අකුරු මැකී නෑ

Friday, July 31, 2020

මාරක හී පහර - දෙවෙනි කොටස

“.... ඒකට ගියාය කියලා අපි බඩගින්නේ ඉන්නයැ. රංජිට කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට යන්නත් වෙනවා, පනං හතරක් හම්බ කරං එන්න.... නොගියොත් අපි බඩගින්නේ.... ඉතින් මේකාට වෙලාවක් තියෙයිද ඔයාලගේ රිහසල්වලටවත් එන්න....”

අනේ......

අනේ දෙයියනේ! ඒ නාට්ටිය කතන්දරේ එතැනින්ම ....

මට හිතුණේ ඒ කතන්දරේ එතැනින්ම close කියලාය.

“ඉතින් මචං අපිට හෙණ බඩගිනියි. ඒ පැත්තේ තිබුණෙ මහ සවුත්තු පාට තේ කඩයක් විතරයි. කමක් නෑ කියලා අපි ඒකට ගියා. දන්නවනේ, අපේ xxxxxයා ‘ප් ප්පාන් ග්ගෙ ගේන්න’ කියලා කලබලෙන් කිව්වාම වේටරයා පානුයි පරිප්පුයි ගෙනාවා, ඔරොප්පු mood එකෙන්.... තව තියෙන කරි ජාතිත් ගේන්නය කිව්වම වේටරයා, පොල්ලෙන් ගහනව වගේ කියපි ‘ම්... ම් ම් ම්මාල්ලු ක් ක් ක්කොළොස්’ කියලා. 

‘උගෙ අම්මට’ කියලා දෙකක් කියන්න හිතිලත්, මං ඇහුවා ‘බිත්තරවත් නැද්ද?’ කියලා...”

මර්සුක් සහීඩ් අයියා ඔව්වා කියන්නේ ඒවාට පණ පොවමිනි. ගාල්ලෙන් කොළඹට ඇවිත්, වැල්ලවත්තේ පදිංචිව හිටි සහීඩ් අයියා අපට කලින් තරුණ ජනගහණ කමිටුවේ හිටි කෙනෙකි; එහි ආරම්භක සාමාජිකයෙකි. ජාතියෙන් මුසල්මානුවෙකු වුණත් සහීඩ් අයියාට හොඳ සිංහල හොඳට වැහැරීමේ හැකියාව තිබිණි. දෙමළ, ඉංග්‍රීසි දෙබසට අමතරවය.

සහීඩ් අයියා අප ලවා කෙරෙව්වේ නියුඩ් පැරේඩ් එකකි!

.....ටහුකන්න #$%&* ගලෝපියව් සේරම ඇඳුම්!’ කියලා මාතර තානායමේදී අපට තර්ජනය කොට ‘නියුඩ් පැරේඩ්’ එකක් කෙරෙව්වේ මේ හතර රියන්, සද්දන්ත රසවතාය!


“වේටරයා එතකොටත් පුම්බගෙන. මටත් මල පැනලා.... “පොළොස් හරි කමක් නෑ හලෝ... ගේනවා! මේ පරිප්පු එකේ ලුණු-මිරිස්-කිරි රහ මොනවත්ම නැහැනෙ අයිසෙ.”

 “ම්ම් ම්..ම්ම මං ක් කිව්වෙ ම් මාළු ක්... කොළොස් ක්කියලා...”

“ඒක තමයි xත්තො කිව්වේ ඒකවත් ගෙනෙන් කියලා.” මම පුටුවත් පස්සට කරලා නැඟිට්ටේ උගේ හොම්බට අනින්න.

“අන්නරහෙට පලයන්... සොරි සර්! සේරම කරි ජාති ඉවරයි...” එතකොටම කැෂියර් එකේ හිටපු මුදලාලි එතැනට ඇවිත්, වේටර්ව එළවලා කිව්වා. “ඒක තමයි මනුස්සයෝ මම ඌට කිව්වේ පොළොස් හරි ගේන්නයි කියලා...” මාත් කිව්වම මිනිහා පොඩ්ඩක් ඔළුව කැසුවා.

