Saturday, November 2, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිතුන්වෙනි කොටස

දහයට විතර.... ඔව්. දහයට විතර ග්‍රහයා මාරු වුණා වෙන්නැතිය!

කවදාවත් දැකලා නැති දෙන්නෙක් අපේ ගෙදරට.............
කවදාවත්ම දැකලාවත් නැති දෙන්නෙකු අපේ ගෙදරට සම්ප්‍රාප්ත වුණේ ඒ වේලාවේය. 

තරමක් අව පැහැති, උස; උසේ තරමට මහත, අවුරුදු හතලිහක විතර කෙනා ‘ලොක්කා’ බව බැලූ බැල්මටම පෙනිණි. අනෙකා රියදුරා හෝ දෙවෙනියෙකු වගෙය පෙනුණේ. ලොක්කා අතේ සිගරැට් පැකට්ටුවක් හා ලයිටරයකි.

ඒ අතරේම මගේ ඇහැ ගියේ එයාගේ බෙල්ලේ- අතේ තිබුණු රත්තරන් කඹවලටය!

නමුත් ඒ මනුස්සයා ගෙදර හිටි ගමන්ම ආවා වගෙය පෙනුණේ. කලිසම කමිසය දෙකම ලකේකට නැත. දාගෙන හිටියෙත් සෙරෙප්පු ජෝඩුවකි.

“අපේ මහත්තයට බතික් ටිකක් ගන්න ඕනේ..... මොනවද තියෙන්නේ?” දෙවෙනියාය කතා කළේ.

සර්ලා බලන්නේ බතික් රෙදිද වෝල්හැඟින්ස්ද?
“වාඩිවෙන්න සර්, බතික් රෙදිද නැත්තං වෝල්හැඟින්ස්ද මහත්තයලා බලන්නේ..... ඕන එකක් තියෙනවා......”

“බලමු wall hangings........” 

උරමින් හිටි සිගරැට්ටුවෙන්ම තව එකක් පත්තු කරගනිමින් ලොක්කා කිව්වේය. මනුස්සයා chain smoker කෙනෙකි. “අපිට ඕනේ cotton ඒවා විතරයි..... වෙන රෙදිවලින් කරපුවා හරියන්නෙ නැහැ! හොඳ ඩයි ජාතිද use කරන්නේ?”

“වෝල්හැඟින්ස් සේරම කරලා තියෙන්නේ බ්ලූ ලයින් හරි තුල්ටෙක්ස් හරි පොප්ලින්වලින්.... මර්සරයිස්ඩ් රෙද්දෙන්..... නැප්තොල්, නැප්තනිලයිඩ්, වැට් තමයි අපි පාවිච්චි කරන්නේ.”

විස්තර කියන ගමන්ම, අල්මාරියේ පැත්තක් පුරවා තිබුණු බිත්ති සැරසිලි තොගයම මම මේසය මතට දැම්මෙමි.

හැම එකක්ම දිග ඇරගෙන- දිග ඇරගෙන පැත්තකින් එක ගොඩකට දමද්දී නම් මගේ බඩ-පපුව දාලා ගිය බව ඇත්තය. එහෙම දාන්නට එපා කියන්නටත් බැරිය. හොඳින් මැදලා, නවලා අඩුක්කොට තියෙන ඒවා මෙහෙම දැම්මාම පොඩිවෙයි; ආයෙත් මදින්නට වෙයි.

තොගයක්ම දිග ඇරලා එක ගොඩකට දැමුවාට පස්සෙය මනුස්සයා නැවැත්තුවේ. “මේ ගොඩේ තියෙන ඒවා කීය ගණනේද දෙන්නේ?”

මේ මනුස්සයා මොන ජාතියේ කෙනෙක්ද?
පිස්සන් කොටුවෙන් ආ මනුස්සයෙක්ද මේ?

