අකුරු මැකී නෑ

Saturday, December 7, 2019

බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස

මොරගහකන්ද හැදුණාට පස්සේ ලග්ගල ටවුමේ වල් ඌරු මස් පොට් එක තවමත්........
දැනුත් තියෙනවාද කියලා නම් නොදනිමි. ඒ දිනවල නම් ලග්ගල නගරයේ පාර අද්දරම ‘වල් ඌරු මස්’ තියෙන spot එකක් හරිම කුප්‍රසිද්ධව තිබිණි. කොළඹින් පිටත් වෙනකොටම ‘ලග්ගල හරහාද යන්නේ?’ කියා අහන තරමේ සැදැහැවත් රීරි යක්කු තුන්-හතර දෙනෙක් අප අතරත් හිටියෝය. 
ලග්ගලදී අපේ වාහනයට වල් ඌරු මස් වඩින්නේ එයාලගෙ දායකත්වයෙනි! ඒ දවස්වල වගේ නොවේ. මොරගහකන්ද හැදුණාට පස්සේ ලග්ගලත් අලුතින් හැදිලාය. 
සිරි ලංකාවේ ගොඩක් අය ඌරු මස් කති; හැබැයි, ගෙදරට නොගෙනියති. සමහරු එහෙම කරන්නේ ‘කිලි’ නිසා යයි කියති. 
ඌරු මස් බඩ ඇතුළේ තියෙද්දී කිලි නැතිද? මා දන්නා විදිහට නම් අප ආහාරයට ගන්නා මස් වැනි දේවල් ජීර්ණය වන්නට පැය කිහිපයක් ගතවෙයි. 
ඒවා කොහොම වෙතත්, හුඟ දෙනා ට්‍රිප් එකක් යද්දී හොයන්නෙම වල් ඌරු මස්ය.
ගෙදරදී නොලැබෙන චාන්ස් එකේ ඇරියස් cover කරගන්නට වෙන්නැතිය.

 
සුමන පොඩි හාමුදුරුවන් වහන්සේ හඳුන්ගමුවේ ඥාණේශ්වර පිරිවෙනේ හිටි හුරතල්, දඟකාර...........
හඳුන්ගමුවේ ඥාණේශ්වර පිරිවෙනේ හිටි සුමන පොඩි හාමුදුරුවන් වහන්සේ අවුරුදු දහයක- දොළහක විතර දඟකාර සාමණේරනමකි; එතුමන් හරිම කැමැත්තෙන් අපට උදවු වුණේ උඩ පනිමිනි. 
“දෙන්න  අයියේ, මං හෝදගෙන එන්නං.” නෙවිල් එළවලු හෝදන්නට ලැහැස්ති වුණා විතරය, උන්නාන්සේ ඒක කරන්නට සූදානම්ය. 
තව එක්කෙනෙකු ළිප පත්තු කරන්නට හදද්දී උන්නාන්සේ ඒකට හවුල් වෙයි; දර දමයි; ළිපට පිඹියි. ඒ වැඩවලට සිවුර කරදරයක් වගේ වෙලාද මන්දා, ටික වෙලාවක් යද්දී සිවුර කෙටි තාප්පය උඩය; පොඩි හාමුදුරුවන් අඳනය පිටින් ඉවුම්-පිහුම් අත් වැඩවලය. 
ඒ ගැන අප හිත කරදර කරගත්තේ නැත. 
ආවාස ගෙයත්, බණ මඩුවත් අතර තරමක දුරක් තියෙයි. පොට්ට පාට ලයිට් එකකිය, ඒකෙ තිබුණෙත්. 
ඒ නිසා පොඩි උන්නාන්සේ සිවුර ගලවා තියා ඉන්නා බව දුරින් ඉන්නා කාටවත් නොපෙනෙයි. ඉතින් මොකටද වද වෙන්නේ?
පන්සලෙයි කියලා බලන්නේ නැහැ. අද නම් බොනවා...... වල් ඌරු මස්...........
“නෙවිල්, එහෙනං ඌරු මස් ටිකත් කපලා ඉන්නවද?”
“අම්මෝ නැත්තං, නැත්තං. ඒක නරක් වුණොත් එහෙම... මං කපල දෙන්නං. දිසානායක, ඔන්න මිරිස් එහෙම වැඩිය දාලා චොර කරන්නෙ නැතිව හොඳේ.” 
මාවත් ටිකක් අවුස්සලා, මනුස්සයා වල් ඌරු මස් පාර්සලය බණ මඩුවේ අද්දරට වැඩැම්මුවේ හරිම සර්ධාවෙනි. “පන්සලයි කියලා බලන්නේ නැහැ, අද බොනවා.... වල් ඌරු මස් හැමදාම හම්බ වෙනවය?” 
නෙවිල් ඒ රාජකාරිය කරන්නට ගත්තා විතරය, පොඩි තැනත් එතැනය. අනාරාධිතවම, පැත්තකින් තිබුණු පිහියකුත් අරගෙන වැඩය! උන්නාන්සේට ඒක සෙල්ලමක් වගෙය. අනේ, එපා කියන්නේ කොහොමද? 
මං එහෙම කිව්වත්, නෙවිල් එහෙම එපා කියන ජාතියේ නොවේ. මිනිහා කළේ මගේ දිහාව බලලා, කර බාගෙන පාඩුවේ මස් කපන එකය. 
‘ඉස්සර විදියට  දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ - සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ’ එඩ්වඩ් ජයකොඩි මගේ කණ අද්දරින්ම ඉඳගෙන ගයනවා වගෙය.

