'දෙරණ'ට කරන ඉල්ලීමයි: ඉක්මනට දෙවෙනි ඉනිම පෙන්නන්න. නැත්තම් ඒක බලන අය ඔක්කොම මේක බලල...... |
“දෙරණට කරන ආදරණීය ඉල්ලීමයි, ඉක්මනට
දෙවෙනි ඉනිම පෙන්නන්න. නැත්තම් ඒක බලන අය ඔක්කොම මේක බලල මේකේ තියන රහ නැති කරනව. ඒකෙ
නම ‘තණමල්විල කොල්ලෙක්’ උනාට ඒකෙ ඉන්න උන් කරන්න දෙයක් නැතිකමටයි රස්තියාදු
ගහන්නෙ. ඔය ඉගෙනගන්න ඔක්කොම තිබිලත් නාස්ති වෙන ගොන් හරක් නෙමේ. උන්ට වෙන කරන්න
දෙයක් නෑ. සමාජය විසින් එහෙම පසුබිමක් හදල නෑ. මීට වඩා කියන්නෙ නෑ, මොකද
මේකත් එක්ක තර්ක කරගන්න බැරි උනාම කියන ගොන්ම කතාව ‘මල්ලි ඔයා තාම පොඩියි කියල.”
එහෙම කියා තිබ්බේ රුක්ෂාන් කාවින්ද ප්‍රේක්ෂකයාය. මේ
පෝස්ටුවේ උඩින්ම තිබුණු පින්තූරයට කමෙන්ටුවක් එවමිනි! ඒ ෆොටෝ පෝස්ටුව මා දැක්කේ
මුහුණු පොතේ ‘තණමල්විල කොල්ලෙක්- Official Fan Club’ අඩවියෙනි.
හැබැයි එහෙම කියද්දී රුක්ෂානුත් ‘දෙවෙනි ඉනිම’බලන කෙනෙකු
බව නිකම්ම එළියට එයි. ඒ ගැන නම් මට හරිම සතුටුය! පාන් කන කෙනෙකුට කේක්වල රස
දැනෙන්නේ කෑවාට පස්සෙය!!
මේ මගේ ප්‍රියතම නළුවෙකුගේ පළමුවන දීර්ඝ ටෙලි අධ්‍යක්ෂණයයි! |
‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යය විකාශ වෙන තුරු මාත් හිටියේ
නොඉවසිල්ලෙනි; කාරණා තුනක් නිසාය.
පළමුවැන්න මේ මගේ ප්‍රියතම ටෙලි නළුවෙකුගේ පළමු දිගු ටෙලි අධ්‍යක්ෂණය
වීමය. ‘සංසාරේ පිය සටහන්’ ඒකාංගික ටෙලි වෘතාන්ත මාලාව නොබලන නිසා, මට රොෂාන්
රවීන්ද්‍රගේ පළමු අධ්‍යක්ෂණය බලන වාසනාව මඟ හැරුණේය. එනිසා මා හිටියේ රොෂාන්ගේ වැඩ
කොහොමදැයි දැක ගන්නටමය.
(නළුකම උගන්වන- පන්ති පවත්වන- අතිදක්ෂ ලෙස ඕනෑම චරිතයක්
රඟපාන නළුවෙකුත් මීට පෙර ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කොට ඔහුගේ නම සහ කීර්තිය වනසා
ගත්තේය. ඔහු ගැන ඉහළින් සිතාගෙන සිට මට
වැරදුණා වෙන්නැතිය. රඟපෑම එකකි; රඟපෑවීම තවත් දෙයකි. එකෙකු මේ දෙකටම දක්ෂ නොවීමට
ඉඩ ඇත.)
මං වහන්සේ වගේම තවත් ‘රොෂාන් රවීන්ද්‍ර රසිකයන්’ රසිකයන්
ඉඳලා තියෙන බව පෙනෙන්නේ ජනරංග දේවසුරේන්ද්‍ර වැනි අයගේ කියුම් නිසාය.
