හොරගෙඩියා දෙවෙනි වතාවට රත්තරන් බඩු හංගලා තියෙනවාය කිව්වේ........... |
කනප්පුව සෑහෙන වෙලාවක් එතැනම දැවටෙමින් උන්නේය! ඒත් හොර
බඩු එතැන තිබුණේ නැත.
“මහත්තයෝ.... මෙතන තමයි ඊළඟට බඩු ටික හංගලා තියල
තියෙන්නේ. ඒකයි මෙහෙම වැඩි වෙලාවක් මෙතැනම කනප්පු වහන්සේ රැඳෙන්නේ... හැබැයි....”
කියලා ගුරුන්නාන්සේ ආයෙමත් මතුරන්නට පටන් ගත්තාලු. ගෝලයාත් කට්ටකුමන්ජල් දුම්
අල්ලන්නට.....
සෑහෙන්නට රෑ බෝවෙලා තිබුණු හින්දාද කොහෙද ඒ වෙද්දී එතැන
හිටියේ ටික දෙනෙක්ලු. ඒ ගොල්ලන් වුණත් එතකොට හිටියේ අන්ද-මන්ද වෙලාලු.
“හරි වැඩේ කියන්නේ, ඉතිරිවෙලා හිටිය මිනිස්සුන්ටත් එදා
ලොකු ප්‍රශ්නයක්. ඇයි, එතැනත් හොරකම් කළාය කියපු රත්තරන් බඩු තිබුණේ නැහැනේ!” අපේ
තාත්තා ඒ සිදුවීම රස කරමින් කියා දුන්නේ මහරගමදීය.
“ඉතින් තාත්තේ?”
ගුරුකමේ සත්ත බලන්නට ඕනෑ නිසා රන්බඩු හොරකමක් කරළියට නැංවූ බව.......... |
“මොනවද ඉතින්.... කට්ටඩියාට හොඳටම ඇතිවෙලා හිටියේ. උඹලා
දෙන්නටත් නිඳි පෙරෙනවා. මිනිස්සුත් කලබල වෙද්දී අල්විස්කාරයා කිව්වා -ගුණේ, දැන්
අපි ඇත්තම කියලා දාමු-ය කියලා. එහෙම කිව්වා විතරයි කට්ටඩි උන්නැහේට යකා
නැග්ගා....”
කනප්පුව ඇවිද්දවීමේ සත්ත බලන්නට ඕනෑ නිසා ‘බොරු හොරකමක්-
අයිතිකාරිය දැනුවත්වම’ කරළියට නැංවූ බව අපේ තාත්තා එවෙලේ කීවාලු.
“ආයේ හොයන්න දෙයක් නැහැ. ගුරුන්නාන්සේලා ගැන දැන් අපට
හොඳටම විශ්වාසයි..... මචං අල්විස්. මම උඹටත් කොළේ වැහුවා. උඹත් එක්ක ලීලගේ
අල්මාරියෙන් රත්තරන් බඩු ටික අරගෙන කෙහෙල් පඳුරේ හැංගුවාට පස්සේ ....
මම තනියම ඒවා
එතනිනුත් අරන් මෙතැන හැංගුවා. ඊළඟට ඒවා ආපහු කැබිනට් ලාච්චුවේ දැම්මා....”
“මහත්තයා, සාස්තරේ බොරු නෙවෙයි. හරියට කරන්න නොදන්නා
මිනිස්සු හින්දයි මේ උතුම් සාස්තර බොරු
වෙන්නේ....
මහත්තයාගේ පොඩි පුතාලා දෙන්නා නැතිව වෙන කොල්ලෝ දෙන්නෙක් කනප්පුවට අත
තිබ්බා නං, මහත්තයාම කියාවි ළමයින්ටත් උගන්වලා කියලත් ....”
අමු කැළේ පරම්පරාවෙන් උරුමවෙන ජාන අඩු නැතිවම මටත් පිහිටලාය! |
“ඒක හරි! මට සහසුද්දෙන්ම දැනගන්න ඕනේ නිසානේ, අපේ
පුතාලවම ඒකට ගත්තෙත්....” තාත්තා ඇත්තම කිව්වාලු.
“අල්විස්කාරය නං පොඩි හිතේ කහටක් තියාගෙන හිටියලු. මම
මිනිහවත් 100%ක් විශ්වාස කළේ නැති එක ගැන. මිනිහමයි කිව්වේ... පස්සේ දවසක හීනි
අඩියක් ගහන වෙලාවේ.”
