අකුරු මැකී නෑ

Thursday, February 27, 2020

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස

මන්තර කළු ගල්වල කොටන්නේ නැතිය. ඒවා බොහොමයක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නෙත් කටපාඩම් කරවීමෙනි. සමහර තැනෙක පුස්කොළ මත්තෙහි ලියා තිබුණත් ඒවා තියන්නේ පෙට්ටගම්වලය; කාගේවත් ඇස නොගැටෙන තැන්වලය.

ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝභා!
එහෙම හංගා තියෙන දේවලුත් ..... සමහර වෙලාවට එළියට එයි! කොරෝනා ව්‍යසනය ආවාම වුණා වගේ!!
දැන් ඕනෑම කෙනෙකුගේ ඔළුවේ ‘කොරෝනා’ ගැනත් ඡායා මාත්‍රයක් හරි තියෙනවාමය. කවුද අප්පේ හිතන්නේ ‘Covid 19’ වයිරස් එක මර්දනයටත් මන්තරයකින් වැඩක් ගත්තැකිය කියලා. සජ්ජායනේ කරන්නත් හරිම ලේසි මන්තරයක්.  ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝහා”.
ඒ මන්තරය ගැන ලෝකයට (ලෝකයාට නොවේ!) හෙළිදරව් කොට තිබුණේ අධ්‍යාත්මික නායක පූජ්‍ය ‘දලයි ලාමා’ තුමන් විසිනි. 
ටිබෙටයේ බෞද්ධාගමික අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමන් විසින් (කොරෝනා) මාරක වසංගතයෙන් බේරීම සඳහා සුදුසු විශේෂ මන්ත්‍රයක් දේශනා කර ඇත. චන්ද්‍රතාරා මන්ත්‍රයයනුවෙන් නම් කර තිබෙන මෙම ගාථා පාඨය සජ්ඣායනයෙන් කොරෝනා හෙවත් කිරීටක වෛරස රෝගය බෝවීමෙන් වැළකී සිටීමට හැකි බව දලයි ලාමා තුමන් ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව ඉන්දියාවේ පළවන සුප්‍රකට (දිනමලර්) පුවත්පත වාර්තාවක් පළ කර තිබුණේ සම්පූර්ණ විස්තර ඇතිවය. (ටිබෙට්) රටෙන් පිටුවහල් වී දැනට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හිමාචාල්හි (හිමාලය කඳු පාමුල) ධර්මශාලා නම් ආශ්‍රමයක වෙසෙන අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ගෙන් කොරෝනා වසංගතයෙන් මිදීමට ක්‍රමයක් සම්පාදනය කරන ලෙස ෆේස්බුක් මගින් ඉල්ලා තිබුණේ චීනයේ කොරෝනා අනතුරට මුහුණ දී සිටින භික්ෂු පිරිසකි.
කොරෝනාවලට පින් සිදු වෙන්නට දැන් සතුන් එළියේය. අප කූඩු ඇතුළේය..........
ඊට ප්‍රතිචාර දැක්වූ දලයි ලාමා තුමා මෙම වෛරසයට ගොදුරුවූවන්ට ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝහායන මන්ත්‍රය පුනරුච්ඡාරණය කිරීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි බව ප්‍රකාශ කළේය. 
එම මන්ත්‍රය පූර්ණ විශ්වාසයෙන් යුතුව නිසි අක්ෂර වින්‍යාසය සහිතව සජ්ඣායනා කළහොත් කොරෝනා පැතිරීම පාලනය වී මේ භයානක විපතින් අත්මිදිය හැකි යැයි දලයි ලාමා තුමන් වැඩිදුරටත් කියා තිබිණි. (දේශය - 2020.2.16 මුල් පිටුව)
ඒ මන්තර, මේ මන්තර එකක්වත් මේ කලියුගයේදී අහන්නේ නැතිවා වාගෙය. Covid 19 වෛරසය වසංගතයක් වෙන්නට ඉඩ ඇතැයි කියලාත් දැන් අනාවැකි කියවෙයි.
ඉතින් අපේ ගුරුන්නාන්සේත් මල් බුලත් තටුව ඉදිරිපිටින් වාඩිවී මතුරන්නට පටන් ගත්තේය. ඒ ‘ඕම් ටාරේ...’ මන්තරයෙන් නොවේ. එහෙම කියන්නේ අපට ඇහුණු ‘ඒස්වාහඃ’ කෑල්ලකුත් ඒකට තිබුණු නිසාය.
මදිය නොකියන්නම දුම් අල්ලන අතරේ ගුරුන්නාන්සේගේ ගෝලයා .......
ගෝලයා මදිය නොකියන්නට දුම් අල්ලන අතරේ, පුටුවක් උඩින් ගරු ගාම්භීරව වැජඹුණු පොල් හනසු- මටුලුත් තීරු කරමින් ළිපට දැම්මේය. 
ගුරුන්නාන්සේ මැතිරිල්ල නතර කරන්නේ නැතිවම දෙහි ගෙඩි ටිකත්, ගිරයත් ළඟට ගත්තේය. ඊළඟට ඒ දෙහි ගෙඩි දෙපලු කරමින් ඒවා, ළිප උඩ රත්වෙමින් තිබුණු තෙල් තාච්චියට දමන්නට පටන් ගත්තේය.
මන්තරයක් කී සැරයක් කියන්නට ඕනෑද?
“මන්ත්‍රයක්‌ ජීවම් කිරීමේදී විසිහත් වාරයක්‌ (27) හෝ එකසිය අට වාරයක්‌ (108) ජීවම් කළ යුතු යැයි පැවසුවද ඊට හේතුව බොහෝ දෙනා නොදනී. 
විසිහත්වාරය යනු අපගේ නැකත් විසිහත නිසා, ඊට අදාළ කරගැනීමයි. 
එකසිය අට යනු නැකැත් විසිහත සහ පාද හතරයි. 
එක්‌ නැකතකට පාද හතරක්‌ පවතී. එවිට 27 x 4 = 108 බවට පත්වේ. 