ඒක තමයි xත්තො කිව්වේ ඒකවත් ගෙනෙන් කියලා....

“වැරි සොරි සෑර්! අපි දෙන්නම ඉංගිරීසි ඉගෙන ගන්නවා සෑර්, මේ දවස්වල. පොළොස් නෙවෙයි, ඌ- ගොතයා ඒ කියන්නේ කොලොස් කියලා!” මුදලාලි කියපි!”

Close වචනය ඇහෙන විටම; මතක් වෙන විටම මට තවමත් හිනා යන්නෙත්, සහීඩ් අයියා සිහි වන්නේත් එක විටමය!

ඉතින්, එදා අපේ තාත්තා ඇත්තම ඇත්ත කතන්දරය කියද්දී මට හිතුණේ අමරෙලාගේ නාට්‍යයට එකතු වෙන කතාන්දරය closed තමයි කියලාය. නැත; එය continue වුණේය; මතුත් සම්බන්ධ වුණේය!! අමරෙලාගෙ මාමා ඒ ප්‍රශ්නය ගැනත් හිතා තිබුණු නිසාය.

එයාලා හිටියේ නාවින්නේ වෙල් යාය පාරේය. (අමරෙලාගේ මාමාය කියා මා කියන්නේ යාන්තම් මතකයෙනි. ඥාති සබඳකම වෙනස් වෙන්නටත් ඉඩ තිබේ. නමුත් ඒ සමූහයම කළේ එකම රැකියාවකි. රෙදි ඇපිල්ලීමය.) කොච්චර උපාසිකාවක වුණත්, අපේ ආච්චීට අනුව නම් එහෙම අයව ගෙදරකට වද්දා ගැනිල්ලත් වැරැද්දකි.

“කොහෙද ගුණේ.... උඹත් මහා එකා වගේම ජාතියක් ජම්මයක් කුලයක් ආගමක් තකන්නෙ නෑ. පේනවනෙ, දැන් උඹ ජාතක කරපු එවුනුත් ඒ අඩි පාරෙම යනවා... මට නං දැන් උඹලගේ ගෙදරින් වතුර ටිකක් බොන්නත් හිරිකිතයි, බං.” ආච්චී ආඩපාලි කිව්වේ අපේ තාත්තාටය. ඒ අමරෙලා අම්මා හැදුව කෑමක් අපේ ගෙදරට එව්වාමය!

කොච්චර උපාසිකාවක් වුණත්, බණ දැනගත්තත් අපේ ආච්චී කුලය ගැන නම්.....

රස්සාව මොක වුණත්, අමරෙලගේ මාමා (දැන් ඉඳලා මා ඔහුට කියන්නේ වින්සන් මාමා කියලාය.) නිවුණු; බුද්ධිමත්; ළතෙත් කෙනෙකි.

“වින්සන් මාමා කිව්වා නාට්‍යයේ ප්‍රැක්ටිස් කරන දවසට රංජි මල්ලිලාට වෙන පාඩුව අපි බලාගනිමුය කියලා.... එතකොට එහෙම ප්‍රශ්නෙකුත් නෑනේ... ඒ වටේ හැමෝම අපේ මාමාවත් දන්නවා.... කලිනුත් නාට්‍ය කරලා තියෙන නිසා.... අපිට ටිකක් වැඩියෙන් ආධාරත් හම්බ වෙන හින්ද එහෙම ගෙව්වත්....”

ඒ කතාව ඇත්තය. අපේත් පළමු නාට්‍යයට ආධාර වශයෙන් ලැබුණේ රුපියල් හැට තුනකි. දෙවැන්නට තුන්සිය ගණනකි. මාරක හී පහරට රුපියල් තුන්දහස් ගණනක් එකතු වුණු බවය මට මතක.