“.... කාලයක් තිස්සේ රංගනයෙන් තෙම්පරාදුවෙලා ඉන්න රොෂාන්
රවීන්ද්‍ර 'බැද්දේ කුලවමිය' 'සහෝදරයා' සහ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නාට්‍යවලට පස්සේ
ටෙලියක් අධ්‍යක්ෂණය කරයි කියන එක හීනෙකින්වත් නොහිතුණු දෙයක්. ඒත් රොෂාන්ගේ කුළුඳුල්
නිර්මාණය ඇතුලේ තියන ඔහු කාලයක් තිස්සේ ලබපු පරිචය සහ නාමල් ජයසිංහ එක්ක 'සහෝදරයා' කරද්දි, ආනන්ද අබේනායක එක්ක 'බැද්දේ කුලවමිය' සහ 'වීරයා ගෙදර ඇවිත්' කරද්දි ලබාගත්ත වත්කම්
සෑහෙන්න දුරට 'තණමල්විල කොල්ලෙක්' කියන ස්වතන්ත්‍ර නිර්මාණය
ඇතුලේ කලාත්මකව ආයෝජනය කරලා කියන
එක ටෙලිය පුරාවටම දකින්න පුළුවන් දෙයක්.....”
අරූ කුඩු ගහන්න අරන් හොඳටම නන්නත්තාර වෙලාලු නේද? |
දෙවැන්න ගැන කියන්නටත් ලජ්ජා හිතෙයි. එයින් මගේ ගොන්-හරක්-මොට්ට
මොළයේ වපසරිය හෙළිවෙන හින්දාය. (කමක් නැත. නිදි මෙතෙක් බ්ලොගයෙන් ඇත්තම ඇත්ත කියා
තිබෙන නිසාත්, ඉදිරියේදීත් එහෙමම කරන නිසාත් මෙතැනදී වුව සත්‍යයම කියයි.)
“අරූත් කුඩු ගහන්න අරන් හොඳටම නන්නත්තාර වෙලාලු නේද?”
මාස කිහිපයකට කලින් දවසක, මගේ මිත්තරයෙක් ඇසුවේය.
“කවුද අරූ?”
“....... අර ‘ධර්ම යුද්ධය’ එකේ බඩුකාර කොල්ලට හිටියේ....
ඇමැතිනියගේ පුතාට ඉන්නේ.....”
“මට නම් පත්තරේකවත් ඔහොම දෙයක් හම්බ වුණේ නැහැ. සල්ලි
හම්බ වෙනකොට- ජනප්‍රිය වෙලා ලොකු ලොකු යාළුවො හම්බ වෙනකොට සමහරුන්ට ඔහොම වෙනවනේ....
ඒත් ධර්ම යුද්ධය බලද්දී නම් මට ඒකා එක්ක තරහත් හිතුණා. හැබැයි.... මට යාන්තම් වගේ
මතකයි රොෂාන් රවීන්ද්‍රගේ first ඩිරෙක්ෂන් එකේ මිනිහා රඟපානවා කියලත්.... ඒකේ
චරිතෙටද දන්නෙත් නැහැ කුඩ්ඩෙක් වගේ ඉන්නේ.”
මා බලන්නට ගත් මොකක්දෝ වෙනස් ආරක ටෙලියකත් (මතක හැටියට
නම් ඒ ‘පැරිසියට යන පාර’ වගෙය.) ධනුක ඩිල්ෂාන් හිටියා මට මතකය. කාගේ අවාසනාවකටද
මන්දා ඒක අතරමඟදී ‘ගබ්සා වුණේය’.
වන්දම- දෙමළිය වැව් අයිනේ දවස් දෙකක් කෑම්පින් කරන්නට වාසනාව අපට........... |
ඔය මේ කාරණ හින්දත් ‘මේ කොල්ලා’ හමු වෙන්නට මම පෙරුම්
පිරුවෙමි. දැන් කියන්නේ තෙවැන්න ගැනය.
අවුරුදු විස්සකටත් කලින් අතීතයේ දවසක, අපි වන්දම- දෙමළිය
වැව ළඟ රෑ දෙකක් ගත කරන්නට කඳවුරු බැන්දෙමු. ඒ කාලයේ සුමිතුරු වෛද්‍ය ඒ.සී.පෙරේරා (පෝල්) මහත්තයා ‘දෙමළියේ’
ගම්බාරේ කෙනෙකු හඳුනාගෙන හිටියේය.