බතික් ගැන යාන්තං හරි අවබෝධයක් තියෙන කෙනෙකු නම් බිත්ති සැරසිලිවල මිල තොග ගණනට අහන්නේ නැත. එකම ප්‍රමාණයක බිත්ති සැරසිලි දෙකක් වුණත් මිල වෙනස්ය. ඒවා නිපදවන්නට (wax කරන්නට) යන කාලවෙලාවත්, යොදා ඇති වර්ණ සංඛ්‍යාවත් අනුවය මිල තීරණය වෙන්නේ......

“මහත්තයා.... මේවා එකම සයිස් වගේ වුණාට මේ වගේ.... dotsවලින්ම කරපු එකක ගණන....”

“මං දන්නවා, මං දන්නවා. මොකක්ද ඔයාගේ නම කිව්වේ?”

මටත් කලින් උත්තර දුන්නේ දෙවෙනියාය. “සර් මෙයා නිමල්....”

“නිමල්.... මෙහෙම කරමු. මං සාධාරණ මනුස්සයෙක්..... 
මට තේරෙනවා.... ඉතින් මේ ගොඩෙන් හොඳටම expensive ඒවා අයින් කරලා බලලා අනික් තොගේටම ගණනක් කියන්න. 
ගණන් වැඩි ඒවා නැති වුණාට කමක් නැහැ. 
මං ready cash දෙනවා.... දැන්! 
මට වටිනා ගානකට දෙනවා නම්.... ඒ විතරක් නෙවෙයි, මේ ටික මගේ බයර්ට ඇල්ලුවොත් මං නිමල්ට ලොකු ඕඩර්ස් ටිකකුත් දෙන්නම්!”

මාව නිකම් කරකවලා-කරකවලා අත්හැරියා වගෙය!
මං හිටියේ මොකුත්ම හිතාගන්නට බැරිවය. කරකවලා; මදිය නොකියන්නම කරකවලා අතෑරියා වගෙය.

ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පිං අයිති වෙච්චාවේ; නිවන් දැකපුවාවේ. මෙහෙම ගොඩගහලා; තොගේට අරගෙන මේවා විකුණන්නට යන්නේ කාටද? 
විකුණන්න යන්නෙත් තොග ගණනේද? 
ගන්න මනුස්සයාට කොට්ට උර මහගන්නද? හිතේ දාහක් ප්‍රශ්නය.

ඒ අස්සේ ගෙදර සන්තකේටම තියෙන ‘රුපියල් දෙකේ කොළ දහයත්’ ඇස් ඉදිරිපිට රඟදෙයි.

වෝල්හැඟින්ස් එකින්-එක පැත්තකට දමමින් මම මනෝමයෙන් ගණන් හදන්නට වීමි.....

මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයාගේ 
ගණිත ගැටේ’ට මං අහුවුණේ පස්සේ කාලෙකය. 

මහා ගණිතඥ රාමනුජන් උන්නැහේ ගැන දැනගත්තේ ඊටත් පස්සෙය. මේ ඊටත් කලින්ය. ගණිතයට දුර්වල වුණත්, මට පොඩි ගණනක් දෙකක් මනෝමයෙන් එකතු කරගන්නට පුළුවන්ය. අදටත් එහෙමය! 

මොබයිල් ෆෝන් එකට හෝ කැල්කියුලේටරයට ඇබ්බැහි නොවීමේ වාසිය............
කැල්කියුලේටරයට හෝ මොබයිල් ෆෝන් එකට හෝ ඇබ්බැහි නොවීමේ එක වාසියකි ඒ! තාක්ෂණයටම වහල් වීමෙන් මිනිස් මහිම ගොඩාරියක් යටපත්වී යනවා වගෙය. මනුස්සකමට වෙන්නෙත් ඒ ටිකම නේද?

‘අම්මට සිරි! පොඩි නැහැනේ....’ මටම පුදුමය.

අර මහත්තයා කියූ විදියට තේරූ ඒ බිත්ති සැරසිලි තොගයේ මිල එකතු කර බැලුවාම දහදාහටත් වැඩිය. 

ඒ ගණන කිව්වාම නම් ඔහු කල්පනාවට වැටුණේය!