‘අමු කැළේගෙන් එයාගෙ සහජාත පුතණ්ඩියාට ආ ‘අයිඩියානන්ද ජාන’ කිසිම අඩුවක් නැතිව මටත් උරුම වෙලා වගෙය.
මා යමක් විශ්වාස කරන්නේ හැකිතාක් හොයා බැලුවාට පසුවය. මට හොයාගන්නට බැරිවුණු පමණින් මා ඒවා බොරුය කියා බැහැර කරන්නෙත් නැතිය. හැමවිටම විමසිල්ලෙන් සිටීමත්, විමර්ශනය කිරීමත්, විග්රහ කිරීමත් මගේ සිරිතය.
අනෙක ‘විචිකිච්ඡාව’ය.
මේ ගැන අසා තරහ නොගනු මැනවි.
කොතෙක්
හොඳ; කල්‍යාණ මිත්‍රයන් හිටියත් මා ඒ කිසිවෙකුට 100%ක් විවෘත වන්නේ නැත. ඔවුන් ගැන
ඇති අවිශ්වාසයකට නොවේ; මගේ හිතේ විදිහ ඒක නම් මං මොනවා කරන්නද? මගේ රටාව ඒක
නම්....
මා විශ්වාස කරන විදිහට නම් ‘විශ්වය තුල පවත්නා හැම
දෙයකටම නිශ්චිත රටාවක් තිබේ’.
හොඳින් විමසා බැලුවොත් පෙනෙන්නේ මේ විශ්වය තුළ ගැබ්ව පවත්නා රටාවන්ය......... |
ඔබට පෙනෙනවාද කියා නොදනිතත් මට නම් ඒ රටාවන් පෙනෙයි.
හිරු උදාවෙන්නේ රටාවකටය... අස්තංගත වෙන්නෙත් රටාවකටය.
ඕනෑම ගස් වර්ගයක් අරගෙන බලන්න.
අතු-ඉති-කිනිති-කොළ-මල් සේරම හැදිලා තියෙන්නේ එකම රටාවකටය. ඒ සොබා දහමේ රටාවය.
වතුරක් ඉහළ සිට පහළට ගලයි. අඹ ඇටයකින් අඹ පැලයක් මිස
පොල් පැලයක් හට නොගනියි......
“මහණෙනි, ලෝකය පවත්නේ පංච නියාම ධර්මයන්ට යටත්වය... ඍතු
නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යනු ඒවායි....” භාග්‍යවත්
සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කර තිබෙන්නේත් මේ රටාවන් ගැන නේද? ඒ මට හිතෙන අයුරුය.
අපේ ආච්චිලාගේ ගෙදර ඉහළින්ම වැජඹුණේ ‘සීවලී මහ රහතුන්
වහන්සේගේ රූපයකුත් එක්කම තිබුණු සීවලී යන්ත්‍රය’යි. (මෙතෙක් කිසිම කෙනෙකු එහි
පිටපතක් අන්තර්ජාලයට මුදාහැර නැත. අනේ... අපේ ළඟවත් එය නැතිකොට...)
“රංජි පුතේ, මේ
සීවලී යන්තරේ තියෙනකල් කොච්චර දුප්පත් වුණත් අපේ ගෙදර කෙනෙක් හයින්-හාමත් වෙන්නේ
නම් නැහැ....”
හතරවරම් දෙවියන් වට කරගත් සීවලී මහ රහතන් වහන්සේත්, සීවලී යන්ත්‍රයත්.......... |
මට එහෙම කිව්වේ අපේ ආච්චීය.
ඉතා සවිමත් ලෙස රාමුකර, බිත්තියේ එල්ලා තිබුණු ඒ සීවලී
පින්තූරයේ හතර කොනේ සිට අපට බැලුම් ලාගෙන හිටියේ සතරවරම් දෙවිවරුන්ය.
“.... ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ දෙවිවරු
හතර දිහාවට බැල්ම ලාගෙන බලා ඉන්නවා. පොළෝ මහී කාන්තාව මත්තේ ඉඳගෙන අපි කරන සේරම
දේවල් උන්නාන්සේලාට පෙනෙනවා පුතේ. උඹ චූටිම හොඳක් කළත් ඒක උන්නාන්සේලා දකිනවා.