එක විශේෂ කාරණයක් හරියටම ‘මීටර් වෙන්නේ’ දැන්-දැන්ය. ඒ, මේ බ්ලොගය ලිවීමේ අමතර වාසියකි.

හිතාදර රසික ඔබ දැනටමත් දනියි. මේ ලියවෙන්නේ නිමල් දිසානායකගේ හැබෑ ජීවන අත්දැකීම් කියවෙන අන්දරයයි. ඒවා කටුක; රසවත්; දුක්බර; ලජ්ජා සහගත හෝ පිළිකුල් සහගත හෝ වුණත් මම ඒ බව නොතකමි. මා කරන්නේ ඒවා ලියන එකය; වුණු හැටියටමය. අතීතය undo කළ හැකි මඟක් නැත. දැන් මට දැනෙන්නේ මා කරමින් ඉන්නේ භාව විරේචනයක් බවයි. ඒවා හෙළි කරන තරමට මට දැනෙනුයේ සහනයකි.

මේ සමහර අත්දැකීම් අවුරුදු පනහකටත් වඩා පරණය. මට දිනපොත් නැත. ඇත්තේ මතකය පමණි... බාහිර සාක්ෂ්‍ය ටිකක් පමණි. ඉතින් වැරැද්දක් සිදුවී තිබුණත් සමාවෙනු මැනවි.

රංජි මල්ලියා නං දවසෙන්-දෙකෙන් වැඩේ අල්ල ගනියි.... අපේ අනිත් නාට්‍යකාරයෝ...

“ඔය ඔක්කොමටත් වඩා ගුණපාලයියේ, රංජි මල්ලියාට මොනාද ප්‍රැක්ටිස් කරවන්න තියෙන්නෙ. මිනිහා දවසෙන්-දෙකෙන් වැඩේ අල්ලා ගනියි..... අපේ අනිත් නඩේට තමයි...” අමරේ කිව්වේය.

නාට්‍ය පුහුණුවීම් තිබුණෙත් වෙල්යාය පාරේ ගෙදරකය. CR පොත් දෙක-තුනක අතින් පිටපත් කර තිබුණු ‘සාම ජාතකය’ ඒ-ඒ වෙලාවෙදී, එකිනෙකා අතට යවමින් දෙබස් කියවලා බැලිණි. නළුවරණය පැවැත්වුණේ එහෙමය.

සාම කුමාරයාට හිටියේ මං විතරය. ඒකමතිකවම දූකුල රජතුමා වුණේ වින්සන් මාමාය. පාරිකා බිසවගේ චරිතයටත් වෙනත් නිළියන් හිටියේ නැත- හිටියේ අධ්‍යක්ෂතුමාගේ බිරිය විතරය. නාට්‍යයේ ප්‍රධාන චරිත හතරකි. හතරවෙනියා; දුෂ්ටයා; පිළියක් රජතුමා වුණේ අධ්‍යක්ෂතුමා නොවන බවයි මගේ මතකය. හැබැයි හිටි හාදයාත්, අධ්‍යක්ෂත් එක පලෝලේය. කැපී පෙනෙන වෙනස වුණේ එක්කෙනෙකුට තිබුණු රැවුල විතරය.

“දැන් හැමෝම තම-තමන්ට අයිති දෙබස් ටික ලියාගෙන හොඳට කටපාඩම් කරගෙන එන්න ඕනෑ, ඊළඟ දවසේ එද්දී.... කෝ බලන්න අපේ සාම කුමාරයා.... කියමුද බලන්න දන්න සිංදුවක්.... මේ නාට්ටියේ ඔයාටත් දෙනවා මරු සිංදුවක්!” අධ්‍යක්ෂතුමා කිව්වේය.

එහෙනං එන්න පාරිකා... ඉස්සෙල්ලම ඔයාගේ සිංදුවක් කියල බලමු!

