අකුරු මැකී නෑ

Friday, November 22, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිපස්වෙනි කොටස

"ඔන්න මචං point එක. 
මං නං කියන්නේ මේක තමයි උඹවම තෝරාගන්න දාගෙන තියෙන කොන්දේසිය!සෝමවීර ලියුම දැකපු ගමන්ම කිව්වේ එහෙමය.

මනුස්සයා එහෙම කිව්වත්, ‘ලදුදෙ දෙමටගොඩ සේවක සුබසාධක සංගමයේ’ ටෙන්ඩර් විවෘත කෙරිල්ලෙදී කිසිම අකටයුත්තක් වුණේ නැති පාටය, මට පෙනුණේ. 

(ඒ මට මතක හැටියටය. සමහරවිට මගේ අමතකවීම මටම අවිඥානිකව සිදුවන සුදුහුණු ගාගැනීමක් වෙන්නටත් ඉඩ තිබේ.)

ලදුදෙ දෙමටගොඩ කර්මාන්ත ශාලාවේ  කැන්ටිමට කෙනෙකු තෝරාගන්නා දවසේ........
වුණේ, ලොකු තරගයක් නොතිබුණු එකය; ටෙන්ඩරය අපට ලැබුණු එකය. ගස් නැති රටක එඬරු ගහත් ගසකි.

එහි; සංගමයේ කෙරුම්කාරයා විදිහට පෙනුණේ වියපත්, කෙසඟ, ඍජු වාමාංශිකයෙකි. මට ඔහුගේ නමවත් මතක නැත; දෙමටගොඩ කැන්ටිමෙන් ආවාට පස්සේ ඒ ගුණවතා මට යළි හමුවෙලාත් නැත. එහෙම වුණත්, ඔහුත් ඇතුළුව ඒ කැන්ටින් කොමිටියේ හිටියේ රත්තරන් මිනිසුන් ටිකක් බවත් නොවලහා කියන්නෙමි. 

ඒ කිසිම කෙනෙක් කිසිම වෙලාවක, නිල-බලතල පාවිච්චි කිරීමෙන් අනිසි ප්‍රයෝජන නම් ගත්තේ නැත.

Plain Tea එකක් තරම්වත් ඒ කිසිම කෙනෙකු මුදල් නොගෙවා බිව්වේ නැත. එහෙම ඍජු, කශේරුකාවක් සහිත, හෘදය සාක්ෂියකින් යුතු, අදීන අය දැකගන්නට වාසනාව ලැබෙන්නෙත් පින් කරලා තිබෙන අයට විතරය!

“නිමල් මල්ලී, මං කුස්සියේ වැඩ ටික බලාගන්නම්. ඔයාට තමයි කැෂියර් එකේ ඉන්න වෙන්නේ.” කළු අක්කා කිව්වාය.

“කැන්ටිමක කෑමවල නෙවෙයි හොඳම කොලිටිය තියෙන්න ඕනේ. Plain Tea එකෙයි, Tea එකෙයි. ප්ලේන් ටී එකයි, ටී එකයි හරියට නැත්තං තමයි ගෝරි වැටෙන තරමක් වැටෙන්නේ. නිමල්, අපි ‘සිළුමිණ’ට දැන්වීමක් දාලා ටී මේකර් කෙනෙකුයි, කුස්සියට හෙඩ් බාස් කෙනෙකුයි ගනිමු. 
කළු අක්කේ.... ඔයාටත් උන්ගෙන් වැඩ ටිකක් අල්ලාගත්තැකි. 
ඔය ගෙදර උයන ඒවා කැන්ටින්වලට අල්ලන්නේ නැහැ.” සෝමවීර කිව්වේ පොල්ලෙන් ගහනවා වගෙය.

ඔය ගෙදර උයන විදිහට උයලා කැන්ටිමකට අල්ලන්නෙ නැහැ! 
කැන්ටිම පටන් ගන්නට කලින් වැඩ කෙරෙන්නට ඕනෑ විදිහ ගැන ඔහොම සාකච්ඡා ගොඩක් කෙරුණේය. ඒ කළු අක්කලාගේ ගෙදරදීය. 
අපේ ගෙදරදී කතා වුණේ බතික් වැඩපොළ ගැනය.