යන්ත්‍ර 108 වරක්‌ ජීවම් කරන්නේ ඒ නිසාය. 54 යනු 27 x 2 වීමය. පනස්‌ හතරට වඩා එකසිය අට වාරය ගුණ දේ.”

දැන් හැමෝම උකුසු ඇසින් තීක්ෂණව බලා හිඳිති!
එහෙම කියන්නේ මා නොවේ. (මා දන්නා මන්තරයක් නැත. ටිකක්වත් දන්නේ සූත්තර විතරය.)

එදා නම් කී සැරයක් ජප කළාද කියලා මට නිනව් නැත. ගණන් කරන්නට බැරි තරමට ‘ඒස්වාහඃ’ නම් ඇහුණේය. අන්තිමේදී තාච්චියේ තිබුණු තෙල්වලින් බුබුළු නැඟෙමින්, යාන්තමට දුම් දාන්නට පටන් ගත්තේය. එතෙක් නොතිබුණු කඩි කුලප්පුවක් අපේ ගුරුන්නාන්සේට හැදුණේ එතකොටය.

“හා, හා, සේරමලා අහගන්ඩ ඕනේ. දැන් මේ තාච්චියේ තෙල් හොඳට රත්වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම මේ තෙල්වලට අත දානවා. ඊළඟට ඔයාලගේ මේ හාම්පුතා.... අපි දෙන්නාට පස්සේ මේ ළමයි හැමෝම තෙල් තාච්චියට අත දාන්න ඕනෙ..... මහත්තයා බලා ඉන්න හැමෝම අත දානවද කියලා. අන්තිම වතාවටත් හොඳ හිතින් කියන්නේ.... හොරාගේ අතේ දිය පට්ට එයි.... පුපුරලා අතම වණ වෙයි!”

දැන් හැමෝම තුෂ්ණිම්භූතව, උකුසු ඇසින් යුතුව බලා හිඳිති.

ගුරුන්නාන්සේ මුලින්ම දුම් දමමින් තිබෙන තෙලට අත දැම්මේය. “එන්න.... එන්න... මහත්තයාත්...” මමත් තෙල් තාච්චියට අත දැම්මෙමි. සෑහෙන උණුසුමක් දැනුනත් අත පිච්චුණේ නැත. ඊළඟට සුනිල්... පොඩි මාමා... අනිල්...

කිසිම කෙංගෙඩියක් සිදු වුණේ නැතිය!
ඒ අතරේ ගුරුන්නාන්සේ පඩි නැති වැඩකුත් කරන්නට පටන් ගත්තේය. ‘අපේ ගැහැනු ළමයින් පෙළ ගස්වමින් කඩිනම් කරවීම’.

“ඉක්මන් කරනවලා.... එන්න, එන්න. අත දමන එක්කෙනා පැත්තකට වෙලා අනික් අයට ඉඩ දෙන්න.... හා, හා. අත පිහදාන්න එපා.”

එහෙම කලබලයක් ඇති කරවීම ගැන මට කේන්තිය. 

ඒත් මොනවා කරන්නද? මා ඉන්නේ බරපතළ රාජකාරියකය. හැම කෙනෙකුම තෙල් තාච්චියට අත දමන්නේද කියලා සෝදිසියෙන් සිටිය යුතුය. හොරකම කළ කෙනා තෙල් තාච්චියට අත නොදමා මඟහැර යන්නට ඉඩ තිබේ!

මා විතරක් නොවේ; එහෙම පරීක්ෂාවෙන් බලා හිටියේ. එකම ආයතනයේ, කාලයක් තිස්සේ එකට සේවය කරමින් සමහර වෙලාවට එක බත්පත බෙදාගෙන කමින් හිටි ගැහැනු ළමුන් පවා, තම හිතවතියන් උණු තෙල් තාච්චියට අත දමනවාදැයි බලා උන්හ. අතිශය පරීක්ෂාකාරී දෙනෙතින්......

ඒත් සිද්ධ වුණු කෙංගෙඩියක් නැත!

කෙමක් කරද්දී කතා කරන්නේ නැහැ!
එහෙම කියැවුණේ පුරුද්දටය. කෙංගෙඩිය නොවේ.... 
‘කෙම්ගෙඩිය’යි වඩාත් හරි වචනේ. 

ගොඩාරියක් දේවල් දන්නවා යැයි හිතාගෙන ඉන්නා අප සමහර දේවල් ගැන ටක්කෙටම දැනගන්නට එච්චර උනන්දුවක් නැත. ඒත් දැන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් තිස්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ ලියමින්, ගොඩක් සහෝදර බ්ලොග්ස් කියවමින් ඉන්නා නිසා එක කාරණයක් නම් තේරුම් ගෙන හිඳිමි.

බ්ලොග්ස් කියවන්නෝ ඉතා උනන්දු විමසිලිමත් පාඨක-පාඨිකාවෝ වෙති. 
සමහර වෙලාවට කිසිසේත්ම අවධානයට බඳුන් වෙතියි මා නොසිතු දෙයක් ගැන පවා ඔවුහු දිගින් දිගටම සෙවූහ.

ඒ නිසාය කියන්නේ, කෙම්ගෙඩිය ගැනත් නියම විස්තරයක් ඉස්කෝලේ මහත්තයාගේ පන්තියේදී කියාදී තිබිණි. 

ඒ ‘වාසිතය’ අඩවියේය. වාසිතය ලියන ඩියෝන් මිතිල ප්‍රනාන්දුගෙන් අහන්නෙවත් නැතිවය මේ උපුටාගන්නේ. 
හැබැයි ටිකක්.... සේරම කියවන්න නම් එහාටම යන්න මෙතැනින්. 

සීයා මට කිව්වා ඒ ගැන මොකුත් කතා කරන්න එපැයි කියලා!

