අකුරු මැකී නෑ

Friday, October 25, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිදෙවෙනි කොටස

තොටළඟ පාරු පාලම තිබුණු කාලයෙවත් ගඟට ඉණි කැපුවේ නැතිව ඇතිය!
ගඟට ඉණි කපන්නට වෙනවාය කිව්වේ, අපේ පවුලේ කාට-කාටත් උරුමවෙලා තිබුණු ගල්-කාෂ්ටක හිත් හින්දාය. අපේ තාත්තාගේ දණ්ඩ නීතිවලටවත්, අම්මාගේ බැණ අඬගැසීම්වලටවත්, ආච්චිගේ අවවාද අනුශාසනාවලටවත් ඒ හිත් සීයට-සීයක් නතු වුණේ නැතිය; නැමුණේ නැතිය; යාන්තම් පොඩිත්තක් සසල වුණා පමණය.

ලොකු නංගී; නෝනාගේ පන්නය ගැන විතරක්වත් මෙතැනදී කිව්වාම හොඳටෝම ඇතිය.

දවසක් නෝනා බතල තැම්බුවාය; පොල් සම්බෝලත් හැදුවාය. 
“ආච්චිලටත් බතල පිඟානක් ගෙනියනවා!” මම කිව්වෙමි. 

එහෙම කිව්වේ අපේ ආච්චී අල-බතල-කොස්-දෙල් වගේ ජාතිවලට ආසා හින්දාය. බතල පිඟානත් අරන් ආච්චිලාගේ ගෙදරට ගිය ලොකු නංගී ආපහු ආවේ බුම්මාගෙනය. “මොකද බං?”

බුදුන්පල්ලා, දෙයියන්පල්ලා... මම නං ආයෙමත් කවදාවත්...
“මොකද බං තමා..... ඔන්න ලොකා, ආයේ නම් මට එහාට යන්න කියන්න එපා...... අද ඉඳලා මං ආච්චිත් එක්ක කතා කරන්නෙ නැහැ, නැහැ, නැහැමයි. දෙයියන්පල්ලා.... බුදුන්පල්ලා කතා කරන්නේ නෑ, නෑ, නෑමයි.”

“යකෝ, ඕකටත් බුදුහාමුදුරුවෝ පලන්න යන්නේ නැතිව කියපන්කො මොකද වුණේ කියලා.”

“මං කියන්න ඕනේ නැහැ, ඔය දුවගෙන එන්නේ කේලම ලොකාගෙ කනේ තියන්න.” ආච්චී අපේ ගෙදරට ගොඩ වුණෙත්, නෝනා ගස්සාගෙන ගෙට රිංගුවෙත් එක වෙලාවෙමය.

“පේනවද... පේනවද මේකිගේ ඇට්ටරකම. උඹම බලපන් පුතේ, මං මේකිට කිව්වා -නෝනා, අද බතල නං තැම්බිලා මදි වගෙයි- කියලා. මේකි මගේ මූණටම ඇන්නා වගේ කියපි -මදි නං තම්බගන්න එකයි- කියලා. යසයි ගෑනු ළමේක් හැදෙන විදිහ. 

-යකෝ, ලේලි වෙලා ලීලාවතීවත් මට ඔහොම කියල නැහැ කවදාවත්. ඔහොම ගියොත් නං රංජි, මේකිව දීග දීලා දවසෙන්ම මිනිහා ආපහු එවයි...... උඹට තමයි පුතේ නල්ලමලේ නංගිටයි දරුවන්ටයි කන්න දෙන්න........” 

ආච්චිට කියන්න ලැබුණේ ඒ ටික විතරය.

ආච්චී නැතිවට මාව හදන එක ලොකාලා කරයි!
“ඒක එතකොට බලාගන්න බැරියැ. ආච්චි එන්න ඕනේ නැහැ මාව හදන්න. ලොකාලා ඒක කරයි.....”

ගෙදර ඇතුළේම සිට උත්තර දුන් ලොකු නංගී ඊළඟ සිංහල අලුත් අවුරුද්ද වෙනතුරුම ආච්චිලාගේ ගෙදර පස් පෑගුවේ නැත. 

ආච්චී එයා එක්ක කතා කළත්, වචනෙකින්වත් උත්තර දුන්නෙත් නැත. 