කරඹ කැලෑවට වවුලෝ ඇවිදින් - රෑ තුන්යම රජ මඟුල් කතී!
සුන්දර ළමා වියේ ඉමිහිරි අත්දැකීම් අහිමි වීම කොයි තරම් දුකක්ද?

ඒ කාලේ සරුංගලයක් හදලා - උඩ යවලා නැතිකම ගැන මට තියෙන දුක.... ආයෙමත් කැක්කුම් දෙන්නට අපටන් අරගෙනය.  
අවුරුදු දොළහ වෙන්නටත් කලින් පවුලේ බරට උර දෙන්නට වීම නිසා මට මඟහැරී ගිය ළමාවිය....
මේත් ඒ ඛේදවාචකයෙම තවත් පැතිකඩක් නේද? සුමන හාමුදුරුවන් වැනි පැටි වියේ ඉන්නා සාමණේරයන් වහන්සේලා කී දාහක්ද?  
‘කරඹ කැලෑවට වවුලෝ ඇවිදින් රෑ තුන්යම රජ මඟුල් කතී- පාළුව දැනුණම මෙරු රැල තරහින් වැලි මාළිග වට කුළල් කතී’. 
හිතෙන් එඩ්වඩ්ට කන් දෙමින්, ඉව්වා මිස මං මොකුත් කියන්නට ගියේ නැත.

දැන් දයා ඉසුරුමත්, දානපති ව්‍යාපාරිකයෙකි. සුමන පොඩි සාදුගේ වයසේ ඉන්නා පුතෙකුගේ..........
“පව් ඕයි. කිරි සප්පයෝනේ, සෙල්ලමක්වත් කරන්න දෙන්නෙ නැතිව ඇති නේද, නිමල් අයියේ?” දයානන්දටත් දුක හිතිලා වගෙය. (එතකොට දයා විවාහවෙලාත් නැතිය.) 
හිටි ගමන්ම දයා දාර්ශනික ප්‍රශ්න අහයි. ඒත් වාද කරන්නට නම් යන්නේ නැත. මා වඩාත් දයාව ප්‍රිය කරන්නට පටන් ගත්තේ ‘සාම විනිසුරු’ පත්වීම නොගත් දවසේ ඉඳලාය. 
එදා මහා දවාලේ, නොපුරුදු වෙලාවක- ‘කිට මරාගත්’ දයා තනියම අපේ ගෙදරට ගොඩ වැදුණේය. “මොකෝ දයා?” 
“තරුණ සේවා එකට ගියා නිමල් අයියේ. අද කට්ටියකට සාම විනිසුරු පට්ටම් දෙනවා. මටත් තියෙනවා.... එන්නම කියලා වදේ හින්දා ගියා.”
“ගත්තද?” 
“පිස්සුද හලෝ? ගමේ කසිප්පුකාරයන්ටයි, කුඩු බිස්නස් කරන එවුන්ටයි සේරටමත් J.P.කම් දෙද්දී අපිටත් ඒවා ගන්න පුළුවන්ද හලෝ? උන් එක්කම ස්ටේජ් එකට නඟින්න? මං හීන් සීරුවේ මෙහාට ආවේ මාව හෙව්වත් මඟාරින්න. මේ, ෆෝන් එකත් off කරගත්තා.”

