අකුරු මැකී නෑ

Thursday, May 14, 2020

තණමල්විල කොල්ලගෙ යටිබඩ! -දෙවෙනි කොටස

You Tube එකේ 'තණමල්විල කොල්ලෙක්'' මුල්ම එපිය මිලියනයකට වැඩි පිරිසක් බලලා!
“මොකක්ද උඹ කරන ලෙවල් එක?”
“A ලෙවල්.”
“අන්න ඒ මොන යටිබඩක් හරි කරලා, අපි වගෙ එවුන්ට අරින්ඩ එන එවුන් නවත්තන්න පුළුවන් මිනිහෙක් වෙයන් උඹ!”

දඩබ්බර පෙනුමැති හිත හොඳ එකා; පතෝලයාගේ කටට දෙන ‘යටිබඩ’ වචනය සුසිතගේ හිතලුවක්ද? අලුත් නිර්මාණයක්ද? එහෙමත් නැත්තං මේ කොදෙව්වේ කොයි ඉසව්වකින් හරි අහුලාගත් එකක්ද?

සුසිත කොහේ එක්කෙනෙක්ද?

මං හාන්කාවිසියක්වත් දන්නේ නැත. ඒත් මිනිහා ඇත්තටම තණමල්විල ඉඳලා තියෙනවා වෙන්නැති. එහෙමත් නැතිනං මදි නොකියන්නම ඒ පැත්තේ කරක් ගහන්න ඇති. නිකම්ම නිකං ආතල් එකට ගම් පලාත්වල කරක් ගහන අයට ඒ පැතිවල මිනිස්සුන්ගේ නාඩි වැටෙන හැටි අහුවෙන්නෙ නෑ. ඒ මිනිස්සු හූල්ලන සද්දේ, ඉකි ගහන සද්දේ ඇහෙන්නෙත් නැහැ. ‘ගම තමා උතුම්- ගම තමා සුන්දර’ වගේ fantasyවල පැටලිලා ඉන්නකොටත් හරියට යථාර්ථය පෙනෙන්නෙ නැහැනේ.
කොහෙන්ද සුසිත මේ යටිබඩ අහුලා ගත්තේ? (සිත්තම- නිපුණ කිත්මල්)
කැලේ- කොළේ- ලන්දේ- දෙනියේ- බඩවැටියේ- වෙලේ- නියරේ- කමතේ- ඕවිටේ- හේනේ.... කොහේ වුණත් සුන්දරයි තමා. සිදාදියේ ගෙන්දගම් පොළොවේත් සුන්දර තැන් එමටයි, ඕනෑකමින් බලනවා නම්.
අතුරු-ආන්තරාත් එහෙමම තමා. කොහෙත් තියෙනවා.

ඒ සුන්දර-අසුන්දර දේවල් සේරම පෙනෙන්නෙ- දැනෙන්නෙ හොඳින් නාභිගත (focus) වෙන ඇසුයි, සුසර (tune) වෙන හිතකුයි තියෙන භවතෙකුටයි. ඒ වාසනාව සුසිතට අඩු නැතිවම ලැබිලා තියෙනවා වගෙයි!

ඒ නිසාමයි සුසිත විජේමුණිට ‘යටිබඩ’ මීටර් වෙන්න ඇත්තේ. ඒ කොහෙදිද?

අඟුණකොළපැලැස්ස, සූරියවැව කිට්ටුව රස්සාව කරද්දී තමයි ප්‍රින්ස් නම් ‘යටිබඩ’ අල්ලගෙන තියෙන්නේ. ප්‍රින්ස් කියන විදිහට නම් ‘හම්බන්තොට දිස්ත්‍රික්කයේදිත්, මොනරාගල දිස්ත්‍රික්කයේ යට කොටසේදිත්, වලස්මුල්ල හා හක්මන පැතිවලදිත් ‘යටිබඩ’ යෙදුම ඇහෙනවාලු.