“ඒ පොර අපිට එහෙ එන්න කිව්වා camping කරන්න. සේරම ඒ
මනුස්සයා බලා ගනියි. හැබැයි රජෝ, risky වැඩක්.... මට ආරංචි විදිහට නම් එයාලා ගංජා
හේන් වවනවා.... මසට හොර හරක් පටවනවා. ඒ පැත්තට පොලිසියෙන්වත් එන්නේ නැහැල්ලු. එන්න
කලින්ම ඔත්තුව එනවලු. මාරයෝම තමයි. කෑම්පින් කළත් එයාලගේ දෙන්න එක්ක මිසක්
එහෙ-මෙහෙ නොයා ඉන්නයි වෙන්නේ. හැම තැනම තුවක්කු බැඳලා තියෙනවලු!.....” පෝල් කිව්වේය.
“එහෙනම් මචං එහාට යන්නම ඕනේ!” වල් ප්‍රියන්ත ඔහොම වැඩවලට එක පයින්මය.
ගමන යැවිණි. උඩවලව හරහා ගිහින්, තණමල්විලෙන් වමට හැරී- වැල්ලවාය පාරේ තරමක දුරක් ගියාට පස්සේ දකුණට හැරී.....
(විස්තර වෙනම කියන්නට තරම්ය.) එදා අප ගිය දෙමළිය අද නැත.
උමා ඔය ව්‍යාපෘතියත් සමඟම ඇරඹුණු සංවර්ධන ව්‍යාපෘති නිසා ඒ හතර දිග් භාගයම එහෙම
පිටින්ම වෙනස් වෙලාය.
කොච්චර පෙරුම් පිරුවත් අපට ආපසු එහි යන්නට බැරිවිණි!
මේ කල්තොට නයිගලදීය... එදා අපි රෑ පුරා සිංදු කිව්වේ තණමල්විලට නුදුරු....... |
“මතකද අර ගම්බාරෙයි, මිනීමරු හීන් මහත්තයයි දෙන්නා ‘තව
කියපිය’ කියද්දී නිමලයා නිදි පෙර-පෙරා, බයේ පණ ගැහි-ගැහී දිගටම සින්දු කිව්වා....
නෙවිලයත් කොන්ගෝව ගැහුවා පණ බයටම....” (හීන් මහත්තයා කියන්නේ ඔහුගේ හැබෑ නම
කියන්නට බැරි නිසාය.)
අපේ මිතුරෝ තවමත් ‘කාඩ්’ ගසති. බයේ නොවුණත් එදා රැයෙන්
බාගයක්ම අපට නිදි මරන්නට වුණේය; ගී ගයන්නට වුණේය; ඒ අපේ නඩේ අයගෙනුත් වැඩි දෙනෙකු
තණමල්විල සුපිරි කොලිටියේ ‘මල්’ උරා කර්පට්වී හිටි නිසාය; වෙනදාට සිංදු නොකියන
අයත් ‘තව කියමු’යි කී නිසාය.
හොර හරක් පැටෙව්වා වුණත්, කංසා හේන් කෙරෙව්වා වුණත් ඒ
මිනිසුන් අපට සැලකුවේ මහ ඉහළිනි.
“අපි දැනන් හිටියේ නෑ මහත්තයලා දවල්ට කන්න මෙහෙට එන
විත්තිය. අපේ මස් හට්ටිය ඉවරයිනේ..... එහෙනම් මහත්තයලගේ කෑම ටික ආයෙම රත්
කරගන්නකල්... බලමු. ඒයි.... උඹ ගිහින් හාවෙක්වත් එළාගන්න පුළුවනිද බලපන්..... උඹ
හනික දුරු-මිරිස් ටිකක් හරි ගස්සාපන්.... හෙට උදේට නම් තෙප්පිලි හම්බ වෙයි.... මම
ඔරුවලට කියලා තියෙන්නේ....” ගම්බාරේ තප්පරෙන් එකිනෙකාට වැඩ පංගාර්තු කළේය.
