අකුරු මැකී නෑ

Tuesday, October 22, 2019

කොටවන කතන්දරේ!

ඇහැලේපොළ කුමාරිහාමි නුවර වැවටත්, රට ඉංග්‍රීසීන්ටත් .........
දරු පැටවුන් හතර දෙනෙකුගේ මවකවූ ඇහැලේපොළ කුමාරිහාමිගේ මනබඳින රූ සපුවට වසඟවී හිටි රජ්ජුරුවන් කල්-බලමින් හිටියේ ඇයගේ පහස විඳින්නටය. කුමාරිහාමි ඊට අකැමැති වුණු බැවින් රජතුමා සිටියේ ඇය සමඟ වෛරයෙනි. 

ඒ බව දැනගත් මොල්ලිගොඩ අධිකාරම බොර දියේ මාළු බාන්නට පිඹුරුපත් හැදුවේය!

මොල්ලිගොඩ අධිකාරම, ඇහැලේපොල නිලමේ එක්ක තිබුණු කෝන්තරය නිසා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ට කේලාම් කියා මහා විනාශයකට මුල පිරුවේය.

ඒ ඛේදවාචකය කෙළවර වුණේ 1814 අවුරුද්දේ මැයි 16 හෝ 17 වෙනිදා ඇහැලේපොල නිලමේගේ පුතුන් දංගෙඩියටත්, සිඟිති දියණිය වංගෙඩියටත්, කුමාරිහාමි නුවර වැවටත්, ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ටත් බිලි වීමෙනි. ඉතිහාසයේ සඳහන් අපකීර්තිමත්ම ඝාතන මාලාවක් හින්දා අපේ රාජවංශයත් ඉවරෙටම ඉවර වුණේය.

මිගාරගේ කෙටවීම් නිසා ධාතුසේන කාශ්‍යප පිය-පුතුන්.... (foto- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
ඊට කලිනුත් කෙටවීම් හින්දා රජවරුන්ට කෙළවෙලා තිබෙයි.

මිගාර සෙනෙවියාගේ කෙටවීම් හින්දා ධාතුසේන, කාශ්‍යප පියපුත් රජවරු දෙන්නාටම විනේ කෙටුණේය. 
ධාතුසේන රජතුමා කලාවැවේ බැම්මේත්, කාශ්‍යප රජතුමා සීගිරි ආලකමන්දාවෙන් බැහැර යුද පිටියකදීත් අවසන් ගමන් ගියේ ඒ කෙටවීම් නිසාවෙනි.

ථෙරවාද - මහායාන කණ්ඩායම් දෙකේ භේදය උත්සන්න සමයක මහසෙන් රජතුමාව මුලා කරවා, අනුරාධපුරයේ මහා විහාරය බිමටම සමතලා කෙරෙව්වෙත් මෙහෙම කොටවන්නන්මය.

ජේතවනාරාමය බිමටම සමතලා කරවා උඳු වපුරවා.......
එහෙම දේවල් රහස් නොවේ. ඉතිහාසය යාන්තම් දන්නා අයටත් මතක හිටින දේවල්ය. 

එහෙම වෙද්දීත් අපි තවමත් එකිනෙකා කොටවන්නෙමු; අනෙකා නසන්නට යටි උගුල් අදින්නෙමු; උඩින් මිතුරුවී යටින් හතුරු වෙන්නෙමු! හැබැයි, අපි සිංහ වංශයේය. අවුරුදු 2500කටත් වඩා පැරණි ප්‍රෞඪ ඉතිහාසයක් ගැන උදම් අනන්නෝය!

කොටවන එක අපේ ‘උත්තම සිංහල වංශය’ට ආවේණික පුරුද්දක්ද?

එහෙම වෙන්නට ඇති. දිසානායකලා වුණත් අපටත්, ඒ ගතිය ජානවලින්ම උරුම වෙලා තියෙනවා වෙන්නට හැකිය. 
මටත් ලජ්ජා හිතෙනවා වුණත් මේක නොකියා බැරිය. 

නායකයෝ කොහොමත් කොටවන්නට දක්ෂයෝය!

ඒ කාලයේ මේ කොටවන පුරුද්ද..............
ඒ කාලයේ මේ කොටවන පුරුද්ද ‘අපරාධයක් හෝ පාපයක් හෝ වැරැද්දක් හෝ’ කියලා අපට; අපේ දිසානායකලාට හිතුණේ නැත. 
දැන් ඉන්නා ගොඩක් දේශපාලුවන්ට වගේමය! වෙනසක් නැත.

මේ දවස්වල ඉන්නා ගොඩාක් ගොබිලන්ට පහුගිය කාලයේ කළ-කී දේ අමතකය. හරියට මැරිලා උපන්නා වගෙය. 