හරියට බලනවා නම් නගරයේ වුණත් හැංගුණු ලස්සනක්.... (වැල්ලවත්තේදී මිශාන් රන්දික ගත් foto එකකි.)
ඒ ‘විබ්බනේ’ මේං ප්‍රින්ස්ගේ වචනවලින්ම.
"අව්වේ වැඩ කරනකොට අත්වලට දමන මේස් දමාගෙනම මම දවල්ට කන්න ගිය වෙලේක “ඔන්න ඔය යටිබඩවල් ගලවලා කාපං” කියලා කියපු වෙලාවක තමා මම මුලින්ම ඕක ඇහුවේ. තත්පරයක් දෙකක් මඤ්ඤං වෙලා තමයි ආයේ කල්පනාවට ආවේ, මේ කිව්වේ මේක ගැන නේද කියලා.

ආයේ වෙලේක වෙනදා වැඩකට එන කෙනා නැතුව වෙන කෙනෙක් ආපු දවසක්. මිනිහා එක්ක වැඩේ ඉවර වෙලා මලපැනලා ආපු වලස්මුල්ලේ පැත්තේ T O කෙනෙක්ගෙන් ‘වැඩේ හරියට කරාද’ කියලා ඇහුවම කිව්වා ‘කරා යටිබඩක්’ කියලා.

ඒක තමයි මම අහපු හොඳම පැහැදිලි කිරීම ‘වැඩක් කෙලවුණ’යි කියන එකට.

-කතාවේ ඕක පතෝලයා විතරක් කිව්වට ඒ පැතිවල හැමෝම වගේ කියන වචනයක් ඕක. ඒක කියද්දී හරි ලස්සනයි. උපතේ ඉඳන් ඒක භාවිත නොකරපු කෙනෙක්ට කවදාවත් ඒ පැත්තේ කෙනෙක් වගේ ඔය වචනේ කියන කොලිටිය ගන්න බෑ. තවත් ඒ වගේ ලස්සන වචනයක් තියේ ‘විබ්බන’ කියලා. ඒක කියන්නේ ‘මළවිකාර’වලට..........

කොහොමද, ටෙලි නාට්‍යයක් නිසා ප්‍රාදේශීය ව්‍යවහාරයක් ගැන රටක අවධානය යොමු වුණ හැටි? ඒ ගැන ලියන ප්‍රින්ස් සුරේෂ් ජයසූරිය සහෘදයා ලිපිය අවසන් කරන්නෙත් මරු වැකියකින්. 

අද ඉන්නා ටෙලි නළු-නිළියන් කී දෙනෙකුට..... (සිත්තම- නිපුණ කිත්මල්)
‘ඕන යටිබඩක් වෙන්න කියලා මගේ විබ්බනේ කියෙව්වට ස්තුතියි!’

ඉතින්, සුසිත විජේමුණි එයා තනිව ලියන පළමු ප්‍රාසාංගික ටෙලිනාටක තිර රචනය කරද්දී ඒ පැත්තේ වදන් විතරක් නෙවෙයි, පණ ගැහෙන හැටිත් අතිසාර්ථක විදියට ග්‍රහණය කරගෙන තියෙන බවයි, අග-මුල ගලපලා බලද්දී හිතෙන්නේ. (මීට කලිනුත් සුසිත විජේමුණි දිගු ටෙලි නාට්‍ය තිර රචනයක් කරලා තියෙනවා, තවත් දක්ෂයෙක්; නාමල් ජයසිංහ එක්ක හවුලේ. ‘අහසින් වැටුණා’.) 