කමනි - ඊයෙ අපේ ගෙදර ඉන්න හරකගෙ බෙල්ලෙ මොනාදෝ ගුලියක් එල්ලලා තියෙනවා දැක්කා. ඉතින් මම අපේ සීයගෙන් ඇහුවා මොකක්ද ඒ කියලා. සීයා මට මුකුත් කිව්වෙ නෑ. මුකුත් ඒ ගැන කතා කරන්න එපා කිව්වා. ඇත්තටම ඒ මොකක් ද?

ඉස්කෝලෙ මහත්තයා - සීයා එහෙම කියලා තියෙන්නේ ඒක කෙමක් නිසා. කෙමක් කරද්දි කතා කරන්නෙ නෑ.

කමනි - කෙමක්? ඒ කෙම මොකක් ද?

ඉස්කෝල මහත්තයා - හරකුන්ට කුර ලෙඩ හැදුනහම ඒකට බෙහෙතක් හොයාගන්න ගමේ මිනිස්සු වෙද මහත්තයා ගාවටයි යන්නෙ. ඉතින් වෙද මහත්තයා බෙහෙත් පොට්ටනියක් හදලා දෙනවා. මේ බෙහෙත් පොට්ටනියත් අරගෙන ගමේ මිනිස්සු කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව හරකගෙ බෙල්ලෙ බඳිනවා. මේ බෙහෙත් පොට්ටනියෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ වෙද මහත්තයා විතරයි. ඉතින් ගමේ මිනිස්සු මේ බෙහෙත් පොට්ටනියට කිව්වා කෙම්ගෙඩිය කියලා. පස්සෙ කෙංගෙඩිය උනේ ඔය කෙම්ගෙඩිය තමා.

ගමේ වෙද මහත්තයාගේ කෙම්ගෙඩිය නියමෙට ප්‍රතිඵල ගෙන දෙන්නට ඇතිය. එහෙත් වාද්දුවේ ගුරුන්නාන්සේගේ කෙංගෙඩිය වැඩ කළේ නැතිය.

Baa හිටියේ පළිගැනීමේ දේවතාවෙකු හිසට වඩම්මාගත් ගමනය.......
එවෙලේ ලොකුම කරදරය වුණේ ba ආම්බාං කරගැනිල්ලය. Baaට පළිගැනීමේ දේවතාවෙක් ආරූඪ වෙලා වගේය, එවෙලේ හිටියේ.

“මුගෙ මෑණියන්ට..... ආයේ කයිවාරු නොගහන්නම මං ඕකගේ දත් ටික බඩටම යවලා ඉන්නං. මමනෙ නිමල්ට ඌව පංගාර්තු කළේ.”

“පිංසිද්ද වෙයි මටත් ලජ්ජා කරන්න එපා. අන්නරහෙට වෙලා බලාගෙන ඉන්න ටිකක්. මට හොඳ අයිඩියා එකක් ඇවිල්ලයි තියෙන්නේ මිනිහව පච කරලම දාන්න....” අමාරුවෙන් ba පැත්තකට යවාගත් මම මගේ ගුරුකමට බැස්සෙමි.

ගුරුන්නාන්සේගේ තදියම් කිරීම නිසාය මට සැකයක් මතු වුණේ.

ළිපේ තිබුණු තෙල් තාච්චිය රත් කෙරෙව්වේ පොල් හනසු, මටුළු දවන ගින්දරෙනි. ඒ ගින්දර රස්නය ගෙන දෙන්නේ යාන්තමටය. ඒ අස්සේ තෙලටම කපා දැමූ දෙහි ගෙඩි. ඒවා තැන්පත්වී තියෙන්නේ තාච්චිය පතුලේය. හරි විදියට නම් ඉස්සෙල්ලාම රත් වෙන්නේ ඒ දෙහි බෑ ටිකය. බුබුළු නැඟෙන්නේ ඒවායෙනි. 

දෙහි පලු රත් වෙද්දී එහි අඩංගු ජලය (ඇඹුල් දියරය) රත්වී ජල වාෂ්ප නැඟෙයි. ඒවා තෙලින් උඩට මතුවෙන්නේ තෙල් උණුවී නටන විලාසයක් පෙන්වමිනි.

මොකද, අපේ සල්ලි හොරකම් කරන්න ආවේ භූතයෙක්ද?
ඒ වෙද්දී අපේ කෙල්ලන් හිටියෙත් නොසන්සුන් වෙමිනි.ඔවුන්ගේ සැකය නිරාකරණයවී නොතිබුණු බැවිනි ඒ. එයාලා හැමෝම බලා ඉන්නේ නිමල් අයියාගේ තීන්දුව දිහාවේය.

“මොකද ගුරුන්නාන්සේ වුණේ?”

“එකත් එකටම මෙතැන ඉන්න කවුරු හරි නෙවෙයි මහත්තයෝ හොරකම කරලා තියෙන්නේ.”

“ඒ වුණාට නිමල් අයියේ, වැඩපොළ ඇතුළට වෙන කවුරුවත් එන්නේ නැහැනේ- බෑග්වල සල්ලි එර්දි වෙනවද?- ඔය හොරා භූතයෙක්ද?” 
එහෙන්-මෙහෙන් කසුකුසු ඇහෙන්නටත් වුණේය.

“කවුරුවත් කලබල වෙන්න එපා. අපි හැමෝටම ඕනේ හොරා අල්ලාගන්න එකටත් වැඩියෙන් අපේ නිර්දෝෂකම පෙන්නන්නනේ. අපි තව සැරයක් තෙල් තාච්චියට අත දමමු.... එහෙම කළාට කමක් නැහැනේ ගුරුන්නාන්සේ.” 

හොර හිත හංගාගෙන මම ගුරුන්නාන්සේගෙන් ඇසුවෙමි.