උන්නාන්සේලාගෙන් හොඳක් කියවෙන්නේ අහම්බෙන්...
හැබැයි රංජි පුතේ, හතර දෙනෙක් උඹට
හොඳ කිව්වොත් හතරවරම් දෙයියොත් හොඳය කියනවලු!”
එතකොට මගේ විශ්ව කෝෂය අපේ ආච්චීය.
1983 මාර්තු 22 ගත් foto එකකි. දැන් අපේ සීයාත්, ආච්චීත්, සුනිල්ගේ බිරිය මල්ලිකාත් එලොව ගිහින්ය. සුනිල් බලංගොඩට ගිහින්ය...... |
එහෙම අවස්ථාවක් උදාවෙනවා නම් මං අපේ ආච්චිගෙන් අහන්නට
කඩප්පුලි ප්‍රශ්නයකුත් සූදානං කරගෙනය ඉන්නේ.
“ලංකාවේ හතරවරම් දෙවියෝය කියන්නේ
-උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, කතරගම- කියන දෙවිවරුන්ටලුනේ. එයින් දෙන්නෙක්ම
කල්ලතෝනියොනේ ආච්චියෙ, අපි වන්දනා කළාට. තව එක්කෙනෙක් බලයට තණ්හාවේ තමුන්ගේම
සහෝදරයාව පාවලා දුන්නු දුෂ්ටයෙක්නේ....”
ආච්චී නැති එකම හොඳය!
නැතිනම් වෙන්නේ අප දෙන්නාට දිගටම
වාද කරමින් ඉන්නටය!!
ඔහොම වාදාභිමුඛව ඉන්නා මේ මැට්ටා වුණත් විශ්වයේ රටාවන්
ගැන හිතද්දී අදහන්නේ ‘ඒ රටාවන් යම් තරමකට හෝ තේරුම් ගන්නට සමත් උගතුන්’ මිහිපිට
පහළවිය හැකි බවයි.
යන්ත්‍රයක් කියන්නේ එවන් උගතුන් රටාවකට සැකසූ සිත්තමකි.
(ඒ මගේ සරල අර්ථ කථනයයි.) මන්ත්‍රයකුත් එහෙමය.
එහෙම වුණාට යන්ත්‍ර - මන්ත්‍ර
අපරිමිත සංඛ්‍යාවක් තිබෙන්නට හැකිය.
හැම දේශයකම, හැම ජාතියකම උගතුන් සිටින බැවිනි.
ඒවා රටකට- ජාතියකට- ආගමකට සීමා වෙන්නටත්, විවිධ වෙන්නටත් ඉඩ තිබේ.
එක-එක රටවල එක-එක භාෂාවෙන්, එක-එක විදිහේ යන්ත්‍ර තිබෙන්නට හැකිය......... |
හිතාදර පාඨක ඔබ ‘හරෝහරා- 5 පෝස්ටුව' කියවන්නට ඇත. එහෙම නම් මේ ටික මතක ඇතිවා නිසැකය.
“ඕනෙම දේවාලෙක, කෝවිලක වැඳුම්-පිදුම් කරන
දෙවි-දේවතාවුන් වහන්සේලාගෙ පිළිම අඹලා තියෙනවනේ. නිමල් දන්නවද.... පාද යාත්‍රාවෙන්
ගිහින්, ඔයාලා යන්න හදන කතරගම දේවාලේ ඇතුළේ කිසිම දේව ප්‍රතිමාවක්
නැති බව?”
“එතකොට....? දේවාලේ ඇතුළේ මොනවද ....”
“මුළු දකුණු ආසියාවෙන්ම, අදාළ දේව ප්‍රතිමාවක්
නැති එකම ප්‍රධාන දේවාලය විදිහටයි කතරගම දේවාලය සැලකෙන්නේ!”.....
කතරගම දේවාලය ඇතුළේ තිබෙනවාය කියන්නේ ‘සකොණ
යන්ත්‍රය’යි;
නිකම්ම නිකම් යන්ත්‍රයකුත් නොවේ.
දොළොස් අවුරුද්දක් තිස්සේ ‘ශරවනභව’
ෂඩාක්ෂරයෙන් ජපයෝග පිරූ සකොණ යන්ත්රයයි.....”