“කැන්ටිම කෙරුවය කියලා බතික් කරන එක නවත්තලා බැහැ. හයිය ඇති අත්තක් අල්ලගෙන ඉවර වෙලා මිසක්, අල්ලන් ඉන්න අත්ත අත අරින්නේ කවුද? ඉස්සෙල්ලා බලමු, මොනවද කරන්න වෙන්නේ කියලා.........” 
මගේ අදහස වුණේ ඒකය.

මේ පූර්ව සූදානමේදී විමලසිරි අයියාගෙනුත් ගොඩක් දේවල් දැනගන්නට හැකිවුණේය.

“නිමල් මල්ලී, කැන්ටිම ලොකුවට තිබුණට ලොකු බිස්නස් එකක් හිටින්නේ ඇඩ්වාන්ස් දවසටයි, පඩි දවසටයි විතරයි. උදේ හත වෙද්දී කලබලයක් තියෙයි. ආයේ එකොළහට විතර. දොළහේ ඉඳන් දෙක විතර වෙනකල් කැන්ටිමේ මැස්සෝ ඇහිරෙයි! දෙකට විතරත්.... හවස පහට ඉවරයි. කැන්ටිම වහන්න පුළුවන්.”

විමලසිරි අයියා කියූ දේවල් මට මතක විදිහටය කියන්නේ. 

ටෙන්ඩර් කමිටුවේ උදවිය නම් කිව්වේ උදේ පැය බාගයක්ද කොහෙද තේ පානයට ඉඩ ලැබෙන බවය. දහයේ සිටත්, හවස තුනේ සිටත් විනාඩි පහළොව බැගින් තේ විවේක දෙකක් තියෙන බවය.

දවල් කෑමට නං පැය බාගයක් ........... උදේ හවස තේවලට විනාඩි පහළොවේ දෙකක්.......
“දවල් කෑමට නං පැය බාගයක් .... දොළහමාරේ ඉඳලා එකට. අනෙක් වෙලාවේ කැන්ටිමේ ඉඳෙන්නේ ඔය තේ එකක් බීලා යන්න එන කෙනෙක් විතරයි.”

ඒ තොරතුරු විමලේ අයියාට කිව්වාම මනුස්සයා කළේ හිනා කන එකය. 

“නිමල් මල්ලී, ඔයා තවම ලංකාවේ කන්තෝරුවක හරි වැඩපොළක හරි වැඩ කරලා නැහැ නේද? සේරම නීති තියෙන්නෙ පොතේ. 
ඔය කියන්නේ පොතේ තියෙන විදිහ. 
කෙරෙන්නේ නැති එකනේ වැඩේ..... මං මුකුත්ම කියන්නේ නැහැ. 
ඔයාට කැමතියි නං යමු. කැන්ටිම බාරගන්න කලින් දවසක ඇවිත් වරුවක් ඉඳලා බලාගන්න.”

ඒ නුවණ ලැබෙන්නට තිබුණේ ගිවිසුම් අත්සන් කරන්න කලින්ය.

“කමක් නැහැ විමලසිරි අයියේ, දැන් ඉතින් ආයෙම වැඩේ අල්ලලා දාන්නයැ? අපි කරලම බලමුකෝ. අපිට ඕනේ අවුරුද්දක් කැන්ටිම කරලා සහතිකයක් ගන්නනේ. නේද නිමල්?” සෝමවීර අපේ මූලික අරමුණ නිතර සිහිපත් කරවමින් හිටියේ එහෙමය!

ඒ කර්මාන්ත ශාලා කිහිපයේම වුණත් වැඩ කළේ දාහකටත් අඩු සංඛ්‍යාවකි.

“ඒ ගොල්ලොන්ගෙනුත් ටික දෙනයි නිමල් මල්ලී කැන්ටිමට එන්නේ. වැඩි හරියක් පඩිය හම්බ වෙන්න ඉස්සෙල්ලා, පඩියම නැති කරගෙන ණයත් වෙන හාදයෝ!”