“මමත් මේ දවස්වල තණමල්විල කොල්ලෙක් fan කෙනෙක් වෙලා. මාත් පිස්සුවෙන් වගේ මං බලනවා. ඒ කියන්නේ දසුන් පතිරණ විදියට මං මාවම (පොඩි හාමුදුරුවන්ව) බලනවා. මං පතෝලයා දිහා බලන් ඉන්නවා. මං කිතුලා දිහා බලන් ඉන්නවා. ලොක්කයියා දිහා බලන් ඉන්නවා.... බලං ඉන්න පුළුවන් සීමාවක් නැහැ. හැමෝම දිහා බලං ඉන්න පුළුවන්......”කැලුම්සිරිගේ අනාවරණය’ සම්මුඛ සාකච්ඡාවේදී ආදරණීය දස්සා; දසුන් පතිරණ කියයි. 

අද්‍යතන ටෙලි නළු-නිළියන්ගෙන් කී දෙනෙකුට ‘තමන් රඟපාන ටෙලි නාට්‍ය’ කම්මැළිකමෙන් තොරව යළි-යළිත් බලාගෙන ඉන්නට පුළුවන්ද?
වැඩේ හරියට කරවාගන්න ගිහින් තරහ ගන්නවා කියන්නේ වැඩේට තියෙන love එක නේද?
"සුසිත් අයියා කියන්නේ හැබෑම දක්ෂයෙක්. එයාට තිර නාටකයක් ලියන්න දිග කාලයක් යනවා. ඒ වගේම ලියන එක හරියටම තියෙන්නත් ඕනේ....
තණමල්විල කොල්ලෙක් කරද්දී සුසිත් අයියා තරහ වෙලා එක පාරක් යන්නත් ගියා. මොකද එයාට ඕනි 100%ක්ම හරි දේ....
ඒ කියන්නේ වැඩේ හරියට කරවාගන්න; වැඩේට තියෙන love එකනේ. වෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ....”

‘අපේ ටෙලිනාට්‍ය සමහරක තිර පිටපතක් ඇත්තේ නැතිලු. එය ලියන්නේ දර්ශන තලයේදීලු.’ දසුන් පතිරණගේ හෙළිදරව්ව දකින ඒ ‘තුට්ටු දෙකේ’ රචකයන්ට මොනවා හිතෙනවා ඇතිද?

ආත්ම ගරුත්වය; ආත්මාභිනය ජීවිතයටත් වඩා ගරු කොට සලකන ජපාන ජාතිකයන් නම් මෙහෙම වේලාවකදී කරන්නේ ‘හරාකිරි’ කරගැනීමය. ‘හරාකිරි’ කියන්නේ පැකට් කළ කිරි ජාතියකට නොවේ. තමන්ම බඩ කපාගෙන සිය දිවි නසාගන්නා එකටය.

අපේ ඉතිහාසයේත් එහෙම ක්‍රමයක් තිබුණේල. ‘දිව ඇද කා මියයෑම’ කියන්නේ ඒකටය!

දැන් නම් එහෙම උදවිය අපේ රටෙන් වඳ වෙලාම ගිහින් වගෙය!
අහෝ දුකකි- ඉරකි- තිතකි. දැන් නම් එහෙම සාඩම්බර උදවිය අපේ රටෙන් වඳවී ගිහින්ය. තමන්ගේ අතින්, රටටම හෙණ ගහන වැරැද්දක් වුණත් තනතුරෙන්වත් ඉල්ලා අස්වෙන්නේ නැතිය; ජීවිතයට සමු දෙනවා තියා.

“කෙල්ලේ, පොළොස් ඇඹුලකට පැහියකට තියා අච්චාරුවකට වුණත් පොළොස් ගැටයක් කඩා ගන්න ඕනි, කොස් ගහේ එක ගෙඩියක්වත් පැහෙන්න කලින්. කොස් පැහුණාට පස්සේ එන පොළොස් රහ නෑ!” ඉඩෝරයට අහුවී කෙස්ස පැහුණු අත්තම්මලා ඒවා දන්නේ නැත. දැනුම්-තේරුම් ඇති කෙනෙකුගෙන් ඒවා කියවුණත්, ඒවා හිතෙත් ගබඩා කරගෙන ඉන්නේ සුසිත විජේමුණි වගේ ඇත්තන්ය. ‘යටිබඩ’ත් එහෙම ගබඩාවක තියෙන්නැති!