මෙයාලාත්ඉඩෝර- කාෂ්ටක දෙමළියේදී අප දුටු කට්ටියමය............. |
ඉන්පසුව ගම්බාරෙත්, ඒ හිතවතාත් දෙන්නා කොහේ ඉන්නවාද,
මොනවා වුණාද කියලාවත් අප දන්නේ නැත. (එයාලා දෙන්නාටම ජංගම දුරකථන තිබුණත් අප ඒවායේ
අංක ඉල්ලුවේ නැත.)
ඒ අඩවිවල නම් තවමත් ගංජා වවන බව නම් හිතවත් අජිත් ධර්මකීර්තිගේ වත් පොතෙන් අද (මැයි 7 වෙනිදා උදේ) තහවුරු
විණි.
‘.... දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න
වීරක්කොඩි මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයහි ප්‍රධාන
සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන මෙන්ඩිස්, චන්න, ලක්ෂාන්, සුරාබදු සැරයන් දමිත, සුරාබදු නියාමකවරුන් වන
ක්‍රිෂාන්ත,
ගමනේ, සනත්, මිහිරංග, රොහාන්, ධනංජය, රාජපක්ෂ, සුරාබදු රියදුරු විදුරංග
යන නිලධාරීන් විසින් ඊයේ 2020.05.04 දින මිද්දෙණිය තෝරකොළයායේදී අක්කර දෙකක කංසා
වගාවන් ග්‍රහණය කරන ලදී .’
මේ කතන්දරේට අජිත් ධර්මකීර්ති ලියන විස්තරයයි මේ:
‘මොන මෝඩ වැඩක්ද ? ලංකාවේ මිනිසුන්ට ඥානය පහළ වෙන්නේ
කවදාද? ලංකාවේ විකුණන්න එපා නම් තෙල් හදල ඇමෙරිකාවට, යුරෝපයට විකුණන්න, නැත්නම් වේළලා හොලන්ඩ්වලට ඇමෙරිකාවට
විකුණන්න. එක පැත්තකින් කොරෝනා එකට බෙහෙත් හොයා ගත්තේ
ආයුර්වේද රජුන් කියල අඬබෙර ගහනවා. අනිත් පැත්තෙන් ආයුර්වේද බෙහෙත් ගිනි තියනවා.’
මල් පිපිලා නැති ගංජා ගස් පුච්චන්නේ ලෝකෙට පෙනෙන්නද? |
එයට කමෙන්ටුවක් දමමින් ‘ඇණයා රාජවිපක්ෂ’ මහත්තයා කියන්නේ
තවත් ‘රහසක් නොවෙන රහසක’ කතන්දරයක්....
‘කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යන චාරිත්‍රයක්නේ,
වටලනවා- මල් පීදිච්ච නැති
එව්වා පුච්චනවා, මල් පිපිච්චා උසාවි දාන්න ගෙනියනවා. උසාවිය දක්වා මුළු
තොගයම යනවාදැයි අපි නොදනිමු. ගොඩකවෙල පැත්තේ මිනිස්සු නම් කියන්නේ ඔයි වටලන්න එන
ලොකු මහත්තුරුමය හේන් වගා කරන, රකින මිනිස්සු ගමේ කඩෙන් ණයට ගන්න බඩු බිල
ගෙවන්නේත් කියලා. ඔව්වෑ ඇත්ත නැත්ත අපි
නොදනිමු.’
එහෙම පලාතක; තණමල්විල දිගෑරෙන්නට යන කතන්දරය කොහොම එකක්
වේවි.
කොහොමින් හරි මගේ ආසාව ඉටු වුණේ 2020 ජනවාරි 19 වෙනිදා
හිටංය. එදින සිට මම ‘තණමල්විල කොල්ලෙක්’
නරඹන්නෙමි.
අශාන් තාරුක නම් එහෙම නොවේ. තණමල්විල කොල්ලෙක් Official
Fan Club එකට ලියමින් ඔහු කියන්නේ මෙහෙමය.
