අකුරු මැකී නෑ

Tuesday, August 4, 2020

ආදර පූජාසනේ... - පළමුවෙනි කොටස

“ප්ලීස් වස්තුවේ.... මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ.... කෝල් එක ඉවර වෙලා දිගටම ලයින් එකේ ඉන්නවද?” අප දෙන්නාගේ සංවාදය මැද්දේ..... තවත් කටහඬක්; නාඳුනන කටහඬක් දුරකථනය දිගේ ගලාගෙන එයි.

ප්ලීස් වස්තුවේ.... මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ! 

කවුද වදේ මේ?

මං හිටියේ මහරගම හන්දියේ, හයිලෙවල් පාරේ ‘සෝම බෙහෙත් වෙළෙඳ හල’ ඇතුළේය; ටෙලිෆෝන් කෝල් එකකය. ඒ අතරවාරේය, හිටි ගමන් මට කතා කරමින් හිටි ටියුඩර්ගේ කටහඬ නෑසී ගිහින් මේ ආගන්තුක හඬ මතු වුණේ.

එතකොටත් අපේ ගෙවල් මණ්ඩියටම ටෙලිෆෝන් තියා විදුලියවත් නැත. එතකොටය කිව්වේ 1980ටත් කලින්ය. මහරගම, පමුණුව පාරේ, එක්සත් සුභ සාධක මාවතෙන් හැරිලා යන අපේ අතුරු පාරටම කරන්ට් එක ලැබුණේ 85නුත් පස්සෙය.

කුලතුංග සර්ලා පිරිමි ළමා නිවාසයට පත්ව ආවට පස්සේ; අසල්වැසි අප හා කුළුපග වුණාට පස්සේ; අපට ටෙලිෆෝන් ඇමතුම් ආවේ එහාටය. අපේ අම්මාත් එංගලන්තයට ගියාම ‘රට ඉඳලාත් ඇමතුම්’ ආවේය. එව්වාට ළමා නිවාසෙන් වියදමක් ගියේ නැතත්, අප පිටතට ඇමතුම් ගත්තොත් ‘නිවාසේ’ බිලට වැටෙයි.

“දිසානායක හැමදාම calls ගන්නවා නෙවෙයිනේ....:” කියලා කුලතුංග සර් කොයියම්ම වෙලාවකවත් මා දුන් මුදල් ගත්තේ නැත.

ඒක මගේ ආඩම්බරකාර හිතට දැනුණේ මදි-පුංචිකමක් විදිහටය. ඉතින් ටෙලිෆෝන් කෝල් එකක් ගන්නට ඕනෑ නම් මං කළේ සෝම බෙහෙත් සාප්පුවට යන එකය. (එතකොට වෙනම කමියුනිකේෂන් සෙන්ටර්ස් කියලා ජාතියක් හැම හන්දියක් ගානෙම තිබ්බෙත් නැත!) එතැන වැඩි කලබලයකුත් නැත; කෝල්ස්වලට මුදලුත් අරගනියි. එදාත් මං හිටියේ එහෙම ගත්තු කෝල් එකකය.

ඒ කටහඬ වික්ටර් මිගෙල්ගේ, කරුණාරත්න අමරසිංහගේ හෝ වොලී නානායක්කාරගේ තරම්...

ඒ අස්සේ තමයි අර ‘මෝහනීය කටහඬ’ ගලාගෙන ආවේ!

ඒක කරුණාරත්න අමරසිංහගේ, වොලී නානායක්කාරගේ, වික්ටර් මිගෙල්ගේ තරම් පිරිමිකම උතුරණ හඬකුත් නොවේ; ෆීලික්ස් ඇන්ටන්ගේ. රෝහණ සිරිවර්ධනගේ වගේ සෙනෙහස තැවරුණු හඬකුත් නොවේ; ගැමුණු විජේසූරියගේ වගේ උපහාසාත්මක හඬකුත් නොවේ..... ගාමිණී ෆොන්සේකා- සේනාධීර රූපසිංහ- එච්.ඩී. කුලතුංග- ඩොමී නානායක්කාර... වගේ එක එල්ලේ හඳුනාගත හැකි විශේෂ තානයේ හඬකි. එහෙමත් නැතිනං මට ඒ වෙලාවේ; හවස තුනට විතර දැනුණේ එහෙමය.

ඊළඟ තත්පරයේ ආයෙමත්...