අවුරුදු දවසේ වුණත් ආච්චිට බුලත් දුන්නේ නොකර බැරිකමටය. ආච්චිත් එක්ක කතා කළේ ඊටත් මාස දෙකකට විතර පස්සෙය!

එහෙව් එකේ අපේ ගෙදර නැති-නාස්තිය ගැන ආච්චී වුණත් ඕනෑවට වඩා මැදිහත් වෙන්නට ආවේ නැත. එහෙම වුණත් අම්මාගේ ප්‍රශ්නයේදී නම් හැමෝම වාගේ හිටියේ එකම පිලකය. ඒ බව හොඳටම පෙනුණේ තාත්තාගේ තුන් මාසයේ දානයෙන් පස්සෙය. වරිග සභාව පැවැත්තුණු දවසේය.

නිමල්ට පුළුවන්ද මේ ළමයි අට දෙනෙකුට තාත්තෙක් වෙන්න?
ගෙන්දගම් පොළොවේ උපන් අපේ ආච්චිටත්, දකුණේ මාතර උපන් සීයාටත්, බින්තැන්නේ උපන් අම්මලාටවත් වරිග සභා පවත්වනවා තියා ඒවා ගැන නිනව්වක්වත් නොතිබිණි. රජරට තිබුණු ඒ චාරිත්තරය ගැන මාත් දැනුවත් වුණේ පස්සේ කාලෙකය. 

සාකච්ඡාවෙන්- සම්මුතියෙන් ප්‍රශ්න විසඳන්නට පුළුවන් බව ඇහුවෙත් පස්සේ කාලෙකය.

ඒත් පවුලේ හැමෝමත්; නෑදෑ-හිතවතුනුත් එකතුවී එක හඬින්, හැමෝම ඉදිරිපිටදී කිව්වාම අපේ අම්මාගේ හිත වෙනස් වෙතියි හැඟුමක් මට තිබිණි.

එහෙම වුණත් එතැනදී නොකියන්නට හිටි මගේ අවංක හැඟීමත් කියන්නට වුණේ ‘සේ’ ටීචර් හා කුලතුංග සර් හින්දාය.

“මිසිස් ගුණපාල, මාත් මේ ප්‍රශ්නේ ගැන සේ ටීචර් එක්ක ගොඩක් කතා කළා. ඔයා එංගලන්තෙට යනවා නං යන්න වෙන්නේ අවුරුදු තුනක්වත් නැති දීපානිව මෙහෙ තියලා. ආච්චිට පුළුවන්ද මේ ළමිස්සියො දෙන්නෙකුයි, කිරි සප්පයෙකුයි බලාගන්න. නිමල්ට පුළුවන්ද මේ ළමයින් අටදෙනෙකුට තාත්තෙක් වෙන්න.......?”

උඹත් හෙටානිද්දාම වැඩපොළේම කෙල්ලෙක්ව හරි අරගෙන............  
“ඔව් ලීලා. කුලතුංග සර් කියපු එක ඇහුණනේ. නිමල් මොකද කියන්නේ.... උඹත් හෙටානිද්දාම මේ වැඩපොළේ කෙල්ලෙක්වම හරි අරන් ගෙදරින් යන්න එපැයි.”

මට මගේ හිතේ තිබුණු දේවල් නොකියා බැරි වුණේ එතකොටය; සේ ටීචර් මගේ ළඟට බෝලය පාස් කළාමය.

“මට කියන්න තියෙන්නේ......, 
හංගන්න දෙයක් නැහැනේ... අම්මා කසාද බැන්දේ අවුරුදු 17න්. 
දැන් 39යි. දරුවෝ දහ දෙනෙක් උපද්දලා ඉවර වුණාට පස්සෙ හරි එයාට හිතෙනවා නම් ‘දැන්වත් මට ඕනෑ විදිහට වැඩ කරන්න ඕනෙ’ය කියලා ඒකට එයාට නිදහස දෙන්න ඕනෑ.... මම වුණත් කැමති නැහැ බලෙන් යුතුකම් කරවාගන්න හදනවට. 
අම්මට රට යන්නම ඕනේ නම් ගියාවේ. 
හැබැයි අම්මා ළමයින්ව දාලා ගියාට මං එහෙම යන්නේ නැහැ, මෙයාලව දාලා. එයාලව බලාගන්න මට පුළුවන්!”

එදා මං එහෙම කිව්වේ අවංකවමය. 