ඊයේ අම්බානකට විවේචනය කළ එකා; පතුරු ඇරපු එකා අද සුදනෙකි. අඹ මලෙන් උපන් පත්තිනි දේව මෑණියන්ටත් වඩා පිවිතුරුය! උනුත් එක්කම එකම අත්තක වහන්නට කිසිම හිරිකිතයක් නැත.

දේශපාලන රැස්වීම්වල වේදිකාවල කියවෙන දේවල් ටිකාක් විමසිල්ලෙන් අහන් ඉන්න. (සමහරු මුඛයෙන් විතරක් නොව අධෝමුඛයෙනුත් දෙසන එක ගණන් නොගන්න.)

මේ දවස්වල ජනාධිපතිවරණ රැස්වීම් වේදිකාවල කියවෙන දේවල්............ 
එකම වේදිකාවේ ඉඳගෙන තමන්ගේ නම විතරක් නොකියා, තමන්ව පතුරු ගහද්දී මේ මෝඩයෝ අත්පොලසනුත් දෙති. 
ඒ තරමටම මුන්ගේ මොළයේ ‘cow dung’ය. 
ඉස්සර කාලයේ වගේ ගෙවල්වල බිමට ගොම මැටි ගාන්නේ නැති හින්දා ඒවා එහෙමම එකතු වෙවී තියෙනවා වෙන්නටත් ඉඩ තිබෙයි!

තව ඉදිරියට තව-තව හොඳ දේවල් බලාගන්නට ‘ඉල්ලංකාවේ ඉල්ලන් කන අපට’ හැකිවෙනවා නිසැකය.

අප නං ඔය කොටවන දේවල් කළේ හය-හතර නොතේරෙන වයසේදීය; සරුංගල් අරින වයසේදීය; දිවිය ලෝකය අහසට උඩිනුත්, අපායවල් පොළොවට යටිනුත් තියෙනවාය කියල හිතාගෙන හිටි කාලයේය.

(හය-හතර කිව්වේ සදිව්‍ය ලෝකය හා අපාය හතර බව කලින් කියුවෙමි.) 

අපි විශාල මැටි ගොඩක් අනා චෛත්‍යයක් තැනුවෙමු. ටින් කබල්වලින් බෙර-දවුල් හදාගෙන............
පින්-පව් කොහොම වෙතත් අපට ඕනෑ කළේ යමක් කරන්නටය. 
එතකොට අපට රේඩියෝ නැත; tv ලංකාවට ඇවිදින් තිබුණෙත් නැත. 
සෙල්ලම් බඩුවලට තිබුණේ පරණ ටයර්, බයිසිකල් රිම්, බට තුවක්කු, කැටපෝල් වගේ දේවල්ය. 

දවසක් අප හැමෝම එකතුවී විසාල මැටි ගොඩක් අනලා චෛත්‍යයක් හැදූ හැටි මට තවමත් මතකය.

“කෝ ලොකයියේ මේකට නමක්?”

“හරිනේ... නමක් ඕනේ නේන්නං. 
නම දාමු අපි හතර දෙනාගේම නම්වල අකුරුවලින්. නිමල්, සුනිල්, නෝනා, අනිල්..... නි-සු-නෝ-අ.... අපි පන්සලට දාමු ‘නිඅසුනෝරාමය’ කියලා.” 

නම දැම්මත් හිතට මදිය. ටින් කබල්වලින් බෙර-දවුලුත් හදාගෙන ඇට්ටෝනියා මල්වලින් මල් වට්ටිත් හදාගෙන අපි පෙරහරකින් චෛත්‍ය වන්දනාවට ගියෙමු! 

උඹලා වැලි අතගාලා, මඩ නාලා හොරි හදාගත්තාම මං නේද යකෝ ඉස්පිරිතාල ගණනේ .............
ඒ මහා පිංකම කරන අල්ල-පනල්ලේ අපේ අම්මා එතැනට කඩා වැදුණාය. 

“යසයි... උඹලා මඩ නාලා, වැලි අතගාලා හොරි හදාගත්තාම මම නේද යකෝ ඉස්පිරිතාල ගානේ උස්සාගෙන යන්න ඕනේ? වැඩ නැතිවට වද දෙන හැටි.... වද දෙන්නම ආපු මළ යක්කු....”

අපේ අම්මාගේ කේන්තියට අහුවුණු 'නිඅසුනෝරාමය' බිමටම සමතලා වුණේ, මහසෙන් රජ්ජුරුවන් ජේතවනාරාම චෛත්‍යය බිමට සමතලා කෙරෙව්වා වගෙය.  

දහ-දොළහ වයසේදීම ‘මීන සංහාරය’ වගේ වික්‍රමයන් කළ එකේ මේවා මොනවාද කියලාත් මටම වෙලාවකට හිතෙනවාය. 