පොලිසියෙන් ඇල්ලුවත් ජේ.පී. කෙනෙක් විදියට ඉස්සරහට ගියාම .....
මට ඒ කතාව වැදුණේ, මාත් ඒ අත්තේම වහලා උන්නු කුරුල්ලෙකු නිසාය. 
දයා වැටී හිටි තත්ත්වය මං තේරුම් ගත්තේ ගංගොඩවිල උසාවියේදී සාම විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නාටත් පස්සෙය. 
එදා මට කලින් දිවුරුම්  දුන්නේ පාර්ලිමේන්තුවේ සේවය කොට විශ්‍රාම ගිය වේත්‍රධාරී මහත්මාය. මට පස්සේ දිවුරුම් දෙන අය දැක්කාම මට සංසාරේ එපාවිණි; ජේ.පී. පට්ටමත්!
ඒ සඳහා මා නිර්දේශ කළ හිතවතා කොච්චර කිව්වත්; බල කළත් රබර් සීල් එක හදාගන්නටවත්, හැඳුනුම්පත හදාගන්නටවත් මගේ හිත ඉඩ දුන්නෙම නැත. 
“තමුසෙ මහා මෝඩයෙක් හලෝ. ට්‍රිප් එකක් යද්දී වුණත් ගැම්මක් තියෙනවා, පොලිසියෙන් ඇල්ලුවත්. ජේ.පී. කෙනෙක් විදියට ඉස්සරහට ගියාම....” 
මිත්‍රයෝ දෙතුන්-දෙනෙක්ම කීහ. ඒත් මගේ හිත වෙනස් වුණේ නැත.

තලවතුගොඩ ඉන්නා දීපාල් සුධර්මන් සාම විනිසුරු මහත්තයා "ඔයා ලෙඩිනුත් ඉන්න එකේ........
J.P. පියදාස අයියා මියගියාට පස්සේ දෙතුන් වරක්ම මට ජේ.පී. අත්සන් ගන්නට ඕනෑ වුණාම එය කළේ තලපත්පිටියේ පත්මසිරි අමරතුංග හෙවත් චූටි මාමාය. ඒ බව දැනගත්තාම ඊටත් එහා තලවතුගොඩ ඉන්නා දීපාල් සුධර්මන් සාම විනිසුරු මහත්තයා කලබල වුණේය. 

“ඔයා ලෙඩිනුත් ඉන්න එකේ, එහාට යන්න කරදර වෙන්න එපා. එහෙම අත්සනක් ගහගන්න ඕනි වුණාම මට කියන්න. සීල් එකත් අරන් ඇවිත් මං අත්සන් කරලා දෙන්නම්!” 
අපරාදේ කියන්නට බැරිය. දීපාල් දැනටමත් තුන් වතාවක් ඒ උදව්ව කරලා තිබෙයි! ඉතින් මෙතැනදී චූටි මාමාටත්, දීපාල්ටත් ස්තුති කිරීම මගේ හැටිය! 
ස්තුතියෙන් පස්සේ, මෙන්න හඳුන්ගමුවෙ පන්සලට..... 
“සිවුර දාගත්තම ළමයින්ට සෙල්ලමක් කරන්නද? දුප්පත්කමටම තමයි හලෝ සමහරු ළමයින්ව මහණ කරන්න දෙන්නේ. පන්සලක ඉඳිද්දී කන-බොන ටික, ඉගෙනගන්න පොත් ටික හරි හම්බ වෙනවනේ.....” දයානන්දම කීවේය.
ලොකු සාදු නැති වෙලාවට පොඩි උන්නාන්සේලා හිතේ හැටියට සෙල්ලම් කරනවා...........
උයන-පිහන අස්සේ ඕවා කතා කරන්නට පුළුවන්ද? 