“දවසකට කස්ටමස්ලා දෙන්නෙක් ආවොත් රුපියල් 50,000 ක් ගන්න පුළුවන්. මගේ ටාර්ගට් එක සතියකට රු. ලක්ෂ 3ක්. 
හැම දවසෙම එහෙම නෑ. 

-මාසෙකට කොහොමත් ලක්ෂ 15කට වඩා හොයනවා. 

-මම මේ ඉන්න flat එකට ලක්ෂයක් විතර ගෙවනවා. මේ ජොබ් එක කරනකොට පිළිවෙලට ලස්සනට ඉන්න ඕනි. අනික මම සමාජයෙ ගනුදෙනු කරන පිරිස අනුවයි වැඩ ලැබෙන්නේ. මම ප්‍රතිපත්තියක් විදිහට සාමාන්‍ය තැන්වලට යන්නේ නෑ. 

-ඒ වගේම එකම කෙනෙක් දෙවරක් ආශ්‍රය කරන්නෙත් නෑ”.

මං එකම කෙනෙක් දෙවරක් ඇසුරු කරන්නෙත් නැහැ!
ඈත පිටිසර පලාතකින් ජනමාධ්‍යවේදිනියක් වෙන්න හිතාගෙන කොළඹට ආපු තරුණියකුයි මෙහෙම කියල තිබුණේ. 
ඇය තවම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවාය කියලත් 2019 ඔක්තෝබර් 9 වෙනිදා publish කරපු ඒ පෝස්ටුවේ තිබුණා.

පිරිමින්ගේ ලිංගික අසහනය ගැන ඇගේ අත්දැකීම් ගොඩකුත් ඒ ලිපියෙම අඩංගුයි. 

මේ කතාව ඇත්තමද? අතිශයෝක්තිය පැත්තකට කළත්, තාර බරට 50%ක්ම අයින් කළත් පෙනෙන්නේ ‘ලිංගික ශ්‍රම වෙළෙඳාම’ට තියෙන තැන!

ඔය අටුවාව කිව්වේ එදා ඉටු දෙවියෙකු වාගේ, අපේ බතික් තොගයක් ගන්නට පැමිණි මහත්තයාගේ නම කියන්නට බැරි නිසාය. 
එහෙම වෙන්නේ ඒ මහත්තයාත් මෙවැනි ‘ ශරීර මාංශ වෙළෙන්දියකගේ පාශයකට අහුවෙලා හිටි’ බැවිනි. 

එය අපටත් බලපෑ බැවිනි.

සෝමවීර සේනානායක මහත්තයාගේ ‘මැණික් නදිය ගලා බසී’ පොත කියවලා තියෙනවාද?

ඒකෙන් හැදුව ටෙලිය නරඹලා තියෙනවා නං ඒත් ඇතිය. එහිත් මැණිකක් ලැබී හදිසියේ පොහොසත් වෙන්නෙකුට මෙවන් විපත්තියක් සිදුවෙන හැටි අපූරුවට විස්තර වෙයි. 

අලුත් මුදලාලි film එකක් හදන්නට යයි. නිළියට වහවැටෙයි.... ටෙලියෙදී, ඉහළ පැලැන්තියේ අය හා ඇසුරට වැටෙන මැණික් මුදලාලිගේ බිරිය (ඒ චරිතය රඟපෑවේ රම්‍යා වනිගසේකරය.) ‘අපි ක්‍රොකඩයිල් කරි කෑවා!’ කියන දර්ශනය මට තවමත් මතකය.

මේ නවකතාවට පාදක වුණේ සත්‍ය අත්දැකීම් වෙන්නට........
මැණික් නදිය ලියවෙන්නට ඇත්තෙත් පත්තරකාරයෙකු වුණු සෝමවීර මහත්තයා ඇහුව-දුටුව දේවල් අනුව වෙන්නැතිය.

ඒ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැත. 
ප්‍රවෘත්ති ගැන update වෙන අයට මේවා ගැන විස්තර ඕනෑම නැතිය. 