තාත්තාගේ දරදඬු- අත්තනෝමතික- පුරුෂෝත්තමවාදී පාලනයෙන් මිදෙන්නට අම්මාට හිතෙන්නට ඇත. 
දරුවන් නව දෙනෙකුගේ බර දරාගෙන තව දුරටත් ඉන්නට බැරියැයි අම්මාට හිතෙන්නට ඇත.

සිරි බාප්පා (හාන්සි පුටුවේ) සෝමා පුංචි, අපේ අම්මා 2014 බදුල්ලේදී ....
අම්මා තීරණය වෙනස් නොකළාය!

“ලීලක්කා මහ සවුත්තු වැඩක් කරන්න යන්නේ!” රහුබැද්දේ විදානෙලාගේ වික්‍රමසූරිය; අපේ ලොකු මාමා කිව්වේය.

“අනේ ලීලක්කා. මුරණ්ඩු නොවී තව ටිකක් හිතලා....” අපේ පුංචි අම්මා; රහුබැද්දේ විදානෙලාගේ සෝමාවතී හපුආරච්චි කීවාය.

“ලීලා, උඹ මගේ ගෑනි වුණා නම් මං දනී කරන්න ඕනේ හරිය.” සෝමා පුංචිගේ සැමියා; සිරි බාප්පා; සිරිසේන හපුආරච්චි කිව්වේය.

අපේ අම්මා 1976 අවුරුද්දෙම එංගලන්තයට ගියාය. 
ඇය නිවැරැදි තීරණයක් ගත්තා යැයි කවුරුන්වත් කිව්වේ නැත; කියන්නෙත් නැත. අම්මා එතනදී සාකල්‍යයෙන්ම ආත්මාර්ථකාමී වුණාය. 
අදටත් අපේ නංගිලා- මල්ලිලා හැමෝම 
අම්මාට වැඩියෙන් මට ගරු කරන්නෙත්- 
අම්මා ගැන අඩු හැවිකාරයකින් කටයුතු කරන්නෙත් ඒ නිසාය.

අම්මාගේ ඒ වැරැදි තීරණය හින්දා...........
නමුත්.... අම්මාගේ ඒ වැරැදි තීරණය නිසා මුළු පවුලටම සිදුවුණේ යහපතකි. 

දෛවය එහෙමය. විටෙක ආශීර්වාදයක් ලෙස ඔබ ළඟට එන්නේ විපත්තියකි. තවත් විටෙක ඛේදවාචකයක වෙස් ගෙන සැපතක් අප කරා පැමිණෙයි!

එය වෙනම කතාවක්සේ ලියන්නට වටියි. 
මෙතෙක් පංච තන්තරේ පෙරළූ හිතාදර රසික ඔබට, වරින්-වර ඒ කතාවෙන් කොටස් හමුවී තිබෙයි. ඒත්.....

කියාගෙන ආවේ ‘මෝස්‌තර එක්ක හත් වසරක්’ කතන්දරයනේ. 
අපි ආපහු ඒකට යමු! 
අම්මා රට ගියාය කියලා අපේ ගෙදර-දොරේ වැඩවල වෙනසක් වුණේ නැත. ඒවා පුරුදු විදිහටම කෙරීගෙන ගියේය; එකම එක වෙනසක් හැර.

ආච්චිටත් සීයාටත් එයාලගෙ ගෙදර වෙනම කෑම ඉවිල්ල තහනම් කෙරිණි. 

“මීට පස්සේ ආච්චිලත් කන්නේ අපේ ගෙදරින්. දැන්වත් එක මිදුලේ තියෙන ගෙවල් දෙකේ ළිප් දෙකක ඉවිල්ල නවත්තමු!” මම කිව්වෙමි. 
රහසෙන් අකුල් හෙළන්නට, හැංගිලා ඉඳගෙන කකුලෙන් අදින්නට කවුරුන්වත් හිටියේ නැත.

1977  ඡන්දය ආවේය. ඇට අට ගන්නට ඡන්දය දුන්නේ මිරිස් පොලු- හාල් පොලු එපාවී හිටි.....    
1977 ඡන්දය ආවේය. UNPයෙ ජේ. ආර්ලා ‘ඇට අටක් දෙන බව’ කිව්වෝය. නවසිය හැත්තෑවේදී ‘සීනි නැතිව තේ බොන්නං’ කියා පටි තද කරගත්තෝ ඒ වතාවෙත් ඇම ගිල්ලෝය. 
රට හැදිල්ල කෙසේ වෙතත් මැති-ඇමති-පරිවාර සේනාව හා හතර වරිගයම ගොඩ යන්නට ‘ක්‍රම සහ විධි’ හැදුණේය. 
වාහන පර්මිට්, මන්ත්‍රීලාට පෙන්ෂන්, බාර් ලයිසන්, විවෘත ආර්ථිකේ......