එහෙම අනුපාන එකතු වුණාම තිත්ත කසායක් වුණත් රහයි වගේ බොතෑකිය.

“සුසිත් අයියගෙ scripts හෙණ powerෆුල්! හැම ඩයලොග් එකක්ම මිනිස්සු අතරට යනවා. මිනිස්සු ඒවා විශ්වාස කරනවා.... එහෙම විශ්වාස කරන්න පුළුවන් තරමේ dialogues එව්වා.
එක තැනකදී කූරාගේ ඩයලොග් එකක් තියෙනවා ‘උන් බලය පාවිච්චි කරලා අපේ බෝට්ටුව අල්ලා ගත්තා. අපි අපේ බලය පාවිච්චි කරලා බෝට්ටුවක් හැදුවා. එතකොට බලය තියෙන්නේ කා ගාවද? අපි ගාව!’.....

දසුන් ඒ සම්මුඛ සාකච්ඡාවේදී වචන පාවිච්චි කරන්නේ හරිම පරෙස්සමෙන්ය. බලය පිළිබඳ කතන්දරය ‘විශ්වාස කරන බව’ අඟවනවා මිස, එය කොතරම් දේශපාලනිකද කියලා නම් කියන්නේ නැත.

බේරුණොත් මං එනව අඩියට.... (පද- නිසල් බී හේරත්, සිත්තම- නිපුණ කිත්මල්)
ගමෙන් ආවට කඳුළු පුරවං -බෑග් කදමලු පොදි          බැදං
හිතෙන් ඈතට යනව - තත්පර ගණන් මහවැව පසු      කරං
අම්ම දොරකඩ හූල්ලනවද - මුතු කඳුළු කැට පොඩි     කරං
වෙලාවක එහෙ ගිහින් බලපං - මං හොඳින් මෙහෙ කියාපං

අලිමංකඩ යුද හමුදා කඳවුරේ සිට කිතුලාගේ චරිතයට ආරූඪ වෙන ‘නිසල් බී. හේරත්’ සහෘදයා ‘දීප්ත වෙත’ හසුනක් ලිවීම අරඹන්නේ එහෙමය. එහි හද කම්පා කරවන කවි පහකි. පළමු හා තෙවන කවි පමණි, මා උපුටාගන්නේ. 

A Level ගොඩ දාගනිං බං - ඉස්සරහ ගැන            හිතාපං
දුන්න ඩෙනිමයි කමිස දෙක තුන - තාම තියෙනව   පරිස්සං
දම්මි හිත හොඳ කෙල්ල - පුළුවන් උදව් හෙමිහිට    කරාපං
මං නැතොත් මගෙ වන්දි - අම්මගෙ අතට ලැබුණද බලාපං

මොන තරම් අව්‍යාජද... හැඟුම්බරද? අද කාලේ කියන විදියට නම් ‘බොක්කෙන්ම ඇවිත්!’ය.

කාස්ටින් මැනේජර්ලා නැතත් නළු-නිළියන් තෝරාගැනීම මල් හතට කෙරිලාය... (ඩිජිටල් සිතුවම- චාමර සෙනරත්)
ඇත්තක්ම කියමි. තණමල්විල කොල්ලෙක් Fan Club එකෙන් මේ කවි ටික කියවද්දී මගේ කඳුළු දෝර ගැලුවේය. අද මේ පෝස්ටුවට ඒවා පිටපත් කරද්දීත් ආපහු ඒකම සිදු වුණේය. මගේ දෙනයනේ කඳුළු ග්‍රන්ථි වැඩියෙන් තියෙනවාවත්ද?

මේවා කියවද්දී හිතාදර ඔබටත් නිකම්ම හැඬුම් එනවාද? 