“අනේ... මේ නොදරුවාව ඉස්සෙල්ලාම මඩවන්නේ නැතිව අපි අනිත් සිංදු ටික බලමුද?” එහෙම අසමින් ඒ වෙලාවේ තාත්තෙකු වගේ, මා අපහසුතාවකට පත් වීමෙන් මුදවා ගත්තේ වින්සන් මාමාය. ඒ වින්සන් මාමාගේ පරිණත ස්වභාවයයි. (නාට්‍යයේදී අප දෙන්නා රැඟුවේ පිය-පුතු දෙපළටය.)

“එහෙනං අපි පාරිකාටම කියමුකෝ ඉස්සෙල්ලාම එයාගේ සිංදුව කියන්න....” අධ්‍යක්ෂතුමා බිරියට කිව්වේය. පාරිකා බිඳක්වත් පැකිළුණේ නැතිය. ඉස්සරහට ආවාය. අධ්‍යක්ෂ එක වරකට ගීතයේ පද කිහිපය බැගින් ගයයි. ඊළඟට බිරිය....

දොයි දොයි මගෙ පුතු නිඳියා ගන්නේ

බයි බයි මගෙ පුතු නිඳියා ගන්නේ

(මෙතැන දෙපේළිය මතකයට එන්නෙම නැත.)

නාඬා ඉන්න - නිඳියා ගන්න

මගෙ සුදු පුතුට දෙවි රැකවරණයි//

මම ගල් ගැසී ගියෙමි; වශීකෘත වීමි. අපි මොක්කුද? වාසනාවන්... මෙන්න නාට්‍යකාරයෝ!

සාම ජාතකේ ඉස්සෙල්ලාම නටද්දී අපට මෙයාව හම්බ වෙන්න තිබ්බේ!

ඒ ගීතය මා එයිට කලින් අසා තිබුණේ නැතිය. (ඒ කාලේ කැසට් නැත. රේඩියොත් විරලය. ඉතින්...) කොහොමද දෙයියනේ මේ මනුස්සයා හරියටම තාලෙකුත් හද-හදා සිංදුව ගොතන්නේ?

මැට්ටා. ගොන් වස්සා. ඒ මාය. මං හිතුවේ ඒ මනුස්සයා එවෙලේම ගීතය නිර්මාණය කරන බවයි.

ඔන්න මගේ වාරේත් ආවේය.

‘යන්නෙමි යන්නෙමි වනගත මා

මව්පියො දෙන්නා මෙ රකිනා ලෙසේ//” අධ්‍යක්ෂතුමා ඉස්සෙල්ලා. ඊළඟට මං.... ඒ සිංදුවත් මල් හතය....

“වින්සන් මාමා. ඔයා කලින් කිව්ව විදිය හරියටම හරි. අපේ ගමේ ඉස්සෙල්ලාම සැරේ මේක නටද්දීත් සාම කුමාරයාට රංජි මල්ලියාව හම්බ වෙලා තිබ්බ නං....” අධ්‍යක්ෂ කියද්දීය මට නුවණ පහළ වුණේ!

එහෙනං මේ නාට්‍යය තව කොහේ හරි පෙන්නපු එකක්. ඒක වෙනිං අයව දාලා නටවන්නයි මේ ලෑස්තිය. ලෑස්තිය වගේම වැඩෙත් කෙරීගෙන ගියේය.... දිගටම. අපිදු ආසාවෙන්; නොඉවසිල්ලෙන් නාට්‍යය පෙන්වන කල් බලා  හිටියෙමු..... අපත් හරියට අල බහින්න කලින්ම අල තම්බන්නට හැළියක් හෙවූ තකතිරුවන් වගෙය.

ආසාව තිබ්බාට මදිය; ඉවසිලි නැති වුණාට මදිය. අනිත් වැඩත් කෙරෙන්න එපායැ...

සමහරුන් නම් සිංදු කියන්නේ නාන කාමරයෙදී විතරනේ... මං ඊට වඩා ටිකාක්...

“තාත්තේ, අමරෙල කරන්න යන නාට්‍යය මරු. සිංදු වගයක් තියෙනවා.... ආසාවේ බෑ තාත්තේ.”