තණමල්විල කොල්ලෙක් Official Fan Club එකට ලියමින් ඔහු කියන්නේ........... |
දැන් එක episode එකක් release උනාම trending 1st වැටෙන තරමටම යනවා. ඉතිං ඇත්තටම සතුටුයි මේ කතාව මේ
විදිහට මිනිස්සු අතරට යන එකට.’
මෙතනදී නම් එකක් නොකියාම බැරිය. පළමු එපිය බලා අහවර
වෙද්දී මට හිතුණේ තණමල්විල කොල්ලා
මිනිස්සුන්ට අල්ලන්නේ නැති වෙයි කියලාය. රසිකයන්ට ඕනේ ‘drama’ය.
මොකක්දෝ දුරස්තකමක් මට දැනුණි. රොෂාන්ට අපේ මිනිස්සුන්ගේ
නාඩි වැටෙන විදිහ තේරුම් ගන්නට බැරි වෙලාවත්ද? කවුද මේ script එක ලියාපු සුසිත
විජේමුණි? දෙවෙනි එපිසෝඩ් එකෙනුත් බාගයක් විතරම පිටරටය... ඒත් ඒක ඉවර වෙද්දී
මොකක්දෝ වුණා වගෙය.
මා ටෙලි නාට්‍යයක් වුණත් බලන්නේ රූපවාහිනියෙන් නොවේ. You
tube එකෙන්ය. “ටෙලිය බලන වෙලාවේ මං හිටියේ නරක මූඩ් එකකද?’ මට සිතුණේය..... ඔන්න
දෙවෙනි සැරේටත් බලන්න ..... දෙවෙනි වතාවටත් මුල් කොටස් දෙක බැලිල්ල කරදරයක්ය කියලා
මට හිතුණේ නැත!
දසිස් රාවණ රජ්ජුරුවන්ට තිබෙන්නට ඇත්තෙත් පුදුම දස වදයක් වෙන්ටැති! |
දසිස් රාවණ අධිරාජෝත්තමයාණන්ට තිබුණු කරදරයක හැටියට නම් මේවාත් ගණන් ගත යුතු තරම් නොවේ.
ටෙලියේ දෙවෙනි කොටස වෙනවිට පියා මිය ගිහින් ඉවරය. දීප්ත ඉන්නේ
දෙගිඩියාවකය.
රස්සාවල් කිහිපයක් කරමින්, චිත්‍ර ඇඳලා විකුණාගනිමින් ප්‍රංශයේදී
දෙපයින් හිට ගන්නට පටන්ගත්තා විතරය. මව්රට ගියොත් ආයෙත් ඒම බොරුය. ඒ මදිවාට ටිකට්
එකට ඇතිවෙන්නටවත් මුදල් දීප්තගේ අතේ නැත.
දුම්රියෙන් යද්දී මිතුරා දීප්තට කියූදේ මට කිව්වා වගෙය.
‘අපි මේ ගේම ගහන්න පටන් ගත්ත විතරයි. පොඩ්ඩක් මේක තේරුම් ගන්නකං ඉඳපං!’
2004
පැරිසියේ ලූවර් කලාගාරයේ පැවති චිත්‍ර තරගයකින් ජයග්‍රහණයක් පවා ලබාගෙන ඇති මේ
සිත්තරා ආපහු යාවිද?
ගියේය! ඊළඟට දිග හැරෙන්නට ගත්තේ, දීප්තගේ අතීතයට යන ගමනයි;
මතක ආවර්ජනයයි!
‘පොඩ්ඩක් මේක තේරුම් ගන්නකං ඉඳපං! පොඩ්ඩක් මේක තේරුම්
ගන්නකං ඉඳපං!!!!!’
තුන්වැන්නේ සිට 31 වෙනකල්ම දැන් නරඹලා අහවරය. යමක්
ලියන්නට කල් ගත්තා වැඩිය.
නිකම්ම මොනවා හරි ලියන්නට බැරිය. මේ මගේ ජීවිත කතාව
ලියවෙන බ්ලොගයයි. මෙවන් නිර්මාණ මගේ සිතුම්-පැතුම්වලට බලපාන බව හැබෑය. එපමණින්ම
යමක් ලියන හැකියාව මට නැත.
