙන්නට මම අකැමැති වීමි. 
හැබැයි, ඒ දෙතුන් දවසේදී ඉගෙනගත් දෙයක් මට අදටත් මතකය.

“සර්ප දෂ්ටයකදී පුරුෂයෙක් මිය යනවා නම්, අන්තිම මොහොතේ එයාගෙන් ශුක්‍ර බිංදු කිහිපයක් නික්මෙනවා.... 
එහෙම වෙන්නේ ශරීරයේ ඉන්ද්‍රිය ගොඩක් පාලනයෙන් තොර වෙන නිසා..... 
එල්ලිලා මැරුණු කෙනෙකුගෙනුත් මේ ලකුණ හොයාගන්න පුළුවන්.....”

ඒ පාඩම මට ‘ගලක කෙටූ සටහනක්’ වුණේය. 

තාත්තාගේ පශ්චාද් මරණ පරීක්ෂකවරයා ‘මරණය සිය දිවි නසා ගැනීමක්’ ලෙස තීන්දු කරන්නට, ඒ කාරණයත් උපයෝගී කරගත්තාද?

තාත්තාගේ මරණය තරමක ලජ්ජාවක් ගෙන දුන්නේ..........
“සාක්කි ඕනේ තරම් තිබුණනේ රංජි මල්ලී.... 
මෙහෙම නොවුණත් තව මාස කීපෙකට වැඩියෙන් තාත්ත ඉන්න එකක් නැති ලකුණුත් තිබුණා කියලයි කොරනල් රාලහාමි කිව්වේ...”

තාත්තාගේ මරණය නිසා සෝමවීරට තරමක ලජ්ජාවට කාරණයකුත් සිදුවිණි. 

සෝමවීර ‘සියල්ල දත්’, ‘සේරම පුළුවන්’, 
‘ඕකත් වැඩක්ද - අයියෝ simple’ වංශයේ එක්කෙනෙකි. 
තාත්තාගේ මරණය සැලවී පැමිණි පිරිස අතර හිටි හැම දෙනාම සාකච්ඡා කොට තිබුණ ලොකුම ප්‍රශ්නය ‘අපට ආරංචිය යැවීම’ය.

“අයියෝ simple, මං යන්නම්. 
මං මලුවටම හරි ගිහින් නිමල්ලව එක්කගෙන එන්නම් පරක්කු නොකර...”

මචං, එතැනදී තමයි මට හිතුණේ උඹලා මොන පාරෙන් ආපහු බහියිද කියලා.......
එහෙම කියූ මිනිහා ගිහින් තිබුණේ හැරමිටිපානට විතරය. 

“මචං, එතැනදී තමයි මට හිතුණේ උඹලා කුරුවිට පාරෙන්ම ආපහු බහියිද- නැතිනං රත්නපුර පාරෙන් බහියිද කියලා. කොහෙන් බැස්සත් උඹලා එතනට එන්න ඕනැනේ. එතැන පොලීසියේ duty හිටපු අයට මං පණිවිඩේ කිව්වා. 
උන් පොරොන්දු වුණත් එක්ක, උඹලව ඉක්මනටම ආපහු එවන්නං කියලා. කොහෙද, කිව්වට ඒ පරයෝ වැඩේ හරියට කරලා නැහැනේ.”

සෝමවීර නිදහසට කරුණු කිව්වත් වැඩක් වුණේ නැතිය!

“ඕකගෙ බොරු රංජි මල්ලී.... ඌ හැරමිටිපානට ගියානං කොහොමද ඌට ඔයාලව මඟ ඇරුණේ. ඌත් රත්නපුර පාරෙන්නෙ ගිහින් ආවා කිව්වේ...” 

තාත්තාගේ භූමදානයටත් පස්සේ දවසක  මිතුරෙකු එහෙම කිව්වත්, ඒවා හගිස්සන්නට මට හිතුණේ නැත. 

ඒවා හෙව්වා කියලා මොකක්ද ඇති පලේ? හිත පලුදු වෙනවා මිස.

හරි-හමං පින්තූරයක් ඇඳගන්නට හැකි වුණේ .............
කොහොම වුණත් සේරම විස්තර එක්කාසු කරගෙන, හරි-හමං පින්තූරයක් ඇඳගන්නට පුළුවන් වුණේ ගොඩ දවසක් ගියාමය.

1976 අප්‍රේල් දහසයවෙනිදා රාත්‍රියේ ඩී.එච්. ගුණපාල අරක්කු බාගයක් පමණ පානය කළේය. ඉන්පසු බතික් මඩුවේ හරස් බාල්කයේ ලණු කැරැල්ල ගැට ගසා මල පුඩුව සාදාගත්තේය.
සරම නොගැලවෙනසේ ගැටගසා ඇඳගත්තේය. 
තවත් සරමක් ඒකාංශ කර දකුණු උරහිසෙන් දමා ගත්තේය. 
වම් අත සිරුරටම තද වෙනසේ, අවශ්‍ය වුණත් ඉක්මනින් එසවිය නොහැකි වෙනසේ- සරම අඹරවා පටලවා ගත්තේය.     