බත බෙරි කරගන්නට බැරිය; රොස් කරගන්නටත් බැරිය. වෑංජනවලට ලුණු වැඩි කරගන්නටත් බැරිය. බරසාර යමක් හිතන්නටත් බැරිය. 
“මං හිතන්නේ ලොකු හාමුදුරුවෝ නැති වෙලාවට කට්ටිය සෙල්ලම් කරනවා ඇති. පොඩි සාදුලා හත්-අට දෙනෙක්ම ඉන්නවනේ!” 
“ඇත්තටම මොකද නිමල් අයියේ මේ පොඩි එවුන්ම මහණ කරවන්නේ?” 
දයානන්ද මට උදව් කරමින් ඉන්නා අතරේම, ආයෙත් ඇහුවේය. “අපේ පන්සලෙත් වැඩියෙන් ඉන්නේ හාමුදුරු පැටව්නෙ! ටිකක් ලොකු වුණාම මහණ කරනවා නං හරිනෙ.” 
එහෙමත් කියද්දී කට පියාගෙන ඉන්නට ඇහැකිද? මගෙත් කට ඇරුණේය!

නැති-බැරි දෙමවුපියෝ දරුවන්ව සාසනේට දෙන්නේ 'එතකොට දරුවන් බඩ පිරෙන්න කාලාවත් ඉඳියි..........
“සාසනේ පවත්තාගෙන යන්නනේ, දයා. පෝසත් පවුල්වල ළමයි මහණ කරවනවා දැකල තියෙනවද? කරන තරමක් දුප්පත් පවුල්වල ළමයි. 
නැතිනම් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ළඟම නෑදෑ ළමයි.... ඒ නං ඉතින් පන්සලේ දේපල පිට යන්නේ නැතිව තමන්ගෙම කෙනෙකුට භාර දෙන්න!” 

එදා දයාත්, මාත් ළිප ළඟ හිඳිමින් කළ සාකච්ඡාවට කාගෙන්වත් බාධාවක් වුණේ නැත. අප උයන අතරේ අනෙක් අය පන්සලේ ළිඳෙන්ම ඇඟපත සෝදාගන්නට ගිහින් හිටි බැවිනි. 
ඉස්සර දයානන්දත් රස්සාව කළේ මුද්‍රණාලයකය; Compositor කෙනෙකු විදිහටය; අතින් අකුරු අමුණන කෙනෙකු හැටියටය. එයින් වෙන ලොකුම වාසිය විවිධ අයගේ, විවිධ මති-මතාන්තර ඇතුළත් ලිපි ඉබේම කියවෙන එකයි. 
එහෙම කියවුණත් සමහරුන් නම් ඒවායේ හරය ඔළුවට ගන්නේ නැතිය. 
එදා කතාවේදී මට පෙනුණේ කොළවල ලියා තියෙන දේවල්වලින් කොටහක් දයා හිසටත් අරගෙන තිබුණු බවය. ‘කාලය’ සඟරාව නිසා, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ වැඩ අධික වුණු කිහිප වතාවකම ‘part time’ වැඩටත් දයානන්ද ආවේය. 
ඊට කලකට පස්සේය, පවුලේ ව්‍යාපාරයක් වුණු තලපත්පිටියේ ‘කැලෑ බේකරිය හා සිල්ලර වෙළෙඳසල’ බාරගෙන දියුණු කළේ! 

අපි නම් නාලා, ඇඟ හෝදලා සේරම ඉවරයි! 
“අපි නං නාලා ඇඟ හෝදලත් ඉවරයි. මේ දෙන්නා තවම කතාව. අන්න, නෙවිලත් නානවා. නිමල්, ඔයාලත් නාල ආව නං ඉවරයි, උයලා ඉවර නම්.” 