මා නම් ඒ අඬවන හැකියාවේ credit එක දෙන්නේ සුසිත් විජේමුණිට හා රොෂාන් රවීන්ද්‍රටය; ඒ මදිය.... මුලු කණ්ඩායමටමය; දස්සාගේ වචන ටිකක් ණයට ඉල්ලාගෙන කියනවා නම් ‘ටැලන්ටඩ් ටීම් වර්ක් එකක්’ කළ හැමෝටමය!

සුසිතගේ හිතේ උපන් තණමල්විල කොල්ලා කඩදාසි මත්තට ආවේය. එය කියවද්දී රොෂාන්ගේ සිත් රඟ මඬලේ දීප්ත, කැලුම්සිරි, පතෝ, කූරා, ජගා, කිතුලා, හීන් අයියා, ලොක්කයියා, තාත්තා, අම්මා, අක්කා, යසෝදරා,සිරි මාමා වගේ ‘පනහක්-හැටක්’ රැඟුම් පාන්නට ඇත. (තවමත් අපේ රටේ ‘කාස්ටින් මැනේජර්ලා’ නැහැ නේද? ‘වීරයා ගෙදරද’ ලියනකොටත් මට ඒ ගැන ලියවිණි.) එහෙම Casting Team එකක් නොහිටියත් වැඩේ ටිප්-ටොප් එකට කෙරිලාය. නළු-නිළියන් චරිත නියමෙට පණ පෙව්වාට මදිය.    

වැඩේ තිතට කෙරෙන්නට නම් තවත් සිය ගණනකගේ දායකත්වය ඕනෑය. ඒ හැමෝම උපරිමයෙන්ම; බොක්කෙන්ම රාජකාරිය ඉෂ්ට කර තිබෙයි.

මෙන්න මේක 'ටැලන්ටඩ් ටීම් වර්ක් එකක්' නෙවෙයිද මං අහන්නේ?
මෙහෙම ඇඬෙන කවි ලියවෙන්නේ එතකොටය; කියවන වාරයක් පාසා සහෘදයන්ගේ හිත් කම්පා වෙන්නේ එතකොටය. දැන් අපිදු තණමල්විල ජීවත් වන්නමෝ වෙමු! එයාලගෙ සතුට අපේ සතුටය. දුක් සුසුම් අපටත් පොදු ඒවාය. කොටින්ම දැන් රසිකයන් ‘තණමල්විල කොල්ලෙක්’ භුක්තියටම සින්න කරගෙනය; අයිති කරගෙනය; ඒ වෙනුවෙන් ගහ-මරා ගන්නට වුණත් සූදානම් වෙලා ඉන්නවා වගේය!

‘පුළුවන් නම් approve කරපං මචං. (හේෂාන්ක ද සිල්වා රසික හිතවතා ඒ අමතා තිබුණේ මට නොවේ. තණමල්විල කොල්ලෙක් Fan Club එකේ ඇඩ්මින්ටය.)  

-කතාව බලලා එක එක්කෙනාට හිතට වැදුන දේවල් ගැන එක එක්කෙනා විචාර ලියනවා. මීට කලින් ටෙලිනාට්‍යයකට මෙච්චර විචාර ලියනවා දැකලා නැති තරම්.