එදාත්, අදත් නිළියක් කිව්වාම සමහර පිරිමින් හිතන්නේ පුදුමාකාර ලෙසකට වගෙය. එයාලාට අමුතුම මොනවාදෝ තියෙනවා වෙන්නටත් ඉඩ තියෙයි. 
අපේ මහත්තයාත් එහෙම හිතන MKR කෙනෙකු වී හිටි කෙනෙකි. චිත්‍රපට නිෂ්පාදකයෙකි!

ඒ මහත්තයා චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. 

ෆිලුමේ නමට අකුරු දෙකකි. ප්‍රධාන නිළියගේ නමට කොටස් තුනකි. මුල්ම කොටසට අකුරු තුනකි. ඇයගේ ඥාති දියණියකුත් දැන් රටම දන්නා නිළියකි.

“අපේ සර් නට්ටං වුණේ චිත්තරපටි කෙරුවාවට ගිහින්. අර ගෑනි මෙයාව හූරගෙනම කෑවා! වාසනාවට සර්ගේ පවුල නොකැඩී බේරුණේ.” 
පස්සේ දවසක දෙවෙනියා මා එක්කලා කිව්වේ නිළියට සාප කරමිනි. 

එහෙමය මගේ මඩිස්සලේට මේ තොරතුරු එක්කාසු වුණේ.

ඒ නිළිය ප්‍රධාන චරිත දෙකක් විතරය රඟපෑවේ.........
ඒ නිළිය ප්‍රධාන චරිතයට හිටියේ චිත්‍රපට දෙකක විතරක්ය කියලා මගේ මතකය කියයි. 

හැබැයි, ඇයගේ අමුතුම ලස්සනක්; අමුතුම පෙනුමක්; අමුතුම සුන්දරත්වයක් මේ කොටන මටත් පෙනුණේය. මං කිව්වේ චිත්‍රපටවලින්. මට ඇයව හැබැහින් මුණ ගැහිලා තියෙනවාට හෙම නොවේ.

ඔන්නොය කරුණු හින්දා දිගටම ඒ මහත්තයාගේ නම හංගලා ‘රිකී’ කියල බොරු නමක්වත් දෙමු.

රිකී මහත්තයා වැඩිපුර හෙට්ටු කළේ නැත. 
ඒත් ගණනක් අඩු කළේය. 
රුපියල් හත්-අට දාහක් දුන්නේය. “මං මෙච්චර සල්ලි ගෙනාවේ නැහැ. චෙක් එකක් දෙන්න පුළුවන්. නිමල්ට එකවුන්ට් එකක් තියෙනවද?”

“නැහැනෙ සර්!’’

“හරි. මේ ගානට විතරක් වෝල්හැඟින්ස් ටිකක් දෙන්න. 
අදම ඇවිත් ණයට රෙදි ඉල්ලන්න පුළුවන්යැ. මෙන්න මගේ visiting card එක. දෙහිවලනේ..... මේ ඉතිරි ටික එහාට අරන් එන්න හෙට උදේට ..... 
මං බැංකුවට ගිහින් සල්ලි ගෙනත් තියන්නම්. 
මේ ඉතිරි ටික ගෙනත් දීලා සල්ලි ගන්න.... එහෙම කරමු, නේද?” 

රිකී මහත්තයා ගෙදරට එන පාරත් මට කියා දුන්නේය.

කොහෙන් කඩාපාත් වෙච්ච මොන ජාතියේ මනුස්සයෙක්ද මේ?
ඔවුන් පිටත්ව ගිහින් සෑහෙන වෙලාවක් යන තුරුමත් මට සිහි එලවා ගන්නට බැරිවුණු බව කිව යුතුමය.

‘කවුද මේ මනුස්සයාව එව්වේ? කාගෙන් අහගෙනද ආවේ?’ 
මට ඇතිවුණු ලොකුම ප්‍රශ්නයයි. ‘මෙහෙම බතික් ගෙනිහින් විකුණන්නේ කාටද?’ ඒකත් වැදගත්ය. 