අපේ පරම්පරාවේ අයිඩියානන්ද ජාන ඒ වෙද්දී උපරිමයෙන්ම..........
ඒ වෙද්දී අපේ පරම්පරාවේ දිසානායක ජාන; අයිඩියානන්ද ජාන ඉස්මතුවී තිබිණි.
නීච කුමන්ත්‍රණයේදී’ කී චාර්ල්ස් උන්නැහේගේ-   
කනප්පුව ඇවිද්දවීමේදී’ කී  ගුණපාල උන්නැහේගේ, 
දුන්හිඳ අද්දර මාරකයෙදී’ කී නිදිගේ සූත්තර ජාන ඒ වෙලාවේ ප්‍රබලව ඉස්මතු වුණා වැන්න! 

ගුරුන්නාන්සේ නිදිව හඳුනාගෙන නොසිටීම මගේ වාසියට හිටියේය. ඒ අසරණ මනුස්සයා ඇම ගිල්ලේය! කෙල්ලෝත් එක පයින්ම කැමැත්ත දුන්නෝය!!

“සුනිල් තමුසේ යනවා ළිප ළඟට.” 
මම ආඥා නිකුත් කිරීම ඇරඹුවෙමි. 

“පොල් ගහෙන් බිමට නොදමා ගෙනාපු හනසු- මටුලු මේ ගුරුන්නාන්සේලා කරපු විදියටම ළිපට දානවා. හැබැයි ආප්ප පුච්චන්න වගේ යන්තමට කීරක් පතුරක් නෙවෙයි. හොඳට ගින්න ඇවිලෙන්න....”

ඒ කාලේ ඉරිසින්නාන්සේලා පවා මේ කිල්ල ගැන කියලා තිබ්බනේ මහත්තයෝ!
මං සුනිල්ට ඒ ටික කිව්වේ කට්ටඩි උන්නැහේගේ මුහුණ හොඳින් බලමිනි. එය විරවී තිබිණි. එතකොටත් අපේ සුන්නා මගේ කීම ඉස්මුඳුනෙන්ම පිළිගෙන ඉවරය.

“චුට්ටකට මෙහාට එන්නකෝ මහත්තයෝ! මෙතැන බවලත් උදවියත් ඉන්න හින්දා.... මේවා ප්‍රසිද්ධියේ කියන එකත්.....” ගොනා හැරුණේ කෙහෙල් පැලය දිහාවටය. “ඒ කාලේ ඉරිසින්නාන්සේලා පවා මේ ගැන කියල තිබ්බනේ, මට අමතක වුණාට.”

“ගුරුන්නාන්සේ මහත්තයෝ, අපි දෙන්නා විතරක් දැන් රහසෙන් කතා කරන්න යන එක නම් මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඒක හරියට අපි දෙන්නා එකතු වෙලා ගුණ්ඩුවක් අඹරනවා වගේ තියේවි.

-මෙතැන ඉන්න සේරම දැනුම්-තේරුම් ඇති අය. අපි එළිපිටම කතා කරමුකෝ.... හැබැයි ඉක්මනට..... දැන් නම් තෙල් තාච්චිය ගණනට රත් වෙලා වගේ. 
ඔන්න දැන් ගුරුන්නාන්සේ ඉස්සෙල්ලා. දෙවෙනියට මං.... ඊළඟට ඔයාලා.... මොකද කියන්නේ ළමයි....?”

කෙල්ලන්ටත් සෙල්ලම තේරුණා වගෙය. 

ගුරුන්නාන්සේ නළලේ දහදිය පිස්සේය; උගුරේ රැල් බුරුල් කළේය. සිහින් ස්වරයෙන් හඬ අවදි කළේය!

කිල්ලක් මහත්තයෝ කිල්ලක්! මාස් කිල්ලක්!!
සෙල්ලම ලෙල්ලමක් වෙන්නට යන බව කලින්ම වැටහිලාදෝ, කට්ටඩියා කාටත් ඇහෙන්නටම කතන්දරය කිව්වේය.

“කිල්ලක් මහත්තයෝ, කිල්ලක්. මාස් කිල්ලක්....”

එදා වාද්දුවේ කට්ටඩි උන්නැහේ සිය අසමත්කම වහගත්තේ එහෙම කියමිනි.

“මගේ අතින් වෙච්චි වැරැද්දක්.... මට මහත්තයට කියන්න බැරිවුණා. කිලිවලින් බරපතළම එකක්නේ.... ඉතින් කොහෙද ගුරුකම් හරි යන්නේ? 
මෙච්චර ගැහැනු ළමයි ගොඩක් ඉන්න තැනකදි කිල්ලක් අහු නොවී මේ වගේ ගුරුකමක් කරගන්න අමාරුයිනේ රත්තරං මහත්තයෝ...”

මන්තර ගුරුකම් කරන උදවියට වැඩක් හරි ගියේ නැතිනම් කියන්නට දාහක් දේවල් තිබෙයි.

ඉතා ප්‍රසිද්ධ, අත්දුටු ප්‍රතිඵල ගෙනදෙනවා යැයි කියවෙන දේවාල භූමියක සවිකොට තිබෙන පුවරුවකි මේ.

මේකත් කිසිවකු නොමළ ගෙදරකින් අබ ඇට හොයනවා වගේ වැඩකි!
මේ කොන්දේසිය ටක්කෙටම සපුරන්නට ගියෝතින් ඒ දේවාලයට යන්නට හැක්කේ කාටදැයි නුවණැත්තෝ සිතා බලත්වා.

පුවරුවේ ඡායාරූපය මා සොරා ගත්තේ ‘රෝද දෙකේ රස්තියාදුව’න්ගේ සචින්තන විජේරත්න සොහොයුරාගෙනි. ස්තුතියි සචින්තන!

බොහොමයක් ගුප්ත විද්‍යා වැඩවලදී මට අත්දකින්නට ලැබී තිබෙන්නේ negative ප්‍රතිපල ගෙන දෙන ඒවාය.