ශරවනභව ෂඩාක්ෂරයෙන් ජපයෝග පුරා ඇති සකොණ යන්ත්‍රය කඳ කුමරුවන් වෙනුවෙන්........ |
සකොණ යන්ත්‍රයෙන් තවමත් රශ්මි කදම්භ විහිදෙත්ල! ඒ ශරවනභව
ෂඩාක්ෂර මන්ත්‍රයෙන් ජපයෝග පුරා ඇති බැවින්ල!!
‘අතිශයින්ම වැඩිහිටියන්ටය’ කියලා films වගයක් ලංකාවේ
තිබෙයි. හැබැයි තවමත් ඒ ‘අතිශය වැඩිහිටියන්’ කවුරුන්දැයි අර්ථ කථනයක් සපයා නැත.
අතිශය කියන්නේ වඩාත් වැඩියෙන් කියන එක නේද?
ඒ නිසාම මම කිසිම පැකිළීමකින් තොරව ‘අතිශයින්ම
සමාවෙන්න’යි කියා ඉල්ලමි. මට හුරු-පුරුදු විදිහට නම් ‘අනේ ගොඩාරියක් සමාවෙන්න’
කියා කීමය.
‘ගොඩක් - ගොඩාක්- ගොඩාරියක්’ ලෙසිනි, මා’තින් ‘ගොඩ’ වරනැඟෙන්නේ. එහෙම
‘ගොඩාරියක්’ කියලත් මෙතැනට මදි වගෙය.
මා මේ කරුණු කියන්නේ ඔබේ විශ්වාසයන්ට පහර දෙන්නට නොවේ.
යම්-යම් විශ්වාසයන් ඔබ මත පටවන්නටත් නොවේ. තොරතුරු සම්පාදනයක් කරන්නටය. තීරණයකට
එළඹෙනවා නම් එය ඔබේ කටයුත්තකි.
මම නම් තවමත් අඳුරේ අතපත ගාමින් සිටින්නෙක්මි.
Easter Islandහි යෝධ ශෛලමය ප්‍රතිමා බලා හිඳින්නේ .... (පින්තූරයේ යට සිටින මිනිසා ඔබට මේ පිළිරූවල ප්‍රමාණය හිතාගන්නට ඉඟියක් සපයයි.) |
යන්ත්‍රයක් යනු රටාවකට හැදූ සිත්තමක් වැනිය.
එය නිර්මාණය
කෙරෙන්නේ තනන්නාගේ අභිරුචිය අනුවය.
ඈත අතීතයේදී එලෙස තැනූ සමහර දේවල් ‘කුමන
හේතුවකට, කෙලෙස, කවුරුන් තැනුවාද?’ කියා තවමත් රහස්‍ය. කාන්තාර භූමියක් පුරා
පැතිරුණු නාස්කා චිත්‍ර එහෙම ප්රහේලිකාවකි.
ඒවාත් එක්තරා ආකාරයක යන්ත්‍ර විශේෂයක් විය නොහැකිද?
ගුප්ත විද්‍යාත්මකව යන්ත්‍රයක් කියන්නේ තඹ පත්‍රයක් හෝ
රන් පත්‍රයක් හෝ කොළයක් හෝ වැනි දෙයක් මත අඳිනු ලබන්නකි. ඒවා නොතිබුණු අතීතයේදී
‘සකොණ යන්ත්‍රය’ කළු ගලක් මත සටහන් කර තිබෙයි නම්, තවත් තැනෙක මිහිතලය මත නාස්කා
චිත්‍ර වැනි සුවිසල් යන්ත්‍ර ඇඳීම නොවිය හැක්කක්ද?
Ba හිටියේ අඩ නින්දේය. බසය හිටු පිම්මේ වාද්දුවට ඇදෙයි.
Ba ළඟින්ම ඉඳගෙන හිටියත්, මගේ නං හිත ඇතුළේ මහා යුද්ධයකි.
කප්පරක් කට්ටඩියන්, සාස්තර- අනාවැකි කියන්නන් හිටියත්........ |
පොඩි කාලේ කනප්පුව ඇවිද්දන්නට අත් තියාගෙන හිටියා මිස අප
මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැත. දීපානි බතික් ආයතනයේ සිදුවුණු හොරකම අල්ලා දෙන්නට; හොරා අල්ලා
දෙන්නට මේ වාද්දුවේ ගුරුන්නාන්සේ සමත් වේවිද?