කලින් ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබා හැදුණු වෙළෙන්දෝ මේ ආණ්ඩුවෙන් පහර කා නට්ටං වුණෝය. 
ඒ ආණ්ඩුවෙන් පහර කා කුජීතවී; නන්නත්තාරවී වැලේ-වැල් නැතිව හිටි උදවිය මේ ආණ්ඩුව දුන් සේලයින්වලින් යළි පුනර්ජීවය ලදහ. පැති මාරු කළ අයත්..... 

මොන ආණ්ඩුව ආවත් හැමදාම සුගතියක් වුණේ නැත්තේ ස්වාධීනව හිටින; කශේරුකාව නොනමා හිටින අයටයි.

“නිමල්, උඹ මේ සැරේ ස්ටේජ් නැග්ගේ නැතත් අපිටනේ උදව් කළේ. 
යං ගුණසේකර මහත්තයව හම්බ වෙන්න. 
අඩුම ගණනේ රෙදි කෝටා එකක්වත් පාස් කරගන්න.” සෝමවීර කිව්වේය.

අපේ චූටි නංගී දැන් පස්දරු මවකි. (මේ කලකට ඉහත ගත් සේයාරුවකි.)
එතකොට මහරගම මන්ත්‍රීතුමා විදිහට පත්වී හිටියේ ප්‍රේමරත්න ගුණසේකර මහතාය. දවස් ගණනාවක් රස්තියාදු වුණත් වැඩක් වුණේ නැත. 
(මේක කියවනවා නං ගුණසේකර මස්සිනාට ලජ්ජා හිතෙනු නිසැකය. 
අපේ චූටිම නංගී; 
දීපානි විවාහ වුණේ ගුණසේකර මහතාගේ බෑණා වෙන හාදයෙකු එක්කය. 

-මේ නයෙක් එළවන්නත් හොඳම වේලාවය. 
ගෝල්ෆේස් හෝටලයේදී කෙරුණු මංගල්ලයට සාක්ෂිකාරයන් වුණෙත් අප දෙමස්සිනාලාය.) 

“මේ, සෝමේ. මට ඔය කෙළි දිරවන්නේ නැහැයි කියලා උඹ දන්නවනේ. මොකාගෙ පස්සෙන් වුණත් ඔහොම ඔළුව කස-කසා යන්න මට බැහැ. 
අනෙක දැන් පිටරටින් රෙදි ගෙන්වන එක නිසා බතික් වැටීගෙනයි යන්නේ....”

“මොකක්ද බං ඒ කතාවේ තේරුම? ඔය තවම මිනිස්සු බතික් අඳින්නේ.”

සෝමවීර කිව්වා හරිය. 
මිනිසුන් බතික් රෙදි ඇඳීම අඩු කළේ ටිකෙන්-ටික බව එකෑවර පෙනුණේ නැත. 
අනෙක් අතට අප වැනි සුළු කර්මාන්තකරුවන්ට ලොකුම ප්‍රශ්නය වුණේ ලොකු ප්‍රාග්ධනයක් නැතිකමයි.

බතික් කර්මාන්තයට නොව පහර වැදුණේ සුළුවෙන් බතික් කරගෙන හිටි අයටය.....
සුසන්ත බතික් එක දිගටම කළත්, සිරිසේන මුදලාලි අපෙන් බතික් මිලදී ගැනිල්ල නතර කළේ නැත. 

කොළඹ Gem සෙන්ටර් වැනි සාප්පුවලින් වුණත්, 
බෙන්තොට- නුවර සාප්පුවලින් වුණත් බතික් ගත්තේ විකිණෙන තරමටය. ඕනෑම වෙළෙඳ ව්‍යාපාරිකයෙකු එහෙමය. 
අප පුරුදුවී හිටියේ ලංකාවට සංචාරකයන් වැඩියෙන් නොඑන කාලයේ; off season එකේදී localsලාට බතික් හදන්නටය.

ඒක නොකරම බැරි දෙයක් වුණේය. 