එතකොට සුන්නාත්, ලොකු නංගී පුෂ්පාත් හොඳටෝම පුංචිය. හැබැයි ලේවල ගතියක් නිසාද මන්දා අප කාටත් ඇට්ටරකම නං මදිය නොකියන්නම තිබුණේය. වැඩියත්ම සුනිල්..... 

තාත්තාගේ ෆුට් සයිකලයේ පොල්ලට යටින් කකුල දමාගෙන..............
අපේ සුනිලා පොඩි කාලේ ඉඳලාම; බයිසිකලයට උසවත් නැති කාලයේ ඉඳලාම තාත්තාගේ ෆුට් සයිකලයේ පොල්ලට යටින් කකුල දමාගෙන ඒක පැද්දේය. 
කැටපොලයක් හදාගෙන කුරුල්ලන්ට විද්දේය; ගස්වලට පොලු ගැහුවේය. 

දවසක් සුනිල්ගේ කැටපෝලයේ ඉලක්කය වුණේ පුංචි කුරුල්ලෙකි. ගල් කැටය වැදී තුවාල වුණේ කුරුල්ලාගේ ඇසකි.

“අනේ ලොකා... ඌ විකාරෙන් වගේ ගහේ අතු අස්සේ පැටලී-පැටලී එහාට-මෙහාට පනිනවා දැක්කම මට කැටපෝල් එක එපාම වෙලා ගියා!” එහෙම කියූ සුන්නා ඊට පස්සේ කැටපෝලයෙන් සතුන්ට විද්දෙම නැත.

මට වැඩියෙන් අවුරුදු හතක් විතරක් බාල වුණත් අපේ අනිල් මල්ලීත් අපේ කල්ලියේම උන්නේය. 

එතකොට අප කා-කොටා ගන්නවා වගේම, හරිම සමඟිය. කොයි ගෙදරත් එහෙම නොවැ? පොඩි එවුන්ගේ හැටි එහෙමය. වැඩියත්ම, සහෝදර-සහෝදරියන් වුණාම. මට මතක හැටියට නං මේ අන්නාට ආනමාලු ඇවරියක්ම  කැව්ව සන්දියයි; 

එදා අපේ පාසල ඇරිලා ගෙදර එද්දී මහා ජන ගංගාවක් .............
පමුණුව පාරේ ද්විත්ව මිනීමැරුමක් නිසා මහරගමම කැළඹුණු සමයයි.

එදා අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලය ඇරිලා ගෙදර එද්දී මහා ජන ගංගාවක් පමුණුව පාර දිගේ ඇදෙමින් තිබුණේය. සුන්නාත් මා එක්කම ආවේය. “මොකක්ද බං?”

“කාවද මරලා දාලයි කියන්නේ.... ගිහිල්ලම බලමුද? හැබැයි ඉක්මනටම.... නැත්තං ඉතින් තාත්තගෙන් සබ්බුව තමා...”

“ඒ පරක්කු වුණොත්නෙ.”

මහරගම රේල් පාර පසුකොට පමුණුව පාර දිගේ එද්දී, ඔබට හමුවෙන පළමුවෙනි වංගුවට කලින්, ඊට ආසන්නයෙන්ම වම් පැත්තට කුඩා පටු පාරක් දකින්නට පුළුවන්ය. දැන් නම් ඒ අඩිපාර පළලය. ඒකේ දෙපැත්තේම තට්ටු building ය; සාප්පුය. ඉස්සර නම් තිබ්බේ කෝපි ගස් මණ්ඩියකි.

දැන් ඒ අඩිපාර ටිකක් ලොකුය. දෙපැත්තේ තට්ටු ගොඩනැඟිලි දෙකකි......
එතකොට ඒ වත්ත පාල මාමාට අයිතිය. එයාගේ මල්ලී කෙනෙකුත් හිටියා මතකය. ඒ පත්මසිරිය. එයාලගෙම දර මඩුවකුත් ඒ වත්තේ තිබිණි. 
ඔවුන්ටම අයිති ගෙවල් කිහිපයකුත් කුලියට දීලාය. 

සෙනඟ ඇදුණේ ඒ ගෙදරකටය.....

“මේ ඇටිකිච්චෝ කොහෙ රිංගනවද?” වැඩිහිටි මනුස්සයෙකු එහෙම කිව්වත් අප පසුබැස්සේ  නැත..... තෙරපි-තෙරපී ඉස්සරහට. 
ම්හු! ගෙට යන්නට බැරිය. 
පොලිසියේ රාළහාමිලා එතැන මුරය. 

“මිනී දෙකම තවම ඔතාපු ගමන්.... ගන්ධකේ බැහැ.... දවස් ගානක්ලු!”

ඒවා ඇහුණාමය, අපටත් කුණු ගඳ දැනෙන්නට වුණේ.