ඒවා කොහොම වෙතත්, මැරෙන්න යන කෙනෙකුට ‘සේලයින් දියර’ එන්නත් කළා වගේ වැඩකි, එදා වුණේ. ‘හෙට උදේට ගිහින් බලමුකො, මොකද වෙන්නෙ කියලා.’

මොනවා වෙන්නද? 

රිකී මහත්තයලා හිටි ගෙදර හොයාගැනීම අමාරු වුණේ නැත. 

ඒ පළාතේ හැමෝම එයාව දැනගෙන සිටියෝය. “අර චිත්‍රපටිය හදපු මහත්තයා නේද?” දෙහිවල, ගල්වල පාරේ කෙනෙකුගෙන් පාර ඇහුවාම මගෙනුත් ප්‍රශ්නයක් අහලය, උත්තර දුන්නේ.

කියූ විදිහටම රිකී මහත්තයා ඉතිරි බිත්ති සැරසිලි ටිකත් අරගෙන ගනුදෙනු බේරුවේය. 

ඊළඟ සතියෙම ඇවිත් තව තොගයකුත් මිලදී ගත්තේය. එදා, එයාලා ඒවා තෝරන වෙලාවේය, මට යමක් ‘click’ වුණේ. 

‘මෙයා වැඩියෙන්ම තෝරන ඒවා සේරම එකම සයිස් එකකට කිට්ටුවෙන් යන ඒවා. එක්කෝ ඒවගේ දෙගුණයක් ලොකු ඒවා....’

ඊළඟ සතියෙත් ඇවිත් බතික් තෝරන අතරේය මගේ මීටරයට...........
එහෙම වුණත් ප්‍රහේලිකාව විසඳාගන්නට ලැබුණේ නැත. මං ඒවා අහන්නට ගියෙත් නැත. වැදගත්ම දේ තව කාලයක්ම බතික් වැඩපොළ පවත්වාගෙන යන්නට ඉඩක් පෑදුණු එකනේ!

එහෙම කරගෙන යන අතරේ වරින්-වර කොළඹ හා මහනුවර සාප්පුවලට සුනිල්ව යවා බැලුවෙමි. ඒ අපේ බතික් විකිණිලාදැයි බලන්නටය. 
ඒ කවුරුන්වත් සේරම මුදල් එකවර ගෙව්වේ නැත. 
විකිණෙන විදිහටය ගෙව්වේ.

බෙන්තොටට නම් යන්නට වුණේ මටමය. 
සිරිසේන මුදලාලිට සුනිල්ව දිරවන්නේ නැති හින්දා මං නොයා වෙන මොනවා කරන්නද?

“අයියේ.... මාර වැඩක්නේ.... අපේ බතික් කොටුවෙ ලක්සලේ තියෙනවනේ.” 
කොළඹ Gem සෙන්ටර් එකට ගිය දවසක සුනිල් කියාගෙන ආවේය. 

“ඒ කොහොමද? උන්ට අපේ ඒවා කොලිටි මදිය කිව්වා නේද?”
“ඒක තමයි ලොකා මාත් හිතුවේ.”

“තමුසෙට හොඳටම ෂුවර්ද ඒ අපේ ඒවාමය කියලා?” 

එහෙම ඇහුවාම නම් සුන්නා ඇඹරුණේය. “කොයිකටත් මමම ගිහින් බලාගෙන එන්නම්කෝ.”

හරි නේන්නං, මේ තියෙන්නේ සාප්පුව පුරාම....
අද වගේ කාලයක නම් මට ඒ ගමන නොයැවෙනවා ඒකාන්තය. මහරගම සිට පිටකොටුවට යන්නට දැන් පැයක්-එකහමාරක්වත් ගතවෙනවාමය. 
ඉස්සර බස් අඩු වුණත් ගතවෙන වෙලාවත් අඩුය. 
එකම තැන ලැගගෙන ඉන්නට වෙන්නෙත් නැත. ඒ නිසා වෙන්නට ඇතිය, මට කොටුවේ ලක්සලට යැවුණේ.

‘හරි නේන්නං!’ සුනිල් කිව්වා හරිය. 
ඒ අපේ බතික්ය. 