එහෙත් තණමල්විල කොල්ලා යළි-යළිත් අපේ අතීතයට අප ඇදගෙන
යයි. ගමට ඇදගෙන යයි..... එතකොට.... ඔද්දල් වෙන හිතේ හැඟීම් බරෙන් නිදහස් වෙන්නේ
කොහොමද?
මගෙන් 'වීරයා ගෙදරද?' ලියවුණේ වැඩි ප්‍රමාදයකින් තොරවය. ඒත් 'තණමල්විල කොල්ලගෙ යටිබඩ' ලියන්නේ....... |
2019 මැයි මාසයේ ඒ පෝස්ටු පටන් ගත් දවසේ සිට අද දක්වාම;
අවුරුද්දකට පස්සෙත්- ඒවා වැඩියෙන් කියවන ලිපි අතර තිබේ. බ්ලොගය ආරම්භයේ සිට
අවුරුද්දක්ම වැඩියෙන් කියවා තිබුණු ‘ගස්සලා
යවමුද?’ ලිපි මේ තරම් කියවා තිබ්බේ නැතිය.
විදග්ධ කලා විචාරයන්ම
නොවුණාට, රසිකයෙකුගේ අවංක හැඟීම් ප්‍රකාශ තවත් රසිකයෙකුට වටිනවා නේද?
‘වීරයා ගෙදර ඇවිත්’ බලද්දී දැනුණු හැඟීමට හාත්පසින්ම
වෙනස් එකකි; තණමල්විල කොල්ලෙක් නරඹද්දී දැනෙන්නේ.
ඒ වෙනස කුමක්ද?
මිනිස් සිරුරක් විච්ඡේදනය කොට බලන තරම්
ලේසියෙන් මිනිස් හැඟීම් විශ්ලේෂණය කළ නොහැකිය. තෝරා-බේරා හරියටම කියාගන්නට බැරි වුණත්, නාඩි
වැටෙන හැමෝටම එක-එක දේවල් හිතෙනවාය. මටත් එහෙමය.
මේ පෝස්ටුව ලියන්නේ මට දැනෙන ඒ හැඟීම් සිරගතකොට තබා ගැනීමේ අසීරුව- ඒ අමාරුව සනීප කරගන්නටය; භාව විරේචනයක් සිදු කරගන්නටය!
නමුත් තණමල්විල කොල්ලෙක් Fan Club එකේ වැඩි දෙනෙකුට නම් මෙවන්
විග්‍රහ අරහංය.
තණමල්විල ෆෑන් ක්ලබ් එකේ ගොඩ දෙනෙකුට නම් විචාර අරහං වෙලාය! |
එයාලා කියන්නේ ‘රස විඳින්නට පාර පෙන්වීමක්’ ඕනෑ නැති
බවය. එයාලා හරි වෙන්නට ඉඩ තිබේ. එහෙත් මට නම් ඕනෑම කෙනෙකුගේ හිතිවිලි- මතවාද-
අදහස් වැදගත්ය. බොහෝවිට ඒවායින් යමක් ගන්නට හැකි නිසාය.
ඉතින්, දැනටමත් දෙමළියේ ගම්බාරේ- මිනීමරු හීන් මහත්තයා- කාංචනා
වගේ අය මගේ හිත් ඉවුරේ ඉඳගෙන කොකම් පාති!
ගම්බාරේගේ වාඩියට ගිය මොහොතේ සිටම අප දුටුවේ වැඳිරි
පැටියෙකු කළු- කෙසඟ- වැඩි උස-මහතක් නැති කෙනෙකුගේ බෙල්ලේ එල්ලීගත් ගමන්ම සිටින
විදිහයි. සුරතල් සතුන්ට කැමති අජන්ත ඒ මනුස්සයාට කතා කළේ වැඳිරි පැටියා හින්දාමය.
“ඌ ඔයාට හරියට ආදරෙයි වගේ.... නේද?”
“මාත් එහෙමයි.... මට මූව දැක්ක ගමන්ම ආසා හිතුණා...