“මොකද කියන්නේ? හාද බෑද?”

“...හා.”

ඊළඟ තත්පරයේ ආයෙමත් ටියුඩර්... ඇත්තම කිව්වොත්, ඊට පස්සේ ටියුඩර් කියාපු දේවල් එකක්වත් මගේ කනට වැටුණාට, හිතට වැටුණේ නැත. එලෝ විකාරෙන් මෙලෝ අත ගානවා වගේ මං හා- හූ- හ්ම් ගෑවා විතරය.

මගේ කන පුරාත්; හිත පුරාත් දෝංකාර දෙමින්; නාද නිම්නාද වෙමින්; කැරකෙමින්; ඇඹරෙමින් තිබුණේ ඒ කටහඬයි.

තරහ වෙන්න එපා වස්තුවේ.......................

“එහෙනම් මම තියනවා.” ටියුඩර් ලේල්වලගේ කටෙන් වචනය පැන්නා විතරය. අමුත්තා.....!දෙයියනේ, මේ මනුස්සයා අපේ ටෙලිෆෝන් කතාව අහගෙන හිටියා වගෙය. ඒවා හිතන්නටත් කලින් ආයෙමත් අර ‘හඬ’.

“තරහ වෙන්න එපාාාාා වස්තුවේ..... මාත් වස්තුව කිව්වට කමක් නැහැ නේද? එහෙම කියන්න එපා නං ඔයාගෙ නම කියල ඉන්නකෝ....”

එතකොට නම් මට සේරම click වුණේය! මේ හාදයා හිතන්නේ මං කෙල්ලෙකු කියලාය!

ටියුඩර් හිටියේ දෙමටගොඩ රේල්වේ ක්වාටර්ස්වලය. දැන් ඉන්නේ දෙමටගොඩ ආරාමය පාරේය. මට ටියුඩර්ව මුණ ගැහුණේ අප දෙමටගොඩ දුම්රිය කර්මාන්ත ශාලාවේ කැන්ටිම බදු ගත්තායින් පස්සෙය. එතකොට ටියුඩරුත් රස්සාව කළේ එහිය. ඒ දවස්වල අප අතර ඇති වුණු මිතු දම තවමත් එහෙමමය.

එදාත් මං මොකක් හෝ උවමනාවකට ටියුඩර්ට ඇමතුවා වෙන්නට ඇති.

මා දන්නා විදිහට නම් ටියුඩර් ගොඩ දෙනෙකුට අමතන්නේ ‘හලෝ හෝ අයිසෙ’ කියමිනි. “මොකද හලෝ call එකක්වත් දෙන්න බැරි? අපිම කතා කරනකං ඉන්නවා...”, “...යනවා අයිසෙ බොරු නොකියා.” මේ ළඟදීත් ටියුඩර් ටෙලිෆෝනයෙන් කිව්වේය.

“ඒක නෙවෙයි වස්තුවේ..... මේ අපේ සුජාත් මට කියනවා ඔයාගෙන් අහන්නලු ඔයාට කොහොමද කියලා...”

මේත් වස්තුවකි... අපූරු උඩවැඩියා වර්ගයකි! Bulbophyllum Frostii...

ටියුඩර්ගේ ‘වස්තුව’ට කකුල් කීය-කීය තියෙනවාද කියලා නම් මා මෙතෙක් කාලයකට විමසා නැත. (ඊළඟ වතාවේ හමු වුණාම සුජාගෙන්ම අහගන්න ඕනි, මේ මනුස්සයා දවසට කී පාරක් එයාට වස්තුව කියනවද කියල.)

ඊයේ 2020 අගෝස්තු 2 වෙනිදා උදේ මා ටියුඩර්ට ඇමතුමක් ගත්තේ ‘මේවා’ ලිව්වාට කමක් නැද්දැයි අහගන්නටය. ටියුඩර් ගෙදර නොහිටියායින් මට කතා කරන්නට වුණේ සුජාටය. අම්මෝ! අපේ කතා ගිය දුර!! එයාලගේ දුවත්, පුතාත් ඉන්නා කැනඩාව තෙක්ම විහිදුණේය!!!