තාත්තා හොඳ මූඩ් එකක ඉන්නා වෙලාවක් අල්ලලා මම කිව්වෙමි. ඒ අප කරන්නට යන පොසොන් නාට්‍යයට සුදුසු කතන්දරයක් ගැන කෙරුණු කතාබහකදීය. “මොකද්ද බං සාම ජාතකේ ඇති හොඳේ? උඹලගෙ ආච්චී කියනකොට මාත් අහගෙන ඉඳලා තියෙනවනේ.... නාට්ටියකට ගන්න ඕනේ අජාසත්ත, විධුර වගේ හොඳ කතාවක්නේ බං.”

හොඳ කතාවක් කියා කියද්දී මේ කතාවත් කියන්නට කට කොකියයි!

“නිමල් අයියේ... ඔන්න බැහැයි කියන්න නං බෑ. ඔයා නාට්‍යකාරයනේ. මටත් හරි ආසයි නාට්‍යයක රඟපාන්න. අපිත් නාට්‍යයක් කරන්න යන්නේ....” පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේදී මිතුරු වුණු හාදයෙක් මට කිව්වේය; ඒ 2017දී අම්පාරේ එක්ගල්ඔය වනජීවී බංගලාවේදීය; රාත්තිරියේ මධු සාදය අතරේය.

ඒ හාදයා හිතාගෙන ඉන්නේ රඟපාන්නට පුළුවන්ය කියලාය.

“මම කතාවක් ලියලත් තියෙන්නේ! ඔයා ඒක කියවලා බලලා හරි ගස්සලා දෙන්න ඕනි! හරිනේ මගෙ පණ!!”

එක්ගල්ඔය නඩේ (වමේ සිට- හිටගෙන) මිෂාන්, ගවීන්, සංජීව, අසංක, පාලිත, නෙවිල් (ඉඳගෙන) රාජිත, ජනක හා නිදි (2017 දී)....

“මේ මේ, තමුසෙට මම කියලයි තියෙන්නේ... බොන වෙලාවට මගෙ කිට්ටුවට නං එන්න එපැයි කියලා....” මිනිහා මගේ ළඟම පුටුවකට එන්නට හැදුවත් ඒකට ඉඩ නොදෙමින් කියන්නට මට සිදු වුණේය. ඒ මනුස්සයාට ටිකක් ගත්තු ගමන්ම සමහර දේවල් අමතක වෙයි. විශේෂයෙන් පිරිසිදුකම්....! හැන්දක් තිබියදීත්, බයිට් දීසියට අත දමලා ඒවා ගන්න අතම ළඟ හිටි කෙනාගේ ඇඟටත් තියයි; අතේ ඉඳුල් ගෑවිලා බව එයාගේ හිතේ කොනකවත් නැත.

එයාත් එක්ක සෙට් වෙන කිසිම වෙලාවක, මං එයාට මගේ කිට්ටුවෙන් වාඩි වෙන්නට නොදෙන්නේ ඒකය.

“කියන සමයමක් ඔහොම ඉඳලා කියනවා.... ළඟට නෑවිත්....” 

“අඩෝ! ඔන්න බලපං උඹේ මහ ලොකු නිමල් අයියගෙ හැටි.... යාළුකමටවත් සලකනවද?” ඒ වෙලාවේ පදම්වී හිටි නෙවිල්, ගවීන්, පාලිත එහෙම කතා කළේ අපේ මිත්තරයාට; (අපි එයාට කුමා කියමු.) කුමාට උඩගෙඩි දෙමිනි.

“එහෙම කියන්නත් එපා මචං... අපේ හිටපු බොසෙක්නේ... මට නං ටිකක් වැඩියෙන් බනිනවා තමයි. හැබැයි මගේ බොක්ක.... උම්මා....” එහෙම කියද්දීත් කුමා ළඟින් හිටි කෙනෙකුගේ පිටට අත තියයි. “.... ඉතින් මචං, උඹලත් මගෙ නාට්ටියට full support එක දෙන්න ඕනේ....”