Baගෙන් නම් ඒ ගැන වචනයක්වත් අහලා වැඩක් නැත.
“වැඩේ වෙන්නෙ මෙහෙමයි. එදාට ඕනේ කරන සේරම දේවල් මම
හදාගෙන අරන් එනවා. පොල්තෙල්... කහ... දෙහි... තාච්චිය පවා මං ගේනවා.
මොකද ඒ සේරම
සුද්දෙට තියෙන්න ඕනේ.
පොල්තෙල් කඩෙන් අරගෙන හරි යන්නෙ නැහැ. ගෙදර පිරිසිදුවට
හිඳගන්න ඕනේ... ආ... මහත්තයලගේ අහ පොල්ගස් තියෙනවය කිව්වනේ...
ගස් යන්න ඇහැකි
කෙනෙකුව සූදානං කරවාගෙන ඉන්න. එච්චරයි, ඔබතුමන්ලට කරන්න තියෙන්නේ.”
වාද්දුවේ ගුරුන්නාන්සේ කිව්වේය.
මම හිස වනා එකඟත්වය පළ
කළෙමි.
Ba හිටියේ ආඩම්බරය තවත් චුට්ටක් වැඩි කරගත් ගමන්ය.
හරියට
ගුරුන්නාන්සේ එයාගේ බාප්පා කියලා හිතාගෙන වගෙය. ඒ මනුස්සයා පම්පෝරිය දිගාරින තරමට
baගේ මුහුණ පිම්බෙයි.
යන්තර මන්තර ප්‍රබන්ධ කරලා තියෙන්නේ ඉටු-අනිටු ගණ, අක්ෂර තෝරලා අරගෙන....... |
“මහත්තයලා ඕනිම කෙනෙකුට කියන්න අහවල් දවසේ අහවල් වෙලාවට
මං එනවය කියලා. වෙන කට්ටඩි වගේ මං ඔය හිර කරන වැඩවලට බය නෑ. මගේ වැඩ බ්ලොක් කරන්න
ජගතෙක් තාම ඉපදිලා නැහැ.... එහෙනං....”
මගේ සාවධානය එයාව තවත් දොඩමලු කරවයි.
“මහත්තයෝ, මන්තර ප්‍රබන්ධ කරලා තියෙන්නේ මේ අපි වගේ
පුරුතඥ අය නෙවෙයි. ඉරිසින්නාන්සේලා... ගණ පිහිටුවලා. ඉෂ්ට-අනිෂ්ට ගණ අක්ෂර තෝරලා-
බේරලා අරන්... ඒකෙනුයි බලය ලැබෙන්නේ. සාස්තරේ නොදැන නිකම්ම මන්තරයක් කියෙව්වට
ගුණයක් හම්බ වෙන්නේ නැහැ මහත්තයෝ. නියමාකාරයෙන් අක්ෂර හඬ නංවන විදිහට කියන්න ඕනේ!”
දැන් මට ඒ ගුරුන්නාන්සේව හොයාගෙන යන්නට හිතෙයි.
එදා
ඔහුගෙන් කියවුණු දේවල අරුත හරියටම වැටහෙන්නේ මෙහෙම උන්නැහේගේ කීම මතක් කරමින් කොටද්දීය.
ඔබේ ගායනයේදී කිහිප තැනකදීම ශ්රුතියෙන් බැහැර වුණත්............. |
එදා උන්දෑ කියා තියෙන්නේ, අද රියැලිටි තරග විනිසුරුවන්
කියනා දේවල්මය.
“දරුවා. ගීතයක නිසි රසය උපදින්නේ ඒ වචනවලට නිසි භාවය ඔබේ
හඬින් ලබාදෙන විටෙක පමණයි. අරුත ගැන හැඟීමක් නැතිව ගයද්දී ශ්‍රාවක අපට ලැබෙන
වින්දනය අඩුයි....
ඒ වගේමයි සංගීතය එක්ක හඬ ගලප්පාගැනීම.
Pitch එක. ශ්රුතිය... ඔබේ
ගායනයේදී දෙතුන් පොළකම ශ්රුතියෙන් බැහැර වුණා. ඒ වැරැද්ද නැති කරගත හැක්කේ නිසි
පරිදි ස්වර අභ්‍යාස කිරීමෙන්.