ඉතින්, තිබ්බා- ගත්තා....”
“තිබ්බා, ගත්තා?”
“මුගේ අම්මට වෙඩි තිබ්බා. ඌ මැරුණම මූව ගත්තා.”
ඒ මනුස්සයා
කිව්වේ කිසිම හිතක්-පපුවක් ඇතිව නොවේ. තුවක්කුවත්, වැඳිරි පැටියා- කාංචනාත්
තිස්සෙම මිනිහා ළඟය.
පසුව මා හා කී හැටියට නම් ඔහු මරා දමා තිබුණේ මිනිසුන් හය දෙනෙකු පමණි. දෙමළිය පර්වතයේ
මුදුනට යන්නට අපට පාර පෙන්නුවෙත් එයාමය.
නොඉපදුණ මුත් කඩාගෙන එක පෙකණි වැල අම්මගෙ බඩේ
සහෝදරකම් අරං ආවද හංගගෙන උඹ යටිබඩේ
තැලෙන, පොඩිවෙන තැනදි ඇවිළෙන පිරිමි ලේ කකියන ලෙඩේ
නහරවැල්වල උඩුදුවන, උඹ තමයි තණමල්විල හැඩේ
කුඩාවැල්ලෙන් සින්න ගෙන ආ, හංගලා හදවත් ඉඩේ
කරාවේ කුල හීන දීගෙන් භේද නස්නා ලූ හැඩේ
සුවඳ තවරා නොපිපි මල් මත, නොගාවා ජීවය මඩේ
‘පතෝ’ උඹ විය ගුරා, දක්කන වන්දනාවක මුළු නඩේ
තණමල්විල වන්දනා නඩේ ගුරා පතෝලයා දැක, එහෙම කවි කල්පනා
පහළවූ බියංකා කුමාරසිරි කිවිඳියට දෙමළියේ ගම්බාරෙලා මුණ ගැහුණා නම්? හීන් මහත්තයා-
කාංචනා මුණ ගැහුණා නම්.....
හැබෑවටම සුසිත විජේමුණිට මේ හැබෑ මිනිසුන් මුණ ගැහුණාවත්ද? නැත්තං රොෂාන් රවීන්ද්‍රට......... |
හැබෑවටම සුසිත විජේමුණිට මේ හැබෑ මිනිසුන් මුණ
ගැහුණාවත්ද? නැත්තං රොෂාන් රවීන්ද්‍රට.......
මටත් ඉඳලා හිටලා තමයි ටෙලියක් අල්ලන්නේ. මේකනම් ඇඟටම දැනෙනවා. සමහර විට අපිට සමීප චරිත නිසා වෙන්න ඇති. දැනට අවුල් වුනු එකම තැන කට්ටිය ගිහින් චිත්‍රපටයක් බලපු කොටස. පෙන්නපු චිත්‍රපටිය අදාළ කාලයට ගැලපෙන්නේ නැහැ වගේ. සමහර විට මට මිස් වුනු පොයින්ට් එකක් තියෙන්න ඇති.
ReplyDeleteඈත- දුෂ්කර පලාත්වල සිනමා හලක films බැලූ අත්දැකීම් නැති නිසා වෙන්නැති මට තැන වෙනසක් නොදැනුනේ. ඉකොනෝ, ඔය වගේ ඉතාම වැඩ අධික- කාලය හිඟ කෙනෙකුත් මේ ටෙලිය බලන එක ගැන මට හරිම සතුටුයි!
Delete++++
ReplyDeleteස්තුතියි Pra Jay, ඔයාත් ටෙලි බලනවද?
Deleteඅර පරණ ඒවා පෙන්නන චැනල් එකේ සමහර පරණ ටෙලිඩ්‍රාමා බලනවා. ඒත් සම්පූර්ණව නෙමෙයි
Deleteමම තාම බැලුවේ කොටස් 2-3ක් විතරයි. කිසිම දෙයක් කියන්න විදියක් නැහැ ඉතින් ...