ඉන්පසු...

තොණ්ඩුව බෙල්ලට දමාගෙන මේසයේ කෙළවරටම - හැකිතාක් කෙළවරටම වුණේය. 

මේසය අද්දරම තබා තිබුණු පුටුවේ ඇන්දට සිරුරේ සියලු බර පැටෙව්වේය.... සිරුර මඳක් පද්දවා පැන්නේය.

පුටුව පෙරළී වැටෙන සද්දයවත්, උගුරු ඇටය බිඳෙන සද්දයවත් ...............
පුටුව පෙරළී බිමට වැටෙන හඬ හෝ උගුරු ඇටය බිඳෙන හඬ හෝ තද නින්දේ පසුවුණු (ගුණපාලගේ මව) දසනායක රත්නවතීටවත්, (ගුණපාලගේ බිරිය) රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතීටවත්, ගුණපාලගේ කුඩා දූ-පුතුන්ටවත් ඇසී තිබුණේ නැත.

අප්‍රේල් 18 වෙනිදා හවස තුන-හතරට විතර අප එනවිට තාත්තාගේ දේහය සකසා, පෙට්ටියක් බහා ගෙදරට ගෙනල්ලාත් ඉවරය. 
සුදු කොඩි ඔසවලාත් ඉවරය. ඒ සේරම ඉටු කර තිබුණේ හිත-මිතුරන්ය.

“ඔයාලා එනකං හිටියේ අවසාන කටයුතු කරන දවස තීරණය කරගන්න.”

මගේ තීරණය මොකක් වුණාදැයි මට මතක නැත. 
හැබැයි එවෙලෙම තීන්දුව ගැනිණි. 
මට ඕනෑවී තිබුණේ හැකිතාක් ඉක්මනින්; 
හැකිතාක් ඉක්මනින් දිගම දිග නින්දක් නිඳාගන්නටය.

හැකිතාක් ඉක්මනින් දිගම-දිග සැනසිලිදායක නින්දක්.............
දුක- සැප දෙකේදීම මට එකම විදිහට නින්ද යයි. නමත් ‘නිදි’ය. ලග්නයත් ‘කුම්භ’ය. (කුම්භ ලග්නකාරයන් කුම්භකරණයා වගෙයිලු. 
ඒ යක්ෂයාත් මාස හයක්ද කොහෙද, එක දිගට නිඳාගන්නවලු!) 

එදා ප්‍රශ්නය වුණේ අපේ ගෙදර හරි-හමං ඉඩක් හොයා ගන්නට නොතිබීමය.

ඉතින්, පැදුරත් අරගෙන ඇවිත්, මිනී පෙට්ටිය යටින්ම එළාගත් නිමල් දිසානායක සැප නින්දක් නිඳා ගත්තේය!

එහාට-මෙහාට ගියේ, අනෙක් අයත් එක්ක දුවමින්-පනිමින් සේරම දේවල් කළේ ඒ පුතයා නොවේ. 
ඌ නිඳා ගත්තේය. 
දෙවෙනියා; සුනිල් ගෝඨාභය දිසානායකය සේරම බර අදින්නට කර ගැහුවේ!

ගංගා!

මේ මළගෙදරට සම්බන්ධ වෙන ගංගා ගීතයක් නොවේ!
‘එම්බා ගංගා, නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ.....’ අහලා ඇතිනේ.

දැන් මෙතැනට මේ මළගෙදරට සම්බන්ධ වෙන්නේ; ‘නිදිගෙ තවත් වික්‍රමයකට’ උදව් වෙන්නේ ඒ ගීතය නොවේ. වෙනින් ‘ගංගා’ කෙනෙකි.


8 comments:

  1. https://metanoia.org/suicide/
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3612319/
    https://www.medicinenet.com/script/main/art.asp?articlekey=51776

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,

      පළමු ලින්ක් එකේ තියෙන ලිපිය පරිවර්තනය කරලා ප්‍රසිද්ධ කරන්නකෝ, fb එකේ හරි. ඒක ඒ තරම්ම වටිනවා!!

      Delete
  2. කකුල් දෙක නෑ කියල නොදන්න කෙනෙක් එල්ලිල මැරිච්ච මිනිහෙක්ගෙ සරම බිම ගෑවෙනව දැක්කම සැකයක් ඇතිකරගන්නව තමයි.හැබැයි ඉතිං මරණ පරීක්ෂකට බොරු කරන්න බෑනෙ.

    අන්තිමේ 'නිදි' නිදියගන්න තෝරගෙන තියෙන්නෙත් නියම තැනක්නෙ.

    ReplyDelete
    Replies
    1. මරණ පරීක්ෂණයෙන් ඇත්ත කියවුණත් ප්‍රසන්න, මිනිස්සු කැමති කතන්දර දිගටම කියන්නනේ.

      ගෙදර ඉඩක් නැති වුනාම මොකද කරන්නේ, නිදිමතත් වැඩිම නං? බාධාවකුත් නැහැනේ!

      Delete
  3. Replies
    1. ස්තුතියි අසංග. ලින්ක් එකට ගියා. කියෙව්වා. අගෙයි!

      Delete