එහෙම නොකළා නම් දීපානි බතික් එකේ හැදෙන බතික් රෙදි සියල්ල ගබඩා කරලා තියන්නට අපේ ගෙදර ඉඩ නැති වෙනවා සිකුරුය. එච්චරක් වෙනුවෙන් යට කරන්නට වෙන සල්ලි? 

ඒ ප්‍රශ්නවලට තිබුණේ විසඳුම් දෙකකි.

එකක්, වැඩ කරන පිරිස තාවකාලිකව අඩු කිරීමය. 
“ඒක කොහොමද සුනිල් කරන්නේ. කට්ටියක් විතරක් තියාගෙන අනික් අයව නවත්තනවයි කියලා ළමයින්ගේ මුහුණ බලාගෙන කියන්න පුළුවන්ද? 
හොඳයි, එහෙම කරනවාමය කියමුකො. කාව-කාවද නවත්තන්නේ?”

“ලොකාමනේ කිව්වේ විසඳුම් දෙකක් තියෙනවා කියලා. මොකක්ද දෙවෙනි එක?”

තෝරාගන්න දෙකක් තියෙනවය කියලා ලොකාමනේ කිව්වේ?
“මේ යන විදිහටම කරගෙන යනවා, අතේ තියෙන සල්ලි ටික ඉවර වෙනකල්. රෙදි, ඩයි ගෙනෙන්නයි - පඩි බේරන්නයි සල්ලි නැතිවෙනකල්....”

“ඊළඟට?”

“ඊළඟට ඉතින් දෙයියොම තමයි බලාගන්නේ...!”

එහෙම කිව්වත්, දෙවියන්ටත් කලින්ම බතික් වැඩපොළේ ගැහැනු ළමුන්ට ඇත්තම තත්ත්වය කියන්නට ඕනෑ බව මම තීරණය කළෙමි; කිව්වෙමි.

“නිමල් අයියා වැඩපොළ වහන්නද හදන්නේ?”
“අනේ නිමල් අයියේ.....”

“මේකනේ ප්‍රශ්නේ, දැන් Handloom කරපු තැනුත් ගොඩක් නවත්තගෙනයි යන්නේ. බතික් කරන තැනුත් එහෙමයි..... 
කවුද වැඩි ගණනක් ගෙවලා බතික් කමිසයක් අඳින්නේ ටෙට්‍රන් කොට්න්, ටෙරලින්, නයිලෝන් රෙදිවලින් මහපු කමිස අඩුවට තියෙද්දී... 
ඒ මදිවට ඒ රෙදිවල ඩිසයින්...... colours?”

වැඩට යන-එන වෙලාවල්, වැඩ කරන වෙලාවල් සේරම යකාට ගියේ ඒ දිනවලය......
මම විස්තර ඇතිවම පහදා දුන්නෙමි.

“මට ඔයාලාගෙන් කාවවත් නවත්තන්න බැහැ. 
නවත්තනවා නම් සේරම තමයි. 
අතේ සල්ලි නැති වෙනකල් වැඩ කරගෙන යනවා. නැති වුණු දාට... ඒ නිසා කාට හරි පුළුවන්කමක් තියෙනවා නම් වෙන රස්සාවක් හොයාගන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මාත් පුළුවන් උදව්වක් කරන්නම්.”

වැඩපොළෙන් ඉවත්වී ගියේ ඉතාම ස්වල්ප දෙනෙකු විතරය.

ඒ දවස්වල වැඩ කරන වෙලාවල්, වැඩට එන වෙලාවල් සේරම යකාට ගියේය. කලින් රැයක්-දවාලක් නැතිව නැහුණු ළමුන් අතට ගත් පඩියෙන් බාගයක්වත් ඒ දිනවල ගත්තේ නැත.

ඒ අතරේම කවුරුන් පටන් ගත්තාදැයි කියලා  නිනව් නැති දේකුත් වුණේය. 

Vollyboll ගැහිල්ල හා තාච්චි පැනිල්ල. 
ඒවා කෙරුණේ ළමා නිවාස වත්තේය. අපේ වත්තෙන් එහාට 
රිංගා යන්නට දොඹගහ ළඟින් තිබුණු කඩුල්ල විශාල කෙරිණි. 
ළමා නිවාසයේ පොල් ගස් අතරේවූ තණකොළ ගොල්ලේ ස්ථිර ‘තාච්චි කොටු’ හැදිණි. ඒ උදැල්ලකින් හීනියට තණකොළ තීරු කපා ඉවත් කරමිනි. 