චණ්ඩිකමට මිනීමැරුම් දෙක බලන්නට ගියත්, එදා හිට ඇඳිරි වැටුණු පසු අප දෙන්නාටම මුත්‍රා බර හැදුනෙත් ....
“දර පාලලගේ ගෙදරක කුළියට හිටිය මිනිහෙක් ගෑනිවයි, දූවයි මරලා. මිනී දෙකම මෙට්ටෙක ඔතලා ගැට ගහලා, පැනලා ගිහින්.... 
මිනී දෙක කුණුවෙලා ගඳ ගහන්න ගත්තාම තමයි දොරවල් කඩලා බලල තියෙන්නේ!”

Complete මරණ වාර්තාව අපත් දැනගත්තේ අපේ සීයා; චාලි නානා ජලා හුටා- හුකා පරියා’ පන්නයෙන් මිදී සජීවී විස්තර ප්‍රචාරයක් අපේ ආච්චිට ඉදිරිපත් කරද්දීය. 

චණ්ඩිකමට මිනී බලන්නට ගියත්, විස්තර අහගෙන හිටියත් එදා හිට සුමාන ගණනක් යන තුරුම අපේ සුනිල්ටත්, මටත් දෙන්නාටම ඇඳිරි වැටුණු පසු මුත්‍රා බර හැදුණේත් එකම වෙලාවටය! 
වැසිකිලි යන්නට ඕනෑ වුණොත්, ඒත් එක සැරේය.

මහරගම ඉතිහාසයේ මේවාත් ලියලා තියන්නට වටියි!

කතරගම පැත්තේදී ඒ සන්නාසි මිනීමරුවා අල්ලාගෙන තිබුණේ ..................
අර මිනීමරුවා අල්ලා ගෙන තිබුණේ මාස ගණනාවකට පස්සෙය. ඒ කතරගම පැත්තේදීය. 

“ඒ මිනිහා සන්නාසියෙක් විදියට වෙස් මාරු කරගෙන ඉඳලය කියන්නේ..... පත්තරේ තිබ්බාලු.”

“ඔහොම තමයි ඉස්සර ආත්මෙක කරපු පව් පළ දෙන්නේ. අම්මයි දුවයි දෙන්නා එකට එකතු වෙලා ඉස්සර ජාතියකදී පරාණගාත අකුසලයක් කරලා වෙන්නැති! පේනවනේ... ඒක මේ ජාතියේදී පළ දීපු හැටි.” 
අපේ ආච්චී හැම දේම තේරුම්-පැහැදුම් කරන්නට පුරුදුව හිටියේ ධර්මයෙනි; බණවලිනි; කවි- ගාථා කියමිනි.

    "පෙර අඟනක් එක් එළු දෙනක හිස       සිඳා
      සියොලඟ වැලැඳි ගිනි දැල් නිරයෙ දුක් විඳා 
      ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම්    ලදා
      මෙමැ රඟ වේය කාටත් අකුසලේ      ලෙදා- 
ඔන්න පව් පළ දෙන හැටි! මතක තියාගනිල්ලා පුතේ!” 


ආච්චිගේ එහෙම කතන්දර ඒ දවස්වල බරට නොදැනුණත්...................
ඒ දවස්වල ආච්චිගේ එහෙම කතන්දර කණට වැටුණාට, 
එච්චර බරට හිතට වැටුණේ නැති හැඩය. 
එහෙම වුණා නං අපේ කෙටවිලි කෙරෙන්නට විදිහක් නැත.

අප කෙටෙව්වේ වංශ දෙකක උදවියයි. 

මේ දෙවංශය උපතින්ම සතුරුයි වගෙය. කට්ටියක් ඉන්නෙම උඩය; අනෙක් කට්ටිය ඉන්නේ පහතය. පාටෙනුත් දෙගොල්ලන් දෙවිදිහකි. 
පහත ඉන්නා පිරිස කළුය; උඩින් ඉන්නා පිරිස රතුය!

“ඉස්සරලා ගිනි පෙට්ටියක් හොයාගන්න එපැයි....” 
එහෙම දේවල් නම් තිබුණේ අපේ ගෙදර නොවේ; ආච්චිලාගේ ගෙදරය.

ඉස්සරෝම තිබුණේ 'අලියා' ගිනිපෙට්ටි කියලාය මට මතක!
ඉස්සර තිබුණේ අලියා ගිනි පෙට්ටිය. 

ඒවා හදලා තිබුණෙත් දැන් වගේ තුනී කාඩ්බෝඩ්වලින් නොවේ. තුනීම-තුනී ලෑලිවලින් වගෙය. 

ගිනි පෙට්ටියක් සත පහක් විතර වුණා වෙන්නැතිය. සත පහට වුණත් ලොකු වටනාකමක් තිබුණු ඒ කාලයේ ගෙදරක ගිනි පෙට්ටියක් කල්පයක් තිස්සේ පාවිච්චියට ගැනෙයි.

