අකුරු මැකී නෑ

Tuesday, April 7, 2020

කොරෝනා කොරපු; කොරන හරිය! -සිව්වෙනි කොටස

තව කොච්චර පුච්චන්නද දෙයියනේ?

හරිම අරුම දේකුත් තියෙනවා. මෙතෙක් කිසිම පෝස්ටුවක, ප්‍රවෘත්තියක නොදුටු දෙයක්. දැවෙන ප්‍රශ්නයක්..... ඒක මට මීටර් වුණෙත් හරිම අහම්බෙන්.... බලමු ඊළඟ ‘කොරෝනා කොරපු කොරන හරිය’ ලියන්න කලින් කාට හරි කම්පනා වෙලා තියේවිද කියලා..... 

මම එහෙමයි කොරෝනා පොස්ටුවල තුන්වෙනි කොටස සමාප්ත කළේ. පුදුමයි, අද වෙනකල්වත් ඒ කාරණය ගැන සඳහනක් දැක්කේ නැහැ. 

නාගවල්ලි! බුලත්!! බුලත් විට!!!
ලංකාවේ කොච්චර අය විට හපනවද?

කසිප්පු වඩි ගහන අස්සේ සතොසේ බඩුවල පොහොට්ටු ගහලද?
අපේ lane එකේ විට කන හතර-පස් දෙනෙක්ම ඉන්නවා. පහුගිය සතියේ එක්කෙනෙක් රුපියල් 100/-ක් දීලත් බුලත් විටක් ගෙනාවා. ඊට පස්සේ 75/-ටත්, ඒකත් හොයාගෙන-හොයාගෙන ගිහින්.

අපේ ගෙදර පිටිපස්සේ නාටු බුලත් වැලක් තියෙනවා. Abandoned! ඇත්තටම අත් හැර දාලා. පෑවිල්ල හින්දා බාගෙට වේලිලා. ඒත් ඒ ගැන දැනගත්තු අය ඇවිත් තිබුණු කොළ ටික ඉල්ලාගත්තා. එතකොට තමයි තේරුණේ ඇබ්බැහි වුණු අයට තියෙන අමාරුව.

අද උදේ බලද්දී වෙනින් ඇබ්බැහි අමාරුවක් තියෙන අයගේ වෙනුවෙන් (බුලත් කන) අටමා (ලක්මාල් කන්දෙවිතාන) වීඩියෝ එකක් හදලා. වල් ෆැන්ටා- home made වයින් වඩි ගහගෙන බොන්ඩ එපා, බීඩි සිගරට් හවුලේ බොන්ඩ එපා කියලා.

මේ කාලේ බල්ලෝ රජ වෙලා. රජවරුත් බලු වෙලා.
ලක්මාල් ගැන කියනකොටම මගේ සිහියට ආවේ බලු කොරෝනා පෝස්ටු. ලක්මාල් බල්ලොන්ට හරි ආදරෙයි. කොරෝනා නිසා කුක්කුර දිවියත් සෑහෙන්ඩ වෙනස් වෙලා.

කොහොමද මේ යුගයේ බල්ලෝ රජ වෙලා, රජවරු බල්ලෝ වෙන හැටි?

කොරෝනා! රත්න සූත්තරේ සජ්ජායනා කෙරුණත් බක් පෝය දවසේ...........
අද බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල්වලට එක්රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරලා.

කොරෝනා අවදානම ගැන හිතලා.   

අනේ උන්නාන්සේලා මේ වගේම ශබ්ද දූෂණය ගැනත් උනන්දු වෙනවා නම්. මහරගම දුම්රිය මාවත හරියේ, නාගහවත්ත පාරේ පන්සල්වල දැන් උදේ හවා සද්දෙන් දාන පිරිත් සජ්ජායනා පමුණුවටත් ඇහෙනවා. 

ඒ හරියේදී නම් උඩ ඉන්න අසංඛ්‍ය සංඛ්‍යාත දෙවි-දේවතාවන්ටත් ඇහෙන්න වෙන්නැති, එච්චර සද්දෙට පිරිත් දාන්නේ. නැතිනම් පන්සලේ ඉන්න අය බීරො වෙන්නැති. නැත්තං බීරන් වගේ ඉන්න පුරුදු අය වෙන්නත් ඇහැකියි. නුවර නායක උන්නාන්සේලා වගේ....