ReplyDeleteදැනට මට හිතුනේ ප්‍රන්සේ ගිහින් චිත්‍ර අඳින්න තිබ්බ නම් කියල ... හෙහ් හෙහ්
පැතුම්, මේ ටෙලිය රසිකයන්ට අල්ලා ගියේ හෙමින්. Fan Club එකට ලියන වැඩි දෙනෙක් පස්සේ එක දිගට එප්සොඩ් ගොඩක් බලපු අය. දිගටම බලන්න. ගත යුත්තක් තියෙනවා- අපේ ලිවීම්වලට වුණත්.
Deleteමේ ටෙලිනාට්‍ය මටනන් අල්ලලා ගියා... ඒවයේ විචාර කියවන්නෙ නැතුව බලන්නෙ.. මම කොහොමත් චිත්‍රපටයක් හෝ ටෙලියක විචාරයක් කියෝලා බලන්න කැමැත්තක් නැහැ... රේටිං බලලා බලන්නෙත් නැහැ... එහෙම බැලුවට වරදකුත් නෑ... තම තමන්ගෙ කැමැත්තනේ...
ReplyDeleteස්තුතියි මිතිල. දෙන්නෙකුගේ වෙනසක තරම.
Deleteමම හැකියාවක් තිබේ නම් හැකිතාක් විචාර හා අදහස් කියවා බලා නිර්මාණය රස විඳින්න ගන්න කෙනෙක්. හැබැයි, එහෙම ලබාගන්න අදහස් මට බාධාවක් කරගන්නෙත් නැහැ.
සමහර රේටින්ග්ස් අඩු ෆිල්ම් එහෙම නම් තියෙනවා තමයි, බොක්කටම වදින.
සති අන්තය කියන්නේ මගේ කර්‍ය්බහුලම දවස් දෙක. මේ කතාව වාගේම තවත් හොද ටෙලි මගහැරුනා. තණමල්විල කොටස් කිහිපයක් නැරබුවත් එය හොදින් ග්‍රහනය කරගන්නට නොහැකි උනෙත් පෙරකී කාරනාව හින්දා. යු ටියුබ් හරහා බලන්න ඕනේ. හැබැයි ගොඩාක් කොටස් වශයෙන් යන ටෙලි වල වැරදි අහුවෙන්නෙත් එක දිගට බලද්දී තමයි.
ReplyDeleteඉස්සර අපි යනවා ටයර් කෝපරේෂන් එකට 'තරුණ ජනගහන කමිටුවේ' සාමාජිකයෙක්ව ගන්න. එතන සිකියුරිටි කාමරයේ ගහලා තිබුන කවි දෙපදයක්. ශ්‍රී නේරුතුමාගේ කියලයි මට මතක.
Deleteමම ඒක එදාම මගේ ජීවිතේට එකතු කරගත්තා.
'නිමා කරනු මිස වැඩ ඇති තමා අත
පමාවට කරුණු තව උවමනා නැත'
අසංග මහත්තයෝ, මට හිතෙන්නේ ඔයාටත් ඒක හොඳ වෙයි!
This is a must see tele-drama, someone told me about this and I am hooked. (Wijebahu)
ReplyDeleteඅහනත් සතුටුයි විජේබාහු මහත්තයෝ!
Deleteමට තාම ඕක බලන්න උනේ නැහැ.
ReplyDeleteඉක්මනටම බලන්න මහත්තයෝ, හොඳ නම් තව අයටත් බලන්නයි කියන්න. ඒක සේවයක්.....
Deleteමේ පීඩනය නම් හොඳටම වැඩි නිදි. මම තවම බැලුවේ නැහැ . කංසා වගාව විනාශ කරනවට නම් මම එදා ඉඳලම විරුද්ධයි . ඒක බෙහෙතක්
ReplyDeleteනරකත් හොඳ වෙන වෙලාවක් වගේ. අජිත්, ඔයාගේ පීඩනය අඩු වෙන්නත් එක්කම- අපි ගොඩ දෙනෙකුත් කියන එකේ ඇත්ත-නැත්ත හොයාගන්නවත් 'තණමල්විල කොල්ලෙක්' බලන්න ගන්න.
Deleteමුල් කොටස් තුන බලලා හරි නැතිනං අල්ලලා දාන්න.