මම ලක්සලේ ඇතුළටත් ගියෙමි. ‘මේ තියෙන්නේ......’

ඒවා වැඩිම හරියක් තිබුණේ බිත්ති සැරසිලි විදිහට නොවේ. 
රිකී මහත්තයා ඒවාට නව මුහුණුවරක් දීලාය. Lamp Shades! 
විදුලි පහන් ආවරණ තියා විදුලියවත් නැති ගෙවල්වල හිටි අප ළිං ගෙම්බන් වගෙය. එහෙම අයිඩියාවක් අපට එන්නේ කොයින්ද? 

ලෑම්ප් ෂේඩ්ස් බලන්න ලස්සනය. යට කොනට ටසලුත් අල්ලලාය. දැන් නම් ටස්ල් කොතැනත් තිබෙයි. එතකොට එහෙම දේවල් දකින එකත් අමාරුය.

ඒ සේරටම හරියන්නට මිලකි ඒවාට තිබුණෙත්!

රිකී මහත්තයාට ලොකුම ඉල්ලමක් පෑදිලා තිබුණු පාටය!
පසුව දැනගත් විදිහට රිකී මහත්තයාටත් ලොකු ඉල්ලමක් පෑදිලාය. ඉල්ලමේ තරම කිව්වොත් අපේ අල්මාරියේ තිබුණු, lamp shadesවලට ගැළපෙන ප්‍රමාණයේ බිත්ති සැරසිලි සේරමත් මදිය. 

එතකොට රිකී මහත්තයාම අවශ්‍ය size එක කිව්වාත් එක්කය. 

“නිමල්, මේ සයිස් එකට කොච්චර හැදුවත් මං ඒ සේරම ගන්නවා.... ඔය dotsවලින් හදන සඳකඩ පහන, ඉසුරුමුණි යුවල, Kandy පෙරහර වගේ ඒවා කර-කර ඉන්න ඕනේ නැහැ..... අඩු ගණනකට දෙන්න පුළුවන් තරමට විතරක් මහන්සි වුණාම ඇති!”

නිමල් දිසානායකත් පට්ට මෝඩයෙක් වුණේ එතකොටය! 
ඒ බව වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනලා ගිහිනුත් ඉවරය!

අපි වඩාත් සූක්ෂ්ම සැරසිලි වෙනුවට තරමක් ඉක්මනින් කළ හැකි බතික් සැරසිලි නිපදවන්නට වීමු.

අපි ලහි-ලහියේ තත්ත්වයෙන් එතරම්ම හොඳ නොවුණු ..............
එය ලාභදායීය; පහසුය; ඉක්මන්ය. 
වැඩ කරන ළමයින්ටත් ලෙහෙසිය. 
වැඩියෙන් නිපදවා වැඩියෙන් හම්බ කරගන්නට හැකි වුණේය. 

එහෙම කරද්දී රිකී මහත්තයාගෙන් ලැබෙන්නට තිබුණු මුදල්; හිඟ මුදල් ප්‍රමාණය ඉහළ යන්නට වුණේය.....

ඉතින් එහෙම ඉහළ යන අතරේ...............

18 comments:

  1. රිකී මහත්තය වලේ වැටුනට පස්සෙ වෙන්න ඇති බිස්නස් අයිඩියාස් ආවෙ. කොහොම හරි බතික් වැඩපොල වැහෙන්නැතිවෙන්න වැඩේ සිද්ද උන එකම මදැයි.

    මේ වෙලාවෙනං මාත් බලාගෙන ඉන්නෙ ‍ඔහොම ඉටු දෙයියෙක් ඇවිල්ල අපිව ගොඩ දානකල් තමයි.

    ReplyDelete
    Replies
    1. අඩේ,බෝව ගොඩ ගන්නනං අහිකුන්ටිකයෙක්ටම කියල බලන්න වෙනවා

      Delete
    2. හූ... හූ...!! මං කියන්න ඕනෙ එක මගෙ අතිජාතය කියලා, මටත් වඩා හොඳට. කට ඇරහං සිරෝ පරණ පොතක් ඔබන්ඩ...