“අනේ නිමල්, ඔයාගෙ යාළුවා නං ගෙදර නැහැ. මම එයා ආවම කියන්නංකෝ ඔයාට කෝල් එකක් දෙන්න කියලා.” සුජා කීවාය;

ඒ විදිහටම කළ හින්දා ටියුඩර්ගෙන් ඇමතුමක් ආවේය. මම කතන්දරය කිව්වෙමි. “ඒ විස්තර ලියද්දී ඔයාලගේ ඇත්තම නම් දාලයි ලියන්නේ. එහෙම එපා නං බොරු නමක් දාන්නං!”

“ඇත්තම ලියන්න බොරු නම් දාන්නේ මොකටද හලෝ?”

එයා එහෙම කිව්වාට, මගේ මේ සදානුස්මරණීය ආදර පලහිලව්වට ගෑවුණු හැම දෙනාගේම ඇත්තම නම් සේරම මා හෙළි කරන්නේ නැත.

ඉතින්, අර අමුත්තාට ඇහෙන්නට ඇති; ටියුඩර් මට ‘වස්තුවේ’ කියා එක සැරයක්වත් කියනවා ඇහෙන්නට ඇති! ඒත් එහෙම ඇහෙන්නට ඇත්තේ කොහොමද?

මෙතැනම ඇති අවන්හලේ දේශීය ආහාරපාන රැසකි... මිලත් සාධාරණය!

දැන් අවුරුදු තුන-හතරක හිට මා ‘මල්ටිපල් මයෙලෝමා’ රෝගයට බෙහෙත් ගන්නේ හම්බන්තොට මහ රෝහලෙනි. ඒ යන-එන ගමන්වලදී රන්නේ බටඅත කෘෂි මධ්‍යස්ථානයේ අවන්හලෙන් මොනවා හෝ සප්පායම් වෙන්නටත් මං වහන්සේ මනාපය. ඒ දොළදුක සපුරා ගන්නට ඉඩ නොදෙන තරමක් නොදෙන්නේ අයස්මන්ත දොස්තර මහත්තයාත්, නෙවිල් අනුරසිරිත්ය. බටඅත අවන්හලෙන්ය, මං රන්දීප කුරක්කන් පිටි හොයාගත්තේ.

එව්වා කොයි තරම් සුපිරිද කියනවා නං, පස්සේ වෙලාවක රන්දීප ලේබලයේ තිබුණු ටෙලිෆෝන් අංකයට කතා කළෙමි. 

උත්තර දුන්නේ ‘රන්දීප නිෂ්පාදන’ ලොක්කී අයෝමාය. “ඔව්... මැඩම්.... පුළුවන්... මැඩම් එන දවසට මම කුරක්කන් පිටි පැකට් ටික එහෙන් තියන්නං....”

මැන්ටලයක් වෙලා ඉඳිද්දීත්, තවමත් මගේ කටහඬ ටිකාක් ස්ත්‍රීමය වගේ බව යළි තහවුරු වුණේ එවෙලේය!

එදා අර මනුස්සයාට වෙලා තිබුණෙත්, මෙදා අයෝමාට සිද්ද වුණු දෙයමය. ටැපලිලා!!

ඇත්තම කිව්වොත්, ඒ වෙලාවේ ඒ හාදයාට වැරදී ඇති බව කියන්නට, දහදුරා මගේ හිත දුන්නේ නැතිය. තවත් ටිකක් නලවා, හැඟුම්බර ලෙසින්, දඟකාර හුරතල් වීමකුත් එක්කය මා කතා කළේ... “ම් ම් ඔයාට කැමති විදිහකට කියන්නකෝ.....”

මගේ හඬ රංගනය, වාචිකාභිනය හරි ගියේය!

එච්චර ඉක්මනට නං මාව අල්ලගන්න බැරි වෙයි සුදෝ!

“ආ ආ .... එහෙමද ආසා?”

“ඇයි? නරකද?”

“පිස්සුද වස්තුවේ? ඒක නෙවෙයි, මම කොහොමද ආයිමත් ඔයාව අල්ලගන්නෙ?”

“(මන්දහාසී සිනාවක්...) එච්චර ඉක්මනට නං මාව අල්ලගන්න බැරි වෙයි සුදෝ...” ඉන්නා තැන මට සිහි වුණේ එතකොටය. ‘සුදෝ’ වචනය කියවෙනවාත් එක්කම සෝම බෙහෙත් වෙළෙඳ හලේ කැෂියර් මේසයේ හිටි තරුණිය ඇස් නළලට යැව්වාය. මගේ තුෂ්ණීම්භූත වීම අර හාදයාටත් දැනිලාය.