මීයක් කඩන්නේ අත ලෙවකන්නට විතරද කියා හිතුනත්.........
ඔහොම දේවල් කියවෙද්දී, එහෙම තැනකින් ලබාගත හැක්කේ මොනවාද? මීය කඩලා අත ලෙවකන්නටවත් ලැබේවිද? වගේ දේවල් හිතුණත්, එතකොට පරක්කු වැඩිය. 

වසර අවසානයේ, ආපසු ගෙවන තැන්පත් මුදලත් ගෙවා දමා- ගිවිසුමද අත්සන් කර තිබුණු හින්දා අපට තිබුණේ- නියමිත දවසේ කැන්ටිම බාර ගැනීම පමණකි.

“සර්, අපි දෙමටගොඩ රේල්වේ වර්ක්ෂොප් එකේ කැන්ටිම කරන්නයි යන්නේ!”

“ෂා, මරු නිමල්. එතකොට ඔයාට independently වැඩ කරගෙන යන්න පුළුවන්. මටත් ටිකක් හුස්ම ගන්න පුළුවන්, ණය ගෙවන්න වැඩි කාලයක් ඉල්ලගෙන.” 
රිකී මහත්තයා එහෙම  උත්තර දුන්නෙත් මගේ වැරැද්ද හින්දාය. 

මට තිබුණේ වහෙන් ඔරෝ නැතිව කෙලින්ම ගෙවන්නට ඇති සල්ලිවලින් කොටසක් ඉල්ලා හිටින්නටය.

“ඒ ඉතින් කැන්ටිම කරද්දිනේ සර්. මං අද ආවෙත් ඒකට වියදම් කරන්න ඕනේ නිසා සල්ලි ටිකක් ඉල්ලගන්න.”

ගෙවන්නට තිබුණු මුදලෙන් සොච්චමක් විතරය ඒ වතාවෙත් ලැබුණේ. 

ඊළඟ වතාවේ යද්දී රිකී මහත්තයලා දෙහිවල ගල්වල පාරේ ගෙදරිනුත් ගිහිල්ලා ඉවරය! මට මතක හැටියට නම් රුපියල් ලක්ෂයකටත් වැඩි මුදලක් අපට ණය ගෙවන්නටත් තිබියදීය.

මේක වුණේ අටවෙනි ජනපතිවරණයෙන් පස්සේ හෙම නෙවෙයි, හොඳේ!
ශ්‍රී ලංකාවට අලුතින්ම පත්වෙච්චි පාලක මහත්තයාට එක-එක රට රාජ්ජවලින්, එක-එක රජ-මැති-ඇමති-ජනාධිපති කට්ටියගෙන් සුබ පැතුම් ගලාගෙන ආවේය. 

ඒ වැඩි හරියක් ආරාධනා! ‘අපේ රටට සුහද චාරිකාවකට ඇවිත් යන්න!’
ඔය ආරාධනා අතරේ තිබුණා, අපායෙනුත් එකක්.

ඔන්න පොට පටලවාගන්න හෙම එපා. 
මේක වුණේ අටවෙනි ජනාධිපතිවරණයෙන් පස්සේ නෙවෙයි. හොඳේ. කාලෙකට ඉස්සර. කාගෙ කාලේදීද කියන එකත් නෙවෙයි වැදගත්, වෙච්චි දේ.

එහෙම ආරාධනාවක් ලෙහෙසියෙන්ම අහක දමන්නේ කවුද? 

අපේ ලොක්කා යම රජතුමාගේ ආරාධනයත් හරි සතුටෙන් බාරගෙන අපායේ චාරිකාවට ගියා. ඔව්, ඔව්. නෑදෑ හැත්ත-බුරුත්තත් එක්කම තමයි ගියේ. මේ වතාවේ ජනාධිපතිතුමා නං දහ දෙනාලු එක්ක යන්නේ, අවශ්‍යම අය! පස්සේ කොහොම වෙයිද දන්නෑ!!

ගිහින් බැලුවමනේ පුදුම. 
අපාය කිව්වට හැම තැනම දස වද දීම් නෑ; 
කටු ඉඹුලේ නැග්ගිලි නෑ; ලෝ දිය පෙවිලිත් නැහැ. 
නැහැ කියන්නෙ එළිපිටම හැමෝන්ටම පේන්නයි නොතිබුණේ.