අපේ තාත්තා සියදිවිනසාගත් පසුව එයාගේ ආත්මය ගෙන්වා ගන්නට ගියාමත් වුණේ, එහෙම අප්‍රසන්න සංතෑසියකි. වැඩේ කෙරුණේ තලාහේනේ ප්‍රසිද්ධ තැනකදී අප්‍රසිද්ධියේය! අවුරුදු 44කට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්නේ ඊළඟ කොටසෙනි.

Monday, February 24, 2020

ශ්‍රී ලංකා not Vs England - දහවෙනි කොටස

ඒ හැම දෙනාටම ඕනෑ වුණේ කඩයේ වගකීම අනිල්ට.......
අන්තිමේදී බොරලැස්ගමුවේ සිල්ලර බඩු කඩයේ ප්‍රශ්නය එංගලන්තය දක්වාම ඇදුණේය.
අපේ ගෙදර හිටි දැනුම්-තේරුම් ඇති එක්කෙනෙක්වත් පොඩි මාමාට කඩයේ වගකීම පවරනවාට කැමැත්ත නොදුන්නේය. 

ඒ හැම දෙනාටම ඕනෑ වුණේ අන්නාට කඩය බාර දෙනවා දකින්නටය.
“අනිල්ට හොඳට ගණන් හිලව් තේරෙනවා. වාණිජ කරපු නිසා Accounts එහෙමත් කරලනේ ඉන්නේ. ඉගෙන ගෙනත් තියෙන එකේ අපරාදෙනෙ සිකියුරිටි විදියට අනුන්ට කඹුරන්නේ.... අනිල්ට කඩේ බාර දීලා පඩියක් ගෙව්වාම හරිනේ! 
මොනවා කළත් එක බඩවැල කඩාගෙන ආව තමුන්ගේ එකානෙ.” 
මට විරුද්ධව අවි අමෝරාගත් පාර්ශ්වයෙන් කියවුණේ එහෙම කතන්දරය.
පොඩි මල්ලී බූරු කප්පිත්තා. කඩේ බාප්පා වුණත්....
“රංජි... පොඩි මල්ලී බූරු කප්පිත්තා..... කඩේ බාප්පා වුණත් මිනිහට බදුල්ලේ කඩේ බාර නොදුන්නේ ඒ හින්දනේ. අනිලා වැඩේ කරයි.” අපේ අම්මාත් එංගලන්තයේ සිට කීවාය. (අපේ අම්මාගේ favourite පුතණ්ඩියා අනිල්ය.) මම පරාජය බාර ගතිමි. 
“... පස්සේ අනිලුයි අපියි හැමෝම පෞද්ගලිකව අපොස සාපෙළ කළා... එයින් පසුව මම නම් උසස් පෙළට වාණිජ විෂයයන් තෝරගත්තේ කලා විෂයන් නොතිබුණු නිසයි... 
එතැනදී අනිලුත් මාත් එකම පන්තියට වැටුණේ... ඇත්තටම ඒකයි අපේ ජීවිතයේ ස්වර්ණම අවධිය... කිසිදාක අමතක නොවන කාලය... 
-වාණිජ සමිතියේ සභාපති විදිහට අනිල්ව තේරුණේ නිතරගයෙන්මයි. එතරම්ම සුදුසුකම් තිබුණා එයාට... 
මට මතකයි අපේ පන්තියේ හිටි ලලිත්, ජයසිරි, අතුල තුන්දෙනා. නිතරම ගුරුවරුන්ගෙන් බැනුම් අහපු අය... 
ඒත් අනිල්ට හැම ගුරුවරයෙක්ම ආදරෙන් හිටියේ.... පන්තියේ වැඩ උනන්දුවෙන් කරන හොඳ ළමයෙක් හින්දා ....
අපට 'ව්‍යාපෘති' වැඩවලට සමූපකාරවලට- ගෙවල්වලට එහෙමත් යන්න වුණා.
-අපට ඒ කාලේ තිබුණා ‘ව්‍යාපෘති’ කියලා විෂයයක්... අපි ඒකට කළේ ‘සමුපකාරය’ ගැන... කණ්ඩායම් පහකට බෙදලා.... මාත් අනිලුත් එකම කණ්ඩායමකට වැටුණේ... 
-අපට එළියට ගිහින් සමීක්ෂණ කරන්නත් සිද්ධ වුණා... ගෙවල්වලට, සමුපකාරවලට එහෙමත් යන්න වුණා...
-මට මතකයි, එහෙම වැඩවලදී හැමදාම ලකුණු වැඩියෙන්ම ලැබුණේ අපේ කණ්ඩායමටයි. ඒ අපේ කණ්ඩායමේ නායක අනිල් නිසයි... 
එයාගේ අදහස්වලට තමා අපිත් වැඩ කළේ... අපේ සර්ගෙන් අපට මාරම ප්‍රශංසා ලැබුණා... අනෙක් ටීම්වලට ජෙලස් හිතෙන තරමටම.” 
අනිල්ගේ පන්තියේ සිටි උදිතා සූරියාරච්චි එවූ මැසේජ් එක වෙනම පෝස්ටුවක දමන්නට තරම් විස්තරාත්මක එකකි.
උදිතා විතරක් නොවේ, පාසල් කාලය ගැන කියද්දී ඕනෑම කෙනෙකුගෙන් කියවෙන්නේ ජීවිතයේ ස්වර්ණම අවධිය එය බවයි. අනේ! අනාගත වැඩිහිටි පරම්පරාවට එහෙම කියන්නට හැකියාවක් ලැබේවිද?
පාසල් ළමයි දෙලක්ෂ අනූහය දාහකට කිට්ටු ගණනක් මතට ඇබ්බැහි වෙලා?
අපේ; උදිතාලගේ පාසල් සමය අද තරම් සංකීර්ණ නැත. අසීරු, දුෂ්කර එකක් වුණේත් නැත. දැන් එය හිතාගන්නටවත් අසීරු තරමේ එකකි. 
අද කියවන්නට ලැබුණු පුවතකින් පෙනෙන්නේ ‘නූතන පාසල් සමය’ විස කැවී ඇති තරමය. 
දුම්වැටි, මත්පැන්, මත්පෙති, ගංජා, හෙරොයින් හෝ වෙනත් කුමනාකාරයේ හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කරන පාසල් සිසුන් සංඛ්‍යාව 2,95,873ක්ලු. 
ඒ සිසුවෝ අවයස වුරුදු 18කට වඩා අඩු අය වෙතිලු. 
මේ තත්ත්වය මර්දනය කිරීම සඳහා වෙනම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් මාලාවක් දියත් කෙරෙන්නේලු!     
පෙනෙන විදියට නම් හැම ඉස්කෝලයකටම පොලිස්කාරයෙකුත් පත් කරන්නට යනවා වගෙය. සේරෝම නීතියෙන්ම කරවන්නට.... 
ඉතින්, අපේ අම්මාත්, තාත්තාත් හිතුවේ අවවාදවලින්ම; නීතිවලින්ම ළමයින් හැදෙනවා කියලාය. 
‘හොඳට හැදෙන්න ඕනේ!’, ‘පාඩම් කරපල්ලා’ වගේ අවවාද දුන් පමණින්ම වැඩේ කෙරෙනවාය කියලා ඔවුන් හිතන්නට ඇති. දරුවන් ඉගෙනගන්නවාදැයි එයාලා බැලුවේ වාරාවසානයේ ලැබෙන රිපෝට් කාඩ් එකෙනි.
පිරිමියෙකුට පැදුර පෑගෙන පමාවෙන් බඩ ගැබ්බර වෙන ජාතියේ......
නමුත් තර්ජනාංගුලියෙන්ම, බිය ගැන්වීමෙන්ම සුපිරි ළමයින් නොහැදෙන බවට හොඳම උදාහරණයත් අපේ පවුලේ පිරිසය. 
ලජ්ජාවෙන් වුණත්; අප්‍රමාණ පසුතැවිල්ලකින් යුතුව වුණත්, දැන් මේ පාපොච්චාරණය කළ යුතුමය. උදිතා සූරියාරච්චි නංගිගෙන් මේ තරම් ‘චරිත සහතික’ ලැබෙන තුරුම, අනිල්ගේ පාසල් දිවිය ගැන මගේ දැනීම තිබුණේ බිංදුවේය. අනිල් ගැන විතරක් නොවේ; අනෙක් අය ගැනත් එහෙමමය. මම හොඳ ලොකු අයියා කෙනෙක් වීමිද? 
කිසිසේත්ම නැත!  
මාත් ආදර්ශයට ගෙන තිබුණේ අපේ අම්මාත්, තාත්තාත් දෙන්නාවය. ගමේ භාෂාවෙන් කියනවා නම් අප හැමෝම ‘හැදුණේ දුටහට’ය. කලිනුත් කිව්වෙමි. අපේ දෙමව්පියන් වගකිවයුතු මව්පිය භාවය ගැන කිසිම දැනීමක් තිබුණු අය නොවේ.
තාත්තා දැලි රවුළු එන කාලයේ සිටම මදනයා හිසට ගැසූ කෙනෙකි. අපේ තාත්තා අම්මව කසාද බැඳගෙන තියෙන්නේ බොරු වයසක් දමලා, බාලාපරාධයකුත් කරමිනි! ඒ තරම් තදියමක් තිබිලය!!
අම්මා ‘පිරිමියෙකුට පැදුර පෑගුණත් බඩ ගැබ්බර වෙන පරම්පරාවක’ අංගනාවකි. ඒ ජාඩියට මූඩිය සුසංයෝගයේ ප්‍රතිඵලය අප දහදෙනෙකි.  
මේවා ලියන්නේ තරහෙන් නොවේ; වේදනාවෙනි.  
ඇටෙන්-පොත්තෙන් පැහෙනකොටම ආදරේ හොයාගෙන කැදලි වෙන්නට පෙරුම් පුරන.........
අදටත් ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටස්ටරෝන් හෝමෝන වහනය වෙන්න ගත්තු ගමන්ම අම්මලා-තාත්තලා වෙන්නට පේවෙන කී දෙනෙකු මේ ලක් පොළෝ තලය මත ඉන්නවාද? 