අමල් බිසෝ කතන්දරයේ වගේ. 

කොකායි, කෙකිනියයි මුතු ගෙනෙන්න යන්න කලින්, අමල් බිසෝට දුන්නු උපදෙස් මතකයිනේ. “.... ළිපේ අඟුරු නිවාගන්න එපා!” 
අපේ ගෙවල්වලත් ළිපේ අළු යට හැංගිලා දැවෙන අඟුරු කැට නැති වුණේ එහෙමත් දවසක විතරය! ඉතින් කොහෙන්ද සංතෝ ගිනි පෙට්ටි?

නැත්තං තියෙන කූරූ ටික සේරම පත්තු කරලා දාන්නං!
“මං හොයාගන්නම්කො.... නැත්තං තියෙන ගිනිකූරු ටික පත්තු කරලා දාමු. ඕන්නං ආච්චී චුට්ටක් බනියි! එච්චරනෙ.” 
සුනිල් ආච්චිලාගේ ගෙදර හැදෙන නිසා, ඔහොම ඇට්ටරකම්වලට පොඩ්ඩක් බනිනවා විතරය.

“ඔව් ඉතින් තමුසේ එළු කිරි බස්නේ දීලා  හදා ගත්ත ආච්චිගෙ එකානෙ.” ඒ දවස්වල අපට තිබුණු ලොකුම හිසරදයක් වුණේ ආච්චිගෙන් සුනිල්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයි.

හිටි ගමන් කඩුලු කතාවක් විදිහට එළියට පැන්නේ, ඒ පැහැදිලි ඉරිසියාවය කියලා වැටහෙන්නේ දැන්ය.

“ඒක වැඩක් නැහැනේ ලොකූ.... මං ගිනි පෙට්ටියක් හොයා ගන්නවා නං එච්චරනෙ....”

කාටත් ඕනේ මේ රහසිගත මිෂන් එක සාර්ථක වෙනවා දකින්නටය.......
“පොඩි අයියේ... මගෙ ළඟ ඉටි කොළ කෑල්ලක් නම් තියෙනවා....” 

නෝනාත් අපට සම්මාදම් වෙන්නට කියන්නේ ආඩම්බරයෙනි. ඒ වචන ටිකම වුණත් ලොකු රණ්ඩුවකට ප්‍රමාණවත්ය. 

“උඹට කොහෙන්ද සෙලෝපේන් කෑල්ලක්.... මගෙන්ම හොරකම් කරගත්තු එකක් නේද? ඇත්ත කියපං.” සුනිල් අහයි.

“දෙන්නං ඔයාට. ඒක මගේ....”

“මේ, මේ, තමුසෙලා රණ්ඩුවෙන්න ගත්තොත් ඔන්න, අදම වැඩේ වකූර් වෙනවා. දෙන්නම කට පියාගන්නවලා.” 

එහෙම වෙලාවට ඒ කතන්දර ඊට එහා යන්නේ නැත. කාටත් ඕනේ ‘මේ රහසිගත මිෂන් එක’ සාර්ථක වෙනවා දකින්නටය.

අපට ඕනෑ කළේ ගිනි පෙට්ටියේ ලාච්චුව වැනි කොටසය. පොර පිටියට ගත්තේ ඒකය!
එවැනි projects එක විඩේම කෙරෙන්නේ නැත. ඒවාට දවසක් දෙකක් තිස්සේ කල-හලමනා එකතු කරගන්නට වෙයි. ඉඩක් හදා ගන්නට වෙයි. විශේෂයෙන්ම ආච්චිට හොරා. 

මෙහෙම දෙයක් එයාට අහුවුණොත් නම් සුමාන ගණනාවක් තිස්සේ බැණුම් නාන්නට පුළුවන්ය.

ගිනි පෙට්ටියේ අපට ඕනෑ කරන්නේ ගිනිකූරු දමන ලාච්චුව වැනි කොටසය. 
ඒ පොර පිටියට ගන්නටය. කොටවන්නේ ඒකේය; 
ද්වන්ධ යුද්ධය කෙරෙන්නේ ඒකෙය. 

තව, සෙලෝපේන් කෑල්ලකි.

විනිවිද පෙනෙන සෙලෝපේන් කඩදාසි කෑල්ලක් වුණත් ඉස්සර මහාර්ඝ වස්තුවකි. ඒවා තිබුණේ පිටරට විස්කෝතු පැකට් හරි, චොක්ලට් පැකට් හරි වගේ ඒවායේය. 

ලැමිනේටින් කරනවාය කියන ක්‍රමය ආවේ පස්සෙය.