-විචාරයක් දාපු ගමන් එක සෙට් එකක් රෙද්ද උස්සගන්නවා. 'කතාව එපා කරවන්නැතුව පාඩුවේ බලපංකො' , 'මොන රෙද්දක්ද මේ' , 'ෂුවර් දෙවෙනි ඉනිම බලන එකෙක්' වගේ එක එක දේවල් කියලා බනිනවා. එහෙම බනින ගොඩක් උන් ඉස්සර බලන්න ඇත්තෙත් දෙවෙනි ඉනිම, මේ ආදරයයි වගේ ටෙලිනාට්‍ය වෙන්න ඕනෙ.
මේකේ නැතිව ගල් අරක්කු සංසදය, ඌරු මස් සංසදය, මළවුන්ගේ සංසදය වගේ එකකද අපේ විචාර.....
-මට තියෙන ප්‍රශ්නෙ මේකයි, තණමල්විල කොල්ලෙක් ගැන මේ ගෘප් එකේ නැතුව දෙවෙනි ඉනිමේ ගෘප් එකක, ගල් අරක්කු සංසදය, ඌරු මස් සංසදය, මළවුන්ගේ සංගමය වගේ එකකට ගිහින් ද විචාර ලියන්න ඕනේ?
-අනික උඹලට ඒ විචාර එච්චරම ඇලජික් නම් එක්කො ඒවා කියවන්න යන්නැතුව ignore කරපං. නැත්නම් hide post කියලා option එකක් දීලා තියෙනවා ඒක යූස් කරපං. බොරුවට මිනිස්සුන්ට බනින්නම බලං ඉන්නැතුව.
-මොකද සමහරු ඒවට අකමැති ඇති, ඒත් මේ වගේ නිර්මාණයක් කරන්න මහන්සි වුන අධ්‍යක්ෂක, නළු නිළියො ඇතුළු ලොකු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු හරි දිරිමත් වෙයි තව තවත් මේ වගේ දේවල් කරන්න-(Heshankha de Silva
සාහිත්‍ය කෘතියක්, කලා නිර්මාණයක් සමාජගත කළ පසු රසික ජනතාවටත් එහි අයිතියක් තිබේද?
හේෂාන්ක ද සිල්වාත් මමත් එක අත්තේ වැහුව කුරුල්ලෝ වන්නෙමු. මගේ මේ පොස්ටුව ලියන්නටම හිතාගෙන හිටියත්, එය පමා කළේ ගොඩාරියක් රසිකයන් නිසාය. ඒ බව කියමින් ‘සිත්තම් මායා’ අඩවියේ පළ වුණු අනු පෙරේරාගේ ‘තණමල්විල කොල්ලෙක් පළමුවෙනි එපිසෝඩ් එක’ ලිපියට මා යැවූ කමෙන්ටුවෙන් ටිකකි; මේ.

අපි මෝඩ තකතිරුවෝ නොවන්නෙමු. යමක්-කමක් තේරුම් ගන්නට හැකියාව අපට..........
‘.... තණමල්විල කොල්ලෙක් ගැන මෙච්චර දවසක්ම නොලිව්වේ විදග්ධ රසිකයන් කිහිප දෙනෙක්ම මුහුණු පොතෙන් ඉල්ලීම් කරලා තිබුණු නිසයි. ඒවා කැටි කළාම මෙහෙමයි. “අපි මෝඩ තකතිරුවෝ නොවෙමු. මේ ටෙලිය තේරුම් ගන්නට හැකියාව අපට තිබේ. ඒ ගැන ලියලා අපට ටෙලිය එපා කරවන්න එපා!”

-ඒකෙ ඇත්තකුත් නැතිද?

-‘කවුද මාත් එක්කම අද එපිසෝඩ් එක බලන්න ලැහැස්ති වෙලා ඉන්නේ?’ වගේ ප්‍රශ්න අහන රසිකයනුත් ඉන්නවනේ.... එයාලා වෙනුවෙන් හරි මොනවාවත් ලියනවද කියන දෙගිඩියාවෙනුයි මම හිටියේ. ඒ අතරේ ඉතාමත් බුද්ධිමත්, ළගන්නාසුලු, විචාරශීලී අදහස් දැක්වීම් ගණනාවකුත් පළවුණාම නම් කම්මැලි හිතුණා...’

එහෙම කියා මා නිහඬව හිටියත්, එයින් කිසිම අඩු-පාඩුවක් වෙන්නේ නැත. රසිකයන් තණමල්විල කොල්ලෙක් එනතුරු බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතිවය. එහෙම ඉඳලා එපිසෝඩ් එක ඉවර වුණු ගමන් excellent අදහසුත් දක්වති!