සිරුර මෝරන තරම් ඉක්මනටම බුද්ධියත් මෝරනවද? එහෙම උපදින දරුවන්ට හරිහමන් රැකවරණයක්, ආදරයක්, පෝෂණයක්, අධ්‍යාපනයක් ලැබෙනවද? 
මා දන්නා ගෙවල් කිහිපයකින්ම දවස තිස්සේ කන් අඩි පළන සද්දෙන් ඇහෙන්නේ ‘ප්‍රේම විලාපයන්’ය. එහෙමත් නැතිනම් ‘කෑදර-ආදර යාදිනි’ය. 
අසල ගෙදරක තවම මොන්ටිසෝරියටවත් නොයන ළමයෙකු පුන-පුනා ගයන්නේ ‘ආදරෙයි වස්තූ....’ ගීතයයි. එක්කෝ 'මතකයන් ඔබේ- සිතේ තබාගෙන- දුක් විඳිනා මා ඔබගේ- පළමු පෙම්වතා' කියලාය. තවත් විටෙක ‘ඇස් දෙක පල්ලා’ හෝ ‘සමු අරන් යා යුතුය’ ගී දෙකය! ඒ ගෙවල්වල ළමුන් දවස තිස්සේ තරගයට channel surfing කරන අම්මලා එක්ක බලන්නේත් මෙගා ටෙලිය! 
එහෙම කාලයක නොවුණත්, අම්මා-තාත්තා දෙන්නම නැති ගෙදරක, කුටුම්බ සංරක්ෂණය කරමින් සොහොයුරු-සොහොයුරියන් කැලතක් ආම්බාං කරද්දී.... 
මගෙන් කොතරම් වැරදි වෙන්නට ඇතිද? 
ලොකුම වැරැද්ද නංගිලා මල්ලිලා ගැන තිබුණු අඩු අවධානයයි. 
ඇඳුම්-පැළඳුම්-කෑම්-බීම් සැපයුවාට මාත් ඔවුන්ට ආදරය පෙන්නුවේ නැත. 