පොලිතින් මහා වසංගතයක් වෙලා තියෙන්නේ දැන් කාලේය ........
පොලිතින් වසංගතයක් වෙලා තියෙන්නේ දැන්ය! 
ප්ලාස්ටික් වුණත් එහෙමය. 

පරිසර විද්‍යාඥයන් කියන විදිහට ‘දැන් ක්ෂුද්‍ර ප්ලාස්ටික්-පොලිතින් අංශු ජලයේත්, වාතයේත්, ඔබ ආහාරයට ගන්නා දේවලත් අඩංගුවී තිබෙයි’ය. 
එහෙත්, තවමත් අප ඒ ව්‍යසනයන්ට එරෙහිව සටන් වදින්නේ ලාචෝරු-දියාරු-ඔතෑනි විදිහට විතරය.

අද අපේ කතාවේ ප්‍රධාන චරිත එහෙම නොවේ!

උන්ගේ පින්තූර ජාලයෙන් හොයද්දීය දැක්කේ, 
ඒ දෙගොල්ලන්ගේ සටන් චිරප්‍රසිද්ධය. 
Ant War!

මේ දෙගොල්ලන්ගේ යුද්ධ චිරප්‍රසිද්ධය............ ඒ දිනවල එහෙම බව අපි දන්නේ නැත.
කූඹියෝ යක්කු වගෙය! (ටෙලි නාට්‍යය නෙවෙයි, හොඳේ!) හැබෑම කූඹි. 

තමන්ගේ බර වගේ 50ස් ගුණයක බරක් උස්සාගෙන යන්න පුළුවන් එවුනුත් ඉන්නවා.

අවුරුදු මිලියන 130කටත් එහා ඉඳලයි උන් මිහිතලයේ ඉන්නේ. 
අපට වැඩිය කොච්චර කල් ඉඳලද? 

නිජබිම් සංකල්පය කියලා එකක් උනුත් දන්නවා නම් අපට යන්න වෙන්නේ හොම්බෙන්. 

කූඹි විශේෂ 12,000කට වැඩියි. අපේ කූඹි දෙගොල්ලත් ඒ ගොඩට අයිතියි! (ඔය විස්තර ටික තිබුණේ ‘ටකබුං අඩවියේ’).

හරිම විදිහට නම්, මේ කෙරුවාවේ වැදගත්ම දෙන්නා විය යුත්තේ ඒ සටන්කරුවන්ය.

සටන්කරුවන්ටත් වඩා අපට වැදගත් වුණේ උන්ට පොවන රා සපයා ගැනීමය. රා පෙවූ තරමට......
ඒත් වත්තේ හැම ගහකම වගේ ඉන්නා දිමියන් වැටුණේ තුට්ටු දෙකටය.

හැම පොල් ගහකම මුල තිබුණු කඩි ගුල්වල හිටි අයටත් ඒ ටිකමය.

ඒ අහිංසක පණ ඇති සතුන් දෙවර්ගයට වඩා අපේ සැලකිල්ල යොමු වුණේ අමු තුත්තිරි ගස්වලටය; හරියටම කියනවා නම්, අමු තුත්තිරි මල්වලටය.

‘....දෙවිදත් .... “එසේ වී නම්, මට සෙනේ ඇත්තෙහි නම්, බුදුන් ගෙට සිඟා වීථියට එන වේලාවට තාගේ නාලාගිරි නම් මතැතු මෙතෙක් දවස් පොවන රා අට කළයට දියුණු කොට සොළොස් කළයක් රා පොවා, ඇත්කොහොලින් ඇන කෝප උපදවා බුදුන් ඉදිරියට මෙහෙයා බුදුන් මරවාපිය”යි කී ය.’ 

මයුරපාද පිරුවෙන්පති බුද්ධපුත්‍ර ස්වාමීන්වහන්සේ එහෙමයි ‘පූජාවලිය’ පොතේ නාලාගිරි ඇතාව උසිගන්වපු හැටි කියන්නේ.

රා කළගෙඩි අට වෙනුවට දහසයක් පොවලා මත් කරවලා, හෙණ්ඩුවෙනුත් ඇනලා කුපිත කරලා...
වෙනදා පොවන රා කළගෙඩි අට වෙනුවට දහසයක්! අපට කොයින්ද රා කළගෙඩි? 

අපේ රා තිබ්බේ තුත්තිරි මල් දණ්ඩේය.

තුත්තිරි මල් තියෙන හරියෙන් අල්ලා උඩට අදිද්දී ඒවා දණ්ඩ පිටින්ම ඇදිලා එයි. ඒවා එකතු කිරීමේ රාජකාරියට කර ගහන්නේ ලොකු නංගිත්, අනිලුත්ය. 

සටන්කරුවන් අල්ලා ගැනීම සුනිල්ගේ වගකීමයි.