ඒකටනෙ මතං යාළුෆිට් එක කියන්නේ!

“මොනවා අහනවද මතං. ඒකටනෙ යාළුෆිට් එක කියන්නේ.... ඒක නෙවෙයි මතං, බැරිද ඔය නාට්‍යයෙන් කෑල්ලක් act කරලා පෙන්නන්න...” (ඒ යාළුවාට ‘මචං’ කියවෙන්නේ ‘මතං’ කියලය.)

“දැන්?”

“නැතිව ගෙදර ගිහින්ද? දැන් අපි කට්ටියම ඉන්න වෙලාවේ ඇට් කරපුවමනෙ. අපි ඔක්කොමට බලා ගන්න පුළුවන් වෙන්නේ.” 

ඉතින් මනුස්සයාත් ටිකක් අගේ කරලා,  මිතුරන්ගේ පෙරැත්තයත් වැඩි වුණාම ‘පොඩි කෑල්ලක්’ රඟපාලාත් පෙන්නුවේය. අපේ මිත්‍රයෝ, එවෙලේ ඒ හාදයාට අම්බානක සහතිකත් ලිව්වෝය. එහෙත්  ‘අනේ නිමල් අයියේ, අර යකා පව්! අර නාට්‍ය කරන්න දෙන්න එපා. අපරාදෙ... මිනිස්සු හූ කියයි....’ සාදය වෙලාවේ ‘නියමයි’ කියලා සහතික දුන් අය පහුවදා උදේ මට කීහ.

එහෙම කියන්නට කලින්, මනුස්සයා ඊළඟ සති අන්තයේම නාට්‍ය පිටපත අරගෙන අපේ ගෙදරට ආවේය.

ඒක එහෙන්, මෙහෙන් පෙරලමින් බලද්දී මම උඩ ගියෙමි! දුෂ්ට රජ-මැති-ඇමැතින් ඒකේය; අහිංසක ගැමි පෙම්වතුන්- වීරයන්- පාවා දෙන්නන් ඒකේය; අසුන් පිටින් ඇවිත් රූමතියන් පැහැර ගන්නවුන් ඒකේය;

කඩු fight- පොලු ෆයිට්- වෙස්වලා ගැනීම්- ගෙවල් ගිනි තැබීම්- හිර ගෙදරකදී දස වධ දීම් වගේ දේවලුත් ඒකට ඇතුළත්ය. ඒ ‘මසාලෙට’ සිංදුත් අඩංගුය! ‘මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා තාලෙට සිංදුවක්’ කියලා සටහනක් පිටපතේ තිබුණු බවත් මට මතකය. එහෙම සටහන් කර තිබූ ගීතත් හත-අටකි. අනේ, අනෙක් සිංදුවල නම් මට අමතකය. 

තමුසෙ මොනවද බලල තියෙන ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය?

ඒත් ඒ සේරම ගීත, අපේ කුමාගේ ප්‍රියතම එව්වායි!

“මේ කුමා... තමුසෙ මොනවද බලලා තියෙන ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය?” මම ඇසුවෙමි.

මනුස්සයා ඔළුව කසමින් මතක් කරන්නට හැදුවත් එක නමක්වත් ඔළුවෙන් එළියට නොපැන්නේය.....

 “හරි. මොනවද තමුසේ බලන ටෙලි නාට්‍ය....”

“වැඩට ගිහින් එනකොට, අපේ වයිෆ්ලට ඕනි එව්වනේ දාල තියෙන්නේ....”

“ඒ කියන්නේ තමුසෙත් ඒවා බලනවා?”

“නෑ නිමල් අයියේ, මොනා හරි කාලා නිදිය ගන්නවා...”

“එතකොට ෆිල්ම්ස් ....”

“එව්වා බලන්න කොහෙද නිමල් අයියෙ වෙලාවක්...... උදෙන් නැඟිටින්නත් එපැයි.”