කටු ඉඹුලේ නැග්ගිලි, ලෝ දිය පෙවිලි මොකවත් නැහැ වගෙයි!
පරිවාර කටයුතු භාර නිලධාරි යමයාට තේරුණා අපේ ලොක්කගේ හිතිවිලි. 

“නැහැ උතුමාණනි. ඒ ඉස්සර. අපි දැන් දඬුවම් සේරම නවීකරණය කරලා තියෙන්නේ. Computer හින්දා තවත් ලෙහෙසියි. 
සේරම කරුමක්කාරයෝ එයාලා එන රට අනුවයි ඒ ඒ අපායවලට දමන්නේ. එතකොට ඒ ඒ රටේ හැටියට දඬුවම් වුණත් දෙන්න පුළුවනි!”

“පුතා, යමුද එහෙනම් අපේ රටේ කට්ටිය බලන්න.”

“යමු සර්, ඒ යන ගමන්ම හම්බ වෙන රටවල් ගැනත් බලාගෙන යමු.”

ඔන්න දැන් කට්ටිය යනවා ලංකා අපාය හොයාගෙන. 
ඒ යන පාරේ තව රටවලට වෙන්කළ අපායවලුත් පෙනෙනවා. 

“මේ සේරම ලොකු පාතාල. පාතාල පතුලේ තමයි සේරම දඬුවම් වැඩ... කාටවත් පැනලා යන්න බැහැ. පේනවනේ මුරකාරයෝ... 24 hours ඔන් ඩියුටි.” යමයා කිව්වා

“මේ තියෙන්නේ සර්, ඔබතුමාගේ රටේ....”

ලොක්කාත් හොඳට බැලුවා. සමානාත්මතාව නම් අපායෙත් තියෙනවා. හැම රටකටම එකම වගේ වධ. එකම වගේ පාතාල. ඒත්....

ලංකාවේ අයට විශේෂ වරප්‍රසාදයක් දීපු එකට, අභිනව පාලකයා විදිහට මං යම රජතුමාට ස්තුතියක්..... 
“ඒත් අපේ රටේ අයට විතරක් විශේෂ වරප්‍රසාදයක් දීලා තියෙන එක ගැන ලංකාවේ වර්තමාන පාලකයා විදිහට මං යමරජතුමාට අතිවිශේෂ ස්තුතියක් පිරිනමන්න ඕනේ!” අපේ ලොක්කා කිව්වා.

“සමාවෙන්න උතුමාණෙනි, එහෙම දෙයක් අපෙන් කෙරිලා නැහැනේ. අපි සර්ව සාධාරණ යක්කු!”

“මොකද අයිසෙ නැත්තේ. බලනවා, අනෙක් හැම පාතාලයක්ම වටේ මුරට ඉන්නවා යමපල්ලෝ. 
අපේ රටේ පාතාලය වටේ එකෙක්වත් ඉන්නවද? 
ඉතින් ඉඳහිටවත් අපේ මිනිස්සුන්ට පැනලා යන්නනෙ යමරජතුමා මේ චාන්ස් එක දීලා තියෙන්නෙ.”

පරිවාර යමයා අමාරුවෙන් හිනාව තද කරගෙනයි උත්තර දුන්නේ. 
“Sorry Sir, තමුන්නාන්සේම බලාගන්නකෝ කිට්ටු කරලා.”

ඒ පාර අපේ ලොක්කා හොඳින් බලා හිටියා. 

ශ්‍රී ලකාවේ කරුමක්කාරයන් පුළුවන් වීරිය දාලා, බඩ ගාලා- දඟ දාලා පාතාල ගැට්ටට නඟිනවා. මොන? එච්චරම තමා.... 
ඌට යටින්- ළඟින්ම ඉන්න එකා කරන්නේ උඩින් ඉන්න එකාව ආයෙම පතුලට ඇදලා දමන එක. ඊට යටින් ඉන්න එකාත් කරන්නේ ඒක.... 
ඔන්න ශ්‍රී ලාංකේය ජාතික අනන්‍යතාව.