ප්‍රියන්ත කියාගෙන ආවයින්ය, අපේ කතා මණ්ඩපයට තිත තැබුණේ. 
“පොඩි සාදුත් එනවද අපිත් එක්කම ළිඳ ළඟට?” 
ඒ වෙද්දී දයා, සුමන හාමුදුරුවන් එක්කලා හොඳටම මිතුරු වෙලාය. එතුමෝත් අප හා කතාබහ කරමින් ළිඳ ළඟට වැඩියහ. ඒ අතරේ දයා රහසෙනුත් සුමන හාමුදුරුවන් එක්ක මොනවාදෝ කතාබහකය.  
“නිමල් අයියේ, පොඩි සාදුටත් අපිත් එක්ක බත් ටිකක් කමු කියලයි මම කිව්වේ.”
“මෙහෙ සාදුලා රෑට වළඳනවද දන්නෙ නැහැනේ, දයා.” 
මාත් කළේ මුට්ටිය දමා බැලිල්ලකි; පොඩි නමගෙන්ම උත්තරය අරගන්නටය!

සමහර දවසට විතරලු, රෑට වළඳන්නේ..........
“ඒක තමයි මාත් ඇහුවේ. සමහර දවසට විතරලු.... මං සුමන හාමුදුරුවන්ට කිව්වා අදට විතරක් අපිත් එක්ක බත් චුට්ටක් කමු කියලා. 
ලොකු සාදුට හොරෙන්. අපි වෙන කාටවත් කියන්න යන්නෙ නැහැ පොඩි සාදු..... නාගෙන ගියාම, නිමල් අයියා බෙදලා දෙන්නකෝ. 
Fit එකේ නෝන්ඩි නැතිව කමු, නේද හාමුදුරුවනේ?” 
නාලා ගිහින්, ඉස්සෙල්ලාම පිඟානකට බත් බෙදුවේ සුමන හාමුදුරුවන්ටය. 
ඌරු මස් වෑංජනය බෙදනවාද, නැද්ද කියලා තාවර වෙන්නට ඕනෑ වුණේ නැත. “තමුසේ බෙදනවාකෝ. මං එව්වා සේරම අහගෙනයි තියෙන්නේ. කනවලු! පව් හලෝ... ආයේ කවදා හම්බ වෙන්නද? ටිකක් වැඩියෙන් බෙදනවා...” 
නියමම උපාසක සෙයියාවෙන් බත් පිඟාන සුමන හාමුදුරුවන්ට පිළිගන්වලා, වතුර වීදුරුවකුත් ළඟට කළත් දයා වැන්දේ හිටගෙනමය. 
කොසොල් රජ්ජුරුවන්ට තරම් නැතත් දයාටත් මහා බඩක් තිබුණු නිසාය. ඒ හිලව්වට වගේ දයා මහා කරුණාවකින් සුමන හාමුදුරුවන්ගේ හිස අතගාමින් ‘කන්න, කන්න. ලජ්ජ වෙන්න එපා. අපි ලොකු හාමුදුරුවන්ට කියන්නෑ.’ කියමින් හිටියේය. 
දානය වැළඳූ සුමන හාමුදුරුවෝ ආපසු පන්සලට වැඩියහ. 
අප හිතුවේ ඒ කතන්දරය එතැනින් ඉවරය කියලාය! ඒ ඉස්සරහට වෙන්න යනදේ නොපෙනුණු නිසාය!

පහුවදා අප අවදි වෙද්දී වටින්-ගොඩින් රබන් සුරල් හඬ නැඟෙමින්....
රෑට කාලා- බීලා, බණ මඩුවේම නිඳාගෙන, අප පහුවදා අවදි වෙද්දී අවුරුදු ලබමින් තිබුණේය; රතිඤ්ඤා පුපුරමින්, රබන් වැයෙමින් තිබුණේය. ගමටම නැකත් වෙලාව කියමින් ඝණ්ටාරය හඬ තලමින් තිබුණේය. 
ඒ අතරේම ලොකු හාමුදුරුවෝ බණ මඩුවට වැඩියහ. 
“තිසරණ සරණින් මහත්තයල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා... මහත්තයෝ, උදේට මොනවත්ම හදන්න එපා. 
-ගමේ මිනිස්සු හැමෝම කැවුම් කිරිබත් හදාගෙන ගෙනෙනවා........ අවුරුද්දනේ. මහත්තයලාට කාලා විතරක් නෙවෙයි ගෙනියන්නත් පුළුවනි. ඔන්න, මං කිව්වා මහත්තුරුන්ටත් එක්කම තේ එහෙකුත් හදන්න. පොඩි තැන ඒක ගෙනෙයි තව ඩිංගකින්.” 
බැහැයි කියන්නේ කවුද? 
Bed Tea එකත්, පාතරාසයත් විතරක් නොවේ, කැවුම්- කිරිබත්- කොකිස් ගොඩකුත් පොදි බැන්දවූ ලොකු හාමුදුරුවන් එතැනිනුත් නැවතුණේ නැත. කුස්සියට යාබද කාමරයකට මාව එක්කන් ගියේය.