මතක ඇති කාලෙක නාට්‍යයක්, චිත්‍රපටයක් බලා නැති; පුංචි කාලේ බැලුව වෙසක් නාට්‍ය මතකය හිතේ ඇති මේකා නාට්‍යයක් කරන්නට යයි. එයාම කතාවක් හදාගෙන; එයාම පිටපත ලියා; උන්නැහෙම ප්‍රධාන රජ කුමාරයාගේ චරිතය රඟපාන්නටත් ලැහැස්ති වෙයි. පව්!

මොන යකාද යකෝ ස්ටේජ් එකක් උඩට අස්සයෝ අරන් එන්නේ?

“යකෝ, කොළයක් උඩ කාබන් පෑනෙන් ලියනවා වගෙද, stage එකක් උඩ නාට්‍යයක් පෙන්නන එක? කොහෙන්ද තමුසසෙ මේ අස්සයො හොයාගන්නේ... කොහොම හරි හොයා ගත්තත් උන්ව උඩට ගේන්න පුළුවන්ද පොඩි-පහේ ස්ටේජ් එකකට?”

“ඉතින් ඒකනෙ මම කොපිය නිමල් අයියට ගෙනත් දුන්නේ... වැරදි හදා ගන්න.... ඕක ඔයාට ඕනි විදිහකට කපන්න...”

“මේ, තමුසෙගෙ නාට්ටිය පිටපත මට ඕනේ විදිහට කපන්න බෑ මිනිහෝ. එහෙම කරන්න බෑ!”

“අනේ, නිමල් අයියේ. පොඩි එකාගෙ ආසාවනේ.... එහෙනං ඔයා මට නාට්‍යයක් ලියලා දෙන්න.....” කුමා පින්සෙන්ඩු වෙන්නට වුණේය.

තියෙන වැඩ අස්සේ ලියපල්ලකො නාට්‍යයකුත්! ලියන්නට හිත හදාගත්තත් මට දැන් පෑනක් අල්ලාගෙන ලිවීම අන්තිම අමාරුය. එහෙම ලියන්නට ගත්තත්, වැඩි වෙලාවක් නොයා මටම වැඩේ එපාවෙයි. ඒ තරමටම; මටම අජූව විදිහටය දැන් මගේ අකුරු ලියවෙන්නේ... අනේ, අච්චර ලස්සනට අකුරු ලියපු; ඇඳපු මට ගිහින් තියෙන කල....

“එහෙම නෙවෙයි... මං තමුසෙට කියන්නම් වැඩේ කෙරෙන විදිහක්....”

10 comments:

  1. අදත් පංච තන්තරේ දැක්කේ පරක්කු වෙලයි. මම පළවෙනියා වෙලා තියෙන්නේ කට්ටිය චන්ද රැස්වීම් වලට ගිහිල්ලා නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වැස්සත් වැඩියි සෑම් මහත්තයෝ!

      Delete
  2. දැන් අපුල්ලන උන් ඉන්නේ දියවන්නාවේ මොන්ටිසෝරියේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ බබාලට ඒ වැඩේවත් හරියට කරගන්න බැහැ වගෙයි, අසංග මහත්තයෝ!

      Delete
  3. “Life can only be understood backwards; but it must be lived forwards.”
    ― Søren Kierkegaard

    ReplyDelete
    Replies
    1. Pra Jay - පැතුම් මහත්තුරු දෙන්නටම ස්තුතියි.
      ජීවිතේ රහ වැඩියෙන් දැනෙන්නේ ඉදිරියට යන ගමන් 'සිංහාවලෝකනය' කරදී තමයි!
      එක තමයි ඇත්ත!!

      Delete
  4. //නාට්ටියකට ගන්න ඕනේ අජාසත්ත, විධුර වගේ හොඳ කතාවක්නේ
    ම්ම් ඒ යුගයේත් එහෙමයි එහෙනං.හද කකියන කතන්දර,ඉල්ලුමට සැපයුම.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ, අපි කොහොමත් කතන්දර අහන ජාතියක්නේ.

      Delete