‘ළමයින්ට ආදරේ පෙන්නන්න ඕනේ උන් නිඳාගත්තට පස්සේ’ කියලාය අපේ තාත්තා ‘බණ’ කිව්වේ.
මේ බූරු පුතාණෝටත් ඒවා දිව්‍ය වාක්‍ය වගේ වුණේය!
මේ බූරු පුතාණෝටත් ඒ දවස්වල ඒවා දිව්‍ය වාක්‍යයන් වගෙය! එහෙම වෙලාත්...
උදිතා සොහොයුරිය බෙහෙවින් හැඟීම්බරව කියන විදියට අපේ අන්නා ‘මහරගම බුවෙනකබා විද්‍යාලයේ’ බ්‍රයිටෙකි. 
“.... මට මතකයි අනිල් අපේ විවාද කණ්ඩායමේ උද්යෝගිමත් දක්ෂ සාමාජිකයෙක්... දැනුම මිනුම කණ්ඩායමේ මමත් අනිලුත් දෙන්නම හිටියා... 
ක්‍රීඩාව පැත්තෙනුත් එහෙමයි... මම මලල ක්‍රීඩා සහ නෙට්බෝල් කණ්ඩායමේ හිටියා... අනිල් වොලිබෝල් ටීම් එකේ හිටියා. 
මට මතක විදියට හවුස් කැප්ටන් වෙලා හිටියෙත් අනිල් වගෙයි....”
එයින් එක කාරණයක් නම් ඔබට අලුත් නොවේ. එකම වසරක බුවෙනකබාවේ වොලිබෝල්, නෙට්බෝල් කණ්ඩායම් හතරේ නායකත්වය දරන්නට ‘දිසානායක’ සොහොයුරු-සොහොයුරියන් හතර දෙනෙකුටම වාසනාව ලැබිණි. 
පුෂ්පා, අනිල්, අජිත්, මානෙල් හතර දෙනාය ඒ.
“පේනවා නේද පවුලක ළමයි ගොඩක් ඉන්න එකේ රඟේ. මොන තාත්තටද මෙහෙම වාසනාවක් ලැබෙන්නේ? බැටෑලියන් එකක් හදාගන්නත් තිබුණා තව හිටියා නම්.” 
ඒ කාලය වෙද්දී ජීවතුන් අතර හිටියා නම් ‘දිසානායක හේවගේ ගුණපාල’ උන්නැහේ උදම් අනනවා සිකුරුය!
තව ටික දෙනෙක් හිටියා නම් පවුලෙන්ම බැටෑලියන් එකක් හදාගන්නත් තිබුණනේ!
ඔන්න ආයෙමත් උදිතාගේ අතීතාවර්ජනයට ඉඩ දෙනවා.
“-උසස් පෙළ අවසාන කාලයේදි හැම සෙනසුරාදා ඉරිදම සහ පෝය දිනට... දවස පුරා තිබුණු සුබසිංහ සර්ගේ වාණිජ සහ එකවුන්ට්ස් පාඩම්වලට අපි හැමෝම ආවේ හරිම ආසාවෙන්... ඒක මාර නිදහස් ලෝකයක්. අපි විතරයි ඉස්කෝලේටම. 
-කෑම කෑවෙත් අපි එකටමයි. සින්දු කියකියා නටනටා පිස්සු නැටුව හැටි තවම මතක් වෙනවා, අද ඊයේ වගේ... 
-අනිල් තමා එතකොට අපේ එනවුන්සර්... මට මතකයි, අනිල් හරිම ලස්සනට ඇන්දා කිරිකොකා වගේ. කුණු බිඳක් නැහැ... අපි නම් ගිය තැන වාඩිවෙනවා. 
දිවුල් කහට ගාගෙන, ඇඳුම්වල දූවිලි නාගෙන හිටියේ. 
-වෙලාවකට අපට අයියා කෙනෙක් වගේ අවවාදත් දෙනවා. ගොරෝසු කටහඬක් තිබුණට අනිල් හරිම අහිංසකයි...” 
ඒවායේ credit එක නම් අපේ තාත්තාට දෙන්නට වෙයි. තාත්තා නොසරුප් වදන් දෙඩුවාට අපට ඒවා තහංචිය. 
අපේ සුසිරිත් වැඩි හරියක් නීති-රීතිවලින්ම තාත්තාත්, ආච්චීත් අපට හුරු කළ ඒවාය. 
‘වැඩිහිටි අය කතා කරනකොට අහගෙන ඉන්නවත්; මැදට පනින්නවත් එපා’. ‘කවුරු මොනවා දුන්නත් අපෙන් නාහා ගන්න එපා’. ‘කෑම කනකොට සද්ද ඇහෙන්න; චව් චව් ගාලා විකන්න එපා’.....
විශාඛා සිටු දියණියන්ටවත් එයාගේ තාත්තාගෙන් අපට තරම් අවවාද ලැබිලා නැතිය.
පූර්ණවර්ධන සිටුවරයාට විශාඛා දියණියන්ව පාවලා දෙන දවසේ, ධනංජය සිටුවරයා තමුන්ගේ දෝණියන්දෑට දුන්නාටත් වැඩියෙන් අපූරු  අවවාද නම් අපට හැමදාමත් ලැබුණේය; මදිය නොකියන්නම. 
‘ඉතින් හොඳයිනේ, ඔයාලා අකුරටම ඒවා පිළිපදින්න ඇතිනේ!’ ඔබ කියනු ඇති. ඒකකට අදාළව මා දැනටමත් ලියා ඇති දේවලින් එකක් විතරක් මතක් කරමි. ඒකත් අනිල් මල්ලී ගැනය. (කරුණාකර මෙතැන click කරලා ඒ පොස්ටුව කියවා බලන්න). 
එහෙම හැදූ දරුවෙක් විනීත නොවී ඉඳියිද? ඒ නිසාය උදිතා නංගී කියන මේ වදන් මා පිළිගන්නේ.... 
“-අපට කවදාවත් නරක විහිළුවක්වත් කරලා නැහැ.... සමහර කොල්ලන් වගේ. 
-මතක තියෙන විදියට කිව්වා, නිමල් අයියේ.....  
තව අමතක උන සිද්ධි ඇති ඕන තරම්. 
පාසලෙන් අයින් උනාට පස්සේ සමහරු කැම්පස් ගියා. සමහරු ගුරු පත්වීම් ලැබිලා දුර පලාත්වලට ගියා. සමහරු වෙනවෙන කෝස් කරන්න ගියා. අපේ හැම කෙනෙක්ම වගේ අදටත් හොඳ තැන්වල ඉන්නවා. 
-ඒ ගැන කියද්දි නම් මට අනිල් ගැන හිතෙන්නේ දුකක්... හැමෝටම වඩා දක්ෂයෙක් වුණු අනිල්ට ඇයි මෙහෙම වුණේ කියන එක ගැන.....”
'ඇයි හැමෝටම වඩා දක්ෂයෙක් වුණ අනිල්ට මෙහෙම වුණේ?' උදිතා සූරියාරච්චි නංගි අහන්නේ ඒකය!
ස්තුතියි උදිතා නංගී. ඔයා අහන කාරණාව..... ‘ඇයි අනිල්ට එහෙම වුණේ?’ 
පරණ track එකට වැටී මේ කියාගෙන යන්නේ ඒ හේතු-ප්‍රත්‍ය ගැනය.
පවුලේ උදවියගේ බලවත් චිත්ත ප්‍රසාදය මැද්දේ, බොරලැස්ගමුවේ කඩයේ වගකීම අනිල්ට පැවරිණි. පොඩි මාමා දෙවෙනියාය. 
ඒක හරියටම දැන්; විස්සයි විස්සේ ලංකාවේ වෙන වැඩ වගෙය. 
පොඩ්ඩා අලුත් ගමනක් යන්නට හදයි. 
පරිණත ලොක්කා දැන් දෙවෙනියා නිසා හැකිතාක් වැඩේ අල කරනවා වගෙය. කොච්චරද කියනවා නම් මිරිස් කුඩු වීරයාව දඹදිව වන්දවාගෙන ඇවිත්, දියවන්නා රාජ සභාවේ තානාන්තරයකුත් දීලාය. 
සමහරවිට මේ පෝස්ටුව publish කරන්නට කලින්, මල්ලියා ඒ පට්ටම ගලවලා දමන්නටත් ඉඩ තිබෙයි.
ඉතින් අනිලුත්, පොඩි මාමාත් දෙන්නා එකතුවී ‘දැහැමෙන්’ කොහොම වෙතත් ‘සෙමින්’ වෙළෙඳාම කරගෙන ගියෝය.
පියඹා.... යනවා මා ආකාසයේ...............
මට නම් දැනුණේ ලොකු නිදහසකි. කුරුල්ලා මිටෙන් හැරියා වගෙය. 