නමුදු අපේ රසික ජනතාවගේ අදහස් බොහොමයක් ඉතා ඉක්මනින් යටපත් වී යයි. එහෙම කියන්නේ ඒවා බොහොමයක් FB එකේ අලුත් අදහස්වලට ඉඩදී යටට යන නිසාය. (අලුත් පරම්පරාව කියන විදියට ඒ අදහස කියන්නට මට දැනීමක් නැති වීම ගැන සමාවෙන්න.)

මම මීට කලින් මේම දෙයක් කාටවත් කියල නෑ. මේ පළමුවෙනි වතාව...........
එහෙම වෙන්නේ ඇයි කියලා මගේ මොට්ට හිතට කල්පනා වුණෙත්, තරිඳු මාතරආරච්චි සහෘදයාගේ පෝස්ටුව කියෙව්වාමයි. තරිඳු, තරහ වෙන්න එපා. මං ඔයාගේ විස්තරෙන් උපුටාගෙන මෙතනට ඔබන්නේ ටිකයි, හොඳේ. 

‘මම මේ සමුහයට පෝස්ටුවක් පළ කරන පළමු වතාව.
මම මීට කලින් මේම දේකුත් කාටවත් කියල නෑ. ඒත් ඕන දෙයක් වෙද්දෙන් කියල මේ දේ කියන්න හිතුනා. සමහරු එකඟ නොවේවි.. අවුලක් නෑ ඒකට.. කිසිම අමනාපයක් නෑ හිතේ..
මන් කතාවට එන්නම්.

මං මේ සමූහයට එකතු උනේ මේ සමූහයේ සාමාජිකයන් 16000 ක් වගේ ඉන්න කොට. අද වෙන කොට ඒක 117500 ත් පැනලා තියෙන්නේ. හිතට සතුටුයි ඒ ගැන බලන් ඉන්දැද්දි.

-මම පෝස්ටුව පළ කරන්නේ ඒක කියන්න නෙවේ. දැන් ඒම සාමාජිකත්ව ගණන එන්න එන්න වැඩි වෙද්දි දවසකට සමූහය තුල එන්න එන්න පළවන පෝස්ටු ගණනත් වැඩි උනා. ඒ අස්සේ අදාළ නැති පෝස්ටුත් පළවෙන්න තීන අවදානම නිසා සමූහයේ admin ගේ අනුමැතිය ලබා ගැනීම පසුව අනිවාර්ය උනා.
කතාව මේකයි. අපි මේ කතාව බලලා ආතල් එකක් ගන්නවා වගේම.........
-හරි මේකයි කතාව... එක එක්කෙනාගේ රසවින්දන මට්ටම් වෙනස්. අපි මේ කතාව බලල අපේ ආතල් එක ගන්නවා වගේම මේ කතාව බලන අනිත් අයත් ඒ අයගේ ආතල් එකත් ගන්න ඕන කියල මට හිතෙනවා. මම මේ කියන්නේ මොකක් ගැනද කියල තේරෙනවා ඇති කියල හිතනවා. ඒම ආතල් එක ගන්න එකට සමහර අය බාධා කරනවා මේ වගේ පෝස්ට් දාන්න එපා කියල . ඒක නිකන් පාක් එකකට ගිහින් පොලිස් අධීක්ෂණය යටතේ ලව් කරනවා වගේ වැඩක් කියල හිතෙනවා.....

-.... අපි අපේ විදියට කතාව බලල රස විඳිමු......