වොලිබෝල් ගැහිල්ලෙදී තනිකරම කැපී පෙනුණේ අපේ ගෙදර අයයි.....
ඉස්සර කාලේ අක්කර දහස් ගණනක් පුරා; බිම පුරා 
නාස්කා’ චිත්‍ර අඳින්නට ඇත්තෙත් මේ වගේ සෙල්ලමකටවත්ද? 

වොලිබෝල්  ගහද්දී තනිකරම කලර්ස් පෙන්නුවේ අපේ ගෙදර දිසානායකලාය. (කලක් මහරගම බුවෙනකබා විද්‍යාලයේ වොලිබෝල් ටීම්ස් හතරේම නායක, නායිකාවන් වුණේ අපේ අනිල්, අජිත්, පුෂ්පා හා මානෙල්ය. පස්සේ සමන්ති නංගිත් ඒ ගොඩටම වැටුණාය.)

හිටි ගමන්, කියන්නටත් ලජ්ජා හිතෙන වැඩකුත් ඔය අස්සේ සිද්ධ වුණේය.

අපේ ලොකු නංගී; නෝනා, nick name එකේ හැටියටම ‘නෝනා’ කෙනෙකු වුණාය. වැඩපොළේ අනෙක් ළමුන් නිරුවත් දෙපයින් යුතුව සෙල්ලම් කරද්දී, 
අපේ නංගියා විතරක් මේස් හා ක්‍රීඩා සපත්තු දමාගෙන යන්නට පටන් ගත්තාය.

“මොකක්ද බං ඔය වැඩේ තේරුම? 
ලජ්ජ නැද්ද? අනෙක් ළමයි සේරම සේරෙප්පුවත් දාගන්නෙ නැතිව සෙල්ලං කරනවා. උඹ විතරක් සපත්තු දාගෙන.....”

සුද්දාට රට ගියාම පද්දා උඩ ගියාලු! 
“ලොකා, ඔයාගේ සල්ලිවලින් නෙවෙයිනේ මං සපත්තු ගත්තේ. 
මගේ පඩි සල්ලිවලින්. ඇඳුම් නැතිව යනවා නම්නෙ වැරදි.... මේකටත්.....” 
මට සිදු වුණේ කට පියාගන්නටය. බතික් වැඩපොළේ වැඩ කරන තරමට සුනිල්, නෝනා, අනිල් තුන්දෙනාටම වැටුප් ගෙවමිනි, තිබුණේ.

වයසින් වැඩෙද්දී එහෙම තමාය, මුදල් ලැබෙද්දී එහෙම තමාය. 

‘උපදින විට කෙනෙකුගේ මොළය සම්පූර්ණයෙන් වැඩී තිබෙයි.’ එහෙම කියන්නේ ජීව විද්‍යානුකූලවනේ. 

මොළේ ඉදිමෙන එක ගැන කියන්නට තියෙන්නේ වෙනම කතාවක් නේද? අපේ නඟණ්ඩිගෙ මොළය ඉදිමීම වැඩපොළේ ගැහැනු ළමුන්ගේ සිනහවට ප්‍රස්තුතයක් වුණු බව රහසක් නොවීය. කියවුණු ඇනුම්-කෙටුම්වලින් හොඳම එක මට තවම මතකය.

‘සුද්දා රට ගියා - පද්දා උඩ ගියා!’

අනේ අම්මපා, දැන්ය තේරෙන්නේ. 
මගේම කණට වැටුණත් මෙච්චර කල් ඒ වාගාලාපය ප්‍රසිද්ධ එකක්ය කියලා මං දැනගෙන හිටියේ නැත. 

නිකමට ඩේවිඩ් කරුණාරත්න පඬිතුමාගේ ‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය’ පෙරළාගෙන හෙව්වාම තිබුණේය. 
හැබැයි කියුම වෙනස්ය. ‘සුද්දාට රට ගියාම පද්දා උඩ ගියාලු!’. 

දඩබ්බරකමට මහන්තත්තකමත් එකතු වුණාම..........
කොහොමද අපේ කෂ්ටිය තැනට ගැළපෙන විදිහට ඒ කියමන වෙනස් කරගෙන තිබුණු හැටි!