“මොකෝ එක පාරම සයිලන්ට් වුණේ... තරහෙන්ද?”

“ම්හු!”

“එහෙනං....”

“පස්සෙ කියන්නං...”

“පස්සෙ මට කතා කරන්න ඔයා නොම්මරේ දුන්නෙ නැහැනේ..... කමක් නැද්ද මං කතා කළාට. ඔයා මට නොම්මරේ දීලා ටෙලිෆෝන් එක තියන්න. මම දැන්මම ඔයාට ගන්නං.. විනාඩියෙන්...”

අපේ දුප්පත් ගෙදරට නං ටෙලිෆෝන් නැහැ.............

“අපෝ එපා.... මම නොම්මරයක් දෙන්නං... හැබැයි අපේ දුප්පත් ගෙදරට නං ටෙලිෆෝන් නෑ... වෙන තැනක නොම්මරේ දෙන්නේ... මං එහාට ඇවිත් ඉන්නං..”

“කීයටද?”

“අදමද?”

“ඔව් ළමයෝ.... අදම එන්න බැරිද?”

“හරි.... එන්නං.  හරියට හතරට.... ඊට කලින් කතා කරන්න එපා. මෙන්න නොම්මරේ...”

“ කෝල් එක අරං මම කාට කියලද කියන්නේ?”

“කාටවත් කියන්න ඕනි වෙන්නෑ කොල්ලෝඕඕඕඕඕ...මමම එතැන ඉන්නංකො...”

“ෂුවර්?”

“ෂුවර්!”

“ප්‍රොමිස්?”

“ඔව් අනේ, ඔව්!”

අර තරුණිය සෝම බෙහෙත් ශාලාව හිමිකරුගේ බිරිය බව මා දැනගත්තේ පසු කලෙකය. ඇය තවමත් එහි සිටින්නීය; වියපත් ඇය විතරක් නොවේ, ඇගේ තුරුණු පුතණුවනුත් ඉන්නවා වගෙය ...

එදා ඇයගේ ඇස් උඩ යාමෙන් පස්සේ මා කතා කළේ හීන් හඬින්ය. ඒ මගේ කතාව ඇයට නෑසෙන්නටය. ඒ උත්සාහය හරිගිය බව පෙනෙන්නේ, එයින් පසුව වුණත් මා එහි ගියවිට ඇගේ වෙනසක් නොපෙනුණු බැවිනි.

කුලතුංග සර්ලා රිච්මන්ඩ් කාසල් මන්දිරයේ තිබුණු ළමා නිවාසයට ගියාම.... 

මහරගම හන්දියේ සිට මා කෙලින්ම ගියේ පිරිමි ළමා නිවාසයටයි.

එතකොට, කුලතුංග සර්ලා එහෙන් ‘කළුතර රිච්මන්ඩ් කාසල් මන්දිරයේ’ තිබෙන ළමා නිවාසයට ගිහින්ය. දෙවෙනියාව හිටි දහනායක මහත්තයාට ප්‍රධානී තනතුර ලැබිලාය.

“අම්මෝ, නිමල්ලට අපිව මතක් වෙලා තියෙන්නේ කාලෙකින්..... කුලතුංග සර්ලා විතරයි මෙහෙන් මාරු වෙලා ගියේ. මම ඉන්නවා.... නිවාඩු තියෙනවා නම් එන්න නිමල්.... අපේ අක්කත් මේ දවස්වල ඇවිත් ඉන්නේ.... ඉන්නකෝ අඳුන්වලා දෙන්න....” දහනායක මහත්තයා මාව පිළිගත්තේ උණුසුම් විදිහටය.

මගේ මතකය හරි නම් දහනායක මහතාගේ මුල් නම අතුලය. අක්කා අයෝධ්‍යා උපනයනි දහනායකය. මල්ලිවත් පසුව හඳුනාගත් නමුත් මට නම මතක නැත. මගේ ජීවිතයේදී මෙතෙක් මා දැක ඇති ඉතා මනරම්, රවුම්, මුතුවන් අත් අකුරු අයෝධ්‍යා අක්කාගේය!

මම ඔරලෝසුවට එබී බැලුවමි. හතරට කාලයි!

ඔයාම ෆෝන් එකට ආන්සර් කරන්න.... ඊට පස්සේ.......