-අනෙක් අයගේ අදහස ඔයාගේ අදහස් එක්ක ගැලපෙන් නෑ වගේ නම්, ඒ කිව්වේ ඒ පෝස්ට් එක ඔයාට දිරවන් නැතිනම් ඒ පෝස්ට් එක ගැන හිතන එක අතාරින්න. කැමති නම් පෝස්ටුවේ අඩුපාඩු ඔහුට හෝ ඇයට ඇයට අපහාස නොවන විදියට පෙන්නල දෙන්න. ඔවුන්ව තව දිරිමත් කරවන්න. මේ කතාව ආවෙත් ඒකට තමා අපි අතරට, අපේ රසවින්දනය වැඩි දියුණු කරන්න. මේ සමූහයේ මූලික අරමුණක් වෙන්නත් ඕන ඒකමයි.....’ (තරිඳු මාතර ආරච්චි)

සමහර රසිකයන් තුති පුද කරන්නේ; තම කෘතවේදීත්වය පළ කරන්නේ ලිපිවලින්ම නොවේ. තමනට හුරු-පුරුදු මාධ්‍ය යොදාගනිමිනි.
එහෙම කළ නිපුණ කිත්මල්ගේ සිතුවම් ගොඩක් අද මගේ බ්ලොගය හැඩ කරන්නට යොදා ගත්තෙමි.

ඇයි චාමර සෙනරත්ගේ ‘ඩිජිටල් ආර්ට්’එක? ඔයාලා දෙන්නාටම ගොඩක් ස්තුතියි, රසිකයන් වෙනුවෙන්!
ඉස්සරහට යව-යවා කතා බලලා තිබුණත්, ආපස්සට යවමින් බලන්නත් කතාවක් ඒවි කියලා කවුද හිතුවේ?
කොහොමෙන් හරි එකිනෙකාගේ අදහස්-උදහස් කියවද්දී මේ නිර්මාණය අපට දායාද කරන්නට දායක වුණු හැම දෙනාටම ආඩම්බර වෙන්නට හැකි වෙයි.

දෙමළියේ ගම්බාරේ උන්නැහේ, කාංචනාගේ අයිතිකාර හීන් මහත්තයා වගේ අය මේ තණමල්විල කොල්ලාව දැක්කොත් මොනවා කියාවිද? හොඳය කියාවිද? මේ ටෙලිය ‘හොඳය කියන සමහරුන් නම් ඒ බව කියන්නේ ව්‍යංග්‍යයෙනි; හංගමිනි; රහසෙනි. ඒ ධනූ වගේ රසිකයන්....

මේ ධනූ ෆර්නැන්ඩු ලියූ ‘අතිශය රහසිගත’ පණිවිඩයයි. ඉස්සරහට යව යව කතා ඕන තරම් බලල තියෙනව ... ඒත් ආපස්සට යව යව කතාවක් බලන්න වෙයි කියල හිතුවෙ නෑ කවදාවත්......’ 

එහෙම ආපස්සට යව-යවා ටෙලිය නරඹන්නට හිතෙන්නේ ඇයි?

5 comments:

  1. කෙලින්ම කුණුහරුපයක් නොකියා ඒවගේ තදින් කියන්න ඕනවුන වෙලාවට යොදාගන්න එකක් වෙන්න ඇති නේද?

    ReplyDelete
  2. හැම යටිබඩකටම යොදා ගන්න බවයි Pra Jay මහත්තයෝ පෙනෙන්නේ! මගෙන් 'මඟුල' වචනෙට වෙන්නෙත් ඒකමයි. සමහරුන් 'ලබ්බ','අටමගල' වචනවලිනුත් ඒ කාරිය ඉටු කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණේ ප්‍රා කියපු එකමයි. යටිබඩ දිහාවේ වෙන මොකක් හරි එකක් වෙනුවට යොදා ගත්තා වෙන්න පුළුවන් මුල දී.

      Delete
    2. අන්න සුරන්ගයා උත්තරයක් දීල තියෙනවා මම දාපු පොස්ට් එකකට නිදි , යටිබඩ ම තමා

      Delete
    3. දැක්කා අජිත් මහත්තයෝ. එකෙනුත් මට ප්‍රයෝජනයක් වෙච්චි බව හෙටානිද්දාට තේරෙයි.

      Delete