උඩට යන්න හදන එකාව දෙපයින්ම ඇදලා, පතුලටම දැමිල්ල තමයි සිරි ලංකා අනන්‍යතාව!
ඔය කතාව මතක් වුණේ, රිකී මහත්තයලා අතුරුදහන් වුණු බව දැනගත් මොහොතේ මට දාර තිගැස්සුමක් ඇති වෙනවාත් එක්කම වුණු දෙයකින්.

“මොකෝ මහත්තයා.... රිකී මහත්තයා ගනුදෙනුවක්වත්...."
"බය වෙන්න එපා. මිනිහා ගියේ රාවතාවත්තට.... එහාට ගිහින් අල්ලගන්න තියෙන්නේ බෙල්ලෙන්ම. මෙහෙමයි යන්න ඕනේ.....”

ගල්වල පාරේ වැසියන් දෙතුන් දෙනෙක් එකතුවී, full භක්තියෙන් යුතුව රිකී මහත්තයාගේ අලුත් නිවහනට යන පාර මට කියා දුන්නෝය! 

ඇවිත් පාර පෙන්වන්නැයි, ඒ වෙලාවේ මං කිව්වා නම්- එයාලා ඒකත් කරන තරමටම කරුණාවන්තවය හිටියේ. වංහුං අහගත්තත්, පාර මතක තියාගත්තත් එදාම එහි යන්නට මට හිත දුන්නේ නැත.

ඇත්තම කිව්වොත් මාත් හිටියේ කම්පනයෙනි. 
‘දැන් නං ඉතින් හුප්පේ තමා.’ හිත කොඳුරන්නට පටන් ගෙනය. 
‘පොඩි ගණනක්ද?’

උපන් ගතියද, මගේ කසිලි-බිසිලි ගතිය හින්දාද මන්දා, මට එක තැන පල්වීම අරහංය; ප්‍රශ්නයක් ආවාමත් එහෙමය. 

ඉතින්, රිකී මහත්තයාගේ අතුරුදහන් වීම සදහටමද, එයාව හොයාගන්නට හැකි වේවිද, ලැබෙන්නට තියෙන සල්ලි කන්දරාවට මොකද වෙන්නේ කියන සේරම හිතේ පැත්තක තියාගෙනම කැන්ටිමට හිත යෙදුවෙමි.

කළු අක්කේ, හෙණ අවුලක් වෙලයි තියෙන්නේ.......
 “කළු අක්කේ, මෙහෙම වැඩක් වෙලයි තියෙන්නේ. බොහොම පරෙස්සමින් තමයි පිරිමහගෙන වැඩ ටික කරන්න වෙන්නේ.” මම සේරම කතන්දරය කීවෙමි.

“නිමල් මල්ලිට මාත් මුලදීම කිව්වා තමයි, සල්ලි පැත්තෙන් වැඩි බරක් දාන්න බැරි විත්තිය. ඒත් දැන් මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳාගන්න එපැයි. මං ෆාදර්ව හම්බවෙලා බලන්නම්කෝ.” 
ඒ කිව්වේ බොරැල්ලේ වෙස්ලි විද්‍යාලයේ පියතුමෙකු ගැනය. 

ඒ දිනවල කළු අක්කා වෙස්ලි විදුහලේ නේවාසිකාගාරයට අවශ්‍ය එළවලු සපයමින් හිටියාය. “මාසේ අන්තිමටයි සල්ලි හම්බ වෙන්නේ, එකතු කරලා. කලින් ටිකක් ඉල්ලාගෙන රෝල ගහමු මල්ලී.”

ඊළඟ ආත්මයේ පිරිමියෙකු වෙන්නට පතමින් හිටි කළු අක්කා, ප්‍රශ්නයක් අබියසදී මේ ආත්මයේදීත් පෙන්නුවේ පිරිමි ගතිය. 

ගැටලුවක් වුණා නම් ගැටලුව වුණේ එයාට හිතේ හැටියට දුවන්නට- පනින්නට කඩිසරව එහා-මෙහා යන්නට බැරි වීමය. ඒ එතුමියගේ බරපතළ ශරීර කූඩුව හින්දාය. තරමක් මිටිකම නිසා ඇයගේ මහත තවත් වැඩිවෙලාය පෙනුණේ.