නිරන්තර; අඛණ්ඩ සතතාභ්‍යාසයෙන්...”
ගුරුන්නාසේ ඒ තියරිය කිව්වේ මෙහෙමය.
“නිකම්ම ඕම් කිව්වට
වැඩක් නැහැ මහත්තයෝ. හරි තාලෙට, හරි ස්වරේට ඒක කියවුණොත් විතරයි මන්තර යාදෙන්නේ!
සෙත් කවියක් වුණත්...”
අපේ වැඩේට දිනයකුත්, වෙලාවකුත් යොදාගන්නට ගියාමය
ගුරුන්නාන්සේට දත් 32ම පෙන්වන අයව මතක් වුණේ.
ගුරුන්නාන්සේට දත් 32ම පෙන්වන්නට මතක් වුණේ...... |
“අමනාපයක් හිතන්න එපා මහත්තයෝ.
-අපි ඉතින් දෙවියන්ගෙන්
යකුන්ගෙන් වැඩ ගන්න උදවිය වුණාට බත්-මාළුපිණි කාලා ජීවත් වෙන උදවියනේ.
ඒවාට කාසි
එපැයි... මගේ වැඩ මසුරන්.
ඒ හින්දා වැඩ ඕනේ තරං....
-මහත්තයලට මාව ගෙන්නාගෙන වැඩේ
කරවාගන්න ඕනෙනං ගාස්තුවෙන් බාගයක් අද ඇඩ්වාන්ස් දීල යන්න වෙනවා......”
ඉතින්.......
මන්තර ගුරුකම් වල සත්‍ය/අසත්‍ය භාවය හොයා බලන්න මේ වගේ පරීක්ෂණයක් කරපු කතාවක් ඇහුවේ අදමයි. බොහෝ විට යන්ත්‍ර මන්ත්‍ර වල ප්‍රතිඵල අහඹු සිදුවීම් ලෙස සලකනවා මිසක් එය මන්ත්‍ර බලයෙන් සිදු උනා කියා තර්ක කරන්න/ඔප්පු කරන්න බැහැනේ.
ReplyDeleteකතරගම දේවාලේ ප්‍රතිමාවක් නැති බව දැන ගත්තේත් අදයි. කතරගම ගිහින් තියන වාර ගණන 10කට වඩා වැඩි විය යුතු නමුත් කවදාවත් දේවාලය ඇතුලට ගිහිල්ලා නැහැ.
සල්ලි දෙවියන්ගේ මල්ලි නිසා දෙවියන්ගේ ලෝකල් ඒජන්ට් වන ගුරුන්නාන්සේට 50% ඇඩ්වාන්ස් එකක් ඉල්ලීමේ හෝ දීමේ වරදක් මම නම් දකින්නේ නැහැ.
සෑම්, ඔයාගේ කමෙන්ටුව දක්කාම මට පුදුමයකුත් ආඩම්බරයකුත් හිතුණා. පුදුමේ 'සත්ත බලන්න මේ වගේ දේවල් කරන අය' ගැන ඔයා අහලා නැති බව කිව්වාම. වෙච්චි දේට 100%ක් සම්බන්ධ වෙච්චි නිසා මට නම් මේක අහඹු දෙයක් විදිහට හිතෙන්නේ නැහැ.
Deleteහැබැයි ආඩම්බරයි, එහෙව් පෙරළිකාර වැඩ කළ ඩී.එච්. ගුණපාලගේ ලොකු පුතා වීම ගැන. පම්පොරියකට කියනවා නෙවෙයි. තවත් පාර්ශ්වයකට මදිකමක් වෙන නිසා අපේ තාත්තගේ හොඳම හපන්කමක් කියන්න විදිහක් නැහැ. මටත් ටිකක් ඒ නුහුගුණේ ඇවිත් වගෙයි.
කතරගම දේවාලයේ තිරවලිනුත් ඇතුලට කපු මහත්වරුන්ගෙන් ගොඩකටවත් යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද ඒ වරම ලබාගන්නේ.
කට්ටඩි මහත්තයා ඔයාව දන්නවා නම් සෙත් කවියක් කියයි! එයාගේ පැත්තට මනාපය දුන් නිසා.