      Delete
    3. ඇයි දැන් උඹ පොත් ඔබන්නෙ. පරණ පුස්ලෝඩං ඉවර වෙලාද?

      Delete
    4. ඔබන්ඩ ඕනෙ ඌට රහ වැටෙන දෙයක්. බොලාට පරණ පුස්ලෝඩං රහ වුනාට සිරාට රහ පරණ පොත්...

      Delete
  2. //එදාත්, අදත් නිළියක් කිව්වාම
    ඕවා ඔහොම තමයි නිදි,සුනිල් ටී කීවේ වරක් එයා ක්ෂේත්‍රයට ගෙනාපු නිලියෝ පළමු චිත්තර පටිය ඉවරවෙද්දී කාර් අරගෙන යනවා බලන්න ආසයි කියලා.
    //සෝමවීර මහත්තයා ඇහුව-දුටුව දේවල් අනුව
    සුරසේනත් එහෙම දැක්ක චරිතයක් කියනවා.කතා බීජය මුද්දරයක පිටිපස්සේ ලියන්න පුළුවන් තරම් පොඩි වෙන්නත් ඇහැකිය කියලා එතුමා කියා තියේ

    ReplyDelete
    Replies
    1. ඉතා වටිනා සිහිපත් කිරීමක් සිරිබිරිස් උන්නැහේ!

      Delete
  3. ලොකා ඔය ආවේ ටිකක් අවපැහැ මනුස්සයෙක් කිව්වා නේද? ඔය කියන විදිහට නං ඇග පුරා කැලැල් හදා ගත්තේ ඔය කාලේ වෙන්ඩ ඕන...එහෙම මනුස්සයෙක් ගැන ජ්‍යොතිශ්ශාස්ත්‍රයේත් කියවෙනවනවනෙ...මනුස්සයගෙ නම කේතු....වැඩිවිස්තර ඕන නං ලොකා ඔයාට පස්සෙ වෙච්ච දේම හිතා ගන්ඩකෝ...කේතු ලබපුවම එහෙම වෙනවලු.....

    ReplyDelete
    Replies
    1. අනේ මං අසරණයා. කේතලේ මල්ලෝ ගැන මිස කේතු ගැන හාන්කවිසියක් දන්නේ නැහැනේ.

      Delete
  4. මැණික් නදියෙ රන්ජන් හිටිය නේද? ආපහු බලන්න ආසයි අප්පා ඒ වගේ ටෙලි... මං දැක්කා යුගවිලක්කුව යනව සියතෙ. කාලීනව මොකක්හරි ප්‍රයෝජනයක් ඇති...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, මේ පෝස්ටුවේ තියෙන DVD කවරයේ රන්ජනුත් ඉන්නවා. අඳුනාගන්න බැරි තරම් කෙට්ටුයි!

      Delete
    2. ඔව් ඔය ඉන්නෙ කොණ්ඩෙ පැත්තට පීරල, මෝඩ පාට හිනාවක් දාගෙන... මාර නලුවෙක් අප්පා (වෙන අධ්‍යක්ෂවරු යටතෙ...)

      Delete
  5. ඉස්සර කාලෙ ගැන හදපු ටෙලි ඩ්‍රාමා, ෆිල්ම් වල කතා හොඳයි, ඇක්ටිනුත් හොඳයි (පොඩ්ඩක් ඔවර් ගියාට ) ඒත් හැමෝම අලුත්ම හොඳට මැදපු , කුණු ගෑවෙන්නෙ නැති ඇඳුම් ඇඳගෙන ඉන්න එක තමයි අප්සෙට් එක. සමහරු කෑලෑව මැද්දෙන් එනවා කිරි සුදු ඇඳුම් ඇඳගෙන, වලව්වල කාන්තාවන් හැමදාම හැමතැනම පාටියකට වගේ ඇඳගෙන මාල දාගෙන ඉන්නවා.
    සොල්දාදුවන්, දඩයක්කාරයන්, වළන් හදන අය ආදී ඔක්කොම මේදැන් කඩෙන් හෝ ලොන්ඩරියෙන් ගත්ත ඇඳුම් ඇඳගෙන තමයි ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත Pra Jay,
      දැන් තමයි ලංකාවෙත් කලා අධ්‍යක්ෂකලා, නියම වේශ නිරූපණ ශිල්පියන් ටික දෙනෙකු හරි ඉන්නේ.