දැන් තරුණ ජනගහන කමිටුවේ වැඩවලට නිදහස තිබෙයි; කාලවෙලාවත් තිබෙයි. වැඩි-වැඩියෙන් පත-පොත කියවන්නට, කරුණු එකතු කරන්නට, චතුර සන්නිවේදකයෙකු වීම සඳහා වෙහෙසෙන්නටය; මගේ එදවස් ගෙවුණේ.
මා organize කළ සිරිපා ගමනකදී ජෝඩු වුණු පෙම් යුවල කිහිපයක් ගැන කිව්වා මතකයිද? පොඩි මාමාත් එයින් එක පෙම්වතෙකි. ඔහු පෙම් ලොව ජයගෙන, පති-පතිනි විජිතයේ කිරුළු පැළඳුවෙත් ඒ කාලයේය.
පතිනිය හිටියේ ඇරැව්වලය. පොඩි මාමා එහේම බින්න බැස්සේය. 
“ලොකා... හැමදාම ගෙදර ඉඳලා කඩේට යන්නයි- එන්නයි ගියාම එපා වෙනවා. මං හදන්නේ කඩේම නවතින්නයි. එතකොට ටිකක් රෑ වෙනකල් කඩේ අරගෙන ඉන්නත් පුළුවන්නේ.” අනිල් කීවේය. 
ඒ කතාවේ ඇත්තක් නොතිබුණාම නොවේ. 
“එතකොට තමුසෙට කෑම... එහෙමනං මල්ලිකා අක්කලාගේ ගෙදරටම කියලා කෑම හදවාගනිමු.” මමත් කීවෙමි.
රෑට විතරක් ඔය ආප්පයක් හරි කොත්තුවක් හරි කාලා ෂේප් කරගත්තෑකි....
“අපෝ, අපෝ. ඒවාට ගියොත් නෑදෑකමුත් නැති කරගන්නයි වෙන්නේ. මට ඔය කඩේකින් කන්න බැරියැයි. නැතිනම් අපේ කඩේ ළඟම තට්ටුවේ කීර විකුණන අක්කට කියලා උදේටයි, දවල්ටයි කෑම දෙකක් ගෙන්නා ගන්නත් පුළුවන්. එහෙම කළාම රෑට විතරක් ඔය ආප්පයක්, කොත්තුවක් කාලා ෂේප් කරගත්තෑකි.” 
පෙනුණේ අනිල් මල්ලියා කලින්ම හිතලා-බලලා තිබුණු බවය. 
එදා වැඩියෙන් නොහිතා හිටි බව පෙනෙන්නේ, දැන් අකුරු කොටන මේ තකතිරු ලොකු අයියාය!