මේ පෝස්ටුවේ මුලින් කියූ විදිහටම ලොකු නංගිගේ දඩබ්බරකමට 
(අඟුල්මල් දහනය පෝස්ටු කියෙව්වා නම් ඒ ගැන වෙනත් විවරණ ඕනෑම නැත.) මෙසේ මහන්තත්තකමත් එකතු වෙමින් තිබීම තේරුම්ගැනීමට මමත් අපොහොසත් වීමි. 

මනුස්සකම් ගැන අද තිබෙන තරමේ දැනුමක්වත් ඒ දිනවල මට තිබුණා නම්.....

අනෙක් අයට කොහොම වෙතත් සෝමවීරට නම් රක්ෂණ සංස්ථාවේ රැකියාවක් ලැබිණි. ඒ දේශපාලන පක්ෂයකට කඩේ ගියාටය.

ඒ අතරේ අපේ බතික් කඩේ වහන්නටම වෙනවා වගේ පෙනුණේය. 
එදා අල්මාරි ලාච්චුව ඇරලා බලද්දී මට තරු විසිවිණි! 
(අදත් මගේ කාමරයේ තියෙන්නේ ඒ අල්මාරියයි. කොහොමද නිදිගෙ අතීතකාමය?

විස්ස පරවෙයි! මට හීල්ලුණා මතකය!!
ලාච්චුවේ සන්තකේට තිබුණේ රුපියල් දෙකේ කොළ දහයක් විතරය! 
සත පහේ, දහයේ, විසිපහේ වගේ කාසි ටිකකුත්....

හාල්-තුනපහ නම් සතියකට-දෙකකට ඇතිවෙන තරමට ගෙදර තිබෙයි. 

ඒත්.... රුපියල් විස්සකින්..... 

‘විස්ස පරවෙයි’ මට හීල්ලුනා මතකය. 
අල්මාරියේ වැඩ ඉවර කෙරුණු බතික් නම් පිරිලාය. 
වැඩියත්ම බිත්ති සැරසිලි. ඒවා අපේ රටේ අය ගන්නේ නැත. වොයිල් රෙද්දෙන් හැදූ කෆ්ටාන්, ස්කාෆ්, පොන්චෝස් එහෙමත් තියෙනවාය. 

ඒවාත් ලෝකල්ස්ලාට අල්ලන්නේ නැත.

එතකොට උදේ අටට විතරය. 
‘අදින් පස්සේ වැඩ නවත්තනවා. ළමයින්ට පස්සේ දවසක තමයි පඩි බේරන්න වෙන්නේ.... වස ලජ්ජාව.’ 

එහෙම හිතමිනුත්, එකෙල-මෙකෙල වෙමිනුත් පැයක්-දෙකක් ගත වුණේය. 

නරයෙකුට මෙවන් විපතක්; කරදර හිරිහැරයක් වුණාම ඉස්සර නම් ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හිටු කියලා රත් වෙනවාලු. ඒත්, එහෙම වෙන්නේ ගුණ-යහපත් නරයෙකුට යමක් වුණාමනේ. 
මං නරයෙකුට වඩා නරියෙක්නේ. ඉතින් කොහෙද..... එහෙම වුණත්.....

දහයට විතර.... ඔව්. දහයට විතර මගේ ගිරහයා මාරු වුණා වෙන්නැතිය!

14 comments:

  1. සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගුවාට මුදල් පරිපාලනය හරියට කෙරිලා නැතුවා වාගේ. එහෙම නැත්නම් ව්‍යාපාරය කරන්ගියේ තාත්තාද? තාත්තා නැතිවිමත් බලපෑවාද රටේ දේශපාලනය වෙනස්විමට වැඩියෙන්?

    ReplyDelete
    Replies
    1. එතකොට මං මුදල් පරිපාලනය ගැන, නාස්තිය වැළක්වීම ගැන මෙලෝ හසරක ඕනෑකමක්වත්, උනන්දුවක්වත් නොතිබුණු මැට්ටෙක් කියන එකයි වඩාත් හරි.

      තාත්තා මියගියේ 76. බතික් වැඩපොළ වැහුවේ 79 මුල විතර. දෙවෙනි, තෙවෙනි ප්‍රශ්නවලට උත්තර ඔයාටම හිතාගන්නයි ඒ දත්ත දෙක කිව්වේ.

      ඊට අමතරව හේතු වුණු කරුණු ඊළඟට කියනවා, අසංග!