තුත්තිරි මල් ගලවාගත් පසු, ඊළඟට සීරුවට මහපටැඟිල්ලේත්, දබරැඟිල්ලෙත් නියපොතුවලින් ඒ මල් දණ්ඩ සූරාගෙන යන්නේ අගිස්සට ‘රා’ බින්දුවක් එකතු වෙන විදිහටය. 

සතුන්ගේ අඬු නොකැඩෙන විදිහට; උන්ට අපව හපා කන්නට බැරිවෙන විදිහට පරෙස්සමෙන් අල්ලාගෙන ඉන්නා අතරේ සටන්කරුවන්ට ඇති පදම් රා පොවන්නට ඕනෑය. ඒක වුණත් හැමෝන්ටම බැරිය.

කඩියෝත් දිමියෝත් තුත්තිරි රා බිව්වේ ආසාවෙන් වගෙය..........
දිමියනුත්, කඩියනුත් ඒවා බිව්වේ ආසාවෙන් වගෙය! 

උන් වෙරිවෙන තරමට වැඩේ ගොඩය. සටන ‘ෆුල් සීරියල්’ වෙනවාය.

ඒ පාඩම නම් අපේ දේශපාලන පක්ෂවල ලොක්කනුත් හොඳටම දන්නවාය. 
‘අතැනට-මෙතැනට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගෙන්වා පෙන්වමි’යි වහසි බස් දොඩා දිවිහිමියෙන් පක්ෂ රකින්නට 'එන කට්ටිය' එක්කාසු කරගන්නේ බත් පැකට් එකකුත්- මදිය නොකියන්නට රහමෙරත්- රුපියල් පන්සීයක් විතරත් බැගින් එක-එකාට ගෙවලා, ගමනට  යානවාහනත් සපයලාය.

රහමෙර වැඩිවෙන තරමට ‘හුරේ’ වැඩිවෙයි. 
එතකොට ගැත්තන් ලයිට් කණු උඩ නෙවෙයි, 
වයර් උඩ වුණත් ‘සර්කස්’ පෙන්වන්නට බය නැතිය. 

උණ්ඩවලට, කඳුළු ගෑස්වලට වුණත් බය නැතිය. අපේ හැටි එහෙම තමාය!

දුප්පතෙක් ලෙස ඉපදී දුප්පතෙකු ලෙසම මියයන්නේ නම්.............
‘දුප්පතෙකු වී ඉපදීම කාගේවත් වරදක් නොවේ! එහෙත් දුප්පතෙකු ලෙස උපන්නෙකු දුප්පත්වම මිය යන්නේ නම් එය ඔහුගේම වරදකි.’ 
කෝටිපති ව්‍යාපාරික බිල් ගේට්ස් වරක් කියා තිබිණි.

අනෙක් මොනවා ඉගෙන නොගත්තත්, ගේට්ස් උන්නැහේගේ ඒ පාඩම හරියටම ඉගෙනගෙන තියෙන්නේ නම් අපේ රටේ උත්තම දේශපාල අඥයන්ය. 

එයාලා ෆුට් බයිසිකලයක්වත් නැතිව ගමන පටන් ගනිති. 
අවුරුදු කිහිපයකින්ම බිමින් යන රෝද හතරේ ඒවා විතරක් නොව, දියෙන් අහසින් යන්නට හැකි ඒවාත් අයිති කරගන්නට තරම් පොහොසත් වෙති! වාසනාවන්!! 
අපට තියෙන්නේ චුට්ටං වැඩකි; මනාපය ලකුණු කරන එක විතරය!!!

ඔන්න අපේ මනාපයටම, රා පොවා මත් කරවන කඩියෙකුත්, දිමියෙකුත් ගිනිපෙට්ටි ලාච්චුවට දැමෙයි. තුනී සෙලෝපේන් කොළයෙන් එය වැසෙයි.
දැන් තියෙන්නේ සටන් කිරීමය..................
දැන් දිමියාටවත්, කඩියාටවත් choise එකක් නැත; විකල්ප නැත. තියෙන්නේ වෙරි මතෙන් සටන් කිරීම පමණකි. මැරෙන තුරුම!

මනුස්ස වර්ගයාම සටන් කරනවාට වඩා අනුන් සටන් කරනවා බලන්නට කැමතියි වගෙය. ඉතිහාසයේ පටන්ම සිදුවී තිබෙන්නේ ඒකය. 
සටන් කරන්නේ කා වෙනුවෙන්ද- මොකක් වෙනුවෙන්ද- ඇත්තටමද කියලාවත් අපට නොතේරුණත් කමක් නැත. 
පලක්-කමක් ඇති දෙයකටද කියලා වැටහෙන්නේ නැතිවුණත් කමක් නැතිය. අපට ඕනෑ බලාගෙන ඉන්නටය.