අයෝධ්‍යා අක්කා ඇතුළට ගියේ මට තේ එකක් හදන්නටය. විනාඩි පහළොවක් ගත වෙන්නට කලින් දහනායක මහත්තයාට කතන්දරේ කියලා ටෙලිෆෝන් එක ළඟින් වාඩි වෙන්නටත් සිදු වෙයි. අයෝධ්‍යා අක්කා තේ එක හදාගෙන එන්නට කලින් මේ කතාන්දරය short & sweet විදිහට කියන්නට හිත හදා ගත්තෙමි; කිව්වෙමි.

“හරි, හරි. නිමල්ම ආන්සර් කරන්න.... ඔයා ඔය කතන්දරේ කියනකොට මටත් ආවා මරු අයිඩියා එකක්! ඕක ඉවර කළාට පස්සේ ඔයාට කියන්නම්කො.” දහනායක මහත්තයා හොර හිනාවකින් කිව්වේය.

හරියටම හතරට දුරකථනය නාද වුණේය. මම ඔෆීසි කාමරයට ගියෙමි. අනේ, දහනායක මහත්තයා අපට සිත්සේ කතා කරගන්නට ඉඩ ඇරලා, දොරත් වසාගෙන ළමා නිවාසයේ ආලින්දයට ගියේය.

“.... අම්මෝ! ඔයා එහෙනං කියපු විදිහටම කළා?”

“අපි එහෙම තමයි! සමහර කොල්ලො තමයි ඉතින් කියන විදිහට කරන්නෙ නැත්තේ....”

කෙනෙකු වසඟ කරගන්නට නම් කතා කළ යුතු, සිනාසිය යුතු, කෙඳිරිය යුතු......

“ඔන්න ඔන්න ඉතින් අඳුරගන්නකොටම ඔයා හින්ට් ගහනවා! මම නං එහෙම පොලු තියන එක්කෙනක් නෙවෙයි!!”

සමහර ගායකයන්ට, ගායිකාවන්ට, නිවේදක-නිවේදිකාවන්ට, නළු-නිළියන්ට නම් තමන්ගේ පියවි කටහඬ වෙනස්කොට කතා කළ හැකිය; ගීත පවා ගායනා කළ හැකිය. ඒ හැකියාව මට නැතිය. එහෙත් කෙනෙකුගේ සිත් ගන්නට නම් සිනාවිය යුත්තේ කොක්හඬලමින් නොවෙන බව මම එවිටත් දැනගෙන උන්නෙමි; සුසුම් හඬකින්, හ්ම් කීමකින්, කෙඳිරිලි ස්වරයකින්, නලවමින් දොඩන වදනකින් කෙනෙකු වසඟයට ගන්නට ඉඩක් තියෙන බව එවිටත් මම දැනගෙන උන්නෙමි.

මට උපතේදීම උරුමව තිබෙන හපන්කම්- මෝඩකම්- දේව ගති- බලු ගති ගොඩාරියක් ගැන, ඒ වනවිටත් මම තේරුම් ගෙන සිටියෙමි.

පේව්මන්ට් රැකියාවේදී,  දේශපාලන වේදිකාවල කතා කිරීමේදී විතරක් නොව මහ ඉස්පිරිතාලයේ වාට්ටුවක් ගානේ ඉඳියාප්ප වෙළෙඳාමේ යද්දීත් විටින්-විට ලද අත්දැකීම් තුළින් පවා මම ඒ දැනීම් නිවැරදි බවත්; ඒවා නිවැරදිව පාවිච්චි කරන්නේ නම් ප්‍රතිඵලදායක බවත් ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටියෙමි.

තිබෙන හැම ඉඩ-කඩකදීම ලැබෙන අත්දැකීම් විශ්ලේෂණය කරමින් උගැනීම තවමත් මගේ ස්වභාවයයි!

“ඔයාට එහෙමද හිතෙන්නේ?” මම උපරිමයට දඟකාර ලීලාවකින් ඇසුවෙමි. සිහින් සිනාවකින් එයට අනුපානත් එකතු කළෙමි.

අනේ වස්තුවේ.... ඔයා එක්ක කතා කරද්දී වෙලාව යනවා දැනෙන්නෙ නැහැනෙ...

වෙලාව ඉගිල්ලුණේය.

“අනේ වස්තුවේ... ඔයා එක්ක කතා කරද්දී වෙලාව යනවා දැනෙන්නෙ නෑ..... කමක් නැද්ද මං ඔයාට ආයෙම කතා කළාට...”