//දිගටම වාද කරමින් ඉන්නටය
ReplyDeleteඑහෙම වෙන එකක් නැහැ නිදි, ආච්චි ජාලයේ කරක් ගහලා කියල දෙයි සතර වරම් දෙවිවරු
අනුරාධපුර යුගයේ එක සෙට් එකක්,ගම්පොල යුගයේ තවත් සෙට් එකක්,කෝට්ටේ යුගයේ වෙනස්ම සෙට් එකක් කියලා
//එහි පිටපතක් අන්තර්ජාලයට මුදාහැර නැත
අර සීවලී හාමුදුරුවන්ගේ කන් දෙකම පේන්න තියන එකද
වැඩේ මං හිතුවටත් වැඩියෙන් සීරියස් වගේනෙ සිරිබිරිස් උන්නැහේ.
Deleteපින්තූරය හිතේ තියෙනවා. මෙතෙක් නං නැවත දකින්න ලැබිලා නැහැ. පෝස්ටුවට දාලා තියෙන එකට ගොඩාක් කිට්ටුයි. ඔයා කියන විදිහේ එක කනක් විතරක් නෙවෙයිද පෙනෙන්න තිබ්බේ කියලා නිච්චි නැහැ.
සීය නිකං වික්ටර් අයිවන් වගේ
ReplyDeleteඑහෙම කිව්වේ සීයා හීන් නූල්කාරයෙක් හින්දද?
Deleteනෑ නෑ පෙනුම විතරයි
Deleteඒක මිසක්කා.
Deleteඔරිජිනල් හතරවරම් දෙවියො කියන්නෙ "ඉන්ද්‍ර, අග්නි, වරුණ, යම". මිනිසාට බලපාන ප්‍රධාන ස්වාභාවිත බලවේග හතර.
ReplyDeleteඩ්රැකී. සිරිබිරිස් උන්නැහේගේ කමෙන්ට් එකත් කියවන්න ඇතිනේ.
Deleteකාලයෙන් කාලයට අපට අලුත් නායකයන් ඕනේ වෙනවා වගේ වන්දනයටත් අලුත් අයව- අලුත් තැන් ඕනිවෙනවාවත්ද?
ඉස්සර ලක්ෂ්මි වන්දනාවක් තිබුනේ නැහැ.
දොළුකන්ද, මීවැල්ලාව දැන් තියෙනවදවත් දන්නේ නැහැ. එකයි එහෙම හිතුනේ.
මට පේන විදිහට වෙලා තියෙන්නෙ, පරණ දේව ඇදහිලි අලුත් දේව ඇදහිලිවලින් ප්‍රතිස්ථාපනය වෙනකොට පරණ දෙවිවරුන්ට අලුත් නම් සහ චරිත ආරූඪ වෙන එක. උදාහරණයක්...
Deleteඉස්සර මව් දෙවඟන හෙවත් ජගන්මාතාව ඇදහීම... පස්සෙ කාලෙක ලංකාවට පත්තිනි ඇදහීම ආවම, ඒ දේවාල සහ චාරිත්‍ර පත්තිනි මෑණියන්ට ආදේශ වෙනව. ඒ විදිහට කිරිඅම්මවරුන්ගෙ දානය පත්තිනි ඇදහීමට බද්ධ වෙනව.
තව එකක්... ඉස්සර කඳුවලට වැඳීම තිබුණා. පස්සෙ කාලෙක බෙෘද්ධයන්ට ඒක ශ්‍රීපාද කන්දෙ තියෙන බුදුන්ගෙ පා සටහනක් වැඳීමටත්, හින්දුන්ට වැඩිහිටි කන්දෙ කතරගම දේවාලෙ වැඳීමටත් ආදේශ වෙනව...
තව ලස්සන උදාහරණයක් තමයි, උපුල්වන් දෙවියො... පස්සෙ කාලෙක දෙවිනුවර දේවාලෙ පෘතුගීසීන් කැඩුවට පස්සෙ, පිළිමතලාව පැත්තෙදි දැඩිමුණ්ඩ දෙවියො වෙලා, බෝධිසත්ත්ව සංකල්පය ථෙරවාදය ඇතුළට ආවට පස්සෙ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ත්වයන් හෙවත් නාථ දෙවියො වෙලා, නුවරදි ඒක විෂ්ණු ඇදහීමට පරිවර්තනය වෙච්ච එක...
ගොඩාරියක් ස්තුතියි ඩ්රැකී. තවත් සාරගර්භ කරුණු එකතු කළාට.