වායු දූෂණේ අඩු වෙලා ඈතටත් හිමාලේ පෙනෙනවලු. නුවර බලවතුන්ටත් එහෙම පේනවා නම්! හිමාලය නෙවෙයි.... 
පූජනීය දළදා වහන්සේ වැඩ සිටින නුවර නගරයේ උපරිමයෙන් වායු දුෂණේ වෙලා තියෙද්දී ලොකු උන්නාන්සේලා පාර වහගෙනම ඉන්න කියන්නේ. උන්නාසේලා බිහිරි නිසායැ? ඇහැ-කණ පියාගෙන තුෂ්ණිම්භූතව මුනිවත රකින රංගනයක් කරනවා විතරයි.

කොරෝනාවට පිං සිදු වෙන්න ලෝකයේම වායු දූෂණය අඩු වෙමින් යනවා. හිමාලයත් පෙනෙන්න පටන් අරන්. ඉතින්, නුවර වායු දූෂණයත් අඩුවෙලා ඇති.

කෝටි 2444 ක් කියන්නේ හැබෑට කොච්චර විතරද? ඔයින් කීයක් ණය ව්දිහටද.... ඒවා ගෙවන්න වෙන්නේ...
FB හිතවතුන්ට නම් අඩු-වැඩි වෙන තව තව දේවලුත් පෙනෙන්න පටන් අරන්. ඩොලර් මිලියන 128 සහන ණය, ඒවාට මොනවා වෙයිද වගේ දේවලුත්!

එව්වාත් පොඩි නෑ. ‘බිඳෙන් බිඳෙන් ජලේ - සෙමෙන් පිරෙයි කළේ!’ කිව්වලු. 
එහෙමයැ එක පාර පිරෙනවා නම්... කවුද එපැයි කියන්නේ?

උපදෙස් නම් සක්විතිගෙනුත් ගත්තම මොකද?
“නොදකින්, තෝ වගේ අසමජ්ජාතියන් එහෙම කිව්වත් ඔය බිලියන ගණන් සල්ලිවලින් එක සතයක්වත් අපතේ යන්නේ නැති බවට මට හොඳටම විශ්වාසයි.  තෝ කට පියාගෙන හිටු!” ඊයේ රාත්තිරියේ xකිල්ලේ රජ්ජ්රුවෝ හීනෙන් පෙනී හිටලා, දිවුරලා සහතික වුණා. 
(මේ, ඔයාලා හිතුවේ x අකුර වෙනුවට වෙනින් අකුරක් දාගෙන මහ වනචර වචනයක් හදාගන්න නේද? Don’t be නෝටි. දැන් එහෙම රජවරු නැහැ. කැකිල්ලේලා ඉඳිද්දී තව රජවරු මොටද?

ඒ හින්දයි අපේ CID එකත් එක්ක පවා හැංගිමුත්තන් කෙළලා දිනුව දස්සයන්ගෙනුත් රට බේරාගන්න උපදෙස් ගන්න හදන්නේ. එව්වායේ අග-මුල ගලපාගත හැකි අයට නිකම් හිටියැකිද? එතනට අඩු තව දස්ස වීරයන් ඉන්නවා, හොඳේ.

හෙද සේවාවේ නියුතු අයගේ හැබෑ වටනාකම කීයද?
‘මුහුණු පොතේ ඉඳගෙන ඕනේ කෙනෙකු ඕනේ දෙයක් කියපුවාවේ’. එයාලා හිතන්නේ ඒ වගෙයි.

මේ විපත්තිකාරක මොහොතේ වුණත් දොස්තර- හෙද- හමුදා- පොලීසි සහ තවත් ගොඩක් අත්‍යවශ්‍ය සේවා කරන අයට වැඩියෙන් දේශපාලඥයන්ට තමන්ගේ පිලේ උදවිය වටිනවා.

බොරුද මං අහන්නේ?