“මෙහෙ නම් ඉතින් මට පෙනෙන තැනක කමතක් නෑනේ...”

“විහිළු නෙවෙයි... තව ටිකකින් මම මෙතන ඩියුටිය වෙන කෙනෙකුට පවරන්න ඕනේ... ආයේ කොයි වෙලාවටද මට ඔයාට කතා....”

“දවස් දෙකකින්....”

“එච්චර කල්? හෙට බැරිද?”

“....... ම් ම් හතරට....”

“කෝ.... තවමත් මට ඔයාගේ නමවත් කිව්වෙ නැහැනේ.....”

“ඔයත් එහෙමනේ!”

“මම මහී.... ඔයා....” (මහී කියන්නේ ඇත්තම නම නොවේ.)

“බෑ! දැන්ම කියන්නෙ නෑ....”

“අනේ, ප්ලීස්!”

“බෑ බෑ බෑමයි.... නම නැතිවට මම ඉන්නේ.... එහෙනං ඔන්න හෙටත් හතරට......” මම රිසීවරය තිබ්බෙමි.

සීත කඳුකර තැපැල් කන්තෝරුවක සිට දුරකතනය ඔස්සේ සුනන්දගේ හඬ..... 

මා පිරිමි ළමා නිවාසයේ ඔෆිස් කාමරයේ දොර අරින විටම දහනායක මහත්තයාගෙන් ප්‍රශ්නයකි. “මොකද වුණේ?”

මහීගේත් මගෙත් සංවාදය දහනායක මහත්තයාවත් අවුස්සලාය.....

“නිමල්, මගෙත් යාළුවෙක් ඉන්නවා ..... xxxxxx පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරන්නේ. මිනිහටත් කම්මැලි හිතුණාම මට කතා කරනවා පැය ගාණක්. අපි මිනිහවත් අන්දමු. ඔයා කතා කරලා බලන්නකෝ....”

“අනේ සර්. මට බොරු කියන්න නම් බෑ!”

“පටන් ගන්න බොරුව මං සුනන්දට කියන්නම්කො... ටික දවසකට විතරනෙ, ජොලියට....” (සුනන්ද කියන්නෙත් ඇත්ත නම නොවේ.)

දහනායක සර් එවලේම දුරකතන ඇමතුම ගත්තේය; කතා කළේය; මට ඉඟි මැරුවේය!

“සුනන්ද.... මගේ යාළුවෙක් ඉන්නවා මෙතන..... නෑ නෑ, පිරිමි යාළුවෙක් නෙවෙයි.... ගෑනු යාළුවෙක්... ගොඩක් දේවල් දන්නවා.... කතා කරලා බලන්නකො....” හිසෙන් සන්කොට මට එතනට එන්නැයි කී දහනායක සර් ටෙලිෆෝනය මගේ අතට දුන්නේය.

සීත කඳුකරයේ තැපැල් කන්තෝරුවක සිට සුනන්දගේ කටහඬ ගලා එමින් තිබෙන සැටි මට ඇසිණි......

19 comments:

  1. සෝම බෙහෙත් වෙළද සැල ගැන කිව්වහම මහරගම ගිය කාලේ මතක් වුනා.මේ හැට ගණන්වල අන්තිම කාලේ. මහරගම යන හේතු දෙකක් තිබුණා. එකක් චිත්‍රපට බලන්න මව්පියන් අපිව එක්කන් ගියේ මහරගම නැෂනල් හෝ අනූෂා. අනිත් කාරණය දත් වල ප්‍රතිකාර වලට බෝඩ් එකේ හැටියට කියනව නම් දත් රෙදි ඇබෑසි විදුහලට. දත් හෙදියක් වුන අපේ නැන්දා තමයි ඒ ගමනට මුල් පටන් ගත්තේ. ඒ යනකොට දැක්ක කඩ සමහර ඒවා මතකයි. වටරැක ස්ටෝර්ස්, දෙගම්බඩ සහෝදරයෝ, නවතම බිල්ඩිම එහෙම.