මගේ ගණිත-මිණිත හැකියාව ගැන මං හිටියේ අධි තක්සේරුවකින් බව...........
මගේ ගණිත-මිණිත හැකියාවත් මටම පෙනිලා තිබුණේ, ඒ වගේම වැඩිවෙලාය. මනෝමයෙන් පොඩි-පොඩි ගණන් කිහිපයක් එකතු කරගන්නට, අඩු කරගන්නට පුළුවන් වීම කැන්ටිමේ කැෂියර් වැඩේට ඇති බවය- මං තක්සේරු කරගෙන හිටියේ. 
ඒක ඇති තමා, වෙන වෙලාවක නම්!

ඒත් දවස ගණනේ ගෙන්දගම් පොළොව පාගන ලදුදෙ වැඩපොළේ රට කාලා හිටි අයියණ්ඩිලාගේ කෙරුම් ගැන කිසිම තක්සේරුවක් මට තිබුණේ නැත. 
මට තියා විමලසිරි අයියාටවත්; සෝමවීරටවත්. කැන්ටින් කොමිටියේම  අයටවත්...... 

එයාලා නම් දැනගෙන නොකියා හිටියා වෙන්නත් ඉඩ තිබේ. 

එතකොට සහමුලින්ම අමුත්තන් වුණු අපට වඩා, එකම වැඩපොළේ සගයන් එයාලට ලොකු වුණා වෙන්නටත් ඇති. ඒකෙ වැරැද්දකුත් නැහැනේ.

කැන්ටිම අරින්නට තිබුණේ හයහමාරටද හතටද කියලා නම් මතක නැත. ඒ වෙද්දී දොරෙන් පිටත පොදිකමින් හිටි පිරිස නම්... 

'හිත හොඳ මිනිහෙක්' රිලීස් කෙරෙන දවසෙත් ගැලරි පෝලිමේ ගහ-මරාගත්තේ, පොර කෑවේ මේ විදිහටය....
ඉස්සර ගාමිණී ෆොන්සේකා රඟන ‘සූරයා’ චිත්‍රපටයක් රිලීස් වෙන දවසේ ගැලරි පෝලිම ළඟ මරාගන්නා පිරිස වගෙය.

“මේ මොකද නිමල් මල්ලි මේ? මුං හත් දවසක් තිස්සේ නොකා-නොබී ඉඳලද?” 
කළු අක්කා කිව්වාය.

“මොකද මචං මේ?” සෝමවීරත් ඇහුවේය.

“රංජි අයියේ.... පේනවද ගේට්ටුවෙන් ඇතුළුවෙන අයත් දුව-දුවා එනවා.....” පැපිලියානේ රන්ජිතුත් කිව්වේය. 
සුනිලුත් එක්ක සයිකල් රේස් පදිමින් හිටි රංජි, අපේ සුමනා පුංචිගේ පුත් මහතුන්ගේ මිතුරෙකි; මට හමුවී ඇති යකාටවත් බය නැති මිනිසුන්ගෙන් එක්කෙනෙකි! 
“මුං මොකක් හරි අංචියකටයි මේ ලෑස්ති වෙන්නේ, කතාවෙලා වගේ. සෝමේ අයියේ.... නරකද තව කට්ටිය වැඩිවෙන්න ඉස්සෙල්ලා දොරවල් ඇරියොත්!” 

“ඒකත් හරි මචං. නිමල් මොකද කියන්නේ?”
“ඇරහං!”

දෙමටගොඩ ඒ කැන්ටිමේ කෑම මිලදී ගන්නට එන අය පෝලිමක පැමිණිය යුතුය. 
ඒ සඳහා රවුම් යකඩ බම්බු දෙකක් එහා කොනේ හිට මෙහා කොනටම සවි කොට තිබිණි. කලින් වතාවක එහාට ගිය වෙලෙත්, එහෙම එන අය මට පෙනිණි. එදා.....