      Delete
    2. අම්ම ගියත් එක්කම තාත්තා මිය ගියේ කොහොමද/ හිතේ අමාරුවෙන්ද?

      Delete
    3. තාත්තා මැරුණාට පස්සෙයි අම්මා රට ගියේ.

      Delete
  2. මෙච්චර දුරක් ඇදගෙන ආපු එකේ ඉතිරියත් කරගෙන යන්න මාර්ගයක් හොයාගන්න පුලුවන් වෙන්න ඇති බව මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක නං මට කළ ප්‍රශංසාවක් ප්‍රසන්න. ස්තුතියි!

      ඒත් හැබෑවටම වෙච්චි දේවල් කියන්නන්. ඔයාලම තීරණයට එන්න!

      Delete
  3. //දහයට විතර.... ඔව්. දහයට විතර මගේ ගිරහයා මාරු වුණා වෙන්නැතිය!//

    ඒ කියන්නේ ප්‍රශ්නයට හොඳ සතුටුදායක උත්තරයක් ලැබුනා කියන එක නේද ?.

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ ආශීර්වාදයක් කියලයි, ඒත් සෑම්....

      Delete
  4. අම්ම කරපු වැඩේ හරි හෝ වරදී කියා තීරණය කරනන් අමාරුයි. උඹල කොඡාර 9 දෙනෙක්ම වද දුන්නද දන්නේ නැහැනේ? ඔය බිස්නස් කිරිල්ල හරිම අමාරුයි ලංකාවේ. විශේෂයෙන් රෙදි සම්බන්ධව. ලොකු නංගි සපත්තු දැමීම වරදක් කියල හිතෙන්නේ නැහැ මට නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත්. අම්මා කළ දෙ හරිද නැද්ද කියලා ඔයාලමයි තීරණය කරන්න ඕනේ. මට පුළුවන් හිතට එකඟවම වෙච්චි දේවල් කියන්න විතරයි. අපෙන් සෑහෙන වදයක් නම් තියෙන්න ඇති තමා.
      ලංකාවේ බිස්නස් කිරීම ඇත්තටම අමාරුයි, අනිසි දේවල් නොකර. එහෙම දේවල් ටිකකුත් ඉස්සරහට ලියන්න තියෙනවා.
      ලොකු නංගි සපත්තු දැමිල්ල නොගැළපුණේ තිබුණු පරිසරය එක්කයි. චේතනාව එක්කයි. එයාගේ වයසේම දුප්පත්, අහින්සක ළමයින්ට උජාරුව පෙන්වන්න, හිටි ගමන් සපත්තු දාගෙන සෙල්ලමට බැහිමයි මට වැරදියට පෙනුණේ!

      Delete
  5. https://www.emars.lk/books/informative-reference/urumaya-9-wariga-sabhawe-wagathuga-aa1366.html

    http://dbsjeyaraj.com/dbsj/archives/32505

    Viewpoint: How the British reshaped India's caste system
    https://www.bbc.com/news/world-asia-india-48619734

    https://tinybuddha.com/blog/how-to-recover-and-find-strength-after-losing-a-parent/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay! පුරුදු විදිහටම links ටික ප්‍රයෝජනවත්. දෙවැන්න විතරක් වැඩ කළේ නැහැ බලන වෙලාවේ.

      ඉන්දියාවේ තරමටම නැතත් කුල භේදය ලංකාවෙත් තියෙනවා, වැඩ කරනවා සමහර පලාත්වල. ඒ නැතත් සමහරු පොහොසත් වෙන්න-වෙන්නත් ඉදිමෙන්න ගන්නේ ‘බ්‍රාහ්මණයන්’ වගෙයිනෙ.

      ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොත් දෙකට අනුව නම් මිනිස් සතාත් තවම කැමතියි කණ්ඩායම්වලට බෙදෙන්න. (මට නම් OBA පිස්සුවත් එහෙම දෙයක්). එතකොට කොහොමද භේද නැති වෙන්නේ? ඉතින් අපි අකමැති වුණත් ජාති- කුල භේද දිගින් දිගටම යාවි.

      අන්තිම ලින්ක් එකට ගියාම නම් කොලර් එක උස්සාගන්න හිතුණා!

      Delete
  6. Replies
    1. වුණේද? ඩ්රැකී උන්නැහේ, වෙන්න තිබිච්ච දේවල්ම තමා. ඔන්න හෙටානිද්දා බලන්නකෝ....

      Delete