      Delete
  6. ලංකාවේ පළමු ටෙලි නාට්‍ය කලන් අයියා රගපෑ, නිහාල්සිංහ සර්ගේ ටෙලිසිනේ සමාගමෙන් නිමැයුනු දිමුතු මුතු ප්‍රසාංගික ටෙලි නාට්‍යවේ.එය විකාශනය කලේ රුපවාහිනී මගිනි.ජිනසේන සමාගමේ සෙන්ට්‍රික් වතුර පොම්පය එකම වෙළද දැන්වීම් හරහාය.එදා වෙළද දැන්වීම කලේ නිහාල්සිංහ සර්, ලංකාවේ පළමු සජීවිකරණ ශිලිපියා වූ මාස්ටර් දයා කරුණාරත්න අන්කල් හා ගෝලයා වූ මා වේ.අතීතයට ගියා....

    ReplyDelete
    Replies
    1. විස්තරයට ගොඩක් ස්තුතියි!

      දයා කරුණාරත්න මහත්තයාව දන්නා කෙනෙකුව මෙහෙම හරි හමුවීමත් සතුටක්. ඒ කාලේ එතුමාගේ 'තිසා' චිත්‍රකතා පොත කී සැරයක් නං කියවන්න ඇතිද?

      දිමුතු මුතු එකේ රඟපෑ රූපා ගෝමස් ගැනත් මට ඉදිරියේදී ලියන්න දෙයක් තියෙනවා. දිගටම මෙහෙට ගොඩ වැදෙන්නකෝ!

      Delete
  7. අර නිලිය කවුද හොයලා ගූගල් එක පීරුවා.. කොහේද හිතාගන්න බෑනේ.
    මොකද්ද බොල මිනිහෙක්ට කෙලවුනු ඒ අමුතු ලස්සන,,

    ReplyDelete
    Replies
    1. ඔහොම හිත අවුල් කරන ප්‍රශ්නයක් ඇති කළාට සමාවෙන්න ඕනේ.

      ගොඩක් විස්තර නොදුන්නේ මෙය තහවුරුවම කියන්නට බැරි නිසා. මට කිහිප දෙනෙකුගෙන් කියවුනාට ඇත්තමද දන්නෙත් නැහැනේ.

      නමුත්, මෙහෙම දෙයක් හොයාගන්න බැරි වුණාම මට මගේ මාළු කාගන්න හිතෙන බවත් අමතක වෙන්නේ නැහැ. ඒ හින්දමයි මේ 'ඔත්තුව' දෙන්නේ.

      මම දන්නා විදියට, ඇය ප්‍රධාන චරිතය රැඟූවේ ෆිල්ම්ස් දෙකක විතරයි. එකක් ඉතා ජනප්‍රිය වුණා. එහිදී ඇයගෙ චරිතය වෙඩි කා මිය යනවා. ඒක විදෙස් ෆිලුමක කොපියක් කියලත් කියවුනා වගේ මතකයි. ඉංග්‍රීසි film එකේ නමට වචන හතරයි. මෙන්න ඒ වචනවල මුල් අකුරු හතර. B H B C.

      ඔබතුමා ජාලයේ හොයන නිසා කියන්නේ. මේ සිංහල ෆිලුමේ එක ගීයක් අදත් ඉතා ජනප්‍රියයි. ඒවා ගායකයෙක් හා ගායිකාවක් දෙවතාවක ගයනවා. තවත් ගීයකුත් තවම රැව් දෙනවා, විශාරද ගායකයෙක් ගයන්නේ.

      ඔය විස්තර ඇති නේද ?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්