එන්න එන්නම රටේ- ලෝකයේ කොරෝනා අවදානම වැඩියි. ඇමෙරිකාවේ කොරෝනා මරණ 10,000 පැනලා!
ඔන්න මං කැට තියලා කියන්නම්, අර දේශපාලඥයන්ගේ මෙහෙයවීමෙන් හෙටානිද්දා අපි ලෝකෙටම ආයුර්වේද බෙහෙතක් යවලා කොරෝනා විපත්තිය දුරින්-දුරු කරලා දානවා. මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන, විෂබීජ නාශනය කරන බෙහෙතක් ගෙයින්-ගෙට ගිහින් රටටම බෙදන්න වගෙයි ලෑස්තිය. 

බලාගෙනයි, පරෙස්සමෙන් අඩිය තියලා ගෙයින්-ගෙට යන්නේ. ‘ගෙයි පඩි’ පෑගුනොත්...

එතකොට ඔන්නම්, කලබල වෙලා ජපානෙන් ගෙන්නපු (අනුමතත් නැති) අවිගන් පෙති 5000 වුණත් වැඩකට නැති  වෙයි. (තමුසේ ඉන්නවා නිදි, බල්ලොත් නොකන සල්ලිද ලොකු මේ වෙලාවේ?)

හමස් පෙට්ටියට ගිය නව නිපැයුම් කොච්චර තියෙනවද? මේවා?
කොරෝනාව හින්දා සිද්දවෙන හොඳ දේවල් අතරේ මේකත් එකක්. අපේ රටේ හැබෑ දස්සයන් හිටු කියලා නව නිපැයුම් හඳුන්වා දෙන්නට පටන් අරන්. ප්‍රවෘත්ති හිඟ හින්දාද මන්දා ඒවාට හොඳ තැනකුත් ලැබෙනවා. ප්‍රචාරය වගේම ඒවායින් රටට, නිපැයුම්කරුවාට සිදුවෙන යහපත ගැනත් පසු විපරමක් කෙරෙනවා නම්...

එහෙම කෙරෙනවා නම් එයාලා උඩටම එයි නේද?

දැම්මත් ලණුවක් නාහෙට....
බුද්ධිමත්කම උගත්කමින් මනින්න බැහැ! අතේ කොච්චර සහතික තිබ්බත්, සමහරුන්ගේ මොළේ තියෙන්නේ pu..!

මේ තේ දළු නෙළන්නියන්ටත්, ලොකු උන්නැහේටත් ඒ දහම පොදුයි. බලාගෙනයි, ලොකු උන්නැහේ, වෛරසේ එළියට එයිලු!

අමරණීය වෙන දෙවියන් සිටින්නේත් මිහිමඬල මත්තේමය!
බක් පුර පසළොස්වක දවසේ පන්සලකටවත් නොයා ගෙදරටම වෙලා නිරෝධායනේ වෙච්චි ඔයාලට උපහාරයක් විදිහටයි ‘මිහිපිට දෙවිවරු’ ගැන ලියලා අද පෝස්ටුව ඉවර කරන්නේ. (හිතාදර ඔයාලා පෝස්ටුව කියවද්දී ෆොටෝ වැඩි නිසා වැඩියෙන් ඩේටා පිච්චෙනවා නේද? ඒකට, සමාවෙන්න ඕනේ, හොඳේ.)

මේ දෙවිවරුන්ට හරි හමන් විවේකයක් නැහැ. 
ආරක්ෂාවක් නැහැ. ජීවිතේ පවා පරිත්‍යාග කරන්න වෙනවා. 
එහෙම අකාලයේ දිවියට සමුදෙන්නට සිදුවුණු අරීමා නස්රීන්, ඒමී රොක් ඇතුළු ලෝකවාසී සිය ගණනකට අපි සේරම එකතුවෙලා; ගෙය ඇතුළේ ඉඳගෙනම සදා සාමය- සතුට- නිවන ප්‍රාර්ථනා කරමුද?

කියන්න තියෙන දෙයක් ඇයිද ඉන්නෙ තවම බලා?
අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!