    ReplyDelete
    Replies
    1. ෂා, සතුටුයි ඉස්සර මහරගම තවම මතකයේ තියෙන ඔයා වගේ අයත් බ්ලොගය කියවීම ගැන.වටරැක ස්ටෝර්ස් තිබුණු කඩ පේලිය ඉතිරි වෙලා තිබුනත් ඊට මුහුණලා මානෙල් ස්ටෝර්ස් වගේ කඩ පේළියම හයිලෙවල් පාරට බිලි වෙලානේ, කුමාර.
      වටරැක ස්ටෝර්ස් එකේ පුතාලා දෙන්නමත් ගියේ මම ඉගෙනගත් විද්‍යාකර විද්යාලයටමයි. මට යන්තම් මතක විදියට සෞම්‍යසිරි හා රම්‍යසිරි....

      Delete
    2. දෙගම්බඩ එක ළග තව ලී මඩුවක් තිබුණා මතකයි. මහරගමට සම්බන්ධ දෙයක් ෆොටෝ එකක් මම හොයනවා , තවම හොයාගත්තේ නෑ. මතකද දෙහිවල මහරගම දුවපු බස්.අන්න ඒ එකක්.Albion Victor.

      Delete
    3. අනේ කුමාර, මගේ ළඟ එහෙම ෆොටෝස් නැහැනේ.. අපි බලං තියෙන කෙනෙක් මොකුත් කියාවිද කියලා.

      Delete
  2. එතකොට මං කතා කරන වෙලාවෙ පිරිමි කට හඩක් නෙ තිබ්බෙ ලොකා!!!....අපේ හාමිනේට පුලුවන් කට හඩෙන් කෙනෙකුගෙ උස මහත ගැන කියන්ඩ....එක පාරයිලු වැරදුනේ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ලොකූ.... මට ඉතින් මගේ හඬ ෆෝන් එකෙන් ඇහෙන්නේ නැහැනේ. හැබැයි, මේ පටන් ගැන්ම විතරයි.... තව තියෙනවා.... හොඳේ....

      Delete
  3. “The older you get, the more voices you get in the back of your head.”
    ― Robert Jackson Bennett

    ඕෆ් කරල තියාගන්නවත් මොබයිල් ෆෝන් එකක් තාම ගත්තෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. අම්මෝ, Pra Jay මහත්තයෝ. මම තවමත් මගේ නිදහසට මාරම ආදරෙයි! ඒකමයි මොබයිල් එකක් නොගන්නේ.... අසනීප වුනු වෙලාවේ මර්වින් එකක් ගෙනත් දීලාත් ගියා, බලෙන්ම ගෙදරටම. ඒක මාස ගණනාවක් ඔහේ තිබුනාම ආයේ අරන් ගියා....

      Delete
  4. Mewa ketha wada (Wijebahu)

    ReplyDelete
    Replies
    1. කවුද විජේබාහු මහත්තයෝ කැත වැඩ නොකළ අය වෙන්නේ. හැබැයි මම එහෙම ඒවා කරලා තියෙන්නේ දිගින්-දිගටම නෙවෙයි. ඉන්නකෝ ඒ වෙච්චි දේවල් සේරම ලියනකල්........

      Delete
  5. අසනීපයක් හැදුන හින්දා කටහඬ පොඩ්ඩක් සුමට වෙලා තියෙන්නේ කියලා හිතුනේ. එත් බැලින්නම් පස්පොල කලුවෙන්න ගත් කාලෙත් එහෙමයි නොවැ.

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන්නෙ නං පස්පොල කලු වෙන්නෙ ලමිස්සියන්ගෙ...🤔🤔🤔🤔

      Delete
    2. පස්පොල කළුවෙන කතාව ලිව්වේ නිදහස් සිතුවිලි රවි ලොක්කා නොවැ.

      Delete
    3. එහෙමද? ඔන්න වෙලාවක රවීගෙන් අහනවා....

      Delete
  6. //සුසුම් හඬකින්, හ්ම් කීමකින්, කෙඳිරිලි ස්වරයකින්
    අප්පුච්චේ බෝට අපි සලකනවා මදි නොවැ

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න දේවල් අභ්‍යාස කරලා බලපුවමනේ සිරිබිරිස් උන්නැහේ එව්වා හොඳටම පත්තියම් වෙන්නේ!

      හොඳට හරි නරකට හරි ... අපේ ගොඩ දෙනා ඉගෙන ගන්න එව්වා එහෙමම අමතක කරනවා. ඉතින් කොහෙද මතකයේ රඳන්නේ....

      Delete
  7. Replies
    1. වචන නං හොඳයි.... උච්චාරණය කරන විදිය අනුවනේ අජිත් මහත්තයෝ හිතන දේ වැටහෙන්නේ...

      Delete