දායකයෝ ගෙනත් තියෙන අල- ළූණු, කැවිලි- පෙවිලි කන්දරාව..........
“පේනවා නේද මහත්තයෝ, දායකයෝ ගෙනත් තියෙන අල- ළූණු- එළවලු කන්දරාව. ගොඩක් අහක යාවි. අපරාදේ... මහත්තුරුත් ටිකක් ගෙනියන්න.” කියා ඒවාත් දුන්නෝය. 

ඒ සේරමත් අරගෙන, මැදපිටියට ගිහින් රෑ දෙකක් ඉඳලා ආපහු එන්නට හදද්දීත් ලොකු සාදුගේ කරුණාව මට අමතකවී තිබුණේ නැත. 
“පිං සිද්ද වෙයි, කවුරුවත් ඤං-පචං ගාන්න එපා. යන ගමන් විනාඩි පහකට හරි පන්සලටත් ගොඩ වැදිලා ලොකු හාමුදුරුවන්ට කතා කරලයි යන්නෙ ඕං. කෙළෙහිගුණ තියෙන්න ඕනිනේ.” 
“ඉතින් තමුසෙත් ඒ පන්සලේම මහණ වෙනවකො! ඉවරනේ. මොකෝ ගෑනියෙක් දරුවෙක් ඉන්න එකක්යැ.” 
“මේකා යන්නෙ මචං, හාමුදුරුවෝ ගෙදර ගෙනියන්නත් කදක් බැඳලා දෙයි කියලා හිතාගෙන.” එහෙම කඩුලු කතා කිව්වත් වාහනය පන්සල් වත්තට යැවිණි. 
එතකොටම පොඩි සාදුලා රොත්තක් එබෙන්නට පටන් ගත්තෝය. එයාලා අප දිහා බලන්නේ අමුතු සතුන් කොට්ඨාශයක් දිහා බලන සෙයියාවෙනි.

මොකද මචං? කවුරුනුත් අහන්නේ..........
“මොකද මචං?” පුරුදු විදිහටම කවුරුත් වාහනයෙන් නොබැසම ප්‍රශ්න අහති. එහෙම ඇහුවෙත් මගෙන්ය. මම පන්සලට ගියෙමි. 
“ලොකු සාදු නැහැ අයියේ.... අපි විතරයි ඉන්නේ.” 
“එතකොට සුමන හාමුදුරුවෝ?” 
“ලොකු සාදු ගියේ එයාව හොයන්න තමයි!” පොඩි හාමුදුරුවරුන් එකිනෙකාගේ මුහුණු බලාගනිමින් කිව්වේ කෙඳිරිලි හඬකිනි.
“එයාව හොයන්න? ඇයි? සුමන හාමුදුරුවෝ කොහෙ ගිහින්ද?”
“උන්නාන්සේ ඊයේ රෑ සිවුර දාලා ගිහින්.....”

වස්ගමුවේ සිට හෙට්ටිපොළට එන අතරේ ට්‍රැක්ටරයක්..............
මං තවත් විස්තර ඇහුවේ නැත. වාහනේට නැංගා විතරය; සිදුවී තිබෙන දේ අපේ උදවියට කිව්වා විතරය. දයා ඉවරය. 