Deleteඔය වගේ යන්ත්‍ර ගැන මගෙත් ලිපියක් තිබුණා මේකට කතු කරන්න පුළුවන් වගේ කියල හිතුණා.
ReplyDeletehttps://drackey.blogspot.com/2013/04/blog-post_11.html
පොඩ්ඩක් බලල මොනවහරි කියන්න
ඉතා හොඳ ලිපියක් ඩ්‍රැකි.
Deleteවැඩියත්ම රන්මසු උයනේ ව්ශ්ව දොරටුවේ ශෛලමය සටහන මගේ හිත තදින්ම ඇදගත් එකක්. හුඟ දෙනෙක් එක තියෙනවද කියලවත් බලන්නේ නැහැ ඉස්සර නම්.
එතනම තියෙන කළුගල් බාල්ක පලන්නට ගත්තු උත්සාහයන් ගැනත් යන්තමට මතකයි.
ස්තුතියි, අනිවා මේ ගැන කියනවා. කියන්න වටිනවා.
“.... ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ දෙවිවරු හතර දිහාවට බැල්ම ලාගෙන බලා ඉන්නවා. පොළෝ මහී කාන්තාව මත්තේ ඉඳගෙන අපි කරන සේරම දේවල් උන්නාන්සේලාට පෙනෙනවා පුතේ. උඹ චූටිම හොඳක් කළත් ඒක උන්නාන්සේලා දකිනවා. උන්නාන්සේලාගෙන් හොඳක් කියවෙන්නේ අහම්බෙන්...
ReplyDeleteහැබැයි රංජි පුතේ, හතර දෙනෙක් උඹට හොඳ කිව්වොත් හතරවරම් දෙයියොත් හොඳය කියනවලු!”
Critical ය පිංවත 🤔🤔🥶😱 හොඳක් අහන්න හතර ෙදෙනකේ හොයා ගන්නව කියන්නෙම ගේමක්! :(
සත්තක ඇත්ත තනි අලියෝ.
Deleteතවම අපේ රටේ ගොඩාරියක් උදවිය යන්තමටවත් නොදන්නා කියමනක් තියෙනවා.
'විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් අගී."
මම නම් යන්ත්‍ර මන්ත්‍ර වල යම් හෝ සත්‍යතාවයක් පිළිගන්න කෙනෙක්. මොකද මන්තරයක් කියන්නේ ශබ්ද තරංග යම් රටාවකට හැසිරවීමක්. ඉතිං එතන අනිවාර්යයෙන් යම් බලපෑමක් තියෙන්නම ඕනේ.
ReplyDeleteමමත් එහෙමම තමයි මහත්තයෝ.
Deleteහැබැයි එව්වා කරන්න; හරියට කරන්න දන්නා අය නැති එකයි ප්රශ්නය.
මිනිහාට ගුරුත්වාකර්ෂණ බලය ඉක්මවා අභ්‍යවකාශය කරා යන්නට යන්ත්‍ර තැනිය හැකි නම්, සයුරු ගැඹරේ යටට යන්නට පීඩනය ඉසිලිය හැකි සබ්මැරීන් යානා තැනිය හැකි නම්.... ධ්වනි තරංග- ආලෝක තරංග හීලෑ කරගෙන තියෙනවා නම්...
ඉස්සර සිත දියුණු කරගත් කෙනෙකුට මන්තරයක් රචනා කිරීම ලේසියෙන්ම කළ හැකි වෙන්න ඇති.
මාත් නිරීක්ෂණය කරලා තියෙන දෙයක්. හැබැයි හැම දේටම නෙමේ. විශ්වයහැදුන හැටි ඉගෙන ගන්නකොට මේ රටාවන් පේනවා. මගේ බ්ලොගයේ කාලෙකට ලිපි පෙළක් ලිව්වා. පැරනොමල් දේවල් ගැන. ආපහු උඩට ගන්න හිතුන මේක කියවල.
ReplyDeleteඉතා අගෙයි අජිත්. ඔයාට පුළුවන් නේද එකට අලුත්ම කාරණාත් එකතු කරන්න.
Deleteවැඩේ පටන් අරන් ඉන්නෙ.පණ දෙන්න පුලුවන් වෙයි මන්ත්‍ර විද්‍යාවට.
ReplyDeleteවශී ගුරුකම් දැනගත්තම කියන්න, හොඳේ!
ReplyDelete