වික්ටෝරියාවේ වාන් දමනවා වගේ ඒ මාර පුත්‍රයොත් ...........
රංජිගෙ නුවණ හින්දාම තවත් කට්ටිය එකතු වෙන්නට කලින් දොරවල් දෙක ඇරියත්, හිටි මාර සෙනඟ පොදිය එක පොකුරට ඇතුළට කඩා පැන්නේ වාන් දොරටුවක් ඇරියා වගේ, මහා සද්දයකුත් නඟමිනි; නැති කලබලයක් මවා පෙන්වමිනි; 

පිරිසක් යකඩ බම්බු දෙක මැදින් එද්දී, තවත් කට්ටියක් අරහෙන්-එහෙන්-මෙහෙන් රුපියල් සීයේ, පනහේ නෝට්ටු දික් කරමින් අරවා-මේවා ඉල්ලන්නට පටන් ගත්තේ ලෝකාවසානය ළඟා වෙනවා වගෙය!

ඒ මදිවාට මහා කලබලයකින් ප්ලේන්ටියක් ඉල්ලන එකාත් දික් කරන්නේ සීයේ නෝට්ටුවකි!

ඇත්තම කියනවා නම් මං විතරක් නොවේ, එවෙලේ අපේ හැමෝම හිටියේ මදිය නොකියන්නම බිරන්තට්ටු වෙලාය.

10 comments:

  1. අපායෙ ලංකාවෙ සෙක්ෂන් එක වටේට සිකියුරිටි පල්ලො දාන්න ඕන නැති හින්ද උංට පඩි ගෙවන්න ඉතිරිවෙන ගානෙන් අපේ සෙට් එකට බෝනස් දෙනවලුනෙ. හැක්..

    මං මේ කල්පනා කළේ අපේ ඉස්කෝලෙ කැන්ටිම කරපු හීන්මහත්තය මාම කොහොමද කොල්ලො ටික මොන පෝළිමක්වත් නැතුව පොදි කකා ඉල්ලද්දි ගානට ගණුදෙනු කළේ කියල.

    ReplyDelete
    Replies
    1. මේකනෙ ප්‍රසන්න. ළමයි සේරම කතාවෙලා ප්ලෑන් එහෙකට අනුව පොදි කනවා නෙවෙයිනේ.

      Delete
  2. This remind me our school canteen and eating 'Paan kalai, kutlet ekai, Plain tea ekai.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විජේබාහු මහත්තයෝ.
      ඒවා තමා ඉමිහිරි මතක. ඉස්කෝලේ කැන්ටිම කියද්දී මගේ ජීවිතයයේ අමරණීය සිහිවටනයක් ගැන ලිව්වා. 2018 ජුලි මාසයේ. ගොඩක් පරණ පෝස්ටුවක. මට වැදගත් වුණාට ඔබතුමාලා වගේ අයට වැදගත් වෙන්නේ නැහැනේ ඔව්වා මතක තියාගෙන ඉන්න.

      වෙලාව තියෙ නම් මෙතනට ගිහින් බලන්නකෝ!
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_28.html

      Delete
  3. අර රිකී මාටිංව අල්ලගත්තෙ නැද්ද ඉතිං? ඒ අතිං තමුන්නැහැත් මං වගෙයි කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩ්රැකී, පුළුවන්කමක් තියෙනව නං මිනිස්සු ගොඩ දෙනා බොරුකාරයෝවත්, ණයකාරයෝවත් වෙන්නේ නැහැ. ඒ තත්ත්වෙට වැටුනම තමා සේරම කෙරෙන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ව මරාගෙන කන්නය.

      රිකී මහත්තයත් එහෙමම වෙන්නැති. රාවතාවත්තට ගියා හොයාගෙන. ඒ යද්දී එයා ගිහින්..... ලබන පාර කොටසේදී කියන දෙයක් දැන් කියල හරි යනවය?

      සොරි වෙන්න ඕනේ!

      Delete
  4. //Plain Tea එකක් තරම්වත් ඒ කිසිම කෙනෙකු මුදල් නොගෙවා බිව්වේ නැත. එහෙම ඍජු, කශේරුකාවක් සහිත, හෘදය සාක්ෂියකින් යුතු, අදීන අය දැකගන්නට වාසනාව ලැබෙන්නෙත් පින් කරලා තිබෙන අයට විතරය!// එහෙම මිනිස්සුත් හිටිය එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට වැදුණු කාරණයත් ඒකමයි..... හැබැයි එහෙම මනුස්සයෙකුගේ පුතෙක් කොච්චර අජුතද කියලත් ඉස්සරහට කියන්න තියෙනවා....

      Delete