“යකෝ, තෝ තමයි ඒ පොඩි සාදු සිවුරු ඇරපු එකට වග කියන්න ඕනේ. උඹනේ ඌරු මසුත් එක්කම රෑටත් බත් දුන්නේ... ඒකයි එයා පැනලා ගිහින් තියෙන්නේ!” 
“කොයිකටත් අපි ඉක්මනට පැනගනිමු මචං. ඌරු මස් කතන්දරෙත් ලොකු සාදුට කියලද දැනේ නැහැ, අබ්ලික් එකක් වුණේ.” ඒ කතාවෙන් දයා තවත් ටිකක් සැලුණේය. 
“මචං... බැරි වෙලාවත් ලොකු හාමුදුරුවන්ට නං උඹේ මූණ පෙන්වන්න එපා..... උඹව සම්බෝල කරයි!”
එක්කෙනෙකු විහිලුවට කිව්වත් දයානන්ද හිටියේ හොඳටම බය-බිරාන්ත වෙලාය. 
වස්ගමුවේ සිට හෙට්ටිපොළට එන අතරේදී, අපට මුහුණපා එමින් තිබුණු ට්‍රැක්ටරයක් පෙනුණා විතරය. “අන්න දයා, අර එන ට්‍රැක්ටරේ ඉස්සරහම ලොකු සාදු තමයි වාඩිවෙලා ඉන්නේ.” කවුදෝ කිව්වේය. 
ට්‍රැක්ටරයේ ඉස්සරහම ඉන්නේ තැඹිලි කහපාට ඇඳගත් කෙනෙකි. දැන්-දැන් ට්‍රැක්ටරය ළංවෙයි.
ඇත්තය; බාගයක් ඇත්තය. ඒ ඉන්නේ සංඝයා වහන්සේ නමකි. නමුදු ලොකු හාමුදුරුවන්වහන්සේ නොවේ. හිටියේ උන්වහන්සේ වුණත් දයානන්ද උපාසක මහත්තයාව නොදකිනවා සිකුරුය! 
සද්දන්ත දයා හිටියේ වාහනයේ සීට් එක යටටම ගුළිවී හැංගිලාය.

සුමන හාමුදුරුවන් වහන්සේ සිවුරු හැර ගිය කාරණය ..............
සුමන හාමුදුරුවන් සිවුරු හැර ගිය කාරණය අදටවත් අපි නොදන්නෙමු. අද වන තෙක් අප යළි ඒ පන්සලේ පස් පාගන්නට නොගිය බැවිනි. 

පහුගිය ඔක්තෝබරයේ වස්ගමුවට ගිය විට, එහි යන්නටම හිත හදාගෙන හිටියත් එයට වෙලාවක් නැති වුණේය!
නැති වුණේ වෙලාවද? ඕනෑකමද? ගට්ස්ද?
හමාර සටහන: දයානන්ද මුදලාලිට නම් සූකර දානයේ ආනිසංශ මේ ආත්ම භවයේදීම පළ දීලා තිබේ. දැන් ඔහු තලපත්පිටියේ ඉසුරුමත්, දානපති  ව්‍යාපාරිකයෙකි. හුරතල් කොලු පැංචෙකුගේ තාත්තෙකි; පුතණ්ඩියා දැන් සුමන හාමුදුරුවන් වහන්සේ තරමට උසය෴

6 comments:

  1. මම හිතන්නෙ දයා ට පළ දෙන්න ඇත්තෙ සුමන හාමුදුරුවො දුකින් මුදෝපු පින වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසන්න. ඒක එසේ මෙසේ පිනක් නෙවෙයිනේ.

      Delete
  2. හොද වේලාවට අතිජාත අඹ යාලුවා නෙවිල් මේ බ්ලොග් එක කියවන්නේ නැති එක. අමෘත පානය වේලාවේ පින්තුර අරගෙන මෙහෙම දානවා කියලා දන්නවා නම් මිනිහා පමුණුවේ පස්පාගන්නේ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. හෙට හමු වුනාම මනුස්සයාට කියලා බලන්න.

      Delete
  3. කතෝලික සෙමිනරිවල වගේ ඉස්සෙල්ලා උගන්වලා පස්සෙ හැකියාව, උනන්දුව හා කැමැත්ත අනුව මහණවෙන හෝ නොවෙන ක්‍රමයක් තිබුන නම් හොඳයි.

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2711054/

    ඊමේල් කරපු L------- of L----- පොතේ
    Food taboos චැප්ටර් එකකුත් ඇති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay. දිග නමුත් හර-බර තැනකටයි ලින්ක් එක ගෙන ගියේ!

      Delete