8 comments:

  1. ටික දවසකින් ප්‍රතිචාරයක් දාන්න තරම් විවේකයක් තිබුනේ නැති එක ගැන සමාවෙන්න. මොන කොරෝනා තිබුනත් අපි සාමාන්‍ය විදියට වැඩ. පාසැල් සහ රෙස්ටොරන්ට් නම් වහලා. මෙහෙ නම් දැන් කොරෝනා එකේ උපරිමය පහු කරලා ටික ටික පහලට (ප්‍රතිශතයක් වශයෙන් ) යනවා. ඒ උනාට ඉදිරි මාස තුන හෝ හය මේ විදියේ නිරෝධායන නීති (වැඩට, අධ්‍යාපනයට, රෝගයකට ප්‍රතිකාර ගැනීමට සහ ෂොපින් යාමට, ව්‍යායාම කිරීමට හැර නිකරුනේ වාහන පැදවීම/ඇවිදීම සීමා කිරීම සහ පාක් වල බීච් වල ගෙවල් වල එක රැස් වීම තහනම් කිරීම තමයි මෙහෙ ලොකුවට කෙරෙන්නේ ) යටතේ දිවි ගෙවන්න වේවි. හැමදාම ආතල් එකේ නිදහසේ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු, මෙහෙ මිනිස්සුන්ව පාලනය කරන්න හරි අමාරුයි. අපි වගේ "ඇඳිරි නීතිය" ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුන මිනිස්සුන්ට නම් මේ කියන බොහොම සරල නිරෝධායන නීති පිළිපදින්න අපහසුවක් නැහැ. ඒ උනාට මෙහෙ මිනිස්සු ගිය ඉරිදාත් බීච් ගිහිං ආතල් ගත්ත එකට තදවෙලා බීච් වහලා දාන්න සිද්ද උනා. ලංකාවේ ඇඳිරි නීතිය නිසා මිනිසුන්ගේ ජීවිත බොහොම අපහසුතාවයට පත් වෙලා තියන බවයි පෙනෙන්නේ. කොපමණ කලක් ඇඳිරි නීතිය යටතේ හිටියත් කවද හරි ඇඳිරි නීතිය ඉවත් කල විට මේ රෝගය නැවත හිස ඔසවාවි කියලයි මට හිතෙන්නේ. එහෙම නොවේවා කියා ඉතා සිතින්ම පතමි.

    ReplyDelete
    Replies
    1. අද උදේ හිත හැදුණා, එහෙමපිටින්ම.

      අප්‍රේල් 19 වෙනිදා වෙනකොට සිරි ලංකාවේ සේරම කොරෝනා රෝගීන් අඳුනාගෙන ඉවර කරනවා කියලා පවිත්‍රා දේවී වන්නිආරච්චි දේවතාවිය කියලා. https://www.lankahotnews.net/2020/04/19.html

      වැඩේ කිරිගහට ඇන්නා වගේ තියෙයි. ඊට පස්සේ එතුමියව ගෙන්නවයි ඔයාලගේ රටවල්වලටත්.

      එතකොට කොරෝනා සුනේ සුන්!

      Delete
  2. අපේ සීයටත් බුලත් විට නැතුවම බෑ... ඒ නිසා ගෙදරම වවන් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. විට කෑම කොච්චර පරණයිද මිතිල. නිකන්ද බුද්ධ පූජාවටත් දැහැත් විට තියන්නේ? මම ඒ මුක්කුව ගැහුවේ සීයාගේ බුලත් පන්දලමට.

      Delete
  3. පොතේ විදියටනං දෙය්යන්ට හොඳට කන් ඇහෙන්න ඕනි නිදි.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා කන පැලෙන සද්දෙට ශබ්ද වාහිනී දාන්න එපාය කියලා (මතක හැටියට ඉලන්චේලියන්) දමිල විනිසුරුතුමෙකු තීන්දුවකුත් දුන්නා නේද? දැන් ඉන්න හුඟ දෙනා උපතින්ම බීරො නිසා ඔය කතන්දර එයාලට ඇහෙන්නේ නැහැ.

      Delete
    2. බීරි නොවී ඉන්න් බෑනෙ මේ රටේ. පිරිත්, යාග්නා , අවුරුදු උත්සව , බයිසිකල් රේස්, රැස්වීම්, පෙරහැර , වෙඩින්වල සින්දු වගේ හැමදේම ඔක්කොම කන පැලෙන්න දානකොට

      Delete
    3. ඒ නිසා තමයි හුඟාක් අය බාගෙට බිහිරි වෙලා තියෙන්නේ. එහෙම වුනාම හෙමින් කියන දේවල් එයාලට ඇහෙන්නේ නැහැනේ Pra Jay! වොලියුම් එක තවත් වැඩි කරගන්නවා; තවත් බීරි වෙනවා......

      Delete