එදා මහ බලවතෙකුසේ අසරණ කඩි-දිමි සටන් නැරඹූ මම 
අද අසරණ ඡන්දදායකයෙකුසේ, අප රවටන්නට; මෝඩයාට අන්දවන්නට දේශපාලුවන් සටන් වදිනු බලා හිඳිමි! 

අපේ ආච්චී කිව්වා හරියටම හරිය. කළ පව් පළ දෙයි෴

11 comments:

  1. Replies
    1. අම්මේ කෑල්ල හැලුණාවත්ද. ස්තුතියි ඩ්රැකී!

      Delete
  2. https://www.okhistory.org/publications/enc/entry.php?entry=CO012

    https://www.independent.co.uk/environment/plastic-microparticles-fish-flesh-eaten-humans-food-chain-mackerel-anchovy-mullet-a7860726.html

    https://www.atlasobscura.com/foods/red-tree-ants-with-beef-cambodia

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay.

      පෝස්ටුව කියවන අය ඔබ සපයා ඇති ලින්ක්ස්වලටත් ගිහින් බලත්වා, කියලා පතන්නම්.

      පොලිතින්, ප්ලාස්ටික් අංශු ගැන මානවයාට හිතන්නම වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

      ඉදිරි අනාගතයේදී මිනිසා තම ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගන්නේ කෘමීන්ගෙන් බවට අනාවැකි කියවී තියෙද්දී කැම්බෝඩියාව දැන්මම වැඩ අල්ලලා. දිමියොන්වද දන්නේ නැහැ ගැඹුරු තෙලේ බදින්නේ.

      Delete
  3. ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජුට ඇහලේපොල කුමාරිහාමි ගැන ආල සිතක් පහල වෙච්චි සිද්ධියක් නම් අහලා නැතුවා. ඔය කෙටවිල්ල ගැන හොදටම තියෙන්නේ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාගේ Doomed King පොතේ. ඒකේ සිංහලට පරිවර්ථනය නෙරපු රජු - පි.එච්. දයාසිසිර.

    // කාශ්‍යප රජතුමා සීගිරි පර්වත මස්තකයේත් අවසන් ගමන් ගියේ ඒ කෙටවීම් නිසාවෙනි.//
    කාශ්‍යප රජතුමා සිගිරිය පර්වතය මුදුනේ නොවෙයි නේද මිය ගියේ? සිගිරිය බලකොටුවේ සැගවෙන්නේ නැතිව සේනාව මෙහෙයවාගෙන ඉදිරියට ගිය රජතුමා ගේ අතින් වෙච්චි අතපසුවිමක් නිසා සේනාව හිතුවා රජා බසුබසිනවා කියලා අන්තිමේදි ඔහු ගෙල සිදවාගෙන මියගියා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. තවත් වතාවක් අසංගට නිදිගෙ වැරදි අහුවෙලා. ස්තුතියි.

      රජතුමාගේ ජාගර හැඟීම ගැන ප්‍රවාදයක් විතරයි තියෙන්නේ. ලැබුණොත් 'නෙරපූ රජු' කියවන්නම්.

      කාශ්‍යප රජතුමා ගැන ඔයා කියන දේ හරියටම හරි. ඒක හදනවා මේ පිළිතුර පෝස්ට් කළ ගමන්. පර්වත මස්තකයේ නෙවෙයි එතුමා මියැදුණාය කියන්නේ. ඔබ කියා ඇති විදිහටයි.
      කාශ්‍යප රජතුමාගේ මරණය ගැන ඔයා කියන කතාව මාත් අහලා තියෙනවා.

      Delete
    2. ඔව් අසංග හරි කියලයි මට හිතෙන්නෙත්...

      Delete
  4. බොහොම වටිනා කාලීන ලිපියක්

    ReplyDelete
  5. I remember doing this trik with kadi and Dimi. Thinking about it now, it could be only sugar, not alcohol as we were thinking.

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, පොඩි දවස්වල අපි කියාපු පුරුද්දටමයි තුත්තිරි මල් දණ්ඩෙන් හූරලා එන ඉස්ම බින්දුවට රා කියල කිව්වේ. විද්‍යානුකූලව නම් ඒක රා වෙන්න බැහැ, සීනි තියෙනවා මිසක්.

      ස්තුතියි! ඒ වගේම ගොඩාරියක් සතුටුයි බ්ලොගය ඉතාම සැලකිල්ලෙන් කියවන ගමන් මේ වගේ දේවල් පවා පෙන්වා දෙනවාට.

      දැක්කා නේද උඩින් අපේ අසංග, කට්ටකාඩුවේ ලොකූ එහෙමත් කියා තියෙන දේවල්! එකක් නම් නිවැරදි කළා. ශ්‍රී වික්‍රම රජතුමා ගැන කතාව ප්‍රවාදයක් නිසා තියෙන්න ඇරියා.

      Delete